top of page
  • Writer's picturePrisila Godahewa

🌹නොනිමි ගමන🌹

🌹 නොනිමි ගමන 🌹

(18 වෙනි කොටස )

අංජු රට ඉදන් ආපහු ලංකාවට එනදා, මම ඔහුව එක්ක එන්න ගුවන් තොටුපොළට ගියේ , මගේ අක්කගෙ සැමියා හා මංජු සමඟයි.


අංජු ගුවන් තොටුපොළට එන විට එළිවෙන්න කිට්ටු වි තිබුනි. රට ගොස් සුමාන දෙකකට පසු ලංකාවට එනවිට, අංජු හොඳටම කෙට්ටු වි සිටිනවා දැක මට ඇතිවුනේ ලොකු දුකක්...ඒ පහුගිය දිනවල ඔහුට ලංකාවේ විදිහට හරියට කන්න බොන්න නොතිබුණු නිසා බව මට තේරුම් ගියාය. ඔහුගෙ කට වටේ හම ගිහිල්ලා සුදු වෙලා තිබුනේ සීතල ඉවසගන්න බැරුව වෙන්නැති.


‘‘මට ඔයා ගැන හරිම දුකයි අංජු.’’


‘‘අපි කොහොමහරි ආයෙත් ගොඩ එම චතු....දුක් වෙන්න එපා. අපට වයස, තියෙනවා. අපි අපේ අනාගතය හොඳ විදිහට හදා ගමු."


ඔහුගෙ තිබෙන ආත්ම ශක්තිය, නොසැලෙන ගුණය ගැන මට ඇතිවුනේ ලොකු සතුටුක්, ආඩම්බරයක්....


‘‘ ඔයා ඔෆිස් එකට නොකියා රට ගිය නිසා, ඔයාගෙ වාහනය ඔෆිස් එකෙන් ඇවිත් අරගෙන ගියානේ....’’


‘‘මට ආරංචි වුණා.... මං රස්සාවකට රට ගිය කතාව ඔෆිස් එකේ කවුරු හරි ලොක්කන්ට කියන්න ඇති. මිනිස්සු අපි හිතන තරම් හොඳ අය නෙමේ චතු...අපේ ලඟින්ම ඉන්න යාළුවො උනත් විශ්වාස කරන්න බෑ...... එක්කෙනෙක් දියුණු වෙනවට තව කෙනෙක් ඉරිසියයි.’’


‘‘ඔයාගෙ වාහනය විතරක් නෙමේ, ඔයාගෙ රස්සාවත් දැන් නෑනේ.... ඔයාව රස්සාවෙන් අයින් කරා කිව්වා.....’’


‘‘මම වෙන රස්සාවක් හොයා ගන්නම්..... මට මගේ ෆීල්ඩ් එකේ ඒක්ස්පීරියන්ස් තියෙන නිසා වෙන ජොබ් එකක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ. තාත්තා දන්න කියන තැන්වලටත්, පත්තරවල තියෙන ‘ජොබ්’වලටත් ඇප්ලිකේෂන් දාන්න හොයල දෙන්නම් කිව්වා. තාත්තට දුකයි මගේ රස්සාව, වාහනය නැති උන එක ගැන..."


අපි විවාහ උන මුල් කාලයේ මෝටර් බයිසිකලයේ වැඩට ගිය අංජුට, ඉන්පසු රැකියා ස්තානයේ උසස් වීම නිසා ලැබුණු අලූත් වාහනය නැති වී යාම අප දෙදෙනාට ඇතිවි තිබුනේ, කියාගන්නට බැරි තරම් දුකක් වගේම පාඩුවක්. අපට දැන් යන්නට එන්නට වාහනයක් නැති කම විශාල අඩුපාඩුවක් වි ඇත. අපි කුලියට ගත්ත ගෙය අපි ආයෙත් ගේ අයිති කාරයාටම බාර දුන් නිසා දැන් අපට ඉන්නට අපේ කියන්න තැනක් නැත. රට යන්න ඉස්සර අපේ ගෙදර බඩු පරිස්සමට අය්යලාගේ ගෙදර හා තව දාපු දාපු තැන් වලය. අපි දෙන්නාට දැන්, රැකියාව ,ඉන්න තැන, සල්ලි භාගේ සියල්ල නැති වි පාරට වැටුන ගානක් මට දැනෙන්න පටන් ගෙන ඇත. හිතට ඇතිවන්නේ කියා ගන්න බැරි දුකකි.... ඒ ගැන සිහිපත් වෙනවිට මම අංජුට හොරෙන් කදුළු සලපු වාරද තිබින.


