top of page
  • Writer's picturePrisila Godahewa

💥ගිමන් හරිමි💥

💥ගිමන් හරිමි💥

(25 වන කොටස )

සුමිත්ගෙ යාළුවා වන සමිර ,මීගමුවේ රස්සාවක් ලෙස කරමින් සිටියේ, නිවාඩු නිකේතනයක් බලා කියාගෙන, එහි පිරිසිදු කිරීම් කටයුතුය. එම නිවාඩු නිකේතනය කාමර පහකින් සමන්විත වේ. මේ නිවස විදේශිකයන්ට හා දේශිකයන්ටද නවාතැන් දෙන නවාතැන් පලක්ය. එය මීගමුවේ මුහුදු තීරය අවට පිහිටා තිබුණි.


" දෙන්නත් එක්ක නුවර ඉදන් එනකොට දවල් වෙන්න ඇති නේද...?


"ඔව්, එහෙන් එනකොට දෙකත් පහු උනා..."


"උඹලා දෙන්නා කසාද බැදලද ආවේ....?"


"බදින්න කියලා තමයි, මේ අද ගෙදරින් කාටත් නොකියා ආවේ..."


"එහෙනම් මේ නංගිගේ අම්මලා තාත්තලා මේ නංගිව දැනටත් හොයනව ඇතිනේ..."


" මෙයා හිටියේ මෙයාගෙ මාමලාගෙ ගෙදර ,...මාත් එක්ක යනවා කියලා මෙයා ලියුම් කෑල්ලක් ලියලා තියලා ඇවිත් තියෙන්නේ ..."


"දෙන්නට මහන්සි ඇතිනේ ...මම මොනව හරි රෑට කන්න ගේන්නම්...දෙන්නත් එක්ක ගිහින් වොශ් එකක් දාගෙන මහන්සි අරින්නකෝ...එන්න මම පෙන්නන්න ඔය දෙන්නට ඉන්න දෙන්න පුලුවන් කාමරය ..."


"උඹට බොහොම ස්තුතියි අපට අද රෑ මෙහෙ නවාතැන් දුන්නට...."


"යාළුවො උනාම උදව්කරන්න එපෑ... කරදරයක් උන වෙලාවට...."


"බොහොම ස්තුතියි අය්යේ..."මමත් ඔහුට කීවෙමි


"අද ගෙස්ලා කවුරුත් මෙහෙ නවතින්න ආවේ නැති එක උඹලගෙ වාසනාව ...මෙන්න මේ කාමරයේ උඹලා දෙදෙනා අද රෑ උඹලගෙ හනිමූන් එක ගත කරපං....හෙට රෑ ඉදන් නවතින්න තැනක්, මම උදේට හොයලා දෙන්නම්...හෙට හවස් වෙනකොට මේ ගේ අයිතිකාර මහත්තයා ගේ ගෙදර කට්ටිය එනවා මෙහෙ නිවාඩුවට...ඒ නිසා හෙට උදේම උඹලා දෙන්නට මෙහෙන් යන්න වෙනවා..."


" ඒකට කමක් නෑ....ලොකු දෙයක් සමිර අද රෑ හරි අපට නවාතැන් දුන් එක..."


"අපි පොඩි කරදරයක් වෙලා ආවේ කියලා උඹට කිව්වනේ..... උඹට පුළුවන්ද අපට උදව්වක් කරන්න..."


"මට තේරුනා.... මොනවද මගෙන් කෙරෙන්න ඕන..?


"අපි දෙන්නට ඉන්න පොඩි ගේ කෑල්ලක් තමයි හොයාගන්න ඕනේ.... මට රස්සාවකුත් හොයා ගන්න ඕනේ... මට ඕන බර වාහනයක් පදවන්නත් පුළුවන්....මේ දුලිකටත් රස්සාවක් හොයාගන්න පුලුවන් නම් හොදයි ...."


"ආ... එහෙනම් හොඳයි... මාළු මුදලාලිගේ ලොරි තියෙනවා..... ඒ එකක ටෙම්පරි ජොබ් එකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ...අපි හෙට ගිහින් බලමු ...


අද රෑ අපට නවාතැන් ගන්නට, සමීර බලා කියා ගන්නා නිවාඩු නිකේතනය ලැබීම අපට ලොකු දෙයක් විය. අප දෙදෙනා විවාහ නොවුනත් අප දෙදෙනාගේ පළමු රාත්‍රීය මෙවැනි නිවසක ගත කරන්න ලැබීම නම් අපේ වාසනාවක්ම වේ.


