top of page
  • Writer's picturePrisila Godahewa

💥ගිමන් හරිමි💥

💥💥ගිමන් හරිමි💥💥

(13 වෙනි කොටස)

බාප්පා අම්මාට වඩා බාල තැනැත්තෙක් බවත්, ඔහුට දාව දරුවන් නොසිටි අතර, ඔහුගෙ කලින් බිරිඳ , ටික කාලෙකට උඩදි පිලිකා රෝගයකින් පිඩා විද , හිද මිය ගොස් ඇත. බාප්පා අපි

පාදුක්කේ පදිංචියට ආපසු, මටත් මල්ලිලාටත් ඔහුගෙ දරුවන්ට ලෙස ආදරයෙන් සැලකුවේය. ඔහු මෙපමණ කාලෙකට මා දෙස අනවශ්‍ය ලෙස බලා වත් නොතිබුනි. ඔහු මට ඔහුගෙ දරුවකුට මෙන් සලකනවා යැයි මට සිති තිබුනේ එනිසයි....

මතක ඇති කාලෙක, කවදාවත් මගේ තාත්තාගෙන්, ආදරයක් කරුනාවක් නොලද මම මේ ටික කාලයට බාප්පාගෙ කරුණාව, ආදරය නිසා සතුටින් ජීවත් වෙන්න පටන් ගෙන තිබුනි. නමුත් මාගේ මව නිතර ම මාත්, බාප්පාත් දෙස බැලූවේ සැකයෙනි.


"උඹ නිතර ම බාප්පත් එක්ක කතාවට යන්න ඕන නෑ. මොනව උනත් ඒ උඹේ තාත්තා නෙමේනේ...."


"බාප්පා හරි හොඳයි අපේ තාත්තා වගේ අපට නොසලකා හරින්නෙ නෑනේ...අපට කන්ඩ බොන්ඩ අඩුවකුත් තියන්නෙ නෑ....බාප්පා අතට කීයක් හරි වැඩිය හම්බවුණ දවසට ඔහු අපට ඇදුමක්, මොනව හෝ බඩුවක්, කන්න රස කෑමක් අරගෙනයි එන්නේ...."


"ඒ උනාට උඹ උඹේ වැඩක් බලාගෙන හිටපන්.... බාප්පා එක්ක වැඩි බජෙනට නොයා."


බාප්පාගේ ටකරන් ගැසූ පුංචි නිවසේ කාමර දෙකක් තිබිණි. එයින් එක කාමරයක බාප්පාත්, අම්මාත් නිදියන අතර අනෙක් කාමරයේ මාත්, මල්ලිලා දෙන්නාත් නිදා ගනිමු. ඉඳහිට අප බලන්නට එන ලොකු අයියාත්, ලොකු මල්ලීත් නිදා ගන්නේ මැද සාලේ බිම පැදුරක් එළාගෙනය. ඔවුන් දෙදෙනා ආ දිනට, ඒ රැය පමණක් අපේ ගෙදර නැවති, පසුවදා උදේම ඔවුන් නැවත කොළඹ බලා යන්නට යයි.....


ඉද හිට කොළඹ සිට හවසට අපි බලන්න අය්යත් ලොකු මල්ලිත් එන්නේ අතින් කටින් බෑග් මළු එල්ලාගෙනය. ඒ මාකට්ටුවේ ඇති එළවලූ, පලතුරුය. ඔවුන් ආ දවසට අම්මා සතුටෙන්, විශේෂ කෑමක් ඔවුන්ට හදා කන්න දෙන්නට උත්සහ ගනී.


" අද ලොකු කොල්ලත් ඇවිත් ඉන්න එකේ, රෑට මස් කෑල්ලක් ගෙනත් ඉව්වනම් තමයි හොද..... මා ගාව සල්ලි තියෙනවා...ඔහේට කඬේට ගිහින් පුළුවන්ද කුකුලෙක් හරි හරක් මස් කෑල්ලක් හරි ඇරගෙන එන්න... ?"

