top of page
  • Writer's picturePrisila Godahewa

🌏කොන්ත්‍රාත්තුව🌏 (38 වෙනි කොටස )


*මීට අවුරුදු දෙකකට පෙර පෞද්ගලික රෝහලකදී හංසනීට දරුවා ලැබුනු දින....*


" අනේ අම්මේ කෝ මගෙ දරුවා...තාම මට ගෙනත් පෙන්නුවෙ නෑනේ.....ඇයි දන්නෙ නෑ........."


"මම නර්ස් නෝනාගෙන් අහන්නම් දුවේ...."


" නර්ස් නෝනේ,....ඇයි දන්නෙ නෑ අපේ දුවගෙ දරුවාව තවම කාමරයට ගෙනාවේ නැත්තේ....?


"දොස්තරවරු තාම බබාව පරික්ශා කරනවා ඇති....."


"අන්න ලොකු දොස්තර මහත්තයා එනවා ...."


"ආ...කොහොමද හංසිනි ඔයාට....? දැන් අමාරු අඩුද...? මම මේ ආවේ...., මේ අම්මට කියන්න කියලා ....,අම්මගෙ දරුවා උපතින්ම ඇතිවුන ජානමය ,වෙනස්කම් ඇතුව ඉපදිලා කියලා තමයි දොස්තර වරුන් තාම අනුමාන කරන්නේ....,තවම පරික්ශන කටයුතු ඉවර නෑ ඒකයි තවම දරුවා අම්ම ලඟට ගේන්න පරක්කු....අනික දරුවා ටිකක් දුර්වල තත්වයක ඉන්නේ, අපි බබාව බේබි රූම් එකට දාන්න හදන්නේ.... "


"අනේ ඇයි ඩොක්ටර් මගේ දරුවට මොකද...?


"අපට ඔය අම්මගෙන් ප්‍රශ්න වගයක් අහන්නත් තියෙනවා ....මේ දරුවගෙ තාත්තා දැන් කෝ...? එයත් හිටියනම් තමයි හොද ....අපේ පරික්ශන කටයුතු වලට ඒක පහසුවක්. ...."


"අනේ ඩොක්ටර් මම මේ පෞද්ගලික ඉස්පිරිතාලේට ඇතුළු වෙලා බබා හම්බවෙන්න ආවේ.... මේ දරුවගෙ හරි විස්තර හංගලා....මම ඩොක්ටර්ට ඇත්ත කියන්නම්....."


මගේ කුසේ හැදුන දරුවා සාමාන්‍ය විදිහට හැදුන දරුවෙක් නොවන බවත් ,දරුවාගේ දෙමව්පියන් විදේශීකයන් බවත් ඇතුළු සියලු විස්තර මට වෛද්‍යවරයා සමග ඒ අවස්තාවේ කීමට සිදුවිය..... ඒ ඔස්සේ පරීක්ෂණ කටයුතු කරගෙන ගිය වෛද්‍යවරුන්ගෙ කලින් කර තිබු අනුමාන නිවැරැදි කරගෙන,හරි දත්ත ඔස්සේ දරුවාට විශේෂ රැකවරණය හා වැඩි සැලකිල්ලක් දැක්වීමට වෛද්‍යවරුන් කටයුතු කිරීම මගේ සතුටට හේතු විය....


" දොස්තර වරුන්ට ලෙඩ හංගලා බෙහෙත් ඇරගන්න ගියාම අමාරුවෙ වැටෙන්නේ ලෙඩාමයි....මේ අම්මට ඒක තේරුම් ගන්න බැරි උනාද.....? මේ වගේ දරුවෙක් හම්බවෙන්න රෝහලට ඇතුලත් වෙනකොට, විශේශයෙන් සඳහන් කලයුතු දේවල් කල යුතුමයි.... මේ දරුවගේ ඇත්ත තත්ත්වය මේ අම්මා නොකියපු නිසා, අපි හැමෝටම දරුවා ගැන ඇතිවුනේ ප්‍රශ්න ගොඩක් ....කොහොමත් මේ දරුවා ඉපදිලා තියෙන්නේ

තයිරොයිඩ් ග්‍රන්ථි ක්‍රියාකාරීත්වයේ සංකූලතා ඇතිවයි. ......ඒ නිසා අපට දරුවාව කොළඹ පෞද්ගලික රෝහලකට මාරු කරලා අරින්න වෙනවා. ටික දිනක් එහි රඳවාගෙන ප්‍රතිකාර කරන්න වෙයි.......අපි දරුවාව දැනටමත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමුකරලා තියෙන්නේ .....දරුවට ඉක්මනින්ම ප්‍රතිකාර අවශයි....එම ප්‍රතිකාර වලින් පසුවයි මේ අම්මට දරුවත් එක්ක රෝහලෙන් ගෙදර යන්න පුලුවන් වෙන්නේ.....ඒ වගේම දැනටත් වෛද්‍යවරුන් මේ දරුවා ගැන විශේෂ අවදානය යොමුකරලා තියෙන නිසා , ඒ ගැන මේ අම්මා බය වෙන්න එපා...."


