top of page
  • Writer's picturePrisila Godahewa

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹

( 17 වෙනි කොටස)


අංජුගෙ කාර්‍යාලයේ වැඩ රාජකාරි අධික වීමත් ,අංජුගෙ හිතේ තිබුන අවිවේකි ගතිය හා රැකියාව ගැන තිබුන අකමැත්ත උඩත්, වැඩිපුර එකපාර මුදල් හම්බ කිරිමේ ආසාවත්, පුලුවන් ඉක්මනින් අපේම කියන්න ගෙයක් දොරක් හදාගන්න තිබුන ආසාවත් නිසා අවසානයේ අංජු රට රැකියාවකට යන්න තීරණය කලේය.


අපි දෙදෙනාගේම කැමැත්තෙන් අංජු රට රැකියාවට යන්න තීරණය කලාට පසු , වැඩි දවසක් නොයාම අප දෙදෙනා විසින් ගොස්, නිහාල් අය්යා හඳුන්වා දුන් ඔහුගේ මිතුරා හමු විය. මිනිසුන් රට රැකියාව සඳහා අරින ඒජන්සියක් තිබුන ඔහු මුණ ගැසෙන්න අංජුත් මමත් ගියේ, හිතේ කප්පරක් බලාපොරොත්තු රඳවාගෙනය.


"ඔයාගේ තිබෙන " කොලිෆිකේශන් " බැලුවම රට රැකියාවක් හොයාගන්න හරි අමාරුයි. ඒ රටවල ඔෆිස් එකක ...ඒ කියන්නේ පරිඝණක අංශයේ රැකියාවක් නේ ඔයා හොයන්නේ....ඔයා ගොඩක් දුරට ඒ පැත්තෙන් ඉගෙන ගත්ත කෙනෙක් නිසා, ඔයාට සුළු රැකියා කරන්න පුලුවන් කමකුත් නෑනේ ...."


"ඔව් මට පරිඝණක අංශයෙ රැකියාවක් තමයි හරියන්නේ.....දැනට මම මගේ කාර්‍යාලයේ හොද පොසිශන් එකක ඉන්නේ....ඒ උනාට එතන නිදහසක් ඇත්තෙම නෑ...කොච්චර කලත් හොදක් අහන්නත් අමාරුයි ....මට ඕනේ ඉක්මනට සල්ලි ටිකක් හොයාගෙන ඇවිත් මගේම බිස්නස් එකක් පටන් ගන්න. වැඩි පඩියකට මුලින් අවුරුදු දෙකක් රට ඉදලා ආවානම් මට ඇති..."


"එහෙනම් අපි මෙහෙම කරමු....මම මගේ ජපානයේ ඉන්න යාලුවො දෙන්නෙක් ඔයාට අඳුන්නලා දෙන්නම්. ඔයා ඒ රටට ගිහින් ඒ අයගේ ගෙදරක නැවතිලා ඉන්න ගමන්, ඒ රටේ තියෙන ජොබ් වලට ඇප්ලිකේෂන් දාලා ජොබ් එකක් හොයාගන්න බලන්න . මගෙ යාලුවොත් ඔයාට උදව් කරයි. ඔයා මොකද කියන්නේ. ඔයාට මාසයකට වීසා හම්බවෙනවානේ, ඔයා මුලින් එහේට ගිහින් ජොබ් එකක් හොයා ගන්න බලන්න . "


"ඔව් එහෙනම් එහෙමවත් කරමු. මෙහෙ ඉදන් ජොබ් හොයාගන්න අමාරු වෙයිනේ...."


නිහාල් අය්යා අපිට අඳුනලා දුන්න කෙනා, ඔහුගෙ යාලුවො දෙන්නෙක්ව අංජුට අඳුන්නලා දුන්නේය. ඒ එක්කම ජපන් රටට යන්න ගුවන් ටිකට් පතත් හදාගෙන ජපානෙට යන්න ලෑස්ති වෙන්නද කිව්වේය. අංජු ජපානයට ගොස්, එහි නැවති හිඳ ගෙන ජොබ් එකක් හොයා ගන්න අදහස තමයි අවසානයේ තීරණය උනේ. ඒ වැඩය අංජුට කරන්න අමාරුම වැඩක් උනත් අංජු අවසානයේ එයට කැමති විය.


