top of page
  • Writer's picturePrisila Godahewa

💥ගිමන් හරිමි💥

(4 හතර වෙනි කොටස)

🍁🍁🍁🍁🍁🍁🍁🍁

අම්මා මේ පාර දරුවා,හම්බ වෙන්න කිට්ටු වෙනකොට හිටියෙ හරිම අමාරුවෙනි... මීට ඉස්සර ලොකු මල්ලිලා දෙන්නාම අම්මට හම්බවෙන්න හිටි කාලය මට තාම මතකය. අම්මා තාම තිස් තුන් වන වියේ පසුවුයේ ඇය ඇවුරුදු දහහතේදි තාත්තා සමග දීගවිත් තිබූ නිසයි. අගහිගකම් නිසාත්, පස්වෙනි දරුවත් අම්මට හම්බවෙන්න හිටි නිසා ඇය පෙනුමෙන් ඉතා දුර්වල තත්වයක සිටියත් ඇගේ තරුණ කල රූමත් බව නම් අඩුවක් වී නොතිබුනි. එනිසා ලැයිමේ ගැහැනුන් ගේ ඉරිසියාවත් ලැයිමේ පිරිමීන්ගේ දැඩි කැමැත්තත් ඇයට නොඅඩුව තිබුනි. අම්මා සිටි අසරණ තත්ත්වය නිසා,අහල පහල ගෑණුන් අම්මා සමග තිබු නොහොඳ නෝක්කඩු කම් අමතක කර, අම්මාට ගෙවල්වල උයන මොනවා හෝ දිනයේ කොයි අවස්තාවක උනත්,බෙලෙක් පිඟානකට දාගෙන ගෙනත් කන්නට දෙයි.... නමුත් අම්මා, මම කෙසේ වෙතත් අම්මා ඒ ගෙනත් දෙන කෑමෙන් මල්ලිලා දෙන්නාටද කටවල් දෙකතුනක් අනිවාර්යයෙන්ම කවයි. අම්මා මල්ලිලාටත් මටත් සළකන ආකාරයේ වෙනස, ඇත්තේ කොතනද කියා මම නිතර සිතමි.


තාත්තාට නම් අම්මා දරුවෙක් හම්බවෙන්න ඉන්නෙ කියා විශේෂයක් නැත. සාමාන්‍ය පරිදි ඔහු හවසට කටගොන්නක් බී ගෙන පැමිණ අම්මාගෙන් කෑමට දෙයක් ඉල්ලා කරදර කරයි.

තියෙන දෙයක් පිඟානට බෙදා ඔහුට කන්නට දෙන අම්මා බඩ ගෙඩියත් බදාගෙන පැත්තක් අල්ලන් බුදියා ගනී.


"උඹ දැන්ම බුදියන්න ගියා ද....? මං කාලා ඉවර වෙලා එනකම් ඉන්න බැරිද...?තාත්තා අම්මාට ගෝරණාඩු කර..... තියෙන දෙයක් ඉක්මනට කා වේලාසන කුප්පි ලාම්පුව නිවා අම්මා ලඟට නිදාගන්නට යයි.


මල්ලිලා දෙන්නා තුරුළු කරගෙන නින්දට යන මට තාත්තා ගැන ඇත්තේ කේන්තියකි.... ඔහුට අම්මා ඉන්න තත්ත්වය ගැන කිසිම හැඟීමක් නැත. ඔහුට කසිප්පු බී තියෙන දෙයක් කා අම්මා සමඟ නිදියන්නට ඇරෙනවා ඇර වෙන කිසිම දෙයක් ගැන හැඟීමක් නැත. අම්මා, මගෙන් මොනතරම් වැඩ ගත්තත්, ආදරය නොපෙන්නුවත්, මට අම්මා මිස තාත්තා ගැන ආදරයක්, කිසිම හැඟීමක් නැත්තේ ද එබැවිනි.


