top of page
  • Writer's picturePrisila Godahewa

💥ගිමන් හරිමි💥

(11 වන කොටස )

"කට්ටිය මොකද වත්තට බැහැලා ... වටපිටාවේ සුන්දර බලනවද...?කොහොමද හොදද මේ පැත්ත ...?


"හරිම ලස්සන පැත්ත ...මේ ළමයි මීට කලින් මේ වගේ පැත්තක් දැකලත් නෑ...කන්ඩ බොන්ඩ නැතත්, පිරිසිදු හුස්ම ටිකක් ගන්න තියෙන එකත් ලොකු දෙයක් ..."


"දැන් හොදටම දවල් වෙලා...., එන්න කට්ටිය තියෙන විදිහකට, දවල්ට කෑම කන්න.... මං අද උදේම උයල තිබ්බා හැමෝටම කන්න ...."


"ඇත්තට ඔයාට කෑම උයන්නත් පුලුවන්ද ...?

අම්මා තොදෙල් ලෙස බාප්පාගෙන් අසයි...


"නැතුව වෙන කවුද මට උයල දෙන්නෙ... මම්ම තමයි උයල කන්නේ....ඒ හින්දනේ මම ගෙදරට ගෑනියෙක් ගේන්න හිතුවේ...."


"එතකොට මාව එක්ක ආවේ උයන්නද..."?අම්මා සිනාසෙමින් බාප්පාගෙන් අසයි..


"බොරු මොකටද, ඒකටත් එක්කම තමයි ..."


බාප්පාද අම්මා සමග සතුටින් කතා කරයි. බාප්පා අම්මාට වඩා ගොඩක් තරුණ කෙනෙක් බව බැලු බැල්මටම පෙනේ.... ඔහුගෙ ඉස්සෙල්ලා කසාදෙන් ඔහුට ළමයි නැත. ඒ නිසා අපේ අම්මාව ළමයි එක්කම භාර ගන්න කැමති බව ඇසිලින් නැන්දා කියනවා මම අහගෙනය.


"අපි එහෙනම් මූණ කට සෝදාගෙන එන්නද?

අම්මා ඇසුවේ බාප්පාගෙනි.


"හොඳයි... හොඳයි...ඔය ගේ පිටිපස්සෙ ඇල ලග, ලිද ලගට ගිහින් හෝදගන්න ....නිල් කැටේට වතුර උතුරලා යනවා..."


"අනේ ඔව් අපි දැක්කා පොකුන ...ආසාවෙ බෑ කොළඹ කොහේද ඔය වගේ පිරිසිදු වතුර ටිකක් නාගන්න තියෙන්නේ ....අපි ඉතිං රෑවෙනකම් ඉදලා පයිපෙ ලගට ගිහින් නාගෙන එන එකනේ දන්න කාලේ ඉදන් කරන්නේ..."


"ඒහෙනම් මූන කට හෝදගෙන ආවනම්..මම කෑම රත්කරන්න පටන් ගත්තා..."


පාදුක්කේ අලුත් බාප්පාගෙ ගෙදර නවතින්න ආ අද දින... හිත සතුටින් සැහැල්ලුවෙන් ගතවේ... දෙවියන්ගෙ පිහිටෙන් අපේ ඉස්සරහ කාලේ හොද වේවායි මම සිතින් පැතුවෙමි.


"දැන් නම් හොඳට ම බඩගිනියි අම්මේ.. ...."


"මටත් බඩගිනියි...."


"වරෙල්ලා අත පය හෝදගෙන ගෙට..."


"අපි පල්ලෙහා ලිඳෙන් නා ගමු ද අම්මේ...? මං නම් කවදාවත් එවගේ ලිඳකින් නාලා නෑ. ලයිමේ පයිප්පෙ ලඟ බේසම පුරවලා නාගත්තෙත් අනිත් ගෑනුන්ගෙ කරච්චලේ අස්සෙනේ.....ලැයිමෙ පිං ලිද නම් හරි අපිරිසිදුයි...නාන වතුර ආයෙත් ලිදට යනවා...ඒ නිසා මම පෝලිමේ ඉදලා හරි රෑට පයිපයෙන් තමයි නාන්නේ...."