‘‘එහේ ගිහින් රස්සාවක් හොයා ගන්න එක තමයි නේද කරන්න තියෙන අමාරු වැඩේ... ’’


‘‘මාසයකට වීසා හම්බ වෙනවනේ ගිහින් රස්සාවක් හොයාගන්න බැරි වෙන එකකුත් නෑ....’’


‘‘ ජපානයට යන ගුවන් ටිකට් එකට, එතකොට ඔයාගේ වියදමට ලොකු මුදලක් යනවා නේද ?.... වියදමට අතේ සල්ලිත් තියාගන්න එපැයි ... "


"අර ජපානේ ඉන්න යාළුවෙක්ගෙ ගෙදර නේද ඔයාට මාසේම ඉන්න වෙන්නෙ..."


"ඔව්...හෝටල් වල ඉන්න සල්ලි ගොඩක් නෑනේ ..."


"ඔයාට කෑමට, එහෙ මෙහෙ යන්නත් සල්ලි ගොඩක් ඕන වෙයි "


"අපි ඉඩමක් ගන්න ඇරන් තියාගෙන ඉන්න සල්ලි ටික මේ වැඩේට ගමු....රට ගිහිල්ලා සල්ලි හොයා ගත්තට පස්සේ බැරියැ අපට ඉඩමක් ඇරන් හොද ගෙයක් හදාගෙන සතුටින් ඉන්න "


"ඔව්....ඒක ඇත්ත. අපි එහෙනම් එහෙම කරමු. "


අවසානයේ අපි ඉතිරි කර ගෙන සිටිය මුදල් ටික, අංජු ජපන් රටට යන්න, ගුවන් ටිකට් පත ගන්නට වියදම් කෙරුවෙමු .


ඒ මුදල් වලින් ගුවන් ටිකට් පත මිලදී ගත්තට පසු , ඔහුගෙ වියදමට අතේ තියාගන්න මුදල් මදි විය. අවසානයේ අපි අපේ ලොකු අක්කලාගෙන් අංජුගේ වියදමට අතේ තියාගන්න සල්ලි ටිකක්ද ඉල්ල ගත්තෙමු ’’


‘‘ අපි දැන් ඉන්න මේ කුලීගෙට මොකද කරන්නේ....? මට තනියම මේ ගෙදර ඉන්න බෑනේ ’’


‘‘අපි ආයෙත් මේගේ අයිතිකාරයට බාරදෙමු.’’


‘‘ඔයා යන ගමන ස්ථිර වුණාට....ඔයාට එහෙ කරන්න තියෙන රස්සාව ස්ථිර නෑනේ...එතන තමයි අවදානම තියෙන්නේ ....’’


‘‘එන විදිහකට අපි මූණ දෙමු. අපි අපේ ගෙදර බඩු අපේ අයියලාගෙ ගෙදරට ගිහින් දාමු....ඒගොල්ලන්ගෙ ගෙදර ගොඩක් ලොකුයිනේ. "


"ඔයා රට ගිහින් එනකම් මම අපේ අක්කලාගෙ ගෙදර ඉන්නම්. "


" ඔව් ...මම ඔයාව, මම ඉන්න තැනකට ගන්නකම් ඔයා අක්කලාගෙ ගෙදර ඉන්න. අපි ඔයාගෙ පාස්පෝට් එකත් හදලනේ තියෙන්නේ ....ඒ නිසා ඒක ලේසියි..."


‘‘එතකොට ඔයා ඔෆිස් එකෙන් අස්වෙලා ද රට යන්නේ.’’


