top of page
  • Writer's picturePrisila Godahewa

🌹නොනිමි ගමන 🌹

Updated: Apr 11, 2022


(14 වෙනි කොටස)

අපේ විවාහය සිදු වි සුමාන තුනක් ගියකල අප දෙදෙනා විසින් රතුපාට ලාස්නර් 7 ශ‍්‍රී 913 කාර් රතයක් මිලදි ගත්තෙමු. එය අපේ ජීවිත ගමනේ පළවෙනි වාහනය විය.


‘‘මගේ ආසම පාට කාර් එක"


"ඔයාගේ ආසම පාට නිසයි මේක මම ගත්තේ ...."


"අද අපි අපේ අක්කලාගෙ ගෙදර යමුද? අක්කට බබා හම්බ වෙලා අපට බබා බලන්න යන්නත් බැරි උනානේ. බබාට තෑග්ගකුත් ඇරගෙන අද එහේ යමු.’’


අපි මගේ ලොකු අක්කාගෙ කුළුදුල් දියනිය බලන්න ඇගේ ගෙදර ගියේ අපි අලූතෙන් ගත් වාහනයෙනි. ඇය අපේ පවුලට එකතු වුණු අලූත්ම සාමාජිකාව විය.


අංජුට තවමත් වැඩට යන්නෙ ඔහුගෙ පරණ බයිසිකලයෙනි. මං උදේම ඔහුට, දවල්ට කන්න බත් මුලක් ඔතා දෙන්නෙමි. ඔහු එය නිල් පාට රෙදි බෑගයක දමා ගෙන බයිසිකලයේ හැන්ඞ්ල් එකේ එල්ල ගෙන යන්නෙ වතුර බෝතලයකුත් සමඟය. සමහර දවසට ඔහු බත් ගෙනියන්න කැමති නෑ.


‘‘මට අද සැන්විච් මොනවහරි හදල දෙන්න චතු..... අද ඔෆිස් එකේ වැඩකට එළියට යන්න තියෙනවා. එක තැනක වාඩිවෙලා කන්න ලැබෙන්නෙ නෑ. යන ගමන් ඔය කොහේහරි නිදහස් තැනක බයිසිකලය නවත්වලා කන්න පුලුවන් ...... ගොඩක් වෙලාවට මම ඔෆිස් එකෙන් එළියට යන්න උනාම , දවල්ට ක‍්‍රිකට් ප‍්‍රැක්ටිස් කරන ග‍්‍රවුන්ඞ් ලඟ තමයි බයිසිකල් එක නවත්වන්නෙ. එතකොට ක‍්‍රිකට් ගහනවා බල බලා කන්න පුළුවන්නේ.....’’


‘‘මට දුකයි ඔයා ගැන. ඔයා ගොඩක් මහන්සි වෙනවා.’’


‘‘ඒ වුණාට අපේ පඩි මදි. මම තව යාළුවෝ දෙන්නෙක් එක්ක කම්පියුටර් පේපර්ස් ලාභෙට තියෙන තැනකින් ඇරගෙන අපේ කම්පැණි එකේ කම්පියුටර් සෙක්ෂන් එකට වැඩි ගාණකට ඒවා විකුණන වැඩක් පටන් ගත්තා..... ඒකෙන් තමයි මං ඔයාට ඔය සැරන් සැරේට ටික ටික සල්ලි වැඩිපුරගෙනත් දෙන්නේ.’’


‘‘ඔයා රස්සාව කරන ගමන් පොඩි බිස්නස් එකකුත් පටන් ඇරන්නේ.’’

මං කිව්වේ සතුටින් වගේම හිතේ දුකෙන්...අපි දෙදෙනා අලුතින් පටන් ගත් අපේ විවාහ ජිවිතය සාර්තකව ගෙන යන්න ඔහු වෙන මහන්සිය ගැන මට ඇත්තේ දුකකි.


