top of page
  • Writer's picturePrisila Godahewa

💥ගිමන් හරිමි💥

💥💥ගිමන් හරිමි💥💥

(15 වෙනි කොටස)

අම්මා හා පොඩි මල්ලිලා දෙන්නත් සමග මම කොළඹ මුඩුක්කු පේලියේ සිට, පාදුක්කේ බාප්පාගෙ ගෙදර පදිංචියට විත් දැන් අවුරුදු දෙකකට කිට්ටු කාලයක් ගත වි ඇත.


ගහකොළෙන් හා කුඹුරු යායකින් වටවුන, ඕවිටේ ඇති පුංච් නිවසේ, ගෙවිගිය කාලය දෙස ආපසු හැරි බැලීමේදි , නරකාදියෙන් දිව්‍ය ලෝකයකට ආවා හා සමාන හැගීමකින්, මගේ හිත පිරි ගොස් තිබුනි.... දිනෙන් දින මා තරුණ වයසට ගෙන එමින්, කාලය වේගයෙන් ගලා යමින් පවති......


ගෙවුනු කාලය තුල, වත්ත පිටියේ කොස් දෙල් අල බතල, වැනි කෑම බීමෙන් අඩුපාඩු වක් නැතුව , නිදහසින්, වෙලේ ,ඇලේ පැන සෙල්ලම් කරමින්, සරුංගල් අරිමින්, ගෙවි ගිය කාලය තුල හිතට දැනුන සතුට කියා නිමකල නොහැක. ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය කරන සබ්බ සකලමනාවම කිසි අඩුපාඩුවක් නැතුව නොලැබුනත් , පිරිසිදු සනීප වාතාශ්‍රය හා නිදහස් පරිසරය තුල ගතකරන්නට ලැබුනු ජීවිතය ගැන මම උපරිමයෙන්ම සතුටට පත්ව සිටියෙමි.


පාදුක්කේ පදිංචියට පැමිනියායින් පසු, හිතේ නිදහසින් සනීපෙන් ගත කරන්න ලැබුන මට....

මගේ වයසට වඩා ඇති පෙනුම , මගේ අතපය උසමහත් වී, හැඩ වැඩ ඇතිව තාරුණ්‍යයට ලංවිම, මගෙම අම්මාට, මා දැන් හිසරදයක් කරදරයක් හා බරක් වී ඇති බව පෙනෙන්න ඇත. මට දැන් අවුරුදු පහලොව පිරි ඇත. ..... අතපය මහත්වී, කරදඩු දික් වී, වයසට වඩා පෙනුමැති , වයසට වඩා පැහුනු, මා ඇහැට කනට පේන ලෙස හැදීවැඩී ගෙන ඒම නම් අම්මාගෙ කළකිරිමට, සැකයට හා නොරිස්සුමට බාජනය වී ඇත.....එයට හේතුව අම්මා මෙන්ම මාත් දනිමි.


දවසින් දවස අම්මාට මා ගැන ඇති වන සැකය නිසා, ඇයගේ හිතට මා ගැන පැන නැගි ඇති ව්‍යිර්ය, කේන්තිය ඇය නැති කරගන්නේ...මාහට අකාරුණික ලෙස දඩුවම් දෙමින්ය....එබැවින් මම දිනපතා දවස ගෙවන්නේ, කළකිරිමෙන්‍ හා අම්මා ගැන කේන්තියෙන් අකමැත්තෙනි.....


සැමදා උදයේ... ගස් කොළන් අතරින් රන්වන් ලාහිරු රැස් එළිය වෙමින්, වෙළට උඩින් පායා එන මොහොතේ, වත්ත පිටිය අතුපතුගා , උදේට දවල්ට ගෙදර අයට කන්න බොන්න යමක් උයා පිහා තබන මම සුපුරුදු ලෙස අම්මත් සමග,ගෙදර වැඩ ඉවරකර, පුවක් කපන්න පටන් ගන්නෙ නම් කැමැත්තෙනි.... ඒ අම්මාට අමතරව මටත් අතට කීයක් හෝ ඉතිරි කරගන්න ලැබෙන ආදායම් මාර්ගයක් ඇති එක ගැන සතුටිනි.


