top of page
  • Writer's picturePrisila Godahewa

💥ගිමන් හරිමි💥

(දෙවන කොටස 2)

🍁🍁🍁🍁🍁🍁

"ලොකු දුවේ උඹ ඉස්කෝලෙ ගියාම මට දැන් මේ මල්ලිලා දෙන්නා බලාගන්න අමාරුයි.... උඹ ඉස්කෝලේ නොගිහින් ගෙදර ඉඳපං.... මට මේ පාර මේ ළමයා හම්බවෙන්න ආව දවසේ ඉඳන් ඇඟට හරි අමාරුයි…."


"මටත් දැන් මේ අඩුපාඩු එක්ක ඉස්කෝලේ ගිහින් ඇතිවෙලා තියෙන්නේ අම්මේ..…"


අම්මා කියන පරක්කුවෙන් මම පාසැල් යෑම නවත්වා ගෙදර හිදින්නට තීරණය කලෙමි. මගේ පාසැල් ගමන අම්මා නැවත්වීම ගැන තාත්තාට කිසි ගානක් නොවිය. කවදාවත් පාසැල් ගොස් නොතිබුනු තාත්තාට අපි පාසැල් ගියත්, නොගියත් වෙනසක් නොවිය. අම්මාගේ වැඩ පල කර දී, මල්ලිලා බලාගෙන ගෙදර හැමෝටම කෑමබීම හදන්න, ගෙදර සියලු වැඩ මම කරන්න පටන් ගත්තේ පාසැල් නොගොස් ගෙදර නතර වීමත් සමගය.


ගෙදර සියලු වැඩ කරන මට, මගෙ අතින් පොඩ්ඩ බැරිවුන විට, මට තඩි බාන්නටද අම්මා අමතක නොකරයි…..අහල පහල මිනිසුන් ගෙට රිංගන්න එන කල, අම්මා මා නිතර කඩපලට හෝ එළවළු ගේන්න හවසට පොළට යවයි.... පොළට ගොස් එළවළු ගේන්න යැයි රුපියල් විස්සක් තිහක් දී, මට එයින් එළවළු ගේන්න කීවත් එයින් හොද එළවළු ගන්න පුලුවන් කමක් නැත. ....හවස් වරුවට එළවළු වේලෙන්දො ඉතිරි වී විකුනන තැලි පොඩිවුන එළවලු ගොඩවල් මම සත විසිපහට පනහට මිලදී ගෙන බෑගය පුරවා ගෙන ගෙදර යන්නෙ ගාට ගාමින්‍ය. මගේ වයසට මම කරන වැඩ තොගය ගැන කැක්කුමක් ඇත්තේ ලැයිමේ අනිත් ගැහැනුන්ට විතරය.


හරියට අදින්න ඇදුමක් , දාන්න සෙරෙප්පු දෙකක් නැති මම, පොළේ බඩු ගේන්න යන හැම දවසකම වගේ... මගේ බාටා සෙරෙප්පු දෙක කැඩී යයි. එවිට මම කැඩුනු සෙරෙප්පු දෙක බෑගය තුලට දමා මඩ ගොඩේ ඇවිද යමින් එළවළු ගොඩවල් එකතු කරගෙන ගෙදර යන්නෙමි…..අම්මාට එදාට නම් සතුටුය. මම අරපිරිමැස්මෙන් සල්ලි ඉතුරු කරගෙන බඩුමුට්ටු ගේන නිසා අම්මා මා නිතර තනියම පොලේ යවයි...මම ගෙදර අය වෙනුවෙන් කංකෙදිරි නොගා අම්මා කියන ඕන වැඩක් කරන්නෙමි . විටක මම අම්මාගේ දරුවෙක් නොවේද කියලා හිතෙන තරමට, අම්මා මගෙන් වැඩ ගන්නේ මට වදදී ගෙනය.


අම්මා නැවත ගැබ් ගත් පසු,

මම මල්ලිලා දෙන්නා බලාගෙන ගෙදර උයන පිහන වැඩ සියල්ල තනියම කරන්න පටන් ගත්තෙමි .....අම්මා බඩකුත් උස්සාගෙන අපහසුවෙන් ඉන්නා නිසා මට ඇය ගැන ඇත්තේ දුකකි.... එසේ නොවුනත් මට ගෙදර වැඩ සියල්ල කරන්න අම්මා පවරා ඇත. ඇයට ඇති බයට මම ගෙදර සියලු වැඩ කර, පයිප්පය ලගට ගොස් ගෙදර සැමගේ රෙදිද සොදන්නෙමි. පාසැල් නොගොස් ගෙදර ඉදගෙන ගෙදර සියලු වැඩ කරන මට අනුකම්පා කරන්නේ අහල පහල ලැයිමේ ඉන්නා ගැහැනුන් පමණය. ඔවුන් අම්මාට දෙස් වෙවොල් තබමින් පයිප්ප ලගට රෙදි හෝදන්න ගිය කල මට වතුර බාල්දි පුරවා දෙයි. එහෙම නැත්නම් පිං ලිදට නාන්න ගිය කල මට වතුර ඇද දෙයි....


