top of page
  • Writer's picturePrisila Godahewa

🌹නොනිමි ගමන 🌹

🌹 නොනිමි ගමන 🌹

( 13 වෙනි කොටස )


"අපි අක්කලාගෙ ගෙදර යන ගමන් මගින් රතු ඇන්තුරියම් මල් ටිකක් ඇරගෙන යමු...."


උදේ පහට පමණ ඇල්ල සිට හපුතලේටත්, එතනින් එක දිගටම කොළඹ බලා වාහනයෙන් ආ අපි, අවිස්සාවේල්ල හංදියේ තිබුන මල් ශාලාවකින් රතු ඇන්තූරියම් මල්පොකුරක් මිල දී ගත්තේමු. ඒ හවස අපේ දෙවන ගමන යන වාහනයේ බොනෙට්ටුවේ ගසන්නයි.


"දැන් සොමිපාලගේ ගෙදරට යන පාර ලඟයිනේද ?


"ඔව් මහත්තයා ,ඒ උනාට මම මහත්තයා ලව ගෙදරට බස්සලා ගෙදර යන්නම්...."


‘‘ නෑ එහෙම ඕන නෑ, ...පාදුක්කෙන් සොමිපාල බහින්න. මට අපේ අක්කලාගේ ගෙදරට යනකම් ඉතිරි ටික වාහනය පදවගෙන යන්න පුලුවන් .... දැන් අපි ගෙවල් කිට්ටුවට ඇවිත්නේ ඉන්නේ....’’


"බොහෝම ස්තුතියි සොමිපාල අපේ තනියට අපි එක්ක ආවට... අපිව හොදට බලා ගත්තට ගොඩක් ස්තුතියි ..."


අපිව රැගෙන ගියාට සොමිපාලට ඒ වෙනුවෙන් ස්තුති කර අපි ඔහුට මුදලක්ද දුන්නෙමු. 1994 එය ඒ කාලයේ ලොක මුදලකි. අපි ඔහුට වේලාසන අලූත් කමීසයක් ද ගෙනැවිත්, එදින තෑගි කළෙමු.


"එහෙනම් මහත්තයාලා පරිස්සමට යන්න...සුභ ගමන්..."


" බොහෝම ස්තූතියි , හැමදේටම සොමිපාල ..."


"අපි දෙන්නා දැන් අපේ අක්කලාගේ ගෙදර යන්න ඕනේ, එහෙ ඉදන් තමයි අපි හවසට දෙවන ගමනට ඇදුම් ඇදගෙන අපේ මහ ගෙදර යන්න ලෑස්ති කරලා තියෙන්නේ ..."


අපි මුළින් ම කතා කරගෙන ලෑස්ති කරගෙන තිබුණ ලෙස අංජුගෙ අක්කලාගෙ ගෙදර ගොස්, හවසට අපේ දෙවන ගමන සඳහා මහගෙදර යන්නයි.

සොමිපාල මඟින් බස්සා, අංජුගෙ අක්කගෙ ගෙදර බලා වාහනය පදවගෙන ගියේ අංජුයි.


අපි හිතුවටත් වඩා වේලාසන අක්කලාගෙ ගෙදරට යන්න අපට ලැබුනි. උදේ පාන්දරින්ම ඇල්ලෙන් කොළඹ බලා පිටත් වූ නිසා, අපි උදේ දහය වනවිට මහල්වරාවේ අක්කලාගෙ ගෙදරට ලඟා වුනෙමු.


‘‘ ඔයගොල්ලෝ මෙච්චර උදෙන් ම අපේ ගෙදර එයි කියල මං හිතුවෙත් නෑ....’’


‘‘ අපි වේලාසන ආවා නැත්නම් හවසට මහන්සි වැඩිවෙන හින්දා...’’


‘‘දවල්ට කන්න මං වැඩිය මුකුත් හොදට හදලා නෑ..... ඔය දෙන්නා එහෙනම් තියෙන විදිහට දවල්ට කමු.....’’


‘‘ඒකට කමක් නෑ....අක්කා හදපු දෙයක් අපි කන්නම්.....’’


