top of page
  • Writer's picturePrisila Godahewa

💥ගිමන් හරිමි💥

💥ගිමන් හරිමි💥

(18 වන කොටස )

මාමලාගේ එළවළු කොටු වල, පළදාව නෙළන දවසට , ඒ ගෙදර උදේට ඇත්තේ විශාල කළබලයකී. ගමේ මිනිසුන් දහ පහලොස් දෙනෙක් ඒ වැඩ සදහා උදේ පාන්දරින් මාමලාගෙ ගෙදරට එක් රොස් වෙන්නේ, ඒ වැඩ කටයුතු වලට කුළියට වැඩ කිරිමටයි.


ඒ එන කූළී කරුවන්ට උදේ තේ හා දවල් කෑම මම සෑදිය යුතු නිසා, උදේ වරුවට මමත් බොහෝ කාර්‍ය්බහුල වෙයි.


උදේ රැයින් මාමලාගේ එළවළු කොටුවට රැස් වෙන, ගමේ කුළී කාරයො... කැරට්, ගොවා, රාබු, ලීක්ස්, බෝංච් අස්වැන්න නෙළීම ආරංභ කරයි.


ඔවුන් හැමෝටම කළින්, මාමා බුදුන් වැද එළවළු කොටුවට ගොස් පළවෙනි අස්වැන්න නෙලීම කරන්නේද එම පැල වලට වැද නමස්කාර කරයින් පසුය. ඉන් පසු කූළී කරුවන් එම අස්වැන්න නෙළීම ආරංභ කරයි.


ඔවුන් උදේ රැයින් අස්වැන්න නෙළිම ආරංභ කරන්නේ......දහවල් වෙන්න ඉස්සර , එළවළු ටික මාකට් එකට යවා ගන්නයි....සමහර දිනට ඊට පෙර දින කැරට් බිට්, වැනි අල වර්ග, ගලවා සෝදා ලෑස්ති කරද තබයි.


"මේ...කොල්ලනේ දැන් මොකද වෙන්නේ...තව ටිකකින් ටැක්ටරය එනවා...බඩු ලෑස්තිද ..?


"හරි.. හරි. ගාමිණි අය්යා මේ ලීක්ස් ටික ගලවලා ඉවරයි.. ..මේ ගෝනි වලට පටවන ගමන් අපි ඉන්නේ...තව ටිකකින් ගෝවා ගලවනවා...ගෝවා ටික තමයි පොඩි කර ගන්නේ නැතිව ටැක්ටරයට පටව ගන්න ඕනේ...."


"ඔය කවුරුත් උදේට තේ ටික බීලා හිටියනම්...මේ පාන් පරිප්පුත් කන්න තියෙනවා...."


"වැඩේ ඉවරවෙලාම කන්න පුලුවන් ගාමිණි මල්ලී....තේ කහට ටිකක් විතරක් බිව්වහම මදෑ....


"හොද වෙලාවට ඊයේ කැරට්, බීට් ගලවලා, හෝදලා ගෝනි වලට අසුරලා තියා ගත්ත එක..."


"ඔව්...ඒ එළවළු ඉක්මනට වේලෙන්නේ නෑනේ ..."


"අන්න...අන්න...තොග කඩේ මුදළාලිගේ ටැක්ටරය එනවා...අයින් වෙයල්ලා....බඩු ටික තව ලගට ගෙනත් තියපං...කිරලා ටැක්ටරයට පටව ගන්න ඕනේ....ඉක්මන් කරපල්ලා බං...."


"කෝ සාමා අක්කා...අක්කා තමයි ගනන් හිලව් බලන්නේ....කෝ තරාදිය ලෑස්තිද ....තව ගෝනි මළු ටිකක් මෙහෙට ගෙනාවනම්...?


"අප්පේ සාමා අක්කට දරුවා කොයි වෙලේ ලැබෙයිද දන්නෑ...හරිම අමාරුවෙන් නෙව ඉන්නේ..."


"ඒක තමයි බඩත් උස්සාගෙන එහෙට මෙහෙට කළබලේට යන කොට මට නම් බයේ බෑ...


"හරි හරි..අයින් වෙයල්ලා...ටැක්ටරය මෙතනින් හරව ගන්න හදන්නේ...."


එළවළු වත්තේ ඉදගෙන කට්ටියක් එළවළු ගලවන අතර, කට්ටියක් ඒවා පිරිසිදු කර ගෝනි වලට පටවයි...තව අය ඒ ගෝනි එළවළු කොටුවේ සිට ටැක්ටරය ලගට ගෙන එයි. තව දෙදෙනෙක් එළවළු ගෝනී ටැක්ටරයට පටවන්න බලා හිදී.....


දෙදෙනෙකු එළවළු ගෝනී වල බර කිරන අතර,නැන්දා, පොතක් අතේ තියාන, පටවන එළවළු ගෝනි වල බර පොතේ ලියා ගනියි.....


