top of page
Writer's picturePrisila Godahewa

💥ගිමන් හරිමි 💥

(12 වෙනි කොටස)

🍁🍁🍁🍁🍁🍁

"අම්මේ අර බලන්න අර කොස් ගහේ ගෙඩි පිරිලා.... වරකා ගහක් ද කොහේදෝ.... අර අර වඳුරෝ රංචුවක් ඉදිච්ච ගෙඩියක් බාගෙට කනවා.... අපි ඒක බාප්පට කියල කඩවගෙන කමු ද? වරකා මඳුලක් කාපු කාලයක් මතක නෑ....."


"වත්තෙ තියෙන හැම ගහක ම වගෙ පළතුරු ගෙඩි තියෙනවා. හැබැයි සරත් කිව්වා ඒවා කඩල කඩවලට දාලා කීයක් හරි හොයා ගන්නවා කියලා.... ඒ හින්දා උඹලා ඔය ගස්වල පළතුරු එහෙම කඩල කනව නෙමේ. බාප්පගෙන අහල කඩා ගනිල්ලා.... ඒ මනුස්සයා අකමැති දේවල් එහෙම කරන්න එපා...."


බාප්පා ඉතා හොඳ කෙනෙක්බව, අපට වැඩිකාලයක් නොගොසින්ම දැන ගන්නට ලැබුනි. ඔහු උදේට ටවුම පැත්තෙ ගොස් දවල් වෙන විට ගෙදරට අවශ්‍ය උයන්න පිහන්න දෑද රැගෙන නැවත එයි. වත්තෙ පිටියෙ තිබෙන පොල්, දෙල්, කෙසෙල් ආදියේ ඵලදාව කඩා ගෙන, බයිසිකලේ පිටුපස තියාන කඩ පොළට ගෙන යන ඔහු ඒවා විකුණා හම්බවෙන මුදල් අම්මාට ගෙනත් දෙන්නේය.


"උඹල දෙන්නා දැන් ගෙදර නිකන් ඉන්න එකේ... මං පොඩි රස්සාවක් හොයල දෙන්නද ගෙදර ඉදන්ම කරලා කියක් හරි හොයා ගන්න...."


"අනේ ඒහෙම නම් කොච්චර හොදද...

ගෙදර ඉඳන් ම කරන්න පුලුවන් රස්සාවක්...? ඒ මොනවගේ රස්සාවක්ද...?.

ඇත්තට ඒයි ඒ මොකක්ද රස්සාව...?


"ඔහේටයි කෙල්ලටයි දෙන්නටම ලේසියෙන්ම කරන්න පුලුවන් රස්සාවක් ....ලොකු මුදලක් හම්බවෙන්නේ නෑ....ඒ උනාට කීයක් හරි අතට හම්බවෙනවා නම් ඒකත් දෙයක් නේ... ගෙදර නිකන් ඉන්න එකේ..."


"ඉතිං අගේ නොකර කියන්නකෝ මොකක්ද රස්සාව කියලා ...."


"ඒක පුවක් ලෙලි ගහන රස්සාවක් ...

ඒ කිව්වේ, කොළඹ මාකට් එකට පුවක් ලෙලි ගහලා අරින්න ඕනේ.... මේ පැත්තෙ මුදලාලි කෙනෙක් ඉන්නවා එයා ගමේ ගෙවල් වල පුවක් එකතු කරලා, පුවක් ලෙලි අරින අයගේ ගෙවල් වලටම පුවක් ටිකගෙනත් දෙනවා. පුවක් ටික ලෙලි ගැහුව්වම ගෙදරටම ඇවිත් අරගෙන යනවා. දවසට පුවක් 1000 ක් කැපුවොත් රුපියල් 100 ක් හොයා ගන්න පුළුවන්...."


" අනේ ඒක කොච්චර දෙයක් ද මටයි, කෙල්ලටයි දෙන්නට ම පුවක් ගෙනත් දෙන්නකෝ, අපි දෙන්නා කපල දෙන්නම්...නිකන් ගෙදර ඉන්න එකේ දවසට රුපියල් 100 ක් හොයාගන්න තියෙනවානම් කොච්චර හොදද..මේ කාලේ හැටියට ඒක ලොකු දෙයක්නේ...."

" පුවක් ලෙල්ල හරියට කපන වැඬේ ඉගෙනගන්න ඕනෙ.... නැතුව බෑ... මං මුදලාලිට කියන්නම්කෝ අපටත් පුවක් ටිකක් ගෙනත් දෙන්න කියල. අපි මුලින් පුවක් 500 කින් පටන් ගමු..."


