top of page
  • Writer's picturePrisila Godahewa

එතෙරින් එතරට - තුන්වන කොටස (3)

Updated: May 2, 2020



මම දැන් අවුරුදු එකළොහක දරුවෙකි. බඩකට පුරවා ගන්නට ඇති අවශ්‍යතාවයට අමතරව මා කැමතිම දේ කැඩුණු බිඳුණු සෙල්ලම් බඩු ආදිය එකට එකතු කර සාදා දැමීමයි. කාගෙ වුණත් කැඩුණු බිඳුණු බඩු විසි කර දමා තිබෙනවා දුටුවොත්, මම ඒවා ගෙදර ගෙනවිත් එකට යා කර පූට්ටු කර සාදා දමන්නෙ ඉතා දක්ෂ ලෙස ය. ගමේ සිටින දුප්පත් මිනිසුන් හට ඒ හැටි වටින කියන බඩුමුට්ටු නැත. ඔවුන් ගෙවල්වල අහක දාන කාඩ්බෝඩ් පෙට්ටි පරණ යකඩ කෑලි, රබර් කෑලි මම ඉල්ලාගෙන ගෙදර ගෙනවිත් යම් යම් නිර්මාණ කරන්නෙ ඉතා පළපුරුදු ලෙස ය.

‘‘මද්දුමයට හොඳ නිර්මාණ හැකියාවක් තියෙනවා.. ඕන දෙයක් හදන්න.*‘‘

තාත්තා මට කඩමණ්ඩියට ගොස් එනවිට පරණ කාඩ්බෝඩ් පෙට්ටි, ටොනික් පියන්, පොල් කටු, බිම බට ආදිය ගෙනැවිත් දෙයි. ඔහු මං කරන නිර්මාණ වැඩ ගැන අනිත් අයට ද කියා මා උනන්දු කරයි.

‘‘තාත්තෙ අපේ ඉස්කෝලේ වෙසක් උත්සවයට වෙසක් කූඩු තරඟයක් තියෙනවා. මට සව් කොළ ඕනේ ලස්සන නෙළුම් මලක් හදන්න.*‘‘

‘‘බලමු මේ දවස්වල මගේ ලඟ සල්ලි නෑ."

පාසලේ සැවොම වෙසක් උත්සවයට නොයෙක් ආකාරයෙ සැරසිලි නිර්මාණය කරති. වෙසක් කූඩු තරඟයට ලහි ලහියේ ලෑස්ති වෙති. යමක් කමක් ඇති ළමයින් විවිධ අලූත් සැරසිලි ආදිය පාසලට ගෙනවිත් තමන්ගෙ ලොකුකම් පෙන්වති. ටවුමේ ලොකු එළවලූ මුදලාලිගෙ පුතෙක් වන සහන් ලස්සන බුදු පිළිමයක් ගෙනාවේය. එහි සිරස වටා ධර්ම චක‍්‍රයක් කැරකෙන්න සාදා ඇත. එය මෝටරයකින් වැඩ කරයි. බලා ඉන්න බැරි තරම් ලස්සනට බුද්ධ චක‍්‍රයේ පාට පහ කරකැවෙනවා බලන්න පන්තියේ ළමයින් පොරකමින් වට වී ඇත. බුදුරජාණන් වහන්සේගෙ පිළිමයේ සිරිස වටා ඇති බුද්ධ චක‍්‍රය කැරකෙන හැටි බලා සිටිය දී මා හට ඇති වුණේ දුකකි. මට නමි කවදාවත් මේ වගේ බුද්ධ චක‍්‍රය ,කැරකෙන මෝටරයක් නම් ගන්න ලැබෙන්නෙ නැති වෙයි. තාත්තාගෙන්, අම්මාගෙන ඉල්ලලා වැඩක් නැත. ඒ අයට සල්ලි නැති බව දැන ගෙන දකින දකින දේ ඉල්ලන එක මෝඩ වැඩකි.

