top of page
  • Writer's picturePrisila Godahewa

💥ගිමන් හරිමි💥

💥💥ගිමන් හරිමු💥💥

(6 වන කොටස..)

🍁🍁🍁🍁🍁🍁🍁

අපේ ගෙදර තත්ත්වය එසේ තිබියදී...

වැඩි කාලයක් නොගොස් අම්මට රට රස්සාවට යන්න, ගුවන් ටිකට් පතක් ලැබීම ගෙදර හැමෝටම සතුටට කාරනයක් විය.


ගුවන් ටිකට් පත ලැබුනාට පසු අම්මා හරි සතුටින් එම ගමනට සූදානම් වීම මම බලා සිටියේ දුකෙන්ද සතුටෙන්ද කියා නොතේරේ..... අවුරුදු දොළහක් වයසැති වැඩිවියට පැමිනි මට, අම්මා රට ගිය පසු මල්ලිලා ටික බලාගෙන, ගෙදර වැඩ තනියම කරගන්නට හැකි දැයි මම තවම සිතන්නෙමි


"දැන් උඹට කවදද රට යන්න තියෙන්නේ ....?


තාත්තා අම්මා රට ගිය විට ගෙදර තත්ත්වය කෙසේ වේදැයි, ළමයි ටික කෙසේ හදාගන්නද, බලාගන්නද කියා කිසි තේරුමක්, හැගීමක් උවමනාවක් නැති නිසා, ඔහුත් අම්මාට රට සල්ලි හම්බකරගෙන එන්නට, රට යන්න ඉඩ දී බලා හිදී...


"අනිද්දා රෑට යන්න තියෙන්නේ ...මම ලුසියගෙ දුව එක්කමයි රට යන්නේ ...ඒ නිසා මට නම් බයක් නෑ...තමුසේ ඔය කට ගොන්නක් බොන එක නවත්තලා මේ ළමයි ටික බලාගෙන හොදට ඉන්නවා. මම රට ගිහින් එවන සල්ලි එහෙම නාස්ති කරනවා නෙමේ....මුං ටිකට හොදට කන්න දෙන්න ඕන නිසයි මම රට යන්නේ...."


"මට දුක මේ ලොකු කෙල්ල ගැනයි.....ඒකි කොහොමද මේ පොඩි එකා බලාගන්නේ... ඌට යන්තම් අවුරුද්දක් පිරුනා විතරයිනේ...."


"පොඩි එකා දැන් බත් කැද ,පාන් කනවා....ලොකු කෙල්ල ඌව බලාගනියි. තමුසේ රෑ නොවි ගෙදර එනවා...."


"අනිද්දා රෑට ගුවන් තොටුපොළට යන්න නිමල් මල්ලිගෙ කූලි වෑන් එක මම කතා කරගත්තා....ඌ ඒකට කුළියක් ගන්න එකක් නෑ....ගෙදර හැමෝටම ගුවන් තොටුපොළට යන්න එන්න පුලුවන් ඒ නිසා...."


අම්මා රට යන්න, එහේ ගිහින් අදින්න හොද ඇදුම් දෙක තුනක් ගත්තේ ලුසියා නැන්දගෙන් අත මාරුවක් ඉල්ලාගෙනය. අම්මා මේ දිනවල ඉතා සතුටින් හිදීම පුංච් අපටත් සතුටක් විය. ලුසියා නැන්දාගෙන් ඉල්ලාගත් අතමාරුව නිසා, මේ දිනවල අම්මා අපට ඒ සල්ලි වලින් හොදට උයා කෑම කන්නට දුන්නාය.


අම්මා රට යන දිනය උදා විය. එදින අය්යා මාකට්ටුවට නොගිහින් ගෙදර සිටිම අපට සතුටට කාරණයක් විය.


අම්මාව ගුවන් තොටුපලට බස්සවන්නට තාත්තාත් ලොකු අයියාත්, මල්ලිලාත් මාත් ගියේ නිමල් මාමා ගෙනා කුලී රියෙනි. නිමල් මාමා එහි වැඩ කරන්නෙ දවසේ කුලිය කතා කරගෙනය. ඔහු අම්මාට උදව්වක් ලෙස අපව එදින නොමිලේ ගුවන් තොටුපලට කැඳවා ගෙන ගියේය.


