top of page
  • Writer's picturePrisila Godahewa

මෙතැන් සිට අංජුගෙ කතාව 🌹නොනිමි ගමන🌹

(පළවන කොටස)


"දයානිට පස්වෙනි පාරටත් කොල්ලෙක්නේ හම්බවෙලා තියෙන්නේ...’’


“ ඒකට මොකද, එක කෙල්ලෙක් හරි ඉන්නවානේ… .. දෙවෙනි දරුවා කෙල්ලෙක් උන එක හොදයි.’’


‘‘දයානි වාසනාවන්තයි, ළමයි පස්දෙනෙක් ම ඉන්න එක. ලොකු පුතයි, බාල පුතයි අතර අවුරුදු දහතුනක පරතරයක් තියෙන නිසා ලොකු පුතා බාල මල්ලිව බලාගන්න උදව් කරයි.’’


‘‘අක්කා ඉතිං, අක්කගෙ දුවට මේ ළමයි හම්බවෙන්න ඉන්නකොට ඉස්පිරිතාලෙකටවත් ඇරපු එකක්යැ….. ගෙදරට ම වින්නඹු අම්මා එක්කගෙන ඇවිත් ඒ හැමදෙයක් ම කිසි අඩුපාඩුවක් නැතුව කරපු කෙනෙක්නේ.’’


‘‘දුවට මේ පොඩි පුතා හම්බවෙන්න ඉන්නකොට දොස්තර මහත්තයා කිව්වේ, බඬේ ගෙඩියක් කියලනේ... මං ඉතිං නුවර දළඳා මාළිඟාවට ගිහින් භාර වුණා,....අනේ දළදා හාමුදුරුවනේ එහෙම දෙයක් නම් වෙන්න එපා කියලා..... මගේ භාරේ ඉෂ්ඨ වෙලා තමයි මේ පොඩි පුතා කොල්ලෙක් වෙලා ඉපදුනේ.’’


අපේ ආච්චි මගේ උපත ගැන සැමදා, සැවොම එක්ක කියන කතාවකි එය. ඒ ඇයගෙ භාරය නිසා මම දරුවකු වි ඉපදුන බවත්, ඇය ඒ වෙනුවෙන් ලොකු දෙයක් කරපු බවත් කීමට හා සතුටටය.


‘‘අම්මා ඉතිං මට මේ ළමයි හම්බවෙන්න ඉන්න කොට උදව් කරපු එක ඉතිං කවුරුත් දන්නවානේ.’’


දයානි වන මගේ මම්මාද එය නිතරම අපේ ආච්චිට කියන දෙයක් වේ. (අපි අම්මාට මම්මා කියාද, තාත්තාට පප්පා කියාද කතා කරන්නෙමු )


මම ඉපදුනේ අපේ ආච්චිලාගේ නුගේගොඩ මහ ගෙදර ඇති විජේරාමයේය. අපේ පවුලේ දරුවෝම පස්දෙනෙක්ය. ලොකුම දරුවන් දෙදෙනා හා බාලම දරුවන් දෙදෙනාත් පිරිමි ළමුන් වූ අතර මද්දුමයා දියණියකි. මාගේ පියා රාජය අංශයේ ඉහල තනතුරක් දැරු නිළධාරියෙක්වේ. ඔහු දේශපාලයට ද සම්බන්ධ වි ප‍්‍රසිද්ධ දේශපාලඥයෙක්ගේ පෞද්ගලික ලේකම් ලෙස කාලයක් වැඩ කළ කෙනෙක්ද විය. පියා සංගීත අංශයෙන් ද ඉහලට ඉගෙනගත් සංගීතඥයෙකි. දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලක ගෘහ මූලිකයා වූ ඔහුට තිබූ වගකීම අතිවිශාලය. මාගේ මව වන දයානි ගෙදර දොරේ වැඩ කටයුතුු කරමින් දරුවන් බලා කියාගෙන ගෙදරටම වී සිටින ගෘහණියකි. ඇය සැමියා හෝ වැඩිහිටි දරුවෙක් සමඟ මිස තනියම ගෙයින් එළියටවත් නොයන කෙනෙකිය. ගෙදර දොරේ මගේ මවට උදව් කිරීමට ගමේ ගැහැණු කෙනෙකු සිටියාය. ඇය මවට කුස්සියේ වැඩට උදව් කළ අතර මාගේ එකම සොහොයුරිය පාසැලට ගෙන ගියේ ද ඇයයි. මගේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනා එවකට නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියේය.


