top of page
  • Writer's picturePrisila Godahewa

🌹නොනිමි ගමන🌹

🌹 නොනිමි ගමන🌹

(20 වෙනි කොටස)


ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ සීසර් සැත්කමට මාව ගෙන යන දින උදේ එහි සිටි සියලූ කාර්ය මණ්ඩලය තැන් තැන්වල කතා බහ කරමින් සිටියේ විශේෂ දෙයක් ගැනයි..... ඒ ජයවර්ධනපුර රෝහලේ නිර්මාතෘ ජේ. ආර්. ජයවර්ධන මහතා වන හිටපු ප්‍රතම විධායක ජනාධිපතිතුමා ඒ මොහොතේ, 17/09/1997 දින එම රෝහලේ දී අවසන් හුස්ම හෙලා ඇති බවයි.


මීට මාස දහයකට විතර ප‍්‍රථම මා විශේෂ සැත්කමකට එනම් දරුවන් නැති බැවින් කළ සැත්කමට ශ්‍රි ජයවර්ධනපුර රෝහල් ගත කළ දිනේද, ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා අසනීපයකට ජයවර්දනපුර රෝහලට ඇතුලත් කර තිබුන බවත් මම දැනන් උන්නෙමි.


අද දින මම මගෙ කුළුදුල් දරුවා බිහි කරන්න යන මොහෝතේ මට දැනගන්නට ලැබුන කණගාටුදායක ආරංචිය මගේ හිත සසල කලේය.


ජේ. ආර්. ජයවර්ධන නම් හිටපු ජනාධිපතිතුමාගේ දේශපාලන දිවියේ මුල් කාලවල දී ඔහුගේ පෞද්ගලික ලේකම්වරයෙක් ලෙස කලක් සේවය කල අංජුගේ පියා නිසා, එතුමා අපේ පවුල්වලට ඉතා විශේෂ කෙනෙක් ද වී තිබිණි. ඔහුගේ අභාවය අංජුගෙ පවුලේ අයට දැඩි දුකක් ගෙන දෙන්නක් බව මම දැනන් උන්නෙමි. රෝහලේ කාර්‍ය මණ්ඩලයද ඒ වෙනුවෙන් දැඩි කන්ස්සල්ලෙන් පසුවන මොහොතක..... මාව මගේ කුළුදුල් දරුවා බිහිකරලීමට ශළ්‍යාගාරය වෙත ගෙනයන්නට ලෑස්ති කරමින් තිබින.


පසුගියදා රාත්‍රියේ සිට නිරාඅහාරව සිට් මාව උදේ සීසර් සැත්කමට ගෙනයන්නට, හෙද නිළදාරින් හා උපස්තායකයින් හනි හනිකට සූදානම් කරන්නේ දැඩි ඕනෑකමකිනි. ඊට පෙරද සිට මාව ඒ සඳහා ලෑස්ති කල ඔවුන්, උදේම වස්ති කර, ඇඟපත සෝදා, සුදු ඇදුම් අන්දා, කකුලට මේස්ද දා මාව තල්ලු කරගෙන යන ඇඳක සතපා ඇත.

මගේ හිතේ ඇත්තේ දැඩි බියකි.


"මට ඔයාගේ හස්බන්ඩ් දැන් කෝල් කරලා කිව්වා, එයයි අම්මයි දැන් බෙල්ලන්විල පන්සලේ ඉදගෙන ඔයාට බෝධි පුජාවක් කරනවා කියලා....බය වෙන්න එපා කියලත් කියන්න කිව්වා..."

අක්කා අඳුනන දීපිකා නම් හෙදිය ඇවිත් කිව් පනිවිඩය මගේ හිතේ තිබුන බය ටිකකට සමනය විය.


සැත්කම් කරන කාමරය දක්වා මාව ඇදක තියාගෙන තල්ලුකරගෙන යන ලද්දේ, උපස්තායකයින් දෙදෙනෙක් විසිනි. මම ඇස් වසා ගෙන දෙවියන් බුදුන් සිහිකරමින් ගියෙමි.