අම්මා පුවක් කපා ඉතිරි කරගත් සල්ලි අරපිරිමැස්මෙන් පාවිච්චි කරයි. ඇය බාප්පාට මස් ගේන්න සල්ලි දෙන්නෙ ලොකු අයියාට හා මල්ලිට රසට යමක් උයා කන්නට දීමටයි. ඔවුන් දෙදෙනාට ගෙදරින් රසට, කෑමක් කන්නට ලැබෙන්නේ එහෙමත් දිනකය. දිනපතා මාකට්ටුවට කවුරු හෝ පාර්සල් කර, විකුනන්න ගෙනෙන බත් මුල් ඔවුන්ට කන්න ලැබෙන බවත් ඔවුන්ට ඒවා දැන් කාලා එපා වි ඇති බවත් ඔවුන් නිතර අසතුටෙන් කියති. එනිසා ඔවුන් ගෙදර ආ දිනට අම්මා ඔවුන්ට,රසට කෑමක් උයා දීමට උත්සහ ගනී.


එබැවින් ලොකු අය්යා හා මල්ලි පාදුක්කේ ගෙදර ආ දිනට, අපටත් කුකුල් මස් හෝ වෙනත් මස් වර්ගයක් සමග බත් කන්නට ලැබේ. එසේ නැතහොත් අපට නිතරම ගෙදර කන්න ලැබෙන්නේ, කොස් දෙල් ,වත්තේ එළවළු සමග කරවල හෝ පොඩි මාළු වර්ගය.


ලොකු අයියා මේ වනවිට අවුරුදු දහඅටක රැවුලද වැවුනු තරුණයෙක් වී හිදියි. ඔහු කොළඹ එළවළු මාකට්ටුවේ මුට්ට කරගසමින් හා එළවළු මුදලාලිලාට උදව් පදව් කරමින් කීයක් හරි හම්බ කර ගනිමින් තනියම ජීවිත සටන ගෙන යමින් ඉදී....


ලොකු මල්ලී ද පාසැල් නොගොස් ඔහු පසු පස යමින්, ඔහු ලඟටම වී සිටීම අම්මාගේ හිතට හොදයැයි ඇය කියයි. කාලය හෙමින් සතුටින් ගෙවී ගියේ හැමෝම යම්කිසි වැඩක නිරත වෙමින් කීයක් හරි අතට හොයාගනිද්දීමය.


"මගේ නුවර ඉන්න මල්ලිට ලියුමක් ලියල අරින්න ඕනේ අපි පාදුක්කේ පදිංචියට ආවා කියලා....මට කියලා ඉන්නේ එච්චරනේ ..." අම්මා කාලෙකට පසු ඔහුගෙ මල්ලිව මතක් කරයි.


" ඔහේගේ මල්ලි මොනවද දැන් නුවර ඉදන් කරන්නේ...?


"මල්ලිත් එළවළු මුදළාලි කෙනෙක් ලග වැඩ...."


ඔහේට පුලුවන්ද මට ලියුමක් ලියලා දෙන්න මල්ලිට අරින්න ..."


"හෙට දිහාවට ලියලා දෙන්නම්කෝ..."


අම්මා සරත් බාප්පා ලවා අම්මාගෙ එකම මල්ලිට ලියුමක් ලියවා, නුවරට තැපැල් කර හැරියේ අපි පාදුක්කේ පදිංචියට ආබව දන්වාය. බාප්පාට හොඳින් අකුරු ලිවීමට කියවීමට හැකියාව ඇත. ඒ ඔහු අටේ පංතියට දක්වා ඉගෙන ගෙන ඇති නිසාය.


"කවුද ඔය නුවර ඉන්නවා කියන මල්ලී...?