අම්මත් මමත් දිනපතා ගෙදර දොරකඩ හිදිමින්, පුවක් කපන්නේ..., පුවක් කපන රස්සාව මිස අපට වියදමට ගානක් හොයාගන්න වෙන ක්‍රමයක් නැති නිසයි.... මේ ලැබෙන සොච්චම් මුදල ගැන මගෙ හිතේ ඇත්තේ ලොකු බලාපොරොත්තුවකි...අපේ ජීවිත ජීවත් කරවන්නේ අනාගත බලාපොරොත්තු සමග මිස වෙනත් දෙයක් නිසා නොව......පුවක් කපා අතට හම්බවෙන සොච්චම් මුදල මම ඉතා ආසාවෙන් මගේ ඇදුම් පෙට්ටිය අඩියෙ හොරෙන් තබා ගනිමින් දිනපතා ඒවා ගනන් කරන්නෙමි. ඒ සුළු මුදල හෝ මම ඉතා ආසාවෙ අතගාමින් අනාගත සිහින මවමින් සතුටු වන්නෙමි .


" ඈ...දුලීකා කවුද බං අර ඈත නියරේ එනව පේන්නේ...."


වෙල් යායෙන් හා ගස් කොළන් වලින් වටවුන අපේ ඕවිට ගෙදරට, නියරදිගේ, නොදන්නා කවුද අමුත්තෙකු එනවා ඈතට පෙනේ.....


අම්මත් මමත් පුවක් කපමින් වාඩි වි සිටි ඒ ඉරියව්වෙන්ම පාර දෙස බලා සිටියෙමු .


"අනේ දෙවියනේ ...ඒ එන්නෙ මගේ නුවර මල්ලිනේ... "


"හානේ මාම තනියම එනවා...කෝ සාමා නැන්දා පේන්න නෑනේ...."


ඒ පැමිණමින් සිටින්නේ අම්මාගෙ මල්ලි වන ගාමිණී මාමායි. මාමාගෙ අතේ බෑග් මලු වගයක් ඇත. ඔහු ජැන්ඩි පහට ඇදගෙන ඉන්නා විට, අම්මාගේ තරුණ කල පෙනුමම ඇත. ඔහුට නම් දැන් තරුණ මුදාලාලි කෙනකුගෙ පෙනුම ලැබි ඇත...කරේ අතේ ඇති ලොකු රත්තරං දම්වැල් ඒ බව කියා පායි.


"අනේ මල්ලියේ උඹව දකින්න ලැබුන එකත් සතුටක්...මගුල් ගෙදරින් පස්සෙනෙ... මේ අපි උඹව දකින්නේ....අමාරු උනේ නැද්ද අපේ ගෙදර හොයාගන්න ...."


"අක්කා එදා මගුල් ගෙදර ආදා කියපු විදිහට පාර හොයාගෙන ආවා....ගෙදර නොම්බරේ මා ගාව තිබුනා..."


"අනේ කොච්චර දෙයක්ද මල්ලි අපිව බලන්න ආව එක.... නංගි ආවේ නැද්ද මල්ලියේ....මගුල් ගෙදර ගිහින් ආවට පස්සේ අපිත් මල්ලිලාට මෙහෙ එන්න කියලා කෑමක් දෙන්නයි හිටියේ....කොහේද ඉතිං ..."


අම්මා, ගේ දොරකඩ කපමින් සිටි පුවක් ගොඩ කකුලෙන් එයාට කරමින් මාමාට ගෙට එන්නට ඉඩ සැලස්සුවාය.


අම්මාත්, මාත් කවදත්, ගෙදර දොරකඩ පුවක්ගොඬ බිමට දමාගෙන පුවක් කපන්න පුරුදු වී ඇත. ඒ මේ ගෙදරට නෑදෑයෙක් යාළුවෙක් කියන්න කෙනෙක් එන්නෙ නැති නිසාත්.... . අපිට රෑට ද කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන ගේ ඇතුලෙ ඉන්න අය සමඟ කතා කරමින් ම පුවක් කැපිය හැකි බැවිනි. අපි පුවක් කපන වැඩේ, ගේ දොරකඩම කරන්නෙ පහසුවටය... .


