top of page
  • Writer's picturePrisila Godahewa

💥ගිමන් හරිමි💥

💥ගිමන් හරිමි 💥

(24 වෙනි කොටස )


මාමලාගෙ ගෙදර ඉදිරිපස දොර වසා දමා, යතුර ගේ ඉදිරිපිට ඇති මල්පෝච්චිය යටින් තැබුවෙමි. ටවුම පැත්තට යන ගුරු පාර දිගේ අඩිය ඉක්මන් කරමින් මම ගියේ, දන්න කියන කවුරුවත් ඉස්සරහට හමුවේවි යැයි බියෙන්...


මං ටවුමේ බස් නැවතුමට යනවිටත් සුමිත් බස් නැවතුමෙ සිටියේ කළු පාට බෑගයක් කරේ එල්ලාගෙනය.... ඔහු මට ඇහෙන් සන් කරේ, බස් නැවතුමේ ඈතට වෙලා ඉඳලා බස් එක එන වෙලාවට බසයට නගින්න කියායි.


අප දෙදෙනා බස් නැවතුමේ දෙතැනක නොහඳුනන දෙදෙනෙක් ලෙස සිට නුවර ටවුමට යන බසයක් ආ විට එයට නැග ගත්තෙමු. ටවුමට යන බසයේ, මේ වේලාවේ වැඩිපුර සෙනග නොසිටිම මගේ හිතට හොද විය. එහි පිටුපස ආසනයට ගොස් අපි දෙදෙනා වාඩි වුණෙ අත් දෙක අල්ලාගෙනය.


"කොහේද දැන් අපි මේ යන්නේ....? මීගමුද...? මා බසයට නැගපු ගමන්ම සුමිත්ගෙන් ඇසුවෙමි.


" ඔව්, මම කිව්වේ...මගේ යාළුවෙක් ඉන්නවා මීගමුවේ කියලා ..... මිනිහ හැමදාම කියනව එහේ එන්න කියලා.... අපි දෙන්න ටික දවසක් එහේ ගිහින් ඉදිමු. ඒ ඉන්න ගමන්, රස්සාවක් හොයාගෙන කරලා සල්ලි ටිකකුත් හොයාගෙන, පිළිවෙලක් වෙලා ගමට එමු..."


"අනේ මට නම් ආයෙත් ගමට එන්න බෑ.... මට බයයි ගාමිණි මාමා දැනගත්තොත් මම හොරෙන් පැනලා ගිහින් කියලා ....මාව හම්බුන දවසක මට මොනව කරයිද දන්නෑ...."


"බලමුකෝ එතකොට ...මොනවහරි කරලා අපි දෙන්නා.... එන විදිහකට ජීවිතේට මූණ දෙමු දුලීකා ... මගේ ගාව එකතු කරගත්ත සල්ලි ටිකකුත් තියෙනවා. මට ඩ‍්‍රයිවින් පුළුවන් නිසා, යන පැත්තකින් රස්සාවක් හොයා ගන්නත් අමාරු වෙන එකක් නෑ....ඔයාටත් අපි රස්සාවක් හොයාගන්න බලමු...."


"අපි කසාඳ බඳින්නෙ නැද්ද?


"ඔයාගෙ වයස තමයි ප‍්‍රශ්නෙ.... බලමුකෝ මොනවහරි කරන්න...මගේ යාළුවා අද හම්බුනාම අපි එයාගෙනුත් විස්තර අහල දැන ගමු ,ඔයාට දැන්ම බදින්න පුලුවන්ද කියලා ...."


අප දෙදෙනා නැගපු ලංගම බසය නුවර ටවුමට ආපසු , අප දෙදෙනා එයින් බැස නුවර සිට මිගමු යන බසයකට ගොඩ උනෙමු.

එම බසයට නගින්න පෙර, අප දෙදෙනා ලග තිබුන කඩේකින් මාළු බනිස් දෙකක් කා තේ බිව්වෙ, ආයෙත් මේ බස් එකෙ ගිහින්, මීගමුවෙන් බහිනකම් බඩගිනි වෙන්න පුලුවන් නිසයි ....