"අනේ ඩොක්ටර් ....මගේ දරුවා ගැන හොදට බලන්න ....මට ගෙදර යන්න හදිස්සියක් නෑ...මුදල් ප්‍රශ්නයකුත් නෑ...මගේ දරුවා හොදටම හොද කරලා දෙන්න ඩොක්ටර් ....පිං සිදු වෙනවා...."

"පහුවෙලා හරි මේ අම්මා දරුවා ගැන ඇත්ත කියපු නිසා...., අපට ඉක්මනට දරුවට ප්‍රතිකාර ආරංභ කරන්න පුලුවන්......ඔය අම්මා දන්නවද....

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වැඩිවීම හේතුවෙන්, දරුවාගේ මතක ශක්තිය නැති විම, තර්කානුකූලව සිතීමේ හැකියාව, නිර්මාණාත්මක හැකියාව අඩු වීමට බලපෑම් ඇති කරන බව...."


"අනේ ඩොක්ටර් මම ඕවා දන්නේ නෑ...."


"ඔය තයිරොයිඩ් ග්‍රන්තයේ ප්‍රශ්න නිසා, දරුවා මන්දමානසික තත්ත්වයට පත්වීමේ අවදානමක් තියෙනවා .... ඉපදීලා මුල් දින කිහිපය ඇතුළත මෙම තත්ත්වය හඳුනාගෙන ඉක්මනින් ප්‍රතිකාර කලොත් දරුවා මන්ද මානසික තත්ත්වයට පත්වීම වළක්වාගන්න පුලුවන් ....මාස කීපයක් ගත වෙලා ප්‍රතිකාර ඇරඹුවා නම් දරුවා යථා තත්ත්වයට පත්කර ගැනීම අපහසු වෙන්න තිබුනා ...."


"අනේ ඩොක්ටර් මට ගෙදර යන්න හදිස්සියක් නෑ...මගෙ දරුවා හොදටම හොද කරලා දෙන්න .....සල්ලි කීයක් ගියත් කමක් නෑ....මට දරුවා වෙනුවෙන් වියදම් කරන්න සල්ලි තියෙනවා ...."


"ඔව් මේ අම්මට මේ දරුවත් එක්ක සුමාන දෙක තුනක් ඉස්පිරිතාලේ නවතින්න වෙයි....ඒ වගේම දිගටම ඉදිරි කාලේ, දරුවාව වෛද්‍යවරුන්ට පෙන්වමින් බෙහෙත් ගන්න වෙයි.... "


ලැජ්ජාව, අසරණ කම නිසා දරුවාගේ ඇත්ත තත්ත්වය හංගා රෝහල් ගත උන මම නිසා, තව පොඩ්ඩෙන් මගේ දරුවා මුළු ජීවත කාලයටම මන්දමානසීක දරුවෙක් වෙන්නට ඉඩ තිබුනි....


ඉන්පසු මට කොළඹ පෞද්ගලික රෝහලකට දරුවා සමග ඇතුලත් වෙන්න සිදුවුනි. ඒ වගේම ඇන්ජලා හා ටෙරික් මට ලබා දුන් කොන්ත්‍රාත්තු මුදලින්, ඉතිරිවි තිබු මුදල් වැඩි කොටසක් දරුවා වෙනුවෙන් මට වියදම් කිරීමට සිදු විය.... දරුවා සුව කරගැනිම සඳහා එම මුදල්, කොළඹ පෞද්ගලික රෝහලට ගෙවීමට සිදු වීම ගැන මට දුකක් නොවීය....


මාසයකට අදික කාලයක් රෝහලේ නැවති දරුවාට විශේෂ ප්‍රතිකාර ලබා දී ඔහුව සාමාන්‍ය ප්‍රමානයට සුවකර ගත් මම ආපසු රෝහලෙන් ගෙදර රැගෙන යාමට පැමිණ සිටියේ කීර්ති සර් මය....


