top of page
  • Writer's picturePrisila Godahewa

💥ගිමන් හරිමි💥

අදින් ආරම්භ වන අලුත්ම

නවකතාව ..

පළවන කොටස (1)

🍁🍁🍁🍁🍁🍁

"මට ඉස්කෝලේ යන්න බෑ අම්මේ... මට ළමයි විහිලු කරනවා, මේ අන්ඩ, මූට්ටු දාපු ගවුම ඇදන් ගිහාම…"


"ඇදුම් ගන්න සල්ලි තියෙනවානම් උබට ගවුමක් මහලා නොදී ඉන්නෑනේ ලොකු කෙල්ලේ..…"


"මගේ සපත්තු දෙකත් හොදටම කැඩිලා, දාන්න මේස් දෙකක් වත් නෑ….වැස්ස දවසට කකුල් දෙක මඩ වතුරෙන්ම පෙගෙනවා…."


"මොනව කරන්නද බං...උබළැයි තාත්තා දවල් දවසේ හම්බ කරන එකෙන් බීලා ගෙදර එනවා මිසක්...ගෙදර වියදම් ගැන බලන්නෑනේ…."


" ඉස්කෝලේට ගෙනියන්න ඕන පොත් පත් මුකුත් නෑ…. ඉස්කෝලෙන් එක්ක යන විනෝද චාරිකා,ඉස්කෝලේ විශේෂ උත්සව මොනවටවත් මට යන්න ලැබෙන්නේ නෑ....අමතර වැඩ වලට කවදාවත් මට ගෙදරින් සල්ලි දෙන්නෙ නෑ....ඉස්කෝලේ යනවට යනවා…."


"උඹලව ඔහොම හරි ඉස්කෝලේ අරින්න මම වෙන මහන්සිය උඹලා දන්නෙ නෑනේ…"


"මෙහෙම නම් ඉස්කෝලේ ගිහින් මොකටද…?


"ලොකු කෙල්ලේ විල්බට්ගෙ කඩේට ගිහින් වරෙන්...රෑට කන්න පාන් ගෙඩියක් වත් ගෙනෙන්...රෑට උයන්න කිසි දෙයක් නෑ ගෙදර ...."


" මේ මල්ලිත් මම බලාගන්න ඕනේ....කඩෙත් යන්න ඕනේ....ඔක්කොම කරන්න ඕනේ මම...... ලොකු මල්ලි සෙල්ලම් කර කර ඉන්නවා…අම්මා මගෙන්මයි වැඩ ගන්නේ..."


"උඹ විතරනේ මේ ගෙදරට කෙල්ලෙක්ට ඉන්නේ...කොල්ලන්ගෙන් ගෙදර වැඩ ගන්න බෑ…"


"මම කඩේ ගිහින් එන්නම්...එහෙනම් සල්ලි දෙන්න පාන් ගේන්න…"


"අද අතේ සල්ලි නෑ...පොතට පාන් ගෙඩි දෙකක් අරන් වරෙන්....මේ මාසෙ අන්තිමට පොතේ සල්ලි ගෙවන්නම් කියලා මුදළාලිට කියන්න ..."


"හැමදාම කඩේ මුදලාලි බඩු ගන්න ගිහාම මට බනිනවා ණය පොතේ සල්ලි ගෙවනකම් බඩු දෙන්න බෑ කියලා .."


"ඒහෙනම් මුදලාලිගෙන් ඊයේ පරන පාන් ගෙඩි දෙකක් ලාභෙට ඉල්ලගෙන වටෙන්…"


"මාව මයි කඩේ අරින්නේ..අම්මා යන්නකෝ...මට බෑ....හැමදාම මුදලාලිගෙන් බැනුම් අහන්න ..."


"කට වහගෙන කඩේ ගිහින් වරෙන් ...මෙතන කට කියවන්න එනවා..."


ගෙදර දොරේ වැඩට අකමැති අම්මා, නිතරම ගෙදර වැඩ මට කියා කරවා ගන්නට බලයි... මල්ලිලා දෙන්නා බලාගන්නවා වගේම, කඩේට යන වැඩේද දැන් මට එපා වි ඇත.


කොළඹ පැල්පත් පේලියක ඉපිද, එහි පදිංචිව සිටින අප, ජීවත් වන විදිහ දන්නේ උඩ ඉන්නා දෙවියන් පමනි.


