top of page
  • Writer's picturePrisila Godahewa

💥ගිමන් හරිමි 💥

(10 වන කොටස )

ඇසිලින් නැන්දා, අම්මාට හදුන්වා දුන් අලුත් බාප්පලාගෙ ගෙදර යන්න, අම්මා ලෑස්ති උනේ,ලොකු උවමනාවකින් යැයි මට සිතේ.... අප පදිංචි උන් ලැයිමේ, අම්මා ලගින් ආශ්‍රය කල ලුසියා නැන්දා හා ඇසිලින් නැන්දාට විතරක් අපි පාදුක්කේ යන ගමන සැල කල අම්මා, අහල පහල අනෙක් හැමෝටම හොරෙන් ඒ ගමන යන්න ලෑස්ති විය. ඒ තාත්තා අප යන ගමන දැන ගනීවි කියා, වන්නට ඇත. තාත්තාව ලැයිමේදී, නිතර මුණ ගැසීම නවත්වා ගන්නට අම්මා, අවසානයේ ගත් තීරණය අප මුළු පවුලටම වැදගත් විය.


"ඔන්න කොල්ලනේ...අපි පාදුක්කේ නවතින්න යන කතාව එහෙම තාත්තා මගදි හම්බුනාට කියනව හෙම නෙමේ..."


"ඒ ඇයි අම්මේ..."


"ඇයි බූරුවො තේරෙන්නෙ නැද්ද...අපි මේ මුඩුකුවෙන් එළියට යනවට තාත්තා කැමති නෑ...."


පාදුක්කේ බාප්පා ඇවිත් ගිහින් සුමාන දෙකකට පසු නිමල් මාමාගෙ වෑන් රතයෙන්, අපේ ගෙදර තිබූ පැදුරු, රෙදි පිළි, කුස්සියෙ හට්ටි, මුට්ටි හා අම්මා රටින් ගෙනා ඇදුම් බෑග් දෙක ද දමාගෙන අප පාදුක්කේ පදිංචියට ගියෙමු.


"අම්මේ දැන් කවුරු කවුරුද පාදුක්කේ යන්නේ...?


"කවුද ඉතිං උඹයි, මමයි මේ කොල්ලෝ දෙන්නයි විතරයි ..."


"අපි එහේ ගියාට පස්සේ අය්යටයි ලොකු මල්ලිටයි ඇවිත් යන්න කියමු නේද අම්මේ...?


"ඔව්..ඔව්...අපි එහේ ගිය ගමන් ගෙන්න ගන්න ඕනත් නෑ...ටිකක් පිළිවෙලක් වෙලා බැරියැ දෙන්නට ඇවිත් යන්න කියන්න ...."


අම්මත් මමත් බාලම මල්ලිලා දෙන්නත් පමනක් පාදුක්කේ පදිංචියට ගියෙ ලොකු අය්යත්, ලොකු මල්ලිත් මාකට් එකේ නවතින්න තීරණය කළ පසුය.


ඉපදුන දවසේ සිට

කොළඹ මුඩුක්කුවක ජීවත් වූ අප, පාදුක්කේ පදිංචියට ගියේ එලෙසය.


"ගම කියන්නෙ මොකක්ද අම්මේ...කැලයක්ද...? අනේ මම නම් කැලෑවට කැමති නෑ..." පොඩි මල්ලි අසයි.


"එහෙනම් අපට ඉස්කෝලේ යන්නෙ නැතුව කැලේ පනින්න පුලුවන් ..."


"ගම කොයි වගේද කියලත් මම දන්නෑ..අට නම් යනකම් ඉවසිල්ලක් නෑ...."


කොළඹ මුඩුක්කුවේ ජීවත් වූ මා කවදාවත් ගමකට ගොස් නොතිබුණි. කොළඹ ප්‍රදේශයේන් පිට ඇවිදින්න යන්න අවස්තාවක් නොතිබුන මටත් මල්ලිලාටත් මේ ගමන අලුත් එකක් විය.