එම නැවතුම් පල මීගමු එන සංචාරයන්ට, විදේශිකයන්ට නවතින්න සාදා තිබූ නවාතැන් පලක් නිසා, එය ඉතා ලස්සන පිරිසිදු නවීන ගෘහ භාණ්ඩයන්ගෙන් සමන්විත විය. අපට සමීර නිදාගන්නට ලෑස්ති කරදුන් කාමරය මා කිසිදිනක දැක නැති නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත කාමරයකි. කාමරය ඇතුළතම වැසිකිළිය ද තිබිණි. එහි තිබූ නාන බේසමත්, මූණ සෝදන බේසමත් හා අනිත් දෑ සුදු පැහැයෙන් බබලයි.


කොළඹ මුඩුක්කුවේ ජීවත් වූ මට, පාරේ තිබූ පයිප්පය මතක් විය. උදේ ඉඳන් රෑ වෙනකම් බාල්දි බේසම් ගෙන පෝලිමේ වතුර පයිප්පය ලඟ පොරකන අපි නාගන්න අඟපත සෝදාගෙන එතනට යන්නේ රෑ බෝ වූ පසුවය. නැතිනම් එතන තදබදය හා ගැහැණුන්ගේ ඕපදූප අසා සිටිය යුතු ය. පොදු වැසිකිළිය අපට අවශ්‍ය වේලාවට යා හැකි තැනක් නොවීය. වැසිකිළි හතරක් ඇති පොදු වැසිකිළිය උදේට පෝලිමක් තියෙන තැනකි. වතුර බාල්දියක් හෝ ටින් එකකට වතුර එකක් ගෙන පෝලිමේ ඉන්නා ගැහැණු මිනිසුන් වැසිකිළියේ ඇතුළත ඉන්නා කෙනාට ඉක්මණට එළියට එන්න යැයි කරදර කරන්නෙ ඔවුන්ගෙ අවශ්‍යතාවය ඉවසා සිටිය නොහැකි විටය. උදේට වැඩට යන ගැහැණු පිරිමි උදේ වරුවට වැසිකිළිය පාවිච්චි කරන අතර ගෙදර සිටින ගැහැණුන් පිරිමින් එය දහවල් හෝ රෑ කාලයේ පාව්චිචි කරති. පුංචි දරුවන් ගෙයි ඉදිරිපිට ඇති මුඩුක්කු පේලිය වටා දිව යන කාණුවේ දෙපසට කකුල් තියාන ඔවුන්ගෙ වැඩය කරගනී. මුඩුක්කු පේලියේ ගෙවුණු අවුරුදු දොළහක දහතුනක් අතර කාලය ගෙවුනේ එවන් දුෂ්කරතා මැදය. එය මිහිපිට අපායක් යැයි සිතුනු මට පාදුක්කේ බාප්පාගෙ නිවස හිතට නිවනක්ම උන තැනක් විය...ඒ වගේම නුවර මාමලාගෙ ගෙදර ඊටත් වඩා සුවපහසු තැනක් ලෙස මට එහි ගත කල අවුරුද්දක කාලය තුල හිතට දැනුනි.

මම ජීවත් වි තිබුන ඒ නවාතැන පලවල් තුනටම වඩා, මේ නිවාඩු නිකේතනය මට දිව්‍ය ලෝකයක් යැයි සිතේ.....


අද දින කිසිකෙනෙක් මේ නිවාඩු නිකේතනයට නවාතැන් ගන්නට පැමිණි නොසිටි බැවින්, සමීර අපට මේ කාමරය අද රෑට පමනක් නවාතැන් ගන්නට දුන්නෙ අප දෙදෙනා අද කසාද බදින්න හිතාගෙන ගෙදරට හොරා පැමිණ සිටි බව දැනගෙනය.


සමිර රෑට කන්න කෑම ගේන්න ගිය අතර අප දෙදෙනා ඔහු අපට නවාතැන් ගන්නට දුන්න කමරය වෙත

ගියෙ ආසාවෙන්‍ය.


"ඔයා ඉස්සෙල්ලා හෝදගෙන එන්න. ......" සුමිත් ඇද සිටි කමිසය ගලවන ගමන් මට කීය.


"නෑ නෑ ඔයා ඉස්සෙල්ලා හෝදගෙන එන්නකෝ, ඔයාට වැඩි වෙලාවක් යන්නෑනේ...."


