top of page
  • Writer's picturePrisila Godahewa

💥ගිමන් හරිමි💥

💥ගිමන් හරිමි💥

(51වෙනි කොටස )


පොඩිදුව කසාද බැද, බෑනාගෙ මහ ගෙදරම අම්මා තාත්තා එක්ක නතර වීම මගේ හිතට ලොකු සතුටක් විය. ලොකු දුවට වගේම පොඩි දුවටත් හොද නෑදෑ පරම්පරාවක් ලැබුන එක කොයිතරම් නම් වාසනාවක්ද....

අපේ කියන්න හරිහමන් නෑදෑ පරපුරක් නැති, කාටවත් අදුන්වා දීමට නෑදෑයෙක් යාළුවෙක් නැති මට වගේ නොවී...... කෙල්ලො දෙන්නටම , දුප්පත් උනත් වැදගත් කමට, ගෙවල් දොරවල් ඇති, අම්මා තාත්තා සහෝදර සහොදරියන් සිටිනා ,පවුල් දෙකකට දුවලා දෙන්නා, කරකාර බන්දා දීමට ලැබීම මගෙත් වාසනාවක් කියා මට සිතේ....


පොඩි දුව කසාද බැද සුමානයක් යන්න ඉස්සර දරුවෙක් ලැබෙන්න ඉන්න බව මම දැන ගත්තේ ලොකු දුවගෙනි.... ඇය මටත් නොකියා ගෙදරින් පැන යන්නට ඇත්තේ දරුවෙක් ලැබෙන්න ඇවිත් බව, මම තේරුම් ගත්තේ ලොකු දුව කිව් පසුයි. දෙවියන්ට පිං සිද්ද වෙන්න ඇයව ගෙදර කැදවා ඒ කොළුවාටම කසාද බන්දා දීමට හැකි වෙන්න ඇත්තේ මගෙත් පෙර පිනකට වෙන්නත් ඇති.


"නෝනා...බාල කෙල්ල කසාඳ බැන්ද ගමන්ම ළමෙක් හම්බවෙන්න ඉන්නවා.... සමහරවිට කෙල්ල ගෙදරින් පැනලා යන්න ඇත්තේ දරුවෙක් ලැබෙන්න ඉදලා වෙන්න ඇති ...."


"ඒක තමයි මම කිව්වෙ... පුලුවන් ඉක්මනට, ගෙදරින් පැනල ගිය ගමන් එක්ක ඇවිත් කෙල්ලව කසාද බන්දවලා දෙන්න කියලා ...දැන් ඉතිං හොදයි නේ...දෙන්නා කසාද බැදලා ඉන්න නිස බයක් නෑ...."


" බාල කෙල්ල බැඳපු දෙමළ කොල්ලා හිතපු තරම් නරක නෑ නෝනා....ඌ කෙල්ලට හොඳින් සලකනවා.... කොල්ලාගේ ගෙදර පදිංචියට ගිය කෙල්ලට නැන්දම්මා ද හොඳින් සලකනවා.... මාගේ හිතට ඒ ගැන නම් ඇත්තේ ලොකු සැනසිල්ලක්...."


"අනේ වාසනාවන්....දුලීකගෙ ළමයින්ට හරි යනවනම්...මටත් ඒක සතුටක් ..."


"නෝනා පොඩි කෙල්ලට විතරක් නෙමේ ලොකු කෙල්ලටත් ආයෙත් ළමයෙක් හම්බවෙන්න ඇවිත් ...."


"ආ...එහෙමද ?....ඒ උනාට තව අවුරුදු දෙක තුනක් ඉදලා, ලොකු දුව තව දරුවෙක් හදාගත්ත නම් තමයි හොද ..."


" ඔව් නෝනා...අපරාදේ කියන්න බෑ අපේ පවුල් වල අයට නම් දරුවන්ගෙන් අඩුපාඩුවක් නෑ...පැදුර පෑගුනත් ඇති....දැන් මට තමයි බඩ දරු අම්මලා දෙන්නෙක් ම බලා ගන්න වෙලා තියෙන්නේ...කොහොම උනත් මට සතුටුයි නෝනා...ළමයි ලැබෙන්නෙත් වාසනාවටනේ. ..."


