top of page
  • Writer's picturePrisila Godahewa

💥ගිමන් හරිමි 💥

💥ගිමන් හරිමි💥

(21 වෙනි කොටස )

අය්යාව දින තුනකට පසු, ඉස්පිරිතාලෙන් ටිකට් කප්පවාගෙන අම්මා සහ මම ත්‍රීවීල් එකකින් ඔහුව ගෙදර එක්කගෙන ආවෙමු.


ඔහු අසනීපයකටවත්, පාදුක්කේ ගෙදර ඉන්න අකමැති උනත් , ඔහුට මේ අවස්තාවේ පාදුක්කේ ගෙදර ඇරෙන්න වෙන ඉන්න තැනක් නොතිබුනි. ඒ තනි අතින් ඔහුට ඔහුගේ වැඩ තනියම කරගන්න බැරි නිසයි.


"මම නම් පාදුක්කේ ගෙදර යන්න කැමති නෑ...අම්මයි නංගියි කියන නිසා යනව මිසක්..."

ලොකු අය්යා කවදාවත් පාදුක්කේ ගෙදර නවතින්න කැමති නැත. ඒ බාප්පා නිසා වන්නට ඇත. අම්මට වෙන කරන්න දෙයක් නැති නිසා මල්ලිලා හා මා සමග පාදුක්කේ නවතින්න ආවට, අය්යා බාප්පාට වැඩිය කැමති නැත.


"ඒ ගෙදර නොයා උඹ මාකට් එකේ බුදිය ගන්න යන්නයෑ...හොදට අත සනීප වෙනකම් කොහේවත් යන්න ඕනේ නෑ....මට පුලුවන් විදිහට මම උඹ බලාගන්නම්" අම්මා කිවාය.


"අය්යා දන්නවද නුගේගොඩ පල්ලියේ ෆාදර් අය්යව පල්ලියට එවන්න කියලා , එහෙ රස්සාවක් අය්යට හොයලා දෙන්නම් කියලා ....."


"අනේ මට ඔය පාදිලියො ගාව ගිහින් නැවතිලා ඉන්න බෑ...අත සනිප උනාම මම ආයෙත් මාකට් එකට යනවා..."


"උඹට පිස්සුද ..? තනි අතින් කොහොමද උඹ දැන් මුට්ට කරගහන්නේ....අත සනිප වෙනකම් උඹ ගෙදර හිටපං....ඊට පස්සේ මම උඹව පල්ලියට එක්කගෙන යනවා ...අඩුගානේ ඔය කුඩු ගහන එකවත් නවත්වලා ,මනුස්සයෙක් විදිහට වත් හැදෙන්න බැරියෑ...."


"බලමු.. බලමු...මම තාම ඉස්සරහට මොනවද කරන්නෙ කියලා හිතලා නෑ..."


අය්යා ඉස්පිරිතාලේ සිට ගෙදර ආ දිනට පසු දින මම නැවත නුවර ගියේ, පාදුක්කේ ගෙදර පස් හය දෙනෙක්ට නවතින්න ඉඩ මදි නිසාත් ...අම්මා සහ අය්යාගෙ කරච්චලයෙන් බේරෙන්න බැරි නිසාත්‍ය.


ලොකු අයියා ගැන කල්පනා කරමින් දුකෙන් ,මම නුවර සිට කොළඹ ආවා වගේම නැවත නුවර මාමලාගෙ ගෙදර ගියේද තනියෙන් මය.