හයිලෙවල් පාරේ දිගටම ගිය නිමල් මාමාගෙ වාහනය ,පාදුක්ක නගරය පසුකොට ගස්කොළන් වලින් වටවුන ගමකට ඇදීගෙන යන මොහොතේ ....අපි පුදුමයෙන් වෑන් රතයේ ජනේල වලින් ඔළු එළියට දමාගෙන, නිදහස් වටපිටාවේ සිරි නැරඹුවෙමු.


"අම්මේ මේ පැත්ත නම් බලන්න ලස්සනයි ...කිසිම සද්ද බද්දයක් නැති ගස්කොළන් පිරුනු පැත්තක්..."


"හරිම පාළු පාටයි..."


"ඒ උනාට මට කොළඹ ලැයිමේ ඉදලා ඇති වෙලා තිබුනේ...සද්ද බද්දයි... කානු ගන්දස්කාරයයි නිසා..."


රබර් වතු, කුඹුරු, ගස්කොළන් වලින් පිරුනු, වටපිටාවේ ... රැහියන් හඩන, අත්තෙන් අත්තට පැන පැන යන වදුරු රංචු, නිදහසේ පියාඹන කුරුළු රංචු ....හරකුන් බල්ලන් බළලුන් ඇති කරන ගම්බද සුන්දර නිවෙස් පසුකරමින් නිමල් මාමාගෙ වෑන් රතය තාර පාර අවසන් කර ගුරු පාරක් දිගේ ගමන බාල කරමින් හෙමිහිට ඇදේ.....නිදහස් වටපිටාවේ ඈතින් ඈතට යන වාහනය තුල හිදිමින් ,වටපිටාවේ සුන්දරත්වයෙන් මම වශීවී බලාඋන්නේ ගහකොළ පිසගෙන එන පිරිසිදු සුළං වල සුවද පහස විදිමින්‍ය.


විශාල ඉඩම් වල ඈතින් ඈතට සාදා තිබූ උළු, පොල් අතු, හා ශීට් සෙවලිකළ ගෙවල්, ලොකු රබර් වතු, පොල් වතු, කුඹුරු, බැස යන ඇල පාරවල් මගේ සිතට ඇති කළේ අමුතුම නිදහස් බවක්ය. නිමල් මාමාගේ වාහනය, හයිලෙවල් පාරෙන් හැරි පාදුක්කේ අතුරු පාරක් දිගේ පැය භාගයක් පමණ ගොස් ඉන් අනතුරුව ගුරු පාරක් දිගේ හෙමිහිට ගොස් ගම්බද ප‍්‍රදේශයක කුඹුරු යායක් අයිනේ නතර කලේය. කුබුරු යාය මැද තිබූ ඕවිටක ටකරන් සෙවිලි කල ගෙයක් ඈතට පෙනේ.....


"කුසුමෙ අක්කේ අන්න අරක තමයි කිව්ව විදිහට සරත්ලගෙ ගෙදර ..."


"අනේ මල්ලියේ පුදුම ලස්සන පරිසරයක්....බලන්නකො මේ කුබුරු යායේ ලස්සන, මේ ඇගේ වදින හුළං වල තියෙන සනීපේ....."


"උඹලට දෙවියන්ගේ පිහිටයි...දෙවියො උඹලා දිහා බැලුවා....මෙච්චර කාලයක් අර අපායේ උඹලා වින්ද දුකක්....දැන් නම් ඉතිං උබලට කොස් දෙල් ටිකක් කාලා හරි නිදහසේ හුස්ම ගන්න පුලුවන් උඹලට...."


"අන්න මල්ලියේ අරයා... අර නියර දිගේ එනවා....අපේ වාහනය දැකලා වෙන්න ඇති...."


කුඹුරු යාය මැද තිබු ඕවිටේ ගෙදර සිට, කුඹුරු යායා මැදින් පාර තෙක් තිබු ටිකක් ලොකු නියර දිගේ සරත් බාප්පා ඇවිද එනු අපට ඈතටම පෙනුනි.


"මම ඒත් බැලුවා, කුසුමලා එන්න පරක්කු ඇයි කියලා .....පාර හොයාගන්න අමාරු උනාද...? අර ඔවිටේ තියෙන්නේ මගෙ ගෙදර ....එතනට යන්න තියෙන්නේ මේ නියර තමයි ...එතනට වාහනේ යන්න බැරි නිසා බඩු ටික අපි බාගෙන අතින් උස්සාගෙන යමු ....කෝ දෙන්න බෑග් බඩු ටිකක් මටත් ..."