ශ්‍රි ලංකාවේ 1970 මැයි මස තිබූ මහ මැතිවරණයට මුළු රට ම සූදානම් වූයේ කඩිනමිනි. අපේ ගෙදර අය ද අපේ නෑදායින් හා අසල්වැසියන් ද ඉතා ඕනෑකමින් මහ මැතිවරණය සදහා ජන්දය පාවිච්චි කිරිමට හා රාත්‍රීයට, ජන්ද ප්‍රතිඵල අහන්න බොහෝ ආසාවෙන් සූදානම් වුහ..... අපේ තාත්තා දේශපාලන පක්ෂ අපේක්ෂකයෙකුගේ පෞද්ගලික ලේකම් ලෙස එවක සේවය කළ බැවින් මහමැතිවරණය තිබූ දින අපේ ගෙදර එකම කලබල කාරි බවක් දිස් විය. හේතුව අපේ නෑ හිවතුන්ද, මහා මැතිවරණ ජ්න්දයේ ප‍්‍රතිඵල අහන්න අපේ ගෙදරට එක් රැස් වීමට බලාපොරොත්තුවෙන් සිටි බැවිනි.


එකල එනම් 1960/70 ගනන් වල ශ්‍රී ලංකාවේ රෑපවාහිනි යන්ත්‍ර නොතිබුන අතර, ගුවන් විදුලි යන්ත‍්‍ර තිබුණේද එහෙමත් යමක් කමක් තිබුන ගෙදරක පමණි. එබැවින් අහල පහල හිතවතුන් හා අපේ ලඟම නෑදෑයින් එදින අපේ ගෙදරට එක් රොක්වි ජන්ද ප්‍රතිඵල අහන්න නියමිතව තිබුන බැවින්, එදින උදේ සිට,මගේ මව, ආච්චි ,හා සේවිකාව, මුළු දවසම බොහෝ කාර්‍ය්බහුල විය. ඊට

පසු දිනට, යෙදී තිබෙන, මගේ පළමු අවුරුද්දේ උපන් දිනය සමරන්න සිටින මම නිසාත්, මගේ මව ඒ වෙනුවෙන්, පසුදින උදේට කිරිබත් සෑදීමට නියමිතය.( මම වැඩිහිටි බවට පත් වු පසු දැන ගත් තොරතුරු අනුව) එකල කාගේ හෝ උපන් දින දවසකට, කිරිබත් ,ලුනුමිරිස් සාදා කෑමට ගෙන, හවසට පන්සල් යනවට වඩා දෙයක් එකළ නොවීය. ළමයි මහ ගොඩක් සිටිනා පවුල් වල දෙමව්පියන්ට, එකළ දරුවන්ගෙ උපන් දිනය ගැන මතක තිබුනාදැයි සැකය.


"හෙට රෑට මේ පළාතේ ගොඩක් අය අපේ ගෙදරට එයි, චන්දප්‍රතිපල අහන්න....මොනව හරි ඒ කට්ටියට කන්න හදලා තියන්න ඕනේ...."


"මොනවද නෝනේ අපි තව හදලා තියන්නේ, රෑට එන කට්ටියට කන්න දෙන්න....'?


"වැලි තලප, හැලප ටික ලෑස්තියි නේ, එහෙනම් දියේ දාලා කඩල ටිකක් වැඩි වෙන්න තම්බලා , පොල් කෑලි කපලා, මිරිස් ටිකක් බැදලා ගමු...."