"අපි දැනගෙන හිටියෙ නෑනේ...දරුවගෙ තාත්තා සුද්දෙක් කියලා .....? තව ඩිංගෙන් ඇලි දරුවෙක් කියලා හැමෝම හිතනවා....දරුවට තිබිලා තියෙන්නේ වෙන අසනීපයක්නේ....හොද වෙලාවට අසනීපේ ඉක්මනට අදුනගෙන බෙහෙත් කලේ....හැබැයි මිස් දරුවට තව කාලයක් බෙහෙත් ගන්න වෙයි කියලා දොස්තරවරු කිව්වා නේද....?


"ඔව්...දැන් ඉතිං ඉස්සරහ කාලේ මේ දරුවාගෙ අසනීප වලට බෙහෙත් කරන්න මම ආයෙත් රස්සාවක් කරන්නත් එපෑ.... අතේ තිබුන සල්ලි ටික ඉවර වෙන්නත් ලඟයි..."


" අසනීපයක් තිබුනට මේ දරුවගෙ දැන් මොන අඩුපාඩුවක් වත් පිටින් පේන්න නෑනේ....මේ ඉන්නෙ යස සුදු පැටියෙක්...මේ ළමයගෙ තාත්තා මොන රටේ කෙනෙක්ද අම්මේ..?."


"ඔස්ට්‍රේලියාවේ..."


"ලොකු උනාම නියම සුද්දෙක් වගේ ඉදියි.....හරිම ලස්සන කොළු පැටියා.... අපොයි මේ අම්මට ඉතිං මෙයාට කිරි දෙනවට වඩා වැඩක් නැති වෙයි...මේ බලන්න කිරි බොන හැටි.... ඉපදිලා ඉස්පිරිතාලේ හිටිය මාසෙට, හොද සනීපෙට, හොද බරකින් දරුවා හැදිලයි කියලා දොස්තර මහත්තයා කිව්වා..."


මාසෙක කාලයක් ඉස්පිරිතාලේ නැවති හිටි මාව, එහි සියලු වෛද්‍යවරුන් හා නර්ස් නෝනාලා හැමෝම හොදින් අඳුනයි..... මා සමග ඔවුන් හැමෝම හොඳින් යාළුවි ඇත. ඔවුන් දරුවාවා වර්නනා කරනවා වගේම, දරුව ඉදිරි කාලේ හදාගතයුතු ආකාරය ගැනත් උපදෙස් දෙයි .... දරුවාගෙ පියා පිටරට කෙනෙක් කියා නර්ස්ලාගෙන් ඔහුට විශේෂ සැලකිල්ලක්ද ඇත.


මුළින් ඉස්පිරිතාලේ විශේෂ දරුවන් සිටින රැඳවුම් මැදිරියක සිටි දරුවාට.... සුමාන දෙකක කාලයක්, මගේ මව් කිරි දොවා පොවන්නට සිදු විය.... ඉන් පසු මගේන් කිරි උරා බීමට දරුවා පටන් ගත් පසු, මට මගේ මුළු ලෝකයම උනේ ඔහුයි....... මටම අදහාගත නොහැකි තරමට මම ඔහුට ලං විය...., සුදුම සුදු , යාන්තම් හීන් තඹ කෙස් ගස් දෙක තුනක් හිසේ ඇති, තඹ පාට ඇස් ඇති ඔහු විදේශික දරුවෙක් බව බැලූ බැල්මට පෙනේ...


"ඈ ලොකු දුවේ ඇත්තටම උඹ සුද්දෙක් එක්ක ගිහින්ද මේ ළමයා හදාගත්තේ.....? ඇයි උඹ මට ඔවා හැංගුවේ, ....දැන් ඉතිං උඹ මේ ළමයා ඇරන් ගමට යනවා නම් බොරු......බලපන්කෝ මේකා නියම සද්දෙක්ගෙ පැටියෙක්නේ....උඹේ පෙනුම ඇත්තෙම නෑනේ...කිරි බොන ලස්සන විතරක් තුරුල් වෙලා,.... උඹ මේකගෙ අම්මා කියල නම් කියන්න බෑ...දැන් ඉතිං උඹ ඉන්න තැනකම මේකව හදාගනින් ගමේ පැත්තෙ පලාතේ එක්ක එන්න එපා......"


මම කාගේ කවුද කියලා නොදැන පොඩි එකා, මට තුරුල් වී එක හුස්මට මගේ කිරි උරා බොන හැටි....අනේ සංසාරේ ....ලෝකේ කොහේ හිටිය දෙමව්පියන්ගෙ දරුවෙක්ද මේ දැන් මට තුරුල් වෙලා සැපට කිරි බොන්නේ....