නුවර සිට මීගමුව බලා යන ලංගම බස් රතය , කදු වැටි, හෙල්වැටි, තේ වතු, එළවළු වතු පසුකරමින් පිම්මේ මීගමුවේ බලා දුවයි. බසය පිරෙන්නම සෙනග ඇත. අප දෙදෙනාට වාඩි වෙන්න එක ලග ආසන දෙකක් ලැබුන එක හොදට ගියේය. මම සුමිත් ගේ අත අල්ලා ගෙන ඔහුගෙ උරහිසට වාරුවී ඇස් පියාන උන්නෙමි.


මගේ හිත, සිහිනයක පාවෙනවා මෙන් දැනේ.... මීට පැයකට පමණ පෙර අප දෙදෙනා අතර උන, සිදුවීම් පෙළ මැවී පෙනෙන්නට විය. මගේ හිතේ ඒ ගැන සතුටක් වගේම බියක් ඇති වි ඇත... ඒ තවමත් අප දෙදෙනා කසාද නොබැද කාටත් හොරෙන් අබුසැමියන් ලෙස හැසුරුණි නිසාය. කෙසේ නමුත් සුමිත් ඒ සිදුවීමත් සමගම, මාව බාර ගන්නට කැමති වී මා මීගමුවේ එක්ක යන එක ගැන නම් සතුටක් ඇත.


ගස්කොළන් කදුවැට් පසු කරමින් පැය එකහමාරක පමණ දුරක් බසය ගිය පසු, නාගරීකරණය වු, වාහන තදබදයක් ඇති කළබල පාරක් දිගේ බසය ගමන් කරයි. තවත් දුර ගිය කල බසය මීගමු පාරට ලංව දුවන බව පෙනෙන්න ලැබුනි....සෙනගින් පිරි තිබු බසයේ මම සුමිත් ගේ අත තදින් අල්ලාගෙන ඔහුගෙ උරහිසට ඔළුව තියාන හිදින්නේ සතුටිනි.


ඉපදුන දා සිට කාගෙවත් ආදරයකට පාත්‍ර නොවුනු මා, අද වෙනවිට මගේම කියන්න, මට ආදරය කරන්න ආදරවන්තයකු ලැබි ඇත. කසාද නොබැද්දත් එකට ජීවත් වෙන්න මට ආදරය කරන්න කෙනෙකු මුණ ගැසි ඇත. මින් පසු කාගෙන්වත් ගෙවල් වල වැඩ කාරකම් කරමින්, අඩම්තෙට්ටම් වලට යට නොවි මට මගේම කියන ආදරවන්තයකු සමග එකට ජීවත් වෙන්නට වාසනාව ලැබි ඇත. මට දැන් මගේ ගැන ඇතිවන්නේ සතුටකි. සුමිත් ගැන ඇතිවන්නේ ලොකු ආදරයකි.


"නැන්දලා දැන් අනුරාධපුරයේ ඉදන් ගෙදර ගිහින් ඇති....මාව හොයනවද දන්නෑ..."


"ඔයා මෙහෙම හරි මාත් එක්ක ආව නිසා ඔයා යන්තම් බේරුනා...සාමා අක්කා ඔයාගෙන් වැඩ කාරයෙක්ගෙන් වගේ වැඩ ගන්නව විතරයි ....ඔයා එහේ හිටියනම් කවදාවත් ඔයාව කාටවත් කසාඳ බන්දලා දෙන්නෑ..."


"ඒක නම් ඇත්ත සුමිත් ...අපේ අම්මත් ඕක කිව්වා....නැන්දා හරි කට්ටයි. මාව මරව මරව වැඩ ගත්තා...මම අපේ අම්මට කිව්වෙත් නෑනේ ඔයා එක්ක යන බව...මම අපේ අම්මට ඔයා ගැන කිව්වනම් එයා ඔයාට කැමති වෙන්නත් තිබුනා...."


" ඔයාගෙ අම්මලා බලන්න අපි ටික දවසකින් යමු......."