මම පාදුක්කේ ගෙදර දවස් පහක් පමණ නැවති හිද නුවර ගියේ අය්යා ගැන දුකෙන් උනත්, සුමිත් හමුවන්න දකින්න ලැබෙන නිසා සතුටිනි. සුමිත් ,හිටිහැටියේ මට මොනව උනේද කියා නැන්දලාගෙන් දැනගන්න ඇති...ඔහු එදා මාව කසාද බදින්න කැමති යැයි කිව් ආකාරය තවමත් මගේ කන ඇතුලේ දෝංකාර දෙන ගානය.... ඔහු මාව කසාද බදින්න කැමති යැයි කීවත්, මට තවම වයස අවුරුදු දහඅට පිරි නැති නිසා, නීතියෙන් කසාද බදින්න තහනම්ලු...මට එය තේරුම් ගන්න අපහසුය. ජීවිතේ අනේක විද කරදර කම්කටොලු වලට මුහුන දී ඇති මම, මගේ වයසට වඩා පෙනුමෙන්, අත්දැකිමෙන් මෝරපු කෙල්ලෙක් වි ඇත. නමුත් මගේ වයස අනුව මට විවාහ වීමට නිතියෙන් අවසර නැති නිසා, මම තව අවුරුදු දෙකක් වත් විවාහ වීමට බලා සිටිය යුතුයි . නමුත් සුමිත් දැනහදුන ගත් මේ කාලය තුල මට ඔහු සමග එක වහලක් යටට යන්නට ඇත්තේ ලොකු ආශාවකි. අම්මා රට හිටිය කාලේ, මල්ලිලා බලාගෙන ,ගෙදර ඉවුම්පිහුම් කටයුතු සියල්ල කල මට, විවාහ දිවියකට ගිය දිනෙක ,ඒ වැඩ කටයුතු කිසි අපහසුවකින් තොරව කර ගැනිමට හැකි වනු ඇත. සුමිත් ගැන සිහිපත් වන හැම මොහොතකම මට ඔහු නැවත දකිනකම් සිහියක් නැත....ඔහු ගැන සිහි කරමින් මම කොළඹ සිට නුවර දක්වා තනියෙම බස් රතයේ ගියෙමි.


මම නුවර ගෙදරට කිට්ටු වෙනකොට, ගෙදර වත්තේ නැන්දා, හෙමිහිට ඇවිදමින් සිටිනවා මට දැක ගත හැකි විය. මම එනවා ඈතදීම දුටු නැන්දා සතුටින් උදම් වි, මගේ පෙර මගට හෙමිහිට පැමිනියාය.


"අප්පේ... දුලිකා දැක්කහම මට හරි සතුටු හිතුනා....ආයෙත් පුලුවන් ඉක්මනට , නුවර ආපු එක නම් හරි හොඳයි.... මේ දවස්වල මට එපා උනා. තනියම ගෙදර වැඩ කරගන්න ගිහින්...."


"කවුරුත් ආවේ නැද්ද නැන්දගෙ තනියට...?


" කවුරු ආවත්, උඹ ඉන්නව වගේ කොහේද...?

අද මාමාත් ගෙදර ඇත.


"කොහොමද දුලිකා අයියට...?. අත කපලලූ නේද? කොහේද ඉතිං කුඩුත් ගහන්න පටන් ඇරන් කියන්නේ.....අනේ මංදා, ඔය උඹලගෙ අම්මගෙ වැරදි නිසා කොල්ලෝ ටික නරක් උනේ...."

අයියා ගැන මාමා විස්තර දැනගෙනය.


"හෙට අනිද්දට මාත් යනවා ලොකු කොල්ලා බලල එන්න.... මං උඹත් එක්ක යන්න ආවේ නැත්තෙ දුලීකා ..., මේ නැන්දා ඉන්න තත්ත්වය නිසායි."


"මට තේරෙනවා මාමේ..."


මම අය්යා බලන්න කොළඹ ගොස් නැවත නුවර ඇවිත් සුමානයකට පසු දිනක... නැන්දාට රෑ හත අට වන විට විළිරුදාව හැදිනි. මාමා කලබලයෙන් ගෙවල් ලඟ කොල්ලකු අතේ සුමිත්ට පණිවිඩයක් යැව්වේ වාහනයක් රැගෙන එන ලෙස කියායි....


සුමිත් වැඩි වේලාවක් නොගිහින් එළවලූ මුදලාලිගෙ ත‍්‍රීවීල් එක පදවාගෙන විත් අපේ ගේ දොරකඩින් නැවැත්වීය. ඒ වනවිට මාත්, නැන්දාත් මාමාත් ඉස්පිරිතාලයට යන්නට ලෑස්ති වී සිටියෙමු. නැන්දා කෙදිරිගාමින්‍ අඩමින් හිදී....අප තිදෙනා නැන්දාව රැගෙන ඉස්පිරිතාලය වෙත ගියෙ ඇගේ කෑගැසීම් කෙදිරිගෑම් මැද කලබලේමය.


"අනේ සාමෝ....දැන් ඉස්පිරිතාලේට යන්න ලගයි....ඉවසගෙන හිටපං....තව ටිකයි..."


මාමා නැන්දාගේ කරවට අතක් දමාගෙන ඇයට ආදරෙන් කතා කරයි...


ඉස්පිරිතාලෙට ගිය සැනින් නැන්දාව ප‍්‍රසුතිකාගාරය තුළට ගත්තා ය. මාත්, මාමාත්, සුමිතුත් නැන්දාගෙ විස්තර දැන ගැනීමට ඉස්පිරිතාලේ කොරිඩෝවේ වාඩි වී සිටියෙමු. මාමා කතා බහක් නැතුව බයෙන් හිදී. නැන්දාගෙ තත්ත්වය අමාරු ද කියා මටත් දැන් බයක් දැනේ....


