top of page
  • Writer's picturePrisila Godahewa

💥ගිමන් හරිමි💥

💥ගිමන් හරිමි💥

(53වෙනි කොටස)

පොඩි දුවගේ අලුත උපන් කුළුදුල් දරුවාගේ මුහුණ දැක, මට ඇති වුනේ කියා ගන්න බැරි තරමේ දුකක් සමග අසරණ කමකී.

අනේ මගේ අහිංසක කෙල්ලට, බෑනාට මේ දරුවා දුටුවිට මොනවා හිතෙයිද...? බෑනාගෙ, අපේ නෑදෑයෝ මේ දරුවා දැක මොනවා කියයිද...? දන්න අදුනන මිනිසුන් කොයි විදිහේ ප්‍රතිචාර දක්වයිද...?මගේ ඔළුව කැරකෙන්නට පටන් ගෙන ඇත. මගේ හිත අසරණ කමින් පිරී ඇත. මගේ ලාබාළ පොඩි දුව ගැන මට ඇතිවුනේ කියාගත නොහැකි අනුකම්පාවකි. ...මම කදුළු පෙරමින් දුකෙන් ඇඩුවෙමි.


"නෑ... නෑ.. ඔය අම්මා බයවෙන්න එපා..... දැන් විද්‍යාව දියුණුයිනේ.... ලොකු දොස්තර මහත්තයා කිව්වා දරුවා ටිකක් ලොකු උනාම ඔපරේෂන් දෙක තුනක් කරල, ඔය පැළුනු තොල මහලා හදන්න පුළුවන් කියලා...."


"අනේ ඇත්තද නර්ස් නෝනා....ලොකු දොස්තර මහත්තයා එහෙම කිව්වද...? අනේ එහෙම නම් ලොකු දෙයක් .....මගේ හිත හදාගන්න ඒ වචනෙත් ඇති නර්ස් නෝනා ....මට පොඩි දුවගේ හිත හදන්න පුලුවන්, එහෙනම් එහෙම කියලා ...."


සුමාන තුනක් ඉස්පිරිතාලේ... දරුවා සමග පොඩි දුවට නවතින්නට සිදුවිය. ඇයට ඇගේ මව්කිරි දොවා, විශේෂ කිරි බෝතල් වර්ගයකින් දරුවාට පෙවීමට සිදුවිය. එය නර්ස් නෝනලාගෙ උදව් ඇතිව මට සිදු කිරීමට සිදු විය. එබැවින්ඇගේ උදව්වට මටද ඉස්පිරිතාලේ නැවතීමට සිදුවිය.


සුමාන තුනකට පසු ඉස්පිරිතාලෙන් මම ඇයව ,අපේ ගෙදර රැගෙන ගියෙමි. ඇයව, නැන්දම්මලාගෙ ගෙදර නොයවා අපේ ගෙදර රැගෙන ගියෙ.... දරුවාගෙ අසනීප තත්ත්වය නිසා, පොඩි දුවට, බෑනාගෙ නෑදෑයින් යාළුවන්ගෙන් නොමනා කතා ඇසීමට සිදුවෙයි කියා බයටත්‍ එක්කය.....දිගටම පොඩි දුව මගේ ලඟ තියා ගෙන, ඇගේ දරුවා බලා ගැනීමට මම හිතට ගත්තෙමි.


අලුත උපන් දරුවාට

පොඩි කෙළීගෙන් කිරි උරා බීමට නොහැකි නිසා කෙළීගේ කිරි පෙවිමට.... මා හට මහත් උත්සහයක් දැරීමට සිදු වෙයි.... දරුවා හැදීමේ දැනුමක් නොතිබුණු පොඩි දුව,....

මම දරුවා නහවා කිරි බොන්නට දී නැවත ඇගේ අතට දරුවා දෙන තෙක් කිරි දොවා දී බලා හිදී.... ඇයගෙ තනයෙන් දරුවා කිරි ටිකක් උරා බොනවා බැලීමට, එම සතුට හා මිහිරි හැඟීම විද ගැනිමට.... අම්මා කෙනෙක් ලෙස ඇයට වාසනාව නැත.


දුවලා දෙන්නටම එකම මාසෙ දරුවො ලැබෙන්න තිබු නිසා, මම නෝනලාගෙ ගෙදර වැඩට නොගියෙමි. මම ඒ බව නෝනාට වේලාසන කියා තිබුන එක හොදට ගියේය.