"කිරි කෝපි, තේ කහට වලට සීනි, කෝපි ලෑස්තියි නේද...?


"තව සීනි ටිකක් වැඩිපුර ගෙනත් තියාගමු.....සරත් මහත්තයාගෙ ලොක්කා, ජනාධිපති තරඟයට තරඟ වදින නිසයි මේ තරම් සෙනඟක් අපේ ගෙදරට ජන්දෙ අහන්න එන්න ලෑස්තිය...."


"ඔව්...ඔව්...ඒ නිසා තමයි ..."


මහා ජන්ද දවසේ රෑටඑළිවෙනකම් ගුවන් විදුලිියේ කියන චන්ද ප‍්‍රතිඵල අහන්න එන කට්ටියට කෑම බීම දීමට, අම්මාත් ගෙදර වැඩ කරන කුසුමාත් එකතු වී උදේ ඉඳන්ම කෑම සෑදුවේ ඉතා ඕනෑකමකිනි. ආච්චි ඒ අතර එක එක්කෙනාට අණ දෙමින් ගෙයි එහෙට මෙහෙට යන්නේ, මහා කඩිනමකිනි.

අම්මා, ආච්චි ,හා කුසුමාවති කඩල තම්බා, හැලප, වැලි තලප, පොල් කේක්, හා බිස්කට් ආදිය සකසා තබන ලද්දේ ඡන්දය අහන්න ගෙදරට එන උදවියට සංග‍්‍රහ කිරීමටය. (එකල රෑට ගෙදරට එන අමුත්තන්ට බත් මාළු දීමක් නොවිය). සැවොම තමන්ගෙ ගෙවල් වලින් රාත්‍රී ආහාරය ගෙන ජන්ද ප්‍රතිඵල අහන්න ඒම සිදු කරයි.


‘‘සරත් මහත්තයා නම් අද උදේ ඉඳන් ගෙදර නෑ..... මහත්තයාගෙ ලොක්කා ජ්න්දය ඉල්ලන නිසා මහත්තයාට හරි වැඩ ඇති.’’


‘‘ඔව්... ඔව්.. ලොක්කා දිනුවොත් ඉතිං, සරත් මහත්තයට රජ සැප තමයි. ඒකනේ සරත් මහත්තයා ඔය තරම් මහන්සි වෙන්නේ.... අපිටත් ඉතිං හොඳ රස්සාවක් එහෙමත් ඉල්ලගන්න පුළුවන් වෙයි, සරත් මහත්තයාලා දිනුවොත්....’’


"ඒක තමයි මේ තරම් සෙනඟක් මේ සරත් මහත්තයාලගෙ ගෙදර වටේ රොක් වන්නේ...."


උදේ ඉදන් ජ්න්ද ප්‍රතිඵල අහන්න ලෑස්ති උන හැමෝම රාත්‍රී දහය ලංවෙද්දි ගුවන් විදුලිය වටා වාඩිවී චන්ද ප්‍රතිඵල අහන්න ලෑස්ති උනේ පුදුම ඕනෑකමකිනි. ගෙයි සාලෙත්, මිදුලෙත්, ඉදගෙන, මහා සද්දෙන් දමා ඇති ගුවන් විදුලියේ ජන්ද අහන පිරිස බොහෝ සතුටින් කෑ කෝ ගසමින් විනෝදයෙන් නොවිසිල්ලෙන් සිටින්නේ, අපේ පියා, සහයෝගය දෙන මහා ජන්ද අපේක්ෂකයා දිනන තෙක්‍ය.


"අන්න...අන්න...තවත් ජන්ද ප්‍රතිඵලයක් කියවනවා, සරත් මහත්තයා වැඩ කරන පක්ශයට ඒ ජය...හුරේ....ජය වේවා....ජය වේවා....ගෙදර ,හා වත්තෙ සිටින උන් අත් පුඩි ගසමින්, සතුටින් කෑ ගසයි...."