සුමිත් කාමරේ ඇතුලෙම තිබු නාන කාමරයට ගොස් නාගෙන ආපසු මමද ඒ තුලට ගොස් හොඳින් නාගෙන, මගේ බෑගයේ තිබූ අලූත් ඇඳුමක් ඇඳ ගත්තෙමි...


සුමිත් ද නාගෙන අලූත් සරමක් කමිසයක් ඇඳගෙන ඉදී.... අප දෙදෙනා කාමරයෙන් එළියට ආවේ සමීර සමඟ ටික වේලාවක් කතා කිරීමටය.


අපි ගෙයින් එළියට යන විට,ඔහු ගෙයින් එළියේ ලස්සනට තණ කොළ වවා තිබූ පුංචි මිදුලේ තිබු බංකුවේ වාඩි වී කල්පනා කරමින් හිදියේය . අපව දැක ඔහු කතා කරන්නට පටන් ගත්තේය.


"කොහොමද අලූත් ජෝඩුව නා ගත්ත ද?..


"අප්පේ ඔව්.... උඹට පිං සිද්ද වෙන්වා මේ වගේ තැනක එක රැයක් හරි අපට නවතින්න ලෑස්ති කරල දුන්නට....."


"උඹ මගේ ඉස්කෝලෙ ගිය කාලෙ හොඳම යාළුවානේ..... කොහොමද ඉතිං අද වගේ විශේෂ දවසක උඹලට උදව් නොකර...."


"අනේ ඇත්තමයි අයියේ ඔයාට පිං සිද්ද වෙනවා....."

මාත් ඔහුට පිං දුන්නේ අපේ ජීවිතය අලූතින් ආරම්භ කරන්න යන පළවෙනි දිනය හිතේ සතුටින් මෙවැනි තැනක නවාතැන් ගන්න ලැබුන සතුටටයි.....මෙය නම්

අපේ පිනටත් ඔහුගේ කරුණාවන්ත කමටත් ලැබුන තැනක් යැයි මට සිතේ...


"උඹලගෙ වෙලාව හොදයි .... අද කවුරුත් ටුවරිස්ලවත්, ලංකාවේ කවුරුවත් නවතින්න ආවේ නෑ....හැබැයි ඉතිං උඹලා දෙන්නා කවදාවත් කාටවත් කියන්න එපා මං අද උඹලට මේකේ කාමරයක් නිදාගන්න දුන්නු බව...."


"අනේ නෑ.... අපට තේරෙනවා. උඹ මේකේ මුරකාරයනේ.... උඹ අපට අද වගේ විශේෂ දවසක් නිසා කරපු උදව්ව කවදාවත් අපට අමතක වෙන් නෑ... අපි හෙට උදෙන් ම අපට නවතින්න තැනක් හොයා ගන්න යනවා. අද රෑ නවාතැන් ගන්න ලැබුන එක ලොකු දෙයක්...."


"ඔව්... උඹට තේරෙනවනේ, මේ ගෙදර අයිතිකාර මහත්තයා දැන ගත්තොත් මම මගේ යාළුවන්ට නිකම් මේ ගෙදර නවාතැන් දෙනව කියලා , මාව රස්සාවෙන් අස් කරයි.... ඒ මහත්තයා තමයි මෙතනට එන අයත් එක්ක කතා කරලා මට සලකන්න ඕන විදිහ, දෙන්න ඕන කාමරය හැමදෙයක් ම කියන්නෙ.... මට තියෙන්නෙ නවතින්න එන අයට උපස්ථාන කරලා කාමර සුද්ධ බුද්ද කරල රෙදි එහෙම හෝදලා දාන එක තමයි .. ගොඩක් වෙලාවට අපි නවතින්න එන අයට කෑම දෙන්නේ නෑ...

එන අය එළියෙන් කාලා එනවා, එහෙම නැත්නම් ඒ අය කුස්සියට ගිහින් තමන්ගෙ බඩුවලින් උයල පිහල ගන්නවා. එහෙමත් කෙනෙක්ට තමයි මං උයල කන්න දෙන්නේ. ඒත් ඒ අය බඩු ගෙනත් දුන්නොත් විතරයි ...."


"එහෙනම් සමිර උඹ හෙට උදේ මාව අර මාළු මුදලාලි ලඟට එක්ක ගිහින් ජොබ් එකේ වැඬේ කරල දෙන්න බලනවද...?