‘‘නැතව බෑ..... බයිසිකලයට පෙට්ට‍්‍රල් ගහන්නත් ගොඩක් සල්ලි යනවනේ. ඔයාට මතකද අපි දෙන්නා බඳින්න ඉස්සෙල්ලා තේ කොළ අඩු ගානට මාකට් එකෙන් ගෙනත් පැකට් කරල විකුණුව හැටි ... ආච්චිලාගෙ ගෙදර ඉස්සරහ කාමරේ තියාගෙන, ලොකු අයියනේ විකුණන වැඬේ කරල දුන්නෙ.’’


‘‘ඒ උනාට ඒ වැඩය වැඩි කාලයක් කරන්න බැරි වුණානේ. වැඩිම වුණොත් මාස දෙකක් ඒක කරන්න ඇති.’’


‘‘ඇයි අපි දෙන්නා බඳින්න ඉස්සෙල්ලා ඔයා ගෙදර ඉන්න කාලේ පමුණුවට ගිහින් රෙදි ගෙනැවිත් ඇඳුම් මැහුව්වේ... ඒ මහන ඇඳුම් මං අපේ ඔෆිස් එකට ගෙනිහින් විකුණුවා මතකද?’’


‘‘මතකයි ඒත් හැම දෙයක්ම ටික දවසයිනේ කරන්න පුලුවන් උනේ.... එක දිගට කිසි දෙයක් කර ගන්න බැරි වුණානේ . මහන ඇඳුම් නෑදෑයින්ට නිකං දෙන්න වුණා. තේ කොළත් එච්චරයි. අපි ළයින්ට තොප්පි මැහුව්වොත් ඔළු නැති ළමයි ඉපදෙයි ....’


‘‘හැබැයි මේ කම්පියුටර් පේපර්ස් වැඩිය නම් මං දිගට ම කරන්න හිතාගෙන ඉන්නෙ. ඒකෙන් හොද ගානක් හම්බ වෙන නිසා....’’

‘‘ඒක නම් ලොකු දෙයක් ....අමතර ආදායමක් තියෙන එක. ’’


‘‘චතු... මායි ෂේනුයි අලූත් කම්පැණි එකකට ඇප්ලිකේෂන් දාන්න හදන්නේ..... අලූත් ජොබ් එකකට.’’


‘‘ඇයි ඉන්න තැන පඩි මදි නිසාද?’’


‘‘ඔව් ඒක ලොකු කම්පැණි එකක්.... ‘සැලරි’ එකත් හොඳයි. අපට අලූතෙන් බයිසිකලයකුත් දෙනවලූ. දවල් කෑමට සල්ලිත් දෙනව කිව්වා. බයිසිකලයට පෙට්ට‍්‍රල් පවා දෙනවා.’’


‘‘එහෙනම් කොච්චර හොඳ ද? ඔයා ඇප්ලයි කරල බලන්න.’’


කසාඳ බැඳලා මාස හය සම්පූර්ණ වෙනවත් සමඟ අංජු එයාගෙ හොඳම යාළුවා ලෙස සිටි ෂේන් එක්ක කඩුවෙල පිහිටි A/E නූල් කම්පැනියේ අලූත් ජොබ් එකට යන්න පටන් ගත්තේය.


‘‘කොහොමද අලුත් තැන අලුත් ජොබ් එක හොඳ ද?’’


‘‘ඔව්... එතන ඉන්නවා අපේ ඔෆිස් එකට අලූතෙන් ආපු පරණ ලංකාවේ ක‍්‍රිකට් ටීම් එකේ සෙල්ලම් කරපු ක්‍රිඩකයන් හතර දෙනෙක්ම. මගේ ආසම ක‍්‍රීඩාවනේ. ඒ නිසා නිතර ඒ අයත් එක්ක කතා කරන්නේ හරිම ආසාවෙන් .’’

‘‘ දැන් ඔයාට දවල් කෑම එකට, ඔෆිස් එකෙන් සල්ලි ගෙවන නිසා ඔයා දවල්ට කෑම ගෙනියන්න ඕන නෑ නේද?’’


‘‘ඒ උනාට ඒ සල්ලි මාසෙකට සැරයක් පඩි දෙන දවසට තමයි දෙන්නෙ. ඒ හින්දා වෙනද වගේ ම ගෙදරින් කෑම ගෙනියන්න ඕනේ චතු ...’’