ලෑලි වලින් තනා ඇති අපේ ගෙවල්, ටකරන් හා තාර ශීට් දමා වහලෙ සකස් කර ඇත. තද සුළං කාලෙට, හුළගට යන ටකරන් හා තාර ශිට් වහල, නවත්වා ගන්නේ, වැලි පිරවු ටයර් දමායි. ලැයිමේ වටා දිවෙන වතුර බැස යන කානුවට හැම ගෙදරකම කුනු වතුර එකතු වෙයි. කුඩා ළමයින්ගේ වැසිකිලිය වන්නේද එයයි. එබැවින් පැල්පත් පේළි අවට නිතර ඇත්තේ දුගඳකි. කොළඹ රේල් පාරක් අයිනේ ඇති අපේ නිවෙස් කෝච්චියක් යන හැම විටම දෙදරයි. කම්මලේ බල්ලෝ මෙන් අපටද දැන් කෝච්චි වල ශබ්දය ගැන ලොකු ප්‍රශ්නයක් නැත.


විවධ ජාතීන්ට, ආගම්වලට අයත් මිනිසුන් සිටිනා මෙම ලැයිමේ, ගෙවල් තිහක් පමන එක ගොඩේ ඇත. මොවුන් සියල්ලෝ පාරේ ඇති වතුර පයිප්පෙන්, ගෙදර පාවිච්චියට, නාන්න කරන්න වතුර ගනී. මෙහි ජීවත් වන සියල්ලන්ට පාවිච්චියට ලැයිම අයිනේ... ඈතට වෙන්න වැසිකිලි දෙකක් හා ඊට අමතරව පාරෙ පල්ලේ, පිං ලිදක්ද ඇත.


මෙහි ජීවත් වන සියලු දුප්පත් මිනිසුන්ගේ ආදායම් මර්ග වන්නේ කොළඹ එළවළු හා මාළු මාකට් එකේ කුළී රැකියාවන්‍ය. බොහෝ පිරිමින් නාට්ටාමි රස්සාව කරන අතර, ගැහැනුන් නගර සභාවේ හෝ මාකට්ටුවේ එළවළු විකිනීම කරයි. මෙහි ජීවත් වන තරුණ ගැහැනු ළමයින් අවට ගාමන්ට් වල හෝ බඩු නිපදවන ෆැක්ටෙරි වල වැඩට යති. තරුණ කොල්ලෝ අතට අහුවෙන කුළී වැඩක් කරන අතර, අතට කීයක් හරි හොයාගන්න බැරිවන දාට, බස්වල, මාකට් එකේ, පික් පොකට් ගසා හෝ ගේක වැලක ඇති කාගේ හරි ඇදුමක් කැඩුමක් හොරෙන් ගෙන හෝ, එය විකුනා බීඩියක් සිකරෙට්ටුවක් හෝ කුඩු ගසන්න පුරුදු වි ඇත.

ලැයිමේ බාළ ළමුන් ලැයිමේ කිට්ටුව ඇති පාසැලට යන්නේ යලට මහටය.... ඔවුන් පාසැල් යවා ,යම් කිසි හොද තැනකට ගෙන ඒම හෝ ඔවුන්ට හොද අනාගතයක් උදාකර දීමට ඔවුන්ගේ දෙමව්පියන්ට වුවමනාවක් නැත. උදේ නැගිට්ට විට, අද උදේට කන්නේ මොනවද කියලා හිතනවා ඇරෙන්න, ඔවුන්ට අද මිස හෙටක් නැත. දෙමව්පියන්ට වගේම දරුවන්ටද පාසැල් ගොස් ඉගෙන ගෙන යම් තැනකට යායුතු යැයි හැගිමක් දැනීමක් නැත. දරුවන් සියල්ලගේ එකම පැතුම අද දවසේ කුමකින් හො බඩ කට පුරවා ගන්නට ලැබේදෝයි යන ප්‍රර්තනාවය.....


මෙම සීමිත ඉඩ කඩ ඇති පැල්පත් තුළ බල්ලෝ බළලුන්, ඇතිකිරීම පවා සිදු වේ...මිනිසුන් සතුන් එකම ගොඩේ හැදෙන මේ නරා වලෙන් ගොඩ එන්නේ කෙසේද කියා සිතිමටවත්, එය ඉශ්ට කරගන්නට හැකියාවක් උදාකර ගැනිමටවත්, මෙහි ජීවත් වන්නන්ට අවශ්‍ය තාවයක් නැත ..... ඉපදුන නිසා ජීවත් වන මොවුන්ගෙ දිනපතා එකම බලාපොරොත්තුව හොර බොරුවක් කර හො යමක් කෑමට බඩට දමා ගැනීම විතරමය.