"අර ගෑනි ..කුමාරි හාමි වගේ ගෙදර ඉදගෙන මේ පොඩි කෙල්ලගෙන් වැඩ ගන්න හැටි…."


"මේකි කොයි වෙලෙත් පාරෙමයි...ඇයි ඉතිං මේකි ගෙදර හිටියම ඒකිට ජවුසං නටන්න බෑනේ...වටේම ඉන්න ගෙවල්වල මිනිස්සුන්, ඒකි සුද්ද කරනවා….ඕවා ඔක්කොම මිනිහා දන්න නිසයි හැමදාම රෑට ගාල ගොට්ටිය...පව් මේ පොඩි උන්…"


පයිප්පය ලඟ ගෑනු මම ලග හිටියා කියා ගානක් නැතුව අම්මාට බනී…


"කෝ බං කෙල්ලේ උඹලැයි ලොකු අය්යා...ඌව අපි කාලෙකින් දැක්කෙම නෑ.."


"අය්යා.... එළවළු මාකට් එකේ මුදලාලි කෙනෙක් ලග වැඩ…"


"ඌ ගෙදර එන්නෙ නැද්ද …?


"ගෙදර ආවත් නිදාගන්න තැනක් නැති නිසයි..., අම්මගෙ තාත්තාගෙ රංඩු අහන් ඉන්න බැරි නිසයි....අය්යා, මාකට් එකේ එළවළු කඩය ඇතුලේ හරි එළියෙ හරි නිදිය ගන්නවලු…


"අනේ පව් ලොකු කොල්ලා .....ළමයි හදනවට හදලා, වදලා.... මුං පොඩි උන්ට දුක් දෙන හැටි....…"


තාත්තා ,වැඩ ඇරි කටගොන්නක් බීගෙන ගෙදර ආ දවසට අම්මා තාත්තාට බනින්නේ, අය්යා මතක් කරමින්‍ අඩ අඩාය.


"ලොකු එකා මාකට් එකේ වැඩ කරලා ,කීයක් හරි හොයාගෙන, මට කීයක් හරි අතමිට මොලවලා යන හින්දා මේ පොඩි උන්ට මොනව හරි මම රත් කරලා දෙනවා….තමුසේ කට ගොන්නක් බීගෙන ඇවිත් මට වද දෙනවා…..ඒ කොල්ලා නැත්නම් මේ පොඩි උන් මැරුණ තැන් වල ගසුත් පැලවෙලා...."


ගෙදර අඟහිඟ කම් නිසා පාසැල් ගමන නතර කල මට වැඩිමල් අවුරුදු පහළොවක් පමණ වයස ඇති ලොකු අයියා, කොළඹ මාකට්ටුවේ, මුට්ටා කර ගසා දැන් දැන් කීයක් හරි උපයා ගෙන ගෙදර එන බව දැන් ලැයිමේ කවුරුත් දන්නා කරුණක් වි ඇත….ගෙදර අඟහිඟ කම් නිසා අය්යා ගෙදර නොයා එවැනි වැඩ කරන බව අම්මා තාත්තාට කියමින් නිතර අඩයි.


මුට්ට කරගැසීමට අමතරව ඔහු දැන් මාර්කට් එකේ පික් පොකට් ගසන්නටද පටන් ගෙන ඇති බව අපට දැන ගන්නට ලැබුනේ ලැයිමේ, සොපි අක්කගෙනි.

සල්ලි හොරකම් කරන ඒවාට අමතරව අය්යා, කාගේ හෝ ගෙදරක හොද ඇදුමක් හෝදා වැලේ දමා තිබෙන වෙලාවට පවා, ඒවා හොරකම් කරන බවද ලැයිමේ උන් කියන්නේ අම්මාට බැන වදිමින්‍ ය....