‘‘මං හැමදාම උදේට බත් උයනවනේ. ඔයාට උදේට බත් කවන්නත් එක්ක..... ඒ හින්දා ඒවයින්ම වැඩට යනකොට ගෙනියන්න.’’


‘‘ඔයා හැමදාම අපේ බුදු ගෙට, දවල්ට බුද්ධ පූජාව තියෙනවා

නේ ද?‘‘ අංජු ගෙදර ඉන්න කාලේ ඉඳන් එය කරන දෙයකි,


‘‘ඔව්... ඒක මං අමතක කරන්නෙ නෑ.’’


‘‘ඊයේ දවල් අර අපේ අලූත් ඔෆිස් එකට ආව පරණ ක‍්‍රිකට කෙනෙක් වන සංජීව වීරසිංහ , අපිව දවල්ට කන්න චයිනීස් රෙස්ටුරන්ට් එකකට එක්ක ගියානේ. හරිම රස කෑම තියෙන තැනක්.....දවසක හවසට අපි දෙන්නා එතනට ගිහින් කමු.’’


‘‘ෂා... මං හරි ආසයි චයිනීස් කන්න.’‘


ඔෆිස් එකේ යාලුවො සමඟ කොහේ හරි හොද තැනකට ගිහින් දවල්ට කෑමක් කෑවොත් , අංජු කවදා හෝ, කොහොම හරි මාවත් ඒ තැනට එක්ක ගිහින් මට කන්න ඇරන් දෙනවා. ඔෆිස් එකේ කෙනෙක්ගෙ උපන් දිනේට කේක් කෑල්ලක් ලැබුනත් ඔහු ඒක මට ඔතාගෙන ගෙදර ගේනවා. ඔහු ඒ තරම්ම මට ආදරය කල සැමියෙක්. මම හැම දිනකම ඔහුට දෙවියන්ගේ ආශිර්වාදය පතමින්, එවැනි සැමියෙක් මට ලබා දීම ගැන දෙවියන්ට ස්තූති වන්ත වෙනවා.


"අපි අද රෑටම යමු .... ,මම අද දවල් කෑම කාපු තැනට. මට දුකයි ඔයා නැතුව රස කෑමක් දවල් කාලා ආව එකට...."

",හදිස්සියක් නෑ අපි පස්සෙ යමු...."


"නෑ නෑ ඔයා ලෑස්ති වෙන්නකෝ අපි දැන්ම යමු. "


එදින වැඩ ඇරිලා ආව ගමන්ම අංජු වොශ් එකක් දාගෙන අලුත් ඇඳුමක් ඇදගෙන , මාවත් බයිසිකලේ තියාගෙන කොල්ලූපිටියේ ලිබර්ට් ප්ලාසා එක පේන දුරින් තිබුණු චයිනීස් ගාඞ්න් එකට රෑ කෑමට එක්ක ගියේය. (දැන් එය එතන නැත).*


‘‘මං මුල් ම වතාවට මේ තරම් රස චයිනීස් කෑමක් කෑවේ.’’


‘‘ඒක තමයි මං කිව්වේ....මේ සී ෆුඞ්, චිකන් මික්ස් රයිස් එකක්.’’


‘‘යටින් සුදු බත් ....උඩින් සී ෆුඞ් චිකන් එළවලූ මික්ස් ඝනකම් සෝස් එකක් දාලා හරිම රසයි. ගොඩක් ගනන්ද මේක..?


‘‘නෑ... 240/= යි. අපි දෙන්නා කෑව මේ පිඟාන.’’


‘‘එහෙනම් නිතර ම ඇවිත් චයිනීස් කන්න පුළුවන් අපට මෙතනින්.’’


අංජු හැමදාම හවස වැඩ ඇරිලා එන වෙලාවට මං ලස්සනට ඇදගෙන ලෑස්ති වෙලා ඉන්නවා කොහේ හරි යන්න. මුළු දවසෙ ම මං තනියම ගෙදර ඉන්න නිසා මට පාළු ඇති කියා හිතා, ඔහු මාව හවසට කොහෙ හරි එක්ක යන එක දැන් පුරුද්දක් වෙලා. කොච්චර මහන්සි වෙලා දවස් දවසේ රැකියාව කලත් ඔහු, හවසට මාව කොහෙ හරි ඇවිදින්න එක්ක යන එක නම් පුරුද්දට ගිහින්.


