top of page
  • Writer's picturePrisila Godahewa

🌹නොනිමි ගමන🌹

( 🌹දෙවන කොටස 2) 🌹

කොළඹ සිට, යාපනය බලා යන යාල්දේවි දුම්‍ රිය , මහා හයියෙන් හූවක් තියා...,ගඩ ගඩ ගගා, හෙමිහිට ගමන ආරාංභ කලේ, එහෙට මෙහෙට වැනෙමින්, හැප්පෙමින්, කිරි කිරි සද්දෙන්......ඒහා සමානව අපේ පවුලේ සැමගේද පපු අමුතු තාලයකට ගැහෙන්න පටන් ගෙන ඇත.....අපේ පවුලේ ඉදිරි කාලය කොයි ආකාරයකට විසදේවිදැයි නොදැනේ..... කාත් කවුරුත් නොදන්න ,සිංහල ජාතිය ජීවත් නොවන යාපනයේ පදිංචියට යන්න උන අපට, මොනවගේ කරදර ,ප්‍රශ්න වලට ඉදිරි කාලේ මූණ දේන්නට වේවි දැයි නොදැන යන මේ ගමනේ භයානක කම තේරෙන්න පටන් ගෙන තිබුනෙ දැන්‍ ය......


අපි සියල්ලෝම, ආච්චි හා කුසුමාවති උයා දුන් ,රාත්‍රී ආහාර ගෙන ගෙදරින් පිටත් වුණ නිසා, කාටවත් බඩගින්නක් නොදැනින.....


රාත්‍රීයේ කොළඹ දුම්‍ රිය නැවතුමෙන් යාපනය බලා යන දුම් රියට නැග ගත් අපි සියල්ලෝ , එක ලඟ ඇති ආසන දෙකක වාඩි වී දුම්‍ රියේ කවුළු වලින් එළිය බලාගෙන ගමන ආරංභ කෙරුවෙමු.


හත් දෙනාම,එක ලඟ වාඩිවී සිටි නිසා, හැමෝගෙම හිතට ආරක්ෂිත හැඟීමක් දැනෙයි. අපේ පප්පා කවදත් අපි ලඟ සිටින විට...., අප සියල්ලන්ටම හිතට ලොකු ශක්තියක් දෛයිර්යක් හා සුරක්ෂිත බවක් දැනේන බව අපි දනිමු ...


පෙනුමෙන් ඉතා උස් මහත කළු පුද්ගලයෙක් වන අපේ පප්පා,කිසි දේකට භය නැති, හොද ආත්ම ශක්තියක් ඇති, ඉතා ගාම්භීර පෙනුමැති පුද්ගලයෙකි. අපේ පප්පා, මහ කළු සිංහලයෙකු ලෙස පෙනෙන බව කවුරුත් කියන දෙයක් වේ....... ඔහු දේශපාලනයේ පළිගැනීමට යටත්ව කොළඹින් යාපනය වගේ අතිදුෂ්කර ගමනක් දරුවන්ද රැගෙන යන්නට තීරණය කරගෙන ඇත්තේ හිතේ ඇති දහිර්‍යටය.


කිසි දේකට නොසැලෙන , දැඩි ආත්මශක්තියක් ඇති ඔහු, බිරිඳ හා දරු පස් දෙනා සමගම මේ ගමන යන්න තීරනය කිරීම විශාල අභියෝගයකි.... ඔහු තනියම ඒ ගමන නොගිහින් අප පස්දෙනාවත් ,බිරිදත් කැටිව මේ ගමන යන්නේ අප පස්දෙනාව කොළඹ තනි කර යන්නට ඇති අකමැත්ත නිසාවෙනි..... ඔහු ලඟපාත නැතිව දරුවන්ට, බිරිඳට ගත කරන්න වෙන කරදරකාරි ජීවිතයකට, ඔහු අකමැති නිසා‍ය. ඔහුගේ ඇති ආත්ම ශක්තිය වගේම අපට තිබෙන ආදරය නිසා, ඔහු අපවත් කැටුව මෙම ගමන යන්න තීරනය කර තිබීම අපටත් ලොකු සතුටක් විය.


