top of page
  • Writer's picturePrisila Godahewa

💥ගිමන් හරිමි💥

(5 වන කොටස )

🍁🍁🍁🍁🍁🍁

ලුසියා නැන්දා නිතර අපේ ගෙදරට පැමින, අම්මාගේ හා චූටි මල්ලිගේ දුක සැප බලයි. ඒ එන වෙලාවට ඇය ගෙදර උයා තිබෙන දෙයක් බෙලෙක් පිගානෙකට බෙදා අම්මාට ගෙනත් දෙන්නට පුරුදු වී ඇත. කොයිතරම් නැතිබැරි මිනිස්සු උනත්, ලැයිමේ ඉන්නා, මොවුන්ගේ ඇති හොද ගුණය ගැන මම පුදුම වන්නෙමි.


තාත්තා සුපුරුදු ලෙස ඔහුගෙ රැකියාව කරමින් අම්මට කරදර කරයි. එබැවින් මට හා පුංචි මල්ලිලාට ඔහුව දවසින් දවස එපා වෙන්නේ නිතැතින්මය...


ලොකු අය්යා නම් තාත්තා ගෙදර නැති වෙලාවක් බලා අපට කන්නට යමක් ගෙදර ගෙනත් දමා යන්නේ අම්මා අතට කීයක් හෝ මිට මොලවාය. අම්මට පස්වෙනි දරුවා ලැබුන පසු, අවේලාවේ අපේ ගෙට රිංගපු මිනිස්සු, දැන් දකින්න ලැබෙන්නේ නැත....


කාලය ගෙවි ගොස් චූටි මල්ලිට වයස අවුරුද්දක්ද පිරුනි.


" හැමදාම මෙහෙම ඉදලා හරියන්නේ නෑ ලුසියා අක්කේ...මට තේරෙන්නෙ නෑ මොනව කරන්නද කියලා මේ අපායෙන් ගොඩ යන්න....."


"ඇති යන්තම් කුසුමෝ....උඹට එහෙම හිතිච්ච එක... හැමදාම මේ විදිහට, මේ පොඩි උන් බඩගින්නේ තියන්න බෑනේ.... උඹ කැමති නැද්ද රට රස්සාවකට එහෙම යන්න...?හොද පඩි...අපේ කෙල්ල ඉන්න ඩුබායි රටේ ගෙදරට තව වැඩට කෙනෙක් හොයනවලු....උඹ කැමති නම් මම අපේ කෙල්ලට කියලා උඹට ඒ ගෙදර රස්සාව ලෑස්ති කරලා දෙන්නම්....."


"අනේ අක්කේ...ඒක නම් කොච්චර ලොකු උදව්වක්ද....අපේ මේ ලැයිමේ ගෑනු, රට ගිහින් ඇවිත් තමයි ඔය ගෙවල් දොරවල් හදාගෙන බඩු මුට්ටු එහෙමත් ඇරගෙන ලස්සනට උජාරුවට ඉන්නේ...මටත් රට රස්සාවකට යන්න ලැබුනොත් මේ පොඩි උන් ටිකට වේලක් හැර වේලක්වත් කන්න දෙන්න පුලුවන් වෙයි..."


"එතකොට මේ පොඩි එකා කවුද බලාගන්නේ ...?


"ඇයි ඉතිං ....දුලීකා ඉන්නේ...ඒකි තමයි මම හිටියත් පොඩි එකා බලාගන්නේ..."


"එතකොට උඹේ මිනිහා, මොනව කියයිද...?


"මිනිහා මොනව කියන්නද...? ඌ නෙමේනේ මේ පොඩි උන්ට කන්න දෙන්නේ...මම රට යන එක ගැන අහනවානම් අහන්න ඕනේ ලොකු කොල්ලගෙන් විතරයි ....හෙට අනිද්දා ඌ ගෙදර ආවහම මම උගෙන් අහලා අක්කට කියන්නම්....අනේ අක්කේ වෙන කාව වත් ඒ ගමනට ලෑස්ති කර ගන්න එපා...මම කොහොම හරි ලොකු කොල්ලව මටමේ ගමන යන්න කැමති කරගන්නම්..."


"එහෙනම් උඹ කොල්ලගෙන් අහල මට පනිවිඩය ඉක්මනට කියපන්කෝ..."


"හොදයි අක්කේ..."


අම්මා චූටි මල්ලි මට භාරදි රට යන්න හදන්නේ ලොකු කැමැත්තකිනි. ඉස්කෝලේ නොයා ගෙදර ඉන්න මගෙන් වැඩ ගන්න අම්මාට, රට යන ගමනට භාදා කිසිත් නැත. මල්ලිලා බලාගන්නවා වගේම ගෙදර දොරේ වැඩට මම ඉන්නවා කියා ඇය දනී.

අම්මා රට ගිහින් සල්ලි හම්බකරගෙන ආවොත්, අපටත් තුන්වේලට යමක් කන්නට ලැබෙවි කියා මටත් හිතේ....ඒ ඇරෙන මට වෙන බලාපොරොත්තු නැත.


