top of page
  • Writer's picturePrisila Godahewa

💥ගිමන් හරිමි💥

(8 වන කොටස)

🍁🍁🍁🍁🍁🍁

අම්මා පිටරට රට රස්සාවට ගොස් ඉද නැවත ලගදිම ,ගෙදර එන බව ලූසියා නැන්දා කියා තිබුන නිසා මම නිතර ගෙදර අස්පස් කර පිරිසිදුව තියාගත්තෙමි. ලුසියා නැන්දා, අම්මා කොයිවෙලේ හෝ ගෙදර එන බව කියා තිබුනත්, ඇය උන්හිටි ගමන් ගෙදරට කඩන් පාත්වේ යැයි මා නො සිතුවෙමි.


හිට්පු ගමන් දිනක් සුදුපාට වෑන් රතයක් විත් අපේ ගේ ගාව නතර කල විට, අහල පහල ගෙවල් වල ගෑනුන් හා ළමයින් එළියට විත් ඒ දෙස බලා සිටියේ කවුරුන් මේ වාහනයෙන් ආවාදැයි සැකේටයි. කවර හො සමිතියකින් අපට ආධාර බෙදන්න ආවාදෝ කියා සැකේට මමත්, මල්ලිව වඩාගෙන ගෙයින් එළියට ආවේ සැකේටමයි.


සුදුපාට වෑන් රතයේ පිටුපස දිගු දොර ඇරී ඒ තුලින් එළියට ආවේ.....දිගු දිලිසෙන, පාට ගවුමක් ඇදගත්, රත්තරං බඩු දමාගත් ගැහැනු කෙනෙකුයි. ටික වේලාවක් ඈ දෙස බලා හිදියදී...ඒ ඇවිත් තිබුනේ අපේ අම්මා කියා හදුනාගන්නට, මට ටික වේලාවක් ගියාය....මට ඇය දැක ඇස් අදහාගත නොහැකි විය.


"කොහොමද දුලීකා .... ළමයිනේ උඹලට කොහොමද ....කෝ අද මේ කොල්ලෝ දෙන්නා ඉස්කෝලේ ගියේ නැද්ද...? අප්පේ මං නැති කාලෙට මුං දෙන්නා ඇට්ටර පාට වෙලා..... ,ලොකු අය්යා මාකට් එකට ගියාද දුලීකා .....මම මේ එයර්පෝට් එකේ ඉදන් එන ගමන්...හරි මහන්සියි....අප්පේ තියෙන රස්නයක්.....ඊට හපන් මේ කානු ගද...."


අම්මා ලංකාවට ඇවිත් ගුවන් තොටුපොලේ සිට ගෙදර ආවේ සුදු පාට වෑන් රථයකිනි. සුදෝ සුදට බෝලයක් වගේ මහත් වී සිටි අම්මා කියන්න බැරි තරමට ලස්සන වී සිටියාය.


අතේ ,කනේ, කරේ රත්තරං බඩු දාගෙන දිලිසෙන ගවුමක් ඇඳ සිටි ඇය ලඟින් ඉවසන්න බැරි තරම් හොඳ සෙන්ට් සුවඳක් විහිදිනි.


"අම්මා ලස්සන වෙලා, අදුන්නන්න බැරි තරම්...මං බැලුවා කවුද මේ වෑන් එකෙන් බැස්ස නෝනා කියලා ...." මම පුදුමයෙන් අම්මා දෙස බලාන කීවෙමි.


ලොකු මල්ලිලා දෙන්නා අම්මා දැක ගිහින් ඇයගෙ ඇඟේ එල්ලූනත් පොඩි මල්ලි මගේ බෙල්ල බදාගෙන, හොරෙන් අම්මා දෙස බැලූවේ කවුද මේ ඇවිත් ඉන්නේ කියා අසන්නාක් මෙනි.


"අනේ මගේ පොඩි එකෝ වරෙන් මගේ ලඟට...."


අම්මා මල්ලීව වඩාගන්න උත්සහ කළත්, ඔහු මාව තව තවත් බදාගත්තේ...ඔහුගෙ මුහුණ මගේ බෙල්ලේ හංඟා ගෙනය. ඌට අම්මා මතක නැත. කිරි බොන පොඩි එකා දමා අම්මා රට ගියාට පසු ඌට අම්මා උනේ මා ය. ඌට මා තරම් වෙනකාවවත් වටින්නේ නැත. ඌව නහවා සෝදා කවා පොවා මාගේ තුරුලේ නිදි කරන නිසා මා ඌගේ අම්මා යැයි චූටි මල්ලි සිතනවා ඇත. චූටි මල්ලි මගෙන් කිරි බිව්වේ නැති එක විතර ය.