ඉදිරි කාලය කොයි වගේ අවදානම් දේ වලට අපට මුහුණ දෙන්නට සිදු වේ දැයි කිසිත් නොදැන, පුංචි දරුවනුත් කැටුව මේ ආරම්භ කළ ගමනේ භයානක අතිදුෂ්කර ගමන ගැන වගකීම හිතේ දරාගෙන ඔහු නොසැලී හිදින්නේය. මොන කරදර බාදක තිබුනත් පවුලේ, දරු මල්ලන් සියල්ලො එකට ඉන්නා එක තරම් වෙන, සතුටක් ඔහුට නැති බැවින්.....


දඩ.... දඩ.... හූ... හූ... කියමින් පැද්දි පැද්දී යන කෝච්චියෙ ජනේලවල එල්ලී එළිය බලාගෙන ගිය අයියලා, අක්කා ටික වේලාවක් යන විට සීට් උඩ පැත්තට වැටී නිදියන්නට පටන් ගත්තේය.


‘‘දයානිත් ටිකක් නිදාගන්න..... ඊයේ රෑ එළිවෙනකම් ඇහැරිලා ඡුන්ද ප‍්‍රතිඵල අහපු නිසා ඔයාටත් මහන්සියි, නිදිමතයි ඇතිනේ....’’


‘‘ඇයි මට විතරක්, ඔයාට මට වැඩිය මහන්සි ඇතිනේ..... ඡන්දෙට කලින් ඉඳන්ම ඔයා දින ගානක්, නිදි නැතුව ඡුන්ද වැඩවලට මහන්සි වුණානේ.....’’


‘‘ළමයි පස්දෙනාටම හොදටම නින්ද ගිහින්.... මට දුකයි ලොකු පුතා ගැන.... එයාට විතරයි මේ අපි යන ගමනේ භායානක බව ගැන ටිකක් හරි තේරෙන්නේ....ඒ නිසා වෙන්න ඇති දරුවා බයෙන් වගේ ඉන්නේ....’’


‘‘පොඩි ළමයි හතර දෙනාටම ඒ තරම් මේ ගැන දැනුමක් නැති වුණ එක හොඳයි........’’


‘‘දේශපාලන පළිගැනීමක් නිසා අපට කොළඹින් යන්න වුණ එක තේරුණේ ලොකු පුතාට විතරක් උනා වගේම, ඒ දරුවා මට ගෙනියන්න බඩු මුට්ටු ලෑස්ති කළා විතරක් නෙමේ නංගිලා, මල්ලිලාවත් ලෑස්ති කළේ එයා තමයි.....’’


‘‘යාපනයට ගිය ගමන් ම ලොකු දරුවෝ තුන්දෙනාව එහේ පාසැලකට ඇතුළත් කරන්න ඕනේ.’’


‘‘අපොයි ඔව්. ළමයින්ට ඉස්කෝලේ වැඩ පාඩු කර ගන්න දෙන්න හොඳ නෑ ....ඉතිං එහේ සිංහල ඉස්කෝල තියෙයිද?’’


‘‘ ඔව්.... මම ඊයෙම ඒ ගැන හොයල බැලූවා..... යාපනේ සිංහල මධ්‍ය මහා විද්‍යාලයක් තියෙනවා කියල ආරංචි වුනා, ඒ නිසයි මං බය නැතිව ළමයිනුත් ඇරන් යාපනේ ගමන ආවේ......’’


‘‘ඒක ලොකු දෙයක්. මොනව වුණත් අපි හත්දෙනාට ම එකට ඉන්න ලැබෙන එක ලොකු දෙයක්....’’


‘‘නැතුව, මං දන්නවා තනියම කඬේකටවත් යන්නැති ඔයාට, මං නැතුව මේ දරුවනුත් එක්ක කොළඹ ජීවත්වෙන්න බැරි බව..... ඒ නිසයි මං ඔයාවයි, ළමයිනුත් ඇරන් මේ ගමන ආවේ.... හැබැයි මාත් එක්කම වෙන ඈත පැතිවලට මාරු කරපු ආන්ඩුවේ සේවකයෝ හැමෝම වගේ යන්නෙ තනියම..... ගිහින් එහේ පිළිවෙලක් උනාම තමයි ළමයිනුයි, පවුලවයි ගන්නවා කියන්නේ....සමහර විට ඒගොල්ලෝ දරුමල්ලො නැතුව ,තනියම රස්සාව කරගෙන ඉන්න බලාගෙන යනවත් ඇති.... හැමෝටම බෑ අපි වගේ තීරණ ගන්න. අපිට ඉතිං නිතර යන්න එන්න පුළුවන් දුරකින් ඉන්න ගමනක් නෙමේනේ මේ...... මං හිතන්නෙ මුලින් සුමානයක් දෙකක් අපට යාපනේ ගිහින් ඉන්න අමාරු උනත්,.... අපි එහෙට ටික දවසක් යනකොට පුරුදු වෙයි. ඒ වගේම ගෙදර කට්ටියටම එකට ඉන්න ලැබෙන එකම මදෑ .... .’’