" කීර්ති අය්යේ මට මේ දරුවා දැන් කාටවත් දෙන්න හිතෙන්නෙ නෑ...මේ දරුවා මට තුරුල් වෙලා මගේ කිරි බොන කොට මට මේ දරුවා වෙන කාගෙවත් දරුවෙක් කියලා හිතෙන්නෙ නෑ....මේ මගේ ලෙයින් පෝශනය වෙලා, මගෙ බඩෙන් උපන් දරුවා....මම මෙයාව ආදරෙන් හදාගන්නවා.....මම මේ දරුවා මඩමකට දාන්නේ නෑ....."


"එතකොට නංගි ඔයාගෙ තරුණ ජීවිතේ ...මේ අනුන්ගේ දරුවෙක් වෙනුවෙන් ගෙවා දමන්නද කල්පනාව .... ?


"මට පුලුවන් කාලයක් මම මේ දරුවා හදාගෙන ඉන්නවා....මම මේ මගේ බඩෙන් උපන් දරුවා කාටවත් දෙන්නෙ නෑ.....මේ ගිය ආත්මයක මගේ ණය කාරයෙක් වෙන්න ඇති...මම මේ ආත්මේ මේ ණය ගෙවලා ඉවර කරන්න ඕනේ .... "


"අපි ඉස්සරහ කාලේ මොනව හරි කරන්න බලමු නංගි..... ඔයා මේ අමාරුවෙ වැටුන එකට, මාත් වගකියන්න ඔනේ,..."


" ඔයා මොනව කරන්නද....මේ මගේ කරුමය.....මට දැන් මේ දරුවා ඇරන් මම සල්ලි දීලා ගත්ත ගෙදරට යන්න පුලුවන් ....මට ටික කාලයකට වැඩට කෙනෙක් හොයලා දෙන්න කීර්ති අය්යේ....අපේ අම්ම එක්ක මට ඒ ගෙදර ගිහින් ඉන්න බෑ....අම්මගෙ බැනුම් ඉවරයක් නෑ....කොහොමත් අම්මට තාත්තව ගමේ දාලා ඇවිත් මාත් එක්ක ඉන්න බෑනේ.... පුලුවන් ඉක්මනට මම රස්සාවක් කරලා සල්ලි කීයක් හරි හම්බ කරන්න පටන් ගන්න ඕනේ......ඉස්සරහ කාලේ මම මේ දරුවත් එක්ක ජීවත් වෙන්න විදිහක් හොයා ගන්න එපෑ....ඇන්ජලාලා දුන්න සල්ලි ඔක්කොම වගේ මේ දරුවා වෙනුවෙන්ම වියදම් උනා...."


"නංගි ඔයා ලග ඉතිරි වෙලා තියෙන සල්ලි වලින් මහන මැශින් දෙක තුනක් ගත්තනම් ගෙදර ඉදන්ම ඇදුම් මහන රස්සාවක් කරලා කීයක් හරි ඔයාට හොයා ගන්න පුලුවන්.....මම නංගිට ඒක කරන හැටි කියලා දෙන්නම්.....

ලාබෙට රෙදිත් ඇරන් දෙන්නම් ....නංගි ළමා ඇදුම් මහන්න පටන් ගන්න....

අපි ඉස්සරහ කාලේ මොනව හරි කරන්න බලමු නංගි...."


"මට හරි දුකයි කීර්ති අය්යේ මගේ ජීවිතේ ගැන ...මම කොච්චර ලොකු වට බලාපොරොත්තු තියාගෙනද මේ කොන්ත්‍රාත්තුව භාර ගත්තේ, ඒකෙන් මම හිටියට වඩා අන්න අසරණ තැනකට වැටුනේ, මගේ බඩෙන් ඉපදුන දරුවා කාගෙ උනත්, මගෙ ලෙයින් පෝශනය උන දරුවා, මොන අසනීප තිබුනත් මම කොහොමද අහක බලන්නෙ....මම ඉස්සරහ කාලේ මේ දරුවාගෙ ලෙඩේ හොද කරගෙන හොදට උගන්නලා ලොකු මහත් කරගන්නවා....."


"මොනව උනත් හංසිනි නංගිට ඉන්න ගෙයක් දැන් තියෙනවානේ ඒකත් ලොකු දෙයක්...."


දරුවා ඉපිද මාසයකට පසු, ඉස්පිරිතාලේ සිට..... අම්මා හා කීර්ති අය්යා සමග මම මිලදි ගත් නිවසට ගියේ, අනුන්ගේ දරුවෙක් මට හදන්න උන දුකෙන් කණගාටුවෙන් උනත්, මගේ සුදු කිරි පැටියා ආදරයෙන් තුරුල් කරන්‍ ය......