මෙම පැල්පත් ගෙවල්වල මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයන් සපිරෙන්නේ නැති උනත් පැල්පත් වාසීන්ගේ ජීවිත... දශක ගණනාවක් තිස්සේ ඒවායේ වසන, ජනයාගේ සාමාන්‍ය ජීවිතය වී හමාරය.


සනීපාරක්ශාව අවම වශයෙන් ඇති මෙම මුඩුක්කු පේලි වල උයාපිහාගැනිමත්, නිදාගැනීමත් බොහෝවිට සිදුවන්නේ අපවිත්‍ර වටපිටාවකය.. ඇතැම් නිවාස තුළ පවුල් දෙක තුන ජීවත් වන අතර ඔවුන් සිටිනේ එක ගොඩේ එකට තෙරපී වැතිරීගෙනය. ඔවුන්ටම කියා පුද්ගලිකත්වය වෙන් කොට දැක්වූ කාමරයක් , දොරක් වත් සමහර ගෙවල් වල නොමැති තරම්‍ය..


වැඩිමහල් සහෝදරයෙක් හා බාල සහෝදරයන් දෙදෙනෙක් සිටින පවුලේ එකම දියණය වු මම දුලීකා වෙමි. ගෙදර බඩපිස්සා වු බාල මල්ලී තවමත් කිරි බොන වයසේ පසුවෙයි. කොයි වෙලෙත් ඔහු සමග සිටිය යුතු මම, මේ නරා වලෙන් ගොඩ යන්න ලැබෙන්නේ කවද්ද කියා සිතමින් කාලය ගත කරමි.


ආර්ථික අඟහිඟකම්වලින් මිරිකී සිටින මාගේ දෙමව්පියන්ට අපව පාසැල් යවන්නට, උවමනාවක් හො වත්කමක් නැත. නමුත් ග්‍රාම සේවක මහතා කියනා නිසා ඔවුන් අපව නමට පාසැල් යවයි…...නැතහොත් ඒ පාසැලේ ගුරුවරුන් කියනා නිසා හෝ අහල පහල ගෙවල් වල දරුවන් පාසැල් යන නිසා, අපවත් ඉදහිට පාසැල් යවයි.


කිසිදිනකවත් පාසලකට නොගිය මාගේ පියාට ඉගෙනීම ගැන කිසි දැනුමක් හෝ ඒ ගැන කිසි වටිනාකමක් නැත. මගේ මව දෙවන පන්තියට පමනක් පාසැල් ගොස් තිබුනත් ඇයටද ඉගෙනීම ගැන දැනීමක් හැගීමක් නැත. එබැවින් ඔවුන්ට අපව පාසැල් අරින්න අවශ්‍ය තාවයක් ඇත්තේම නැති ගානය. තියෙන අඩුපාඩු අගහිගකම් නිසා අපද පාසැල් යනවාට වඩා ගෙදර ඉන්නට කැමතිය.


කොළඹ රේල් පාරක් අයිනේ පේලි ගෙයක ජීවත් වන මම එම ලැයිමේ අනිත් ළමයින් සමඟ ලඟ තිබුන රජයේ පාසැලට යන අතර මම දැනට හතරේ පන්තියේ ඉගෙන ගන්නෙමි... මම දැන් අවුරුදු එකලොහක දැරියකි….


මට වඩා අවුරුදු දෙකක් වැඩිමහල් අය්යා පාසැල් නොයන්නේ ගෙදර ඇති අඟහිඟකම් නිසාය. මට බාල මල්ලිට අවුරුදු හතකී. ඊට බාල මල්ලිට අවුරුදු තුනහමාරකි....


රැකියාවක් නොකරන අම්මා, වටපිට ගෙවල්වල ගැහැනු සමග කතාබස් කරමින් දවසේ කාලේ ගතකරන්නේ කම්මැලි ළෙසය. කිසිදින රැකියාවක් නොකල අම්මා කසාද බදින්න පෙර බාළිකා මඩමක හැදුන දරුවෙක්‍ය.


"උඹලා දෙන්නට කිසි උවමනාවක් නෑ මේ පොඩි උන්ව පිලිවෙලකට ඉස්කෝලේ අරින්න….උන්ට ඉස්කෝලේ යන්න උවමනාවක් නැත්තේ තියෙන අඩුපාඩු නිසා…අඩුපාඩු එක්ක ඉස්කෝලේ ගිහාම උන් ළමයි අතර කොන් වෙනවා.....ඒ නිසයි මුන් ඉස්කෝලේ යන්න අකමැති ..."