" අයින් වෙයල්ලා ළමයිනේ....හරි රස්නෙයි ....ඔන්න මං උඹලට ටොෆි, චොකලට් ඇති වෙන්න ගෙනත් ඇති.... ලස්සන ඇඳුනුත් ඇති...." අම්මා ගෙනා බෑග් ගෙට ගන්නට මල්ලිලා දෙන්නා උදව් කළේ ය.


"කොහොමද ලොකු දුවේ තාත්තා එහෙම....උඹලව බලලා යන්න එනවද...? මට ආරංචි වුණා ගෙදර එන්නෙ නෑ මැගිලින්ගෙ ගෙදර ඉන්නෙ කියලා.... මං ඒක ආරංචි වුන ගමන්ම ඌට සල්ලි එවන එක නැවැත්තුවා....ඒ කතාව ඇහුව්වට පස්සෙ මට ගෙදර එන්න හිතුනා..."


"අම්මා සල්ලි එවන්නෙ නෑ කියල දවසක් තාත්තා ,මටත් කෑගහල ගියා. තාත්තා හිතන්නෙ අම්මා මට එයාට හොරෙන් සල්ලි එවනවා කියලා... දවසක් දෙකක් ඇවිත් මගෙනුත් සල්ලි ඉල්ලලා කරදර කළා. හොඳ වෙලාවට එදා ලොකු අයියා ගෙදර හිටි නිසා තාත්තට බැනල එලෙව්ව ගත්තා...."


"ලොකු පුතා උඹලව බලන්න නිතර එනවද ලොකු දුවේ...."


"ඔව්.. අයියා තමයි අපට කන්න බොන්න ගෙනත් දෙන්නේ....."


"මොනවද කෙල්ලේ අලුත් තොරතුරු ....උඹ නම් හිටිය විදිහමයි....මස් කලදක් ඇගට දාලා නෑ....මේ පොඩි කොල්ලා ලොකු වෙලා ,එච්චරයි වෙනස් වෙලා තියෙන්නේ ....ලැයිමත් ඒ විදිහම තමයි ,තවත් ටිකක් අපාය වගේ වෙලා....අනේ අප්පේ අපි කොහොම මේවායේ හිටියද කියලා හිතෙන්නේ රට ගිහින් ආවට පස්සෙ තමයි ....මේ කොල්ලෝ දෙන්නා දැන් ඉස්කෝලේ යනවද දුලීකා ...?


" ඉදලා හිටල මම බැන්නොත් තමයි ඉස්කෝලේ යන්නේ....දැන් ඔය ලොකු මල්ලිත් අයියගෙ පස්සෙ වැටිල මාකට් යන්නේ..... ලොකු මල්ලි එක එකාගෙ ඇඳුම් එහෙම හොරකම් කරනවා කියලත් ආරංචි උනා...... මැගි නැන්දා කිව්වේ.... කොයි වෙලේ හරි ඌ නිසා අපට පොලීසිත් යන්න වෙයි කියලා ...."


"අනේ දෙවියනේ මං නැති අතරේ මුන් හොරුත් වෙලා ද?... කොහේද අප්පෙක් කියල එකෙක් ඉන්නව ඒ මිනිහට මගුල්විසේ ගහල.... ළමයි ගැන බලලා නෑනේ දෙවියනේ...මම මේ ගමන කළබලේ ලංකාවට ආවේ...ඔය මිනිහගෙ මගුල් කතා ආරංචි වෙලා තමයි ...අනේ දෙයියනේ මට සුර සැප ඒ අරාබි ගෙදර ....කොහෙද මට වාසනාවක් නෑනේ ඒ සැප විදින්න...මුංගෙ කරදරේ නිසා මම ගෙදර ආවේ...."


"සමහර රට ගිය ගෑනු අයට ඒ අරාබි ගෙවල් වලින් කරදර වෙනවා කියලා ආරංචියි නේ අම්මේ....අම්මට එහෙම උනේ නැද්ද...?