පොඩි දුවට දරුවා ලැබි මාසෙකට පසු , ලොකු දුවටද ඇගේ

දෙවන දරුවා ලැබුනි. ඇයද දරුවා ලැබී අපේ කුළී නිවසටම ආවාය. ...ඇයට නැවතද දියණියක ලැබී තිබුණි. ඇයගේ වැඩ කටයුතු කිරීමට ඇයගේ නැන්දම්මා ඇවිත් සිටීම මට පහසුවක් විය.


පොඩි දුවගෙ තනයෙන් කිරි උරා බීමට, ඇගේ දරුවාට නොහැකි නිසා, ඇයගේ පපුවෙන් නිතර අහකට කිරි ගලායයි...

එලෙස ඇගේ හැට්ටය කිරිවලින් තෙත්වි තියෙනවා දකින විට, මට ඇති වන්නේ කියාගත නොහැකි දුකකී.... ලොකු දුව ඇගේ දරුවාට කිරි දෙන විට, පොඩි දුව දුකෙන් ඒ දෙස බලා හිදී.... එම නිසා, ඉදහිට ලොකු දුවට කියා මම, ඇගේ බාළ දියණිය, පොඩි දුවගෙ අතට, දී ....පුංච් අම්මාගේ කිරි බොන්න දෙන්නට කියමි...අම්මා මොකද ,පුංච් අම්මා මොකද, බඩගිනි උනව්ට කිරි දරුවා රස කරමින් පුංච් අම්මාගෙ කිරි බොනවා දකින විට මගේ පපුව දැවී යයි. එයින් පොඩි දුවගේ හිතේ තිබෙනා දුක, අසහනය යාන්තමින් හෝ අඩුවන බව මට දැනි යන විට පොඩි සැනසිල්ලක්ද දැනේ......

දුවලා දෙන්නාගේ වැඩ කටයුතුත් මිනිපිරියන් මුණපුරාගෙ වැඩ කටයුතුත් කල මට බොහෝ හති වැටි ඇත..... නමුත් දරුවන් හා දරුවන්ගේ දරුවන් සමග එක ගෙදර එකට වැටි සිටිමත්, කොයිතරම් අමාරුවෙන් දරුවන්ගේ වැඩ කටයුතු කලත් මගේ හිත සතුටින් පිරි ඇත.... උදේ සිට රෑවෙනකම්, දවසම වැඩ කරත් කොයිතරම් ඇගේ පතේ අමාරුකම් ආවත් මට දැන් ඒවා නොදැනේ....මුළු දවසම මම දුවලාගේ හා ඔවුන්ගේ දරුවන්ගෙ ඕනෑඑපාකම් බලමින් කෑම බීම උයා පිහා දෙමින්, දරුවන් නාවමින් හෝදමින්, ගෙවල් අස්කරමින් හැමෝගෙම වැඩකටයුතු කරන මගේ හිත සතුටින් පිරි ඇත.....


ලොකු දුව මෙන්ම දැන් පොඩි දුවත් බෑනාත් අපේ කූළී ගෙයිම ජීවත් වේ....දැන් පවුල් තුනක් එකම ගෙදර ඉදී.... පොඩි දුවගේ දරුවාගේ අසනීප තත්ත්වය නිසා මම ඇයව නැවත නැන්දම්මා ලගට නොයවා, ඇගේ වැඩකටයුතු මම දිගටම කරන්න හිතට ගත්තෙමි.


ලොකු දුවත්, පොඩි දුවත් දැන් මට ගෙවල් කුළී ගෙවන්න මාසෙ අන්තිමට පොඩි මුදලක් අතට දෙයි.... අපි තුන්ගොල්ලෝම එම ගෙදර දැන් ජීවත් වෙන්නෙ ඉඩකඩ මදිපාඩු කම් නිසා අපහසුවෙන්, අසහනයෙන් වෙන කරන්නට දෙයක් නැති කමිනි.


එන්න එන්නම ගෙදර ඉඩකඩ අඩු ප්‍රශ්නය, හැමෝටම දැනෙන්න පටන් ගෙන ඇත....ඒත් එයට විසදුමක් නැත... වෙන කරන්නටද දෙයක් නැත.... ඉපදුනදා සිට ලැයිමේ , මැට් ගෙවල්, ලෑලි ගෙවල්, කුළී ගෙවල් වල ජීවත් වුන මම හිත හදාගෙන දරුවන් සමග එකට ජීවත් වන්නෙමි.