"මගේ එක කුස උපන් මල්ලි තමයි .... අපි දෙන්නම හිටියෙ රත්මලානේ ළමා මඩමක.... අපේ තාත්තා කවුද කියන්න නම් අපි හරියට දන්නෑ.... අපේ අම්මා මිනීමැරුමක් කරල හිරේ ගියාට පස්සෙ මාව උසාවියෙන් ළමා මඩමට දැම්මා. මං මඩමට යනකොට අවුරුදු තුනක් විතර ඇත. ඔය අපේ මල්ලි... අපේ අම්මට හම්බ වෙලා තියෙන්නේ අම්මා හිරේ ඉන්නකොට.... ඌ අවුරුදු තුනක් විතර අම්මත් එක්ක ම හිර ගෙදර තමයි හැදිලා වැඩුනේ.... පසුව උසාවියෙන් නියෝග කරල තිබුණා මං ඉන්න මඩමටම මල්ලිවත් දාන්න කියල. ඉතිං ඊට පස්සේ අපි දෙන්නම හිටියෙ එකම මඩමේ.... අපට මඩමෙන් කන්න බොන්න අඳින්න දුන්නා. අකුරුත් ඉගැන්නුවා.... අපට ඉගෙන ගන්න උවමනාවක් තිබුණෙ නැති උනාට..... මල්ලිට නම් අකුරු ලියන්න, කියවන්න පුළුවන්. ඌ උත්සහ වන්තයා...මඩමේ ඉන්න කොට ඌ අකුරු ලියන්න කියන්න උවමනාවෙන්ම ඉගෙන ගත්තා....

මඩමේ වත්ත සුද්දකරන්න ආවා මේ ළමයින්ගෙ තාත්තත් එක්ක මම පැනල ගියාට පස්සෙ තමයි .....මගේ මල්ලිත් ඔය මඩමට හාල්, තුනපහ ගෙනැත් දාන මුදලාලි කෙනෙක් එක්ක ලොරියෙන් ම නුවරට පැනල ගිහින් තිබුනේ..... ඌ ගිහින් නුවර නැවතිලා තිබුණේ, ඒ නුවර එළවළු මුදලාලිලාගේ ගෙදරමයි.... මල්ලි මුදලාලිට උදව් කරමින් ඉඳලා මුදලාලිගෙ උදව්වෙන් එළවලූ වගා කරන තැනකට ගිහින් තියෙනවා.... ඒ එළවළු වගා කරන මුදලාලි මල්ලිට හොදට සලකන නිසා ඌට දැන් හොඳයි, සරුයි කියල ආරංචියි.... මේ ළමයි පොඩි කාලේ මල්ලි, කොළඹ අපේ ලැයිමට ආවා මේ ළමයි බලන්න . ඌ ආස නෑ ඒ පරිසරයට....මට නිතරම කිව්වේ, ලැයිමේන් අයින් වෙලා, වෙන කොහේ හරි පදිංචියට යන්න කියලා ....කොහේද අපේ මිනිහට ඒකට උවමනාවක් තිබුනේ නෑනේ ....පැනි හැළියට වැටිච්ච් ඇබලයා වගේ ඒ මුඩුක්කුවේ ගෑනුයි, කසිප්පු බෝතලුයි බදාගෙන හිටියනේ...."


"එහෙමද...?


"මම රට යන්න ඉස්සර මල්ලිට ලියුමක් ඇරලා මම රට යන කතාවත් කියලයි ගියේ... මම රට ගියාට පස්සේ, මල්ලි මේ ළමයිව එක පාරක් ඇවිත් බලලා ගිහින් තිබුනා.... ඊට පස්සෙ මට ලියුම් එහෙමත් එව්වා රට ඉන්න කාලේ... මට කාටහරි කියල කියවගන්න කියල.... මල්ලි කොළඹ මුඩුක්කුවට එන්නම කැමති නෑ ළමයි ටික බලන්නවත්.......මල්ලි හොද සනීපෙට නුවර ජීවත් වෙනවා කියලා මට දෙතුන් පාරක්ම ලියලා එවලා තිබුනා.... ඒ හින්දා මං දැන් පාදුක්කේ පදිංචි වෙලා ඉන්නෙ කියල ලියල අරින්න ඕනේ....."


අම්මා අම්මාගෙ එකම මල්ලි ගැන අපි නොදැන හිටිය විස්තර බාප්පා සමඟ කියනවා, අප අසා ගෙන හිටියේ පුදුමයෙනි. අපටත් අම්මාගේ අතීතය ගැන දැන ගන්නට ලැබෙන්නේ ඒ වගේ කා එක්ක හරි අම්මා කියන වෙලාවටය.