"ලොකු කෙල්ලේ... මට අද නම් ඇගට හරි නෑ... හරිම අමාරුයි...කොන්දයි බඩයි හරියට රිදෙනවා ....දරුවා හම්බවෙන්න ලගයි වගේ...අනේ....අම්මේ......ආ.....කෙල්ලේ ....ගිහින් ලුසියා නැන්දා එක්ක වරෙන්...මම නැන්දා එක්ක ඉස්පිරිතාලේට යන්නම්....තව ගොඩක් අමාරු වෙනකම් හිටියොත් ඉස්පිරිතාලේට යා ගන්න බැරි වෙයි... ...උඹ මල්ලිලා දෙන්නත් එක්ක ගෙට වෙලා හිටපං ....තාත්තා ගෙදර ආපුවහම කියපං මම දරුවා හම්බවෙන්න ගියා කියලා ...."


මම ලුසියා නැන්දාගේ ගෙදරට හනිකට දිව ගියේ... අම්මාගේ හීන් කෙදිරිය ගැන ඇතිවි තිබු හිතේ බයෙනි. මම එක පිම්මේ ලුසියා නැන්දාගේ ගෙදරට දිව ගොස් පනිවිඩය කිව් සැනින්, ඇය සාරියකුත් පටලවගෙන අපේ ගෙදර ආවේ කළබලේමය.


"ඈ...බං මේ කළබලේම දුවගෙන ආවා....උඹ ඉස්පිරිතාලේ යන්න ලෑස්තිද...?


"ඔව් අක්කේ...අපි හෙමිහිට යමු...ගොඩක් අමාරු වෙනකම් හිටියොත් වාහන හොයන්න වෙනවා මට ඉස්පිරිතාලේ යන්න..."


"උඹේ මිනිහ දන්නෙ නෑ නේද උඹ ඉස්පිරිතාලේ යන බව..."


" ඒ මිනිහට ඒක දැනගත්තත් වැඩක් නෑ අක්කේ.... ...අපි යං ....දුලීකා කොල්ලො දෙන්නා බලාගනියි..."

අන්තිමේ අම්මා ලුසියා නැන්දා සමග කෙදිරිගාමින්‍ ඉස්පිරිතාලේට, අලුත් දරුවා බිහිකිරිමට ගියේ පයින්මය. තිබුනු පරණ රෙදි කෑලි ටිකක් බෑග් එකකට දමාගෙන අම්මා ,කොන්දට අත තියාගෙන හෙමින් හෙමින් ඇවිදගෙන, ලුසියා නැන්දා සමග ඉස්පිරිතාලේට යන හැටි මම බලා උන්නේ මල්ලි ලා දෙන්නා සමග ගෙයි දොරකඩට වය.

මොන වැඩ මගෙන් ගත්තත්, මට අම්මා ගැන ඇත්තේ දුකකි.


අම්මා පස්වෙනි දරුවා බිහි කිරීමට ඉස්පිරිතාලේ ගිය පසු, මල්ලිලා දෙන්නා බලාගන්නා වැඩ මෙන්ම, ගෙදර ඉවුම් පිහුම් කටයුතුද මා හට තනිකරම බාර විය....


තාත්තාට නම් අම්මා ඉස්පිරිතාලේ ගිය එක ගැන ඒ හැටි ගානක් නැත... ඒ මම තාත්තා වැඩ ඇරි ගෙදර ආපසු තියෙන දෙයක්, උයා පිහා ඔහුට කන්නට දෙන නිසාය.


"දුලීකා...උඹට ඔන්න මේ පාරත් අම්මා තව මල්ලියෙක් ඉස්පිරිතාලේන් ගේන්නේ...උඹට ඉතිං වැඩ වලින් නම් අඩුවක් වෙන්නෑ..."


ලුසියා නැන්දා ඉස්පිරිතාලේ ගොස් අම්මා බලා ,ඇයගෙ වත ගොත මට ඇවිත් කියයි. ඇය අම්මාට අවශ්‍ය කෑම බිම හදාගෙන ඇයගෙ ඕනෑ එපාකම් බලන්න යන නිසා, මට ඒ ගැන ඇත්තේ සතුටකි.