අංජුගෙ අක්කා වට්ටක්කා උයා කංකුන් බැඳ සොසේජස් බැඳ අපට දවල්ට කන්නට දුන්නේ අපි දවාලට කෑම කන්න ඔවුන්ගේ ගෙදරට එන බව නොදැන සිටි නිසයි .


"දැන් චතුරිව හවසට අන්දවන්න එන ගෑනු ළමයා කීයටද මෙහේට එන්නේ....?


"එයා හවස හතර වෙනකොට එනවා කිව්වා... ඔය දෙන්නට දවල්ට කාලා ටිකක් රෙස්ට් කරන්න පුලුවන් එතකම් ...."


"අද හවස හොම්කමින් එකට අපේ මහ ගෙදර අස්කරලා සරසලා ඉවරද අක්කා....?


"ඔව් ඒවා අය්යලා මල්ලිලා ඊයේ ඉදන් කරනවා ....."


දහවල් ආහාරය ගෙන අංජුත් මමත් ටිකක් විවේකයෙන් දවස ගතකලෙමු.


වේලාසන ලෑස්ති කර තිබු පරිදි ,එදින හවස මාව අන්දවන්න වේෂ නිරූපණ ශිල්පිනිය හා ජායාරූප ශිල්පියා අංජුගෙ අක්කලාගේ ගෙදරටම ආවේය.


අපේ දෙවන ගමන සඳහා මාව මණමාලියක ලෙස, වේශ නිරූපණ ශිල්පිනිය, ඉතා ලස්සනට සැරසුවේ උඩරට මනාලියක ලෙසයි. රතුපාට සාරියට, මාල හත දමා මම රතු පාට මල් කොන්ඩයට ගසා උඩරට මනාලියක ලෙස සැරසී වුන්නෙමි. අංජු නිල් පාට කෝට් සූට් එකක් ඇඳ රතු මලක් ගසා සිටියේ ය.


"දැන් හෝම්කමින් එකට කොහොමද ඔයගොල්ලෝ යන්නේ ..,සොමිපාල නැතුව ...?


‘‘අපි දෙන්නා මේ රතුපාට ලාන්සර් කාර් එකේම තනියම යනවා.....’’


"එහෙම හොදද...?


"මම කැමතියි එහෙම යන්න ..."


අංජු අපි මධුසමය බලා ගිය, රතු පාට ලාන්සර් රතය රතු ඇන්තූරියම් මල් ගසා කේ‍්‍රප් කොළ අලවා සකසා තැබුවේ දවල් ආහාරයෙන් පසුවය.


"ඔයා රතු ඔසරියට හරි ලස්සනයි"


"ඇයි ඔයත් ඔය නිල් කෝට් සූට් එකට ගොඩක් :කඩවසම් ..."


අප දෙදෙනා අපේ දෙවන ගමන උත්සවයට යන්නට සැරසී, රතු පාට ලාන්සර් කාර් රතයෙන් ,අංජුගෙ මහ ගෙදර බලා පිටත් වුනේ හවස් කලුවර වැටිගෙන එන මොහොතේය .... . අංජු කාර් එක එලෙවන්නේ ගොඩක් ආසාවෙන් බව පෙනෙයි. මම අපේ දෙවන ගමන උත්සවයට රතු ඔසරියකින් හා මාළ හතක් දමා සැරසි, වාහනේ ඉදිරිපස ආසනයේ වාඩිවි උන්නේද හිත සතුටින් පිරි ඉතිරි යද්දීය.


වාහනය අංජුගෙ මහගෙදර කිට්ටුවට ආ කල, අල්ලපු ගෙදර සිටි අපේ අම්මලා, තාත්තලා,අපේ දෙවන ගමනට ලස්සනට සැරසී , පයින්ම අංජුගෙ ගෙදරට ආවේ අපේ වාහනය පිටුපසිනි.


හවස් කරේ පටන් ගත් අපේ දෙවන ගමනේ උත්සවය , අංජුගෙ මහ ගෙදර , අවට ගෙවල්වල හිතමිතුරන් නෑදෑයින් හා යාළුවන් සමඟ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වින..