මේ දිනවල මුළු පාසලම ලෑස්ති වෙන්නෙ වෙසක් උත්සවය සැමරීමටයි. පාසලේ සියලූ ළමයින් තමන්ට පුළු පුළුවන් විදිහට වෙසක් සැරසිලි ගෙදර දී කර පාසැලට ගෙනෙති. සියලූ සැරසිලි ඇත්තේ පාසලේ ලොකු ඉස්කෝලෙ මහත්තයාගෙ ඔෆිස් කාමරයට අල්ලපු කාමරයේය. නා නා විධ වෙසක් සැරසිලි අතර, මගේ හිත ගිය ලොකුම සැරසිල්ල වුණේ සහන් ගෙනා කරකැවෙන බුද්ධ චක‍්‍රය සහිත බුද්ධ පිළිමයයි.

‘‘මොකද උඹ වෙසක් සැරසිලි දිහා බලා ගෙන කල්පනා කරන්නෙ?" කමල් මගෙන් අසන්නේ මම කතා බහක් නැතිව ඒ දෙස බලා සිටිනා නිසාය.

"නෑ... නිකං. මං හදපු නෙළුම් මල් දෙකට අලවන්න සව් කොළ තාත්තා තවම ගෙනත් දුන් නෑනේ.‘‘

‘‘අපේ තාත්තා නම් මට පාට තුනකින් ම සව් කොළ ගෙනත් දුන්නා කූඩු අලවන්න. අපේ ලොකු අයියා මට කූඩු අලවන්න උදව් කරනවා කිව්වා.‘‘

‘‘මට නම් අපේ ගෙදර කවුරුත් උදව් කරන් නෑ. මම ම තනියම කරගන්න ඕනේ.‘‘

පාසැල අවසන් කරන සීනුව නාද වුනි. පාසැල හවස ඇරුණුට පසු ළමයින් කඩිගුලක් ඇවිස්සුනු ලෙස ගෙදර යන්න දගලයි.

”අන්න අනිත් ළමයි යනවා අපිත් යමු. ‘‘සුමනේ මට කථා කරයි”

‘‘උඹ පලයං මං එන්නම් ටිකකින් "

පාසල ඇරි ගුරුවරුන් ළමයින් හැමෝම කඩි මුඩියේ ගෙවල් බලා යති. මට ගෙදර යෑමට හිතක් නෑත. මගේ ඔලූවේ ඇත්තෙ කැරකෙන බුද්ධ චක‍්‍රයේ දසුනයි. මගේ ඇස් ඉදිරිපිට බුද්ධ චක‍්‍රය කැරකේ... අනේ... ඒකේ ලස්සන. කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නැත . මට එක පාරටම බුද්ධ චක‍්‍රය තව එක පාරක් ආයෙත් බලන්න ආස සිතුනි. මං හිටි තැනින් නැගිට ලොකු මහත්තයාගෙ කාමරයට අල්ලා තිබුණ අනිත් පන්ති කාමරයේ කොටු බිත්තිය ලඟට ඇවිද ගියෙමි. එතනට ගොස් පන්තියෙ ඇතුළත බැලූවේ යකඩ දැල අතරිනි. මුළු කාමරය ම වෙසක් කූඩුවලින් පිරී ඇත. ඒවා හෙට පාසැලේ මිදුලේ එල්ලන්න ලෑස්ති කර ඇත. කාමරයේ තිබුණ ලොකු මේසේ උඩ කැරකෙන බුද්ධ චක‍්‍රය සහිත සහන් ගෙනා බුදු පිළිමය ඇත. බුද්ධ චක‍්‍රය දැන් කැරකෙන්න නැත. එහි සුවිචය නිවා දමා ඇත. එය කැරකෙන්නෙ බැටරි දෙකකිනි. මං කෙටි බිත්තියේ එල්ලී කම්බි දැල් අතරින් බුද්ධ පිළිමය දෙස බලා උන්නෙමි. අනේ බුද්ධ චක්‍රයේ තිබෙන ලස්සන .කොච්චර බලා හිටියත් එය නම් මට ඇති වෙන්නේ නැත. ක්ෂණිකයෙන් මට ඇති වුණ සිතිවිල්ල ඔස්සේ මං කාමරයේ දොර ලඟට ගොස්, දොරේ අගුලට අත තබා එය කර කැවෙනවාද බැලූවෙමි. පුදුමයකි දොරේ බෝලය කැර කැවී දොර ඇරිනි. මම වට පිට බැලූවෙ අවට භූමියේ කිසිවෙක් ඇත්දැයි සැකයෙනි. පෙනෙන තෙක් මානයක කවුරුත් නැත. සැවොම පාසල ඇරී ගෙවල් බලා ගොස්ය. මං ඇරුණු දොරෙන් කාමරය තුළට ගොස් සහන් ගෙනා බුද්ධ පිළිමය දෙස බලා සිටියේ පුදුම ආසාවෙකින්ය. බුදු පිළිමයට අත තබා හරවා එහි පිටුපස බැලූ මට එහි ඇති ධර්ම චක‍්‍රය කැර කැවෙන මෝටරය දැක ගත හැකි විය. මට ඇති වුණේ සතුටකි. ක්ෂනිකයෙන් ඇතිවු සිතිවිල්ලත් සමග මෝටරය අතින් ඇඳ මම එය ගලවා ගත්තේ සිතන්නටවත් නොහැකි තරම් කඩිනමින් ය. එය ගලවා ගත් සැනෙින් මම කාමරයෙන් එළියට පැන ගත්තෙමි.