"දෙයියන්ගේ පිහිටෙන් අපේ ගෙදර බබා මට හරි ආදරෙයි...මට හොදට සැලකුවා...උඹලට ගේන්න මේ ඇදුම් පැලදුම් චොකලට් ටොෆ් ඔක්කොම ඒ ගෙදර නෝනා දුන්නේ....අපරාදේ මට තව කාලයක් රට ඉදලා එන්න තිබුනා...කොහේද මේ මහ මිනිහා ළමයි ගැන බලන්නෑ කියලා මැගි අක්කගෙ කරදරේ බැරි නිසා මම ගෙදර ආව මිසක් .....මට එහෙ තව කාලයක් ඉන්න වාසනාව නැති උනානේ....අනේ අම්මපා ...මේ මහ මිනිහා වගේ මිනිහෙක්....හිටපංකෝ.....මට හම්බවෙනකම්....."


අම්මා අත කම්මුලේ තියාන දුකෙන් හා කේන්තියෙන් පුපුරයි.....


අහල පහල ලැයිමේ ගෙවල්වල දන්න කියන ගැහැනුන් අම්මා රට සිට ආ බව ආරංචි වී බලන්න විත් අපේ ගේ දොරකඩ සිට එබිකම් පායි... අම්මා ආ බව ආරංචි වී කවදාවත් අපේ ගෙට නොආ ගැහැණුන් පවා ගේ ලගින් එබිකම් කර ඒ මේ අත යන්නේ ඕපාදූප සොයන්නටය. ඔවුන් අම්මා දෙස බලන්නේ පුදුමයෙන් කවදාවත් නොදැක්ක කෙනෙක් ගානටය.


"අනේ කුසුමා අක්කා දැක්ක කාලයක් අදුනගන්නත් බෑ හරියට ලස්සන වෙලානේ.... ඇස් වහක් කටවහක් නෑ කොළඹ නෝනා කෙනෙක් වගේ...."


"ඒක තමයි ...සුදු වෙලා, මහත් වෙලා, ...අප්පේ රත්තරං බඩු දාගෙන ...බලන්න බෑ ලස්සන...."


"අප්පේ...කුසුමෝ මේ ගවුමේ ලස්සන ....වැඩිපුර ඇදුම් එහෙම තිබුනොත් අපටත් දීපං....මේ දුලීකා පොඩි එකා හොක්කේ ගහගෙන දුක් විදිහ කොට, අපි තමයි ඒකිට ඔය කොළුවා ලොකු කරගන්න උදව් කලේ....ඔය දැන් පොඩි එකා හරි අපූරුවට ඉන්නේ...."


"කුසුමේ උඹ ආයෙත් රට යනවද....? අනේ බං මටත් රට රස්සාවක් හොයල දිපංකෝ...."


ගැහැනුන් අම්මා දැක ඇයව වර්ණනා කරන්නේ ඉදහිට ගෙට ඔලුව දමමින්‍ ය.


ආ...ඇසිලින් අක්කේ, කොහොමද කමලා නංගි එහෙම ....,ආ..කොහොමද සොපියෝ.... අම්මා දන්න කියන ලැයිමේ ගැහැනුන් සමග කතා කරන්නේ ආඩම්බරයෙනි....ඒ අතර

අම්මා ඔවුන්ට ටොෆි පැකට්ටුවක් කඩා අහුර අහුර ඒ හැමෝට ම බෙදන්නේ, ගාම්භීර ලෙස ය.


"ඈ..කුසුමේ...උඹට දැන් ජයයි වගේ....උඹ ආයෙත් රට යනවද...?


"ආයෙත් රට යන්න තිබුනනම් හොදයි තමයි අක්කේ.. ...මට එහේ හරි සැප...කොහේද මේ ළමයි රොත්ත බලාගන්න විදිහක් නැතුව මුං අනාත වෙලා කියලා ලුසියා මට නිතර බනින නිසයි මම ලංකාවට ආවේ....මිනිහෙක් හිටියට වැඩක් නෑනේ, ඌට මගුල් විසේ...ළමයි ටික බලාගන්න උවමනාවක් නෑ..."


අම්මා ගෙදර ආ පසු, හරියට අපට නත්තල් කාලය සේ කෑමෙන් බීමෙන් අඩුවක් නොවීය. ඈ රටින් ගෙනා සිංදු කැසටය මුළු ලැයිමටම ඇහෙන්න දාගෙන සිටින්නෙ උදේ ඉඳන්ම ය. ඇය බලන්න ගෙදරට එන අහල පහල අයට ඇය රටින් ගෙනා බීම කුඩුවලින් බීම බොන්නට හදා දෙයි. අපි හතර දෙනාට ම අම්මා අලූත් ඇඳුම් සෙරෙප්පු, සෙල්ලම් බඩු ගෙනත් තිබිණි.