උත්සවය අවසන් වි එදින සියලූ නෑ හිතමිතුරන් පිට වී ගිය පසු මාත් අංජුත් එදින රෑ නැවත , ඔහුගේ අක්කලාගෙ ගෙදර නවතින්නට ගියේ එක දිනක්වත් අංජුගෙ මහ ගෙදර නොනැවතිය. එයට හේතුව අංජුගෙ කැමැත්ත අනුවම සිදුවිය. අංජුගෙ වැඩිමහල් සහෝදරයන් තිදෙනාම ඒ වෙන විටත් විවාහ නොවිසිටිය නිසා ඔහුට අවශ්‍ය උනේ අප දෙදෙනා විවාහ උනදා සිට වෙනම ගෙදරක වෙනම ජීවත් වීමටය. ඔහු ඒ ලෙස සියලු දේ ලෑස්ති කර තිබුනේය . මම ඔහුගෙ කැමැත්තට ඉඩදි සිටියෙමි.


අංජුගෙ අයියලා තුන්දෙනාම කසාඳ බැඳ නොසිටි අතර. අංජුගෙ අක්කට පස්සෙ කසාඳ බැන්දේ අංජුයි මමයි. ඔහු ඔවුන්ගේ ගෙදර බාලයා නිසා අපි ඒ ගෙදර නවතින්නේ නැතුව, අංජුගෙ අක්කලා ඒ ලඟ පාත පදිංචි වී සිටි නිසා ඔවුන්ගෙ ගෙදර දින දෙකක් නවාතැන් ගත්තෙමු. ඒ අපි පදිංචියට යන්න ලෑස්ති කර ගෙන තිබු ගෙදරට නැකතට, ගෙවදීම කරන කම්ය


‘‘දැන් කවද්ද ඔය දෙන්නා කුලියට ගත් ගෙදරට යන්නේ.’’


94. 01. 20 වෙනිදා උදේ නැකත් වෙලාව බලලයි තියෙන්නේ. හෙට ගිහිල්ලා ගේ හෝදලා දාලා එනවා. ගෙට ගෙනියන්න බඩු ඔක්කොම ලෑස්තියි. ඒ නිසා හරි ලේසියි. අලූතෙන් අපි වේවැල් පුටු හතරක් ඕඩර් කලා. ඒක 20 වෙනිදා දවල් වෙනකොට හම්බ වෙයි.


"එතකොට මම 20වෙනිදා උදේට කිරිබත් හදලා දෙන්නද...? අක්කා ඇසීය.


" අපි ගෙට ගෙවදීමට, කිරි උතුරන්න නැකත් හදලා තියෙන්නේ ......මම ගෙදරට ඕන කරන බඩු, ඔක්කොම ලෑස්ති කරලා තියලා ගියේ, හාල් තුනපහ තෙල් මල් ඇරගෙන ගෙට ගෙවදුනාම, නැකතට කිරි උතුරලා, අලුත් ගේ ඇතුලෙම කිරිබත් හදන්නයි ඉන්නේ...."


" ඒ උනස්ට මම උදේට ,කිරිබත් හදලා ඇරන් එන්නම්....


"ආ ඒක හොදයි ...දැන් කවුද හෙට උදේ කිරි උතුරන්න ඔයගොල්ලෝ එක්ක යන්නේ....?


"අම්මා තාත්තා , ලොකු අය්යා, පොඩි අය්යා එහෙමත් එනවා කිව්වා..."


1994. 01. 20 වෙනිදා අප දෙදෙනා කලින් අත්තිකාරම් ගෙවා ලෑස්ති කරගෙන සිටි කුළී ගෙට ගෙවදුනෙමු. එය අංජුගෙ අක්කාගෙ යාළුවෙක්ගෙ ගෙයකි. එක නිදන කාරමයකින් සමන්විත ඒ ගෙදර ලොකු සාලයක් කුස්සියක් හා නානකාමරයක් පමණක් තිබිණි.


‘‘මේ ගේ හොඳයි ඔය දෙන්නට. ඔක්කොම පහසුකම් තියෙනවා.’’