ලොකු මල්ලිලා දෙන්නා වාහනයට නැග ගත්තේ සතුටුනි. ඔවුන් දෙදෙනා, වාහනයේ ජනෙල් ලග වාඩි වන්නට පොරකති.


ගෙදර සිට වාහනයෙන් රෑ දහයට පමණ අපි කටුනායක ගුවන් තොටුපොළ බලා ගමන් කලේ මුලු පවුලමය. තාත්තා කවදාවත් නැතුව හොද කමිසයක් ,සරමක් ඇද අරක්කු නොබී සිටිමත් අම්මා සමග ඉතා කුළුපගුව ඔහු කතා කිරිමත් මම බලා සිටියේ පුදුමයෙනී.


අප සමග නිමල් මාමාගේ වෑන් රතයේ යෑමට ලුසියා නැන්දාගේ දුවත් අප සමග පැමිනියාය.


අම්මා එදින ලස්සනට සාරියකින් සැරසි උන්නේ මතක ඇති කාලයකට පසුයි. අම්මා මෙච්චර ලස්සනට, පිළිවෙළට අලුත් සාරියක් ඇද ඉන්නවා මම දැක නොතිබුනු තරම්‍ය. ඇය ගුවන් තොටුපොළට යනකම්, චූටි මල්ලි වඩාගෙන ඔහුට කිරි දෙමින් ගිය අතර මාත් මල්ලිලාත් වෑන් රතයේ කවුළු වලින් ඔලුව එළියට දාගෙන පාර බලාගෙන ගියෙමු. අපට වාහනයක මෙලෙස ගමන් කරන්නට ලැබෙන්නේ එහෙමත් දවසකය. එබැවින් අපි වාහන වල යෑමට ඉතා ප්‍රිය කෙරුවෙමු. තාත්තා අම්මා ලග ආසනයේ වාඩි වි ගිය අතර, ලොකු අය්යා වෑන් රතයේ ඉස්සරහ ආසනයේ නිමල් මාමා සමග කතා කරමින් ගියේය.


ගුවන් තොටුපලට වාහනය ලගාවු පසු, අප සියලු දෙනා එයින් බැස ගත්තෙමු. ගුවන් තොටුපොළ ඇතුළට අම්මා යනවා බැලීමට, අප කවුරුත් එහි ඇතුලට නොගියේ එයට ද ටිකට්පත් ගැනීමට අවශ්‍ය බැවිනි.


ගුවන් තොටුපලට ඇතුල් වෙන ස්ථානයේ දී අම්මා අප සියල්ලෝම ඉඹ චූටි මල්ලියා නැවත අතට ගත්තේ ය. එවිට ඇයට ඇඬින....


"අනේ ලොකු දුවේ මල්ලිව හොඳට බලාගනින්..."


ඇය මල්ලි තදින් ඉඹ නැවත මා අතට චූටි මල්ලිව දුන්නේ දුකෙන් අඬමින්‍ය.... ගෙදර සිට වෑන් රථයෙන් ගුවන් තොටුපලට එනතෙක්, අම්මා චූටි මල්ලිට ඇගේ කිරි දෙමින් ආවේ, නැවත කවදා ඔහුට ඇයගෙ කිරි බොන්නට ලැබේදැයි නොදැන සිටි නිසා වන්නට ඇත...


අපි සියල්ලෝම අම්මා, ලුසියා නැන්දාගෙ දුව සමග ගුවන් තොටුපලෙන් ඇතුලට යන තෙක් බලා සිටියේ එයින් එළියේ නැවතීය.


අම්මා අපට අතවනමින් ලූසියා නැන්දත් එක්ක ගුවන් තොටුපල ඇතුළට ගියේ බයෙන් වගේ..... අම්මා අද නිල් සාරියක් ඇඳ වෙනදාට වඩා ලස්සනට සිටියාය. ඒ සාරිය, තාත්තා, ගිය සුමානෙ ටවුමෙන් අම්මාට ගෙනත් දුන් බවත්... තාත්තා ජීවිතේ පළවෙනි වතාවට අම්මට ඇරන් දුන් සාරිය එය යැයි අම්මා ලුසියා නැන්දා එක්ක කිව්වේ උජාරුවෙනි.