‘‘අපි අද කොහේද යන්නේ.’’


අපි අද බෙල්ලන්විල පන්සලට යමු. නැතිනම් අම්මලාගෙ ගෙදර යමු.


‘‘නෑ.... නෑ... අපි දෙන්නා ඉස්සර යාළුවෙලා හිටිය කාලේ නිතර ම ගිය නිදහස් චතුරශ‍්‍රය ලඟට ගිහින් ඉස්සර වාඩිවෙලා හිටිය තැනම ටිකක් වාඩිවෙලා ඉඳල එමු.’’


"අපි පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එකට ගිහින් ටිකක් විවේකයෙන් වාඩි වෙලා ඉදලා ,රෑට කොහෙන් හරි කාලා ගෙදර එමු."


"දැන් නම් අපි මෙහෙම නිදහසේ හිටියා ඇති චතු....මෙහෙම හැමදාම අපිට කුලී ගෙවල් වල ඉන්න බෑනේ චතු .., අපි දෙන්නට කියල අපි අපේම ගෙයක් හදාගන්න ඕනේ. මට බැංකු ණයක් දාගන්න පුළුවන්. අපි ඉඩමක් අරන් ගෙයක් හදා ගමුද.’’


‘‘අනේ එකනම් හොඳයි. අපි දෙන්නම ගෙදර බාලයෝ උනාට අපි නිදහසේ ඉන්න ඕන නිසානේ මේ කුලියට ඉන්නේ"


‘‘මං කැමති නෑ අම්මල, තාත්තලා ඉන්න ගෙවල්වල නවතින්න. නැත්නම් අපටත් පුළුවන්නෙ ඔයගොල්ලන්ගෙ හරි අපේ ගෙදර හරි ගිහින් නවතින්න.’’


‘‘ඒක නම් ඇත්ත. අපි අම්මලා, තාත්තලා එක්ක පදිංචියට ගියා නම් අපට දැන් මේ තියෙන නිදහස විදින්න ලැබෙන්නෙ නෑනේ. අපට ඕන නම් එළියෙන් කනවා..... ඕන නම් ගෙදරින් උයාගෙන කනවා. උදේ රෑ වෙනසක් නෑ. ගමනක් යන්න හිතුනොත් ඇදගත්තා ගියා. කාගෙන්වත් අහන්න ඕනේ නෑ. ඊටත් වඩා අපි අපේ මහ ගෙවල්වල පදිංචි වෙලා හිටිය නම් මේ විදිහට ගෙදරට බඩු මුට්ටු ගන්න වෙන්නෙත් නෑනේ..... බලන්න අපි ගේකට ඕන හැම බඩුවක් ම හදාගත්තෙ තනියම හිටිය නිසයිනේ.’’


‘‘ඒක නම් ඇත්ත. මං නම් ඕන කෙනෙක් අලූතෙන් කසාඳ බඳින කොට කියන්නෙ, කාමර කෑල්ලක් හරි කමක් නෑ ඇරගෙන තනියම ජීවත්වෙන්න පටන් ගන්න කියල..... දෙන්නගෙ දියුණුවක් බලන්න, ලබන්න පුළුවන් තනියම හිටියොත් විතරයි. නැත්නම් අම්මලා තාත්තලා , නැන්දම්මලා කියන දේවල් අහන්නත් ඕනේ.... නොඅහලත් බෑ, අහලත් බෑ. දෙන්නට තනියම තීරණයක් ගන්නත් බෑනේ....ඒ අයත් එකක් හිටියොත්....."