අංජුගෙ අම්මා, තාත්තා, අක්කා, අයියලා අපේ ගෙට ගෙවදීමට විත් අපට උදව් කළහ. කිරි උතුරවා ඉවර වි, අක්කා සාද ගෙනවිත් තිබූ කිරි බත්, ලූණු මිරිස් කෑවෙමු .


දහවල් අපි, මගේ ඇදුම් පැලදුම් ,බඩු මුට්ටු ලොරියක දා අපේ ගෙදරින් ගෙන්වා ගත්තෙමු. මාගේ අල්මාරිය, ඇද, ෆිජ් එක ආදී ලොකු බඩු සියල්ල අපේ ගෙදරින් ගෙන්වා ගත්තේ , අප දෙදෙනා වැඩට යන කාලේ එකතු කරගත් අනිත් බඩුත් සමගය. හවස අපි ඇනවුම් කළ වේවැල් පුටු හතර අංජු ගොස් රැගෙන ආවේය.


එදින හවස් වෙනකොට අපි ගෙදර බඩු පිළිවෙලකට තබා ගේ අස්කර ගත්තෙමු. අංජු ඉස්සරවෙලාම කරේ ගේ ඉදිරිපිට කොනක බුදු පහන තියන්න මල් පහන් වැටක් හදා ගැනීමයි. එදින වැඩ ඉවර කර අප නා ගෙන අලූත සෑදු මල් පැලේ බුදු පහන පත්තු කළෙමු.


‘‘මං හැමදාම උදේ හවස බුදුන් වදිනවා. එක අදම පටන් ගන්න ලැබුණු එක ලොකු දෙයක්.’’


අප දෙදෙනා බුදුන් වැද අපේ අලුත් දිවියට ආශිර්වාද ලබා ගත්තෙමු.


‘‘අන්න අක්කලා ඇවිත්.’’


අංජුගෙ අක්කත්, මස්සිනාත්, චූටි දුවත් එදින රෑ අපට කන්න කෑම රැගෙන ඔවුන්ගෙ වාහනයෙන් ඇවිත් තිබිණි.


‘‘අක්කා මහන්සි වෙලා.’’


‘‘එච්චර නෑ. කකුලූවෝ හදන්න ගිහින් මගේ අත හිරි වැටිලා අයියා උණු වතුර දාලයි අතේ හිරි ඇරගන්න උදව් කලේ.’’ ඇය කීය.


ඇය කකුලූවෝ බැඳ අල හොද්දක් කංකුන් තෙල් දමා අපට රෑට කන්න ගෙනැවිත් තිබිණ. මෙවෙලේ ඇයගෙ උදව්ව අපට ඉතා විශේෂ විය. අංජුගෙ පවුලේ සිටි එකම සහෝදරිය , සහෝදරයන් අපේ අලුත් ජීවිතය පටන් ගන්නට, පුළුවන් විදිහට උදව් කිරීම අපට සතුටක් විය.


ගෙට ගෙවදීම සිදුවුන දිනට පසුදිනද අපි , කිරි බත් හදා ගෙන කෑවෙමු. පසු දින උදේ අප දෙදෙනා මහරගම කීල්ස් සුපර් මාර්කට් එකට ගොස් අපට ගෙදරට අවශ්‍ය හාල් තුනපහ බඩු ගෙන ආවෙමු. එදින අපේ ඔක්කොම හාල් තුනපහ බඩු බිල වුණේ 1053/=.කී. ඒ 1994 දීය සුමානයකට විතර ඇති වෙන්න ගෙදරට අත්‍යවශ්‍ය බඩු අපි එවින ඒ මිලට ගත්තෙමු.


එදිනම හවස අංජුගෙ ගෙදර කට්ටිය අපේ ගෙදර එනවා කියපු නිසා , ඔවුන්ට කන්න මම කට්ලට්, පැටිස් හා සැන්විච් හැදුවෙමි. ඒ අතර දවාලට බතුත් ඉව්වේමි. අංජුට කන්න බත් උයා මෑ කරල් තෙල් දමා චිකන් පීකුදු ඉව්වේ අංජු ආස නිසයි. වැඩි යමක් උයන්න වෙලාවක් මට මදි විය.


‘‘හොඳි මුකුත් නැද්ද?’’