‘‘අනේ ඔව් පප්පේ( මගෙ මවත්, අපේ පියාට, අපි කියන ලෙසම ,පප්පා කියයි)

.. ඔයා නැතුව මට මේ ළමයි තනියම බලාගන්න බෑ. අම්මා මට කොච්චර උදව් කළත් ඔයා බලනවා වගේ නෑනේ...ළමයි ටිකටත් ඔයා නැතුව ඉන්න බැරි නිසයි ,මම ළමයි ටිකත් ඇරන් මේ ආවේ... .’’


රාත්‍රියේ කෝච්චියට නැගපු අපි පැයකින් පමණ ,වාඩි වි සිටි, ආසන වලම වැටි නිදා ගත්තෙමු...... මම්මා, පප්පාගෙ උරහිසේ ඔළුව තියාගෙන නිදා ගත් අතර, පප්පා විතරක් ,ලොකු කල්පනාවකින්, නිදා නොගෙන අපේ පරිස්සමට නොනිදා සිටිය බව, උදේ අපට කිවේ, ම්ම්මයි.... දරුවන් පස්දෙනා වන අපිට මවගේ පියාගෙ දැඩි ආරක්ශාව යටතේ සිටින්න ලැබීම කොයිතරම් නම් වාසනාවක්ද......


කෝච්චිය එක දිගට නොනවත්වා ගමන් කරයි.....කෝච්චියේ ජනෙල් වලින් වියළි සුළං දැඩිව හමා විත් අපේ ඇඟේ හැපෙයි.... පසු දිනටත් එළිය වැටි ඇත. දුම් රියේ වැසිකිලියට ගොස් මුහුණ කට උඩින් පල්ලෙන් සෝදාගෙන ආ අය්යලා, අක්කා උදේට කෑම කන්න සැරසේ.


පසු ගිය රාත්‍රීයේ ආච්චි අපට කන්න ලෑස්ති කර එවා තිබූ බත් පාර්සල්, අම්මා හැමෝටම බෙදා කන්නට දුන්නාය.


‘‘අපි දවල් වෙන්න ඉස්සර බත් මුල් ලිහාගෙන කමු..... දවල් වුණොත් නරක්වෙන්න පුළුවන්.’’

අම්මා හැමෝටම බත් මුල් බෙදා දුන්නාය.


ආච්චි හැමෝටම ,උදේට කන්න පොල් මැල්ලූනුත්, කරවල තෙල් , පරිප්පු හින්දා බත් මුල් හදා එවා තිබුණි. ඒවා බොහෝ රසවත් බව, හැමෝම එක හුස්මට කන හැටියෙන් තේරේ...


‘‘නරක් වෙයි කියල, අම්මා පොල් කිරි දාලා, එළවළු මාළු මුකුත් හදලා නෑ.... කරවල තෙල් දාලා පොල් මැල්ලූමත් හොඳට කර කරලා බත් මුලට දාලා තියෙන්නේ’’


අම්මා බත් කටක් කන ගමන් ම කීය.


‘‘බත් එක හරිම රසයි. පහුගිය දවස් වල, හරියට කෑමක් කන්නවත් බැරි වුණානේ.... ඊයෙ රෑත් මේ යන ගමන ගැන ලොකු බරක් මගේ හිතේ තිබුනා.....දැන් තමයි නිදහසේ කන්න ලැබුනෙ. ඒ වගේම මම ගොඩක් බඩගින්නෙ හිටියේ...’’


තාත්තා ලොකු ලොකු බත් කටවල් කනගමන් කීය.


‘‘ඒක නම් ඇත්තමයි. මාත් මේ හරියට බත් කටක් කන්නෙ දවස් දෙකකින්.’’