අම්මා ගෙදර ආ නිසා මට ඇතිවි තිබුනේ ලොකු සතුටකි. ගෙදරට ලස්සන ගවුම් ඇද, රත්තරං බඩු දමාගෙන සිටින අම්මාගේ නියපොතු, රතු කර ඇති දෙස මා බලා සිටින්නේ පුදුමයෙනි. ඇගේ අතපය පවා වෙනස් වී ඇති හැටි දකින්න පුදුමය. ඇගේ කතා බහ පවා වෙනස් වී ඇත. ඇය ඉස්සර මෙන් නොව, අපට ආදරෙන් කතා කිරිම හිතට සතුටකී....


අම්මා රට සිට ගෙනත් තිබූ ඇදුම් බඩු බෑග් එකින් එක අරිනකම් අපි ලගට වී සිටියේ නොවිසිල්ලෙනි....

ඇලඩින්ගෙ පුදුම පහන මෙන් අම්මා එහි ඇති බඩු එකින් එක එළියට ගැනීමේදී අපි පුදුම වී ඒ දෙස බලා සිටියේ නොවිසිල්ලෙනි....අම්මා වැඩ කල ගෙදර නෝනා දී තිබුන පරන බඩු, ඇදුම් , චොක්ලට් ටොපි, චීස් .... කවදාවත් දැක නොතිබුන අමුතු බඩු, බෑගයෙන් එළියට ගනිද්දි අපට ඇතිවි තිබුනේ ලොකු සතුටකී...අපි ටොපි චොක්ලට් කටේ දමාගෙන අම්මා ගෙනා බඩු බෙදාගන්නට පොර කෑවෙමු .


අම්මා ගෙනා අලුත් ඇදුම් සපත්තු ඇදගෙන අපි දැන් ලැයිම වටේ යන්නෙ මිනිස්සුන්ට පේන්නත් එක්ක ය. ලැයිමේ ළමයින් ගැහැනුන් අප දෙස බලන්නේ ඉරිසියාවෙනි.අපි තව තවත් උජාරුවෙන් ඒවා පෙන්වමින් ලැයිමේ වටේ යන්නෙමු.


අම්මා අතේ දැන් රටින් ගෙනා සල්ලි ඇත. ඇය රට සිටි කාලයේ තාත්තාට නොඑවා ඉතිරි කර ගත් පඩි සල්ලි ඇය පරිස්සමට එකතු කරගෙන ගෙදර ගෙන ඒම නම් ඇය කර තිබු නුවණ ඇති වැඩකි.....ඇය අරපිරිමැස්මෙන් ඒවා වියදම් කරමින්.... අපට දැන් ඇය කෑම හදා බඩ කට පිරෙන්නට කන්නට දෙන්නේ ඒ මුදල් වලිනි.


අම්මා රට සිට ආවාට පසු තාත්තා ගෙදර ආවේම නැත. අම්මා ලැයිමේ ගැහැනුන් සමග තාත්තාට බනිනවා ඔහුට ආරංචි වී ඇතැයි මට සිතේ...


"දන්නවද ලැසි අක්කේ...ඊයේ අපේ මිනිහා බලන්න මම මැගිලින්ගේ ගෙදරට ගියානේ....උන් දෙන්නට මම කුනුවෙන්න බැනලා ආවා....අපේ මිනිහ නෙමේ ගෙයින් එළියට ආවේ...මැගිලියා මට වචනයක් දෙකක් කියාගෙන ඇවිත් මගෙන් අහගත්තා සුද්ද සිංහලෙන් ...වටේ ගෙවල් වල ගෑනු නිසා මම ගෙදර ආවා...නැත්නම් උන්දෙන්නගෙ අඩු කඩනවා මම ...ගෑනි ගෙදර නැති වෙලේ මගේ මිනිහා අල්ලගෙන , මම අමාරුවෙන් හම්බකරපුවා කඩාවඩාගෙන, පොඩි උන් හාමතේ ඉදිද්දි උන් දෙන්නා මගුල් නටලා...මට කේන්තියෙ බෑ...."


"අනේ අල්ලලා දාපං බං ඕවා.....දැන් මේ පොඩි උන් ටික ලොකු කර ගනින්....ගිය එකා ගියා...."