"දෙමව්පියන් කියන දේවල් දරුවෝ අහන්න ඕනේ තමයි, ඒ වුණාට දෙන්නෙක් අලූතින් පටන් ගන්න ජීවිතය ලස්සන වෙන්නෙ ඒ දෙන්නා තනියම තීරණ ඇරගෙන තනියම ජීවත් වුණොත් විතරයි. විවාහය සම්පූර්ණ වෙනවා විතරක් නෙමේ, අනාගතයේ දියුණු වෙන්න පුළුවන් වෙන්නෙත් විවාහ ජීවිිතය සම්පූර්ණ වෙන්නෙත්,දෙන්නත් එක්ක තනියම ජීවිතයට මුහුණ දුන්නොත් විතරයි ...."


‘‘ඒක නම් ඇත්ත. ගෙවල් කුලී බේරගන්න කියල අලූත බැඳපු ජෝඩු අම්මලා, තාත්තලා එක්ක ජීවත් වෙන්න ගිහින් ඒ අයගෙ නිදහසත් නැති කරල, තමන්ගෙ නිදහසත් නැති කරගන්නවා. ඊට පස්සෙ තමයි නැන්ද ලේලි ප‍්‍රශ්ණ ඇති වෙන්නේ. එක ගෙදරම ඉන්න ඕන නෑනේ, දෙමව්පියන්ට සලකන්න. ඈතින් ඉඳ ගෙන ඒ අයගෙ දුක සැප බලන්න බැරි කමක් නෑනේ.....’’


‘‘මාත් ඒකට නම් එකඟයි. අපි වුණත් දැන් නිතර ගිහින් අම්ම, තාත්තා බලලා ඒ අයගෙ ඕනෑ එපාකම් බලල එනවනේ. ‘‘


"අපි අපේ යුතුකම් ඉෂ්ඨ කරමින් අපේ විවාහ ජීවිතය සතුටින් නිදහසේ ගෙවා ගෙන යන එක තමයි වැදගත්.’’


අපි විවාහ වී අපේ අලුත් කුලී ගෙට ගිය පසු, තුන්වන දිනේ අංජු ඒ ගොල්ලන්ගෙ ගෙදර හිටි සුරතල් බල්ලා අපේ ගෙදර එක්ක ආවේ මගේ තනියටයි. ඔහුගෙ නම ‘කැස්ප’ කලූම කලූ පාටයි. හරිම නපුරුයි.... මට තමයි එයාට කන්න දෙන්න උනෙත්., නාවන්න උනෙත්.... ගොඩක් වෙලාවට මං එයාව දවල්ට නාවන්නෙ හරිම බයෙන්. මාව හපයි කියා බයේ.


අංජු මගෙ තනියට ඔහුව ගෙනාවට, මගේ නම් කැමැත්තක් තිබුනෙම නෑ....


‘‘අනේ, කැස්පර් බෝයි ඔන්න මාව හපන්න නම් එපා හලෝ...., කැස්පර් බෝයි... කියමින් ආදරයෙන් කතා කරමින් මං ඔහුව නාවන්නේ පුදුම බයකින්. දවසක් ඔහු අංජුගෙ අත හපා කෑවා. අංජුට බෙහෙත් විඳින්නත් සිද්ද වුණා. කැස්පව අපේ ගෙදර ගෙනාව දවසේ මං හිටියේ අංජු එක්ක කේන්තියෙන්. අපේ නිදහසට බල්ලා කරදරයක් කියලමයි මම හිතුවේ.


ඌට කන්න බොන්න දෙන්න ඕනේ. නාවන්න ඕනේ. අපි හිටියෙත් අනුන්ගෙ ගේක. වත්තෙ තාප්ප ගහල නැති නිසා බල්ලා හිටියේ ගේ ඇතුලේ. උදේට දවල්ට කන්න දීපු ගමන් දොර ඇරලා එයාව එළියට දානවා මලපහ කරල එන්න. ඒ ගිය වෙලාවට කැස්ප ගෙදර ආවේ අහල පහල බල්ලන් එක්ක රණ්ඩු වෙලා කනේ, අත පයේ තුවාල කරගෙනයි. බල්ලව මට කරදරයක් වුණත් මං අංජුට කිව්වේ නෑ.