ලොකු අය්යා, මාකට් එකේ සිට ගෙදර එනතෙක් බලා සිටි අම්මා...ඔහු ගෙදර ආ සැනින් අම්මාගේ අදහස, අය්යාගෙ කනේ තිබ්බේ අය්යාට කිසිත් කතා කරන්න ඉඩ නොතියාමය....


"ලොකු පුතේ මං රට යන්න කියල හිතුවේ....ගෙදර අගහිගකම් නිසා, වෙන කරන්න දෙයක් නෑ....තාත්තාට මේ පොඩි උන් ගැන හැගීමක් නෑ... පව් මේ පොඩි උන්ට හරියට කන්න අදින්නවත් නෑනේ...."


" අම්මා රට ගිහාම එතකොට කවුද මේ පොඩි එකා බලාගන්නේ....?


"වෙනදා වගේම නංගි, පොඩි කොල්ලා බලා ගන්නම් කිව්වේ...."


"පව් ඒකී ගෙදර වැඩ ඔක්කොම කරනවා.... ඒ මදිවට පොඩි එකත් ඒකීට බාර දීලා අම්මා රට යන්නද හදන්නේ....."


"මෙහෙම ඉඳල බෑ ලොකු පුතේ.... උඹලට කියලත් හොද කලක් යන්න එපෑයි.... අර ලුසියා අක්කගෙ කෙල්ල මේ දවස්වල ඩුබායි ඉදලා නිවාඩුවට ඇවිත් ඉන්නවානේ....මං ලූසියා අක්කත් එක්ක කතා කරා.... ඒකී වැඩ කරන ඩුබායි රටේ ගෙදර වැඩට තව කෙනෙක් හොයනවලූ....ඒ කෙල්ල කිව්වා, මේ පාර නිවාඩු ඉවර වෙලා ඒකී රට ගිහාම මං ගැන කියල ටිකට් එකක් හදල එවන්නම් කියලා ....


"අම්මට හොඳ විදිහක්..".


අයියාට කිසිම දෙයක් ගැන හැඟීමක් දැනීමක් නැත... ඉස්කෝලේ හතරේ පන්තියට පමණක් පාසැල් ගිය ඔහු, යමක්කමක් තේරුම් ගිය දිනයේ පටන් මාකට් එකේ වැඩට ගොස් කීයක් හරි හොයා ගෙන ඒම ඔහුගේ පුරුද්දය. බොහෝවිට ඔහු මාකට් එකේ අහකදමා ඇති එළවලූ පළතුරු තෝරා අපට ගෙන එයි. ඒවා අපට රජ බොජුන් ලෙස පෙනේ. අම්මාට අය්යා හොයාගෙන එන කෑම තරම් තාත්තා ගෙනත් දෙන දේවල් වල වටිනාකමක් නැත.


"උඹට පිං මොනව හරි අපට කන්න ගෙනත් දෙන එකට.....අර මහ මිනිහට කිසි ගානක් නෑ මේ ළමයි ගැන. මේ පොඩි එකාට කිරි ටිකක් දෙන්න වත් මගේ ඇගේ ලේ කළදක් නෑ ලොකු එකෝ..... පව් පොඩි එකාට හරියට බොන්න කිරි නැතුව ඇගේ ඇට ටික විතරයි .... "


අය්යා මාකට් එකෙන් ඉදහිට ,ඇති වෙන්න ගෙනෙන එළවළු පළතුරු අපේ බඩ කට පිරවීමට සමත් වෙයි. එබැවින් අපට අපේ ලෝකේ වීරයා අය්යයි.... ඉදහිට පරණ පාන් ගෙඩි දෙකතුනක් හෝ මොනයම් දෙයක් රැගෙන ගෙදර එන අයියා දුටු විට දී අපට ඒ ගැන සතුටක් දැනේ.


එසේ නැතහොත් සමහර දවසට අපේ මුළු පවුලේම එකම ආහාරය.... එකම පාන් ගෙඩියක් වෙයි....


"ලොකු කෙල්ලේ මේ පාන් ගෙඩිය ගානට කපලා ගනින් හැමෝටම කන්න..."


මම ගෙදර හැමෝටම ගානට පාන් ගෙඩිය කොටස් පහකට කපා,තේ කහට සාදා දෙන්නෙමි. සීනි බින්දක පාන් කෑලි ගාගෙන අප තේ වතුර බොන්නේ ආසාවෙන්, වගේම වේලකට බඩ පුරවා ගැනිමටය.


ඉඳහිටක අයියා කොළඹ වරායේ කෑම පාර්සල් දෙක තුනක් රැගෙන ගෙදර එයි. එදාට අපට ඇති වන්නේ ලොකු සතුටකි. ඒවා අප සාලයේ මැද බිම තියාගෙන හැමෝම වට වී කන්නෙ එක හුස්මටය. අයියා ගෙනෙන දෙයක්, තාත්තාට ද අම්මා පසෙකට කර තබන්නෙ තාත්තා ගෙදර ආ සැනින් කෑමට යමක් සොයනා බැවිනි.