"දැන් අපි මොකද කරන්නේ....? ඔයාගෙ රස්සාව, වාහනය නැති උන වගේම ,අලුත් ගෙයක් කුළියට ගන්න සල්ලිත් අතේ නෑනේ....."


"අපි ටික දවසක් අපේ මහ ගෙදර යමු....ටික දවසක් ඔයගොල්ලන්ගෙ අක්කලාගේ ගෙදරත් ඉන්න පුලුවන් නේ....."


"ඔව්...ටික දවසක් නම් ඉන්න පුලුවන් වෙයි ....ඒත් දිගටම නම් බෑ...කුළී කාමරයක හිටියත් මම , කැමති නෑ අම්මලා තාත්තලා, නෑදෑයෝ එක්ක එකට ඉන්න..."


" ඔයා වගේම තමයි මමත් , මාත් කැමති නෑ හවුලේ ඉන්න. මට ජොබ් එකක් හම්බුන ගමන් අපි වෙන කූළී ගෙයක් හොයාගෙන යමු. එතකම් අපේ මහ ගෙදර අම්මලා එක්ක ඉමු...."


"ඔයගොල්ලන්ගේ ලොකු අය්යලත් ඒ ගෙදර, මම්මයි පප්පයි විතරක් නෙමේ, ආච්චිත් ඒ ගෙදර නිසා මට නම් එහේ ඉන්න කැමතිම නෑ ..."


"අපි මාරුවෙන් මාරුවට ඔයගොල්ලන්ගෙ අක්කලාගේ ගෙදරත් ගිහින් ඉමු..."


අවසානයේ අංජු රට ගොස් ඇවිත් සුමාන දෙකක් යන කම් අපට, අංජුගෙ මහ ගෙදරයි, අපේ අක්කලාගෙ ගෙදරයි මාරුවෙන් මාරුවට ඉන්නට සිදු විය. ඒ ගෙවල් වල හිටිය සුමාන දෙක තමයි මම කසාඳ බැන්දට පස්සේ අමාරුවෙන්ම හිටිය සුමාන දෙක කියා මට සිතේ...ඒ නිතරම නිදහස අගය කල මට, අංජු සමග තනි නිවසක තනිව ජීවත් වෙන්නයි ඕන උනේ..... ඒ මම අංජු ඇරෙන්න වෙන අයත් එක්ක එක ගෙදර ඉන්න අකමැති නිසා.


‘‘ මට මෙහෙම අම්මලා එක්ක එකට ඉන්න බෑ අංජු..... අපි ගෙයක් කුළියට හොයාගෙන යමු.’’


"මේ ගෙදර ඕන තරම් ඉඩ තියෙනවා නේ, අපි තව ටික දවසක් මෙහෙම ඉමු චතු...."


අංජුට නම් එයාගෙ ගෙදර මම්මා පප්පා දෙන දෙයක් කාලා, ඉන්න පුළුවන් උනාට ..... මට එහෙම ඉන්න කැමැත්තක් ඇති නොවිය. ඒ වනවිට අංජුගෙ ලොකු අයියත් කසාඳ බැඳලා එයාගෙ නෝනත් එක්ක ඒ ගෙදර නැවතිලා උන්නේ.... ඒ අතර පොඩි අයියා එයාගෙ මඟුල් ගෙදරට ලෑස්ති වෙනවා. ඒ මදිවට අංජුගෙ ආච්චිත් එහේ නැවතිලා. අපි දෙන්නයි ඔක්කොම අට දෙනෙක් ඒගෙදර නැවතිලා හිටියා. මහ ගෙදර උයන්න වැඩයි, ගෙවල් අස් කරන වැඩයු, මටයි ලොකු අයියගෙ නෝනටයි භාර වුණා. අංජුගෙ අම්මා වගේම ආච්චිටත් හැම වැඩක්ම ඕනෑවටත් වඩා පිලිවෙලට ඕනේ....අංජුගෙ අය්යගෙ වයිෆ් වගේම මමත් දෙන්නම වැඩි වයසක අය නොඋන නිසා,අපට ගෙදර වැඩත් ඒ තරම් හොදට කර ගන්නට බැරි නිසා, පොඞ්ඩ බැරි වෙනකොට අපි දෙන්නටම නැන්දම්මගෙන් බැනුම් අහන්නත් සිදු උනා..... ඒ මදිවට ආච්චිත් ඒවට උල්පන්දම් දෙනවා. මං හිටියෙ මෙතනින් කොහොමද පැන ගන්නේ කියලා හිත හිතාමයි.