"ඔව් එක් හොඳයි...

මුලින් ඉගෙන ගන්නත් එක්ක පුවක් 500 ක් කපලා බලමු"


බාප්පා, අම්මටයි මටයි හදුන්වාදෙන්න යන අලුත් රැකියාව ගැන අම්මත් මාත් සිහින මවමින් සිටියෙමු . ගෙදර ඉදන්ම කීයක් හරි අතට ගන්න පුලුවන් රැකියාවක් කරන්න තියෙනවා නම් කොයිතරම් අගේද කියා සිතෙ....


පසුදින සවස බාප්පා අපේ ගෙදරට කැදවාගෙන ආවේ පුවක් මුදලාලිගෙ පුතා යැයි කියපු, තරුණ කෙනෙකුයි.


ඔහුගෙ පියා, ඈත ගම් වලින් එකතු කරගන්නා පුවක් ,ගමේ ගැහැනුන් ලවා ලෙල්ල හැර, සුද්ද කර කොළඹ මාකට්ටුවට ගෙනියන කෙනෙක් වෙයි.


මෝටර් බයිසිකලේක පිටුපස පුවක් ගෝනියක් තියාගෙන අපේ ගෙදර තියෙන, කුඹුර අයිනට පැමිනි ඔහු, බයිසිකලය පාරේ නවත්වා අපේ ගෙදරට එන නියර දිගේ.. පුවක් ගෝනියද උස්සාගෙන ආවේය.


"ඔන්න සරත් අය්යා තාත්තා කිව්වා, අය්යා කියපු නිසා , පුවක් 500 මෙහෙට ගිහින් දාන්න කියලා ......ඉස් ඉස්සෙල්ලාම පුවක් කපන නිසා, අපි මුළින් ටිකක් කපල බලමු....පස්සෙ බැරියැ වැඩියෙන් කපන්න...."


"ඔව්...ඔව් ඒක හොදයි ,අපි මුළින් පුවක් ටිකක් කපල බලමුකෝ....මල්ලිම මේ දෙන්නට පුවක් ගෙඩිය සුද්ද කරන හැටි කියලා දුන්න නම්...."


පුවක් මුදළාලිගෙ පුතා යැයි කියපු තරුණ කෙනා, අම්මත් මාත් දිහා පුදුම වී බලා සිටියේ....සරත් බාප්පාගෙ ගෙට මේ හිටි හැටියේ කඩන් පාත් වී සිටින ගෑනු දෙන්නා කවුද අසන්නා සේය.


"ඔන්න මම ගිරයකුත් ගෙනාවා පුවක් සුද්ද කරන්න...මෙන්න මෙහෙමයි අක්කේ පුවක් සුද්ද කරන්නේ...."

ඔහු අම්මාට පුවක් සුද්ද කරන හැටි පැහැදිලිව කියා දුන්නේය. ඔහු ඉද හිට මා දෙස අමුතු ලෙස බලයි.


"මේ නංගිටත් පුවක් කපන්න පුලුවන් නම් මම හෙට තව පුවක් 500ක් ගෙනත් දෙන්නම්....මේ අපේ තාත්තගෙ බිස්නස් එකනේ...ගම පුරා ගෙවල් වලට පුවක් ගිහින් දාන්නේ මම තමයි ..."


"අනේ ඔව් මල්ලියේ...මේ කෙල්ලත් නිකන් ගෙදර ඉන්න එකේ, පුවක් ගෙනත් දුන්නොත් මේ කෙල්ලත් කපයි..."


එදින ඔහු ගෙනත් තිබු පුවක් ගෝනියේ තිබු පුවක් 500 යේ ලෙල්ල හැර සුද්ද කර කපා තියන්න කියා... ඔහු ගියේ මාදෙස තව වරක් අමුතු ලෙස බලාය.


ඔහුගේ අමුතු බැල්ම මට සතුටක් විය...ඔහු නියර දිගේ නොපෙනි යනකම් මම බලා උන්නේ අම්මා සමගය. අනේ...ඔහු එහෙනම් හෙටත් එයිනේ....මට ඔහු නැවත දකින්න, හෙට හවස් වෙනකම් ඉවසිල්ලක් නැති විය.


මම ගෙදර බිත්තියෙ ඇති කන්නාඩියෙන් නිතර නිතර මගේ මුහුනේ හැඩ බලමින් උන්නෙමි .


