top of page
  • Writer's picturePrisila Godahewa

💥ගිමන් හරිමි💥

💥ගිමන් හරිමි💥

(22 වෙනි කොටස )

දවල් දවසේ ගෙදර සියලු වැඩ කර මා නා ගන්නට දොළට යන්නෙ හවස් වරුවේය. මා නාන්න යන වේලාව බලා සුමිත් ද දොළ ලඟට, හොර ගල් අහුලමින් එයි. සමහර දවසට ඔහු ද බාල්දියක් ගෙන නාන්න එන අතර, නැතහොත් මා නාගෙන ඉවර වෙනකම් දොළ ඉවුරෙ ඉදගෙන ඔහු මා සමග කතා කරයි.


මහ නුවර සිට 18km පමණ නුවර එළිය පැත්තට වෙන්න නැන්දලාගෙ ගෙදර පිහිටා තිබුනි. ඒ පළාත එළවළු වගාවට ඉතා හොද දේශගුනයක් තිබුන නිසා, කාලයක සිට නැන්දලා තමන්ගෙ වතුවල එළවළු වගාව ඉතා විශාල ලෙස කරගෙන යයි. සමතලා බිම් වල වගේම, කදු පල්ලම් වල හෙල්මළු ක්‍රමයට එළවළු වගාව කිරීම එතරම් ලෙහෙසි පහසු කාර්යක් නොවුනත්, මේ පළාත් වල මිනිසුන්ගෙ එකම ආදායම් මාර්ගය එළවළු වෙළදාම වෙයි.


කදුකරයෙන් වටවුන, සීතල දේශගුනය සහිත නිදහස් පළාතේ, කැළෑවල්, පොඩි දියඇලි ,දොළපාරවල් තේ වතු, එළවළු වතු වලින් වටවුන කදුයායෙන් , බලන බලන අත ඇත්තේ මනස්කාන්ත දර්ශනයකි. කොළඹ තදාසන්න ප්‍රදේශයක ඉපදී හැදුන වැදුන මට මේ දකින්න ලැබෙන සුන්දර වටපිටාව , දේශගුනය ගැන ඇත්තේ කියා නිම කල නොහැකි තරම් අසීමිත ආසාවකි.


නැන්දලාගේ ගේ පිටුපසට වන්නට ඇති එළවළු කොටුව පසුකර ගිය තැන, ගල් වැට් පල්ලම් වලින් සමන්විත කැළයක් දකින්න ලැබේ....ඒ කැලය අසලින් ගස් අස්සෙන්, ගල් අතරින් සද්දෙට ගලා බැස යන දොළපාරක් ඇත. එම දොළ අසළ ඇති හිස් ගල් තලාව, ගමේ මිනිසුන් නාන තොට ලෙස පාවිච්චි කරයි.

ගමේ මිනිසුන් ගෙදර පාවිච්චියට, හදිස්සියට නාගන්නට ගෙදර වැඩට අවශ්‍ය වතුර, ගෙදර වත්තේ ඇති ලිං ,පොකුනු, පීලි වලින් වතුර ගත්තත්, නිදහසේ නා ගන්නට දොළට යන්නට පුරුදු වී ඇත. මාමාත් නැන්දත් ගෙදර ලිදෙන් වතුර ඇද නාගත්තට, මම පුරුද්දක් ලෙස හවස් වරුවට දොළට නාන්න යන්න පුරුදු වි උන්නෙමි. කොයි වෙලෙත් දොළට නාන්න යන එන මිනිසුන් සිටින නිසා මට එහි තනියක් නැත. නැතහොත් මම ගමේ ගැහැනු ළමයින් දෙදෙනෙක් සමහර දිනට මා සමග දොලේ නාන්න යන්න, ලෑස්ති කරගෙන උන්නෙමි. බොහෝ විට මම තනියම දොළට නාන්න යන්න කැමතිය. ඒ මම නාන්න යන වෙලාවටම සුමිත් මුණ ගැසිමට අප දෙදෙනා කතා කරගෙන සිටින නිසයි.