කීර්ති අය්යා ඔහු අදුනන ගෑනු කෙනෙකු, මගේ ගෙදර , මගේ තනියට වැඩට ගෙනත් නැවැත් විය.... අම්මා නංගි පුළු පුලුවන් විදිහට මාව බලන්න ඇවිත් යයි....දන්න කියන ලඟ පාත ගෙවල් වල මිනිසුන් මගේ සුද්දගෙ පැටියා බලන්න එන්නේ පුදුම ආසාවෙකිනි....පෙනුමෙන් තළඑලලු මට ලැබි සිටින සුදු බෝනික්කෙක් වැනි ලස්සන සුදු පැටියා, හැමෝටම අමුතු කෙනෙක්ය......


දන්න කියන ගමේ මිනිසුන්, මගේ සුදු සැමියා ගෙදර එන්නෙ කවදාද කියා නිතර අසයි.... ගමේ පිරිමි ,කොල්ලෝ මම එහෙ මෙහෙ යන වෙලාවට දැන් ඕන නැති කතා කියමින් විහිලු කරයි....ගමේ ගැහැනු තැන තැන මට නොයෙකුත් කතා හදා ඇති බවත් මට ආරංචි විය....එබැවින් මම දැන් ගමේ මිනිසුන්ට වැඩිය මූණ නොදී, මගේ පුතා නොපෙනෙන්න හංගාගෙන තියාගෙන ඉන්නෙමි.


මගෙත් සුදු පුතාගෙත් වැඩ කර දෙමින් සිටින සීලවතී මට ගොඩක් ආදරෙන් සලකයි.... මගේ බැංකු පොතේ තිබු සියලු මුදල්, මගේ සුදු පුතා වෙනුවෙන්ම වියදම් කිරීමට සිදු විය.....


දරුවා ලැබි මාස හයක කාලයක් යනවිට සමනලි අක්කා හා කීර්ති අය්යාගෙ උදව්වෙන් මගේ ගෙදර පිටුපස හදාගත් පොඩි මඩුවේ, පරණ මැශින් තුනක් දමාගෙන මැහුම් වැඩ පලක් මම පටන්ගත්තෙමි....


කීර්ති අය්යා මට නිතර උදව් කරන බව දැනගෙන කීර්ති අය්යාගේ නෝනා මගේ ගේ ගාවට ඇවිත් මට බැනා අඬගසා ගියදවස මගේ හිතේ ඇතිවුන දුක කියා නිම කල නොහැකි විය....


"ඔයා දුක් වෙන්න එපා හංසිනි ....සමදරාටයි මටයි ළමයි නැති නිසා, මම සමදරාව ඩිවෝස් කරලා ඔයාව කසාඳ බදින්නම්....අපි මේ ළමයා හදාගෙන හොදට ඉමු.....ඔයාට මේ ගමේ පිරිමියෙක් නැතුව ජීවත් වෙන්නත් අමාරුයි ...."


"අනේ සමදරා අක්කව ඩිවෝස් කරන්න එපා කීර්ති අය්යේ, එයා පව්...මම කොහොමත් අසරණ උන කෙනෙක් , මේ ළමයා නිසා....මට පුලුවන් විදිහට මේ ළමයා හදාගෙන ජීවත් වෙන්න පුලුවන් ..."


මම මොනවා කිව්වත්, කවුරු කෙසේ හිතුවත්, මගේ සුදු පුතා ඉපදී අවුරුද්දක් යන කල, කීර්ති අය්යා සමදරා අක්කාව දික්කසාද කර මාව කසාඳ බැද ගත්තේ මගේ පුතාට තාත්තා කෙනෙක් වෙමින්‍ය. සමදරා අක්කාද දික්කසාදයට එකඟ වී ඇත....


කීර්ති මට මගේ මැහුම් වැඩපල හොදින් කරගෙන යන්න දිගටම උදව් කරන්නේය.... මගෙ සුදු පුතාගෙ වාසනාවෙන් එන්න එන්නම මගේ මැහුම් වැඩපලේ ඇදුම් හොදින් විකිනි යන නිසා, මට එන්න එන්නම වැඩ වැඩි වි ඇත..... මම ගමේ ගැහැනුන් දෙදෙනෙක් හා කෙල්ලො දෙදෙනෙක්ට පඩි ගෙවාගෙන, ගෙදර ඉදන්ම ,සල්ලි හම්බ කරන්න පුලුවන් රැකියාවක් දැන් කරමි.....


-සිකුරාදාට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page