"අන්න...තවත් තැපැල් ජන්දයක්...."


‘‘තැපැල් ඡුන්ද ප‍්‍රතිඵල නම් කියවන්න පටන් ගත්තා.....

ඒත් ඉතිං හරියටම මොන පක්ෂය දිනයිද කියල දැන්ම කියන්න බෑ ’’


මම්මත්,ආච්චිත්, ගෙදර වැඩ කරන ගෑනු කෙනත් චන්ද ප්‍රතිඵල අහන අයට, හැලප, වැලිතලප, බිස්කට්, කෝපි හා කහට තේ ආදියෙන් සංග්‍රහ කරති. සැවොම එම සංග්‍රහදිය සතුටින් බුක්ති විදිමින් ගුවන් විදුලියේ ඡුන්ද ප‍්‍රතිඵල අසන්නේ නොවිසිල්ලෙනි.


ප‍්‍රතිඵල අහන කට්ටිය කෑ ගසමින් අත්පුඩි ගසමින් -ඇක්සයිස් පොත් තියාගෙන ප්‍රතිඵල ලියන්න පටන් ගෙන ඇත. අපේ ගෙදර ඇතුලත හා වට පිටාවේ ඇත්තේ එකම ගාල ගෝට්ටියකි. හැමෝම සතුටින් නොවිසිල්ලෙන් පසුවේ....


මුලින් මුලින් ඉතා ඕනෑකමින් ඡුන්ද ප‍්‍රතිඵල අහන්න , ලියන්න පටන්ගත් මිනිසුන් පසුව ඈලි මෑලි ලෙස ඡුන්ද ප‍්‍රතිඵල ලියන්නට විය.... හේතුව මාගේ පියා වැඩ කරන දේශපාලන පක්ෂයේ චන්ද අඩු වී විපක්ෂය ඉතා වැඩි ඡුන්ද සංඛ්‍යාවක් ලබා ගෙන ඉහලට යන හේතුව බව කාහටත් වැටහිනි.


‘‘අනේ මේ අපේ බාල පුතාගේ පළවන උපන්දිනය හෙට,මං හිතුවේ කොල්ලගෙ වාසනාවකටවත් සරත් මහත්තයා උදව් කරන දේශපාලන පක්ෂය දිනයි කියලයි.’’


මම්මා මූණේ අතක් තියාගෙන දුකෙන් බලාන ඉඳි.


‘මම්මේ, පප්පා ඉන්න පක්ෂය පරාද උනොත් අපට මොකද වෙන්නේ.’’


ලොකු අයියා මම්මා ලඟට ඇවිත් අසන්නේ බයෙනි.


‘‘අනේ මන්දා දරුවෝ.’’ මම්මා දුකින් කඳුළු සලන්න පටන් ගත්තාය.


මද්‍ය්ම රාත්‍රීය වන විට, අපේ පියා උදව් කල පක්ෂය වැඩි ලකුණු සංඛ්‍යාවකින් පරාද වෙන බව හැමෝටම වැටහි ගොස් තිබුනි.... මුලින් ගේ ඇතුලේ තිබුන ශබ්දයන් අඩුවි, හැමෝම දුක්මුසු ලෙස, ඔහේ අහන්න ඕනෑවට ජන්ද ප්‍රතිඵල අහන බවක් පෙනෙන්න ඇත..... රාත්‍රීයේ අපේ ගෙදරට එක්‍ රැස් වු පිරිසෙන් භාගයක් දක්වාම සෙනග දැන් අඩු වි ඇත..... ලඟම නෑදෑයින් යාළුවන් පමනක් දැන් ගෙදර තැන තැන වාඩි වි දුකෙන් මුහුණට මුහුණ බලාගෙන ඉන්නේ, අපේ පවුලට මෙතනින් මෙහා මොනවයින් මොනවා වේදෝ කියා බයේය.