‘මොනවද ඔය ළමයා ඔතන කරන්නේ… ඇයි , මොකද ලොකු මහත්තයාගෙ කාමරය ඇතුලට ගියේ. උබ...‘‘

මා ඉදිරිපිට සිටියේ පාසැලේ දෙවෙනි ඉස්කොලේ මහත්තයායි. මං බයෙන් ගැහෙන්නට විය. ඇස් දෙකෙන් කඳුළු පනින්න ලං විය. මම කලේ විශාල වැරැද්දක් බව මම දැන උන්නෙමි.

‘‘මොකද කතා නැත්තේ? මොකද බයවෙලා , මොකක්ද ඔය අතේ….. පෙන්නනවා අත‘‘ ඔහු මට තර්ජනය කරමින් මගේ පිටුපස තිබු අත තදින් ඇද බැලුවෙි ය.

මම මගේ අතේ ඇති ධර්ම චක‍්‍රයේ මෝටරය, ඔහුට ඇගිලි දිග හැර පෙන්වීය.

‘අනේ... අනේ.. .උබ මේක ගලවලා ගත්තද...මේ දර්ම චක්ක්‍රයේ මෝටරය නේද? මේක හොරකම් කරා නේද උබ... ?. දන්නෙ නැද්ද හොරකම් කරන්න හොඳ නෑ කියලා.‘‘

ඔහු මගේ කනෙන් ඇද අතේ තිබුණ මෝටරය අතට ගත්තේ මගේ අතෙන් තදින් ඇදලා ය. ඉන් පසු ඔහු මගේ පිටට දෙතුන් පාරක් තඩි බෑවෙිය.

‘‘හිටපං මං ලොකු මහත්තයාට කියල උඹව ඉස්කෝලෙන් අස් කරනවා.... දැන් පලයං ගෙදර හෙට මං උඹව අල්ල ගන්නම්.‘‘ ඔහු මට තව පාරක් ගසා තල්ලූ කළේ ය.

මගේ ඇස් දෙකෙන් කඳුළු පැන්නේ නොදැනුවත්මය. මං මගේ පාසල් පොත් දෙක තුන කිහිල්ලෙ ගසා ගෙන පාසැල් වත්තෙන් එළියට දිව්වේ බයෙන් ගැහි ගැහිය. මම දැන් මොකද කරන්නේ කියා හිතා ගැනීමටත් මට බැරිය.

