top of page
  • Writer's picturePrisila Godahewa

💥ගිමන් හරිමි 💥

💥ගිමන් හරිමි 💥

(30 වෙනි කොටස)

අප දෙදෙනා කාටත් නොකියා, ගෙදරින් හොරෙන් පැන මීගමුවේ පදිංචියට විත්, කසාද නොබැද අඹුසැමියන් ලෙස සුමාන දෙකක් එකට ජීවත් වුනෙමු.


අප දෙදෙනා නැවත

නුවර මාමලාගෙ ගෙදර යන්නේ, මාමා අපට නැවත ගෙදර එන්න යැයි, සුමිත් ගෙ යාළුවෙක් අතේ එවා තිබු පණිවිඩය නිසයි.


"මම අද වෙනදාට වඩා ඉක්මනට වැඩ ඉවර කරලා ගෙදර එන්නම්, ඔයා ලෑස්ති වෙලා ඉන්න නුවර යන්න...."


"මට නම් මොකක්ද වගේ ගෙදර යන්න ..ලැජ්ජත් වගේ හොරෙන්ම ගෙදරින් ආව නිසා...."


සුමිත් උදේ රැකියාවට ගොස් නැවත ගෙදර එන වෙලාව වන විට, මම ඇගපත හොදා අලුත් ඇදුමක් ඇද ලෑස්ති වි උන්නෙමි. සුමිත්ද වැඩ ඇරි ගෙදර විත්, නාගෙන තිබුණ හොඳම ඇඳුම ඇද ගත්තේය.


"මම ඊයෙ හවස උයපු බත් මාලු, පිගන් දෙකකටම බෙදලා හැලි වලං හෝදලා දැම්මා, ඉක්මනට කාලා හිටියනම්...නැත්නම් නුවරට යනකොට හොදටම හවස් වෙයි. ......"


අප දෙදෙනා අයිරින් අක්කාට අපි ගෙදර ගොස් එන බව කියා ගෙයින් එළියට බැස්සෙමු .


"උඹලා ආපහු ඉක්මනට එනව නේද...? මට මේ සුමානෙ අන්තිමට කාමරේ කුලිය ඕනේ.... ඉක්මනට ආපහු ඇවිත් කුළිය දීපල්ලා..."


අයිරින් අක්කට අපි කාමරේ හිටියත් නැතැත් කාමරේ කුළිය ලැබෙනවා නම් ඇතිය.


"අපි ආපහු ඉක්මනට එනව අක්කේ...." සුමිත් කීය


දවල් එකලොහ වනවිට අපි මීගමුවෙන් නුවර බලා යන බසයකට නැග ගතිමු. මාමාලාගෙ ගෙදරින් මීට සුමාන දෙකකට උඩදි නොකියා ආ මට ආයෙත් ඒ ගෙදරට යන්න මොකක්ද වගෙයි. ඒ උනත් මාමා එවා තිබු පණිවිඩය නිසා එහි යන්නෙමු.


අප නුවරින් බැස මාමලාගෙ ගෙදරට යන බසයට නැග්ගේ හොඳට ම අඳුර වැටුණු පසුය. රෑ අටට පමණ අප මාමලාගේ ගෙදර ලඟට යනවිට මගේ පපුව ගැහෙන්නට විය. මා සුමිත්ගෙ අත අල්ලාගත්තෙ බයෙන් ය.


"මට බයයි සුමිත් ...මාමා මට බනීද ?


"බැන්නොත් අපි ආපහු හැරිලා මීගමුවේ යමු ..."


ඔහු එසේ කීවත් ඔහුගෙත් හිතද ගැහෙමින් ඇතැයි මට සිතේ... අප දෙදෙනා හෙමිහිට ගේ දොරකඩට ගියෙමු .


අප යන විට මාමා දොරකඩ ඇදි පුටුවේ වාඩි වී අඳුර දෙස බලමින් සිටියේ ය. අප දැක, කිසි වෙනස්කමක් නොකර, පුටුවේ ඉන්න විදිහට ම ඉඳ මාමා කතා කළේ ය.