මහජන්දයට පෙර විපක්ෂයේ සිටියවුන් හා.... අපේ පියා වැඩ කල දේශපාලන පක්ශයේ අය බොහෝ උජාරුවෙන් පහුගිය කාලයේ හැසිරුන නිසා, මෙවර මේ පක්ශයේ පරාජය නිසා අපට කරදර සිදු වීමට වේයැයි සැකයක් සැම කෙනෙකුගේම හිත්වල ඇති ගානය. එබැවින් ඔවුන් ඉතා බයෙන් සැකෙන් දැන් ඉන්නා හැටි පෙනේ....


"අනේ ලොකු පුතේ,.... පප්පා වැඩ කල පක්ෂය, ජන්දයෙන් දැනටමත් පරාද වෙලා තියෙන්නේ , මට බයයි පප්පා ගැන, පප්පා පක්ෂ කාර්‍යාලයට අද උදේ ගිය ගමන්, තාම ආවෙ නෑ...අපි මොකද දැන් කරන්නේ...පප්පා හොදටම දුකෙන් ඇත්තේ, මාස ගානක්, පක්ෂය වෙනුවෙන් උන මහන්සිය අපතේ ගිය හැටි.... "


"අපි දැන් මොකද කරන්නෙ මම්මේ....?


"පප්පා ගෙදර එනකම් මොනවද කරන්න ඕනේ කියලා හිතා ගන්න බෑ...."

මම්මා බොහෝ දුකෙන් හිදී.


"අන්න සරත් මහත්තයා වාහනයකින් ආවා....මොකද දන්නෙ නෑ උනේ...දැන් තියෙන ආන්ඩුවේ රස්සාවත් නැතිවෙයිද දන්නෙ නෑ, දේශපාලන පක්ෂ වලට උදව් කරන්න ගිය නිසා..."


"අනේ මන්දා කොහොම හිටිය පවුලක්ද...?


ගෙදර ජන්දය අහන්න ඇවිත් සිටිය උන් කඩිනමින් පියා ආවා බලන්න ගෙයි දොරකඩට ගියේය ...


එළිවෙන යාමයේ කලබලයෙන් පක්ෂ කාර්යාලයේ වාහනයකින් ගෙදර ආ තාත්තා ඉතා දුක්මුසු ලෙස අම්මා ඇමතුවා ය.


‘‘දයානි අපේ පක්ෂය දිනයි කියල හිතුවට, අපි දැන් පරදින්නයි යන්නේ..... අපි පැරදුනොත් විපක්ෂයේ කට්ටියගෙන් අපට කරදර වෙන්න පුළුවන්..... ඒ නිසා ඔයා දරුවන්ගෙ ඇඳුම් ටික අහුරලා බෑග්වලට දාලා තියාගන්න. හදිස්සියක් වුණොත් මං වාහනයක් ඇරන් එන්නම්. අපි යටියන්තොට ඔයාගෙ බාප්පලාගෙ ගෙදර යමු ටික දවසකට....’’


‘‘අනේ අපට මිනිස්සු කරදර කරයි ද?’’

මම්මා බය වී ඇත.


‘‘නෑ... නෑ... ඔයා බයවෙන්න එපා. අපේ අහල පහල මිනිස්සු අපට උදව් කරයි... ඔයා දරුවන්ගෙ ඇඳුම් එහෙම ලෑස්ති කරගෙන ඉන්නකෝ.’’


‘‘අනේ අපේ පොඩි පුතාගේ පළවන උපන්දිනය අද. ...මේ කොල්ලගෙ අවාසනාවට දෝ කොහේද අපට මේ කරදර සිද්ධ වෙන්න යන්නේ..... අම්මා මාගැන එසේ කියූ බව මා හට දැනගන්නට ලැබුණේ කාලයක් ගොස් මා ලොකු දරුවෙක් වූ පසුවය.