"දුලීකා, ඔයා ලොකු ළමයට දෙවෙනි දරුවා හම්බ වුණ ගමන් ම එක්ක ගිහිල්ලා උපත් පාලනයක් කරන්න.... නැත්නම් ඔය වයසෙනුත් බාල ළමයි එක දිගට දරුවන් හදන්න ගියොත් දුර්වල වෙනවා...."


"අනේ ඔව් නෝනා. ලොකු කෙළිගෙ ලොකු ළමයා තාම ඒකිගෙ කිරි බොනවා.... කිරි ඇත්තෙත් නෑ. ඒකිගෙ ඇඟෙත් ඇට ටික විතරයි....ආයෙත් ළමෙක් හදාගෙන, අපි කියලා ඕවා නවත්වන්නද.. ..?."


"ඔය ළමයින්ට මොනව හරි හොඳට කන්න දෙන්න දුලීකා ..."


"නෝනා ඇරන් දෙන විටමින් යකඩ පෙතිත් උන් බෙනවා...."


"ඔය පොඩි දුව කසාද බැන්දට තාම අවුරුදු දහඅටක්වත් නෑනේද..?


"ඔව් නෝනා කසාඳ බන්දල දුන්නෙ බොරු වයසක් දාලා....මමයි අපේ අම්මයි ගිය පාරෙම කෙල්ලො දෙන්නත් ගියා...මොනව කරන්නද...ඒවා ආරෙට ගිහින්..."


"හොඳට කොළ ජාති, එළවලූ , මස් මාළු එහෙම කන්න දෙන්න. තාම හරියට ඇඟවත් හැදිලා නෑනේ ළමයෙක් හම්බවෙන්නත් ආවට.... අපට ඉතිං ඕවට මොනවත් කියන්න බෑනේ. ඒ ගොල්ලන්ගෙ කැමැත්තනේ.....අනේ මන්දා ඊයෙ පෙරේදා ඉස්කෝලේ ගිය ළමයි...."

නෝනා කෙල්ලො දෙන්නා වේලාසන කසාද බැදපු එක ගැන නම් ඉන්නේ හිත හොදකින් නෙමේ...ඒ ඇය මගේ දරුවෝ දෙන්නම පොඩිකාලේ ඉදන් දැන හදුනන නිසාය.


"අනේ ඔව් නෝනා. ඇටෙන් පොත්තෙන් එළියට එන්න ඉස්සෙල්ලා මුන්ට මඟුල් විසේ ගැහුව්වනේ.... බැලූවම ඉතිං මං කරෙත් ඕකමනේ.... උන් දෙන්නම මගේ අඩි පාරේම ගියා....."


"කොහොම හරි ඔය පොඩි දුවව පරිස්සමට බලා ගන්න..."


" ඔව් නෝනා...ඒහෙම තමයි ,...පොඩි දුවට ලොකු දුවට වඩා හොදයි ,සරුයි....මගෙ හිතට ඒක ගොඩක් හොදයි නෝනා..."


"ඒක ලොකු දෙයක් ...ඒ පිරිමි ළමයා මොනවද කරන්නේ..."


"ඒ දරුවට ත්‍රිවිල් එකක් තියෙනවා..... ඒකේ හයර් දුවනවා...ඔය තව පොඩි පොඩි වැඩ වගයකුත් කරනවා කිව්වෙ...මොනව උනත් දියුණු වෙන්න දක්ශ ළමෙක් වගේ. ..දෙමළ උනාට මොකද ...දෙන්නත් එක්ක හොදින් ඉන්නව නම්...."


පොඩි දුව කසාදයෙන් පසු ඇගේ සැමියාගෙ ගෙදර නතර වී හිදියි. ඒ ඇගේ නැන්දම්මා ,මාමා හා බාල සහෝදරයත් සමගය. ඇයට කිසිදේකින් අඩුපාඩුවක් කරන්නෙ නැති ඇගේ සැමියා ඇයව හොදින් බලා ගනී. මට ඒ ගැන ඇත්තේ ලොකු සතුටකී.