‘‘අපි අද හවසට මොනවහරි රසට කෑමක් හදාගෙන ගෙදර ඉඳන් වීඩියෝ එකක් දාගෙන ලස්සන ෆිල්ම් එකක් බලමුද.’’


‘‘මං ඊයේ වීඩියෝ ෆොප් එකෙන් ගෙනාපු අලූත් ෆිල්ම් දෙක බලමු. අද සෙනසුරාදානේ. හෙට උදේට ටිකක් දවල් වෙලා ඇහැරෙන්න පුළුවන්.’’


‘‘හෙට අර රට ඉඳල ඇවිත් ලංකාවේ පදිංචි වෙලා ඉන්න මගෙ යාළු ෆැමිලි දෙකක්ම අපිව බලන්න එනවා කිව්වා.’’


‘‘අපි මොනවද දැන් ඒගොල්ලන්ට කන්න දෙන්නේ.’’


‘‘ඔයාට උයන්න කරදරයිනේ. අපි කොහේට හරි ගිහින් ඒ අයට කන්න ඇරන් දෙමු.’’


‘‘කොහාටද?’’


‘‘බම්බලපිටියේ චයිනීස් ඩ‍්‍රැගන් එකට හරි, කොට්ටාවේ කැසබ්ලන්කා එකට හරි එක්ක යමු .’’


‘‘ගොඩක් වියදම් යයි නේ ද?’’


‘‘කමක් නෑ, හැමදාම නෙමේනේ.’’


‘‘අර මගේ යාළුවා නිහාල් අය්යා එන මාසෙ බඳිනවා කිව්වා. අපට ඒ ගොල්ලන්ගෙ හනිමුන් එකට බන්ඩාරවෙළ යනකොට අපටත් එන්න කිව්වා, පාළු යන්නත් එක්ක. තව යාළුවෝ දෙන්නෙකුත් යනව කිව්වා.’’


‘‘අනේ අපිත් යමුද?


“කොහේද ඒ අය යන්නේ ?


“ බණ්ඩාරවෙල, හොටෙල් කෝපරේෂන් එක බුක් කරලලූ යන්නේ. දවස් දෙකක් අපිත් යමු.... ඒ ගොල්ලන්ගෙ අලූත් වාහනේ ඉඩ තියෙනවා කිව්ව.’’


අපි තරුණ ජෝඩු තුනක් බණ්ඩාරවෙල ගියේ අලූත්ම වාහනේකින්. හරිම විනෝද ගමනක් අපි කතරගම, නුවරඑළි, බණ්ඩාරවෙල, උනවටුන බලාගෙන ආයෙත් කොළඹ ආවේ දවස් තුනකට පස්සෙයි.


‘‘බණ්ඩාරවෙල නැවතුන දවසේ යාළුවෝ ඔයාට බොන්න අරක්කු දුන්නා නේද?’’


‘‘ඒ උනාට මං බිව්වේ නෑ. බැරිම තැන මං බියර් උගුරක් බිව්වා. මට අප්පිරියයි ඒ ගඳට...මම හෙමිහිට ඒවා බිමට විසි කලා.....’’


‘‘අනේ ඔයා නම් ඔය අනිත් අය වගේ අරක්කු බොන්න යන්න එපා.... බියර් මුලින් බිව්වහම පස්සෙ අරක්කුත් බොන්න පටන් ගනියි. ඊට පස්සෙ අරක්කු බෝතලය කිහිල්ලෙ ගහගෙන ගෙදරත් එයි.’’


‘‘මං බීලා ආවොත් ඔයා මොනවද කරන්නේ.’’


‘‘ගෙට ගන්නෑ. ගෙයින් එළියෙ ඉන්ඩ අරිනවා. දොර අරින්නෑ ගෙට එන්ඩ.’’


"අපෝ බයවෙන්න එපා. මං ආයෙත් කවදාවත් බියර් එකක්වත් බොන්නෑ.’’


‘‘ඒක හොඳයි. තවම ඔයාට අවුරුදු විසිපහයි. දැන්ම ඕවා නවත්ත ගත්තොත් ඉදිරි කාලේ හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්න පුළුවන්.’’