"ආ... අක්කලා පුවක් කපන්නෙ සල්ලිවලට ද?....


"ඔව්... මල්ලියේ පුවක් දාහක් කැපුවොත් රු. සීයක් හම්බවෙනවා. මට අමතරව දුලීකත් පුවක් පන්සියයක් කපල රුපියල් 50ක් දවසට එකතු කර ගන්නවා...."


"ඒක කොච්චර දෙයක් ද ....නිකන් කකා බිබි ඉන්නවට වඩා....කෝ මේ සරත් අය්යා ගෙදර නැද්ද ....? මාමා වටපිට බැලූවේ බාප්පා කොහෙද කියල බලන්නා සේය.


"එයා තැඹිලි වගයක් බාන්න, පන්සලට ගියා... හාමුදුරුවෝ එන්න කියලත් සුමානෙකට වැඩියි......"


"මිනිහ කම්මැලි නෑ නේද? මොනව වුණත් අක්කගෙ කාලෙ හොඳයි..... අර මුඩුක්කුවේ හිටපු කාලේ.... අනේ අපොයි මම ඒ පැත්ත මතක් කරන්නත් ආස නෑ... කාටවත් කොහොමද කටක් ඇරල කියන්නෙ කොළඹ මුඩුක්කුවක අක්කා ඉන්නෙ කියලා... මං මේ ගෙදර එක්කෙනාටත් කියල ආවේ අක්ක බලන්න පාදුක්කේ යනව කියල..."


"ඒක තමයි මල්ලියේ අපේ කාලේ හොඳයි ඒකයි මේ වගේ පැත්තක පදිංචියට එන්න ලැබුණේ...."


" මේ ගමේ මිනිස්සු එහෙම කොහොමද අක්කේ....? කතා කරනව ද අක්කලත් එක්ක...."


"ඔව්... ඔව්... වරදක් නෑ. අපිට වඩා පිළිවෙලට ගෙවල් දොරවල් හදාගත්ත වැදගත් මිනිස්සු ඉන්නේ.... මොනව හරි විශේෂ උත්සවයක් තිබුණ වෙලාවට මායි, කෙල්ලයි ගිහින් උදව් කරල එනවා. හැමෝම වත්තෙ පිටියෙ වැඩිපුර තියෙන අල, බතල එහෙම හුවමාරු කරගන්නවා. අපි කොළඹ මුඩුක්කුවක ඉඳල ආපු බව කියන්න එපා කියල සරත් කිව්වා...."


"ඒක හොඳයි අක්කේ... ඕනෑවට වඩා ගමේ මිනිස්සුත් එක්ක භජනෙට යන්න එපා. එහෙම ගියොත් තමයි ආ ගිය තැන් හිටපු තැන් එහෙම කියන්න වෙන්නේ...."


"අනේ ඔව්... මල්ලියේ. ඉතිං... ඉතිං කොහොමද නංගිට එහෙම....? නංගියි, මල්ලියි කසාඳ බඳින දවසේ ගිහින් ආවට පස්සේ යන්න බැරි වුණානේ ආයේ නුවර පැත්තෙ ....."


අම්මා මාමාට කවදත් ආදරෙන් කතා කරයි. ඇයට සිටිනා එකම නෑදායා ඔහුය. අම්මාගෙ මවත්, පියාත් නැති වූ පසු අම්මා හැදි වැඞී ඇති ළමා නිවාසේ සිට ඇත්තේ ද මාමා සමඟය. අම්මා අපේ තාත්තා කසාඳ බැඳ මුඩුක්කු ජීවිතයට ගිය පසු මාමා මඩමෙන් පැන ගොස් නුවර පැත්තෙ එළවලූ මුදලාලි කෙනෙකුගෙ ළඟ වැඩ කර, එහි දි හඳුනාගත් නැන්දාව, මාමා කසාඳ බඳින විට මාමා යමක් කමක් හම්බකරගෙන පිළිවෙලට ඉන්නට පටන් ගත් කෙනෙකු වී ඇත. එබැවින් නැන්දාගෙ පැත්තෙ අයගෙ කැමැත්ත ඇතිව ඔවුන්ගෙ විවාහය ගොඩක් සරුවට කෙරිණි. අපිත් ඒ මඟුල් ගෙදර මාස ගානකට උඩදී ගොස් ආහැටි, මට තාම මතකය. එයට අම්මාත්, මාත් සහාභාගි උනේ බොහෝ කැමැත්තෙනි.