සුමිත් නාන දොළ ළගට හවස් වරුවට එනවා වගේම, සමහර දවසට දවල් වරුවට ට‍්‍රැක්ටරේ වැඩ කරන අතරම මාව බලන්න එයි. ඔහු බොහෝ විට ටැක්ටරයේ වැඩ කරන්නේ අපේ ගෙවල් පැත්තෙ ඇති එළවළු කොටු හා සම්බන්දවය. එබැවින් අපේ ගෙවල් අද්දරින් එහෙ මෙහෙ යන වෙලාවට ඔහු මාවත් දැක බලාගෙන යයි.... ඒ එන වෙලාවට, ඉදහිට ඔහු මට රස කැවිල්ලක්, ගමේ පළතුරු ආදිය ගෙනත් දෙන්නටද අමතක නොකරයි. එන්න එන්නම අප දෙදෙනා අතර ඇති ආදර සම්බන්ධය දිනෙන් දින ලියලා වැඩෙමින් පවතිද්දි මගේ හිත සතුටින් බරව ඇත්තේය.


"දැන් එළවළු මුදලාලිගෙන් බැනුම් අහනවා වැඩ කරන වෙලාවට ගෑණු නානවා බලන්න එනව කියලා...."


"ගෑණු නෙමේනෙ ඔයාව විතරනේ මම බලන්න එන්නේ....ආ මෙන්න මං ඔයාට මිදි ටිකක් ගෙනාවා..."


"මේවා නම් මම එපා කියන්නෑ..."


ඔහු ඉදහිට මට කන්නට මොනව හරි හෝ සුවඳ සබන් කෑල්ලක්, පවුඩර් එක්ක රැගෙන එයි. ඔහු දොළ ඉවුරේ මාගේ අතින් අල්ල ගෙන කතා කරමින් හිඳින්නෙ සතුටිනි. ඉද හිට ඔහු වටපිට බලා මගේ මුහුණද ඉඹියි...ඒ වෙලාවට මමද ආසාවෙන් ඔහුට ඒවාට ඉඩ දෙන්නේ බොරුවට තරහක් මවා පාමින්‍ය.


"අර වටපිට මිනිස්සුත් දකිනවා...."


"කෝ කවුරුත් පේන්න නෑනේ....අපි ඉක්මනට බඳිමු දුලිකා...මට දැන් තනියම හිටියා ඇති කියලා හිතෙනවා.... මම ඔයගොල්ලන්ගෙ මාමගෙන් ඔයා ගැන අහන්නද?


"අනේ මන්දා මට අවුරුදු දහසය වෙන්නෙත් තව මාස දෙකකින්නේ.. ...."


"අපි බොරු වයසක් දාලා බඳිමු....."


"ඔයා එහෙනම් මාමාගෙන් අහන්න...."


"ගාමිණී අයියා මට අකමැති නෑ...."


"එහෙනම් ඔයා මාමගෙන් අහල බලන්න ...එතකොට ඔයගොල්ලන්ගෙ අම්මලා...?."


"අපේ අම්ම නම් ඉතිං මට ලොකු දෑවැද්දක් එක්ක මනමාලියක් තමා හොයන්නේ...ඒවා ඉතිං කවද වෙයිද දන්නෑනේ...."


"එතකොට ඔයගොල්ලන්ගෙ අම්මලා මට අකමැති උනොත් ...?


"මම ඉස්සර වෙලා ගාමිණි අය්යගෙන් අහල බලන්නම්.....ඊට පස්සෙ බලමු අපේ අම්මලා ගැන ...."


පසු දිනක සුමිත් ගාමිණී මාමාට මා ගැන කියා, මාව කසාඳ බඳින්න අසා ඇත. නමුත් මාමා එයට කැමති වි නැත.


"දුලීකා, මම ඊයේ ගාමිණි අය්යගෙන් ඔයා ගැන ඇහුව්වා...."


"ඉතිං...මාමා මොකද කිව්වේ..."


"ඒකි තාම පොඩි එකී. තාම අවුරුදු දහසයක්වත් නෑ කියලා කිව්වේ.... සාමා අක්කත් ඒ වෙලේ ගෙදර හිටියා...අක්කා තමා වැඩියම අකමැති උනේ ඔයා කසාද බදිනවට...."


ගාමිණී මාමා එසේ කියා ඇති අතර, ගාමිණි මාමාට වඩා එයට වැඩියෙම අකමැති වි ඇත්තේ නැන්දයි.