"අපි පස්සෙ නා ගමු.... දැන් යමල්ලා මූන කට හෝදගෙන මොනව හරි කන්න....බාප්පා අපටත් එක්ක කෑම උයලා තියෙන්නේ කිව්වා...."


අම්මා අපිව වත්ත පල්ලෙහා කුඹුරු කෑල්ල අයිනෙ තිබුණ ලිඳ ලඟට රැගෙන ගියේ සතුටිනි.


අම්මයි මායි මල්ලිලා දෙන්නයි නිල් කැටයක් සේ පැහැදිලි නාන ලිඳෙන් මූණ කට සෝදාගෙන ගෙට ආවේ හොඳට ම දවල් වී තිබූ බැවින් ය. ගේ ඇතුලේ පුංචි කාමර දෙකක් හා සාල කෑල්ලක් ඇත. උයන කුස්සිය ගෙට අල්ලා ලෑලි ගසා ඇත. ගෙයි වහලට ටකරම් දමා බිත්ති, මෝඩගල්වලින් බැඳ තිබුනි. ගේ ඇතුලේ බූරු ඇඳක්, ලෑලි මේසයක් පුටු කබල් දෙකතුනකට වඩා වැඩි යමක් නොතිබිණි.


"ඔන්න මම කෑම හට්ටි පිටින්ම මෙතනට ගෙනාවා..."


සාලයේ තිබූ ලෑලි මේසය උඩට තැම්බූ දෙල් වලඳකුත් කරවල හොද්දකුත්, පොල් සම්බලයක් ගෙනැත් තිබූ සරත් බාප්පා මට කතා කළේ ය.


"දුලීකා මේ බත් හැලියත් අර මේසෙන් ගිහින් තිබ්බනම්.... ඔන්න මම වැඩි යමක් හැදුවේ නෑ කාල හිටින්න කට්ටියත් එක්ක....මේ අපේ වත්තේ දෙල්...පිටිවෙන්න තැම්බිලා....කාල බලන්නකෝ රස..."


උණු උණුවේ තැම්බූ දෙලූත් කරවල කටු හොද්දත් කොච්චි මිරිස්, අලුත් දෙහි දමා සාදා තිබු පොල් සම්බලයත් හරි රසට තිබුණි.


"ඔය අපේ ගහේ දෙල්... හොඳට පිටි වෙනවා. දෙල් කාලෙට මං කඩල කඩපලට ගිහින් විකුණනවා. කාල ඉවර කරන්න බැරි තරමට ගහේ ගෙඩි හැදෙනවා..... බාප්පා කීවේය .


"ඔහේ කරන රස්සාවෙන් ඔහේට හොදට හම්බකරගන්න පුළුවන්ද ....?


"මං ගෙවල් විකුනන බ්‍රෝකර් වැඬක් කරනවානේ.... ඉදලා හිටලා තමයි ඒකෙන් ලොකු ගානක් හම්බ වෙන්නේ...ඊට අමතරව වත්තෙ තියෙන තැඹිලි, පොල් කඩල විකුණනවා. ඒක ඇති එදාවේල පිරිමහගන්න.... වත්තේ ගස් වැල් වල ඵලදාව තියෙන දෙයක් ගිහින් කඩපලට දෙනවා. ඒකෙනුත් ගානක් හම්බ්වෙනවා... ඊට අමතරව ඔය ලොකු පොල්වතුවල තැඹිලි, පොල් ගස්වලට නැගලා, ඒවා කඩල දීලා ගාණක් හොයා ගන්නවා...."


"ආ... එහෙනම් ඉතිං ඔහේට අමාරුවක් නෑ....තනි කෙනානේ...

"

"ඔව්... පහුගිය කාලේ මං විතරනේ හිටියෙ ඉතිං හොඳට ම ඇති වුනා.....