අම්මා ගුවන් තොටුපොළ තුලට යනතෙක් අප එහි එළියේ සිට බලා සිටියෙමු. පසුව අපි සියල්ලෝ ගුවන් යානා ඉහලට යනවා බැලිමට නියමිත නැරඹුම් මැදිරියට ගොස් ඒ පඩිපෙල් වල වාඩිවී බලාසිටියේ නොවිසිල්ලෙනි. අම්මා යන ගුවන් යානය අපට, ඈත එළිමහනේ තිබු නැරඹුම් මැදිරියේදි දැක ගන්නට ලැබුනි. නමුත් අම්මා ගුවන් යානයට නගිනවා අපට දැක ගන්නට නොහැකි උනේ එය බෝහෝ ඈතින් නවතා තිබුන නිසයි.


අම්මා ගුවන් යානයට නැග්ගාට පසු අපි නැවත වෑන් රතයෙන් ගෙදර ආවේ ලොකු පාළුවකිනි.


"ලොකු නංගී උඹට පොඩි එකා දැන් තනියම බලාගන්න පුළුවන්ද ...."?


අය්යා ඒ ගැන ඇසුවේ මා ගැන කළකිරිමෙන්‍ යැයි මට සිතේ....


" උවමනාවක් උනොත් ලුසියා නැන්දට කතා කරගනින්..... මට පුලුවන් වෙලාවට මම ගෙදර ඇවිත් යන්නම්....."


ලොකු අයියා මට උපදෙස් දුන්නේය .


අම්මා ගෙදර ඉන්න දවස් වල ගෙදර වැඩ වලින් භාගයකටත් වඩා, මම තනියම කලත්, අම්මා රට ගිය පසු...., මට මහ ලොකු පාලුවක් ගේ තුල දකින්න ලැබුනි.


ලොකු මල්ලිලා දෙන්නා බලෙන් ඉස්කෝලේ අරිනවා වගේම, පොඩි මල්ලි, හොදලා, කවලා පොවලා බලා ගැනිමත්, ගෙදර හැමෝටම කන්න බොන්න හදා දීමත් මටම පැවරුනු වැඩරාජකාරි විය. පුංච් ලෑලි ගේ ඇතුලේ කරන්නට කියා ලොකුවට වැඩක් නොතිබුන නිසා මට වැඩි අමාරුවක් නොවීය.

මම ලොකු මල්ලිලා දෙන්නා ලවා ගෙදර පාවිච්චියට වතුර අද්දවා ගන්නවා වගේම කඩේට යවන වැඩත් කරවා ගත්තෙමි .


තාත්තා වෙනදා වගේම වැඩට යනවා, එනවා තියෙන දෙයක් කනව බොනවා ඇරෙන්න අපි ගැන ඒ හැටි හැඟීමක් ඔහුට තිබුනේ නැත .


තාත්තා ගැන දන්නා ලොකු අය්යා, දැන් ඉඩ ලැබෙන ලෙස ගෙදර විත් අපේ දුක සැප බැලීම මට ලොකු සතුටක් විය.


"අම්මා ගෙදර නැති නිසයි මං නිතර ගෙදර එන්නේ....මට දුකයි උඹ ගැන ලොකු නංගි..." මා ගැන යන්තම් හෝ ආදරයක් හැගීමක් ඇත්තේ ලොකු අය්යාට පමණි. දින දෙක තුනකට වරක් පැමිනෙන අය්යා

ඒ එන වෙලාවට ඔහු අපට කන්නට බොන්නට දේද රැගෙන ඒන නිසා, අය්යා ගෙදර එනතෙක් අපි බලා සිටින්නේ නොවිසිල්ලෙනි ..... ලොකු අයියාට අප ගැන තියෙන හැඟීම තාත්තාට නැති වීම පුදුමය....


අම්මාගේ කිරි බොමින් හිටිය චූටි මල්ලීට, අම්මා ගිය පසු මා කිරි බෝතලයකට ,පිටි හැන්දක් දිය කර වතුර වැඩියෙන් දමා හදා දෙන කිරි බෝතලය ඔහු එක හුස්මට බොන්නෙ බඩගින්නට ය. අපට කන්න තියෙන දෙයක් ඔහුගේ ද කටේ ඔබන මා මල්ලී නාවා සෝදා ආදරයෙන් බලා ගත්තෙමි.