"ඔව් හෙට උදෙන් ම අපි වෙරලට යමු... මාළු ගේන වෙලාවට මුදලාලි බිසී.... ඒ වෙලාවට ඩ‍්‍රැයිවර් වැඬේ නැතත් වෙන ජොබ් එකක් හරි ටෙම්පරි හොයා ගන්න පුළුවන් වේවි...."


"ඔව්... ඔව්... මට ඕන වැඩක් කරන්න පුළුවන්... පස්සෙ බැරියැ ඩ‍්‍රැයිවර් ජොබ් එකක් හොයාගන්න...."


"අපේ නැන්ද කෙනෙක් ඉන්නවා වැල්ල කිට්ටුව ...එයාගෙ ගෙදර පොඩි කාමර කෑලි කඩලා කුලියට දෙනවා. වැඩි යමක් ඒ ගෙවල් ඇතුලෙ නෑ.... කාමරය ඇතුල් පැත්තෙ භූමිතෙල් ලිපක් තියාගෙන උයන්න ඕනේ.... පොදු වැසිකිලි තියෙනවා...වතුර ගන්න පාරේ පයිපය තියෙනවා. වෙලාවේ හැටියට අපි ඒ තැනක්වත් බලමු නේද?"


"ඔව් සමිර.... ටික දවසක් මෙහෙ ඉඳල අපි ආයෙත් අපේ ගමේ යනවා. හැමදාම ඉන්න ආව ගමනක් නෙමේනෙ මේ..."


"උඹලා කසාඳ බැන්දෙ නැත්තෙ ඇයි...?


"නෑ බං.... මේකිට තාම දහසය පිරුනෙත් නෑ... ඉතිං කොහොම, මොනවද කරන්නෙ කියල හිතාගන්න බැරුව මම ඉන්නේ.... තව අවුරුදු දෙකක් මෙහෙම ඉඳල, දහඅට සම්පූර්ණ උනාම බඳිනවා.... එහෙම නැත්නම් හොර වයසක් දාලා තමයි කසාඳ බඳින්න වෙන්නේ...."


"හොර වයසක් දාලා හරි මේකව ඉක්මනට කසාද බැද ගනින් නංගි...මුං වෙනස් වෙන්න පුලුවන් ...." සමිර හිනාවෙමින් මට කීවේ සුමිත් පෙන්නමින්.


සුමිත්ගේ යාළුවා වූ සමීර අපට රෑට කන්න කතා කළේ ටික වේලාවක් මිදුලේ කතා කරමින් සිටිය පසුයි.....

හොදටම රෑ බෝ වී තිබුණ බැවින් කඩෙන් කෑම පැකට් තුනක් ඔහු කන්නට ගෙනත් තිබුනි.


" මම සයිවර් කඩෙන් කොත්තු ගෙනාවා...දැන් රෑත් උනා,

මහන්සිත් ඇතිනේ කාලා ඉමුද......"


සමීර ගෙනත් තිබූ කොත්තු පාර්සල් තුන අප තුන්දෙනා ලිහාගෙන කෑවේ නිවාඩු නිකේතනයේ කුස්සියේ තිබු කෑම මේසය ලග වාඩි වීය. අප තුන් දෙනා හෙට දවසේ කරගත යුතු වැඩ කොටස ගැන වගේම, අපේ ආගිය තොරතුරුද ඒ අතර තුර කතා කෙරුවෙමු.


කැම කා අත හෝදා ගත් අප කාමරයට යන්න නැගිට ගත්තේ , නුවර සිට බසයෙන් ඇවිත් තිබු ගමන් මහන්සියටත්, නිදිමතත් නිසයි.


"එහෙනම් ගිහින් දෙන්නා නිදාගන්න..... ..අද දෙන්නගෙ හනිමූන් එකනේ..." සමිර හිනාවෙයි.


"තැන්ක්‍යු සමීර අද වගේ දවසක අපට මෙච්චර හොද තැනක් නවතින්න ලෑස්ති කරලා දුන්නට...".


දැන් රෑ දහයත් පහු වුණා.... උඹලා ගිහින් නිදා ගනිල්ලා.... මගෙන් සුභ පැතුම් දෙන්නටම ...."

හිනාවෙවී සුමිත්ගෙ කර වටා අත දාගෙන විහිළු කරපු සමිර ඉතා හොඳ කෙනෙක් යැයි මට සිතේ....


-හෙට හමුවෙමු --

*ප්‍රිසිලා ගොඩහේවා *

6 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentarios


bottom of page