top of page
  • Writer's picturePrisila Godahewa

💥ගිමන් හරිමි💥

(තුන්වන කොටස)

🍁🍁🍁🍁🍁🍁🍁


අම්මා තාත්තා එකට එකතු වී හිත හොදින් කතා කරනවා, හිනාවෙනවා අපට දකින්න ලැබෙන්න එහෙමත් දවසකය.... එහෙම දවස් දකින්න මම පෙරුම් පුරමින් හිදින්නෙමි .එදිනට මගේ හිතේ ඇතිවන්නේ කියාගන්න බැරි තරම් ලොකු සතුටකි. නමුත් කොයිතරම් හොදින් කතාව පටන් ගත්තත් හැමදාම දෙන්නගෙ කතාව ඉවරවෙන්නේ දෙන්නත් එක්ක බහින්බස් වෙලාය....


එලෙස දවසක් තාත්තා ගෙදර හිටිය දවසක අම්මා ඔහු සමග හොදින් කතා කරනු දක්නට ලැබුනි.


"මේ පාර නම් මේ ළමයා හම්බවෙන්න ගිහාම මං දොස්තර මහත්තයාට කියල ඔපරේෂන් කරගන්නවා…."


"ඒක හොඳයි... මේ ඉන්න ළමයි ටික අපට මදෑ ..…අපටත් උන්ට හරියට සලකගන්න බෑ...පොඩිඋන් දුක් විදිනවා....අපට කියලත් මහ ලොකු ආදායමක් නෑනේ මුංට වියදම් කරන්න ..."


"අනේ මන්දා මේ ළමයි ගැන මට දුකයි...අපි ළමයි හදලා උන්ට දුක් දෙනව..."


"අපි කියලත් මොනව කරන්නද බං....හරියට ඉන්න හිටින්න කන්න අදින්න නැති අපට සතුටකට කියලා තියෙන්නේ රෑට ඔය එකට නිදාගන්න එක විතරනේ...ඒකත් නැත්නම් ,මොකට අපි ඉපදුනේ කියලා හිතෙනවා...ළමයි ඉතිං අපි වගේ උන් ලග, ඉපදෙන්නෙත් උන්ගෙ කරුමෙට තමයි ...."


"අනේ...අනේ... එහෙම කියලා හරියනවද....? දෙමව්පියන් උනාම ළමයි හැදුවනම් උන්ට හොදට සැප දීලා හදාගන්න ඕනේ...නැත්නම් ළමයි හදන්නෙ නැතුව ඉන්න ඕනේ ...."


"අපිට පුලුවන් විදිහට තමයි උන්ට කන්න බොන්න දෙන්නේ...."


"හරියට ළමයින්ට කිසිම දේකින් අඩුවක් කරන්නෙ නැති මිනිහ වගේ කතාව... .. උඹ නෙමේනේ මුන්ට කන්න දෙන්නේ.... අර ලොකු කොල්ලා. ඌ මාකට්ටුවේ මුට්ට කරගහල හම්බ කරන එකෙන් තමයි මම මේ පොඩි උන්ට මොනවහරි කන්න හදලා දෙන්නේ…."


"ඔව්.. ඉතින් මං හොයල ගේන ඒවා උඹට අගයක් නෑනේ….ලොකු කොල්ලා ගේන ඒවා විතරයි පේන්නේ...." තාත්තා අම්මාට එවෙලෙට කියන්නේ අසරණ ලෙස ය.


මට මතක ඇති කාලේ පටන් අප පදිංචි වී හිදින කොළඹ මුඩුක්කු පේළිය අපේ තාත්තා පුංචි කාළයේ පටන් ඔහුගෙ මව සමග පදිංචි වි සිටි ගෙයයි.

පියාගේ මව සමඟ එම නිවසේ පදිංචි වී සිටි අපේ තාත්තා, මගේ අම්මාව හොරෙන් කැන්දන් ආපසු, මෙම නිවස ඔවුන්ටම භාර දී ආච්චි නැන්දා කෙනෙකුගේ නිවසක නැවතීමට ගොස් ඇත.