මාත් සුමිතුත් කොරිඩෝවේ වෙන වෙන දේවල් ගැන කතා කරමින් සිටියෙ මාමාගෙ බය නැතිවෙන්නත් එක්කය. ගොඩක් රෑ වේගෙන එනවිට සුමිත් ගිහින් අපට බනිසුයි කිරි පැකට් තුනකුත් ගෙනාවේ අපි රෑට කෑම කා නොසිටිය නිසා වන්නට ඇත. එදින රාත්‍රීයේ අපට කෑම කන්නට බැරි වුන බව සිහි වූයේ එවෙලේය.


"මාමේ මං ඉස්පිරිතාලේ රෑට ඉන්නම්.... තව ගැහැණු අයත් ඉන්නවානේ මෙතන ... මාමා සුමිත් එක්ක යන්න දැන් සිකුරිටි කාරයා දෙපාරක්ම මතක් කළානේ පිරිමි අයට මෙතන ඉන්න බෑ කියලා...."


"ඒක තමයි දුලිකා මාත් කල්පනා කළේ අපි එහෙනම් යන්නම්ද...? තව හිටියොත් සිකුරිටි කාරයාගෙන් බැනුම් අහන්න වෙනවා....හෙට උදේම මං එන්නම්කෝ නැන්දව බලන්න."


මාමා මට සමහර වෙලාවට නම කියා කතා කරයි. සමහර වේලාවට දුවේ කියයි. සමහර වෙලවට කෙල්ලේ කියාද කතා කරයි. ඔහුට මා ඔහුගේ ගෙදර නතර වී සිටීම ලොකු පහසුවකි. ඔවුන්ට මම තරම් විශ්වාස වන්තයකු තව නැති තරම්‍ය.


මම , මාමාත්, සුමිතුත් රෑ ගෙදර ගිය පසු ඉස්පිරිතාලේ වැරැන්ඩාවට වෙලා බලා සිටියේ නැන්දාව කොයි වෙලේ ප්‍රසූතිකාගාරයෙන්, එලියට ගෙනේවිදැයි සැකයෙනි. මා නිදි කිරා වැටෙමින් කොරිඩෝවේ බංකුවේ වාඩි වී සිටියේ තව ගැහැණුන් දෙදෙනෙකු සමඟ ය.


"සාමා ගුණරත්නගෙ නෑදෑයෝ කවුද මෙතන ඉන්නේ...?"


ට්‍රොලියකින් කාවද තල්ලූ කරමින් පැමිණි ඇටන්ඩෙන්ලා දෙදෙනෙක් ඇසුවේ සද්දෙනි.... ඒ වන විට මට බංකුව උඩ ඇස් පියවෙන්න ලං වී තිබූ පාන්දර ජාමය වි තිබුනි.


"මේ... මේ... මම..... මම විගහට නැගිට ට්‍රොලි ඇඳ ලඟට ගියෙමි. නැන්දා ඇඳේ නිදා හිදියි. ඇය සුදු රෙද්දකින් පොරවා ඇගේ කකුල් දෙක මැද කොළ පාට රෙද්දකින් ඔතාපු පුංචි දරුවෙක් තියා තිබුණි. නැන්දාට නින්ද ගොස් ඇත. ඇගේ පුංචි දරුවා ද උන්ඩි වී හොඳින් ඔතා ඇති රෙද්ද තුළ ඇස් පියාන නිදිය.


""අනේ නර්ස් නෝනා දුවෙක් ද, පුතෙක් ද නැන්දට අමාරුවක් එහෙම නෑ නේද? මං බයෙන් සැකෙන් මෙන් ඇගෙන් ඇසීමි.


"නෑ... නෑ... මොන අමාරුවක්ද ඔය ඉන්නෙ.... ළමයි හම්බවෙන එක ලෙඩැක්යැ.... ඔය ඉන්නේ යස කොලූ පැටියෙක්..."


නිදි මරාන රෑ තිස්සෙ වැඩ කරන ඉස්පිරිතාලේ සේවකයින්ට, වචනයක් කතා කරත් කේන්ති යන ගානය. අහන ප‍්‍රශ්නයට උත්තරය නොරිස්සුමෙන් මෙන් දෙයි.