වයස යාන්තම් අවුරුද්දක් පහු වුනු මල්ලීට දැන් මාව අම්මා වී ඇත. ඔහුට මාව දැන් නැතුවම බැරිය.


තාත්තා හැමදාම ගෙදර ආවේ අප නින්දට ද ගිය පසු ය....මම අපිට රෑට කන්න හදන දෙයක් ඔහුටද බෙලෙක් පිගානෙට බෙදා සාලේ ලෑලි මේසය උඩින් තියා මල්ලිලා සමග වේලාසන නිදාගන්නට යන්නෙමි.


තාත්තා ඉඳහිට ගෙදරට හාල්, තුනපහ ගෙන එයි.... ලොකු අයියා, අම්මා හිටිය කාලෙට වඩා නිතර ගෙදර ආවේ අපි හතරදෙනාට කන්නට ද යමක් රැගෙනය. සමහර දිනට ඔහු රෑට ගෙදර නවතින්නේය. එදාට මල්ලිලා අයියාගෙ කරේ නගිමින් සෙල්ලම් කරති. එදිනට පොඩි මල්ලිලා මෙන්ම මාත් සතුටින් ඉන්නා දවසක් වෙයි...


තාත්තා හවසට වැඩ ඇරී පුරුදු ලෙසම කට ගොන්නක් බී ගෙන ගෙදර එයි. ලොකු අය්යා ගෙදර ඉන්න දිනට ඔහු ගෙදර ඇතුලට නොඇවිත් කොහේදෝ ගිහින් නිදා ගනී.... ඔවුන් දෙදෙනා නයින් මුගටින් ලෙස එකිනෙකා දෙස බැලීම, හා කේන්තියෙන් සිටිම එයට හේතුවය. ලොකු අය්යා, තාත්තාට අකමැති ඔහු කට ගොන්නක් බීගෙන අපි ගැන නොබලා ,අම්මාට කරන කරදර නිසයි.


අය්යා නිතර නිතර අප බැලීමට ගෙදර එන නිසා, තාත්තා ඒ දිනවලට රෑට කොහේ නිදාගන්නවාදැයි අප නොදනී.


ටිකෙන් ටික ඔහු ,අය්යා ගෙදර ඇති දිනවලට වගේම නැති දින වලටද ගෙදර නොයෙන දවස් ද ඇති විය....ඔහු බීගෙන ගෙදර එනවාට වඩා, වෙන කොහේ හරි නිදිය ගන්නා එක මගේ හිතට සැනසිල්ලක් වෙයි. ඒ තාතාගෙන් අම්මාට තිබු කරදරය ගැන මට තිබු මතකය නිසාවෙනි.


වැඩි දවසක් නොයා පයිප්පය ලගට රෙදි හෝදන්න ගිය විට මට, එතන සිටිනා ගැහැනුන්ගෙන්..... තාත්තා රෑට රෑට මැගලින් නැන්දාගේ ගෙදරට රිංගන බව මට දැනගන්නට ලැබිණි. මට ඒ ගැන ඒ හැටි ගානක් නොවිය.


"අම්මා රට සල්ලි මුකුත් එවල තිබුනෙ නැද්ද දුලීකා...?


තාත්තා ගෙදර ආ දිනට මගෙන් අසයි.


"නෑ තාත්තේ...මුල් මාස දෙකේ පඩිය ඒජන්සියෙන් ගන්නවා කියලා ලුසියා නැන්දා කිව්වේ....එන මාසේ පඩිය අපට හම්බ වෙයි..."


කාලය ගෙවී ගියේ ඉතා දුක්මුසු ලෙසටය. මාස දෙකක් යනකම් අම්මා අපට සතයක්වත් ගෙදර වියදමට නොඑව්වාය. ලොකු අයියා ගේන දෙයක් කා පුංචි අපි කාලය ගත කරේ ඉතා අමාරුවෙන්ය.


"අක්කේ මට බඩගිනියි ...ඉන්න බෑ බඩ රිදෙනවා.... කන්න මුකුත් නැද්ද ...?


"ගේ හරියේ මුකුත් නෑ මල්ලියේ උයන්න....මෙන්න මේ සත හැතෑපහ ඇරන් ගිහින් දයා අක්කලාගෙ ගෙදරින් වැලි කොස් ඇට ටිකක් ඉල්ලන් වරෙන් තම්බලා දෙන්න...."