"එතකොට ඔයාගෙ අම්මා...,ඔයා මාත් එක්ක ආවා කියලා දැනගත්තහම එයා මොනව කියයිද දන්නෑ...."


"ඒක තමයි දුලීකා මම නොකියම ආවේ...අපේ එක අක්කා කෙනෙක් තවමත් කසාද බැදලා නෑනේ...අම්මා හැම තිස්සෙම කිව්වේ අක්කා බන්දලා දිලා මට කසාද බදින්න කියලයි....ඒත් ඉතිං අක්කට මණමාලයො හොයන්න ලේසි නෑ...එතකම් මට නාකි වෙන්නත් බෑනේ... අනික මම ඔයාට කිව්වේ....මට හම්බවෙන දෑවැද්ද තමයි ,අම්මා අක්කට දෙන්න බලාගෙන ඉන්නේ...."


"අනේ මන්දා...ඔයගොල්ලන්ගෙ අම්මා මට පලි ගහයිද දන්නෑ, ඔයා මාත් එක්ක ගිය බව ආරංචි උනාම..."


"අපි ඒවා පස්සෙ බලමුකො..."


"දැන් නම් රෑ වේගෙනත් එනවා...ඔයා හරියටම දන්නවද අපි යන තැන..."


"ඔව් මට මතකයි එක දවසක් අපි යාලුවො කට්ටියක් එක්ක ඇවිත් ගිහින් තියෙනවා මීගමුවේ සමිරගේ ගෙස්ට් හවුස් එකට..."


"ඒ ගෙස්ට් හවුස් එක එයාගෙද...?"


"අපෝ නෑ...මිනිහා එතන වැඩ කරන්නේ...ඒක පෝසත් මහත්තයෙක්ගෙ නිවාඩු නිකේතනයක්....සමීර තමයි ඒක බලාගෙන ඉන්නේ...."


"එහෙමද...එතකොට අපි අද රෑ එහෙද නවතින්නේ...?


"දන්නෑ දුලීකා ...අපි ගිහින් බලමු...."


"දුලීකා,අපේ මේ බස් එක දැන් මීගමුවට ඇවිත් තියෙන්නේ .... එහා හෝල්ට් එකෙන් අපි බහින්න ඕනේ..."


"බැහැලා පයින් යන්නත් ඕනද...?"


"ඔව් ටිකක් දුර පයින් යන්න ඕනේ..."


"හරි...හරි ඔයා බැහැ ගන්නකෝ... මම ඇදුම් බෑග් දෙක ගන්නම්..."


මිගමුවෙ සුමිත් කියපු තැනින් බසයෙන් බැස ගත් අප දෙදෙනා ඇදුම් බෑග් දෙකත් රැගෙන පටු පාරක් දිගේ හෙමිහිට ඇවිදමින් ගියෙමු . අපි ඒ පාරේ ඇවිදගෙන යන විට ගොඩක් ඈතින් හෝ හෝ සද්දයක් සමග මුහුදු හුළං හමනවා ,ඇගට දැනින...


" දුලීකා ඔය ඈතින් ඇහෙන්නේ, මහ මුහුදෙ සද්දේ....සමිරගෙ ගෙස්ට් හවුස් එක තියෙන්නේ ඒ කිට්ටුව තමයි ..."


"මම හරි ආසයි මුහුද පාගන්න ...."


"බැරියා ඔයාට මුහුද පාගන්න ,දැන් දිගටම මෙහෙ ඉන්න කොට...."

රෑ 7.30 විතර වෙනකොට මීගමුවේ සුමිත්ගෙ යාළුවාගෙ නිවාඩු නිකේතනයට අප දෙදෙනාට ලගාවීමට හැකි විය.


සුමිත්ගෙ යාළුවා පෝසත් මහත්තයෙක්ගෙ නිවාඩු නිකේතනයක් බලා ගෙන ඉන්නා කෙනෙකි. ඒ ඔහුගෙ රැකියාවය. ඔහු සුමිත්ගෙ පාසැල් කාලයේ මිතුරෙකු වෙයි.