ඇසිලින් නැන්දා අම්මාට නිතර බැන වදින්නේ අපව හරියට පාසැල් නොයනවාටයි.


"මම කියලා මොනවා කරන්නද ඇසිලින් අක්කේ... මේ මිනිහා මම රස්සාවකට යනවට කැමතිත් නෑ...අතේ පිච්චියක් නෑ පොඩි වුන්ට හරියට මොනවත් කන්න දෙන්න වත්..…ඉතිං කොහොම හරි මුං අඩුපාඩු එක්ක ඉස්කෝලේ අරිනවා......"


"උඹ ඔහොම කිව්වට...අර මැගියයි, සෝමයි උඹට පලුයන්න බනිනවා, ...දවල් දවසේ උඹ උන්ගෙ මිනිස්සු ගෙට ඇරගෙන උන්ගේ අතේ තියෙන සල්ලි ටික කඩාවඩාගන්නවා කියලා …"


"අනේ නිකන් ඉන්න ඇසිලින් අක්කේ...මම උන් කියන ඒවා ගනන් ගන්නේ නෑ......මම බලෙන් උන්ව ගෙට ගන්නෑ...උන් මේකට රිංගනවා මිසක්…"


තාත්තා ගෙදර වියදමට මුදල් නොදෙන නිසා, අම්මා අහල පහල ගෙවල් වල මිනිසුන් හොරෙන් ගෙදරට ගෙන්වා ගෙන, කීයක් හරි හොයාගන්නා බව අපි දනිමු. අම්මා ඒ සල්ලි වලින් අපට, කන්න මොනවා හරි රත්කර දෙන බවද අපට වැටහේ.... මාව අම්මා නිතර කඩේ අරින්නේත්, වෙන වෙන වැඩ වලට ගෙයින් එළියට යවන්නේ ලැයිමේ පිරිමින්, අපේ ගෙට ගොඩවන අවස්තා වලටය. අම්මාගෙ ක්‍රියා කලාපය ලැයිමේ නොදන්න කෙනෙක් නොමැත. තාත්තාද ඒවා දන්නවා ඇති කියා මට සිතේ...ඒ අම්මා තාත්තා නිතර රංඩු වන වෙලාවට තාත්තා ඒ බව කියනා නිසාය. නමුත් අම්මාගෙ දින චරියාව අපට වෙනස් කිරිමට බැරිය.


ගෙදර අඟහිඟකම් වලින් මිරිකී සිට අපගෙ එකම පැතුම ගෙවන හැම දිනයකම අපට කෑමට යමක් අපේ බඩට දාගන්නට

ලැබේවායි යන්නය.


අපි ඉපදුන නිසා ජීවත්වන, මේ මුඩුක්කු පේලියේ ජීවිතය ගෙවා දමන්නෙ හරි හැටි අඳින්න ඇඳුමක් නැතිව හා බඩකට පිරෙන්න කෑමක්වක් නොමැතිවය.


"ලොකු දුවේ...අර මිරිස් ටික අඹරලා ගනින් රෑට හොද්දක්වත් හදන්න…"


"අනේ අම්මේ මට බෑ මිරිස් අඹරන්න.....මිරිස් අඹරපු දවසට මගේ අත් දනවා පුපුරු ගගහා…" අම්මා හැමදාම මට කියා ගෙදර වැඩ කරවා ගන්නවා වගේම මිරිස්ද අබරා ගනියි. අම්මා ගෙදර දොරේ වැඩපලට හරිම කම්මැලිය. ඇය දවල් දවසේ මුඩුක්කු පේලියේ ගෑනු මිනිස්සු සමග කදේ දමාගෙන හිදිමින් මගෙන් වැඩ ගනී....


"අනේ මේ ..ලොකු කෙල්ලේ...කතාව නවත්තලා ඔය මිරිස් ටික අඹරලා ගනින්....මොනව හරි රෑට රත් කරලා ගන්න...දැන් තාත්තත් ගෙදර එනව ඇති...."