"ආ... උඹල ආව ද..? යන තැනක කියල ගියා නම් බන්ඳල දීලා අරිනවනේ..... මං මේ උඹලගෙ අම්මට මොනවද කියන්නෙ කියල හිත හිත හිටියේ....."


මාමාගෙ කටහඬ ඇසී නැන්දා දරුවත් වඩා ගෙන ගෙයින් එළියට ආවාය.


"අනේ... අනේ... කෙල්ලො කරන වැඩ ද...? උඹට තාම අවුරුදු දාසයක්වත් නෑ... අපි පොලීසියට කිව්වනම් උඹව, සුමිත් එක්ක ගිහින් කියලා ...පොලීසියෙන් සුමිතයා අල්ලලා හිරේ දානවා... මගුල් විසේ ඔච්චරටම වැඩියි කියල දන්නවානම් උඹලව කසාඳ බන්ඳලා දීලම අරින්වනේ....."


නැන්දා මුලින් බැන ගෙන කතාව පටන් ගත්තත් පසුව කේන්තිය පහ කරගෙන හෙමිහිට කතා කරන විට මගේ හිතේ තිබුන බය පහවී ගියේය.


නැන්දත්, මාමත් හොඳින්ම දන්නවා,සුමිත් ධෛර්යවන්ත හොඳ කෙනෙක් බව... ඔවුන් සුමිත්ට හරි කැමතියි. සුමිත් වගේ කෙනෙක්ගෙ ඇගේ මා එල්ලූනාට ඔවුන්ගෙ හිත්වල ද සතුටක් ඇතැයි මට සිතේ...


"කොහේද මීගමුවේ කිව්ව නේද ගිහින් නැවතිලා ඉන්නවා කිව්වේ..."


මාමා අප ඉන්නා ඉසව්ව දැනගෙන ඇත්තේ සුමිත්ගෙ යාළුවාගෙනි.


"ඔව්... ගාමිණී අයියේ. මං මාළු මුදලාලි කෙනෙක් ලඟ වැඩ...."


සුමිත් අවුරුදු විසි දෙකක තරුණයෙකි. ඔහු ගාමිණී මාමා හා එකට කාලයක් තිස්සෙ, විශ්වාසව වැඩ කරපු කෙනෙක්ද වෙයි.


"සාමා අපි දුලීක්ගෙ අම්මාට පණිවිඩය අරිමු නේද සෙනසුරාදාට මේ පැත්තෙ එන්න කියල.... කෙල්ල කසාඳ බන්ඳල දෙන්න හදන්නෙ එන්න කියමු. එහෙම හොඳයි නේද?


"ඔව්... ඔව්... මුං පැනල ගිය එක අක්කට කියන්න ඕන නෑ...."


"එහෙනම් හෙට උදේම මම කෝල් එකක් දීලා කියන්නම් සෙනසුරාදා දිහාට මේ පැත්තෙ එන්න කෙල්ල සදුදාට කසාද බදිනවා කියලා ..."


"එතකොට දැන් මේකිට බොරු වයසක් දාලා තමයි කසාද බන්දවන්න වෙන්නේ...කොහේද වයස සම්පූර්ණ වෙනකම් වත් ඉන්න බැරි උනානේ...ඇටෙන් පොත්තෙන් එළියට එන්න ඉස්සෙල්ලා මගුල් විසේ ගහලා...."


"සුමිත්ගෙ අම්මත් මෙහේ ඇවිත් වරුවක් උඹලා දෙන්නට දෙහි කැපුවා....මම කිව්වා මම දෙන්නව මෙහේ එක්ක ඇවිත් මගේ යුතුකමක් විදිහට දෙන්නව කසාද බන්දලා දානවා කියලා ...හැබැයි සුමිත්, උඹලගෙ අම්මා නම් දුලීකට කැමති නැති පාටයි , ලොකු දෑවැද්දක් නැති නිසා...මට බෑ කියන්න බැරි කමට කට වහගෙන හිටියා කියලයි මට හිතෙන්නේ ..."


"අම්මා නම් දුලීකට කැමති නෑ කියලා මම දන්නවා ගාමිණි අය්යේ...ඒකයි ගෙදරටවත් නොකියා දුලීකා එක්ක ගියේ...දැන් ඉතිං අම්මට අකමැති වෙන්න බෑනේ..."