"නෑ නෑ...සරත් අපට පුලුවන් බඩු ටික ගන්න....ළමයිනේ මේ බෑග් බඩු ටික බාලා උස්සාගෙන ගියානම් ගෙදරට...."


මාත් මල්ලිලා දෙන්නත්, සරත් බාප්පාත්, අපේ බැග් මළු ඔසවාගෙන නියර දිගේ ඒ නිවස දෙසට ගියෙමු.


"නිමල් මල්ලියේ ගෙට ටිකක් ගොඩ වෙලා තේ එකක් බීලම යමු...."


"බෑ කුසුමා අක්කේ....මට තව හයර් එකක් දුවන්න තියෙනවා ....දැනටත් පරක්කුයි...මම හිතුවේ නෑ මෙච්චර දුරක් එන්න වෙයි කියලා ...මම එහෙනම් යන්නම්... වෙන දවසක අපේ මායියත් එක්කම මේ පැත්තෙ ඇවිත් යන්න එන්නම්....උඹලට දෙවියන්ගෙ පිහිටයි...සතුටින් හිටපල්ලා..."


"එහෙනම් පරිස්සමින් පලයං මල්ලියේ...බොහෝම ස්තුතියි අපිව ගෙනත් බැස්සුවාට..."


බඩු මළු ටික උස්සාගෙන ,කුඹුරු යායේ මැද ඇති නියර උඩින් ඇවිදගොස්, උණබට දෙකක් දමා සාදා තිබු කඩුල්ලෙන් පැන අපි සරත් බාප්පාගෙ ගෙයි වත්තට ඇතුල් උනෙමු.


වටේටම වට වූ කුඹුරු යායක් මැද තිබු උස් බිමේ බාප්පාගෙ නිවස සාදා තිබුනි. එය ඕවිට නමින් හදුන්වන බව කීවේ අම්මයි. බාප්පාගෙ නිවස වටා කොස් දෙල් පොල් පුවක් අඹ පළතුරු ගස් වලින් වටවි තිබුනි. කුඹුරු යායේ හා අවට ගස්වල හෙවනින් සිසිලෙන් මුළු පලාතෙම අදුරක් සමග අමුතුම සැප පිරිසිදු සුළගක් හමා යයි....


"හරිම ලස්සන පරිසරය, ඇගට හරිම සනීපයක් දැනෙනවා...ඔහේට පිං අපිව මේ වගෙ පැත්තකට එක්ක ආවට...."


"පිං මොකටද ....මාත් මේ ගේ තනියම ඉන්න නිසයි උඹලට මෙහෙට එන්න කිව්වේ...මටත් කියලා දරුවෝ නැති නිසා කුසුමගෙ දරුවොත් මගේ දරුවො වගෙ මෙහෙ හැදෙන්නෙ නැතෑ....අපට ඉතිං කොළඹ වගේ නෙමේ, පිරිසිදු වතුර ටික , හොද සනීප හුළං ටික, කෑමෙන් බීමෙන් කියලත් අඩුවක් පාඩුවක් වෙන්නෙ නෑ.... ගහක ගෙඩියක් කොළයක් හරි තම්බගෙන කන්න තියෙනවා ...ඒකම මදෑ...."


"ළමයිනේ ඔය බෑග් මළු ටික ගේ ඇතුලෙන් තිබ්බ නම්....මේක ඉතිං ලොකු ගෙයක් නෙමේ ,සාලෙයි කාමර කෑලි දෙකකුයි තියෙනවා එච්චරයි ....කුස්සිය ඔය ගේ පිටිපස්සට වෙන්න මැටියෙන් බැදලා, පොල් අතු දාලා හදල තියෙන්නේ ....වැසිකිලිය ටිකක් ගෙට එහාට වෙන්න තියෙන්නේ ..."


"අනේ අප්පේ මේ තියෙන ඒවා මදෑ....මේ තියෙන ගස් කොළන් යට, නිදිය ගත්තත් සනීපයිනේ..."