අංජු කවදාවත් අරක්කු නොබොන බවට මට එදා පොරොන්දු විය.


‘‘හරි අමාරුයි යාලුවො එක්ක බොන්නෙ නැතුව ඉන්න. යාළුවෝ බල කරනවා. ඔෆිස් එකේ පාටියකට ගියත් නෑදෑ ගෙදරක ගියත් මුලින් ම කරන්නේ බෝතලේ කඩන එකනේ....’’


‘‘ඒකනම් ඇත්ත හැමෝටම ඕනේ ඒ අය වගේ අනිත් අයත් බීමට පොළඹවා ගන්න. ’’


‘‘ඔයා උදේ හවස බුදුන් වදින කෙනෙක්. ඒ හොඳ ගතිගුණය වගේම අරක්කු සැර බීම තියා බියර් එකක්වත් බොන්නෙ නැතුව ඉන්න බලන එක හරි වටිනවා.’’


‘‘ඔව්... මීට පස්සෙ මං අතට දුන්නත් බියර් එකක්වත් බොන්නෑ. කොහොමත් මට ඔය සැර බීම ජාති හරි ගඳයිි. ඒ වගේම තමයි කොච්චර හොඳ යාළුවෙක් උනත් පාරක සිගරට් එකක් බිබී හිටියොත් මම වාහනයේ දාගෙනවත් යන්නෑ. මට සිගරට් දුමේ ගඳ ඉවසන්න බෑ. ඔළුව කකියනවා. යාලුවෝ පාර්ටි වලට එන්න කිව්වත් මම ඔයාව එක්ක යන්න පුලුවන්නම් විතරයි පාර්ටි වලට යන්නේ...එතකොට මටනොබී ඉන්න පුලුවන්නේ ඒකයි ඒ"

අංජු කීය.


"මට හරි සතුටුයි ඔයා අරක්කු වගේ සැර බීම ජාති නොබොන එකට, උදේ හවස බුදුන් වදින ඔයා ,ඇගේ වැහුවත් මදුරුවෙක්වත් නොමරන ඔයා, පන්සිල් පද පහ හරියට රක්න එක මට පුදුම සතුටක්. ඔයා වගේ හස්බන්ඩ් කෙනෙක් ලැබුනේ මම ගිය ආත්මේ කරපු ලොකු වාසනාවකට කියලා මම නම් හිතන්නේ."


‘‘අක්කලා, අයියලා තව යාලුවො වගයක් එක්ක එකතුවෙලා කොට්ටාවේ හංදියේ ග්‍රොසරි එකක් දාලා. අපි දෙන්නටත් මොනවහරි ඒ කඬේට දාලා විකුණගන්න පුලුවන් කිව්වා.’’


‘‘ ඒක නම් හොඳ වැඩක්....අපට අමතර ආදායමක් ලබා ගන්න පුලුවන් ....මොනවද අපි එතකොට ඒකට දාන්නේ....’’


‘‘කඬේ තියෙන්නෙ, බස් හෝල්ට් එකක් ලඟ. නිතර ම එතන සෙනඟ එන නිසා අපි මොනවහරි කූල් ඩ්‍රින්ක්ස් ටිකක් බොන්න හදල දාමු ද?’’


‘‘මං දිවුල් ජූස්, දෙහි එහෙම හදන්නම්.... මට ඒවා රසට හදන්න පුළුවන්.’’


‘‘එහෙනම් ඔයා හැමදාම උදේට මට දිවුල් කප් විස්සක් විතර....තව දෙහි ජූස් එකත් ඒ ගානටම වගේ ලොකු කෑන් දෙකකට දාලා දෙන්න. මං ගිහින් දාලා බලන්නම්. මොනව වුණත් අමතර ආදායමක්නේ.....’’


‘‘අපි දිවුල් කොහෙන්ද ගන්නේ.’’


‘‘මං වැඩ ඇරිලා එනකොට කිරුලපන පොළෙන් ඇරන් එන්නම්.’’


"ඔයාට පුළුවන්ද ...? ,මම මේ වැඩේට හරි කැමතියි. මම නිකන් ගෙදර ඉන්න නිසා, අමතර ආදායමක් අපට හදාගන්න පුලුවන් නේ...."