පොඩි දුව වගේමලොකු දුවද දෙවන දරුවා ලැබීමට ලෑස්ති වෙන නිසා, මම ඒ දෙන්නටම ආසා කෑම ජාති හදා දෙන්නට උත්සහ ගන්නේ ලොකු සතුටකින් උවමනාවෙනි. නිවාඩු දවසට අක්කා නගෝ දෙන්නම සැමියන් සමග අපේ ගෙදර විත්, මම උයා දෙන දේ කා සතුටින් කාලය ගත කරයි. ඒවා දකින මගේ හිතට දැනෙන්නේ කියන්න බැරි තරම් ලොකු සතුටක්, සැනසිල්ලකි.... මම අවුරුදු ගනනාවක් පුරා පැතුවේ මේ සැනසිලිදායක ජීවිතය නොවේද කියා සිතී ඇස් වලට කදුළු එයි....


වැඩි දවසක් නොගිහින් පොඩි දුව අපේ ගෙදර පැමින කිව් දෙයින් මගෙ හිත බර විය.

පොඩි දුවගෙ සැමියා ඔහුගේම ත‍්‍රීවීලය හයර් දුවා කීයක් හරි අමතර හම්බ කරගත් වාහනය , වාරික නොගෙවීම හේතුවෙන් ෆිනෑන්ස් එකෙන් ඇරගෙන ගොස් තිබුනි. ඇය ඒ ගැන කිව්වේ අඬ අඬාය.


" අනේ අම්මේ අපේ ත‍්‍රීවීල් එකේ වාරිකය ගෙවාගන්න බැරි වෙලා ඒක ෆිනෑන්ස් එකෙන් ඇරගෙන ගියානේ...ක්‍රිශ්නා ඉන්නේ හරි දුකෙන්....දැන් රස්සාව කරගන්න හැටියකුත් නෑ...අපි හම්බ කරන් කාපු වාහනය ...."


"හරි වැඩේනේ දැන් මොකද කරන්නේ..."


"ඒක ආයෙත් බේර ගන්න රු. ලක්ෂයක් ඕනෙලු අම්මේ.....අනේ අම්මේ නෝනට කියලා ණයක් ඉල්ලගන්න පුලුවන් වෙයිද බලන්නකෝ..වාහනය බේර ගත්තෙ නැත්නම් අපට එදිනෙදා හම්බවෙන ආදායමත් නැතුව යනවා....මට හෙට අනිද්දා දරුවත් හම්බවෙන්න ඉන්නේ....ඒවටත් සල්ලි ඕන වේලාව...."


"කොහොමද බං හැම එකකටම නෝනට කරදර කරන්නේ...?


"අනේ අම්මේ අපට වෙන සල්ලි ඉල්ල ගන්න කෙනෙක් ඇත්තෙම නෑ...මම පුලුවන් විදිහට, නෝනට ටික ටික සල්ලි දෙන්නම් කියන්න අම්මේ..."


"මම හෙට වැඩට ගිහාම අහලා බලන්නම්...මගෙ හිතට නම් මොකක්ද වගෙ...නෝනට හැම තිස්සෙම කරදර කරන එක..."


"අනේ අම්මේ...මට දැන් දරුවා හම්බ වෙන්නත් ලඟයි...අහල බලන්නකො අම්මේ..."


දුවලා දෙන්නා, ඔවුන්ගේ හැම අමාරුවකටම මා ලගට දුවගෙන එන්න පුරුදු වී ඇත්තේ බාළ කාලේ වගෙමය..... හැමොගෙම දුක් ගන්නා රාළ වන මම ,ඔවුන්ගේ ඒ අමාරුව ගැනද නෝන එක්ක කතා කරන්න හිතා ගත්තේ ඇය මේ කාලයේ සිටිනා තත්ත්වය ගැන සිතයි. ඒ ගැන ඇය මට පැවසුවේ දුකෙන් අඬමින්‍ය. මගෙ හිතට එය බරක් විය. මටත් , මගෙ දරුවන්ටත් දුකට සැපට හිටි එකම ගැලවුම්කාරයා නෝනා පමණය.... මම නෝනාගෙන් ඒ ගැන අහන්න සිතට ගත්තෙමි .