අම්මාද පහුගිය දින ඇඬූ කඳුලෙන් සිටි බව අප කාහටත් මතක් විය.


‘‘චූටි පුතාට මොනවද කන්න දෙන්නේ...?’’ තාත්තා බත් කා අත සෝදා ගෙන මාව උකුලට ගන්නා ගමන් ඇසීය.


‘‘සීනි බනිස් ගෙඩියක් කඩල කවමු. බත් කන්න බෑනේ එයාට....කෙසෙල් ගෙඩි වගයකුත් තියෙනවා ’’


අතරමග දුම්රියපළවල්වලින් කෝච්චිය නැවැත් වූ විට, තාත්තා ලොකු අයියත් සමඟ ස්ටේෂනයෙන් බැස වතුර බෝතල් පුරවා ගෙන එන ලදී....ඒ ගමන් අපට සීනි බෝල නාරං බික් වැනි දෑ ද ගෙනවිත් තිබුනි..


කෝච්චියේ ජනේලවලින් එළිය බලාගෙන යන අපට, එකදිගට මුහුදු වෙරළත් සමහර පැතිවල ඇති වියළුනු පතොක් ඉඩං, වේළුනු ගස් කොළන්, ටකරං ගැසු පොඩි ගෙවල් දොරවල් පෙනේ...... ඒ සියලු දේ පසු කරගෙන, කෝච්චිය ඉදිරියට ඇදී යන හැටි පුංචි අප බලා සිටින්නේ වෙන කරන්න දෙයක් නැති කමටය. එක දිගට ජනේලවලින් ආ සිහිල් සුළං වෙනස් වී උණුසුම් සුලං කේාච්චි පෙට්ටි පුරා පැතිරෙන්නට පටන් ගත්තේ වවුනියාව පසුකල පසුය.


එක දිගට පැය ගානක් ආ දුම්රිය ගමන ඉතා තෙහෙට්ටු දායක වීය...... එකදිගට දඩ දඩ ගා දුව යන දුම්රිය කොයිවෙලේ නවත්වාවිදෝ යැයි අප බලා සිටියේ ඉතා ඕනෑකමෙනි.....ඒ තරමට මේ ආ දුම්‍ රිය ගමන....,එපාඋන ගානය..... . වැඩි කාලයක් එක දිගට දුම්රියේ වාඩි වී ඇවිත් හැමෝම සිටියේ ඉතා මහන්සියෙන් හා තෙහෙට්ටු වෙනි.


#####

පැය ගානක කෝච්චි ගමනකින් පසු, අවසානයේ දුම්රිය යාපනයට ලඟා වි ඇත .


"ළමයිනේ, ඔන්න අපි යාපනයට ආවා....බහින්න ලැස්ති වෙන්න...."


"අපිට නවතින්න ලෑස්ති කරලා තියෙනවා කිව්ව ගෙදරට,අපිව එක්ක යන්න කවුරු හරි ස්ටේශන් එකට එනවා කිව්වා නේද?....


"ඔව්...මම අපේ බඩු ටික, කෝච්චියෙන් බාගත්තට පස්සෙ, ගිහින් බලලා එන්නම්, කවුද අපිව එක්ක යන්න ඇවිත් ඉන්නේ කියලා ...."


අපි සියල්ලෝ ,යාපන දුම්රිය පොළින් බැස එක තැනකට වෙලා අම්මාත් සමඟ ඉන්නා අතර, තාත්තා ලොකු අයියාත් සමඟ අපේ බඩු බාහිරාදිය කෝච්චියේන් බිමට බාගත්තේය.


"ලොකු....පොඩ්ඩක් මේ මම්මයි මල්ලිලයි එක්ක මෙතන ඉන්න. මම පාර පැත්තට ගිහින් පොඩ්ඩක් බලලා එන්නම්, කවුද අපිව එක්ක යන්න ඇවිත් ඉන්නේ කියලා ...."


"දයානි ඔයා....ළමයි එක්ක මෙතනම ඉන්න, මම එනකම්....."


"පප්පෙ මාත් එන්නද?


"නෑ....නෑ....ඔය ළමයි මම්මා එක්ක ඉන්න...."


"අන්න කවුද පිරිමි කෙනෙක් මේ පැත්තට එනවා....."


"කවුද කච්චේරියේ කෙනෙක් වගේ.....,අපිව එක්ක යන්න ඇවිත් වගේ ...."