නමුත් අම්මා ඔහුට කිසි දින ඒවාට බනින්නේ වත් දඩුවම් කරන්නේවත් නැත. අම්මා ඔහු මාකට් එකේ කිනම් රැකියාවක් කරයි කියාද කිසි දින අසන්නේද නැත....මාකට් එකේ රෑට නැවති සිටින අය්යා,

දිනකට දෙකකට සැරයක් ගෙදර ගෙනෙන මාකට්ටුවේ තැලිලා පොඩිවුන එළවලූ අපට තම්බා රත් කර දෙන අම්මා අයියාට පිං දෙයි....


"උඹගෙ වයසට නෙමේ ලොකු පුතේ උඹ මහන්සි වෙන්නෙ.... උඹ නැත්නම් මේ පොඩිවුන් මැරුණ තැන්වල ගසුත් පැලවෙලා…."


අම්මා කියන්නේ අය්යා ගෙදර ආ දවසටය. අය්යා දැන් රෑට ගෙදර නවතින්නේම නැත. අම්මාට බඩු මල්ල දි නැවත එළවළු කඩයට යන බව පවසා ගෙදරින් යයි….


රෑට කටගොන්නක් බී ගෙන ගෙදර එන තාත්තා, අම්මා සමග රංඩු කර, පසුව අම්මා රත් කර ඇති දෙයක් ගිලාබාන්නෙ කිසි දෙයක් උනේ නැති ගානටය.... එවෙලෙට අම්මා, තාත්තට බැන වදින්නේ ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු ගන්න සල්ලි නොදෙන බව කියමින්‍ය. තාත්තා ඉඳහිට මුදලක් ගෙන විත් අම්මා අතට දුන් දිනට අම්මා තාත්තාට හොඳින් සලකයි.... හොඳින් කතා කරයි. නිතර ම අඬදඹර කරගන්නා අම්මා හා තාත්තා ඉඳහිට හෝ හොඳින් කතා බහ කරමින් ඉන්නවා දැකීම පුංචි අපගෙ සිතට ද සතුටක් ඇති කරයි.


කටගොන්නක් බීගෙන එන තාත්තා ගේපුරා වපුරමින්, බත් කන්නේ පුංච් අපි තැන් තැන්වල හැංගි බලා ඉදියදිය.


"කුසුමා ඔය ළමයි ටිකට නිදියන්න කියපං…. රෑට අම්මා හො මම රත් කර ඇති දෙයක් කා කුස පුරවාගත් සැනින් ඔහු අම්මාට අණ කරන්නෙ අපව නිදියන්න යවන්නටය.. …


"කෙල්ලේ තාත්තට කේන්ති ගිහින් ඉන්නේ..ඔය මල්ලිලා එක්ක උඹ පැදුර එලාගෙන ඉක්මනට අර මුල්ලේ නිදිය ගනින්....දැන් රෑ උනා...."


අම්මා අපට කුප්පි ලාම්පුව නිවන්නට ඇතැයි පවසමින් ඇයද නිදාගන්නට යයි….


මුඩුක්කු පේළියේ තනි කාමරය හා කුස්සි කෑල්ලක් පමණක් ඇති මේ නිවසේ අප සියල්ලෝ ම නිදාගන්නෙ එකම කාමරයේ එක ගොඩේ එකට වැටිය.... බිම එළා ගන්නා ඉරුණු පැදුර උඩ, කඩමලූ රෙදි පොරවා ගෙන අප සියල්ලෝ ම නිදාගන්නට ගිය සැනින් අම්මා කුප්පි ලාම්පුව නිවා දමයි.


මම මල්ලිලා දෙන්න මගේ දෙපැත්තෙන් නිදි කරවා ගෙන ඔවුන් තුරුල් කරගෙන නිදියමි.

නිදියන්න ගියද ඇස් දෙක පියවෙන්න කලින් අපට

ඇසෙන්නේ අම්මා හා තාත්තාගෙ කේන්තියෙන් කරන කුසු කුසුවයි. අම්මා නෝක්කාඩු ලෙසින් ඇය අසල නිදා සිටින තාත්තාට හෙමිහිට බැන වදියි.... පසුව බැන වැදීම නතර කර ඔවුන් දෙදෙනා එකට පොරවන රෙද්ද ඇතුලේ දඟලනු, පාරේ ලයිට් කනු එළියෙන් අපට පෙනේ....ඒවා දකින විට මා නොදැක්කා සේ අනිත් පැත්ත හැරී නිදියන්නේ මා ද දැන් වැඩිහිටි ගැහැණු දරුවෙකු බැවින් ය.


හැම රාත්‍රීයකම මේ ගේ ඇතුලේ සිද්ද වෙන දේ පුංච් අපට අහලා දැකලා දැන් හොදට පුරුදුය....ඒවා අපට දැන් ගානක් නැත.


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

11 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page