බොරැල්ලේ පේමන්ට් එකේ සපත්තු මසන්නෙකු ලෙස සේවය කරන තාත්තා හවසට ගෙදර එන්නේ කටගොන්නක් බී ගෙනය. ඔහු දවසම සපත්තු මසා හම්බ කරන්නේ ද ඉතා සොච්චම් මුදලකි. එයින් භාගයක් වියදම් කරන්නෙ කසිප්පු බීමට ය. ඉඳහිට හාල් තුනපහ මල්ලක් රැගෙන ගෙදර එන ඔහු අම්මා සමග නිතර රණ්ඩු සරුවල් කරගනී.ඒ තාත්තා නැති වෙලාවට ගෙදරට රිංගන මිනිසුන් ගැන කියායි ….අම්මාට දැන් ඒ ගැන ගානක් නැත.


ඇය තාත්තාට හොරා, තාත්තා නැති වෙලාවට නිතර මිනිස්සු එක්ක රෝන්දේ යන බව මට දැනේ....ඇය මා අඩගසාගෙන බොරැල්ලේ පොළට බඩු ගන්න යනවා කියා යමින් , මාව එළවළු පෝලිම් වල නවත්වා පැය ගනන් කොහේ හෝ ගොස් එන බව යමක් කමක් තේරුම් යන කාලය වන විට මට තේරුනි... ගිනි ගහන අව්වේ එළවළු පෝලිම් වල පැය ගනන් මම අම්මා එන තෙක් බලාසිටින්නේ වතුර උගුරක්වත් නැතුවය. පැයකට දෙකකට පමන පසු ඇය ආපසු එළවළු පෝලිම වෙත එන්නේ හිස් අතිනි. ඉන් පසු පොළේ ලාභෙට ඇති එළවළු ගොඩවල් ටිකක් එහෙන් මෙහෙන් බෑග් වලට දමාගෙන ගෙදර දුවන්නේ මාවත් ඇදගෙනය. අම්මාගේ මේ ක්‍රියාකලාපයේ හේතුව මට තේරුම් ගියේ පසු කලකය....


දහවල් දවසට තාත්තා වැඩට ගිය පසු හා අපි පාසැල් ගිය පසු අපේ ගෙදරට, වටපිට පිරිමි රිංගන බව ලැයිමේ කවුරුත් දන්නා කාරනයකී...තාත්තා වැඩ ඇරි හැමදාම රෑට ගෙදර ආපසු අම්මා සමග රංඩු කරන්නේ ඒ නිසා බව මට දැනගන්නට ලැබුනේ වයසින් වැඩුන පසුය.

තාත්තා කටගොන්නක් බීගෙන රෑට ගෙදර විත් කන්නට යමක් සොයන බව දන්නා අම්මා…., දවල් දවසට ගෙට රිංගන මිනිසුන් දෙන මුදළින් යමක් මිලදී ගෙන තාත්තට හා අපට කන්නට යමක් හදා තබයි.....එසේ නොමැති උවහොත්, ඇයට ගුටිකන්නට සිදු වෙයි.


ඇදුම් පැළඳුම් ,පොත් පත් නැතුව ඔහේ යන්නන් වාලේ පාසැල් ගිය මට අකුරු ඉගෙන ගැනිමට උවමනාවක් තිබුනේම නැත. මම දැන් අවුරුදු එකලොහක වැඩිවියට පැමිනි ගැහැනු දරුවෙක්‍ය.


අම්මා නැවත ගැබ් ගත්තේ මට ගෙදර තව වැඩ වැඩි කරමින්‍ය. අගහිගකම්වලින් පිරි තිබු අපේ ගෙදරට තවත් සාමාජිකයෙක් එන්න කල් බලමින් ඉදී.... වැඩක් පලක් හරියට කර ගන්නේ නැති අම්මා කෙසඟ කෙනෙක්ද වෙයි.... කෑම්බීම් අඩුපාඩු නිසාත් එකළග දරුවන් ලැබීම නිසාත් ඇය දුර්වල පෙනුමැතිය.


"උඹට ඉතිං මොනව අඩු උනත් ළමයින්ගෙන් එහෙම අඩුවක් වෙන්නෙ නෑනේ,... මොන අඟහිඟ කම් තිබුනත්...බලපං මේ ළමයින්ගෙ හැටි….ඇට සැකිලි වගේ…? මුංටවත් හරියට කන්න නැතුව ඉන්දෙද්දී උඹ ආයෙත් එකෙක් හදාගෙනනේ....අනේ මංදා...මේවා ඉතිං උඹලගෙ කරුමේ...."


මැගිලින් නැද්ද නිතර අම්මාට දොස් කියන්නේ පුංච් අපි පෙන්වමින්‍ය. ....


-හෙට හමුවෙමු-


*ප්‍රිසිලා ගොඩහේවා *

28 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page