"මම දන්නවා...නැන්දා බයයි මම මේ ගෙදරින් යයි කියලා ...දවසක් මටත් ඇහුනා නැන්දා කියනවා....


"පිස්සු ද ගාමිණී දුලීකා කසාඳ බන්දලා දුන්නහම මේ ගෙදර වැඩ කරන්නෙ කවුද කියලා ...."


"ඒක ඇත්ත දුලිකා ...සාමා අක්කා ඔයාව ඔය ගෙදර තියාගෙන ඉන්නෙ ඔයාගෙන් වැඩ ගන්න...ඔයා ගොඩක් විශ්වාසයි කියලා තමයි හැමෝටම කියන්නේ..."


නැන්දා එය මාමාට කියනවා මටත් දිනක් ඇසිනි. නැන්දා මා ලවා දැන් ගෙදර හැමවැඩක්ම කරගන්නෙ ගෙදර වැඩකාරියක් ලෙසය. නමුත් ඇය මට හොඳින් කන්න අඳින්නද දෙයි. ආදරෙන් කතා කරයි. ගෙදර සියලු වැඩ මට ඕන හැටියේ කරන්න ඉඩ දී ඇය දරුවා සමග සනීපෙට නිදා ගනියි.


දැන් නැන්දාගේත් දරුවාගේත් ඇඳුම් සෝදන්නේ ද මම ය. එය දකින මාමා සමහර වේලාවට මගෙන් ඉල්ලා, නැන්දාගෙ ඇඳුම් සෝදා දෙයි. මට අවශ්‍ය විදිහට ගෙදර ඉවුම් පිහුම් වැඩ සියල්ලක් ම කරනන්න මට නැන්දා පවරා ඇති සේම... යාප්පුවෙත් සියලූ වැඩ ටිකෙන් ටික බාර දෙයි. ඇය දවසෙම දරුවා සමඟ කාලය ගත කරන අතර මම වැඩ කාරියක් සේ ඒ ගෙදර ඉදිමි.


නැන්දාට දරුවා ලැබි මාස තුනකට පසු අම්මාත් මල්ලිලා දෙන්නාත් නැන්දාගෙ දරුවා බලන්න නුවර ආවේය. ඔවුන් මා මෙහි ආවාට පසු නුවර ගෙදර ආවේ මුල්ම වරටය.


"හරිම ලස්සන පැත්තක් නංගියේ..... මටත් මෙහෙ නවතින්න හිතෙනවා.... දුලීකා හොඳට සනීපෙට හැදිල ඉන්නෙත් මේ පැත්තෙ, සනීපෙ වගේම අලුත් එළවළු පළතුරු කන්න ලැබෙන නිසා වෙන්න ඇති."


"ඒක නේන්නම්...මෙහෙ එනකොට හිටිය දුලීකා නෙමේ දැන්...දුලීකට මෙහෙ හරි සැප... මොනවායින් අඩුවක් කියලද...?

අම්මා මා දෙස බලා සිටින්නෙ ආසාවෙනි. මා දැන් ගොඩක් සුදු වී සනීපෙට පුෂ්ඨිමත්ව හැඳී ඉන්නා එකට ඇයට සතුටු ය.


අම්මාත්, මල්ලිලාත් දින දෙකක් මාමලාගෙ ගෙදර නැවතී සිටියේ කාලයකින් ලැබුණු පාසැල් නිවාඩු කාලය නිසාය.


"කොහොමද අම්මේ පුවක් කපන වැඬේ...."


"ආ... ඒක මං තනියම කරගන්නවා. කොල්ලන් දෙන්නට ඉස්කෝලේ පොත්පත් ගන්නෙ ඒ සල්ලිවලින් තමයි බාප්පත් ඉතිං කියල මහ ලොකු දෙයක් හම්බ කරන එක්ක යැ. ලොකු පුතා ඉඳහිටල ගෙදර එන එකත් නැවතුනා..... ඌව මං අපේ පල්ලියෙ ෆාදර්ට කියලා පල්ලියේ වැඩට නැවැත්තුවා. ඌට දැන් එක අතින් වැඩක් කරගන්නත් බෑනේ.... ඊටත් ඌ කුඩු ගහන්න පුරුදු වෙලානේ හිටියේ.... පල්ලියේ ඉන්නවා තව කුඩු ගහපු කොල්ලෝ දෙතුන් දෙනෙක්. ෆාදර් උන්ව හොඳ තැනකට ගන්න කරන මොනවද වැඩ සටහන් වගයක් තියෙනවා කියලා ලොකු කොල්ලවත් එහේ නවත්වන්න කිව්වා. අයියා දැන් බයිබලේ තියෙන දේවල් ඉගෙන ගන්නවාලූ. ෆාදර් නිසා, අය්යට කන්න බොන්නත් අඩුවක් නැති එකේ එතෙන තියෙන වැඩක් කරගෙන ඉන්න කියලා මම කිව්වේ... ඌට දැන් හොඳයි.... මගෙ හිතටත් දැන් ටිකක් නිදහස් ඌ පල්ලියෙ ඉන්න නිසා...."


