top of page
Writer's picturePrisila Godahewa

එතෙරින් එතරට - දෙවන කොටස (2)

Updated: May 2, 2020



"අම්මේ බඩගිනියි මොනවද කන්න තියෙන්නේ.”

‘‘උඹ ඉතිං ගෙට ගොඩවෙන්නෙ බඩගිනි කියාගෙන, ගිහින් අතපය සෝදගෙන වරෙන්.‘‘


‘‘හැමදාම බතල, මට මේවා කන්නා බෑ.‘‘ චූටි නංගී අඬයි.


“අම්මේ මට තව බතල කෑල්ලක්” මල්ලීද මා මෙන්ම බඩගිනිකාරයෙක්ය”

‘‘බතල හරි කන්න තියෙන එක ලොකු දෙයක් උඔලට, උඹට කන්න බැරි නම් බඩගින්නෙ බුදිය ගනින්.‘‘ අම්මා නංගිට සැර කරයි.


ගෙදර අනික් සැවොම අම්මා, තම්බා තිබෙන බතල හෝ වෙනයම් උයා තිබෙන දෙයක් කන්නෙ කතා නැතිවමය. ගෙදර තිබෙන අඟහිඟකම් ගැන හොඳින් වැටහෙන අක්කා, අයියා හා මම අම්මා දෙන දෙයක් කෑමට පුරුදු වී ඇත්තේ වෙන දෙයක් කෑමට නැති බව හොදින්ම දන්නා නිසාය. තාත්තා අපට හොඳ දෙයක් කන්නට දීමට නොහැකි වීම ගැන දුකෙන් පසුවන බව අපි දනිමු. වෙන පිරිමි මෙන් සුරාමේරයට ඇබ්බැහි වී නැති තාත්තා මධු විතක් ගන්නෙ මඟුල් ගෙදරක ගියදිනට හෝ කාගෙන් හෝි නොමිලේ ලැබුණොත් පමණි.

‘‘මට මේ දරුවන් ගැන දුකයි. උන්ට හරියට කන්න බොන්නවත් නෑ.‘‘ තාත්තා නිතර අම්මාට කියන්නෙ අපට නොඇසෙන්නටය.


"‘පොඩි වුන්ටත් තේරෙනවා අපට තියෙන අඟහිඟකම්. ඊයේ ලොකු කොළුවා ඉස්කොලෙ ඇරිලා එන ගමන් සයිමන්ලගෙ වත්තෙන් කොස් ගෙඩියක් කඩා ගෙන ඇවිත් තිබුණා තම්බන්න. උන් දන්නවා මං උන්ට කන්න දෙන්න දෙයක් නැතුව දුක්වෙනව කියල.‘‘


‘ඇයි මද්දුමයා කුසුම්ගෙ වත්තට පැනල වම්බටු ගෙඩි දෙකක් කඩාගන්නවා දැකලා, එකී මද්දුමයට හොඳටම ගහල. හවස ඇවිත් මටත් කුණුවෙන්න බැන්නා.උඔ ළමයි හොරකමෙ යවනවා කියල.‘‘ අම්මා දුකෙන් කියයි.


‘‘අනේ මන්ද රාණියෝ මේ ළමයි ටික ලොකු කරගන්නෙ කොහොමද කියලා, මට නමි හිතා ගන්නත් ඛෑ මුන් ටික ටික ලොකු වෙනකොට වියදමුත් වැඩියි. අනික පොඩි වුන් දෙන්නත් ඉස්කෝලෙ යන්න පටන් ගත්තම පොතපතටත් ලොකු වියදමක් යයි.‘‘

"‘ ලොකු හාමුදුරුවෝ කිව්වා හෙට හවස පන්සලේ බණක් තියෙනවා උදේට ඔහේට ඇවිත් වත්ත පිටිය සුද්ද කරන වැඩවලට උදව් කරන්න කියලා.‘‘


‘‘ලොකු හාමුදුරුවෝ අපට උදව් කරන විදිහට උන්නාන්සේ උදව්වක් ඉල්ලූහම නොකරත් බෑ.‘

‘‘ඒක තමයි කොහොමහරි උදේ වරුවක් නිවාඩු දාලා හරි පන්සලට යන්න. පන්සලේ ශ‍්‍රමදානයක් කිව්වා. සෙනසුරාදා නිසා ලොකු ළමයි තුන්දෙනාටත් ගිහින් උදව් කරන්න කියන්න ඕනේ.‘‘


‘‘උන්ට නම් කියන්න ඕනේ නෑ. උදේ හීල්දානෙයි, දවල් දානෙයි පන්සලෙන් හම්බවෙන නිසා උන් අනිවාර්යයෙන් ම පන්සලේ වැඩට යයි.‘‘


‘‘අනේ පව් පොඩි වුන්, කෑම ටිකක් හම්බවෙනව කියල දැනගත්තම ගමේ කයියවල්වලටත් ගිහින් උදව් කරල බඩ කට පුරව ගෙන එනවා. ඒ එනගමන් මටත් බත් එකක් ඉල්ලගෙන එන්න අමතක කරන්නෙත් නෑ.”