මගේ මව අනාත නිවසක හැදුනු දරුවෙක් බව තාත්තා කියයි. එහි වත්ත සුද්ධ පවිත‍්‍ර කරන්නට ගිය මාගේ පියා සමඟ මගේ මව මිත‍්‍ර වී ඔහු සමඟ පැණගොස් ඇත්තේ අවුරුදු දහහත පිරීමට ද පෙරය. මගේ පියා අම්මාට වඩා අවුරුදු දහයක් වැඩිමහල් කෙනෙකු වේ....ඉතා ලාබාළ ඇය, පියා විසින් රැගෙන විත් ඇත්තේ මෙම කොළඹ මුඩුක්කු ලෑලි නිවාසයටය...

මාගේ පියා කුලී වැඩ කරමින් ජීවත් වන්නෙකි. මාගේ මව කැන්දන් ආ පසු ඔවුන් දෙදෙනා ඉතා ආදරෙන් අඟහිඟකම් මැද වුවද සතුටෙන් ජීවත් වී ඇත. පසුකලෙක දරුවන් හතරදෙනෙක් ලද මගේ මව, අඟහිඟකම් හා පියාගේ බීමත්කම නිසා නිතර , පියා සමඟ , රණ්ඩු සරුවල් කරගැනීම පුරුද්දකට කරගෙන යයි.....තාත්තා වැඩට ගිය පසු අම්මා පිට පිරිමින් ගෙට ගන්නට පටන් ගෙන ඇත්තේ ගෙදර අගහිගකම් පිරිමහ ගන්න කියා අම්මා කීවත්...එය අම්මාගේ නොසන්ඩාල කම නිසා සිදුවන්නක් කියා මට සිතේ. ලැයිමේ වෙන ගැහැනුන් කුමක් හෝ රැකියාවක් කර දරුවන්ට කන්න දෙන්න හදාවඩා ගන්න උත්සහ කලත්...තාත්තාට වඩා ගොඩක් බාල අම්මා වෙන මිනිසුන් සමග යන්නේ තියෙන නොහොබිනා කමට යයි වත්තේ ගැහැනුන් කියති.


දරුවන් හදාවඩා ගනිමින් පියා දෙන දේට අමතරව ඇය මිනිස්සුන්ගෙන් හොයා ගන්නා දෙයින් කා බී ලෑලි ගෙට වී සිටන්නේ කම්මැලි කමට කියාද මට සිතේ.... අම්මා මුඩුක්කුවේ අනිත් ගැහැණුන්ට වඩා වෙනස් කෙනෙක් බව ලැයිමේ ගැහැනුන් කියති..... ඒ ඈ ළමා මඩමෙන් ඉගෙන ගෙන තිබූ ගතිගුණ නිසාවෙන්නටත් ඇත. දරුවන්ට හරි හමන් දෙයක් කෑමට නැති විට ඇය නිතර පියා සමඟ දඹර කරගන්නේ පියා හවසට අතේ ඇති මුදලින් කසිප්පු බී හිස් අතින් ගෙදර පැමිණ කෑමට දෙයක් හොයනා විට ය.


"කුසුමටත් තියෙන්නේ මොකක් හරි රස්සාවකට යන්න....නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ.."


ලැයිමේ ගැහැනුන් අම්මාට නිතර කියයි...

අහල පහල මුඩුක්කු ගෙවල්වල ගැහැණුත් කුමන හෝ රැකියාවක් කරමින් කීයක් හරි අතට හොයා ගනිමින් ගෙදර වියදම පිරිමහ ගැනිම කරයි . ඔවුන් අම්මාට ද නිතර ලඟපාත තිබෙන ෆැක්ටරිවල රැකියාවට යන්නට අඬ ගැසුව ද ඇය කිසිම රැකියාවකට නොයන්නේ දරුවන් හතර දෙනා බලා කියා ගැනීමට වෙන කවුරුත් නැති නිසාටත් වඩා, ඇය ගෙදරින් එළියට බැස ගොස් රස්සාවක් කිරිමට ඇති අකැමැත්ත නිසාවෙනි.


" වැඩට යන්න ඉතිං ... මේ පොඩි වුන් දාලා යන්න තැනක් නෑනේ අක්කේ...


"ඉතින් මේ දුලීකා ඉන්නේ..... ඒකීත් දැන් ලොකු එකියක්නේ...ඒකිට බැරියැ මල්ලිලා බලාගන්න ....කොහොමත් දැන් ඒකි ඉස්කෝලේ නොයා ගෙදර ඉන්න එකේ..."