අම්මා බාප්පා ලවා මාමාට ලියා ඇරපු ලියුමට වැඩි දවසක් යන්න ඉස්සරම උත්තර ලැබිණි. ඒ සමඟ ම අපට ඔහුගෙ මඟුලට එන්න කියා විවාහ ආරාධනා පත‍්‍රයක් ද එවා තිබුණි.


"මේ බලන්නකෝ... මල්ලි එවල තියෙන ලියුම ඇතුලේ මල්ලිගෙ මඟුල් කාඩ් එකක් අපට එවලා....අපටත් මගුල් ගෙදර එන්න කියල ලියල එවලා තියෙන්නේ ..... බලන්නකො අපි හොද වෙලාවට ඌට ලියුමක් ඇරියේ.... අනේ මං කොහොම හරි මගේ එකම මල්ලිගෙ මගුලට නම් යන්න ඕනෙ....."


"අනේ අම්මේ මාත් එන්නද? ...මං කවදාවත් මඟුල් ගේක ගිහින් නෑ..."


"ඉතිං උඹල දෙන්නා මගුල් ගෙදර ගිහින් වරෙන්..... ඔක්කොමටම නුවර යන්න වියදම වැඩියිනේ. නුවර ඉඳනුත් කිලෝමීටර් ගාණක් යන්න එපෑ, මේ තියෙන ඇඩ්ඩ්‍රස් එකට.... බස් ගාස්තුවට ම ලොකු ගාණක් යයි උඹලා දෙන්නටත්...."


" ඒ විතරක්‍යැ....මගුල් ගෙදර හොඳට ඇඳලත් යන්න එපාය. මට අලූත් සාරියකුත් ගන්න වෙනවා අනිවාර්යයෙන්ම..."


"ඇදුම් ඇදගෙන ... ඉතිං මගුල් ගෙදර අතවනවන යන්නද.... තෑග්ගක් හරි සල්ලි හරි දෙන්නත් එපෑ.... මගුල් ගේක යනවා කියන්නේ වියදම් වැඩක්...ඒත් ඉතිං තමන්ට කියලා ඉන්න එකම එකා....නොගිහින් කොහොමද ...?


අම්මාගෙ මල්ලිගෙ මගුල් ගෙදර යන්න, අම්මත් මමත් කඩ මංඩියට ගොස් අපට අලුත් ඇදුම් ගත්තේ... අම්මත් මමත් පුවක් කපා ඉතිරි කරගෙන තිබුන සල්ලි වලිනි.

අම්මාට රතුපාට සාරියක් ඒ මුදල් වලින් ගත් අතර සෙරෙප්පු ජෝඩුත්, ඉමිටේශන් මාළ වළලුද ගත්තේ ලාබෙටය. මට අම්මා රට ඉදන් එනකොට ගෙනා රතුපාට දිලිසෙන ගවුම අදින්න හැකි යැයි අම්මා කිව් නිසා, මට ගවුමක් ගන්න මුදල් වියදම් නොවිය.


"දැන් කවද්ද ඔහේලා නුවර යන්නේ...?


"එන සුමානෙ අගහරුවාදට.... දුලීකායි මමයි නුවර මල්ලි එන්න කියලා එවල තිබුන, ගෙදර නොම්මරේ හොයාගෙන යනවා...බදාදට නෙව මගුල තියෙන්නේ ....අපි පුලුවන් උනොත් මගුල ඉවර වෙලා එදාම හවසට ආපහු කොළඹ එන්නම්...."


"කොටුවෙන් නුවර බස් එක අල්ලගෙන යන්න වෙයි..."


"ඔව් අපි දෙන්නා උදේම යනවා..."

මාමාගෙ මගුල් ගෙදර ගියේ මාත්, අම්මාත් පමනි. ඒ හැමෝටම යන්න වියදම් වැඩි නිසාය.