"සාමා මේ දවස්වල ළමයෙක් හම්බවෙන්න. අක්කේ... වැඩක් පලක් කරගන්න බැරුව, ඔහේ වමනෙ දදා ඉන්නවා....


"අනේ ඇත්තද...හරි සතුටුයි උඹ තාත්තා කෙනෙක් වෙන්න යන එකට. නංගිව බලලා යන්න මං ඉක්මණට ම නුවර එනවා මල්ලියේ...."


"මං මේ වැඩියෙන් ම මෙහේ ආවෙත් අක්කගෙන් උදව්වක් ඉල්ලගෙන...ටික දවසකට දුලීකව අපේ ගෙදර එක්ක ගෙන යන්න පුළුවන්ද බලන්න.... සාමාගෙ තනියට ඉන්න....."


"ආ... ඒකට මොකද මල්ලියේ... ඔය කෙල්ල ඉන්නේ. මාත් මේ හිත හිතා හිටියේ කෙල්ලව කොහේ හරි නවත්වන්න ඕනෙ කියල....කීයක් හරි හොයාගන්න රස්සාවකටවත් ඒකි යවන්න ඕනේ කියලා ....., මේකිත් දැන් ලොකුයිනේ. මේ ගෙදර ඉතිං ලමිස්සියෙක්ට නිදහසේ ඉන්නත් ඉඩ මදිනේ..."


නුවර මාමා මාව නුවර එක්ක යන්න කතා කල සැනින් අම්මා එයට කැමති උනේ එක පයිනි....අම්මාට මාව ගෙදරින් යවන්න විශේෂ ඕනෑකමක් තිබූ බව මටත් ලගකදි ඉදන් වැටහී තිබුණි. මම බාප්පා එක්ක කතාබහ කරනවාට අම්මා කැමති නැත. බාප්පාව මඟ හැර ඉන්න කිව්වත්, මේ පුංචි ගේ ඇතුළේ කෙසේ ද එසේ සිටින්නෙ. මට නම් බාප්පාගෙ වැරැද්දක් පෙනෙන්නට නැත. නමුත් අම්මා නිතර ම සැකයෙන් මාත්, බාප්පාත් දෙස බලන විට මා හට ද ගෙදරින් ගොස් වෙන කොහේහරි ජීවත්වෙන්න සිති තිබුනි.


"දුලීකා දුවේ, ටික දවසක් අපේ නුවර ගෙදර ගිහින් ඉදලා එමුද...? හොද සනීප පලාතනේ.... නැන්දා උඹට හොදට සලකයි. මේ දවස් වල නැන්දා ටිකක් ලෙඩින්...ඒ හින්දා එළවළු වතු ගැන බලන්ඩ විදිහකුත් නැතුව ඉන්නේ.. උඹ හිටියනම් නැන්දට පහසුවක් වෙයි..." මමා මගෙන් ආදරෙන් අසයි.


"අනේ මේ කෙල්ල එක්ක පළයං මල්ලියේ...මෙහෙ හිටියැයි කියලා මොනව කරන්නද...? පුවක් ටිකක් කපනවා ඇරෙන්න...."


"මං එන්නම් මාමේ....හැබැයි ඉතිං මට දවසකට පුවක් කපලා හම්බවෙන රුපියල් 50 නැති වෙනවා...."


" ආ...මම සාමට කියන්නම්කෝ උඹට කීයක් හරි දෙන්න කියලා ....තනියට ඉන්නවට...."


"එහෙනම් කෙල්ලේ අර උදේ ඉව්ව කෑම ටික රත් කරලා ගත්ත නම් මාමාට කන්න දෙන්න...ඊට පස්සෙ උඹත් ලෑස්ති වෙයන් අදම මාමා එක්ක නුවර යන්න ...ඔය තියෙන හොදම ඇදුම් කෑලි ටික ඇරන් පළයං...මාමලා උඹට හොද ඇදුම් පස්සෙ ඇරන් දෙයි."


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා*

3 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page