පාදුක්කේ බාප්පලාගෙ ගෙදර පදිංචියට ඇවිත් ගෙවුනු මාස දෙකක කාලය තුල ,මගේ පෙනුමේ ලොකු වෙනසක් ඇතිවී තිබෙන බව මට වැටහුනේ අම්මලා නිදාගන්නා, කාමරයේ තිබුනු බිත්ති කන්නාඩියෙන් මාදෙස මම බැලු කලය.


ගස්කොළන් වලින් වටවී තිබුන වෙලේ ගෙදර , හොද පිරිසිදු වාතාශ්‍රයක් ලබමින්, තුන් වේලට කිසි අඩුපාඩුවක් නැතුව, වත්තේ අල බතල, කොස් දෙල්, කොළ එළවළු පළතුරු කමින් හැදුනු මම බලා සිටියදී ඇගපත හැදි පාට වැටි, කොන්ඩය දික්වී ලස්සන වී ඇතැයි මටම සිතේ...කැරළි ගැසුනු දිග කොන්ඩය, අම්මාගෙම හැඩරුව ඇති ලස්සන මුහුණ, උසේ තරමට මහත...තළඑළෙලු පාට හම, මම ඇත්තටම ලස්සනයි යැයි මට සිතේ....


"මොනවද කෙල්ලේ කල්පනා කරන්නේ...ලෑස්ති වෙයන් මේ පුවක් ටික දැන්ම කපන්න පටන් ගන්න..."


අම්මා කාලෙකට පසු, ගෙදර ඉදන්ම කරන්න ලැබුනු රස්සාව කරන්න බොහෝ උනන්දුවෙයි ....


පුවක් මුදළාලිගෙ පුතා කිව් ලෙස අපි ගිරයෙන් පුවක් කපන්න පටන් ගත්තේ සතුටිනි....


"අම්මේ අපි දැන්ම පුවක් ලෙලි පොතු අරින්න පටන් ගමු....හෙට හවස් වෙනකොට මේ පුවක් ගෝනිය ලෙලි ඇරන් තියන්න එපෑ..."


"ඔව් කෙල්ලේ එහෙම හොදයි .."


අපි එවෙලේ ම පුවක් ගෙඩියේ ලෙල්ල ගිරෙන් සුද්ද කර පුවක් ගෙඩියේ කුරුට්ටද ගිරයෙන් ගෑවෙමු. මුදලාලි අපට ගිර දෙකක් ගෙනැවිත් තිබූ නිසා අම්මාත්, මාත් ඔහු කියා දුන් විදිහට පුවක් කපන්නට විය.


"උඹලා දෙන්න රෑටත් පුවක් කපන්න පටන් ගත්තද...?"


"කීයක් හරි ගෙදර ඉදන් හම්බ කරගන්න පුලුවන් එකේ මහන්සි වෙන්න එපෑ..."


රෑට වේලාසන උයා පිහා කා බීපු අම්මයි මමයි ගොඩක් රෑ වෙනකම් කුප්පි ලාම්පු එළියෙන් පුවක් කැපුවෙමු....


පසුදින පාන්දර ද වේලාසන නැගිට දවල්ට උයා පිහා තබා අම්මත්, මාත් හරි හරියට පුවක් කැපුවෙමු.


"අප්පේ.... මගේ මේ ඇගිලි ටික හොදටම රිදෙනවා අම්මේ ගිරය අල්ලගෙන පුවක් සුද්ද කරලා ..."


"ඊට හපන් මට මේ බිම වාඩි වෙලා එක දිගට මේ වැඩය කරන එක තමයි අමාරු..."


"මුළින් අමාරු උනත් පහුවෙනකොට අපට මේ වැඩය පුරුදු වෙයි...."


"ඔව්..ඔව්..කීයක් හරි ගෙදර ඉදන්ම හම්බකරන්න පුලුවන් එකේ, අමාරුවෙන් හරි මහන්සි වෙලා මේක කරන්න ඔනේ..."

එදින දහවල් 11 විතර වෙනකොට අපට පුවක් ගෙඩි 500 කපා ඉවර කරන්නට හැකි විය. අතට මුදලක් ලැබෙන නිසා පුවක් කපන වැඬේ මාත්, අම්මාත් ඉතා ආසාවෙන් කළෙමු.


වැඩි දවසක් නොගිහින් අම්මා ඒ වැඩේ හරි ඉක්මණට ඉගෙන ගත්ත නිසා, අම්මා දවසට පුවක් 1000ක් කපන්න පටන් ගත් අතර, මම පුවක් 500 ක් කපා දවසට රුපියල් 50ක් හම්බ කර ගත්තෙමි.