අනේ දෙයියනේ හෙට මං ඉස්කෝලෙ ගිහාම දෙවෙන ඉස්කොලේ මහත්තයා මුළු ඉස්කෝලෙම ළමයින්ට කියයි, මං බුද්ධ චක‍්‍රය හොරකම් කරපු කතාව. ලොකු මහත්තයා ඒක දැන ගත්තහම මාව කෝටු මස් කරයි. තාත්තාටයි, අම්මටයි එන්න කියලා මං බුද්ධ චක‍්‍රයෙ මෝටරය හොරකම් කළ කථාව කියයි. මං දැන් මොකද කරන්නෙ. මට හිතා ගන්නට බැරි ය. පාසල් ගේට්ටුවෙන් නික්ම මං හෙමින් හෙමින් කැලෑ පාරෙන් ගෙදර පැත්තට ගියේ දෑසින් කඳුළු බේරෙද්දීය. මං දැන් ගෙදර ගියොත් හෙට උදේ මට ආයෙත් ඉස්කෝලෙ යන්න වෙනවා. උදේට ඉස්කෝලෙ ගියොත් හැමෝම ඉස්සරහ ලොකු මහත්තයා මං කරපු හොරකම හැමෝට ම කියයි. අනේ මට නම් බෑ ආයෙත් ඉස්කෝලෙ යන්න. මං ගෙදර නොයා කැලේ පැත්තට ගියේ බඩ ගින්නේ ම ය. වෙනදා නම් මේ වෙලාවට ගෙදර ගොස් අම්මා උයා තිබෙන දෙයක් කන්නෙ එක හුස්මටය. නමුත් අදනම් මට බඩ ගින්නක් දැනෙන්නේද නැත. ගෙදර යන්නටද සිතක් නැත.

කැලේ පැත්තට ඇවිදගෙන යන විට මට වෙනදා කොල්ලෝ සමග කැලේ පැන අඹ කඩාකන අඹ ගස් දකින්න ලැබිනි. කිසි අපහසුවක් නැතුව ඒ ගහට නැගගත් මම අමු අඹ කෑවේ බඩගින්න යන්නත් එක්කය. තනියම කැලේ වැඩි ඈතකට ගියොත් මම අතරමං වෙයි යන සිතිවිල්ලත් මට ඇතිවිය. මං නැවත අපේ ගෙවල් පේන දුරට ඇවිද ගොස් ගෙවල් පේන දුරින් ගහකට නැග ගෙවල් පැත්ත බලාන උන්නේ දෙවැනි මහත්තයා මං කරපු හොරකම කියන්න අපේ ගෙදර පැත්තෙ කොයි වෙලේ හරි එයිද කියන අදහසිනි.

හොඳට ම හවස් වී ඉර කරුවලත් වැටෙන්න පටන් ගත් හ. අපේ ගෙවල් පැත්තෙ මිනිසුන් දෙතුන් දෙනෙකු කැර කැවෙනවා මට ඈතටම පෙණින. අම්මා මල්ලි වඩා ගෙන තාත්තා සමඟ ගෙයි ඉදිරිපිට මොන මොනවදෝ කතා කරනවා මට ඈතටම දැක ගත හැකි විය. මං ගෙදර නොගිය නිසා ඔවුන් මා හොයන බව මට දැනිණි. අහල පහල ගෙවල්වල පිරිමි දෙතුන් දෙනෙක් ම කැලේ පැත්තට එනවා දැක මා නැගවුන් ගහේ තව තවත් උඩට ගොස් ඔවුන්ට නොපෙන්න සැඟ වී සිටියෙමි.

‘‘මද්දු... මද්දු... උඹ කොහේද?‘‘.....තාත්තාගෙ කටහඬ ඇසෙයි.

‘‘මද්දු පුතේ උඹ කොහේද? සයිමන් සීයාත්, කමල් මාමාත් තව අය මා සොයමින් කැලේ පැත්තට යන හැටි මා බලාන උන්නෙමි..

මම පාසල ඇරි ගෙදර නොගිය නිසා තාත්තාගෙනුත් ගුටි කන්න වෙයි ද කියා මට බය සිතුනි. මම සිටි ගහෙන් හෙමිහිට් බිමට බැස ගෙදර පැත්තට හෙමින් හෙමින් ගියෙ හිතෙ සැකයෙන්ය. මාව දුටු සැනින් අමිමා සතුට මුසු කේන්තියකින් කතා කලාය.

‘කො


*නැවත හෙට හමුවෙමු*


6 views0 comments

Recent Posts

See All

*එතෙරින් එතරට *

(22 වෙනි කොටස ) වාහනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් එකදිගට ගමන් කරයි. කොරියන් රියැදුරු මගෙන් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් ඇසීය. මට කිසිදු...

Comments


bottom of page