‘‘පොඩි අක්කලාගෙ ගම්පහ අලුත් ගෙදර වහල දාලා තියෙන්නෙ කිව්වා.... අපි එහේ පදිංචියට යමු.....මුලින් කුලියක් දෙන්න ඕන නෑ. රස්සාවක් හම්බවුණාට පස්සෙ අපි ගෙවල් කුළී ගෙවමු.’’


‘‘ඒ ගෙදරට තවම වතුර ටැප් නෑනේ.’’


‘‘අපි ගිහිල්ලා වතුර ටැප් හදා ගමු.... මට නම් තවත් මෙහේ ඉන්න බෑ.....’’


මම අංජුට තදිනම කිව්වෙමි. ඒ තරමට හවුලේ මහ ගෙදර ඉන්න එක මට එපාවි තිබුන නිසා.


"එහෙනම් මේ බදාදට අපි ගම්පහ ඉහළයාගොඩ ගෙදර පදිංචියට යමු "

අංජු රට යන්න ඉස්සර, තැන් තැන්වල පර්ස්සමට තියා තිබුණු අපේ ගෙදර බඩුත් පටවගෙන, ලොරියකින් ගම්පහ පදිංචියට යන්න පිටත් උනෙමු. අපි ගියේ අපේ තනියට අපේ අම්මවත් අඬ ගසාගෙනයි. අපි දෙදෙනාට ඒ කාලයේ උදව්වට හිටි එකම කෙනා මගේ අම්මා විතරමයි..... මට අසනීපයක් උනත් ,කරදරයක් උනත් අපි දෙන්නව බලන්න දුවගෙන එන්නේ අපේ අම්මා විතරමයි. අම්මයි, අංජුයි මාත් එක්ක ලොරියේ අපේ ‘කැස්ප’ බල්ලත් ඒ ගමනට එක්වි සිටියේය. වාහනයක ගමන් ගොස් නොතිබුන ඔහු මඟ දිගටම වමනෙ දාමින් යන්න පටන් ගත්තාය. ඒ වන විට අපේ ගෙදර හිටිය අනිත් බල්ලා අපි ඕවිටේ හිටිය තැඹිලි විකුණන ගෑණු කෙනාට බලාගන්නට භාර දී තිබීම ලේසි විය.


කොළඹින් ටිකක් ඈත ගමක් උන, ගම්පහ ඉහළ යාගොඩ ගෙදර ,කාමර දෙකක්, සාලයක් කුස්සියක් සහිත පොඩි ලස්සන අලුත් ගෙයක් විය. එය අපේ පොඩි අක්කලා ආයෝජනයන් ලෙස ඇරන් දා තිබුන ගෙයකි.


ගම්පහ ඉහලයාගොඩ ගොඩක් ගැමි සුන්දරත්වය තිබුණු ප‍්‍රදේශයක්. ඒවනවිට ඒ ගෙට වතුර ටැප් ඇරන් තිබුණෙ නෑ. අපි ගෙට ගෙවදි සුමානයක් ඇතුලත ගෙට වතුර ගන්න, පයිප්ප දාන වැඬේට අංජු ගොඩක් මහන්සි වුණා. ඒ වෙනකම් අපි දෙන්නාට ඒ දවස්වල ලිදෙන් වතුර ඇඳන් තමයි නාන්න අනෙක් වැඩට වතුර ගන්න උනේ. ගෙදර ඇතුලෙම නාන කාමරේ නාලා පුරුදු මම ,ඒ දිනවල දවල්ට ලිඳ ලඟ නාන එක නැවත් විය. ඒ වටපිටාවේ ඉන්න ගමේ මිනිස්සුන්ට පෙනෙියි කියන බයට. කොළඹ හැදුන මට, ඇරැව්වල ගමේ හිටිය පොඩිකාලේ ලිඳෙන් නාලා පුරුදු උනත්, විවාහ උන පසු, කාලෙකට පස්සෙ ලිඳෙන් වතුර ඇඳන් නාන්න වුණ එක ටිකක් අපහසු විය. සුමානයකින් විතර අපිට වතුර කරාම ගෙට ගන්න වැඩේ ඉවර වෙන තෙක්, එසේ එලියේ ලිඳෙන් වතුර ඇද වැඩකටයුතු කරගන්නට සිදු විය.