අපි උපතින් බෞද්ධයන් උනත්...කොළඹ ලැයිමේ ඉන්නා කාලේ,... ලගපාත කතෝලික පල්ලි වලින් ඇවිත් අපට කෑම ඇදුම් පැලදුම් නිතර බෙදාදීම නිසා... අපි නිතර පල්ලියට යන්නට පුරුදු වි සිටියෙමු. ඔවුන් අපව පල්ලියට ගෙන්නා ගෙන අපව කතෝලිකයන් කිරිම නිසා ඒ කාලයේ සිට අපි ඉරිදාට හා නත්තලටත් පුලුවන් වෙලාවටද පල්ලියට ගොස් දෙවියන් නමදින්න පුරුදු වී සිටියෙමු . ඒ නිසා අම්මා පල්ලියේ පාදිලි උන්නාන්සේට අය්යාගෙ විස්තර කියා ඔහුව පල්ලියේ වැඩට නතර කිරීම මටත් සතුටක් විය. දන්න කියන දා සිට අප වෙනුවෙන් මහන්සි උන අය්යාට කෝච්චියට යට වී අත නැතිවුනාට පසු හෝ නිදහසේ ඉන්න පුලුවන් තැනක් ලැබුන එක ගැන අම්මාට මෙන්ම මටත් ඇත්තේ ලොකු සතුටකි.


කාලෙකට පසු අම්මා සමග නිදහසේ කතා කරන්න ලැබීම නිසා, අම්මා ගෙදර සියලු විස්තර මා සමඟ කියයි. ඇය නුවර ආ පසු දින දෙකේම මා නැන්දගෙ වැඩත් ළමයගෙ වැඩත් ගෙදර වැඩත් කරනව බලා සිටි අම්මා නැන්දට ඇහෙන්නේ නැති වෙන්න මට කතා කළා ය.


"ඈ ලොකු දුවේ... උඹ මේ ගෙදර වැඩකාරී වගේනේ.... අරකි කුමාරිහාමි වගේ ළමයා තුරුල් කරන් ඇදට වෙලා ඉන්නවා...."


"මේවා මට පුරුදු වැඩනෙ අම්මේ.... නැන්දල මට හොඳට කන්න අඳින්න දෙනවනේ...."


"මටත් පුළුවන් උඹට කන්න අඳින්න දෙන්න ... උඹ මාත් එක්ක ගෙදර යන්න වරෙන්.... ඇවිත් මාත් එක්ක පුවක් කපපං....මුංට වැඩකාරකම් නොකර...."

අම්මා කේන්තියෙන් කියයි.

මගෙන් වැඩකාරියකගෙන් සේ සාමා නැන්දා වැඩ ගන්නා එක අම්මා මේ දින දෙක තුනට දැක ඇත. ඒ නිසා අම්මා සිටියේ නැන්දා සමඟ නෝක්කාඩුවෙන් ය. ඇය ගෙදර යන්නට ලෑස්ති වී නැන්දාට හා මාමාට මා ගෙදර එක්ක ගෙන යා යුතු යැයි කීවාය.


"දැන් ලොකු කෙලි මෙහේ හිටිය මදෑ දරුවත් හම්බවුණානේ.... තව සුමානෙකින් විතර ගෙදර වැඩට කාව හරි හොයාගෙන, දුලීකව ගෙදර එවන්න මල්ලියේ.... ඒකිගෙ බාප්පත් කිව්වා ඒ ලඟ ගාමන්ට් එකක් තියෙනවා ඒකට දාලා දෙන්නම් කියල... ඒකිත් කීයක් හරි දැන් හම්බ කරලා ඉතිරි කර ගන්න එපෑ..... මෙහෙම අනුන්ගෙ ගෙවල් වල වැඩකාරකම් කරල හරි යන්නෙත් නෑනේ...."