"මේ පොඩි කොල්ලො දෙන්නා මේ ගමේ ඉස්කෝලෙට දාගන්න බැරි වෙයි ද ඔහේට....? උන්ට වත් අකුරක් උගන්න ගන්න බලන්න ඕනේ...ලොකු ළමයි තුන්දෙනාටම හරියට මට උගන්න ගන්න බැරි උනානේ.... මම රට ගියායින්, එහෙව් එකේ මේ පොඩි උන් දෙන්නටවත් උගන්න ගන්න ඕනේ..."


"මොකෝ බැරි, මේ ගෙදර ඉදන් පයින් යන දුර ගමේ ඉස්කෝලෙට... අපි ගිහින් ලොකු ඉස්කෝලේ මහත්තයාට කතා කරලා බලමු....ළමයින් ඉස්කෝලේ නොයා ගෙදර ඉන්නවා දැක්කොත් ග්‍රාම සේවක මහත්තයා මටත් බනී."


"ඒක නම් ලොකු දෙයක් .... අපි එහෙනම් ලගදිම දවසක ඉස්කෝලෙට ගිහින් ලොකු ඉස්කෝලේ මහත්තයා හම්බවෙලා බලමු...."


"ඒක නම් ලොකු දෙයක් .... අපට ඉස්කෝලේ ගිහින් ඉගෙනගන්න බැරි වුණ එකේ පොඩි වුන් දෙන්නටවත් අකුරක් උගන්නවගන්න පුළුවන් වුණොත්..."


බාප්පලාගේ ගෙදර නවතින්න ආපසු, අපට ගතකරන්න ලැබුනු ජීවිතය හිතට ගතට ඉතා සැනසිල්ලක් ගෙන දුන්නාය. වත්තෙ පිටියෙ ඇති කොස්, දෙල්, අල, බතල කොළ වර්ග ,පළතුරු නිසා එක වේලක්වත් අපට බඩගින්නේ සිටින්න සිදු නොවිය. මොනයම් දේකින් හරි බඩ කට පුරවාගන්නා අපි වෙලේ පැන තිත්ත පැටව් අල්ලමින්, සරුංගල් අරිමින් කාලය ගත කළේ හරිම සතුටිනි.


දහවලට වෙලට බැස අම්මත් මමත්, මුකුනුවැන්න ,කිරිපලා, කංකුං වැනි පලා කඩාගෙන විත් මිටි බැද බාප්පාට කඩපලට ගෙනියන්නට දෙන්නෙමු. වත්තේ අඹ, අඹැරැල්ලා, කෙහෙල් මුව, කතුරුමුරුංගා ,ගස්ලබු ආදියද කඩා දෙන්නෙමු. වත්තේ ඇති එළවළු පළතුරු ගස්වලට අප ආසාවෙන් සාත්තු කරන්නෙමු ...අපේ කාලය වත්තේ පිටියේ වැඩ වලට යොමු කරමින් සතුටින් කාලය ගතකරන්නෙමු.


ලොකු අයියාත්, ලොකු මල්ලීත් මාකට්ටුවේ වැඩ කරන මුදලාලිගෙ කඩ කෑල්ලක දිගටම නවතින බව කිව් නිසා අම්මා ඔවුන්ට පාදුක්කේ නවතින්න එන්න කතා කෙරුවේද නැත. අම්මා ද ඔවුන්ට එන්නට බල නොකලේ ළමයි රොත්තක් සමග බාප්පාගෙ ගෙදර එන එක හොද නැති නිසා වන්නට ඇත.


අම්මා රට ගිහින් ආවාට පසු අපේ තාත්තා, අප බලන්ටවත්, නිකමට අපේ ගෙවල් පැත්තෙ නොආව එක, අපේ මේ පාදුක්ක ගමන ඉක්මන් කර විය.