මඟුල් ගෙදරට පෙර දින අප නුවර මාමලාගෙ ගෙදර ගියේ මාමා එවා තිබු නොම්මරේට පාර හොයා ගෙනය. හිතුවාට වඩා ලේසියෙන් අපට මාමා නැවති සිටි ගෙදරට යාගන්නට හැකි විය.


අම්මත් මාමාත් හැදුනු වැඩුනු මඩමෙන්, අම්මා තාත්තා එක්ක පැන ගොස් කසාද බැන්දාට පසු, මාමත් මඩමෙන් පැන ගොස් නැවතී සිටියේ එළවලූ මුදලාලි කෙනෙකු ලඟය.


ඔහුට මුදලාලි හොඳින් සලකා කසාඳයක් ද ලෑස්ති කර දී ඇත. මාමා කසාඳ බඳින්න යන්නෙ වෙනත් එළවලූ වගා කරන ගොවියකුගේ දුවක් සමඟ ය. ඇය නුවර බොහෝ ඉඩකඩම් ඇත්තියක් බව එළවළු මුදාලාලි කීය. මුදලාලිගේ දැනුවත් කිරීමෙන් පසු මාමා ඇයව කසාඳ බඳින්න කැමති වී ඇත. නමුත් ඇය මාමාට වඩා බොහෝ පෙනුම අඩු තැනැත්තියක් බැව් බැලූ බැල්මට පෙනේ....වැඩි උසක් නැති මහත කළු, කිසි ලස්සනක් ද නැති ඇය ඉතා කටකාරය.


"මල්ලිට කට පියාගෙන තමයි ජීවත්වෙන්න වෙන්නේ... කෙල්ල හොද රණ්ඩු කෙක්කක් වගෙයි....."


"මොනව උනත් සල්ලි තියෙන පවුලක් නිසා හොදයි ..."

අම්මා මාමා බදින්න යන නැන්දා දුටු විට මා සමඟ පැවසුවේ හෙමිහිටය.


"කොහොමහරි කමක් නෑ ඉඩකඩම් තියෙන ගෑණියෙක්නෙ.... මල්ලිට අඟහිඟයක් නැතිව ජීවත් වෙන්න පුළුවන් වෙයි.....ඒ මදෑ...."


අම්මා ඇගෙ හිත සනසා ගත්තේ ඇගේ දේපළ ගැන සලකාය.


පසුදින මාමාගෙ මඟුල් ගෙදර යන්නට අම්මාත්, මාත් නුවර ඇවිත් නැවතුනේ මාමාට නුවර එන්න උදව් කරපු මුදලාලිලාගෙ ගෙදරය. මාමා අප නුවර යන්නට පෙර අපට නවාතැන් ගන්නට ඒ ගෙදර ලෑස්ති කර තිබිම අපට පහසුවක් විය.


මාමා කාලයක් තිස්සේ නැවති සිටින ඒ මුදළාලිගෙ ගෙවල් දොරවල් ඉතා විශාලව සාදා තිබුණත්, ගෙදර කිසිපිළිවෙලකට බඩු මුට්ටු තබා නොතිබුණි. ගෙයි තැන් තැන්වල උදළු තල, යකඩ බඩු, එළවලූ ගෝනි, ආදි මුළු මුළුවල තබා තිබුණි. ඔවුන් හොඳින් සල්ලි හම්බ කළත් ගෙවල් දොරවල් පිළිවෙලකට තියාගැනීමට නොදන්නා පුද්ගලයන් යැයි මට සිතේ....


"අම්මේ දැන් අපි හෙට මාමගෙ මගුල් ගෙදර යන්නේ කොහොමද ..?


"ඇයි එළවලූ මුදලාලිගෙ වාහනයක් තියෙනවා කිව්වේ. හැමෝටම යන්න....ඊටත් මේ ගෙදර, මගුල් ගෙදර තියෙන ගෙදරට වැඩි දුරක් නෑ කියලත් මල්ලි ලියලා එවලා තිබුනේ..."