පාදුක්කේ බාප්පලාගෙ ගෙදර පදිංචි වීමෙන් පසු අපේ ජීවිත ඉතා සාමකාමී ලෙස ගෙවී ගියේ සතුටින් සැනසීමෙනි. නැවුම් වාතයෙන් ගහකොළ සිසිලෙන් නැහැ වී ගමේ ගොඬේ එළවලූ, පලතුරු කමින් වත්ත පිටියේ වැඩ කරමින් ගෙවී ගිය ජීවිතය කොළඹ මුඩුක්කුවේ ජීවත්වීමට වඩා කොයිතරම් හිතට සහනක්දැයි මට සිතේ....


බාප්පා අපි හිතුවට වඩා හොඳින් අපට සලකන්නට විය. ඔහු ඉතා හොඳ පුද්ගලයෙක් කියා මට සිතේ.... අම්මාට ආදරයෙන් සැලකූ ඔහු අපට ඔහුගේ දරුවන් සේ සැලකුවේය. වැඩි දවසක් නොගොසින් ගමේ පාසැලට ඇතුලත් කල මල්ලිලා දෙන්නාට පාසැල් පොත්පත් ගෙනැවිත් දුන්නේද ඔහුය.


අම්මා සහ මා පුවක් කපා ගන්නා මුදල්, අපටම වියදමට තියාගන්නට කියා බාප්පා කිවේය.


"ලොකු දුවේ මා ගාව දැන් එකතු කරගත්ත සල්ලි ටිකක් තියෙනවා. අපි ඒ සල්ලිත් දාලා ගෙවන්න රත්තරං බඩුවක් හදා ගමු ද...? උඹ ලොකු ළමයෙක් වුණ වෙලෙත් ප්ලාස්ටික් කරාබු දෙකක් විතරනේ කනට දාන්න හම්බ වුනේ...."


"අම්මේ මට පුංචි රත්තරං මාලයක් හදල දෙන්නකෝ මා ගාවත් සල්ලි ටිකක් තියෙනවා ඉතුරු කරගෙන..."


"අපි එහෙනම් හෙට ටවුමට ගිහින් බලමු....මුළින් අතේ තියෙන ගාන දීලා, මාසපතා ගෙවන්න පොඩි චේන් පොටක් ගන්න බලමු......."


අම්මාත් මාත් පුවක් කපා ඉතිරි කරගත් සල්ලි වලින් ටිකක් දමා, ඉතිරිය මාසපතා ගෙවන්න හීන් රත්තරන් චේන් පොටක් සාදා ගත්තාය. තව මල්ලිලාට සහ බාප්පාට කමීස මිල දී ගත් අපි අම්මාට හා මට ද අවශ්‍ය කරන කොණ්ඩ කටු, යට ඇඳුම් ආදිය මිල දී ගත්තේ හරිම සතුටිනි.


බාප්පලාගෙ ගෙදර පදිංචියට ආපසු මම

එන්න එන්න ම ලස්සන වී ටිකෙන් ටික වැඩිහිටි පෙනුමට පා තබන බව මට තේරුනි. අම්මා, නිතර මා දෙස බැලූවේ සතුටිනි.


"දුලිකා දැන් ලස්සන වෙලා බාප්පා දිනක් අම්මා සමග කිවේ මා ඔහු ලගින් යන විට මගේ අතින් අල්ලා ගෙනය."


"ඒකි දැන් ලමිස්සියෙක් ....මම කියලා තියෙනවා මේකිට දැන් දාංගලේ නවත්තලා ගෙදරට වෙලා ඉන්න කියලා ...කොයි වෙලෙත් අර කොල්ලො දෙන්නත් එක්ක වෙලේ සරුංගල් අරින්න යනවා, ඇලේ මාළු අල්ලන්න යනවා, ගස් ගල් උඩ කොයි වෙලේ බැලුවත්...."


අම්මා මට කේන්තියෙන් ඔරවමින් කියයි.


"එහෙම තමයි බං කෙල්ලෝ...." බාප්පා අමුතු ලෙස මා දෙස බලා හිදියි.


බාප්පා දැන් නිතර නිතර මා සමග කතාවට එයි....ඔහු මා සමඟ කතා බහ කරමින් සිටින විට අම්මා නිතර මාව, වෙන වැඩකට කැඳවා ඔහු සමඟ කතා කරන එක සෙමින් නවත්වන්න උත්සහ ගන්නා හැටි, මා හට හොඳින් ම තේරි ඇත.


හෙට හමුවෙමු

*ප්‍රිසිලා ගොඩහේවා *

9 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page