top of page
  • Writer's picturePrisila Godahewa

ගිමන් හරිමි 💥

(9 වන කොටස )

🍁🍁🍁🍁🍁🍁🍁🍁


"ලොකු කොල්ලට අපේ පවුල ගැන තියෙන කැක්කුම උඹලැයි තාත්තාට නෑ....ඇත්තනෙ බං, උබළැයි තාත්තා මම ගෙදර නැති අතරේ, වෙන ගේක ගෑනියෙක් ලගට ගිහින් නැවතුන නිසා ලොකු කොල්ලා තාත්තා එක්ක කේන්තියෙන් ඉන්නේ....ඒ විතරක්‍යැ, මම ගෙදර ඉන්න කාලේ උනත් ඒ මිනිහා උඹලා ගැන බැලුවෙ නෑනේ....ඒවා ඔක්කොම ලොකු කොල්ලට මතකයි...."


"ඒක ඇත්ත අම්මේ...මමත් දැන් තාත්තව දකින්නවත් කැමති නෑ....මට මේ ලැයිමේ දැන් ඉදලා ඇතිවෙලා තියෙන්නේ ....අපි වෙන කොහේ හරි පදිංචියට යමුද අම්මේ....?


"මටත් ඕනේ මේ මුඩුකුවෙන් එළියට ගිහින් මනුස්සයෝ වගේ ජීවත් වෙන්න....ඒකට පොඩි පොටක් පෑදීගෙන එන්නේ...මම ලොකු කොල්ලටත් කිව්වා....ඒකා නම් එක පයින් ඒ වැඩේට කැමතියි..."


"මොකක්ද අම්මේ ඒ පොට..."?

"උඹ දන්නව ද ලොකු දුවේ.... අර ඇසිලින් කිව්වා,..... ඇසිලින් නැන්දලාගේ ඈතින් නෑවෙන මල්ලි කෙනෙක් ඉන්නවාලූ පාදුක්ක පැත්තෙ.... ගෑණි මැරුණ කෙනෙක්..... ඒ මනුස්සයා හොඳට හම්බ කරනවලු ගෙවල් විකුනන බ්‍රොකර් වැඩ එහෙම කරලා ... ඇසිලින් ඇහුව්වා මට ඒ මිනිහව කතා කරල දෙන්නද කියල ආයෙත් කසාඳ බඳින්න...."


" අම්මා ආයෙත් කසාද බදින්න....??ම්ම්...අම්මගෙ කැමැත්තක්....තාත්තත් ගෙදර එන්නෙ නැති එකේ....එහෙම උනත් කමක් නෑ...."


"මට දැන් මේ මුඩුක්කුවේ ඉඳලා ඇති වෙලා ලොකු දුවේ..... ඒ මනුස්සයට පාදුක්කේ ඕවිටක, ගෙයකුත් තියෙනවලූ..... ..ඒ මිනිහට කසාද බදින්න ගෑනියෙක් හොයනවා කියලා ඇසිලින් අක්කා කිව්වා....."


"මටත් මේ මුඩුක්කු පේලියෙ ඉඳල එපා වෙලා තියෙන්නේ අම්මේ..... අඩුගානෙ මේ ගාල ගෝට්ටු කන්කරච්චලෙන් බේරිලා, මේ කුනු ගද ගහන,මේ පේලි ගෙවල් වලින් ගිහින් ගහක් කොලක් තියෙන තැනක ඉන්න තියනවානම් කොච්චර සැප ද?...


"උඹත් දැන් ලොකු එකියක්නේ..., උඹට යමක් කමක් තේරෙන එකේ, උඹ දන්නවානේ තාත්තා ආයෙත් මේ ගෙදරට එන්නේ නෑ....ආවත් මං ඌව ගෙට ගන්නෙත් නෑ....එහෙව් එකේ මම එහෙනම්..ඇසිලින් නැන්දගෙ ඒ යෝජනාවට කැමතියි කියන්නද ලොකු කෙල්ලේ .....?අපට වැඩි කාලයක් නොගිහින්ම මේ මුඩුක්කුව අත ඇරලා ඒ මනුස්සයාගෙ ගෙදර පදිංචියට යන්න පුලුවන් වෙයි එතකොට . ...."