අස්වැන්න නෙලන දවසට ඒවා ගෙනයාමට තොග කඩේ මුදලාලිගෙ පොඩි අත් ට‍්‍රැක්ටරයක් මාමලාගෙ ගෙදරට පැමිණේ.... ඒ එළවළු ගොවීන්ගෙන් එළවලූ මිල දී ගන්නා, අතරමැදි මුදලාලි කෙනෙකුගෙ ටැක්ටරයක් වේ....


ට‍්‍රැක්ටරය පැමිණෙන්න ප‍්‍රථම එළවලූ හා පළතුරු ගෝනිවලට දමා බර කිරයි. පසුව බර අනුව ගණන් බලා ඒවා ට‍්‍රැක්ටරයට බාර දෙන්නෙ බාප්පා ය. නැන්දාද අපහසුවෙන් විත්, පොතේ එළවළු වල බර, ගාන ලියා ගනුදෙනු බේරන තෙක් බලා හිදියි...


සියලූ ගනුදෙනු අහවර වුණු පසු මුදලාලි දෙන මුදල් මාමා අතට නොගෙන, නැන්දාගේ අතට ගන්නට දෙයි..... නැන්දාට එළවලූ වෙළඳාම ගැන හොඳ වැටහීමක් ඇත. ඒ ඔවුන්ගේ පවුලේ රැකියාවක් නිසා වන්නට ඇත.


"මුදලාලි කැරට්වලට තව ටිකක් ගාන වැඩි කරල දුන්නොත් තමයි හොඳ ? මේ දවස්වල කැරට් රත්තරං වගේ ගණන්නේ...."


"ඒ උනාට, මුදළාලි නෝනා, අපිත් මාකට්ටුවට එළවළු ගෙනිහින් දානකොට, එළවලූ විකුණන අයටත් ටිකක් ගාන අඩු කරල දෙන්න එපෑ ...."


"අපටත් පාඩුයි පෝරවලටයි, වැඩ කරන අයට පඩි බේරුවාම ඇති දෙයක් නෑ....පේනවානේ අපේ මේ කොටුවෙ වැඩ කරන කට්ටිය ...මේ ඔක්කොටම අපි පඩි දෙන්නත් එපෑ..."


"මොනව කරන්නද අක්කා...අපිත් බිස්නස් එකක්නේ කරන්නේ..."


"හා... හා... හරි..හරි කේවල් නොකර... එහෙනම් හිත හොඳින් බඩු ටික ඇරගෙන යන්න දෙන්න ......."


මාමා කතාව වෙනස් කරමින් ට‍්‍රැක්ටරය පදවන කොළුවාට , ටැක්ටරය පණ ගන්වන්නට කියයි.


ට‍්‍රැක්ටරය පදවන්නෙ උස තලේළු කොන්ඩේ බොකුටු ලස්සන කොල්ලෙකි.... මීට ප්‍රතම එක වරක් මම ඈතට, ඔහු දැක තිබුනි. අද තමයි මම ඔහුව හරියටම ලගට දුටුවේ.....අවුරුදු විසි දෙකක් පමණ ඇති ඔහු ඩෙනිම් කළිසමක් හා තද පාට ටී ශර්ට් ඇද ඔළුවේ කැප් එකක් දමාගෙන හිදියි. ඔහුගේ අතේ පාට පාට රබර් පටි ගොඩකි.....ඔහු වාහනයක් එළවන නිසා වන්නට ඇති, ටිකක් ආඩම්බර පාටට අනෙක් කුළී කරුවන් මායිම් නොකර හිදින්නේ.....


ඔහු ට‍්‍රැක්ටරයට බඩු පටවන ගමන්, ඒවාට උදව් කරමින් මා දෙස සැරෙන් සැරේ හොරෙන් බලයි.... ඒ අතරේ අනෙක් අයට නොපෙනෙන්නට කට කොනෙන් බාගෙට හිනාද වෙයි....ඇස් දෙකේ ඇත්තේ මණමාල බැල්මකී.... මේ අලූත් කෙනා කවුද කියල අසන්න වගෙ ඔහු මා දෙස නිතර බලයි.....මගේ ඇස්ද ඔහු වෙතටම නිතර දුවයි....නුවර ආවාට පසු මම දැකපු ලස්සනම කඩවසම් කොල්ලෙක් ඔහු.....


"නංගි අලූතෙන්ද මේ ගාමිණී අයියලගෙ එළවළු වත්තේ වැඩට ආවේ...."


" නෑ...ටික දවසක් වෙනවා..."


"ඒක තමයි මම මීට ඉස්සර දැකලම නෑ...

නංගිලාගෙ ගෙවල් කොහේද...?මේ ගමේ වෙන්න නම් බෑ ......"


"නෑ අපි කොළඹ ...

ගාමිණී මාමා අපේ අම්මගෙ මල්ලි......"