"මම නෝනගෙන් හෙට අහලා බලන්නම් පොඩි දුවේ...පොඩි ගානක් නෙමේනේ ... මගේ හිතටත් හරි නෑ..."


පසුදින මම නෝනලාගෙ ගෙදර ගියේ හිතේ දෙගිඩියාවෙනි . පොඩි දුවගෙ ත්‍රිවිල් රතය බේරා ගැනිමට නෝනාගෙන් සල්ලි ඉල්ලන්නේ කෙසේද කියා මම නොයෙක් ආකාරයට නොයෙක් විදිහට සිතුවෙමි .


‘‘අනේ නෝනා අපේ පොඩි කෙල්ල බැදපු කොල්ලගෙ ත‍්‍රීවීල් එක සින්න වෙන්න යන්නේ....වාරිකය ගෙවලා නැතුව ඉන්ශුවරන්ස් එකෙන් වාහනය ඇරගෙන ගිහිල්ලා...වාහනය බේර ගන්න රුපියල් ලක්ෂයක් ඕනෙලු.... නෝනාට පුළුවන්නම් ණයට සල්ලි ටිකක් කෙල්ලට දෙන්න නෝනා..... කෙල්ල මාස් පතා නෝනට ගෙවයි...‘‘


‘‘ පොඩි ගානක් නෙමේනේ දුලීකා ... මහත්තයාගෙන් අහල බලන්න ඕනේ.....‘‘


එසේ කියූ ඇය දින දෙක තුනකට පසු, දුවට හා බෑනාට ,නෝනලාගෙ ගෙදරට එන්න කියා ,එම ඉල්ලු මුදල කෙල්ලගේ අතට දුන්නේ මා ඉදිරිපිටමය. පොඩි දුව ඇයට දණගසා වැද ඒ මුදල ගත්තේ ,හම්බකරන් කන වාහනය බේරා ගැනිමට ලැබුන සතුටෙනි.


මම නෝනා ලග දැන් වැඩට ඇවිත් අවුරුදු පහලොවක් වගේ කාලයක් ගෙවි ගොස් ඇත. ඒ කාලය තුල මම , සැරෙන් සැරෙට නෝනාගෙන් ඉල්ලා ගත් පොඩි පොඩි ණය මුදල් කවදාවත් නැවත ගෙවා නොතිබුනි. ඇය ඒවා මතක් කර ඉල්ලුවේ නැති උනත්, මම නැවත නැවත ඇයට ඒවා මතක් කර දෙමින් පිං දෙන්නෙමි. ඇය ඒ බව හොදින් දනී. නමුත් ඒ බව දැන දැනම ඇය මට මම ණයක් ඉල්ලු පසු ඒ මුදල නොදි ඉන්නෙද නැත....

නැවත එය මගෙන් නොලැබෙන බව ඇය දන්නා නිසා මේ මුදල දුව අතට දෙන්නට ඇත්තේ එබැවින් වෙන්නට ඇත. මම වෙනුවෙන් ඇය ඒ කළ උදව්ව නිසා පොඩි බෑනාගෙ සින්න වෙන්න ගිහින් තිබූ ත‍්‍රීවීලය බේරා ගැනීමට හැකි විය. එය මගේ හිතට ලොකු සහනයක් විය.


"මම කෙල්ලට කිව්වා නෝනාගෙන් මේ ඉල්ලා ගත් මුදල නම් කොහොම හරි නෝනාට ආපහු පුලුවන් ඉක්මනට ගෙවලා දාන්න කියලා ...."