"ඔව් අම්මේ අපිට මේ මුඩුක්කුවෙන්, මෙතනින් බේරිලා යන්න තියෙන හොඳම අවස්ථාව ඕක තමයි .... අම්මා අයියටත් කියල බලන්න...."


"මං උඹට කියන්න ඉස්සර ලොකු පුතාට ඒක කිව්වා.... ඒකා එකපයින් කැමතියි අපි මේ මුඩුක්කුවෙන් යනවට....අනික මම නිතර දකිනකොට, හම්බවෙන කොට, තාත්තා එක්ක ආයෙත් රංඩු කරයි කියලත් ඌ බයයි....ඒ නිසා වෙන්න ඇති අය්යා කිව්වා නංගිගෙන් අහලා, නංගි කැමති නම් මට ඒ මනුස්සයාව බැදලා ඒ මනුස්සයාගෙ ගෙදර පදිංචියට යන්න කියලා ...."


"මගෙත් අකමැත්තක් නෑ අම්මේ...මටත් ඕනේ මේ මුඩුක්කුවෙන් ඈත්වෙලා, වෙන කොහේට හරි යන්න ...."


"එහෙනම් මම ඇසිලින්ට කියන්නම් වැඩි දවසක් නොයා ...ඒ මනුස්සයාව මට බලන්නත් එක්ක මෙහෙට එක්ක එන්න කියලා ..."


"ඔව් අම්මේ, එහෙම හොදයි ...අපිටත් කියලා ජීවිතයක් තියෙන්න එපෑ...හැමදාම දුක්විද විද මේ අපායේ වැටිලා ඉන්න බෑනේ...."


අම්මා ආයෙත් කසාදයක් බදිනවට මගේ හිතේ කිසි අකමැත්තක් නොතිබුනේ, ඉපදුනද සිට අම්මගෙයි තාත්තගෙයි රංඩු සරුවල් නිසා හෙම්බත්වී සිටිම වගේම මේ මුඩුක්කු ජීවිතේත් මට එපා වෙලා තිබීම නිසායි.... අම්මා නැවත කාව හෝ කසාද බැද හෝ නොබැද මේ පළාතෙන් ඈත්වී ඇය සමග යන්නට අපටත් හැකි වෙනවා නම් කෙතරම් අගේ දැයි මගේ හිතට තදින්ම දැනී තිබුනී.


"වැඩේ තියෙන්නේ ...ඒ මිනිහ මේ ළමයි රොත්තත් එක්ක මාව භාර ගනීද දන්නෑ...."


"ඒකනම් ඇත්ත අම්මේ.....හැබැයි දැන් ලොකු අය්යයි, ලොකු මල්ලියි මාකට් එකේම රෑට නවතින නිසා, පොඩි මල්ලිලා දෙන්නයි මටයි විතරනේ ගියත්,...අම්මා එක්ක යන්න තියෙන්නේ ..."


අවුරුදු දහතුනක දැරියක් උනත්...වයසට වඩා යමක් කමක් තේරුම් ගන්න පුලුවන් මම අම්මාට ගුරුහරුකම් දෙන්නේ පැහිච්ච එකියක් ලෙසය. අම්මා,තාත්තා නැතුව මල්ලිලා බලාගෙන අවුරුද්දක් ගෙදර හිටිය මට, මගේ හිතට, තනියම හිටිය කාලේ ඇතිවී තිබුන හිතේ ශක්තිය ද්‍යීර්ය පුදුමාකාරය.... මෙවැනි ළැයිමක....අම්මා, සහොදරියො, තමන්ගේ දරුවන්වත් කවුද කියාවත් ,තේරුම් ගන්න බැරි බීමත් මිනිස්සු අතරේ....ඕපාදූප කියනා ගැහැනුන් අතරේ ජීවත් වුන මට, මගේ ජීවිතෙත් බේරාගෙන , මල්ලිලාත් බලාගෙන ජීවත්වෙන්න ලැබුනේ...වයසට වඩා මම පැහිනු කෙනෙක් ලෙස අත්දැකීම් ලදව ජීවත් උන නිසාවෙනි. එය අම්මා රට යන්නට පෙරම, මා ලග තිබු ශක්තියක් වෙයි.... අම්මා ඒ ගැන... හොදාකාරවම මා ගැන දැන උන් නිසා... ඇය මා සමග මල්ලිලා දමා රට යන්නට ඇත්තෙත් එබැවිනි.