‘‘නෑ... රට රැකියාව වැඬේ ස්ථිර නෑනේ. ...ඒ නිසා මම මුලින් එහෙ ගිහින් බලලා ජොබ් එකක් හම්බ වුණාට පස්සෙ අස්වෙනවා. සුමාන දෙකකට ඔෆිස් එකෙන් නිවාඩු දාලා රට යනවා.’’


"ඔව්...ඒ වැඩේ නම් හොදයි . ජොබ් එක,සෙට් උනොත් ඔයාට මාවත් එහෙට ගන්න පුලුවන් . බැරි උනොත් ආයෙත් ලංකාවට ඇවිත් පරණ ජොබ් එකටම යන්න පුලුවන් උත්සහ කරලා බලන්න එපෑ, දියුණු වෙන්න පුලුවන් විදිහක් . "


අංජු රට යන වැඬේත්, එහේ ජොබ් එකක් හොයාගන්න වැඩෙත් එයාගේ ඔෆිස් එකේ ලඟම හිටි යාළුවාට විතරයි අංජු කියලා තිබුනේ. ඒ කාර්‍යාලයට ඒ බව වේලාසන දැනුම් දෙන්නට විදිහක් නැති නිසා.


"දැන් ඔයා රට යන වැඩේ ඔක්කොම දේවල් ලෑස්තියි නේද ?


"ඔව්...අපේ ගෙදර බඩුත් අපි සුදු අය්යලාගේ ගෙදරට ගිහින් දැම්මනේ....ඔක්කොම දේවල් හරි. අපි අද රෑට අපේ අම්මලාගේ ගෙදර නවතිමු. හෙට මම රට ගියාට පස්සේ, ඔයා ඔයගොල්ලන්ගෙ අක්කලාගේ ගෙදර නවතින්න යන්න. අපේ පප්පයි ලොකු අය්යයි ඔයාව එහේ ගිහින් බස්සවයි. "


"ඒහෙනම් ඔක්කොම හරි..... මට දුකයි ඔයා නැතුව ටික දවසක් තනියම මෙහෙ ඉන්න, වෙන එක "


"අපේ අනාගතය වෙනුවෙන් නේ අපි මේ දේවල් ඔක්කොම කරන්නේ, ඔයා ටිකක් ඉවසගෙන පරිස්සමින් ඉන්නකෝ....මම පුලුවන් ඉක්මනට ඔයාව මම ඉන්න, තැනට ගන්නම්..."


අංජු රට යන දවසට පෙර දින,අපි දෙදෙනා ඔහුගෙ මහ ගෙදර ගොස් නැවතුනෙමු. ඒ වන විට අංජුගෙ ලොකු අය්යා කසාඳ බැඳ සිටිය නිසා, ඔහුගෙ බිරිඳ , අංජුගෙ දෙමව්පියන්ද ඔහුගේ ආච්චිද ඒ ගෙදර නැවති සිටියෝය.


"අපි දැන් හෙට උදේ පාන්දර එයාර්පෝර්ට් යන්න ඕන නේද...? කවුද සනාව එක්ක යන්නේ..."


"පප්පයි, ලොකු අය්යයි ,චතුයි විතරක් ආවාම ඇති. එයාර්පෝර්ට් ගිහින් එන ගමන් චතුව ඒගොල්ලන්ගෙ අක්කලාගේ ගෙදරින් බස්සගෙන එන්නත් ඕනේ. එයාට අක්කලාගේ ගෙදර ඉන්න එක හොදයි ,පාළුවක් දැනෙනෙ එකක් නෑ, අක්කගෙ චූටි දුවත් ඉන්න නිසා. "



උදේ පාන්දර අංජු රට යන ගමනට අපි ගුවන් තොටුපොළ දක්වා ගියේ, අංජුගෙ පප්පයි, ලොකු අයියයි සමඟයි.