" මේ අම්මාව වාට්ටුවට ගෙනියනවා.... ඔය ළමයත් එනවනම් එන්න....."


මා දඩි බිඩි ගා නැන්දාගේ හා දරුවාගේ ඇඳුම් බෑගයත් ඔසවා ගෙන ට්‍රොලි ඇඳ පසු පස ගියෙමි.


පසුදින උදේ හයට මාමා කළබලේ ඉස්පිරිතාලේට ආවේ නැන්දත් දරුවත් බැලීමටය. අලුත ඉපදුන ඔහුගෙ දරුවා දැක මාමා සතුටින් හිදියි. නැන්දාට කියන්න තරම් ලොකු අමාරුවක් නොතිබුන නිසා, පසුදින ටිකට් කපන බව කිවේ නර්ස් නෝනා කෙනෙක්‍ය.


දිනකට පසු ඉස්පිරිතාලේන් නැන්දාගෙ ටිකට් කපා ගෙදර එක්ක යන්න කීවේ ඇයට ලොකු අමාරුවක් නැති නිසාය. ඇයව ඉස්පිතාලෙන් ගෙනයාමට මාමා සමග පැමිණ සිටියේ සුමිත් ය. මාමා ඉස්පිරිතාලේ නැන්දාගෙ, ටිකට් කපන වැඩ කර එනතෙක් අප දෙදෙනා කතා කරමින් සිටියෙමු.


"ඉතිං කොහොමද දුලීකා , මහන්සි ද දවස් දෙකක් ඉස්පිරිතාලෙ ඉදන් නැන්දට තනි රැක්කට....? සුමිත් දුකෙන් මෙන් අසයි.


"මහන්සියක් නම් නෑ නිදිමතයි.... ඉස්පිරිතාලේ නැන්දගෙ ඇඳ ලඟ පුටුවක් තියාගෙන වාඩි වෙලා හිටියා මිස නිදාගන්න හම්බ වුණේම නෑනේ....."


නැන්දා ගෙදර එක්ක ආපසු, ඇයගේ මවත් දරුවා බලා ගැනිමට මාමලාගේ ගෙදර විත් නැවතුනාය.


නමුත් නැන්දා ගෙදර ආපසු ඇයගෙ සියලූ වැඩ රාජකාරි හා දරුවාගෙ රෙදි සෝදන වැඩ මා අතින්ම සිදු විය. ගෙදර සිටි කාලයේ අම්මා, මල්ලිලා හම්බ වෙලා ගෙදර ආ විට ඇයට උපස්ථාන කරමින් බලා ගත් විදිහ මට හොඳට පුරුදුය.

දරුවා වඩා ගෙන හෝදා කිරි බොන්නට නැන්දා අතට දෙන්නේ නැන්දාගේ අම්මයි. අනෙක් ගෙදර සියලු වැඩ මා අතින් සිදුවීම නිසා මා හට විවේකයක් නැති තරම්‍ය. මේ දිනවල නැන්දාගෙ අම්මා ගෙදර ඇවිත් නැවති සිටියත් ගෙදර බොහො වැඩ සිද්ද වුනේ මා අතිනි. ඇය මේ ගෙදරට ආපසු මට තව වැඩ වැඩිවුන ගානය.


"හෙට අනිද්දා දිහාට අපේ අම්මා ගෙදර ගිහාම දුලිකාට තව වැඩ වැඩි වෙයි. මම ඒ වෙනුවට දුලීකට සල්ලි ටිකක් දෙන්නම්කෝ.....


"අනේ ඕන නෑ නැන්දේ...මම මේවා කරන්නෙ සතුටින් ..."


"දුලිකා මෙහේ නැවතිලා ඉන්න එක මට ලොකු උදව්වක් ...මාමත් ඒක නිතර කියනවා..."


නැන්දාට දරුවා ලැබී මාස තුනක් ගෙවි ගියේ හරි ඉක්මනටය. උදේ පාන්දර නැගිට ගෙදර වැඩ, උයන පිහන වැඩ ,දරුවගෙ වැඩ සියල්ල කරන මම වෙලාවක් ලැබෙන ලෙස එළවළු කොටුවටද යන්නෙමි. වෙලාව ලැබෙන ලෙස හැමදවසකම මම සුමිත් මුණගැසි කතා කිරීමටද අමතක නොකරමි. දවසින් දවස අප දෙදෙනාගේ හිත් වල ආදරය ලියලා වැඩෙමින් තිබුනි.


හෙට හමුවෙමු

*ප්‍රිසිලා ගොඩහේවා *

2 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page