‘‘ළඟ එන වෙසක් උත්සවයට පොඩි උන් බට කෝටු කපා ගෙන කූඩු හදනවා. සව් කොළ ටිකක් ගෙනත් දෙන්න බලන්න කූඩු අලවන්න.‘‘


‘‘ඔය කූඩු හදන්නෙ මේ ගෙයි එල්ලන්න නෙමේ. පාරේ අයිනෙ තියලා විකුණලා කීයක් හරි හොයා ගන්න.‘‘

‘‘එහෙනම් මොනවහරි කරල සව්කොළ ටිකක් ගෙනත් දෙන්න ඕනේ.‘‘

‘‘මද්දුමයට තොරණක් හදන්න කැරකෙන ධර්ම චක‍්‍රයක් ඉල්ලලා බේරෙන්න බෑ. බැරි වෙයිද ධර්ම චක‍්‍රයයි කැරකෙන මෝටරයකුයි මද්දුමයට ගෙනත් දෙන්න.‘‘


‘‘පිස්සුද රාණියෝ කොහේ තියෙන සල්ලි ද ධර්මචක‍්‍ර ගන්න.‘‘

‘‘මද්දුමයා සිරිසේනලාගෙ බට් අඹ ගහෙන් අඹ ගෙඩි දෙකක් හොරෙන් කඩලා, ඒක අහුවෙලා සිරිසේන කොල්ලට ගහලා.‘‘


‘‘මද්දුමයා හදන්නම බෑ. පොඞ්ඩ ඇත්නම් වූ අනුන්ගෙ කියල බලන් නෑ හොරෙන් කඩා ගෙන එනවා දකින දකින දේ.‘‘


‘‘දහම් පාසැලට වත් ඌව දාන්න ඕනේ. හාමුදුරුවන්ට කියල අවවාද කරවන්න. නැත්නම් කොල්ලා හොරෙක් වෙයි.‘‘


‘‘අපෝ ඌ දහම් පාසල් යන්න ඉරිදා උදේ පාන්දර නම් නැගිටින්න එකක් නෑ. උදේ පාන්දර නැගිටින්න හරිම කම්මැලියි.‘‘


"‘එහෙම කියල බෑ. ඔය ලොකු උන් දෙන්නා දහම් පාසල් යන්නේ මද්දුමයාවත් යවන්න ඕනේ. හොඳ ගුණධර්ම ටිකක්වත් උගන්වන්න.‘‘

අම්මයි, තාත්තායි මාව දහම් පාසල් අරින්න උත්සහ ගනියි. සතියෙ දවස් පහේ ම උදේ ම නැගිටලා ඉස්කෝලේ යන අපට, වැඩිපුර නිදාගන්න ලැබෙන්නෙ සෙනසුරාදා හා ඉරිදා පමනි. ඒකත් නිදාගන්න හැටියක් නෑ. ඉරිදට දහම් පාසල් යන එක තරම් අකමැති වැඩක් තවත් මට නැත. අක්කයි, අයියයි දහම් පාසල් යන්න ලෑස්ති වෙන වෙලාවට මම තව ටිකක් ඇස් තද කරන් නිදා ඉන්නෙ දහම් පාසල් යන්න ඇති අකමැත්ත නිසා ය.

අම්මත්, තාත්තාත් නිතර පන්සල් යන පන්සලේ හොඳ දායකයන් දෙදෙනෙකි. පන්සලේ හැම වැඩ කටයුත්තකට ම සහභාගී වන ඔවුන් අපිව පන්සලේ වැඩවලට උනන්දු කරවයි. අක්කයි, අයියයි, අම්මා, තාත්තා මෙන් ම පන්සලේ වැඩවලට ඉතා උනන්දුවෙන් සහභාගී වෙන අතර, මම නම් පන්සල් යෑමට ඉතා අකමැත්තෙමි. මම පන්සලට යන්නෙ උදේට දවල්ට නිකන් දානේ කන්න ලැබෙන දිනවලට පමණය. පන්සලේ පෝය දිනවලට දායකයන් ගෙනෙන උපාසක දානය නම් මා කවදාවත් මග නො හරිමි. පෝය දිනට අක්කත්, අයියත් සමඟ සිල් ගන්නා මම උදේ අටසිල් සමාදන් වෙන වේලාවට ද කල් ගත කරන්නෙ අද උදේ හීල් දානයට මොනවා තිබේදැයි සිතමින්ය. උදේ පාන්දර සිල් සමාදන්වන උපාසකයන් බුදු ගෙයි ගාථා කියන වේලාවට උපාසක දානය බණ මඩුවේ ලෑස්ති කරන්නෙ පන්සලේ දායකයන් ය. ගමේ සියලු දායකයන් ගෙන එන දානය පිඟන්වලට බෙදා සිල් සමාදන් වී ඉන්නා උපාසකයන්ට බෙදා දෙන්නෙ ඔවුන් ය. උදේ හීල් දානයට බොහෝ විට කපපු පාන් සමඟ පරිප්පු හෝ අල හොඳි, පොල් සම්බෝල තිබෙයි. ඒවා කා අහවර වූ විට කෙසෙල් ගෙඩිය බැගින් අපට කන්නට ලැබේ. පෝය දිනට සිල් සමාදන් වන්නට එන සියලු දරුවන් බලා සිටින්නෙ දානේ වේලාව එන තෙක් ය.