දුම්රිය නැවතුම් පලෙන් අප එළියට එනවිට අප පිළිගැනීමට කච්චේරියේ සේවකයෙක් කච්චේරියෙ වාහනයකින්, පැමිණ තිබුනේ අපිට නැවතෙන්න නියමිත නවාතැනට, අපව රැගෙන යාමටය.... දුම්‍ රිය ස්තානයේ අවට සිටි සියලූ මිනිසුන් සරම් ඇඳ ගත්, බොහෝ ඇදුරු පෙනුමැති දෙමළ මිනිසුන් විය. ඔවුන්ගේ කතා බහ අපට හොදටම නුහුරු ය..... සිංහල කථා කරනා මිනිසුන් මේ පළාතේ නැති තරම් බව අපට තේරුනි.


‘‘මේ කච්චේරියට අලූතෙන් පත්ව ආ ලොකු මහත්තයා වෙන්න ඇති.... බොහොම සතුටින් ඔබතුමා ඇතුළු පවුලේ අයව මම ආදරෙන් පිළිගන්නවා.’’


"ස්තූතියි අපිව රැගෙන යාමට පැමිනීම...."


අප ලඟට ඇවිත් ඉංග‍්‍රීසියෙන් කතා කර තාත්තාට අතට අත දුන් දෙමළ සේවකයෙක්, අපව ඔහුගේ වාහනය ලඟට කැඳවා ගෙන යන ලදී.


ඔහු සුදු සරමක් හා කොටු ශර්ටයක් ඇද සිටියේය. ඔහු ඉතා පැහැදිලි ඉංග්‍රීසියෙන් පප්පා සමග කතා කිරිම අපට සතුටක් විය..... දෙමළ කතා කිරිමට නොහැකි අපේ පවුලේ අයට, ඉංග්‍රීසියෙන් කතා කරනා කෙනෙක් අඳුන ගන්න ලැබීම ලොකු දෙයක් විය.


‘‘සන්තෝෂයි අපව පිළිගැනීමට ස්ටේෂණයට ආපු එකට.....’’ පප්පාද ඉංග්‍රිසියෙන් ඔහු සමග බොහෝ කැමැත්තෙන් කතා කරයි. ඔහුටද ඉංග්‍රීසි කතා කරනා, රජයේ සේවකයෙක් මුණ ගැසීම හිතට සතුටක් වු බව අපට පෙනින.....


‘‘කොළඹින් අපට දැනුම් දුන්නා ඔබතුමා යාපනයට එනවා කියලා..... , ඔබතුමාට උදව් කරන්න කියලත් කිව්වා ....’’


‘‘ බොහෝම ස්තූතියි ඔබ අපි පිළිගැනීමට, ස්ටේශනයට පැමිණීම ගැන..... අපට හරිම සන්තෝෂයි..... අපට දැන් නම් හරි මහන්සියි. එක දිගට, පැය ගානක් ආව නිසා. මුලින්ම අපට, නවතින්න ලෑස්ති කල නවාතැනට යන්න ලැබුණොත් හොඳයි.....’’ තාත්තා ඉංග‍්‍රීසියෙන් කියන ලදී.


‘‘ඔව්... ඔව්... මේ නෝනට බබාලට මහන්සි ඇතිනේ. අපි ඉක්මණට නිල නිවාසයට යමු.’’

ඔහු ද ඉංග‍්‍රීසියෙන්ම කීය.


යාපනයේ දෙමළ මනුස්සයෙක් වන ඔහු ඉතා කරුණාවන්ත පුද්ගලයෙක් බව අපට බැලු බැල්මට පෙනුනි.


යාපනයේ දුම්‍ රිය ස්තානයේ සිට, අපට නවාතැන් ගන්නට නියමිත ගෙදර බලා යන පාර, අපට අමුතුම හැඟීම්ක් ඇති කල , අලුත් දසුන් පිරි පළාතක් විය.......


මහා විශාල රතු ළුනු, මිරිස් යායක් මැදින් ගමන් ගත් අපේ වාහනයේ ජනෙල් වලින් ඔළුව දාගෙන අපි අවට සිරි නැරඹුවෙමු. යාපනයේ වියළි රතු පසේ ඉතා සරුවට වගා කර ඇති එළවළු, පළතුරු වගාවන් දැක අපට ඇති උනේ, පුදුමයකි.