සුමිත් බලාගන්නා නිවාඩු නිකේතනය මුහුදු වෙරළට කිට්ටුවෙන් පිහිටා තිබුන අතර එය පරණ තාලේ ආරුක්කු බූරුක්කු දැමු, අලුතින් තීන්ත ගා අලුත් කර තිබුන ගෙයකි. ගෙදර අවට වටපිටාව පිරිසිදුව අතුපතුගා තිබුන අතර නිවාඩු නිකේතනයක් උනාට එහි ගෙදර ලයිට් කිසිවක් දමා නොතිබුනි. ගේ පිටුපසට වන්නට ලයිට් එළියක් පෙනේ....


"ගෙදර කවුරුත් නෑ වගේ...අපි ගේ පිටිපස්සෙන් ගිහින් බලමු...සමිර නැවතිලා ඉන්නෙ මේ ගෙදර පිට්පස්සෙ ගරාජ් එකේ"


අප දෙදෙනා ගේ පිටුපස ගරාජ් එක ලගට ගිය විට, සුමිත් ,සමීරගෙ නම කියා ඔහුට කතා කලේය.


"සමීර...."සමිර.."


"කවුද..මේ රෑ......" කවුදෝ පිරිමි කෙනකු ගරාජය තුල සිට එළියට ආවේය.


"සමිර මේ මම නුවර සුමිත් ...."


"සුමිත් ..උඹ මේ කරුවලේ ...?


රෑ කරුවලේ ආ අප දෙදෙනා දැක ඔහු පුදුම විය. ඔහු ඇස්දෙක පොඩි කර මාදෙස ඉතා උවමනාවෙන් බැලිය.


" උඹ මට එනව කියලා කිව්වෙත් නෑනේ..... දන්නවානම් මඟට එනවා....කවුද අදුනන කෙනෙක්ද මේ...?"


" ඔව්...මේ දුලීකා ....පොඩි හදිස්සියක් වෙලා අපි දෙන්නත් එක්ක නුවර ඉදන් මේ ආවේ...අද රෑට අපි දෙන්නට නවතින්න තැනක් හොයාගන්න ඕනේ සමිර...."


"එන්න එන්න ඇතුලට ....පස්සෙ කතා කරන්න බැරියෑ...යමු සාලෙටම වාඩිවෙන්න ..."


ඔහු නිවාඩු නිකේතනයේ ඉදිරිපස දොර යතුරක් දමා ඇරීය.


ඉතා පිරිසිදුව ,ලස්සනට බඩු මුට්ටු පිළිවෙළට තබා තිබුන නිවාඩු නිකේතනය, කාමර පහකින් සමන්විත ලොකු ගෙයක් වේ...ගේ වටේට පොඩියට වත්තක්ද ඇත. වත්තේ තැන තැන පොල් ගස් ඇත. බලන්න ආස හිතෙන පිරිසිදු ගේදර ඇතුලේ, සාලේ පුටු දෙකකින් අපි දෙන්නා වාඩි උනේ හරි පරිස්සමටය.


"හරිම නිදහස් පිරිසිදු තැනක්... අපට අද රෑට විතරක් නෙමේ සමිර ටික කාලයක් එක දිගටම නවතින්න තැනක් හොයා ගන්න වෙනවා...මෙයාව මම කසාද බදින්න කියලා හිතාගෙන, මේ ආව ගමනක්....


" ඒක හොදයි ....එක දිගටම නවතින්න තැනක් අපි හෙට දිහාවට හොයාගන්න බලමු.... අද නම් කවුරුත් මේ ගෙස්ට් හවුස් එකේ නවතින්න ආවේ නෑ..... ඒ හින්දා ඔය දෙන්නගෙ වාසනාව....අද රෑට විතරක් ඔය දෙන්නට මෙහෙ නවතින්න පුලුවන් ... "


"අනේ එහෙනම් කොච්චර දෙයක්ද...."


-හෙට හමුවෙමු --

*ප්‍රිසිලා ගොඩහේවා *

3 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page