මම මෙන්ම දරුවන් දෙදෙනාත් මගේ ලගම වැටී දුක් විදින්නේ ඔවුන්ගේ සැමියන්ගෙ අඩු පඩි රැකියා නිසාය.... දූවරු දෙදෙනාටම දැන් රැකියාවක් කීරිමට හැකියාවක් නැත. ඔවුන්ට දරුවන් හදනවා, බලාගන්නවා ඇර වෙන රස්සාවක් කරන්න වෙලාවක් නැත. එබැවින් බෑනලා දෙදෙනා හම්බ කරන සුළු පඩිය, ඔවුන්ට ගෙවල් කුළී ගෙවමින් දරුවන්ට වියදම් කිරීමට පුලුවන් කමක් නැති නිසා දූවරු දෙදෙනාම මගේ ලගම වැටි මගේ උදව් බලාපොරොත්තුවෙන් ඉදී. ...මම මහන්සි වී හම්බකරන සොච්චමද දරුවන් හා දරුවන්ගෙ දරුවන්ට වියදම් කරමි. අපි සියලු දෙනා එක ගෙදර එකට වැටී ගත කරන ජීවිතය ගැන මට ඇත්තේ ලොකු දුකකී. නමුත් මේ අපේ ඉරණම විසදී ඇති ආකාරයයි.


මාස දෙකක නිවාඩු ගෙන, නෝනලාගෙ ගෙදර වැඩට ගිය මට නෝනා වෙනසක් නොකර සැලකුවාය.


"දූලීකාට දැන් ගෙදර ගොඩක් වැඩ ඇති නේද...?"


"අනේ ඔව් නෝනා...., එක මොහොතක් මට නිකන් ඉන්න නෑ දරුවන්ගෙ වැඩයි මිනිපිරියන් මුණපුරාගෙ වැඩයි ඉවරයි නැති වැඩ...ඒ උනාට මට හරි සතුටුයි නෝනා.....පොඩිඋන් දිහා බලාගෙන ඉන්නකොට මට මගෙ ඇගේ අමාරුකම් දැනෙන්නෙ නෑ..."


"දැන් ඉතිං දූලීකගෙ ගෙදර කට්ටිය වැඩි වෙලානේ.. ..ගෙදර යනකොට මේ බත් මුල් ඇරන් යන්න දුවලා දෙන්නට වෙන වෙනම දෙන්න....."


ඇය දැන් මම වැඩ ඇරි ගෙදර යන කල මට ගෙදර ගෙනියන්න ලොකු බත් මුල් දෙකක් බැඳ දෙයි. එක බත් මුලක් ලොකු දුවට දෙන්නටය. දෙවැනි මුළ බාල දුවටය.

මම නෝනලාගෙ ගෙදර වැඩට ගිය දිනට,මම ගෙදර එනතෙක් දරුවො මග බල හිදින්නේ, නෝනාගේ බත් මුල් ලිහාගෙන කන්නටය.... බත් මුල් රැගෙන එන තෙක් බලා සිටිනා ඔවුන් මගේ මල්ල ඇද බලන්නේ ඒ තුළ තව මොනවද ඇත්තේ කියායි.... ඒ තුල හැමදාම මොනවා හෝ පැනිරස කෑමක්, තුනපහ , කේක් බිස්කට් වරදින්නෙ නැත ...ඒ ගැන දරුවන් හැමෝම දනී. මම ගෙන යන බත් මුල ගේ මැද සාලේ තියාගෙන දරුවෝ ටික බලූ පැටවුන් මෙන් වට වී ඒ බත් මල් කනවිට, මම නෝනාට පින් දෙන්නේ ජාති ජාතිත් ඇයට කිසිම දේකින් අඩුවක් පාඩුවක් නොවී වැඩි වැඩියෙන් හරි හම්බ වෙන්න කියායි....


තාත්තා නැති දරුවන් දෙදෙනා ,අමාරුවෙන් පාසැල් ඇර, ලොකු මහත් කර, කසාඳ බැඳ දුන්නත් මට....තවමත් නිදහසක් නැත....කුළියට ගත්තත්, පොළොවට ගොම මැටි ගා, ටකරන් ගැසු වහලය, ලයිට් වතුර ලඟ පාත නැති ගෙදර ,....ලාම්පු එළියෙන් රෑට දරුවන්ගෙ දුකසැප බැලිය යුතුය....කැලෑවේන් වටවුන ගෙදර සතා සරුපයාගෙන් දරුවන් පරිස්සම් කර ගත යුතුය.... වතුර ගන්නට, වැසිකිලි යාමට ගෙයින් එලියේ ඈතට යා යුතුය... ගොම මැටි ගෑ පොළොවේ, මඩනාගෙන වැටී සෙල්ලම් කරනා දරු පැටවුනුත් සමඟ, පවුල් තුනක් ගෙවෙනා දුඛ්ත ජීවිත සමග.... මට මං පංචිකාවත්තෙ ගෙවූ ජීවිතය මතක් වෙයි.... අවුරුදු හතලිස් හතරක් වයස වන මම දැන් මිනිපිරියන් දෙදෙනෙකුගේ හා මුණුපුරකුගෙ ආච්චි කෙනෙකිය. මම තවමත් නිදහස් නැත....තාත්තා නැති