"අක්කේ පිං ලිද ලග ගස්ලබු ගහේ අමු ගස්ලබු ගෙඩි තියෙනවා ...මම ගෙඩියක් කඩන් එන්නද....?


"එහෙනම් ලුසියා නැන්දගෙන් හාල් හුන්ඩුවක් ඉල්ලන් වරෙන්...මම රෑට ගස්ලබු ගෙඩිය තෙල් දාලා බත් උයලා දෙන්නම්..."


"හොදයි අක්කේ මම ඉක්මනට එන්නම්...එහෙනම් උබ ලිප පත්තු කරපං...මට මැරෙන්න තරම් බඩගිනියි....."


මට මල්ලිලා ටික ගැන ඇත්තේ දුකකී...පුංචි ඔවුන්ට බඩගින්නක් ඇර වෙන දෙයක් ගැන දැනීමක් නැත. ඔවුන්ට බඩගින්නේ ඉස්කෝලේ යන්න උවමනාවක්ද නැත. ඒ නිසා මමද ඔවුන්ට ඒ වෙනුවෙන් බල නොකරමි.


අම්මාගේ මුල් මාස දෙකේ පඩිය ගුවන් ටිකට් පතට කපනවා යැයි අම්මා රට යන්න ඉස්සර අපට කිව්වා මතකය.... ඇය රට ගිය දින සිට අපට ලියුම් නොඑව්වාය. ලූසියා නැන්දාට ඔහුගෙ දුව එවන ලියුම්වල අම්මා අප ගැන ද විස්තර ඇසුවා යැයි ලූසියා නැන්දා කීය.... අම්මගෙ රට විස්තර කියන්නේ ද ලූසියා නැන්දයි. අම්මාට කිසි දේකින් අඩුපාඩුවක් නැති අතර දරුවෝ දෙන්නෙක් ඉන්න ගෙදරක, බාල දරුවා බලාගන්නට පමනයි ඇත්තේ කියා ඇය කියයි. අම්මා ලස්සනට කාලා ඇදලා එහේ සතුටින් ඉන්නා බව ලුසියා නැන්දා කිව් කල මට අප ගැන දුක සිතින....


"දුලීකා...උබළැයි

අම්මා සල්ලි වගයක් රට ඉදලා එවල තියෙනවා... උඹලගෙ තාත්තට ඒක දෙන්න ද උඹට දෙන්නද?


"මට දුන්නත්, තාත්තා මගේ අතින් ඒ සල්ලි ඉල්ල ගනියි නැන්දේ... ඒ හින්දා නැන්දා තාත්තාට ම ඒ සල්ලි දෙන්න...."


"උඹලගෙ අම්මා කියලා තියෙනවා ,තාත්තට හොරා උඹට රු. 1000ක් දෙන්න කියල...."

ඇය තාත්තාට හොරා අම්මා එවපු සල්ලිවලින් රු.1000 මට දුන්නේ තාත්තගෙ හැටි දන්න නිසා වන්නට ඇත. මං එම සල්ලි කාහටවත් හසු නොවන්නට මගේ ඇඳුම් පෙට්ටියේ යට සඟවා තැබීය.


අම්මා රට ගොස් ,මුලිණ්ම එවපු සල්ලි ලැබුන දා තාත්තා අපට කන්නට තම්බි කඩෙන් බුරියානි පැකට් තුනක් සමඟ ඇති වන්නට පිටි, සීනි, හාල් ද ගෙනාවේය.


අප හතරදෙනා ගේ මැද සාලේ වාඩි වී බුරියාන පාර්සල් බෙදාගෙන කෑවේ ඉතා කෑදර ලෙස ය. ලොකු අයියා එදා ගෙදර නොපැමිණි නිසා ඔහුට බුරියානි කෑමට අවස්ථාව නොලැබුණි.


අම්මා රට ගොස් මාස තුනකට පසු ලුසියා නැන්දාගේ දුව අතේ අපට එවා තිබු මුදල ලැබුන පසු, තාත්තා ගෙදරට ගෙනත් දැමූ හාල් තුනපහ නිසා, සුමාන දෙක තුනක්, මම ඒවා උයාපිහා මල්ලිලාට තාත්තාට කන්නට දුන්නෙ ආසාවෙනි. වෙනදාට උයන්න දෙයක් නැතුව දහඅතේ කල්පනා කරන මට, තාත්තා ,අම්මා එවූ සල්ලිවලින් ගෙනා හාල් තුනපහ නිසා මා සතුටට පත්ව සිටියෙමි.