ශල්‍යාගාරයට මාව රැගෙන යන කල, හෘද විශේෂඥවරයෙකුවද මා වෙනුවෙන්ම ඒ වෙත කැඳවා තිබිණි. මගෙ විශේෂඥ වෛද්‍යවරයා අනිත් වෛද්‍යවරුන්ට මගේ සැත්කම කළ යුතු ආකාරය වෙන් වෙන් වශයෙන් පැහැදිලි කරේ මාද ලඟ තියාගෙනමය. මගේ හිතට ලොකු බයක් සැකක් ඇති වුණේ, මගෙ මේ පළවෙනි දරුවා බැවින් ය. මාගෙ හිතේ තිබුණ විශාල බය නම් නියමිත දිනට පෙර, මාසයක පමණ කාලයක් තියෙද්දී දරුවා සීසර් කර එළියට ගැනීම නිසා දරුවා දින සම්පූර්ණ නොවි, හොඳින් හැදී නොතිබුණොත් යන සැකය යි.


ශල්‍යාගාරය තුලට මා ගෙන ගිය පසු, දොස්තරවරු විසින් මට නොයෙකුත් බෙහෙත් කටු වර්ග අතට කකුලට ගසමින් , ශල්‍යාගාරයේ විවිධ මැශින් වලට මා සම්බන්ධ කෙරින. ...අවසානයේ කොන්දට ගසන ලද නිර්වින්දන බෙහෙතකින් පසු මගේ කොන්දෙන් පහළ හිරිවට්ටන ලදී.


ශල්‍යාගාර විශාල ඇඳේ මා සතපා ඇත. ඊට උඩින් විශාල රවුම් විදුලි බුබුළුක් දැල්වෙනු පෙනේ.....දොස්තරවරුන්, හෙදියන්, උපස්තායකයින් මා වට කරගෙන ඉන්නවාද පෙනේ...පපුවට උඩින් පොල්ලක් වැන්නක් උඩ රෙද්දක් දමා ඇත්තේ මට මගේ සැත්කම නොපෙනෙනෙ ලෙසයි. වෛද්‍යවරුන් කලබලයේ එහෙ මෙහේ යනවාද පෙනේ...ඔවුන් කතා බහා කරනා දේ මට ඇසුනත් ඒවා පැහැදිලි නැත.


ශල්‍යාගාරය තුල ඇත්තේ කළබළ ගතියකි. .... මගේ නහයට ඔක්සිජන් බටයක් ගසා ඇත. ඊට උඩින් මට ශල්‍යාගාරය තුල සිදුවෙනදේද බොඳවි පෙනේ.....

මාව ඇඳ වටේ ඇති විශේශ මැශින් වගයකට සම්බන්ද කර ඇත්තේ මගේ අධිරුධිර පීඩනය මැනීම වගේම හර්දරෝගය වෙනුවෙන් කලයුතු දෑ බව තේරුම් ගොස් තිබින. ....කතුරු, අඬු පඬුවල සද්ද එහෙන් මෙහෙන් ඇසේ....වෛද්‍යවරුන් ඇද සිටින කොළපාට ඇදුමට උඩින් ප්ලාස්ටික් ඒප්‍රන දමාගෙනෙ සිටිනවාද පෙනේ....ඒවායේ උනු ලේ පැල්ලම් විසිවි වැටි, ගෑවි ඇති හැටිද මට බොඳවි පෙනෙයි.....ශල්‍යාගාරය තුල ඇත්තේ දැඩි සීතලකී....


ශල්‍යාගාරයේ විශාල රවුම් ලයිට් පොකුරක් යට මාව සතපා ඇත. ....ශල්‍යාගාර සේවකයින් වෛද්‍යවරුන් කළබලේ එහේ මෙහේ යන ගමන් මගෙ මූණටද එබෙති. අම්මට කොහොමද අසති.....මගේ අතේ පයේ, ගසා ඇති බට, මැශින් හරියට වැඩකරනවද කියා බලති... ඒ අතර වෛද්‍යවරුන් කළබලේම, සාත්තු සේවිකාවන්ට අණ දෙනවාද ඇසේ.....මගේ කොන්දෙන් පහළ හිරි වට්ටා ඇති බැවින් මගේ ඇඟේ පහළ කොටස ගැන කිසිම දැනීමක් මට නැත. නමුත් මොවුන් සියල්ලෝ එකතු වි මේ මොහොතේ මගේ කුළුදුල් දරුවා එළියට ගන්නට මහන්සි වෙන බව පමනක් මට පෙනේ.... මම තව තවත් හිතින් දෙවියන් බුදුන් සිහි කරමින් මට හා මගේ දරුවාට ආරක්ශාව ලැබේවායි ප්‍රාර්ථනා කලෙමි .