මෝඩ ගල් වලින් තනා ටකරන් දමා සාදා තිබුන ගෙදර වටකොට ඇති මිදුල, තණකොළ ගලවා පිරිසිදුව අතු ගා ඇත්තේ අද උදේ බව පෙනේ....ඒ අපි එන නිසා වන්නට ඇත. මිදුලේ ලොවි ගහ යට ලෑලි බංකුවක් ඇත. ලොවි ගහ පිරෙන්න රතු පාටට ලොවි පිරි ඇත. මල්ලිලා දෙන්නා දැනටත් වැඩ පටන් ගෙන ඇති ගානයි. ඔවුන් ලොවි ගහ යට වැටුනු ඉදුණු ලොවි කට ඇබුල් කරමින් කනවා පෙනෙ....


"උඹලා දෙන්නා ආව ගමන් ගස් සුද්ද කරන්න පටන් ගත්තද...?


"අපෝ අක්කේ මේක කැලෑවක්නේ.....මට නම් හරිම පාළුයි මේ පැත්ත....අපට සෙල්ලම් කරන්නවත් මේ පැත්තෙ කවුරුත් නෑ වගේ.....කිසිම සද්ද බද්දයක් නෑ....කුරුල්ලන්ගේ පළගැටියන්ගෙ, ගෙම්බ්න්ගෙ සද්දෙ විතරයි ....කොළඹ එහෙමයෑ...ගේ දොරකඩින් කෝච්චි යනකොට අපට ඇහෙන සද්දය...කෝච්චියේ මිනිස්සු අත වන වනා යනව බලන් ඉන්න ආසයි ...ලගපාත කඩ චෝරු කන්න තැනකුත් නෑ...මම නම් මේ පැත්තට කැමති නෑ අක්කේ....."


"අනේ පළයං බං....උඹලට ඉතිං අර කුනු කානුව තමයි හොද...ජරා ගොඩේ කොල්ලෝ කුරුට්ටො එක්ක නටන්න තිබුනොත් ඇති...දෙය්යනේ කියලා අපට දැන් මනුස්සයෝ වගේ ජීවත් වෙන්න පුලුවන් ...දෙවියන්ට පිං සිද්ද වෙන්න...."


"ළමයිනේ වරෙල්ලා තේ කහට ටිකක් බොන්න...මම මේ ලග කඩෙන් ඥාන කතා ගෙනත් තිබ්බා උඹලට...මම ඉතිං පැනිරස කෑම හදන්න දන්න එකක්‍යෑ...." බාප්පා කොලේක ඔතපු පාර්සලයක් අපේ අතේ තබා ගෙට ගියේය . අම්මා පේන්න නැත. ගේ පිටුපස මැටි කුස්සියෙන් පිටවන දුම ගෙදර වත්ත පුරාද විහිදේ....ඒ දුම් සුවද, දර ලිපක් පත්තු කල විට නැගෙන සුවදකී.


බාප්පා දුන් ඥාන කතා තුන මල්ලිලා දෙන්නා සමග මම රස කරමින් කෑවේ ලොවි ගහ යට බංකුවේ වාඩිවීගෙනය.


"මෙන්න උඹලට තේ කහට...මම සීනි දැම්මෙ නෑ, ඥාන කතා කන ගමන් බීපල්ලා..."


අම්මා ඒ ටිකට බාප්පා සමග එකතු වී කුස්සියට ගොස් තේ කහටද වක්කර ඇති බව පෙනේ.... කවදත් අපේ තාත්තා සමග හිත හොදින් අම්මා කතා කරනවා දැක නැති අපට, අම්මා පුදුම ආදරෙන්, තොදොල් බසින් බාප්පා සමග කතා කරන හැටි අපි තිදෙනා, ඥාන කතා කමින් බල සිටියෙ පුදුමයෙනි.


ගස් කොළන් වලින් වටවුන ඕවිට කෑල්ල පිටුපසින් පිරිසිදු වතුර ඇල පාරක් ගලා බසී.....තේ කහට එක, එක උගුරට බී දැමු මල්ලිලා දෙන්නා.....ඒ ටිකට ඇල පාරට බැස තිත්ත පැටව් අල්ලන්ට සැරසේ...