"මේ පැත්තට වර්ශාව අඩු උනාට, මිනිස්සු හරි උනන්දුවෙන් වගා කටයුතු කරගෙන යනවා නේද...?


"ඔව්, සර්....වැස්ස එනකම් බලාගෙන ඉන්නෙ නෑ මෙහෙ අය, හරි උනන්දුවෙන් වගා කටයුතු කරගෙන යනවා....මෙහෙ ඉන්නේ ,ඔක්කොම රතුලුනු ,මිරිස් වගාකරන ගොවියෝ...ඒගොල්ලෝ තමයි කොළඹට, රට වටේටම රතුලුනු ,මිරිස් බෙදා හරින්නේ. මේ මිනිස්සු වැස්ස බලාගෙන ඉන්නෙ නෑ, ආඬි ලිං වලින් වතුර ඇදලා දාලා තමයි මේ ගොවිතැන් වැඩ කරගෙන යන්නෙ...."


"ඔව්, ඔව්, මම අහල තියෙනවා , යාපනය, යාල්පානිය, හරිම සශ්‍රික අර්ද්වීපයක් බව.....අද තමයි මේ වගාවන් මම මුල්ම වරට දැක්කේ, මට හරිම සතුටුයි මේවා දැකලා ..... පප්පා, වාහනේ ඉස්සරහ ආසනේ වාඩි වි අප යන පාර දෙපැත්තේ ඇති වගාවන් දෙස බලා සිටින්නේ, පුදුම ඕනෑකමකිනි.


සශ්‍රික වගාවෙන් පිරි ගොවිබිම් පසු කර, තල් ගස් යායක් මැදින් ගිය වාහනය, විශාල වත්තක තිබුනු සුදු හුනු ගෑ මේ පලාතේ තිබෙන, හොදම පෙනුම ඇති ගෙයක් ලඟින් වාහනය නතර කලේය......


අපි සියලු දෙනා, වාහනයෙන් බැස ගත්තේ, බොහෝම ආසාවෙනි. එම ගෙය, කාමර හතරකින් යුතු විශාල ගෙයක් විය..... ගෙය වටේට වතුර බැස යන කානු දමා සුදු හුණු ගා මේ පළාතේ තිබුන හොදම විශාල ගෙයක් බව කියා පෑවේය. මේ නිවසය යාපන කච්චේරියේ ලොකු මහත්තයා වෙනුවෙන්ම වෙන් කර ඇති ,රජයෙ නිළ නිවාසය බව, අප සමඟ ආ සේවකයා කිය.... ගෙදර වටේටම අඹ ගස්, පොල්, තල්, මුරුංගා ආදිය වගා කර තිබුනි. ගෙදර වත්ත වටා, තල් කොළ වලින්, වට කර ඇති තල් කොළ තාප්පය ඉතා ලස්සනට නිම කර ඇත.


‘‘මේ ගෙදර, මීට ඉස්සෙල්ලා යාපන කච්චේරියේ දිසාපති මහත්තයා හිටපු ගෙදර..... අපි මහත්තයලා කොළඹ ඉදන් එන බව ආරංචි වුණ ගමන්ම ගෙදර හොදට හෝදලා අස් කරලා තිබ්බා.’’


‘‘ බොහොම ස්තූතියි. හැමදෙයක් ම හරි පිළිවෙලට තියෙනවා..

අපට අවශ්‍ය බඩු මුට්ටු පස්සෙ හදාගන්න පුළුවන්නේ.’’


‘‘කුස්සියෙ උයා පිහාගන්න ඕන කරන හට්ටි මුට්ටි තියෙනවා. නිදාගන්න ඇඳන් දෙකයි තල්කොළ පැදුරුයි තමයි දැනට තියෙන්නේ සර්..’’


‘‘අපෝ මේ තියෙන පහසුකම් හොඳට ම ඇති දැනට.....’’


‘‘මං මහත්තයලාට රෑට කන්න කෑම ගේන්න කියලා මේ ලඟ ගෙදරක ගෑනු කෙනෙක්ට ,කිව්වා.... මහත්තයාලා ඇඟ පත හෝදගෙන එනකොට කෑම ලෑස්ති කරල ගෙනෙයි.’’


"බොහොම ස්තුතියි රාම්..."


-නැවත හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

3 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page