‘‘ අපි දෙන්නට දැන් ඉන්න තැන හරිනේ....මම දැන් මට රස්සාවක් ඉක්මනට හොයාගන්න ඕනේ. පහුගිය දවස්වල ඉන්ටර්විව් දෙක තුනකටම ගියත් ඒවා හරි ගියේ නෑනේ....සමහර තැන්වල මගේ කොලිෆිකේශන් වලට දෙන්න ජොබ් එකක් නෑ කිව්වා..... ලොකු පඩියකට ඒ අය ජොබ් දෙන්න කැමති නෑ.... මං ආයෙත් මගෙ පරණ ඔෆිස් එකටම ගිහිල්ලා කතා කරල බලනවා ...පහුගිය කාලේ මම ගොඩක් උනන්දුවෙන් වැඩකරලා ආයතනයට බිස්නස් ගෙනාපු කෙනෙක් නිසා, ඒගොල්ලන්ට මාව එහෙම එක පාරටම එලියට දාන්න බෑ.... .’’


‘‘ ඔව් ඒක හොදයි ,ඔයා ගිහින් කතා කරලා බලන්න ....ඔයා කොහොමද දැන් කඩුවෙල පරණ ඔෆිස් එකට යන්නෙ. දැන් කාරෙක වගේම බයිසිකලෙත් නෑනේ.....’’

‘‘මං කෝච්චියෙන් යන්නම්.’’


"මට දුකයි ඔයා ගැන, කොයිතරම් ලොකු ජොබ් එකක් කරපු කෙනෙක්ද ඔයා.....දැන් වාහනේ නැතුව බස්වල ,කෝච්චි වල යන්න වෙලා...."


"එහෙම තමයි මිනිස්සුන්ට නරක කාල ආවහම , අපි බලමු කොහොම හරි ඉස්සර හිටිය තැනට එන්න.


‘‘අම්මා වියදමට දීපු සල්ලි තව ටිකයි ඉතුරු වෙලා තියෙන්නේ .....ගෙදරට උයන පිහන බඩු ගන්නත් ඕනේ, අපි පරිස්සමට ඒ සල්ලි ටික වියදම් කරමු..."


"අද හවසට බස්සෙකේ ගම්පහ මාකට් එකට ගිහින් ගෙදරට ඕන කරන බඩු ටික ගේමුද?’’


‘‘ඔව්, හවසට ගිහාම මාකට් එකේ බඩු ලාභයි.... අතේ සල්ලි හිඟ නිසා පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ...අපි සුමානයකට ඇතිවෙන්න බඩු මාකට් එකෙන් ගේමු....’’


"ඉස්සර වගේ අමතර බඩු මුකුත් ගන්න වෙන්නේ නෑ...."


"ඒකට කමක් නෑ, අපි පරිස්සමට ජීවත් වෙමු, ආයෙත් ඔයාගේ ජොබ් එක හරියන කම්..."


‘‘මට හෙටත් ඉන්ටවිව් එකක් තියෙනවා. මං හෙට දවල්ට කොළඹ යන්න ඕනේ.’’


‘‘කෝච්චියෙ යන්න ගානට වගේ දැ සල්ලි තියෙන්නෙ.... ඔයා ඒ ගිහින් එන කොට සුදු අයියගෙන්වත් කීයක් හරි ඉල්ල ගෙන එන්න.’’


‘‘බලමු, මං ගිහින් අහල බලන්නම්.’’


‘‘මගේ මඟුල් මාලේ උගස් තියලා අපි කීයක් හරි වියදමට ගමු ද?’’


"ඔයාගෙ මඟුල් මාලෙද?’’


‘‘ඔව්... ඒකයි මගේ රත්තරං වලලුයි...ඒවා නිකං පෙට්ටියෙ දාගෙන තියන් ඉන්න එකනේ..... ඒක තියලා වියදමට සල්ලි ගමු. පස්සෙ බැරියැ බේරගන්න....’’


"මම නම් එහෙම කරන්න කැමති නෑ ....."


"ඒකට කමක් නෑ අංජු ....මම රත්තරං බඩු නිතර දාන්නෙත් නෑනේ , ගේ ඇතුලේ ඒවා තියන් ඉන්න එකේ අපු ඒවා උගස් කරලා වියදමට සල්ලි හොයා ගමු...."