"ඔව් කෙල්ලේ....මම ඇසිලින් අක්කට කිව්වා ඒ මනුස්සයාට මගේ ලොකු කොල්ලො දෙන්නා ගැන කියන්න ඕනේ නෑ කියලා ....උන් කොහොමත් දැන් මාකට් එකේ ජීවත් වෙන්න පුරුදු උන නිසා, ඔය ඉන්න විදිහටම මාකට් එකේම ටික කාලයක් හිටපුවාවේ....පස්සෙ බැරියැ ඒ මනුස්සයාට උන් දෙන්නා ගැන කියන්න...නැත්තම් මම කොහොමද බං...මේ ලමයි රොත්තක් එක්ක ඒ මිනිහ එක්ක යන්නේ...."


"ඒක හොදයි අම්මේ...ඉස්සෙල්ලා අපි මේ ලැයිමේ ජීවිතෙන් මිදිලා... ඊට පස්සෙ අය්යයි මල්ලියි එහෙට ගෙන්න ගමු...."


වැඩි දවසක් නොගිහින්ම ,ඊට පසු සුමානෙක ඇසිලින් නැන්දා තරුණ පිරිමි කෙනෙකු සමඟ අපේ ගෙදර ආවේය.


ඔහු අපේ ගෙදර ආවේ තනියම, උදේ වරුවක පුශ් බයිසිකලයක් පැදගෙනය....අපේ ලැයිමේ උන් ඇසිලින් නැන්දා, ඔහු ඒමට පෙර අපේ ගෙදරට විත් සිටියාය. මට හිතාගන්නවත් බැරි තරමට ඔහු හොද පෙනුමැති තරුණ කෙනෙක් විය. ඔහු අනිවාර්යයෙන්ම අම්මාට වඩා අවුරුදු පහක් හයක්වත් බාල කෙනෙක් වෙන්න ඇතැයි, ඔහු දුටු මොහොතේම මට සිතුනි.


ඔහු එන්න කලින් ඇසිලින් නැන්දා අපේ ගෙදරට විත් අම්මා සමග, ඔහුගේ හොද, කියමින් ඔහු මුරුංගා අත්තේ නංගවමින් සිටියාය.


රට ගොස් ආවට පසු අපේ අම්මාද, පාට වැටි පුශ්ටිමත්‍ හා තරුණ පෙනුමක් ගෙනත් තිබීම නිසා, ඒ ආ පුද්ගලයා අම්මා දෙස ඉතා කෑදර ලෙස බලමින් කතා කරනවා මම දුටුවෙමි. අම්මාද ඔහු සමග තොදෙල් වෙමින් අහිංසක ලෙස කතා කිරිම මට පුදුමයක් විය.


කෙසේ නමුත් ඔවුන් දෙදෙනා අම්මා සමඟ නොයෙක් දේ කතා බහ කරගත් අතර මම ඔවුන්ට බිස්කට් පැකැටුවක් කඩා, ඔරෙන්ජ් බාර්ලි බෝතලයක් කඩා ඇල්ලිය.


"මේ කුසුමගෙ දුවද..?