‘‘සරත් මහත්තයාගේ පක්ෂය පැරදිලා. ආණ්ඩුවේ සේවකයොයි, දේශපාලඥයන්ට උදව් කරපු අයයි ඔක්කොම , සේවයෙන් මාරු කර අරිනවාලූ ඈත පැතිවලට.’’


‘‘මම්මේ , පප්පාවත් ඈත පැත්තකට මාරු කරලා අරියි ද?’’


ලොකු අයියා මම්මාගෙ ඇගේ දැවටෙමින් අසන්නේ හොදටම බය වීය.


‘‘අපි බලමු පුතේ මොනවද වෙන්නෙ කියලා.’’


ඊයේ ගෙදර තිබූ, සතුටුදායි කලබලය, ගාල ගෝට්ටිය අද නැත. ඡුන්ද ප‍්‍රතිඵල අහන්න පැමිණ සිටි අයගෙන්ද නෑ හිතමිතුරන්ගෙන් බොහෝ දෙනෙක් නැවත ඔවුන්ගේ ගෙවල් බලා ගොස් ඇත. පියා උදව් කල දේශපාලන පක්ෂය පැරදුනාට පසු, මෙහි තවත් ඉදීමෙන් වැඩක් නැති බව ඔවුන්ට තේරි ගොස් ඇත. මේ වන විට අපේ පියා වැඩකල දේශපාලන පක්ෂය විශාල පරාජයක් දක්වා යමින් තිබෙන බව පෙනෙනෙන්න ඇත. විශාල ජන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් විපක්ෂය ඉදිරිරියෙන් ඉන්නා බව ජන්ද ප්‍රතිඵල වලින් පෙනි යයි.


මේ වන විට ගෙදර ඉතිරි වි සිටි, ලඟම නෑ,හිත මිතුරන්ගේ මුහුනේ කිසිම සතුටක් නැත. ..... කිසිම හාහූවක් නැතිව ඔවුන් අත් මූණේ තියාගෙන හැමෝම බිරන්තෙට්ටු වී බලාගෙන ඉන්නෙ තාත්තා උදව් කරපු දේශපාලඥයා ඊයේ පැරදී යමින් සිටින බැබිනි. විපක්ෂය ලබන දිනුමෙන් පසු, අපේ පියාට කුමක් වේදැයි සැකයකින් හැමෝම පෙළි හිදියි.


මම්මා සැමට හොරෙන් දෑසේ කදුළු හංගා ගන්නට උත්සහ ගනියි. ආච්චි හැමෝගෙම ප‍්‍රශ්ණවලට උත්තර සපයමින් ඉතා නිර්භීත ලෙස ගේ හැම තැන ම එහෙට මෙහෙට යමින් අම්මාට, කුසුමාවතිට උපදෙස් දෙයි.


‘‘දයානි, උඹ බයවෙන්න එපා.... උඹ ඔය ළමයින්ගෙ ඇඳුම් පැළඳුම් ටික ලෑස්ති කරගනීන්,.... මං උඹලට ඕනකරන අනිත් බඩු ඔක්කොම ලෑස්ති කරල තියෙන්නෙ.... හදිස්සියක් උනොත් උබ මහත්තයත් එක්ක මේ දරුවොත් අරන් ඈතකට යන්න. මං ඊට පස්සෙ වෙන්න ඕන දේවල් බලා කියාගෙන පස්සෙ උඹලව බලලා යන්න එන්නම්..... මට බයයි මේ මෝඩ මිනිස්සු පක්ෂය පැරදුනා කියලා ,ඒවාට උදව් කළ උඹලාටත් කරදර කරයිද කියලා..... ටික දවසකට මේ පැත්තෙන් කොහේට හරි ගියොත් හොඳයි තමයි ...”

ආච්චි අම්මට උපදෙස් දෙයි.


"ආ .....අර පක්ෂ කාර්‍යාලයට ගිය, සරත් මහත්තයා,....කාර්‍යාලයෙ වාහනයකින්ම ආපහු එන්නේ මොකද දන්නෙ නෑ.... මොකද කියලා ගිහින් බලන්න....’’