"ඒකී තමයි කොහොමත් වැඩිපුර මල්ලිලා බලාගන්නේ....ගෙදර වැඩත් කරන්නේ... මට ඉතිං ඔය කුලී වැඩ කරල පුරුද්දක් නෑනේ අක්කේ...."


"ඔව් ඉතින් උඹේ මිනිහා කෝටිපතියෙක්නේ.... උඹ කුමාරිහාමි වගේ ගෙට වෙලා ඌ ගෙනත් දෙන දේවලුයි, වටේ ගෙවල් වල මිනිස්සුයි හුරං කකා බිබී ඉඳපං...."


"ඒ මිනිහා මට හොඳට සැලකුවා මාව මේ ගෙදරට කැන්දන් ආව දවසෙ ඉඳන්,... මේ පොඩි උන් ලොකු වෙනකොට තමයි අපට අඟහිඟකම් වැඩි වෙන්න පටන් ගත්තේ. ඊටත් මට මේ එක ලඟ ළමයි ලැබෙන්න පටන් ගත්තට පස්සෙ ඇඟට හරිහමන් පණක් නෑ.... කොහේවත් ගිහින් රස්සාවක්වත් කරන්න....."


"ඔය ළමයි හැදිල්ල දැන්වත් නවත්ත ගනින් කුසුමෝ.... මේ පාර ඔය ළමයා හම්බවුනාම ඔපරේෂන් කරගනින්...."

මැගී නැන්දා අම්මාට හැමදාම බැන බැන අවවාද කරයි.


"අනේ ඔව් නැන්දේ, මේ පාර නම් මං මේ ළමයා හම්බවෙන්න ගිහාම දොස්තර මහත්තයට කියල ඔපරේෂන් කරගන්නවා කොහොම හරි.......

ලොකු කොල්ලා මාකට් එකේ වැඩට යනවා. මට දුකේ බෑ.... උගේ වයසට නෙමේ ඌ මේ පොඩිවුන් ගැන හිතන්නේ. මහ මිනිහට නෑ,... ලොකු කොල්ලට, මුං ගැන තියෙන කැක්කුම..... ඌ මුට්ට කරගහල කුණු බාල්දි අවුස්සලා හරි හවසට මට මොනවහරි උයන්න අරන් එනවා. අනේ පව් මගෙ ලොකු කොල්ලා...."

අම්මා නිතර අයියා ගැන දුක්වෙයි.


"උඹ මේ දරුවන් හද හද ඉන්නවා.... උන්ව ඉස්කෝලෙවත් අරින්න උවමනාවක් නෑ...

මහ මිනිහා වගේ ම උන්වත් කුලී වැඩ කරවන්නද හදන්නේ... ඔය දුලීකා හතරේ පන්තියට වෙනකම් ඉස්කෝලෙ ගියා නේද? උඹ තමයි පොඩි වුන් බලාගන්න කියල එකීවත් ගෙදර නවත්ත ගත්තේ....පව් කාරයො...."

මැගී නැන්දා අම්මට දොස් කියන්නෙ අපව ඉස්කෝලෙ නොඇරියාටය.


"උන්ටත් ඉස්කෝලෙ යන්න උවමනාවක් නෑ අක්කේ..... ටීචර්ලා අර පොත් මේ පොත් ගේන්න කියනවා, කියල නාහෙන් අඬනවා,. ඉස්කෝලේ යන්න බෑ කියල. උන්ගෙ උවමනාවටම තමයි ඉස්කෝලෙ යන්නෙ නැත්තේ....."


"ඉස්කෝලේ යවනවනම් ඒවත් ඇරන් දෙන්න ඕනේ....."


"ලොකු කොල්ලයි කෙල්ලයි දෙන්නවම ඉස්කෝලේ ඇරියා හතර පන්තියට වෙනකම්.... පොඩිවුන් දෙන්නව නම් ඉස්කෝලෙ ඉහලට ඇරල උගන්නන්න ඕනේ.... කොහේද අපේ මිනිහට ළමයින්ව ඉස්කෝලේ අරින්න උවමනාවක් නෑනේ... ඒ මිනිහට හවසට කටගොන්නක් බී ගන්න තියෙනවනම් ඒ ඇති..."