අංජු රට යන ගමන මට දුකක් වුණාත්... මම ඇඬුවේම නැත.... ඔහු රට රැකියාවක් බලාපොරොත්තුවෙන් යන්නෙ අපේ අනාගතය ගැන හිතලනේ..... හොඳ වෙලාවට අපි කසාඳ බැඳපු ගමන් දරුවන් හදා ගත්තෙ නැත්තේ..... අපි දෙන්නා විවාහ වෙන්න ඉස්සෙල්ලම, කතා කරගෙන හිටියේ , අපි විවාහ වෙලා පිළිවෙලක් වුණාට පස්සෙම දරුවෙක් හදා ගමු කියන තැනයි. මේ අවස්තාවේ අපට දරුවන් නොසිටිය එක අපට පහසුවක් විය. අපිට ඉන්න අපේම කියන්න ගෙයක් දොරක් නැතුව, අපි පිළිවෙලක් නැතිව ළමයි හැදුවොත් ළමයින්ටත් දුකක් කියලයි අපි දෙන්නා හිතාන උන්නේ.


අංජු රට ගිය දවසේම ඔහුව ගුවන් තොටුපොලේන් බස්සලා , අංජුගෙ තාත්තයි, ලොකු අයියයි මාව අපේ අක්කලාගෙ ගෙදරට බස්සලා යන්න ගියේය. ඔවුන් අපව ගුවන් තොටුපොළ දක්වා ගෙන ගියේ අංජුට කාර්‍යාලයේන් දී තිබුන අලුත් කාර් රතයෙනි. අංජු ආපසු ලංකාවට එනතුරු හෝ, ඔහුට රට රට රැකියාව ලැබෙන තෙක් ඔහුගෙ වාහනය අංජුගෙ මහ ගෙදර තියන්නට කටයුතු යොදවා තිබුනි.

මම වේලාසන මගේ ඇඳුම් අක්කලාගෙ ගෙදර, ගෙන ගොස් තිබුන නිසා මට ගුවන් තොටුපොලේ සිට කෙලින්ම අක්කලාගෙ ගෙදර යන්න පහසු විය .


සියල්ල අවසානයේ අංජු රට රැකියාවක් බලාපොරොත්තුවෙන් ජපානය බලා ගුවන් ගත විය. මම අපේ ලොකු අක්කලාගෙ ගෙදර ගොස් නැවතින. අපේ ගෙදර බඩු අංජුගෙ සුදු අය්යලාගෙ ගෙදරය. අපේ ලඟ සිටි කැස්ප නම් බල්ලා අපේ ගෙවල් ලඟ තිබු ගෙදරකට බලාගන්නට දුන්නෙමු.


"අංජුට ජපානයට යන්න නියමිත චීනය හරහා නේද ?


"ඔව්...එයා මට එහෙට ගිහින් කෝල් කලා..."


"එයාට කොහොමද දැන් ?


"මේ දවස්වල චීනේ ශීත සෘතුවලු, කියන්න බැරි තරම් සීතලයි කිව්වා. එයා වැඩිය,මුකුත් සීතල ඇදුම් ගෙනිච්චෙත් නෑනේ ...පව් එයා සීතලේ ඇති..... එහේ මිනිස්සුන්ට ඉංග්‍රීසි කතා කරන්න බැරි නිසා, කෑම කන්න හෝටලයකට ගියත් අවශ්‍ය දේවල් ඉල්ල ගන්නෙත් හරි අමාරුවෙන්ලු..., අතින් පයින් කිව්වා අවශ්‍ය දේවල් කතා බහ කරගන්නේ.


"දැන් කවද්ද එයා ජපානයට යන්නේ..."


"අද උදේ ෆ්ලයිට් එක ජපානයට යන්න තියෙන්නේ ...ඒ හින්දා අක්කේ මම මේ ලඟ පන්සලට ගිහින් බෝධි පූජාවක් තියලා එන්නම්..."


"මම අය්යට ඔෆිස් ගෙනියන්න උදේම කෑම ඉව්වා.ඔයා බුද්ධ පූජාවට කෑම ටිකක් පන්සලට ගෙනියන්න."