දින දෙකකට පසු, විලබට් මාමාගෙ කුළී රියෙන් ලුසියා නැන්දා අම්මාවත්, මල්ලිවත් ගෙදර රැගෙන ආවාය. කළු පාට කෙසග මල්ලි තුරුලු කරන් ගෙට ආවේ ලුසියා නැන්දාය. අම්මා කොන්ද අල්ලාගෙන ගෙට ආවේ අමාරුවෙනි. මම අම්මාට ගෙට එන්නට උදව් කලෙමි.


"කෙල්ලේ මම අම්මට තැම්බුම් හොද්දක් හදාගෙන , මොනව හරි කන්නත් හදාගෙන එන්නම්...උඹ අම්මයි මල්ලිවයි ටිකක් බලපං..."


"නැන්දට පිං...අපි ගැන බලනවට..."


"පිං නම් ඕන නෑ බං...මට දුකේ බෑ මේ ගෑනි ගැන...ඒකයි මම මේ පස්සෙන් ඉදගෙන ඒකි ගැන බලන්නේ...කොහේද උඹලැයි තාත්තාට මේවැයි ගානක් තියෙන එකක්‍ යෑ....කට ගොන්නක් බීගන්න තිබුනොත් ඇතිනේ..."


අම්මා දරුවා බිහි කර ගෙදර ආ දිනයේ පටන් ගෙදර ඉවුම් පිහුම් කටයුතුත් මල්ලිලා බලාගන්නා වැඩත්, අම්මාට සාත්තු සප්පායම් කරන වැඬේ ද මට ම බාර විය. කිසිම නෝක්කාඩුවක් නොකියා මා ඒ සියලූම වැඩ කරන්නෙ ගෙදර වැඩිහිටි එකම ගැහැණු දරුවා ලෙසය.


අම්මා ඉස්පිරිතාලේ ඉදන් ආපසු තාත්තා හාල් තුනපහ බඩු ටිකක් ගෙදර ගෙනත් දැම්මේය. ඒ නිසා මම ඒවා උයා පිහා ගෙදර අයගේ බඩගිනි නිව්වෙමි. තාත්තා අම්මා ලග නිදා සිටි චූටි මල්ලි දෙස බැලුවේ උඩින් පල්ලෙනි.... ඔහුට බාළ මල්ලිගෙ උපත කරදරයක් වු බව පෙනුනි. ඒ රෑ තිස්සෙ අම්මාගෙ කිරි උරා බොමින් අම්මා ලග චූටි මල්ලි සිටිම හා ඔහුගෙ නිතර ඇඩීමත් නිසා, ඔහුට අම්මා ලග නිදාගන්න බැරි වීම, ඔහු කේන්තියට පත් කර ඇත. මල්ලිගේ ඇඩිම නම් අපටත් කරදරයකි.


" අම්මේ, අන්න ලොකු අය්යා ගෙදර එනවා... බඩු වගයකුත් උස්සගෙන එන්නේ..."


පාරේ කොල්ලෝ කුරුට්ටො සමග සෙල්ලම් කරමින් සිටි මල්ලිලා කෑගසාගෙන ගෙට ආවේ සතුටිනි.

අය්යා, සිලිං බෑග් තුන හතරක් පිරෙන්න හාල් තුනපහ ,සබන් පවුඩර් උස්සාගෙන අලුත ඉපදුන මල්ලි බලන්න පැමින ඇත.


"මොනවද බං මේ...අතින් කටින් උස්සාගෙන .."


"අද මුදලාලි මට මේ කෑම එළවළු පළතුරු ටික ගෙදර ගිහින් දාන්න කියලා දුන්නා..."


"ඒ මොකද බං ඒ..."


"මම මුදලාලිට කිව්වා ...අපේ අම්මා බබෙක් හම්බවෙලා ගෙදර ඇවිත් ඉන්නවා, මට බලලා එන්න යන්න ඕනේ කියලා ..ඒකයි මේ..."


"අපරාදේ කියන්න බෑ මුදලාලි ගේ මනුස්සකම නම් තියෙනවා ..."