"උඹලා දෙන්නා ඔය ඇදන් ආපු හොද ඇදුම පිටින් නේද මඩේ නැගලා ඉන්නේ...අම්මගෙන් හම්බ වෙයි...."


"අක්කේ...වරෙන්කෝ ...මේ බලපං...මේ මාළු පැටව්ගෙ ලස්සන......"


"අක්කේ...මේ මොනාදා බං මේ වතුරෙ තියෙන පැලවල එල්ලෙන ලාකහ පාට පුළුන් වගේ බෝල...?


"ඉකේයියා....ඔය ගෙබි බිත්තර ...ඔය පේන්නෙ නැද්ද ඇලේ වතුර වල ඉන්න ඉස්ගෙඩි රෑන....අර අපේ පිං ලිද ගාවත් ඉන්නව මං දැකලා තියෙනවා...."


අම්මා බාප්පා සමග ගේ ඇතුලේ කතාබහ කරමින් ඉන්නා අතර අපි තිදෙනා, වත්ත වටේ ඇවිදමින් වටපිටාවේ සිරි නැරඹුවෙමු. ඒ මුළු පළාතෙම ඇති අසිරිය මගේ සිත් ගත් තැන් විය....ගෙට ටිකක් ඈතට වන්නට ඉතා සරුවට වැවුනු පොල් හා තැඹ්ලි ගස් ගොඩක් පේන්න ඇත. පේනතෙක් මානෙකට ගෙවල් දොරවල් නැති, ඉතා නිදහස් තැනක පිහිටා තිබූ පුංචි, ටකරන් සෙවිලි කළ බාප්පාගේ ගෙදර මගේ හිත ගත්තේ නිතැතින්මය. පර්චස් හතලිහක පමණ ඉඩමක් මැද පිහිටා තිබූ බාප්පාගෙ ඉඩමේ විශාල දෙල් ගහක් කොස් ගස් දෙකක් පුවක් ගස් තුන හතරක් සහ අඹ පලතුරු, පේර යන පළතුරු ගස් වලින් වටවී තිබුණි.


"අක්කේ එන්නකො....මේ බළපං මේ ලිදේ වතුර උතුරලා යන හැටි ..."


වත්ත පහළ තිබූ නාන ළිඳෙන් නිල් පාට වතුර උතුරා ගලා යන හැට් බලන්න ලස්සනය. ගේ අවට වත්ත පිටියේ සිරි නරඹමින් මාත්, මල්ලිලාත් සිටියේ උතුරා යන සතුටකිනි.


අම්මා හිනා මලක් මුනේ පුරවාගෙන අපි ඉන්නා පැත්තට ඇවිද එයි. අම්මා අද රටින් ගෙනා දිග ගවුමක් ඇද හිදී...ඇය දැන් එන්න එන්නම ලස්සන වන බවක් මට හැගේ....


"අම්මේ....මේ බලන්නකෝ මේ ලිදේ වතුර උතුරනවා....මම ජීවිතේට මෙච්චර ලස්සන පැත්තක් මේ දැක්කමයි.... හරිම නිදහස් ලස්සන පරිසරය..... මගේ ජීවිතේට මේ වගේ තැනක පදිංචියට එන්න ලැබේයි කියලා මම නම් හිතුවේ නෑ....."


"ඇත්තටම කෙල්ලේ.... මාත් එහෙමයි හිතුවේ.... මං හිතුවෙ සරත් තවත් මුඩුක්කුවකට අපිව එක්ක යනවා කියලයි...."


"අම්මේ බාප්පට කියල මේ මල්ලිලා දෙන්නව ඉස්කෝලෙකට දාගන්න බලන්න. කොළඹ ඉස්කෝලෙන් අස්වීම් සහතිකය ගන්නත් වෙයි...."


"ඒක තමයි අහල බලන්න ඕනේ සරත්ගෙන්....."


"අපේ හොඳ කාලේ අම්මේ..... බාප්පට අපි හොඳට සලකගෙන දිගටම මෙහේ ඉමු...."


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

11 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page