"උඹලත් වයසට නෙමේ හොර වැඩ දන්නේ... එහෙනම් මේ දවස් තුනේ ඇදුම් කැඩුම් ටිකක් කුළියට ඇරගෙන, කෑම ටිකක් උයලා, ඔය ගෙවල් දෙකේ අයට එන්න කියලා , සදුදාට කසාදය කුරුටු ගාලා දාමු...මහ ගොඩකට මගුල් කියන්න බෑ...මට ඕවට මේ වෙලේ සල්ලි නෑ...දුලිකගෙයි සුමිත්ගෙයි ගෙදර අයට විතරක් එන්න කියලා මගුල කරලා දාමු..."


"එහෙනම් පළාතේ රෙජිස්ට්‍රාර් නෝනට හෙටම මේක දැනුම් දීලා සදුදාට වෙලාවක් දා ගමු නෙද..?..."


"දුලීකට සදුදාට අදින්න ඇදුම් මොනව හරි මණමාලියන්ට අන්දන තැනකින් කුළියට ගමු....අලුත් ඇදුම් අදින්න ගන්න මෙවෙලෙ සල්ලිත් නෑ....ඊටත් ඉතිං මුං දෙදෙනා එකට ඉදලා ආපු එකේ මොන අලුත් ඇදුම්ද...අර දුලිකගෙ අම්මට පේන්න ඇදුමක් ඇදන් හිටියම ඇති...නැත්නම් මහ ගෑනි කියයි අපි දුලිකා ගැන බැලුවෙ නෑ කියලා ...මතකනේ ගිය පාර ආව වෙලේ මට සද්දෙ දාලා ගියා මම මේකිව වැඩ කාර කමට තියා ගෙන ඉන්නවා කියලා ..."


"උඹලා දෙන්නට බැන්දට පස්සෙ දැන්, මේ ගමේම ඉන්න පුලුවන්නේ ...දුලිකාට මෙහෙ එළවළු කොටුවෙ වැඩත් බලාගෙන ඉස්සර වගේ ඉන්න පුලුවන් ..."


"අපි බලමු ගාමිණි අය්යේ...අපේ අම්මා තමයි ප්‍රශ්නය ... අපේ අම්මා මම ගෙදර ඇවිත් නවතිනවට කැමති උනාට දුලීකා එක්ක ගියොත් ප්‍රශ්න වෙන්න පුලුවන්....දෑවැද්දක් නැතුව මම කසාද බැන්දා කියලා ..."


"එහෙනම් උඹලා අපේ ගෙදර නැවතියල්ලා...නැන්දටත් උදව් කරගෙන ඉන්න පුලුවන්නේ..."


"මම බැන්දට පස්සෙ ආපහු ගිහින්, මීගමුවේ මට රස්සාව දුන්න මාළු මුදාලාලිට කියලා ආපහු එන්නම් ගාමිණි අය්යේ... "


"ඔව් හොද විදිහක් උඹලා තීරණය කරපල්ලා...දැන් උඹලා පොඩි උන් නෙමේනේ... දැන් අද රෑ උඹ දුලීකා මෙහෙ නවත්තලා ගෙදර පළයං ...කියපං උබළා දෙන්නා සදුදා කසාද බදින්න යන්නෙ කියලා , උඹලගෙ අක්කලා නංගිලා මල්ලිලත් එක්ක අම්මට සදුදා අපේ ගෙදර එන්න කියලා ..."


"දුලීකා මම එහෙනම් දැන් ගෙදර යන්නම්...මම හෙට උදේට ගාමිණි අය්යා එක්ක විවාහ රෙජිස්ට්‍රාර් හම්බවෙන්න යන වැඩේට එන්නම්....හෙට උදේට අපි හම්බවෙමු..."


"හා..හොදයි ..."

මාමලාගෙ ගෙදර ආපසු මගේ හිත සතුටින් පිරි යන්නට විය. ඒ නැන්දලා මාමලා මාව සුමිත්ට නීතියෙන් කසාද බන්දලා දෙන්න හදන සතුටට....මොනව උනත් මා වෙනුවෙන් මොවුන් දෙදෙනා කරන්න යන්නේ ලොකු උදව්වකී....