"අප්පේ ...මාසෙකට විතර ඇතිවෙන්න කෑම බඩු එවලා ...මම සතුටින් බෑග් මලු අදින්න පටන් ගත්තෙමි ....


අම්මා බාල මල්ලි හම්බ වී ගෙදර ආපසු, වත්තේ ගෑනු ,නිතර නිතර අපේ ගෙදරට ආවේ , සබන් පවුඩර් හා බිස්කට් පැකට් රැගෙනය. පුංච් අපට ඒ ගැන ඇත්තේ සතුටකි. ඔවුන් මල්ලි බලා ආපසු ගිය විගස, අපි බිස්කට් පැකට කඩාගෙන කන්නේ රංඩු වෙමින්...


අම්මා චූටි මල්ලි හම්බවී ගෙදර ආපසු , පාසැල් නොගිය මට කප්පරක් වැඩ ගෙදර කරන්න තිබුනි. කවදත් ගෙදර වැඩට කම්මැලි අම්මා, මල්ලි තුරුල් කරන් ඉන්දෙද්දී, මම මුඩුක්කු වත්තේ පයිප්පය ලගට ගොස් ඇදුම් පැලදුම් සොදා ගෙන ඒමත් , ගෙදර උයන්න පිහන්න වතුර බාලිදි ගෙදරට උස්සාගෙන ඒමත්, ගෙදර ඉවුම්පිහුම්, කඩේ යෑම් සියලු වැඩ කලෙමි. අම්මා ඉදහිට ඉවුම්පිහුම් වැඩට මට උදව් කරයි.


මාස හත අටක් ගෙවි ගියේ බාල මල්ලි යාන්තම් දනගාන තැනට එමින්‍ය. ලොකු මල්ලිලා දෙන්නා ඉදහිට යලට මහට ඉස්කෝලේ ගිය අතර, මම ගෙදරටම වෙලා අම්මගෙ හා බාල මල්ලිගෙ වැඩ කරමින් උන්නෙමි .


"අනේ කෙල්ලේ, පාරේ පයිප්පයට ගිහින් මේ මල්ලිගෙ රෙදි කෑලි ටික හෝදගෙන වරෙන්...මට පයිප්පෙ ලග ගෑනු ගොඩේ රෙදි හෝදන වැඩේ එපා වෙලා තියෙන්නේ...උන් පයිපය ලග ඕපාදූප කියවනවා මදිවට රංඩුත් වෙනවා..."


"මටත් මේ මල්ලිගෙ රෙදි කෑලි හොදලා එපාවෙලා තියෙන්නේ ..."


"උඹ නැත්නම් කවුද මේවා කරන්නේ...මොකෝ කොල්ලෝ දෙන්නට කියලා මේවා කර ගන්නයෑ....


මට මේ චූටි මල්ලිගෙ තෙත රෙදි හේදිල්ල නම් දැන් එපාවි ඇත.


ලොකු අයියා දැන් මාකට්ටුවේ සිට ගෙදර එන්නෙ ඉඳහිටය. ඔහු මාකට්ටුවේ ම පැත්තක රෑට නිදාගන්නා බව පවසයි. නමුත් ඔහු සුමානෙකට දවස් තුන හතරක් එළවලූ මල්ලක් සහ හාල් තුනපහ මල්ලක් අම්මාට ගෙනැවිත් දී නැවත යයි.


"ඇයි ලොකු පුතේ උඹ ගෙදර නවතින්නැත්තේ.....?


"නවතින්න ඉඩක් තියෙන එකැක්යෑ මේ ගුබ්බෑයමේ.... ඔක්කොම එක ගොඬේ නිදියනවට වඩා මට සැපයි මාකට් එකේ කඩ කෑල්ල ඉස්සරහ නිදාගන්න එක...."


"අනේ මංදා...මට තේරෙන්නෙ නෑ...මේ නරා වලෙන් ගොඩ එන්නේ කොහොමද කියලා ... මහ මිනිහට මේවයේ ගානක් නෑ...


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

23 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page