"ඒක හොදයි අක්කා... අංජු රට ගියාට පස්සේ, පහුගිය දවස් ටිකේම මම මේ ලඟ පන්සල් දෙකකට ගිහින් බෝධි පුජා තිබ්බා එයාට ඉක්මනට ඒ රටේ රස්සාවක් හොයා ගන්න පුලුවන් වෙන්න කියලා....එයා එනකම් මට පන්සල් යන්න පුලුවන් එකත් හොදයි "


"නංගි...අංජුගෙ තාත්තා ඔයාට කෝල් කරනවා, බලන්න ඇයි කියලා."


අංජු රට ගිහින් තුන්වන දවසේ.... අංජුගෙ පප්පා කෝල් කරලා කිව් දෙයින් මගේ හිත කළබල විය.


" අංජු පුතා රස්සාවකට රට ගියා කියලා, අංජුගෙ ඔෆිස් එකට ආරංචි වෙලා, අංජුගෙ වාහනය ඔෆිස් එකෙන් ඇවිත් ඇරගෙන ගියානේ..."


අංජු කාර්‍යාලයේන් සුමාන දෙකක නිවාඩුවක් ඇරන් රට ගිහින් දින තුනක් යන්න ඉස්සරම, එයා රැකියාවක් හොයාගෙන රට ගියා කියන ආරංචිය කොහොමද ඔෆිස් එකට ගියේ කියන ප‍්‍රශ්ණය මට ඇති විය.


"හරි වැඩේ උනේ....ඔෆිස් එකට එයා බොරු නිවාඩුවක් දාලා රට ගියේ කියලා ආරංචි උන එක. වාහනේ ඔෆිස් එකෙන් ඇරන් ගියා නම් එයාගේ ජොබ් එකටත් ප්‍රශ්නයක් වෙයි...එන දේකට මූණ දීගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑනේ ..."


අංජු රට ගියාට පසු පුලුවන් හැම දිනකම මට කතා කරන්න අමතක නොකලේය.


‘‘මං දැන් ඉන්නෙ හොංකොංවල.’’


‘‘ඔයාගෙ කෑම කොහොමද?’’


‘‘සල්ලි ඉතිරි කරගන්න ඕන නිසා වැඩිය හොඳ දේවල් කන්නෙ නෑ. කොහොම හරි බඩගිනි නිවාගන්නවා....ඔක්කොටම හපන් මේ සීතල ...හිම මිදෙන්න ඔන්න මෙන්න....’’


මට අංජු ගැන ඇත්තේ කියා ගන්න බැරි දුකක්... ඔහුට හොංකොං, චීනය හරහා තමයි ජපානයට යන්න නියමිතවි තිබුනේ..... ඒ අතරමග, රැකියාවට සම්බන්ධව තව දෙතුන් දෙනෙක් එම රටවලද මුණ ගැසි යන්නට නියම වි තිබුන නිසයි......


චීනේ හිටිය දින ටිකම, සීතල ඔහුට උහුල ගන්න බැරි තරම් බවත් , ඔහු ශීත කබා මොනවත් ගෙනිහින් තිබුණේ නැති නිසා. කමීස දෙකක් ඇඳ, කලිසම් දෙකක්ද ඇඳ කෝට් එක දාගෙන, හෝටලයෙන් එළියට යන බව කිව්වහම මට ඇති උනේ කියා ගන්න බැරි දුකක්....


මට එන්න එන්නම අංජු ගැන ඇතිවන්නේ දුකක්.... අපේ අනාගතේ හොඳ තැනකට ගෙන යන්නටනේ ඔහු මේ තනියම දුක් විඳින්නේ.... මං කියල මොනව කරන්නද.... මං රස්සාවක් කරනවට එයා කැමතිත් නෑ......දෙමව්පියන්ගේ දේවල් ,ඉල්ලන්නත්, භුක්ති විදින්නත් ඔහු කැමති නෑ....එයාට තනි මහන්සියෙන් දියුණු වෙන්නයි ඕනේ.... නැත්නම් ලංකාවේ ඉඳන් අපි දෙන්නටම කීයක් හරි වැඩිපුර හම්බ කරගෙන දියුණු වෙලා ඉන්න තිබුණනේ.....