දරුවන් දෙදෙනෙකු අමාරුවෙන් ලොකු මහත් කර, පාසැල් යවා දීග දි.... දැන් ඔවුන්ගෙ දරුවන් ද මා හට රකින්නට වී ඇත. මාගේ ජීවිතය කිසිම දිනක සතුටක් නොලැබූ කාලකණ්ණි අසරණ ජීවිතයකි..... කිසිම දිනක දරුවෙක් නිසාවත් මට සැනසීමක් ලබා ගත නොහැකි වි ඇත. රියදුරා රැකියා කරනා බෑනාවරුන් දෙදෙනා හම්බ කරනා දෙයින් මාගේ දියණියන්ට ද ගොඩ ඒමක් නැත.... මම මැරෙනතුරා මොවුන් වෙනුවෙන් මහන්සි විය යුතුය. මට මා ගැනම දුක සිතේ....


කොතරම් වැඩ තිබුණත් මා නෝනලාගේ ගෙදර වැඩට යන එක නොනැවැත්තුවෙමු. ඇයගෙන් ලැබෙන උදව් උපකාර නිසා මා අදටත් ජීවත් වෙමි. මාත් සමඟ පවුල් තුනක් දැන් ජීවත් වන්නේ ඇයගෙ උපකාරත් ලැබෙන බැවිනි.


ලොකු දුවත්, පොඩි දුවත් අපේ ගෙදර පදිංචි වි සිටිනා බව ආරංචි වී ගෙවල් අයිතිකාරයා අපි ඉන්නා ගෙදර හිස් කර දෙන්න කියා නැවත ඉල්ලයි...ඒත් මම මේ කෙල්ලො දෙන්නගෙ පවුල් දෙකත් ඇරගෙන කොහේ කියලා යන්නද..? හරියට රැකියාවක් නැති බෑනලාට, ගෙවල් කුළීයට අමතරව, කිරිපිටි ගන්නටද වියදම් වන නිසා, තනියම ගෙයක් කුළියට ඇරගෙන සිටිමට නොහැක.... එබැවින් ඔවුන් සියල්ල මගේ ලඟ වැටි මගේ උපකාර බලාපොරොත්තුවෙන් බලා හිදී.... අනේ මම වගේ අසරණ අම්මා කෙනෙක්...අනේ අපි වගේ අසරනයෝ...අපට කවදාවත් මේ ජීවිතයෙන් ගොඩ ඒමක් නැද්ද...? මට මගෙත් දරුවන් දෙදෙනාගේත් ජීවිත ගැන ඇත්තේ කියාගත නොහැකි දුකකී.


මාස හයෙන් හා අවුරුද්දෙන්..... බාල දුවගේ,.. චූටි පුතාගෙ නැතහොත් මගේ එකම මුණපුරාගෙ නහය කට දොස්තරවරු තුන් පාරකට ඔපරේෂන් කර හොඳින් සාදා තිබුණි. දැන් ඒ පුංච් මුහුණ බලන්න ලස්සනය.... මට ඒ ගැන ඇත්තේ ලොකු සතුටකී. පොඩි දුව ආයෙත් දරුවෙක් ලැබෙන්න සැරසේ....අපේ පවුලට නැවත අලුත් සාමාජිකයෙක් එන්නට නියමිතය. ජීවිතය අසරණ ලෙස ගලා යයි...

මම දැන් වැඩ අඩු දිනට, ලඟපාත පන්සලට ගොස් බෝධිය අතුපතුගා ,බුදුන් වැද නිදහසේ... බෝ මළුවේ වාඩිවී කාලය ගත කරන්නෙමි.... බෝ මළුවේ ඇති සිසිල, නිදහස සැනසීම....ජීවිතයට, කොයිතරම් නම් අගේද කියා මට සිතේ....


-හෙට අවසාන කොටසෙන් හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *


මගේ නවකතාව දිගටම ආසාවෙන් කියවන ඔබට,

💥ගිමන් හරිමි💥 අවසාන කොටස ,බෝනස් ඒකක් විදිහට .....අද රාත්‍රීයේ දීමට අවස්තාව ඇත....ඒ ගැන ඔබේ අදහස දන්වන්න ...😁😁😁 නැතිනම් එන සදුදාට හමුවෙමු ...🤔

3 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page