"ලොකු දුවේ උඹට මල්ලිලා බලාගන්න පුළුවන් නේද.... මං රට රස්සාවට ගිහාම.....?"


"පොඩි මල්ලි තවම කිරි බොනවනේ.... ඌව කොහොමද මං බලාගන්නේ....."


"ඔය දැනටත් ඌ අපි කන බත් පාන් කන්නේ.....ඒ හින්දා උඹට ඌව බලාගන්න අමාරුවක් වෙන එකක් නෑ.....කිරි නැති වෙලාවට බත් කැඳ ටිකක් හදලා පෙව්වහම ඒකා යසට ඉඳියි....."


පහුගිය දිනවල අම්මා නිතර චූටි මල්ලි මට භාරදි ලුසියා නැන්දලාගෙ ගෙදර යන්න ඇත්තේ , රට රස්සාවකට යන්න අවශ්‍ය දේ හදගන්නට වෙන්න ඇත.....ඇයගේ උත්සහයේ ප්‍රතිඵල වැඩි දවසක් යන්නට මත්තෙන් ලැබුනි. ඇයට ඩුබායි රටේ ගෙදරක දරුවෙක් බලා ගන්නා රැකියාවක් ලැබි තිබුනි.


අම්මා දරුවන්ව දමා රට රස්සාවට යන්න ලෑස්ති වන්නේ ලූසියා නැන්දාගේ දුව සමඟ ය. ඇය වැඩ කරන තැන තව ළමයෙක් බලාගන්න අම්ම රට යන්න හදන ගමනට, තාත්තාගෙ අකමැත්තක් නැති ගානය.


අම්මා දිනක් උදේ තාත්තා හොද සිහියෙන් ඉන්නා වෙලාවකදි ඒ ගැන කියනවා මට ඇසුනි. ඒ වෙලේ තාත්තා අම්මාට කිව්වේ...


"උඹට ඕන තැනක පළයං ...හැබැයි මට බෑ මේ ළමයි ගොඩ බලාගන්න බෑ...."කියායි.


"මොකෝ කවදත් තමුසෙයැ මේ ළමයි බලාගත්තේ ...ලොකු කෙල්ල පොඩි උන් ටික බලා ගනියි. ඒකිත් දැන් ලමිස්සියෙක් නෙව...."


"ළමිස්සියෙක් ගෙදර දාලා අම්ම කෙනෙක් යන්න හදන ගමනක්ද මේ..."


"ඒකී දන්නවා හැමදේකින්ම පරිස්සම් වෙලා ඉන්න....මම රට ගිහින් කීයක් හරි හොයාගෙන එන්න ඕනේ ඒකි හරි වයසට ආවහම දීග දෙන්නවත්..., මේ පොඩි උන් ටික බඩගින්නේ ඉන්න හැට් මට බලන් ඉන්න බෑ.....මේ පොඩි උන් ටික කොයිවෙලේ හරි බඩගින්නේ මැරෙනවා......අර ලොකු එකාට පිං සිද්ද වෙන්න මේ පොඩි උන් ටික යාන්තම් වේල පිරිමහගෙන ජීවත් වෙන්නේ...."


අම්මා මල්ලිලා ටික මට බාර දී අයියාට මාව බලා ගන්නට කියමින් රට යන්නට ලෑස්ති වන්නේ හරි කැමැත්තෙනි. මට අම්මා රට යන එක ගැන දුකක් වත් සතුටක්වත් නැත. කවදත් ගෙදර වැඩ, මල්ලිලාගෙ වැඩ කරලා පුරුදු නිසා, මට අම්මා රට ගියා කියලා පාඩුවක්, ප්‍රශ්නයක් වෙන්නේ නැති බව තේරුම් ගොස් ඇත. ගෙදර වැඩ කියා, මේ ලැයිම් ගෙදර කරන්නට මහ ලොකු වැඩක් නැත. ගෙදර පාවිච්චියට වතුර ටික පාරේ පයිප්පයෙන් බාල්දි වලට පුරවා රැගෙන ඒම තමයි අමාරු වැඩකට කියා මට තිබෙන එකම වැඩය....දැන් ඉද හිට ලොකු මල්ලි හා පොඩි මල්ලිත් වතුර බාල්දි ගෙනවිත් ගෙදර පිටුපස තාර බැරලය පුරවා තැබීම නිසා, මට ඒයින් සහනයක් දැන් ලැබී ඇත. ලෑලි ගේ පිටුපස තාර බැරලයට පුරවා ඇති වතුර වලින් අපි උයන්න පිහන්න ගෙදර වැඩට වතුර ගන්නෙමු. එය හිස් වෙන්න හිස් වෙන්න වතුර ගෙනවිත් පිරවීම මම හෝ මල්ලිලා කරන්නෙමු. ගෙදර හැමෝම නාගන්නට, රෙදි හෝදාගන්නට වත්තේ පිං ලිදට හෝ සෙනග නැති වෙලාවට පාරේ පයිප්පයට යති.


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

1 view0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page