මට සිහි නැති කර ,සීසර් සැත්කමකට යොමු කිරිමට හැකියාවක් නැත්තේ මට ඇති පපුවේ අමාරුව නිසාය. ඒ වගේම දරුවා හොදින් වැඩි ඇති හෙයින් සාමාන්‍ය විදිහේ දරු උපතකට මට මහන්සි වීමට හැකියාවක් නැති බව වෛද්‍යවරුන් අනුමාන කර ඇත. බැවින් මගේ සීසර් සැත්කම කොන්දෙන් පහළ හිරි වට්ටා කිරිමට නිර්දේශ කරන ලද්දේ ...විශේඥ්ඥ වෛද්‍යවරයා විසිනි.


වැඩි වේලාව නොගොසින් මට මගේ බඩ දෙපසින් වතුරක් ගලා යනවා සේ සීතලක් වැන්නක් මට දැනින.....කවුරුන් හෝ මගේ බඩ එහෙට මෙහෙට හොලවනවා මෙන්ද දැනින. ඒත් කිසිම රිදීමක් ඇති නොවින.


වැඩි වේලාවක් නොගොසින් කහපාට මිශ්‍ර කිරිපාට දියරයක් ඇඟෙන් බේරෙන, හොදින් හැදුන දරුවකු ,පෙකනි වැල පිටින් ඉහළට උස්සා මට පෙන්නන ලද්දේ ,මගේ සැත්කම කල ෆැලැන්කීන් නම් දමිළ වෛද්‍යවරයායි.


"ඔයාට හොදට, නිරෝගීව හැදුන දුවෙක් ලැබුනේ .....’’

සුදුම සුදු බෝලයක් වැනි

දරුවා ,නීරෝගීව ඉන්නා බව දැනගත් මට විශාල සතුටක් මිශ්‍ර සැහැල්ලුවක් දැනින....මම ඒ නිදහස් සැහැල්ලුවත් සතුටත් සමඟ දෑස් පියා ගත්තෙමි.


#######


දහවල් දොළහට ලෙඩුන් බලන වෙලාවේ මාව වාට්ටුවට ගෙනවිත් තිබුනේ මගේ කුළුදුල් දරුවාද සමඟය. දරුවා මගේ ඇඳ ලඟ පහළ පුංචි තොටිල්ලේ දමා නෙට් එකකින්ද වසා ඇත.


මාව රෝහල් වාට්ටුවට ගෙන ගොස් ටික වේලාවකට පසු, අංජු මගේ ඇඳ ලඟට පැමිණ මාගෙ නළල සිප ගත්තෙ ,ලොකු ආදරයකින් වගේමක් හිතේ සැහැල්ලූවෙන් යැයි මට සිතින....ඉන් පසු මගේ අම්මා ද පැමිණ මා සිප ගත්තාය.


හවස් වරුවේ මගේ අක්කලා, යහළුවන්ද දරුවා බලන්න පැමින සිටියේය.


‘‘ අනේ මෙයා හරියට ජපන් බබෙක් වගේ සුදුයි ලස්සනයි මහතයි...’’


‘‘හැබැයි තාත්තා ගිය අවුරුද්දෙ ජපන් ගිහින් ආවට අම්මා ගියේ නෑනේ..... දරුවා කොහොමද ජපන් පාටක් ගැහුව්වේ.....’’ යාළුවෝ විහිළු කරති.


‘‘දෙවියන්ගෙ පිහිටෙන් දරුවා හොඳ බරෙන් නිරෝගීව හොඳට හැදිලා ඉන්නවා.’’ අම්මා දෙවියන්ට පින් දුන්නා ය.


අංජුගෙ මවත් පියත් අපේ කුළුදුල් දරුවා බලන්නට ඉස්පිරිතාලෙට ඇවිත් ඇත.


"මේ රත්තරං කරාබු දෙක දුවට මුලින්ම කනට දාන්න තියා ගන්න චතු.... "


අංජුගෙ මම්මා රතු ගල් ඇල්ලපු පොඩි කරාඹු කුට්ටමක් සහිත රතුපාට වෙල්වට් පෙට්ටියක් මගේ අතින් තිබ්බාය. අමාරුවෙන් ඇඳේ වැතිර සිටින මම සිනාමුවින් එය සතුටින් භාර ගත්තෙමි.