අංජුට බත් කන්න හොඳි ඕන බව මං දැනගත්තේ අදයි. මුල් ම වතාවට මං බත් උයලා ඔහුට කන්ද දුන්න දවස අදයි..


හවස අංජුගෙ ගෙදර කට්ටිය අපේ ගෙදර ආවේ ඔවුන්ගේ වාහන වලින්‍ ය. ඔවුන්ට මම සෑදු කට්ලට්, පැටිස්, හා සැන්විච් වලින් සංග‍්‍රහ කෙරුවෙමි.


‘‘මෙච්චර ඉක්මණට ඔයා කොහොමද මේ ජාති තුනම හැදුවේ.’’


‘‘මං දවාලේ වේලාසන හැදුවා. තව තියෙනවා.... මදි වුණොත් බැද ගමු.’’


‘‘ඉන්න මං කට්ලට් තව බදින්නම්.’’ අක්කා කීය.


‘‘අපට තාම තියෙන්නෙ භූමිතෙල් ලිපක්. ගෑස් ලිපක් ඉක්මණට ගන්න ඕනේ.’’


‘‘මුලින් මෙහෙම හොඳයි. පස්සෙ බැරියැ අඩුපාඩු හදාගන්න.’’ අංජුගෙ අක්කා කීය.


‘‘ඔව්... අංජුගෙ මම්මා දුන්න පරණ දොර රෙදි ජනෙල් රෙදි මං මුලින් මේ ගෙට දානවා. පස්සෙ අලූත් ඒවා ගන්නකම්....’’


‘‘මම්මා දුන්න සෝස්පෑන් තුනහතරකුත් තියෙනවා කුස්සියේ උයන්න ගන්න... මං බඳින්න ඉස්සෙල්ලා කුස්සියට ඕන කරන බඩු ඔක්කොම වගේ සුළුවෙන් ඇරන් තියාගෙන හිටිය නිසා හොඳට ගියා. ඇයි වෙඩින් එකටත් අපට තෑගි ලෙස වැඩියෙන් ම ලැබුනේ පිඟන් බඩුනේ.’’


‘‘ඒක තමයි. එකම ජාතියෙ බඩු මහ ගොඩක් හම්බ වෙලා තිබුණා.’’ ලොකු අයියා කීය.


අපේ වෙඩින් එකට හම්බ වුණ තෑගි බඩු කඩල බලලා තිබුණෙ ලොකු අයියයි, අංජුගෙ මම්මයි. ඒ නිසා අපේ මඟුල් ගෙදර ආව මගෙ යාලුවො , නෑදෑයෝ මොනවද අපට දුන්නෙ කියල අපි දෙන්නට බලා ගන්න බැරි වුණා. ඒකට නම් මට හරි තරහයි. අපි දෙන්නට දුන් තෑගි බඩු අපිනෙ කඩන්න ඕනේ..... හෝම්කමින් එක මහගෙදර තිබුණ නිසා ඒ බඩු ඒ ගෙදරට අයිති යැයි ලොකු අයියා හිතන්න ඇති. අපට හම්බවුණ බිත්ති ඔරලෝසු දෙකක් මහ ගෙදර බිත්තියෙ ගහල තිබුණා අපි දැක්කේ , මහ ගෙදර ගිය දෙවන දවසේ මයි.


හෙට අංජු විවාහයෙන් පසු මුළින් ම වැඩට යන දවස. මං උදේට උයන්න ඕන දේවල් ද රෑම ලෑස්ති කරලයි නිදාගන්න ගියේ.


මට හරි වෙනස් මේ ජීවිතය. අංජු උදේ නැගිටලා තේ එක මං හදල දෙනකම් සාලේ පුටුවක වාඩිවෙලා බලාන ඉන්නවා.


‘‘ඉන්න මං ඉක්මණට තේ එක හදල දෙන්නම්.’’


‘‘අම්මා හදන විදිහටම හදන්න. ගොඩක් කහට දාන්න. සීනි නම් එක හැන්දයි.’’


‘‘මං උදේට කන්න කිරිබත් හැදුවා. අද පළවෙනි දවසනේ ඔයා වැඩට යන.’’