"ඔව්...මේ තමයි මගේ එකම කෙල්ල...මේ කෙල්ල ඉතිං ,මේ ගෙදර අම්මා වගේ තමයි හිටියේ.... මම රට හිටිය කාලේ මල්ලිලා බලාගෙන කන්න බොන්න දුන්නේ මේ කෙල්ල තමයි… ....මුංටත් කියලා හොද කළක් යන්න එපෑ...ඒකයි මම මේ වගේ තීරණයක් ගත්තේ...මුංගෙ තාත්තා ඉතිං මේ වත්තෙම ගෑනියෙක් එක්කනේ ඉන්නේ...මට ඒවා බල බල මේ වත්තේ ඉන්න හිතෙන්නේ නෑ ,ඒකයි මම ආයිත් කසාදයක් බැදලා හරි වෙන පළාතකට යන්න ඕනෙ කියලා හිතුවේ....හැබැයි ඉතිං මට දැන්ම කසාදයක් බැද ගන්න බෑ...ඉස්සෙල්ලා අපේ මනුස්සයාගෙන් දික්කසාද වෙලා ඉන්න එපෑ...."


"ඔව්...ඔව්...ඒවා පස්සෙ කරගන්න බැරියෑ..." ඇසිලින් නැන්දා අම්මාව තව තවත් උනන්දු කරවයි...."


"එහෙනම් ඉතිං වැඩි කාලයක් නොගිහින් ඔහේ මේ ළමයිනුත් එක්ක අපේ ගෙදර ඇවිත් නැවතුනානම්...මගේ අකමැත්තක් නෑ ඔහේට....මාත් තනියම නේ ඒ ගෙදර ඉන්නේ...ඒකයි මම ආයෙත් කසාද බදින්න හිතුවේ..."


"ඔහේගෙ අකමැත්තක් නැත්නම් අපි වැඩි කාලයක් නොගිහින්ම එහෙ පදිංචියට එන්නම්...."


"එහෙනම් එන සුමානෙ දිහා අපේ ගෙදර පාදුක්කේ,යන්න ලෑස්ති උනානම්...මම එන්නම් එක්ක යන්න ...වැඩිය ගෙනියන්න කියලා බඩු එහෙමත් නෑනේ..."


"මොන බඩුද...? ඔය මම රට ඉදන් එනකොට ගෙනාපු ඇදුම් කෑලි ටික තමයි ගෙනියන්න කියලා තියෙන්නේ ....."


"උබලා එතකොට කසාද බදින්නෙ කවදද...? ඇසිලින් නැන්දා නැවත සැකේට ඇසිය.


"දැම්ම කසාද බදින්න හැටියක් නෑනේ අක්කේ....ඉස්සෙල්ලා මම අපේ මිනිහගෙන් දික්කසාද වෙලා ඉන්න එපෑ.....ඒ මිනිහට එහෙම, මගෙන් දික්කසාද වෙන්න උවමනාවක් නැති පාටයි...ඒ නිසා මටත් ඒකට, ඒ හැටි ගානක් නෑ...මම මෙයත් එක්ක ගිහින් පස්සෙ දික්කසාදේ ඉල්ලනවා..

"

අම්මටත් ඒ මනුස්සයා එක්ක යන්න ලොකු උවමනාවක්, හදිස්සියක් තිබෙන බව මට වැටහිනි.


ඒ මනුස්සයාගේ නම සරත් කියලයි ඇසිලින් නැන්දා කීවේ..... අම්මට වඩා ගොඩක් තරුණ පෙනුමැති ඒ මනුස්සයා හොඳ කඩවසම්ය. මං මුලින් හිතුවේ ඒ මනුස්සයා අම්මට කැමතිවෙන එකක් නැත කියායි..... නමුත් අම්මත් රට ගිහින් ආවට පස්සෙ හැඩ වැඩ ඇදුම් ඇද ,රත්තරං බඩු දාගෙන නිතර සුවද විලවුන් දමාගෙන ඉන්න නිසා, මිනිසුන් අම්මට අකමැති නොවෙන්න හේතුවකුත් නැත....

ඒ නිසා ඔහු අම්මට කැමති වෙන්නට ඇති.


හෙට හමුවෙමු

*ප්‍රිසිලා ගොඩහේවා *

11 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page