අංජු පුංචි තොටිල්ල ලඟට ගොස් දරුවා දිහා බලා සිටියා මිස අතට නො ගත්තේය...... ඔහුට දරුවන් වඩා ගෙන පුරුදු නැත. අංජුට වගේම මටද දරුවන් වඩා ගෙන පුරුද්දක් නැත.... ඒ අප දෙදෙනාම ගෙදර බාල දරුවන් වීම නිසා වෙන්නට ඇති. ....


ඉස්පිරිතාලේ ඇදේ, එහෙට මෙහෙට හැරෙන්න බැරි තරමට අතට බට ගසා ඇති මම හිටියේ බොහොම අමාරුවෙනි. දරුවා නිතර අඬමින් මාගේ කිරි හොයන විට මට දැනුණේ ලොකු කරදරයක් ලෙසය. නමුත් මම දැන් මවක වි ඇත. තනියම ගෙවුනු කාලය නිමවි ඇත. මගෙත් අංජුගෙත් ලෙයින් සැදි බිහිවුන චූටි දියනිය අද සිට මගේ ජීවිත කාලය තුලම මම දැන් ආදරයෙන් බලාගත යුතුය .... මෙපමණ කාලයක් තනියම නිදහසේ ගෙවුණු ජීවිතේ තව කෙනෙකුත් මට දැන් බලාගන්න වේලායැයිද ඉඳහිට සිතේ..... තනියම දරුවා බලාගන්නට මට පුරුද්දක් නොතිබුන නිසා දීපිකා නම් හෙදිය පැමිණ මට දරුවා හෝදලා දෙන්න, කිරි පොවන්න උදව් කිරීම හොදට ගියේය.


‘‘අම්මා එනව නේද ඉස්පිරිතාලෙන් මම ගෙදර ගියාම, ටික දවසක් අපේ ගෙදර නැවතිලා ඉන්න.’’


‘‘ඔව්, මං තාත්තට කෑම හදල තියල එනවා. වැඩි ඈතක් නෑනේ.....’’


දියණිය ලැබි තුන්වන දින මට නැවත ගෙදර යන්නට අවස්තාව ලැබින. මාසෙකට කිට්ටු කාලයක් රෝහලේ නැවති සිටි මම , අමාරුවෙන් ඇඳෙන් බැස, මූණකට හෝදාගෙන ගවුමක් ඇඳගෙන ගෙදර යන්නට ලෑසති උන්නෙ නොවිසිල්ලෙනි. නමුත් මට තවමත් හරියට එහෙට මෙහෙට ඇවිදගෙන යාමට නොහැක . මගේ බඩේ ඇති කැපුම් තුලින් එන්නේ ඉවසිය නොහැකි වේදනාවකි.


තනියම ගෙදරින් ආව මට දැන් ගෙදර ගෙනයන්නට පුංචි බෝනික්කෙක් වැනි දියණියක් ඇත. ඇය පුංචි තොටිල්ලේ හොදටම නිදිය...මට දැනුනේ ලොකු අමුත්තකි....මේ පුංචි අමුත්තා නෙවෙද, මගේ කුසේ මාස නමයක් තිස්සේ එහෙට මෙහෙට යමින්, මට ශාරීරික අපහසුතා ඇති කරමින් මාව ආදරණීය මවක කලේ......නංගිලා මල්ලිලා නොසිටිය මම , කවදාවත් කාගෙවත් දරුවෙක් අතට ගෙන නලවා හුරතල් කර නැත ...මේ චූටි දියනිය මගේ ජීවිතයට එකතු වීම මට ලොකු නුහුරක් ලෙසමයි මුලින්ම දැනුනේම....අදින් පසු මම මැයව අපේ ගෙදර ගෙන ගොස් කිරි පොවමින් හදා වඩා ලොකු කර ගත යුතුය.....පුංචි දරුවන් වඩාගෙන හුරතල් කරලා පුරුද්දක් නොතිබුන මම...මගේ කුළුදුල් දරුවා අදින් පසු තනියම කෙසේ හදාගන්නේද කියා සිතන්නට පටන් ගත්තේ පුංචි තොටිල්ලේ නිදා සිටින චූටි සුරංගනාවිය දෙස බලාගෙනමය.