"ඒක තමයි මම මේ නංගිව අදමයි හරියට දැක්කේ...ශා...මාර ලුක් එකක්නේ ඔයාට තියෙන්නේ...හරියට හින්දි නිළියක් වගේ....?


"අනේ යන්ඩ අය්යා...මට විහිලු නොකර...."


"විහිළු නෙමේ...නංගි, මේ නිවාඩුවකට ගාමිණි අය්යලාගෙ ගෙදර ආවද...?


"මම මේ නැන්දගෙ තනියට ආවේ...දැන් නැන්දට බබා හම්බ වෙන්න ලගයිනේ..."


"ආ....ඒහෙමද...? ඒක තමයි මම මීට ඉස්සර නංගිව දැකලා නැත්තෙ.....ඇස්වහක් කටවහක් නෑ....නංගී හරි හැඩයිනේ ....ගාමිණී අයියට මෙච්චර ලස්සන නෑදෑ දුවෙක් ඉන්නව කියල මං දැනගෙන හිටියේ නෑනේ...."


"මොනවද සුමිත් ...උඹ ඔය කෙල්ලත් එක්ක කුටු කුටු ගාන්නේ.....මේ බඩු ටික ඉක්මනට ටැක්ටරයට පටව ගනින්....නැත්නම් පොළට ගෙනියන්න පරක්කු උනා කියලා මුදළාලි දොස් තියයි...."


මාමා අප දෙසට එනවිට, මම ඔහු මඟ හැර නැන්දා වෙත ගියෙමි.


ට‍්‍රැක්ටරය එළවන ඔහුගෙ නම සුමිත්ලු.... වයස අවුරුදු විසිදෙකක් පමණ වන ඔහු පාසැලෙන් අස් වු කාලයේ පටන්, එළවලූ මුදලාලිගෙ අත් ට‍්‍රැක්ටරය එළවන බව කීවේ නැන්දයි. ගමේ අනෙක් කොල්ලන්ට වඩා ජැන්ඩ් පහට ඉන්නා ඔහු දෙස මට දෙපාරක් හැරි බලන්න හිතෙයි. ඔහු දුටු පසු මගේ හිත අමුතුම හැගීමකින් පිරි යන්නට පටන් ගෙන ඇත... ඔහුගේ බොකුටු කොන්ඩය, දිලිසෙන ඇස් නිතරම සිනා සෙමින් සිටින කඩවසම් ඔහුට, මේ ගමේ කෙල්ලන් වහ වැටි ඇති බව කිව්වේ සාමා නැන්දාමයි.


ඉන් පසු ගෙවුනු දින දෙක තුනම නැන්දලාගේ එළවළු වත්තේ එලවළු ගෙනියන්න ඔහු ටැක්ටරයෙන් ආවේය. ඒ ආ විට, මට ඔහු සමග වචන දෙක තුනක්ම කතා කිරීමට හැකි විය. ඔහුගේ දිලිසෙන දෑස් මා දෙසට යොමු වන හැම දිනකම මගේ හිත අමුතු සතුටකින් පිරි ඉතිරි යන්නට විය.


ඔහු එළවළු ගෙනියන්න එන දිනට වගේම මාමා හම්බවෙන්න ගෙදරට එන හැම දිනකම, මම හොද ගවුමක් ඇද කොන්ඩය පිලිවෙලට පිරා ඔහුට පේන්න වත්තේ, ගෙයි එහෙ මෙහේ යන්නට පටන් ගන්නට අමතක නොකරමි.


"ආ...දුලීකා නංගි කොහොමද ...? නංගි මට වතුර එකක් දෙන්න පුළුවන්ද ...හරි තිබහයි ...."


"අය්යට මම තේ එකක් හදල ගේන්නද...?


"ඒහෙනම් කොච්චර දෙයක්ද...මාත් මේ තේ තිබහයින් හිටියේ..."


"දුලීකා...සුමිත්ට තේ හදනවා නම් මටත් එකක් ගේන්න..."


මේ කාලය එළවළු අස්වැන්න නෙලන කාලය නිසා, ඔහු නිතර අපේ ගෙදරට .. ටැක්ටරයෙන් එයි.... අපේ ගෙදරට එන ඔහු, මිනිස්සුන් එලවළු ගෝනි ටැක්ටරයට පටවන කම් මා සමග කතාවට එයි...ඇස් වලින් ඉගි කරයි, හිනාවෙයි....මාව ඔහු වෙත ඇද ගන්නට ඔහු නොකරන දෙයක් නැත...


දැන් දැන් හැම දිනකම මම ඔහු දැක ගැනීමට බලා ඉන්නේ නොවිසිල්ලෙනි. මගේ හිත දැන් අමුතු හැගීම ගොන්නකින් පිරි ඉතිරි යයි. මම දැන් අමුතුම, අලුත් කෙනෙකු වී ඇති ගානය. මගේ හිත, ඇස් නිතරම ඔහු දකිනු රිසින් පෙර මග බලා හිදී....


-සදුදාට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

4 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page