තාත්තා දැන් මැගිලින් නැන්දලාගේ ගෙදර ම බින්න බැස ඇත. මැගලින් නැන්දාගේ රැකියාව කසිප්පු විකිණීමය. මුඩුක්කු පේලියේ කොණේ ලෑලි ගෙදර ජීවත් වුණ ඇයට මනුස්සයකු නැත. නමුත් අරක්කු, කසිප්පු බොන්න එන මිනිසුන් ගොඩකට ඇය හොර ගෑණි වී ඇත. තාත්තා ද එයින් කෙනෙකු බව පවසා අම්මා දිනක මැගිලින් නැන්දාට හොඳ කුණුහරුපයෙන් බනිනවා මා අසා සිටියෙමි. තාත්තා මැගිලින් නැන්දාගේ කසිප්පු ජාවාරම කරගෙන ඇගේ ගෙදර දොරේ ද වැඩ බලාගෙන ඇයට වහලෙක් මෙන් සේවය කරන්නේ ය. මැගිලින් නැන්දා වහලෙක්ගෙන් මෙන් තාත්තාගෙන් වැඩ ගන්නා බව ද අම්මා ඇයට බනින දිනක මතක් කළාය. ළමයින් පස්දෙනෙකුගේ පියෙක් වන තාත්තාට ඔහුගේ දරුවන් ගැන හැඟීමක් නැත. ඔහුට කට ගොන්නක් බීගෙන තියෙන දෙයක් කා, ගැහැණියක් සමඟ එකට නිදියන්නට ඇත්නම් ඇතිය.


ඔහුගේ දරුවන් වන අපට ඔහු නැති අඩුව නොදැනෙන්නේ ඔහුගේ ඇති නරක ගතිගුණ නිසා ය. ඔහුට අප ගැන හැඟීමක් නැතුවා සේ ම අපට ද ඔහු ගැන කිසිම හැඟීමක් නැත. ඔහු ගෙදර ඉන්නා කල නිතර ම මව සමඟ වන ගෝරි, රංඩු සරුවල් නිසා අපට ඔහු එපා වී තිබුණේ අප පොඩි දරුවන් ලෙස සිටි කාලයේදිය. අයියා නම් තාත්තාට සලකන්නේ ම නැත. ඔහුට තාත්තා හොදට එපා වී ඇත.


"ලොකු කොල්ලට නම් කොළඹ එළවළු මාකට් එක හිතට අල්ලලා....ඒකයි ගෙදර එන්න කැමති නැත්තේ...."


"ඔව්...ඉතිං ඒගොල්ලෝ මේ ගමට ඇවිත් මොනව කරන්නද....පුරුදු තැන හිටියම ඉවරයි ..."


බාප්පාද අය්යයි ලොකු මල්ලියි මාකට් එකේම පදිංචි වි සිටිම ගැන සතුටු වෙයි.


අයියා මාකට් එකේ මුදලාලිලාට අත් උදව් දෙමින් කාලයක සිට කීයක් හරි හොයා ගැනීම නිසා, අපටත් කාලයක් නොමැරි ජීවත් වන්නට හැකි විය. ඒ කාලයේ සිටම අය්යා ඉඳ හිට අම්මා බැලීමට එන්නේ හාල්, තුනපහ බඩු හා එළවලූ, පලතුරු රැගෙන ය. ඔහු අම්මා අතට සල්ලි කීයක් හරි දීම නිසා, ඒ කාලයේ අය්යා නිසා, අපි යන්තම් නොමෙරි ජීවත්ව සිටියෙමු.


අම්මා අවුරුද්දක කාලයක් රට රැකියාව කර, ලංකාවට එන කාලය වන විට, අයියා බීඩි බොන්නට පුරුදු වී තිබුනේය. මාකට් එකේ කඩ ලෑලිවල ජීවත්වන අනිත් නාට්ටාමිලා සමඟ බූරු ගසන්නට ද ඔහු පුරුදු වී ඇති බව අපට දැනගන්නට ලැබුනේ පසුවය.


"මං කියලා ඔය නරක වැඩ කරන්න එපා කියන්න ද? මම නිසාමනේ ඔය ළමයි අයලේ ගියේ....."


අම්මා කාටත් නිතර ම එසේ කියන්නේ ඇයගේ රට ගමන හා හැසිරීම නිසා අයියා නොමඟ ගිය බව ඇය හොදින්ම දන්නා නිසා ය.