"ආ...ඔයා ගෙදර යන්න ලෑස්තිද...කෝ ඔයා ගෙදරින් එනකොට තිබුන බඩ....? ආයෙත් ඔයා ඉස්සර හිටිය චතු වගේම වෙලානේ...."

මාව රැගෙන යන්න රෝහලට ආ අංජු, මාව දැක පුදුම වි ඇත.


"මේ ඉන්නේ මගේ බඩේ හිටිය කෙනා දැන් කොට් එකේ....දැන් ඉතිං අපි අපේ මුළු ජීවිත,කාලෙම මෙයාව ආදරෙන් බලාගෙන ලොකු කරගන්න ඕනේ.... ,රටට වැඩදායි පුද්ගලයෙකු කරන්නත් ඕනේ...මට නම් තාම මේ චූටි දෝනි මගේද කියලා හිතෙන්නේ නෑනේ තාත්ති.......මට තාම දුව දිහා බලාගෙන ඉන්න කොට හරි නුහුරක් දැනෙන්නේ .....මම දැන් අම්මා කෙනෙක් කියලත් හිතෙන්නෙ නෑනේ ...ඇයි ඒ තාත්ති ...? හරි පුදුමයි නේ....?


"ඔව් දැන් අපට ලොකු වගකීමක් තියෙනවා ......මටත් හරිම නුහුරක් දැනෙන්නේ බබාව දකිනකොට...ඒ අපි දෙන්නා අවුරුදු හතරකට කිට්ටු කාලයක් තනියම ජීවත් උන නිසා වෙන්න ඇති....අපි දෙන්නටම පුංච් නංගිලා මල්ලිලා ඉදලා නෑනේ...කාගෙන්වත් පොඩි දරුවන් බලාගන්න ,නලවන්න අවස්තා ලැබිලා තිබුනෙ නැති නිසා වෙන්න ඇති ඒ ...."අපි එහෙනම් ගෙදර යමුද..? ඔයාගෙ බඩු ටික ගෙදර ගෙනියන්න ලෑස්තිද ?


"ඔව් ලෑස්තියි ....අම්මත් ආවා නේද අපිව එක්ක යන්න..."


"ඔවි ඉතිං ඔයගොල්ලන්ගේ අම්මා තමයි අපට උදව්වට ඉන්න එකම කෙනා...."


රෝහලේ සිට අංජුගෙ වාහනේන් අපේ ගෙදරට , දරුවා රැගෙන යන්නට, අංජු මාව වාහනයට අමාරුවෙන් නග්ග ගත්තේය. දරුවා වඩාගෙන සිටි අම්මවද අංජු , පරිස්සමට වාහනයට නග්ග ගත්තේය.


අපේ පුංච් කුලී ගෙදරට , කුළුදුල් දරුවා රැගෙන යන්නට අපේ තනියට සිටියේ අම්මා පමණයි.... චූටි දියනියව ගෙදර තුලට ගෙන ගියේ අම්මයි....ඇය පරිස්සමට දරුවා තොටිල්ල තුල තැබුවාය.


"ඔයා පරිස්සමට දැන් ඉන්න ඕනේ , ඔය බඩේ තියෙන මැහුම් එහෙම කඩා ගන්නේ නැතුව ......මම බබාව කොට් එකෙන් තිබ්බා. ...ඔයා ටිකක් ඇඳේන් හාන්සි වෙන්න.....මම ඉක්මනට ඔයාට උනු බත් ටිකක් උයලා කන්න ගේන්නම්...."


මට මගේ අම්මා ගැන ඇතිවන්නේ දුකකි. මාව මෙලොවට බිහි කරලා , ලොකු මහත් කරලා , උගන්නලා, කසාඳ බන්දා දෙන තෙක් මා වෙනුවෙන් අම්මා කල දේවල් මට මතක් වි දුක හිතෙයි.....මට මගේ දරුවා ලැබෙන්න සිටි කාලයේ ඇය කෑම බීම හදා දෙමින් මාව ආදරෙන් බලා ගත් හැටි.....මම දරුවා ලැබෙන්න පෙර මාසයක් රෝහලේ නැවති සිටි කාලයේ මා වෙනුවෙන් දිනපතා කෑම බීම හදා ගෙන ඇය ආ හැටි, මා වෙනුවෙන් කරදර උනු හැටි, දුක් උන හැටි, මා වෙනුවෙන් දේවාල පන්සල් වලට භාර හාර උන හැටි , මම රෝහලේ නැවති සිටින තාක් මගේ ඇදුම් පැලදුම් හෝදා මැද ගෙනත් දුන් හැටි, මම ගෙදර නැති කාලයේ අංජුට කන්න බොන්න හදා දුන් හැටි, මට මගේ අම්මා ගැන ඇතිවන්නේ කියාගන්න බැරි දුකක් වගේම ආදරයක්. මගෙත් අංජුගෙත් සියලු කරදර කාලයේ අපේ ලඟින් අපේ තනියට, බැරි අමාරු කම් මැද අපි සමග සිටි එකම කෙනා වන ඇය ගැන මට ඇත්තේ කියා ගන්න බැරි දුකක්.....