නමුත් එසේ සතුටින් සිටි මට, මාසය අන්තිම වනවිට ගෙදර උයන්න පිහන්න දෙයක් නැතුව , කන්නට දෙයක් නොමැතිව සිටින්න සිදු විය. තාත්තා අතේ සල්ලි ද නො තිබිණි. ඔහු අම්මා එවූ සල්ලි එක හුස්මට ඉවර කර ඇත. ගෙදරට මුළින් ගෙනා කෑම බඩු වලට අමතරව ඔහු කසිප්පු බී ඒවා ඉවර කරගෙන ඇත. ඒ මදිවට ඔහු වැඩ ඇරි ගෙදර ආපසු මැගලින් නැන්දලාගේ ගෙදර යන්න පටන් ගෙන ඇති බවත් මුඩුක්කු පේළියේ ගෑණුන්ට රහසක් නොවීය. ඇය අම්මා එවන සල්ලි මැගලින් නැන්දාටත් දෙන්නට ඇතැයිද මට සිතේ.....


"අනේ ලුසියා නැන්දේ.... අම්මා එවන සල්ලි ඔක්කොම තාත්තාට දෙන්න එපා, තාත්තා ඒ සල්ලි ඔක්කොම බීලයි, රේස් දාලයි ඉවර කරනවා....මටයි මල්ලිලාටයි මොනවත් කන්නවත් ගෙනත් දෙන්නෑ......."


"එහෙනම් මම දුලිකාට ඒ සල්ලි වලින් මාසෙකට රුපියල් 2000/=දෙන්නම්, උබලැයි තාත්තට හොරෙන්..."

පසුව හැම මාසයේ ම අම්මා ලූසියා නැන්දාගේ අතේ එවනා සල්ලිවලින් මම රු. 2,000 ඉල්ලාගෙන සඟවා තබා ගන්නෙ මල්ලිලාට බඩගිනි වූ විට මොනවහරි ගෙනත් කෑමට දෙන්නට ය.


තාත්තා අම්මා එවන සල්ලි ලැබුන දවසට හාල් තුනපහ ගෙනත් දමයි. ඊට පසු නැවත ඇය සල්ලි එවනතෙක් ඔහු කසිප්පු බී හා රේස් දමා, එම සල්ලි වියදම් කරන්නේ ය. ඊට අමතරව මැගිලින් නැන්දලාගේ ගෙදර ගොස් නැවතිද හිදියි.


"අම්මා රට ගියා කියල අපට වෙච්ච හොඳක් නෑ නැන්දේ...... තාත්තා අම්මා එවන සල්ලි බීලයි, ගෑණු පස්සෙ ගිහිල්ලයි නැති කරල දානවා...."


"මං උඹලයි අම්මට කියල යැව්වා උඹලැයි තාත්තා තවම වෙනස්වෙලා නෑ තවමත් බීගෙන නටනවා කියලා.... හැබැයි මං උඹලැයි අම්මට කිව්වෙ නෑ තාත්තා මැගිලින් නැන්දලාගෙ ගෙදර යන කතාව...."


"ඒක හොඳයි නැන්දේ... පව් අම්මා අරාබිකාරයින්ට වැඩ කරල මහන්සි වෙලා එවන සල්ලි තාත්තා නාස්ති කරනවා...."


" ඒ මිනිහට කිසි උවමනාවක් නෑනේ මේ පොඩි උන්ව ඉස්කෝලේ අරින්නවත්...අඩුගානේ ළමයි කෑවද බිව්වද කියලවත් හොයන්න ...."


"අපේ කරුමේ තමයි නැන්දේ.....ඉස්කෝලේ ගිහින් දිගට ඉගෙන ගෙන නැති නිසා අම්මටයි තාත්තාටයි දෙන්නට ම අපිව ඉස්කෝලෙ අරින්න උවමනාවක් තිබ්බෙ නෑ....."


හෙට හමුවෙමු

*ප්‍රිසිලා ගොඩහේවා *

7 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page