අම්මා ඇඟටපතට නොදැනී නැන්දාට කිව්වේ ඇය මාව වැඩකරකමට තියාගෙන ඉන්න බව ඇයට තේරී ඇති බව පේන්නන්ටය.


අම්මා ගිය පසු නැන්දා ටිකෙන් ටික ගෙදර වැඩ ඇය ද කරන්න පටන් ගත්තා ය. මා ගෙදර යා වී යැයි ඇය බියෙන් වෙනදාට වඩා ආදරෙන් මට කතා කරමින් මගේ වැඩට ඇය ද උදව් කළාය.


මගෙන් නැන්දා වැඩකාරකම් කරවා ගන්නා බව මට තේරි ගොස් තිබුනත්, මාත් සුමිතුත් අතරත් තිබූ ඇයි හොඳයිය ටිකෙන් ටික වැඩි වි මගේ හිතේ ඔහුට ආදරයක් ඇතිවි තිබුන නිසා, මට අපේ පාදුක්කේ ගෙදර යන්න කැමැත්තක් නොවිය. නැන්දාට වැඩකාරකම් කරමින් හෝ සුමිත් සිටිනා ඉසව්වේම හිදින්නට මගේ කැමැත්ත විය.


මා නාන්න යන විට මගේ පස්සෙන් එන ඔහු මාව කතාවට අල්ලගෙන මගේ අතින් ඉනෙන් අල්ල ගෙන කාටවත් නොපෙනෙන මගේ මූන ඉඹින්නේ ආදරයෙන්‍ය. මම ඒ උනුසුම් හාදුවලට ආසාවෙන් තව තවත් ඔහුට ලං වුනෙමි. ඔහුගේ ආදර කතා බහට හිත බැඳුණු මා නිතර නිතර ඔහුව දකින්න වේලාවන් දා ගෙන නැන්දාට හොරෙන් ඔහු හමුවන්නට යන්නෙමි.


"දුලීකව ගෙදර එවන්න කියලා අම්මා ආයෙත් කියලා එවලා....ඒ නිසා එන සුමානෙ දිහාවට ගෙදර යන්න ලෑස්ති වෙන්න දුලීකා ....මම මේ අපේ අම්මවත් එක්ක එන්න කියලා හදන්නේ, මගේ තනියට......"


"මට යන්න උවමනාවක් නෑ නැන්දේ...මම තව ටික කාලයක් මෙහෙම ඉන්නම්..."


මට දැන් නැන්දලාගෙ ගෙදර වැඩ කාරකම් කරමින් හෝ මෙහි නවතින්න හිති ඇත්තේ සුමිත් නිසයි... . මම නැවත පාදුක්කේ ගියොත්...මට ආයෙත් කවදාවත් සුමිත් හම්බවෙන්නෙ නැති බව තේරුම් ගොස් තිබුනි.


"අම්මා ,ගාමිණි ට කෝල් එකක් දීලා කියලා ,උඹට ගාමන්ට් එකක ජොබ් එකක් තියෙනවා කියලා මේ සුමානෙ ගෙදර එවන්න කියලා ..."


"එහෙමද නැන්දේ... එහෙනම් මම එන සුමානෙ ගෙදර යන්නම්...."


"අපි සෙනසුරාදා අනුරාධපුරයේ යන්න කියලා ඉන්නේ.... ,දරුවගෙ බාරයක් ඔප්පු කරන්න ...එහෙනම් සෙනසුරාදා ඉරිදා ගෙදර ඉදලා දුලීකා, සදුදාට ගෙදර යන්න...මෙච්චර කාලයක් මට උදව් කරගෙන හිටිය දෙයත් ලොකු දෙයක්නේ ...මම ගාමිණි ට කිව්වා දුලීකට දෙන්න සල්ලි කීයක් හරි අද බැංකුවෙන් ගේන්න කියලත් ...මට පහුගිය කාලේ කරපු උදව් වලට....."