අංජු ජපානයට යන දිනය උදාවිය...මම එදින උදේ පාන්දර බුද්ධ පූජාව හදාගෙන පන්සල් ගොස් ඔහුට කරදරයක් නැතුව රැකියාවක් හොයා ගන්න අවස්තාව උදාකරගන්නට ලැබේවා කියා බුදුන් වැද ප්‍රර්තනා කලෙමි.


මම පන්සල් ගොස් නැවත ගෙදර ආකල, මට ජපානයේ සිට අංජු ටෙලිෆෝන් කලේ හරි කලබලේන්, දුකෙන් වගෙයි.


‘‘චතු හරි වැඬේනේ..., මම අද උදේ ජපානයට ආවා.... ඒ ඇවිත් අර ඒජන්සි කාරයා දුන්න ටෙලිෆෝන් නොම්බර වලට කතා කලාම.... ඒගොල්ලෝ වැඩි උනන්දුවකින් මාත් එක්ක කතා කලේ නෑනේ .... ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ගෙ ගෙවල් වල නවතින්න ඉඩ නෑ කියලා ....මාව,ඒගොල්ලෝ ලඟ මාසයක් නවත්ත ගන්න බෑ කියලත් කිව්වා. හෝටලයක් නම් නවතින්න හොයලා දෙන්නම් කිව්වා. මගේ කොලිෆිකේශන් වලට ගැලපෙන ජොබ් හොයාගන්නත් අමාරුයි කිව්වා මේ කළබලේ . ....කොටින්ම ඒගොල්ලෝ මාව එක්ක යන්න එයාර්පෝර්ට් එකට එන්නත් බෑ කිව්වනේ...... දැන් ඒගොල්ලෝ ඵෝන් ආන්සර් කරන්නෙත් නෑ.....මං කියල මේ නොදන්න රටේ ඒ අයව හොයාගෙන යන්න දන්නෙත් නෑ..... දැන් මොකද කරන්නෙ....?. මගේ අතේ වැඩිය සල්ලිත් නෑ. හෝටලේක මාසයක් නවතින්න බෑනේ.... රස්සාවක් හම්බ වෙනකම් සල්ලි නැතුව මං මොකද කරන්නේ.....’’


‘‘පුදුම මිනිස්සුනේ...ඒගොල්ලෝ සිංහල අය නේද...?. මට නම් හරිම කේන්තියි ඒ මිනිස්සු එක්ක..... ඔයා ඕවා ඔක්කොම අතඇරලා ලංකාවට එන්න අංජු..... අපි පුළුවන් විදිහට මෙහේ ජීවත් වෙමු...අපි ලේසියෙන් දියුණු වෙන්න පුලුවන්ද කියලා, උත්සහ කරලා බලන්න නේ හැදුවේ....කාත් කවුරුත් නැති රටක නවතින්න තැනක් නැතුව ,හෝටල් වල ඉඳගෙන ඔයාට රස්සාවල් හොයා ගන්න බෑනේ....අතේ සල්ලිත් වැඩිය නැති නිසා ඔයා ආපහු ලංකාවට එන්න....’’


‘‘මං එහෙනම් ලංකාවට එන්නද? අපි හිතන තරම් මිනිස්සු හොඳ නෑ. ලංකාවේ මිනිස්සු ඔහොම තමයි තව කෙනෙක් හැදිලා ඉන්නවට කැමති නෑ...මම හොයන්නේ හොඳ ජොබ් එකක් කියලා දන්න නිසා උදව් කරන්න කැමතිත් නෑ ....”


“ඔයා ඒගොල්ලන්ට කරදරයක් වෙයි කියල වෙන්න ඇති ඔයාව එක්ක යන්න එන්න නැත්තේ....’’