‘‘බණ මඩුවෙන් හොඳ සුවඳක් එනවා. අද උදේට මොනවද දන්නෑ‘‘.* මම ලඟ සිටින කමල්ට හොරෙන් කියන්නෙ ඔහුත් මා මෙන් ම දානෙ කෑමට සිල් ගන්නා බව දන්න නිසා ය.

‘‘අද නම් ඉඳි ආප්ප තියෙනවලූ කඩේ මුදලාලිලාගේ ගෙදරින්ලූ උපාසක දානේ.‘‘

‘‘ඇත්තට‘‘ මගෙ කටට කෙළ උනන්නෙ ඉඳි ආප්ප මතක් වීය.


"‘අද දවාලටත් මුදලාලිගෙ ගෙදරින්ලූ උපාසක දානේ. ගිය අවුරුද්දෙ මුදලාලිලාගෙ ගෙදරින් ගෙනාපු උපාසක දානෙට අලුත් මාළුත් දුන්නලු. බත් කාලා කන්න යෝගට් එකකුත් දීලා.‘‘

‘‘ඇත්තට එහෙනම් අද දවාලටත් එවා තියෙයිද දන්නෑ?”

පුංචි අපි පන්සලේ සිල්ගන්න යන්නෙ උදේට දවල්ට හම්බ වෙන දානේ ගැන සිතමින් ය.

ගමේ සියලූ, පන්සලේ දායකයින් පෝය දිනට ගෙදරින් උයා එළවලූ, මාළු ආදිය රැගෙන එයි. එබැවින් උපාසක දානයට නොයෙකුත් රස මාළු පිනි තිබෙයි. එදිනට විවිධ රසැති බත් මාළු කන අප හවස සිල් පවාරනය කරනාතෙක් බලා සිටින්නෙ දහවල් දානය නිම වූ වෙලාවේ සිටය. ඒ ගෙදර යන්නටය. සාමාන්‍යයෙන් උදේට දවල්ට පන්සලේ දානයට මස් මාළු නොලැබෙයි. එළවලූ වර්ග බොහොමයක් සමඟ බත් කෑමට ලැබීමත් පුංචි අපට සතුටකි. ඉඳහිට පොහොසත් දායකයන් යෝගට් ආදිය දානෙට පිළිගන්වයි. එදිනට අප ඒවා කන්නෙ බොහෝ කැමැත්තෙන් ය.


"‘මද්දුමයා සිල් ගන්න ගිහින් පෙරේතයෙක් වගේ කන්නේ. මට ලැජ්ජාවේ බෑ.‘‘ අක්කා ගෙදර ආ සැනින් අම්මාට කේලම කියයි.”


"‘පොඩි එකානෙ. ඌට රසට කන්න තියෙන නිසා තමයි සිල් ගන්න යන්නෙ. නැත්නම් ඕකා ආගමට දහමට ලැඳි එකෙක් නෙමේයි‘‘

‘‘අපොයි ඔව්... පන්සිල් පද පහවත් ඌ රකින්නෙ නෑ. අර වෙලේ තිත්ත පැටව් අල්ලන්න ගිහින් ඌ මාළුත් මරනවා. ඒ මදිවට කාගෙ හරි වත්ත පිටියක පළතුරක් දැක්කොත් හොරෙන් කඩා ගෙන කනවා. ඒ මදිවට බොරුත් කියනවා.‘*‘ අක්කා නිතරම අම්මා සමඟ මගේ වැරදි කියයි.

‘‘පොඩි එකානෙ දුවේ.‘‘ අම්මා මං කරන වැරදි ගණන් නොගනී.


‘‘අම්මා තමයි ඌව නරක් කරන්නෙ. අනුන්ගෙ දෙයක් කඩා ගෙන ආපු දවසටවත් අම්මා ඌට දඬුවම් කරන් නෑනේ.‘‘*

‘‘ලොකු වෙනකොට ඕවා හරි යයි. ඌ යකෙක් කන්න බඩගින්නෙ හැම තිස්සෙම ඉන්නෙ. කොච්චර කන්න දුන්නත් මදි. කොල්ලො කුරුට්ටෝ එක්ක කැලේ පැනල අඹ ගැටයි, කජු පුහුලනුයි, දකින දකින ගඩා ගෙඩි කනවා. ඔහොම තමයි ඔය වයසට"‘

අම්මා නිතර මාව බේර ගන්නෙ පොඩි එකා කියමින්ය.



*නැවත හෙට හමුවෙමු




4 views0 comments

Recent Posts

See All

*එතෙරින් එතරට *

(22 වෙනි කොටස ) වාහනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් එකදිගට ගමන් කරයි. කොරියන් රියැදුරු මගෙන් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් ඇසීය. මට කිසිදු...

Comentários


bottom of page