අම්මා මැගී නැන්දා එක්ක නිතර දෙවේලේ තාත්තාට දොස් කියයි.


"උඹට කවදටද දැන් දින දීලා තියෙන්නෙ ළමයා හම්බ වෙන්න....?


"එන සුමනේ 18 වෙනිදාට... දැන් ඉතිං ඉස්පිරිතාලේ යන්න ලෑස්ති වෙන්නත් එපෑ.... අනේ නැන්දෙ මං ඉස්පිරිතාලේ ගිහාම මේ පැත්ත ටිකක් බලපන්... මේ කෙල්ලයි පොඩි උන් දෙන්නයි විතරනෙ ගෙදර ඉන්නෙ දවස් දවසට...."


"ආ... උඹ ඒක ගැන බයවෙන්න එපා... උඹ පොඩි එකාට අඳින්න රෙදි කෑලි ලෑස්ති කළා ද?


"මුංගෙ ආච්චිගෙ පරණ චීත්ත කෑලි වගයක් ගෙනත් දුන්නා, කඩල හදාගන්න කියල.... මං ඒ ටික කෑලි කඩල හදා ගත්තා...."


"මමත් උඹට චීත්ත රෙද්දකුයි බෙඞ් ජැකට් එකකුයි ගෙනත් දෙන්නම්, ඉස්පිරිතාලෙට අඳින්න... අපේ කෙල්ල ගිය පාර දරුවා හම්බවෙච්ච වෙලේ ඇඳපු එකක් තිබුණා...."


"අනේ හොඳයි නැන්දේ.... අපි මේ වැරහැලි ඇඳුම් ඇඳගෙන ඉස්පිරිතාලේ ගිහාම නර්ස් නෝනලා අපට සලකන්නෙ හිඟන්නෝ කියල. කුණුහරුපෙන් බනිනවා පොඞ්ඩ බැරි වෙනකොට. හොඳට ඇඳල කරල පේන්න ඉන්න නෝනලාට එක විදිහකටයි, අපට තව විදිහකටයි තමයි නර්ස් නෝනලයි, ඇටන්ඩන්ලයි සලකන්නේ...."


"එහෙම තමයි බං. අපේ ලැයිමේ ගෑණුත් ඉතිං අවුරුද්ද පතා ළමයි හම්බ වෙන්න ඉස්පිරිතාලේ යන නිසා උන්ට හොඳට මතකයි උඹලව...."


"බලපං කුසුමෝ... උඹේ හැටි විතරක්.... බඩ විතරයි උඹේ තියෙන්නෙ.... බඩේ ඉන්න දරුවවත් හරියට හැදිලද දන්නෑ...."


"දෙවියො මගේ ළමයි දිහා බලනවා මැගි අක්කේ... ඉස්සෙල්ලා හම්බවුණ දරුවෝ හතරදෙනාම කිසි අඩුපාඩුවක් නැතුව ඔය ඉන්නේ...මොනව උනත් මට ඒකම ඇති....මේ පාර මේ හම්බවෙන්න ඉන්න එකත් හොදට එළියට එයි....කන්ඩ බොන්ඩ නැතත් දෙවියන්ට පිං සිද්ධ වෙන්න, ලොකු ළමයි හතර දෙනාම , අතපය හතර අඩුපාඩු නැතුව හම්බ වුණා...".


"මං උඹට අද හවසට බත් මුලක් එවන්නම්....බඩ පිරෙන්න කාපං....මට දුකේ බෑ උබේ හැටි දැක්කහම.... උඹ ඉතිං ඒකත් දරුවන්ට කන්න දීලා කහට බී බී හිටපන්...."


"පොඩි උන් බඩගින්නෙ ඉන්න කොට මං කොහොමද නැන්දෙ බඩ කට පිරෙන්න කන්නෙ...."


"හරි.. හරි.. මං බත් මුල් තුනක් ම අද එවන්නම්කෝ....ළමයින්ටත් දීලා කාපං...ළමයා හම්බවෙන්න ගිහාම ඇගට හයි හත්තියත් තියෙන්න එපෑ තටමවන්නවත්..."


-සදුදාට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

3 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page