ඉන් පසු මම හැමදාම උදේට අංජු වැඩට යන වෙලාවට දිවුල් හා දෙහි මිරිකා සීනි දමා හදා බෝතල් වලට දමා දෙන්නට පටන් ගත්තෙමි. අංජු සුමානෙකට විතර ඇතිවෙන්න දිවුල්, දෙහි ලාභෙට කොහෙන් හරි පොලකින් ගෙනත් දෙන්නේ මගේ ආසාව ඉශ්ට කරන්නයි. පව් මට අංජු ගැන දුකයි. පඩියට අමතරව කීයක් හරි වැඩියෙන් හොයාගන්න එයා වෙන මහන්සිය දැක්කහම.


"දැන් අපට කඩේට දාන දිවුල් , දෙහි ජූස් නිසා අමතර ආදායමක් තියෙනවා. ලොකු ආදායමක් නැතත් ඔයා ගෙදර කම්මැලි කමට ඉන්න නිසා මේ වැඩේ හොදයි . "


"නරකද අපි දැන් අපට කියලා ඉඩමක් ඇරගෙන ගෙයක් හදා ගන්න බැලුවොත් , හැම දාම මෙහෙම කුලී ගෙවල් වල ඉන්නත් බෑනේ ...."


‘‘ ඒක නම් ඇත්ත. අපි සිළුමිණ පත්තරයක් ඇරගෙන ලාභෙට ඉඩමක් හොයාගන්න බලමු ද කොට්ටාව හෝමාගම පැත්තෙන්.’’


‘‘මං නිකං ගෙදර ඉන්න නිසා දවාලෙට පත්තර බලලා හොයන්නම්.


‘‘අපි මේ සෙනසුරාදා ඔය වටපිටාවේ ඉඩම් බලන්න යමු.’’


‘‘පර්චස් 10ක් ඇති ගෙයක් හදාගන්න.’’


‘‘ බැංකුවකින් ලෝන් එකක් දාලා ගම්මු.’’


‘‘ඔව්, එහෙනම් ඔයා ඉරිදා පත්තර බලන්න. අපි සෙනසුරාදා උදේට ඉඩම් බලන්න යමු.’’


අපි විවාහ වි මාසයක් දෙකක් යන කල, අපටම කියලා ගෙයක් හදාගන්න ඉඩමක් හොයා ගන්න, බලන්න පටන් ගතතෙ දැඩි උවමාවකිනි. අපි දෙන්නට ලොකු උවමනාවක් තිබුණා අපි දෙන්නටම් කියල අපේම ගේකට යන්න. අපි කසාඳ බඳින්න ඉස්සර ඉදන් ඉඩම් බලන්න ගියා මට තාමත් මතකයි. අපි පිළියන්දල පැත්තෙ එක ඉඩමකට ඇඞ්වාන්ස් එකකුත් දුන්නා මතකයි . ඒත් පසුව ඒ ඉඩම අපට දුර වැඩි නිසා ආයෙත් එය බාර දෙන ලදි.


අංජුට කාර්‍යාලයේ සති අන්ත නිවාඩු දින දෙක වන සෙනසුරාදා හා ඉරිදා අපි ඉඩම් බලන්න යන්න ලෑස්ති කර ගත්තෙමු. අංජුගෙ බයිසිකලෙන් දෙන්නත් එක්ක ජැකට් දාගෙන හෙල්මට් දාගෙන කොට්ටාව, හෝමාගම, පාදුක්ක, මත්තෙගොඩ, පාගොඩ, මී ගොඩ, මහල්වරාව, හා රැක්මලේ වන වටපිටාවේ තිබෙන හැම නගරයක ම බයිසිකලයෙන් ගියේ අපට ගෙයක් හදාගන්න පර්චස් 10ක් ලාබෙට මිලදී ගන්නයි. ඉඩම් ඕන තරම් තිබුනත්, අපට මිලදි ගන්න පුලුවන් ගානට ඉඩමක් හොයා ගන්න හරි අමාරු උනා.

7 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page