‘‘දයානි,.. දයානි... මට මේ දැන් පක්ෂ මහා කාර්යාලයෙන් දැන්වූවා.... මාවත් ඈත දුෂ්කර පළාතකට මාරු කරලා ඇරපු බවක්...... ඡුන්දෙට උදව් කළ ආන්ඩුවේ ඉහළ තනතුරු දරපු හැමෝම මාරු කරල අරින්න ලෑස්ති කරලා තියෙන්නෙ..... මාව යාපනයට මාරු කරලා තියෙන්නේ ...... පැය 24 ඇතුළත මට කොළඹින් පිටවෙන්න කියල දැන්වූවා....’’


‘‘මගෙ අම්මෝ එච්චර දුරක්.... අනේ මගේ දරුවෝ. අපි කොහොමද මේ ළමයි පස්දෙනත් එක්ක ඒ තරම් දුර ගිහින් ජීවත් වෙන්නේ.....’’ අම්මා අඬන්න පටන් ගත්තා ය.


‘‘අනේ දයානි ඔයා අඬන්න එපා.... අපේ දරුවෝ බයවෙයි. මාව යාපන කච්චේරියට මාරු කරල තියෙන්නෙ.... අපට නවතින්න එහේ නිල නිවාසයක් ලැබෙයි. අපි දරුවොත් අරන් එහේ යමු. වෙන කරන්න දෙයක් නෑ....මට ඔයාවයි ළමයිවයි කොළඹ දාලා එච්චර දුරක් තනියම යන්න හිතෙන්නෙ නෑ....අපි ඔක්කොම පුලුවන් විදිහට එහෙ ගිහින් ජීවත් වෙමු.... ‘‘


‘‘එතකොට මේ ලොකු ළමයින් තුන්දෙනාගේ ඉස්කොල ගමන්...?’’


‘‘අපි ළමයින්ව එහේ ඉස්කෝලවලට දාගමු, දයානි, අද රෑට අපි කොළඹින් යාපනේ යන යාල් දේවි කෝච්චියට නගින්න ඕනේ..... ඔයා දරුවන්ට, අපට අවශ්‍ය කරන ඒවා පුළු පුළුවන් විදිහට ලෑස්ති කරගන්න....විපක්ෂයේ කට්ටිය සන්තෝසය වැඩි කමට හැම පලාත් වලම කුලප්පු වෙලා....පැරදුන පක්ශ වල අයට, කරදර කරනවා කියලත් ආරංචියි .....’’


තාත්තා කලබලයෙන් කතා කරමින්, ගෙ එහා මෙහා යමින්, ඔහුගේ හා අපගේ අතයාවශය ලියකියවිලි ලෑස්ති කරගත්තේය.


අම්මා කඳුළු පෙරමින් අපට ගෙනියන්න අවශ්‍ය ඇඳුම් ලෑස්ති කරයි..... ආච්චි අපට මඟ දී කන්නට කෑම ලහි ලහියේ කුසුමාත් සමඟ ලෑස්ති කරයි. ඇය ද දුකින් හා බයෙන් ඉන්නා බවක් පෙනෙයි.


‘‘පොඩි එකාගෙන් තාත්තට අපල ඇති,පළමු උපන්දිනයවත් සමරන්න හම්බවුණේ නෑනේ.....’ ගම රට අතහැරලා යන්න වුණානේ.’’


ආච්චි කියන්නේ හෙමිහිටය.


‘‘එහෙම කියන්න එපා ලොකු හාමිනේ කිරි සප්පයන්ගෙන්, දෙමව්පියන්ට මොන අපල ද?...’’ කුසුමා ආච්චිට කියයි.