මට මගේ කුළුදුල් දරුවා බිහිවෙන්න ආදා සිට මා ආදරෙන් බලාගත් මගේ අම්මා, දැන් මගේ දරුවා ලොකු කරගන්න ,බලාගන්න උදව් කරන හැටි....මට මගේ අම්මා ගැන හිතේ ඇති වන්නේ ලොකු දුකක් වගේම ආදරයක්.


රෝහලේ සිට මාවත් දරුවාවත් ගෙදර රැගෙන එන්නට උදව් කල අම්මා දැන් කුස්සියේ , කෑම උයන හඬ ඇසේ......දරුවා තොටිල්ල තුල හොදටම නිදිය. අපහසුවෙන් ඇදේ නිදා සිටින මගේ ලඟටම අම්මා උනුවෙන් බත් පිඟානක් බෙදාගෙන ඇවිත් ඇත.


" උනුවෙන් බත්, පරිප්පු මාළු කරවිල ඉව්වා.... බිත්තරයකුත් තියෙනවා ....ඉක්මනට බත් කාලා දරුවට කිරි දෙන්න. ... කරවිල කෑවාම , බබාට දෙන්න හොදට කිරි එරෙනවා...."


"මෙන්න චතු බබා නැගිටලා අඬනවා...ඔයාට කෑම කන්න වෙන්නේ නෑ..., බබාට කිරි ටිකක් දීලා ඉන්න...."


"මම කෑම කන්න ගන්නකොටමයි මෙයා හැමදාම අඬන්නේ...."


"චූටි දුව මම ඔයාටයි අංජුටයි රෑට කන්නත් කෑම හැදුවා....මම ඉක්මනට ගෙදර ගිහින් තාත්තට කන්න කෑම හදලා ආපහු රෑවෙන්න ඉස්සර එන්නම්....අංජු ඉන්නවානේ ඔයාගේ තනියට ...."


"ඔව් අම්මා ගෙදර ගිහින් තාත්තා ගැන බලලා එන්න...."


"මම ආපහු එනකොට කොහොඹ කොළ ටිකක් ගේන්නම් හෙට ඔයාට තම්බලා නාන්න ගන්න. අංජු....ඔයා දුවව තනි කරන්න එපා, මම ගෙදර ගිහින් එනකම්...." අම්මා මගේ හා චූටි දුවගේ වැඩ කර ඇගේ ගෙදර දුවනේ තාත්තා ගැන බැලිමටය.


කාලය ගෙවි ගියේ එලෙසය.


අපේ දරුවා රෝහලේ සිට ගෙදර ගෙනා දින සිට දරුවා බලාගන්න, කෑම හදන්න, ගෙදර අස්පස් කරන වැඩ, දරුවා නාවන වැඩ හැම දෙයක්ම කරන අම්මා , ඇගේ ගෙදර ගොස් තාත්තාගෙ වැඩ ද කර ආපහු එන්නේ කිසිම දවසක බැරි අමාරුකමක් කරදරයක්, නොකියාමය.



-නැවත හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

7 views1 comment

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

1 Comment


Lakmini Jayanetti Perera
Lakmini Jayanetti Perera
Apr 27, 2022

අනේ හරිම සංවේදී කොටසක්, මට කඳුලුත් ආවා කියවනකොට❤️ අනේ ඉතින් අම්මලා පුලුවන් හැම දේම දරුවන් වෙනුවෙන් කරනවා🙏

අනිවාර්යයෙන්ම ඔයාගේ දුවලා මේ කතාව නං කියවිය යුතුම😍

Like
bottom of page