අම්මාත්, මමත් නුවර ගොස් මාමා කිව් ගෙදර නැවති, මඟුල් ගෙදර යන්න ලෑස්ති වුණේ හරිම ආසාවෙනි. මම කවදාවත් ජීවිතේට මගුල් ගෙදරක ගොස් නොතිබුනි. අම්මා අලූත ගත්ත සාරිය මඟුල් ගෙදරට ඇන්ද අතර, අම්මා රට ඉඳන් එනකොට ගෙනා රතු පාට දිලිසෙන ගවුම මා ඇන්දෙ ඉතා ආසාවෙනි. එම ගවුම දෙපැත්තෙන් නූල් ඇද හීනි කර දුන්නෙ මාලා නැන්දාය. ඇගපත මහත්වී පාට වැටි සිටි මම දැන් හරි හැඩයි යැයි මටම සිතේ...මට මා ගැන කවදාවත් නැති තරමට ආඩම්බර සතුටක් ඇතිවේ.....


එළවළු මුදලාලිගෙ ගෙදර අයත් සමග අපි ඔහුගේ ලොරියෙන් උදේ පාන්දර මාමාගෙ මඟුල් ගෙදර ගියෙමු.


"අපි හිතුවට වඩා මගුළ ගමටම කියලා ජයටම ගන්න හැඩයි...."


"ඔව්..ඔව්..ඉතින් සාමලාගෙ දෙමව්පියන් හොදට සල්ලි තියෙන අය නෙවැයි....එකම කෙල්ල ...දීග දෙන්න කාලෙක ඉදන් කෙනෙක් හෙව්වා....කොහේද එහෙමට ලස්සනක් නැති නිසා ගෙදරටම නාකි වෙන්න යන කොට තමයි ඔය, ගාමිණි කොල්ලව අපි මුදලාලිට අදුන්නලා දුන්නේ....ගාමිණි ට ඉන්න හිටින්න තැනක් නැති උනාට, හොද පෙනුම තියෙන උත්සහ වන්ත කොල්ලා නිසා, සාමා කෙල්ල එකපයින් ගාමිණිට කැමති වෙලා....ඒකයි ඔය මගුල ඉක්මනට ජයට ගන්නේ....සල්ලි තියෙනවානම් ඉතිං ලස්සන කන්ඩයැ...."


මාමාගෙ මගුල් ගෙදර, සාමා නැන්දගෙ, නුවර ගමේ දන්න කියන නෑයන් හා යහළුවන් හැමෝටම ආරදනා කර ඉතා ඉහලින් ලෑස්ති කල මගුලක් බව මගුල් ගෙදරට ලං වෙන විටම දැනුනි.


සිංහ කොඩි පාර දෙපැත්තේ දමා, ලවුස්පීකර් එකකින් ගමටම ඇහෙන්න සිංදු දමා, ගමේම මිනිසුන් ලක ලෑස්ති වී ඉතා ජයට ගන්නා මගුල් ගෙයක් බව අපට වැටහුනි. මගුල් ගෙදරට ගිය පසු එම උත්සවය හිතුවටත් වඩා සරුබව අපට වැටහුනි.....


අම්මාත් මමත් මගුල් ගෙදර යන්න ඕනෑවටත් වඩා හොදින් ඇද පැළද සිටින බව අපි සිතුවත්, මගුල් ගෙදර ගිය පසු අපේ ඇදුම් එම මගුලට හොද මදියැයි මට සිතුනි.


මාමාගෙ අලුත් මණමාලි උඩරට විදිහට ඔසරියක් ඇඳ මහ ගොඩක් ආභරණ පැළද , කොන්ඩෙට මල් ගසා සැරසී සිටියාය. ඒ වෙලේ නම් මම ඇය ගොඩක් ලස්සනට දුටිමි. ඉතා කළු පැහැති ඇය මගුල් දවසේ මෙතරම් සුදු උනේ කෙසේ දැයි මට ප්‍රශ්නයක් විය. කෙසේ නමුත් ඇය අද ඉතා සුන්දර මණාලියක් වි හිදියි. ගාමිණි මාමා ඇත්දළ පාට දිලිසෙන ආරිය සිංහල ඇදුමකින් සැරසී සිටියේය.