මහා ජන්දය අවසන් උන රාත‍්‍රියේ, තාත්තා අප සියල්ලන්ටම දුම්රියපළට යන්නට වෑන් රථයක් ලෑස්ති කර තිබුණි.... ලොකු අයියා, අම්මාට ද, තාත්තාට ද උදව් කරමින් වෑන් රථයට අපේ අත්‍යවශ්‍ය බඩු පැටවීය..... අහල පහල ගෙවල්වල හිතමිතුරන් ද, නෑදෑයින් ද අපේ ගෙදරට විත් සිටියේ අපි යාපනය බලා යන ගමනට ආශිර්වාද කරන්නටය. සියල්ලන් ම දුක්මුසු මුහුණින් අපේ ගමනට ආශිර්වාද කළෝය. ආච්චි පුංචි අප සියල්ලන්ව සිප වැළඳ ගෙන අම්මාව බදාගෙන අඬන්නට විය. අම්මා ද ආච්චිව බදාගෙන අඬන්නේ ඇයි දැයි පුංචි අපට නොතේරුණි.


‘‘ එහෙනම් ඔන්න හැමෝටම කිව්වා..... අපි ගිහින් එන්නම්.....’’


පප්පා ,අපේ ගෙදරට එක් රොක් වි සියල්ලන්ටම,දෙඅත් උස්සා ආචාර කලේය...... පප්පා මාව වඩාගෙන සුදු අය්යාව ද එක අතකින් අල්ලා ගෙන වාහනයේ ඉදිරිපසින් නැග්ගේය. මම්මා, අක්කත්, ලොකු අය්යා, හා පොඩි අය්ය සමග වාහනයේ පිටු පසට නැග ගත්තාය .


අපි සියල්ලෝ රැගත්, වෑන් රතය කොළඹ දුම්රියපොළට එන විට රාත්‍රි අටට පමණ ලං වී තිබුණි. පප්පා හා ලොකු අයියා අපේ බඩු මුට්ටු ස්ටේෂනයට භාර දී අවශ්‍ය වැඩකටයුතු ලෑස්ති කරමින් ටිකට් පත් ද මිලදි ගත්තේය. ඉන්පසු අපි හත්දෙනාම දුම්රියපොළේ බංකුවක වාඩි වී යාපනය බලා යන කෝච්චිය එනතෙක් බලා සිටියෝය. අපි හත් දෙනා සමග, අපේ පියා යන්න හදන ගමන ඉතා අවිනිශ්ශිත ගමනකි. සැවොගෙම හිතේ ඇත්තේ ඒගැන සැකයක් මිශ්‍ර බයකි. සැවොම කිසි කතාබහක් නැතුව යාපනය බලායන කෝච්චිය එනතෙක් අව්නිශ්චිත හැගීමෙන් බලා සිටියෙමු.


යාපනය බලා යන කෝච්චිය තව ටිකකින් දුම්රියපොළට ලඟා වන බව මගීන්ට ඇසෙන්න නිවේදනය කළ පසු තාත්තා, මාවත් වඩාගෙන සුදු අයියාව අතින් අල්ලාගෙන ලොකු අයියාටත් පොඩි අයියාටත් කතා කළේ ය.


‘‘ලොකු පුතේ, නංගිලා, මල්ලිලාත්, අම්මවත් පරිස්සමට කෝච්චියට නග්ගගන්න.... ඔය මල්ලිගෙ ඇඳුම් බෑගය පරිස්සම් කරගන්න, මග දිගට එයාට ඇඳුම් ඕනවෙයි.’’


‘‘කෑම බෑග් කා ලඟ ද? ආ.. පොඩි පුතේ ඔය බෑග් පරිස්සම් කරගන්න. අපට දවසක් විතර කන්න තියෙන කෑම.... අපි යාපනයෙන් බහින්නේ හෙට දවාලට, දවසක ගමනක් නිසා අපට අතර මගින් කෑමත් ගන්න බැරිවෙයි.’’


-නැවත හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

7 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

1 Comment


Lakmini Jayanetti Perera
Lakmini Jayanetti Perera
Jul 30, 2021

ආසාවෙන් කියවන්න යන්නේ💕

Like
bottom of page