‘‘මං ඒගොල්ලන්ව හරියට අඳුනන්නෙ නැති මිනිස්සුනේ.... ඒ අයට මොනවත් කියන්නත් බෑ. ඒජන්සිය අයිති කාරයාගේ යාළුවෝ විතරනේ ඒගොල්ලෝ ....’’


‘‘ඔයාව එහේ යවපු කෙනාගෙ වැරැද්ද. ඔහොම තමයි ඒජන්සි කාරයෝ.’’


‘‘මං එහෙනම් සිකුරාදට ආපහු ලංකාවට එනවා.... මාව එක්ක යන්න එන්න කියලා නිහාල් අය්යට කියන්න....මගේ වාහනෙත් දැන් ගෙදර නැති නිසා ,පප්පලාට මම එන බව කියන්න ඕන නෑ....මම ඇවිල්ලම විස්තරය ඒගොල්ලන්ට කියන්නම් ’’


අංජුට ජපානේ රස්සාව වත්, නවතින්න තැනක් වත් හම්බුනේ නැති නිසා ඔහු ආපහු ලංකාවට එන බව මම නිහාල් අය්යට කෝල් කර කිව්වෙමි. ඒ වගේම අංජු ලංකාවට එන දවසේ රෑට, ඔහුව එක්ක යන්න එයාර්පෝර්ට් යන්න එන්නද ඔහුට අඬ ගැසුවෙමි.


‘‘අනේ චතුරි මට එදාට කස්ටම් කෙනෙක්ගෙ පාටියකට යන්න තියෙනවා. ඔයා මංජුට කියල බලන්න ඔහු කිව්වේය....’’


කිසිම විදිහට වගකීමෙන් වැඩක් නොකරන ඒජන්සි කාරයෙක් අදුන්වා දුන්න නිහාල් ,අඩු තරමේ අංජුව එක්ක එන්න එයාර්පෝට් යන්න එන ගමනත් මඟ ඇරියම මට ඇතිවුනේ ලොකු දුකක්..... මං කොහොමද දැන් මගේ අංජුව එක්ක එන්න එයාර්පෝට් යන්නෙ මහ රෑ..

අක්කගෙ හස්බන්ඞ් මාත් එක්ක තනියට එයාර්පෝට් යන්න එන්න පොරොන්දු වුණාත් අපට එයාර්පෝර්ට් යන්න වාහනයක් නෑ.....එයාගේ ඔෆිස් එකෙන් දුන්න වාහනයත් ඒ වෙනකොට ඔෆිස් එකෙන් ඇරන් ගිහින් තිබුන නිසා. දැන් මොකක්ද කරන්නේ කියලා මට හිතාගන්න බැරි උනා .


අවසානයේ මම නිහාල්ගේ යාළුවා වන මංජුට එයර්පෝට් යන්න කතා කරන්න හිතා ගත්තෙමි.


අපි බැදපු මුල් කාලේම අපට මුණ ගැසුනු යාළුවො දෙන්නෙක් තමයි නිහාල් හා මංජු. මංජුගෙ නෝනා මාත් එක්ක ගොඩක් ලඟින් ආශ්‍රය කරපු කෙනෙක් නිසා, අපි හැමෝම ගොඩක් එකමුතු කමෙන් සතුටින් එහෙ මෙහෙ ව්නෝද ගමන් ගිය, නිතර ගෙවල් වලට ගිය, එලියේ කෑමට ගිය යාළුවෝ වුන අය....ඒත් අංජු අමාරුවේ වැටුන වෙලේ ඔවුන් අපිව මඟ ඇරල ඉන්න හදන එක මට ඉවසන්න බැරි දුකක් වුණා.


කොහොම හරි අන්තිමේ මංජු අංජුව ගුවන් තොටුපොලේන් ගන්න යන්න ,මාත් එක්ක එන්න පොරොන්දු වීම මගේ හිතට හොද විය. ලොකුඅක්කාගේ සැමියත්, මංජුල සමඟ මම එදින රෑ අංජුව ගුවන් තොටුපොලේන් ගන්නට ගියෙමු.



-නැවත හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

4 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

コメント


bottom of page