මඟුල් ගෙදර සංගීතය, ලස්සන ඇදුම් පැළඳුම්, ඇති වෙන්න කෑම බිම කිසි දේකින් අඩුපාඩුවක් නොවීය.


මගුල් ගෙදරට පැමින සිටි උන්ගෙන් මාමාගේ එකම නෑයා වන , අම්මාගෙ පැමිණීම ගැන මාමා ඉතා සතුටට පත්වුන බවක් පෙනින.


"ඇයි ඇක්කෙ අයියවත් මගුල් ගෙදර එක්ක එන්න තිබුණනේ...."


" පොඩිවුන් දෙන්නට ඉස්කෝලෙත් යන්න තිබුණ නිසා මායි දුලීකායි විතරයි ආවේ මල්ලියේ.... පස්සෙ දවසක අපි හැමෝම නුවර එන්නම්කෝ.... අම්මා මගුල් ගෙදර හැමෝටම ඇය මාමාගෙ එකම සහෝදරිය බව පේන්න හැසිරෙයි. කවදාවත් හැඩවැඩ ඇති අම්මා, අද රතුපාට සාරියට ඕනෑවටත් වඩා ලස්සන වී ඇතැයි මට සිතේ ...


"අක්කලා අද ම කොළඹ යනව ද?...

මාමාද අම්මාව හැමෝටම හදුන්වා දෙමින් හිදින්නේ ඔහුට කියා වෙන නෑයෙක් නැති නිසා වන්නට ඇත. අම්මාගේ පැමිණිම මාමාට විශාල දෙයක් වී ඇත.


"ඔව් අපි මේ මඟුල් ගෙදර ඉවර වුණ ගමන් ම යන්න කියල බැලූවේ....."


"එහෙනම් අයියටයි, ළමයින්ටයි කෑම අරගෙන යන්න ඇතිවෙන්න කෑම තියෙනවා මඟුල් ගෙදර..."


නුවර ක්‍රමයට මගුල් ගෙදර චාරිත්‍ර වාරිත්‍ර ඉතා ඉහලින් සිදුවුන අතර හවස තුන වන විට අලුත් මගුල් ජෝඩුව හනිමූන් ගමන සදහා පිටත් වු පසු ,අම්මත් මමත් නැවත කොළබ එන්නට පිටත් වුණි.


අපට ගෙදර ගෙනයෑමට මගුල් ගෙදර කැවිලි පෙවිලි, එළවලූ, මාළු ද ඇතිවෙන්න ඔතා සකසා දුන්නෙ මාමා නැවති සිටි ගෙදර මුදලාලි හාමිනේ ය.


"අනේ කිසි ආඩම්බරයක් නැති මිනිස්සු.... බලන්න අපට නවාතැන් පහසුකම් දීලා, හොදට සලකලා ඇතිවෙන්න අපට කෑම බීමත් ගෙනියන්න දාලා දුන්න හැටි..."


"අපි නැන්දටයි, මාමටයි දවසක අපේ පාදුක්කේ ගෙදර එන්න කියල හොදට කෑමක් හදලා දෙමු නේද අම්මේ...."


"ඔව්... ඔව්... එහෙම තමයි චාරිත‍්‍ර කරන්නත් ඕනේ....මමනෙ ගාමිණි මල්ලිට ඉන්න එකම නෑයා...."


නුවර මගුල් ගෙදර ඉවර වෙලා අපි පාදුක්කේ ගෙදරට එනවිට රෑ දහයත් පසු වී තිබුණි....


මල්ලිලා දෙන්නත් බාප්පත් අපි ගිය වහා අප ගෙනා මඟුල් ගෙදර කෑම කන්නට ගත්තෙ එළිවෙනකොට කෑම නරක් වී තිබිය හැකි බැවිනි. අම්මා වැඩිපුර එළවළු මස් මාළු ඇතිලිවලට දමා රෑම ලිපේ හොඳින් හින්දා තිබ්බේ පසු දිනට ගන්නටය.


-සදුදාට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

115 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page