"ඔය දෙවැනි කොළුවවත් හදා ගන්න බලපන්....ලොකු එකා වගේ හැදෙන්න නොදී...."


ඇසිලින් නැන්දා අම්මාට නිතර ම අවවාද කෙරුවාය. නමුත් අම්මාට අය්යා හා මල්ලිලාට අවවාද කර හදා ගැනීමට තරම් අවබෝධයක් නැත. අයියායි, මල්ලියි කාගේ දෙයක් හෝ හොරකම් කර ගෙනැවිත් දුන් විට, අම්මා ඒ දේවල් ආසාවෙන් භාර ගන්නවා ඇර ඔවුන්ට කිසිම ගුරුහරුකමක් නොදුන්නාය. ඒ කාලයේ ඇයට අවශ්‍යව තිබුනේ මොනවා හො කර බඩකට පුරවා ගැනීමට දෙයක් පමනය. දරුවන් හොද මග යැවීමට ඇයට අවශ්‍ය නැත. දෙමව්පියන්ගෙ වැරදි නිසා ම දරුවන් නොමඟ යන බව මා අත්දැකීමෙන් දන්නේ එබැවිනි.


පාදුක්කේ බාප්පාගෙ ගෙදර අපි ආවේ කොළඹ අමතක කරලීමේ ලොකු උවමනාවක් ඇතුවය....අද වන විට එය ඉශ්ට වී ඇත.


තාත්තා ගැන කිසිම හැඟීමක් නොතිබුණු අපට ඔහුව ලේසියෙන්ම අමතක කර දැමීමට, පාදුක්ක ගමන නිසා හැකි විය. ඔහුගේ වැරදි නිසා අපට කොළඹ ජීවිතය තිත්තම තිත්ත වී තිබුන කාලෙක සරත් බාප්පාගෙන් ලද යෝජනාවට අම්මා එක පයින් කැමති උනේ...අපේද පෙර කල කුසල කර්මයක් නිසා වන්නටද ඇත. තාත්තාට අප ගැන හැඟීමක් නොතිබුණු බැවින්, අපට ද අවශ්‍ය වුණේ ඔහුව නිතර දෙවේලේ නොදකින්නට වෙන කොහේහරි ගිහින් ජීවත්වීමට ය. තාත්තා මැගිලින් නැන්දලාගෙ ගෙදර , ඔහුගෙ කැමැත්තෙන්ම බින්න බැස වහලෙක් මෙන් සේවය කරමින් හිදින්නේ නොමිලේ කසිප්පු බීමට ලැබෙන නිසාය....


අම්මා රට ගොස් ආවාට පසු,ඔහු දෙස බැලීමට ද අකමැති උන නිසා, අපට කොළඹ ලැයිමේ ජීවත් නොවි පාදුක්කේ එන්නට වාසනාව ලැබුනි.... මුඩුක්කු පේලියේ එහේ මෙහේ යන විට අම්මාට, තාත්තා මුළිච්චි වුවිට, ඇය කාරා ඔහු ඉස්සරහ ම කෙළ ගැසුව බවත් නැතිනම් හොඳ කුණුහරුපයක් කියා ඔහුට බැනපු බවත් කීවේ අම්මාමය. අම්මා රට ගිහින් ආපසු, තාත්තා මුලින් ම ලැයිමේදි මුණ ගැසුණු දින, අම්මා ඔහුට පාරේදි හොඳට ම අතින් පයින් ගසා ඇත. මුඩුක්කු පේලිවල ගැහැණු මිනිසුන් විත් ඔවුන් දෙදෙනා පසෙකට ඇඳ නොදමන්නට එතන මිනීමැරුමක් වෙන්නට තිබුණු බව ද කීවේ ලැයිමේ ගැහැණුන්මය. කෙසේ හෝ තාත්තා නොදැක ඈත කොහේ හෝ යෑමට අප සියලු දෙනාට අවශ්‍යව තිබූ බැවින් සරත් බාප්පාත් සමඟ පාදුක්කේ ආ බව, අම්මා ලැයිමේ ටික දෙනෙකුට පමනක් කීයා ඇත. ඔවුන්ගේ ද අදහස වුණේ එය ඉතා හොඳ තෝරා ගැනීමක් බව ය.