‘‘ඒක හොඳයි. එහෙනම් මං ලෑස්ති වෙනවා. මගේ ෂර්ට් එක මැදල දෙනව ද ඔයා.’’


‘‘හා මං කරන්නම්. මං දවල්ට ඔයාගෙ ඔෆිස් අඳින ෂර්ට් ඔක්කොම මැදල අල්මාරියේ ඒලලලා තියන්නම්. එතකොට ඔයාට උදේට අදින්න ඕන එකක් තෝරගන්න පුළුවන්.’’


‘‘ඒක හොඳයි.’’


‘‘එහෙනම් ඔයා එන්න උදේට කන්න.’’


‘‘මට අද ටිකක් පරක්කුයි වගේ. මම ඇඳගන්නකම් ඔයාට පුළුවන් ද මට කවන්න....’’


‘‘මං කවන්නම්.’’


මං මුල්ම වතාවට මගේ අතින් ම උයපු කිරි බත් අංජුට කැව්වෙමි. මම බොහෝම ආසාවෙන් එය කලෙමි.


එදා සිට ගොඩක් කාලයක් යනකම්, ඔහු උදේට වැඩට යන වෙලාවට මට එය කරන්නම උන දෙයක් විය.


‘‘හවසට මං එන වෙලාවට ඔයා ලෑස්ති වෙලා ඉන්න අපි කොහේ හරි ඇවිදින්න යමු.’’


‘‘ ඒක නම් ශෝක්.’’

මම උයා දුන් බත් මුලත් රැගෙන

අංජු වැඩට ගියේ මගේ හිස සිඹලයි.


"ඔයාට බුදුසරණයි ...! ( එකළ බුදුසරණයි කියන වචනය කවුරුත් නොකියපු දෙයක් . නමුත් අංජු උදේ හවස බුදුන් වදින කෙනෙක් නිසා මම ඔහුට බුදුන්ගෙ සරණ පැතීය.)


‘‘ඔයාට බුදු සරණයි. පරිස්සමින් බයිසිකලේ යන්න. "


අංජු තාමත් පාවිච්චි කරන්නෙ ලොකු අයියාගෙ පරණ මෝටර් බයිසිකලයක්. එය අංජු පාවිච්චි කරන්න පටන් ගත්තේ අපි දෙදෙනා යාළුවෙලා හිටිය මුල් කාලෙ සිටයි. කවසාකි 83 ශ‍්‍රී 1088 බයිසිකලය තමයි අපි දෙන්නා මුලින් ම පාවිච්චි කළ වාහනය. ඉඳහිට අංජු ඔහුගෙ අයියලාගෙ වාහන ඇරගෙන ද මාව බලන්න ආ දිනවල් තිබුණා.


‘‘අපි දෙන්නා මුලින් ම වැඩට ගිය වාහනය තමයි මේ බයිසිකලය. අපි පුළුවන් ඉක්මණට කාර් එකක් ගමු.’’


‘‘තාත්තා මට දුන්න සල්ලිවලින් කාර් එකක් ගමු ද? මං අංජුට යෝජනා කරේ ඔහු වාහනවලට ගොඩක් ආස කෙනෙක් නිසයි.


‘‘ස්ථිර ගිණුම්වල සල්ලි වේලාසන ගන්න ගිහාම ගාන අඩුවෙනවා, බැංකුවෙන් අහලා බලමු.’’


*ප්‍රිසිලා ගොඩහේවා *

3 views1 comment

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

1 комментарий


Lakmini Jayanetti Perera
Lakmini Jayanetti Perera
09 апр. 2022 г.

මේක ඉතින් හදවතට ගොඩාක් සමීප කතාවක් නිසා වඩ වඩාත් ආසාවෙන් කියවනවා. ඔය දෙන්නා තරුණ කාලයේ ඉඳන්ම හරිම සමීප, ආදර්ශමත් ජීවිතයක් ගෙන ගිය නිසා තමයි අද මේ වගේ දියුණු තත්ත්වයක ඉන්නේ. ඒක ඉතා අගය කල යුත්තක්, අර්ජුන මත් පැන් නොගන්නා සේම🙏❤️

Лайк
bottom of page