අවසානයේ මගේ මඟුල් මාලෙයි, වළලූ දෙකකුයි උගස් තියලා අපට ටික දවසක් යනකම් අපේ ගෙදර වියදම යන්තම් මඟ හරවා ගන්නට හැකි විය.

අංජු නිතර ම පත්තර බලලා රස්සාවල් හොය හොයා ඇප්ලිකේෂන් දැම්මා වගේම අංජුගේ තාත්තත් ඒවට උදව් කරේ අංජු ගැන තිබුන කළකිරිමෙන්‍ .....


අපේ අම්මත් ඉඳ හිට ගම්පහ ගෙදර ඇවිත් හාල්, පොල්, තුනපහ ගන්නට මට සල්ලි දීලා යන්නත් අමතක කලේ නෑ. ඇය කවදත් අපි දෙන්නගෙ උදව්වට හිටිය එකම කෙනා විය.....


මාකුඹුරේ අංජුගෙ ගෙදර ගිය දවසට අංජුගෙ අම්මත්, අපට ගෙදර ගෙනියන්න තුනපහ කිරිපිටි සීනි රැගෙන දෙන්නට විය . අපි දෙන්නා කසාඳ බැදලා අවුරුදු දෙකක් යන කල වැට් සිටි අමාරු තත්ත්වය ගැන ගෙවල් දෙකේම අම්මලාට ඇතිවි තිබුනෙ දුකක් බව අපටත් වැටහි තිබුනි. අපි දෙන්නා කෙසේ හෝ යන්තම් ජීවිතය ගැට ගහ ගෙන ඉදිරියටම ගියෙමු .


අපි දෙන්නාගේ ගමනාගමනය දැන් බස්වල, කෝචිචිවලම විය. කෝචිචියෙ යන දවසට ගානට ටිකට් එකට සල්ලි හොයා ගෙන තමයි අපි දෙන්නා අම්මලා තාත්තලා බලන්න කොලබ යන්නෙත්.... එනකොට ඒ කවුරු හරි අපට වියදමට කීයක්හරි දෙනබව අපි දැනන් උන්නෙමු. අපි දෙදෙනා කවදත් තනියම ජීවත් වෙන්න කැමති දෙන්නෙක් බව පවුලේ හැමෝම දන්නා දෙයකි. එබැවින් තියෙන විදිහට අපි දෙන්නට පිරිමහ ගෙන ජීවත් වන්නට ඔවුන් ඉඩදි බලාන උන්නේය.


යන්න එන්න වාහනය නැති උන පසු, අපි අම්මලා බලන්න ඔවුන්ගේ ගෙවල් වලට යන්නේ

කෝච්චියෙනි. ඒ යන එන ගමන් ගම්පහ දුම්‍ රිය ස්තානයෙන් හෝ කොළඹ දුම් රිය ස්තානයෙන් අපි දෙන්නා රු. 2/= රටකජු ඇරන් කකා යන්නේ හරි ආසාවෙන් වගේම වෙන කරන්න දෙයක් නැති කමට..... සෙනඟ තෙරපුන කෝච්චියට නැග්ග ගමන් අංජු මට කොහොම කරල හරි වාඩිවෙන්න ආසනයක් හොයල දෙන්න උත්සහ ගන්නේය. සමහර දවසට අපි දෙන්නටම ගම්පහට එනකම් හිටගෙන එන්න වෙන වේලාවලූත් ඇත. එකල ස්ටේෂන් එකේ සිටින හිඟන මිනිසුන් දැක්ක කලට අපි අහක බලා ගන්නෙමු. ඒ...ඒ අයට දෙන්නවත් අපට සල්ලි අතේ නැති නිසාය.. අපේ දුශ්කර කාලය ගෙවුණේ එසෙය.


‘‘මට ආයෙත් පරණ කම්පැණි එකෙන්ම රස්සාවට එන්න කිව්වා. හැබැයි ආයෙත් බයිසිකලයක් තමයි දෙන්නෙ.... මගේ අවුරුදු 2ක සර්විස් එකත් කැඩිලා අලූත් කෙනෙක් විදිහට තමයි මාව වැඩට ගන්න ඒගොල්ලෝ කැමති උනේ.... .’’