දරුවන් පස්දෙනෙකුගේ මවක් වුණත් අම්මා තවමත් තරුණය. ඇය විවාහ වී ඇත්තේ අවුරුදු දහඅට ගෙවීමටත් ප‍්‍රථම නිසා තවමත් ඇය තිස්හය වන වියේ පසුවෙයි. සරත් බාප්පා තවමත් තරුණ පුද්ගලයෙකි. ඔහු අම්මාට වඩා වයසින් අවුරුදු පහක් පමණ බාල ය. ඔහු ඉතා කාර්යක්ෂම වැඩ කරන පුද්ගලයෙක් වෙයි. ඔහුට පුශ් බයිසිකලයක් ඇත. ඔහු ගමේ ගොඬේ පොල් වතු, තැඹිලි වතුවල ගස් නැග, ගෙඩි කඩා ගානක් හම්බ කරගන්නා පුද්ගලයෙකි. ඔහු ගෙවල් විකුණන බ්‍රෝකර් වැඩය ද කරන්නෙක් බව ගමේ ප‍්‍රසිද්ධිය. එවැනි උත්සහ වන්ත මනුස්සයෙක් සමග අම්මාට කසාද නොබැද හෝ එන්නට ලැබීම අපෙත් වාසනාව කියා මට සිතේ....


අවුරුදු දහතුනක පමණ කාලයක් කොළඹ මුඩුක්කුවේ ජීවත් වුණ මට, පාදුක්කේ පැමිණීමට ලැබීම දිව්‍ය ලෝකයට ආවා හා සමාන විය....

මුඩුක්කු පේලියේ දිවෙන කුණු කාණුවලින් එන ගඳත්, මුඩුක්කු පේළිය ලඟින් ම දඩ දඩ ගා නිතර දිවෙන කෝචිචි සද්දයත්, මුඩුක්කුවේ ගැහැණු පිරිමින්ගේ රංඩු සරුවල් හා ගාල ගෝට්ටි සද්දෙත් නිසා මට කොළඹ ජීවිතය තිත්තෙටම තිත්ත වී සිටියෙමි.


"ඇහුනද දුවේ, මේ ගමේ තියෙන නිස්කලන්කෙ නිසා මට නොකා නොබී වුණත් ඉන්න තියෙන එක සනීපයක් කියලා හිතෙනවා ..."


"මටත් එහෙමයි අම්මේ. උදේ ඉඳන් රෑ වෙනකම් වතුර පයිප්පෙ, වැසිකිළිය ලඟ තියෙන පෝලිම, ගෑණුන්ගෙ රංඩු, හවසට කට ගොන්නක් බීගත් මිනිස්සුන්ගෙ ගාල ගෝට්ටිය, පොඩිවුන්ගෙ කන්කරච්චලය අනේ අම්මේ මටත් අම්මට වගේ ම නොකා නොබී හරි මේ පළාතේ ඉන්න ලැබුන එක නම් පෙර පිනක් කියලයි හිතෙන්නෙ...."


"ඒ වුණාට මට නම් ලැයිමේ කොල්ලො එක්ක සෙල්ලම් කරන්න නැති වුණ එකට නම් මට දුකයි....."

පොඩි මල්ලී කිව්වේ දුකෙන් ය.


"උඹට ඉතිං කොල්ලෝ කුරුට්ටෝ එක්ක නටන්න තිබුණොත් ඇතිනේ...."


"මට නම් අර කාණු ගඳ නැතිව ඉන්න ලැබුණු එකත් සැපක්...."


"මොනව වුණත් අපේ හොඳ කාලයක් ලැබිල වෙන්න ඇති අපට මේ වගේ නිදහස් පැත්තකට එන්න ලැබුණේ....."


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

1 view0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentarios


bottom of page