"බලපංකෝ උඹ දැන් ඉන්න ලස්සන ....උඹට ඒ හම්පඩ මිනිහා මොකටද දැන් ...උඹ දැන් වෙන අතක් බලා ගනින්...."


ඉස්සර තාත්තා ගෙදර නැති වෙලාවට අපේ ගෙට රිංගු අහල පහල ගෙවල් වල මිනිස්සු... ඉදහිට අපේ ගෙට ඔළුව දාන්න ආවත්...අම්මා උන්ව සතේකට මායිම් නොකරයි…....ඒ නිසා උන් කරබාගෙන යෑම මට ඇති කර තිබුනේ සතුටකී.


අම්මා ලස්සනට ඇදුම් ඇද ,රත්තරං බඩු දාගෙන ලස්සනට කොන්ඩය පීරා, උජාරුවට ඉන්නා විට ඈ තුලින් මම පුදුම ලස්සනක් දකින්නෙමි. අම්මා එන්න එන්නම පාට වැට් තව ලස්සන වෙන්නේ බලා සිටියදිය.


"ඈ කුසුමෝ උඹ දැන් හැමදාම මෙහෙමම ඉන්නද කල්පනාව....? උඹ තාම තරුණයිනේ... සිරිපාලට උඹව ඕන නැති නිසානේ මැගියගෙ ගෙදර බින්න බැස්සෙ. උඹ දැන් වෙන අතක් බලා ගනින්...."


"මේ ලොකු ළමයි ඉන්න මට මොන මඟුල් ද අක්කේ....."


කාගෙත් දුක සැප බලන ඇසිලින් නැන්දාට ඇය කියන්නේ අප දෙස බලා ය.


අම්මා ඇවිත් මාස දෙක තුනක් ගෙවී ගියේ හරි ඉක්මනටය. ටිකෙන් ටික අම්මාගෙ අතේ තියෙන සල්ලි ඉවර වේගෙන යන බව අපට දැනුනේ වෙනදා තරම් කෑමට දේවල් අම්මා හදන්නෙ නැති කොට ය.


"දුලිකා ... ලොකු දුවේ දැන් නම් මං හම්බ කරගෙන ආපු ඒවත් ඉවර වේගෙන යන්නෙ. මට ආයෙත් උඹලව දාලා රට යන්න හිතෙන්නෙ නෑ බං.... මට මෙහේ රස්සාවක්වත් හොයාගන්න වෙයි.... මට මේ ලැයිමේ අනෙක් ගෑනු වගේ ෆැක්ටෙරි වලට ගිහින් ගොඩක් මහන්සි වෙන වැඩ කරන්න බෑ....වෙන මොනව හරි රස්සාවක් තමයි හොයාගන්න වෙන්නේ....රට ගිහිල්ලා මම පොඩි ළමයි බලාගන්න වැඩ කලාට....ආයෙත් රට ගිහිල්ලත් බෑ....උඹලා නිසා...."


"අනේ ඔව් අම්මේ... ආයෙත්නම් රට යන්න එපා. මට ගිය පාර අම්මා ගිය වෙලේ මේ මල්ලිලා ටික බලාගෙන ඉඳල ඇති වුණා...."


"රට ගිහිල්ලත් බෑ, නොගිහිනුත් බෑ, රස්සාවක් නැතුව ජීවත් වෙන්න හැටියකුත් නෑ....මට දැන් මේ ලැයිමේ ඉන්න හිතක් නෑ ලොකු කෙල්ලේ...උඹලැයි තාත්තා මේ ලගදි දවසක් මට ලැයිමේදි වැරදිලා ඉස්සරහට හම්බවෙලා මම ඌට කූනුවෙන්න බැන්නා ....යන්තම් ඌ මගෙන් ගුටි නොකා බේරුනා ....මට දැන් ඒ මිනිහා නිසා මේ ලැයිමේ ඉන්න හිතක් නෑ....කොහේ හරි ඈතක ගිහින් ජීවත් වෙන්නයි මට ඕනේ ඔය මිනිහගෙ දෑහෙට නොපෙනී....."


"ඇත්තමයි අම්මේ....මටත් දැන් මේ මුඩුක්කුවේ ඉදලා ඇතිවෙලා...මටත් තාත්තා දකිනකොට හරි කේන්තියි....ලොකු අය්යා නම් තාත්තා දැක්කහම මූන බලන්නෑ....."


- සදුදාට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

8 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page