‘‘ ඒත් කමක් නෑ.... එකත් ලොකු දෙයක්....ඔයාට පරණ තැනම ජොබ් එක මාස පහකට පස්සෙ හරි ආයෙත් හම්බවුන එක...පහුගිය කාලේ අපි දෙන්නා කොච්චර අමාරු කාලයක්ද ගත කලේ.... ’’


"ඒ උනාට අපි දෙන්නා පහුගිය කාලේ මේ ගෙදර වත්තේ එළවළු වගා කරගෙන තියෙන විදිහට කාලා බීලා සතුටින් හිටියනේ....ඒ විතරක්ද ඔයා 1996 ලංකාවේ වර්ල්ඩ් කප් මැච් එක නිදහසේ ගෙදරට වෙලා ඉදගෙන TV එකේ හොදට බැලුවනේ ...වැඩට ගියා නම් ඔයාට ඒවා බලන්න වෙන්නෙත් නෑනේ... "


"ඒක ඇත්ත කොච්චර අමාරු කාලයක් උනත් අපි දෙන්නා අම්මලාගේ ගෙවල් වල නැවතිලා ඒගොල්ලන්ට කරදර කලේ නෑනේ.....අපි නිදහසේ ජීවත් උනානේ.... "


"මට ආයෙත් පරණ කම්පැණි එකේම වැඩට යන්න ලැබෙන එක මට සතුටක් ..."


"ඔයාගෙ කම්පැණි එකට ඔයාව ආයෙත් ඕනේ..., ඔයාගේ වැඩ හොද නිසා,..... ඒකයි ඒගොල්ලෝ ආයෙත් ඔයාව ගත්තේ...."


‘‘ ඔයා දන්නවද පහුගිය දවස්වල මං බස් එකේ ඔෆිස් ගිය දවස්වල......,ආයෙත් ජොබ් එක ගන්න කියලා ඔෆිස් ගිය දවස්වල, මගේ පරණ යාලුවොත් කවුරුත් මාව හරියට ගණන් ගත්තෙත් නෑනේ.....හරියට කතා කලෙත් නෑ. මට හරියට දුක හිතුනා ඒ ගැන.... කොම්පැනි එකේ ලොක්කෝ ඔක්කොම දන්නවා මම තමයි කම්පැනි එකට වැඩියම බිස්නස් ගේන්නේ කියලා, ඒකයි මාව ආයෙත් වැඩට ගත්තේ….."


‘‘කමක් නෑ, දුක්වෙන්න එපා. ඔයාටත් දවසක් එයි....ඔයා හොදට අවංකව වැඩ කරලා තිබුන නිසානේ ඒගොල්ලෝ ආයෙත් ඔයාව එතන වැඩට ගත්තේ.....’’

"හැබැයි මට දුකයි , ආයෙත් බයිසිකලේ වැඩට යන්න උන එක...."


අංජු ආයෙත් බයිසිකලේ රස්සාවට යන්න පටන් ගැනීම මට දුකක් විය. මාස ගානක් මාත් එක්කම ගෙදර හිටිය අංජු ආයෙත් වැඩට යන්න පටන් ගත් විට මට ඇතිවුනේ පාළුවක්.....


ඒත් ඔහු වැඩට ගොස් නැවත ගෙදර එනකම් මම ගෙදර වත්තේ එළවලූ වගා කර ඒවාට සාත්තු කරන්න පටන් ගත්තෙමි. ගෙදර වත්ත වටේටම බණ්ඩක්කා, වම්බටු, මෑ කරල්, මුකුණුවැන්නා වැනිදෑ සිටවා සතුටු උනෙමි. එයින් ලැබෙන පළදවෙන් අපට ගෙදර කෑමට ගන්න අලූත් එළවලූ ලැබුනේය. මගේ පාළුව මඟ හැරි ගියාය.


දවල් දවසට මගේ පාළුව යන්න "කැස්ප" නම් අංජුගෙ බල්ලත් ගෙදර සිටියේය. දවල් දවසේ වත්තේ වැඩ කරන මම ,හවස් වෙන විට , අපට රෑට කන්න කෑම හදා ඉවර කර, අංජු වැඩ ඇරි ගෙදර එනකම් පාරට වි බලා ඉන්නෙමි .


-නැවත හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

4 views1 comment

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

1 Comment


Lakmini Jayanetti Perera
Lakmini Jayanetti Perera
Apr 19, 2022

ඇත්තමයි, ඔය දෙන්නා මේ ඇවිත් තියෙන, සාර්ථක දිවි ගමන, හරිම ආදර්ශමත් 🙏👍

Like
bottom of page