" පුලුවන් වෙලාවක දෙන්න කියන්න ...අලුත කසාද බැදලා, ඔළුව උස්සන්න හදන ළමයිට උදව් කරන්න ඕන නිසයි මහත්තයා ඕක මට දෙන්න කිව්වේ...."


කාලය වේගයෙන් ගෙවි යයි.... මම වෙනදා මෙන්ම නෝනලාගෙ ගෙදර වැඩ කරන්න යන ගමන් අලුත් කොළ ජාති ගෙවල් ගානේ ගෙන ගොස් විකුනන වැඩයද කරමි. කෙල්ලන්ගෙ උදව් ඇතිව පුවක් ලෙලි ඇර එයින්ද ගානක් හොයා ගන්නෙමි. මම හම්බ කරන සියලු මුදල් දරුවන් දෙදෙනා හා මිනිපිරි වෙනුවෙන් වියදම් කරමි.


පොඩි දුව කසාද බැද බෑනාගෙ මහ ගෙදර නවතින්න ගිය පසු, මට තනියම අපේ ගෙදර නැවති සිටින්න උනේ ටික දවසයි.


සුළඟ සමග මහවැසි ඇද හැලුණ දිනක, ලොකු දුවත් බෑනත්, දරුවත් වැස්සේ තේමිගෙන අපේ ගෙදර ආවේ මහ රෑකය.


"අම්මේ...අම්මේ...ඉක්මනට දොර අරින්න...මහ වැස්සේ...හුළගට අපේ ටකරන් වහල හුළගට ගියා...අපි මේ අතට අහුවුන ඇදුම් ටිකකුත් ඇරගෙන දුවගෙන ආවා...."


"අනේ අපොයි...පොඩි එකා හොදටම තෙමිලා නේද......මෙහාට දියං ළමයව...ගිහිල්ලා හොදට ඔළු පිහද ගනිල්ලා...නැත්තම් ලෙඩ උනොත් ඒකත් මට මයි කරදරය...."


"හෙට උදේම ගෙවල් අයිතිකාරයා හම්බවෙලා විස්තරේ කියන්න ඕනේ..."


"දැන් ඉතිං මේ ගෙදර මම විතරනේ ඉන්නේ...උඹලා දෙන්නා ආයෙත් ඇවිත් මේ ගෙදර නතර වෙයල්ලා....නිකන් බොරුවට ගෙවල් වලට කුළී ගෙවන්න ඕනේ නෑනේ...."


ලොකු දුවලා නැවත මම සිටි ගෙදර පදිංචියට ආවේ එලෙසය. මම තනියෙන් ගෙදර සිටින නිසා මගේ පාළුවටත් එක්ක එය හොද විය.

දරු දෙන්නා දීග දුන්නා කියා මගේ වැඩ අඩුවන පාටක් නැත. මම දැන් දුවලා හා දුවලාගෙ දරුවන් වෙනුවෙන් මහන්සි වෙමින් කීයක් හරි හොයා ගන්න මහන්සි වෙමි. මම මගේ උත්සහය අත නොහැර මහන්සි වි දරුවන් හා දරුවන්ගෙ දරුවන් වෙනුවෙන් මුදල් උපයමි.


"අනේ නෝනා පොඩි කෙළීට එන සුමානෙ ළමයා හම්බවෙන්න දින තියෙන්නෙ.... මට මාසෙක විතර නිවාඩුවක් ඕනේ. ලොකු කෙළිටත් මේ මාසේ අන්තිමට තමයි දෙවන ළමයා හම්බ වෙන්න දින තියෙන්නෙත්.... මට රස්සාවවත් කරගන්න විදිහක් නෑ.... මේ දරුවන්ගෙ වැඩ හින්දා...."


"හා... හා... දිලීමා ළමයිගෙ වැඩ ඉවර කරල ආපහු වැඩට එන්න. මං ගෙදර වැඩ මොනවහරි කරලා කර ගන්නම්කෝ... වත්තේ වැඩ කරන කෙනාගෙන් මට උදව් ගන්න පුලුවන් ..."


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

8 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentarios


bottom of page