එදින රෑ සුමිත් ඔහුගෙ ගෙදර බලා ගිය අතර, මම මාමලාගෙ ගෙදර නැවතුනෙමි. මට එදින තනියම , මාමලාගේ ගෙදර නැවතුන විට සුමිත් නැතුව පාළුවක් දැනුනි. සුමිත් සමග හොරෙන් පැනගිය පසු ගෙවුනු සුමාන දෙකම සුමිත් සමඟ හිටි මට, අද සුමිත් නැතුව නිදාගන්නට වුණ එකනම් හිතට හරි නැති විය. එම දින රාත්‍රීය ගෙවුණේ හරිම අමාරුවෙන් අපහසුවෙන් ය.


පසුදින නැන්දා මාව මණමාලියන්ට ඇඳුම් අන්දන තැනකට එක්ක ගෙන ගියා ය. ඔවුන්ගෙන් මට ගැලපෙන සාරියක් හැට්ටයක් කුලියට ගන්නට කතා කරගත්තෙ නැන්දාය. සදුදා උදේ මාව ඇය ලගට එක්කගෙන විත් , ඇදුම් අන්දගන්න ඕනේ කියා දිනය හා වේලාව දාගත්තාය. මට හිතාගන්නට බෑ නැන්දලා මොනවද කරන්න යන්නෙ කියල. මොනවා උනත් අපේ අම්මාට පේන්න මොවුන් මා කසාද බන්දා දෙන්න හදන්නේ ඇපෙන් බේරෙන්න ලෙසය. එය මගේ පැත්තෙන් බලන කල, මට ලොකු උදව්වකි.


මාව මාමලාගෙ ගෙදර බස්සවා පසුගිය රෑ ගෙදර ගිය සුමිත් පසුදින උදේ මාමලාගෙ ගෙදර ආවේ මූණ පුළුටු කරගෙනය. ඔහු මා සමගවත්, මාමලා සමගවත් හිත හොදින් කතා කරන බවක් මට නොදැනින.


"ඇයි සුමිත් ඔයාගෙ මූණ වෙනස් වෙලා....ඊයෙ රෑ ඔයාගෙ අම්මා බැන්නද...?


"ම්ම්...නැත්තෙත් නෑ...තාම මට වයස මදිලු කසාද බදින්න ...ගාමිණි මාමටත් බැන්නා, බලෙන් ඔයාව මගේ ඇගේ ගහන්න හදනවා කියලා ..."


"මාමා නෙමේනේ ..අපි දෙන්නනේ කතා වෙලා ගෙදරින් ගියේ...මාමා අපි දෙන්නගෙ හොදටනේ අපිව බන්දලා දෙන්න හදන්නේ..."


පසුගිය එක රෑට ,මම නැති තැන සුමිත්ගෙ අම්මා ඔහුගෙ ඔළුව වෙනස් කරන්න ගත් උත්සහයක් ඔහුගෙ මුහුනෙන් පෙනේ....


"දැන් ඉතිං ගාමිණි අය්යා ලෑස්ති කරපු විදිහට කසාද බදිමු...අපේ අම්මලා නම් සදුදාට එන්න හදන්නේ කැමැත්තකින් නෙමේ..."


"සුමිත්...අපි සදුදාට කසාද බැන්දට පස්සේ ආපහු මීගමුවේ යමු...මම ආස නෑ නැන්දලාගෙ ගෙදර නවතින්න...මෙහෙ නැවතුනොත් මට ආයෙත් නැන්දගෙ වැඩ කරගෙන තමයි ඉන්න වෙන්නේ....ඊටත් ඔයාගෙ අම්මලා අක්කලා දැක දැක මේ ගමේ මම ඉන්න ආසත් නෑ...ඒගොල්ලෝ මට කැමති නැත්නම් මේ ගමේ අපි හිටියහම අපට ප්‍රශ්න ඇති කරන්නත් පුලුවන් ..."


"ඔව් ...අපි බැදලා ආයෙත් මීගමු යමු..."


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

3 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page