අම්මා ඇවිත් ගිය පසු නැන්දා ඇයගේ මවව ගෙදරට ගෙන්නා ගත්තේ මා කොයි වෙලේ හරි ගෙදර ගියොත් ඇයගේ වැඩ කරවා ගැනීමට කවුරුත් නැති නිසා වන්නට ඇත. ඇයගේ මව ගෙන්වා ගෙන මා කළ වැඩ, ඇයට කරන්නට උගන්වමින් හිදී. ....


"දැන් දුලීකා කවද්ද කොළඹ යන්නේ....." සාමා නැන්දාගේ අම්මා අසයි.


"එන සුමානෙ දිහාවට අම්මා ගෙදර එන්න කිව්ව නැන්දේ... එහේ ගාමන්ට් එකක රස්සාවක් තියෙනව කියලා මට වැඩ කරන්න..."


"ඒක හොඳයි කීය කීය හරි ඉතිරි කරගන්නත් එපෑ.... ඉස්සරහ කාලෙ ගැන හිතලා....මොනව උනත් ඔය ළමයා අපේ සාමා දුවට බැරි අමාරු කාලේ උදව් කරපු එක ලොකු දෙයක් .."


නැන්දාට දරුවා ලැබුන පසු මාමා එළවළු රස්සාවෙන් ලැබුනු මුදල් වලින් ත‍්‍රීවීලයක් මිල දී ගත්තේ ය. ත‍්‍රීවීලය ගෙනා පසු නැන්දාවත් දරුවාවත් දා ගෙන මාමා නිතර නිතර එහෙ මෙහෙ යන්න පටන් ගත්තේ, ගමේ මිනිස්සුන්ට පේන්නත් එක්කය.


"අපිට දරුව වෙනුවෙන් අනුරාධපුරයට වුණ භාරය නිදහස් කරන්න යන්න තියෙනවා මේ සෙනසුරාදා .... ත‍්‍රීවීල් එකේ දරුවගෙ බඩුත් දාගෙන යන්න තියෙන නිසා දුලීකාට නම් යන්න ඉඩ මදි වෙයි......ඒ නිසා දුලීකා ට ගෙදර ඉන්න පුළුවන් නේද?.... දැන් සදුදාට ගෙදරත් යන්න තියෙන එකේ..."


"ඔව් නැන්දෙ.....අනුරාධපුරය නොගිය තැනක් නෙමේනේ.... නැන්දලා හවස් වෙන්න ඉස්සර එනවනේ....මම ගෙදර ඉන්නම්..."


"ඔව්... ඔව්... අපි උදෙන් ම කිරි පූජාව හදාගෙන යන නිසා හවස් වෙන්න ඉස්සර එන්න පුළුවන් වෙයි...."


පසුදින උදේ නැන්දලා අනුරාධපුරයේ වදින්න ගියේ උදේ පාන්දරින්, කිරි පූජාවත් හදාගෙනමය.. ඔවුන් ගිය පසු මා ගෙවල් දොරවල් අස් කර මිදුල් අතු ගා දොළට ගිහින් නාගෙන ආවෙමි. උදේම නැන්දලාට නුවර ගෙනියන්න හැදු බත් එළවලූ මාළු එහි තිබුන නිසා දවල්ට මම ඒවා කෑවෙමි. ගෙදර කවුරුත් නැති නිසා මම තනියම හිටියේ නිදහසේ සැහැල්ලුවෙනි.


"ගෙදර කවුද?...ගෙයි ඉදිරිපස දොර දෙසින් ඇසුනු කට හඬ නිසා මා කාමරයෙන් එළියට ආවෙ මේ අවේලාවේ කවුද ගෙදරට ආවේ බලන්නයි.... ගෙට ඉදිරිපස මිදුලෙ සිටියෙ සුමිත්ය.


"මේ වෙලේ මොකද වැඩට ගියේ නැද්ද?...


"වැඩට ගියා.... ගාමිණී අයියලා අනුරාධපුරයේ ගියා කියල ආරංචි වුණා.... නිකමට ආවා ඔයත් ගිහින්ද බලන්න .... ඔහු ගෙට ගොඩ වී සාලේ පුටුවකින් වාඩි වුනේ අනවසරයෙන් මා දෙස අමුතු ලෙස බලමින්‍ය..


හෙට හමුවෙමු

*ප්‍රිසිලා ගොඩහේවා *

23 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page