top of page
  • Writer's picturePrisila Godahewa

එතෙරින් එතරට (8)

අටවන කොටස (8)

අලුත් අවුරුද්දේ ජනවාරි මාසයේ දෙවැනි සතියේ අපට පිරිවෙනට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණි. මා සමග එකටම මහණ වූ අනෙකුත් සාමනේර තෙනම පිරිවෙනට යන්න පටන් ගත්තෙද එකටම ය. පිරිවෙනේ ඉගෙනීමට යන ගමනට මම බොහෝ කැමැත්තෙන්ම සහභාගි වූයෙමි.

උදෑසන හතර හමාරට නැගිටින එක දැන් පුරුද්දකට කරන දෙයකි. දැන් එය ඒ තරම් අමාරු දෙයක් නොවේ. උදේ ම මුහුණකට සෝදාගෙන, බෝ මලුව පිරිසිදු කර බුදුන් වැඳ හීල් දානය ගත් සැණින් අපි හතර නම ම ලොකු හාමුදුරුවන්ට වැඳ පිරිවෙන බලා යන්නෙමු. බස් එකෙන් පිරිවෙනට යන්නට ලැබීම අප හතර දෙනාට ම ඇත්තේ සතුටකි. අප බස් එකට නැගපු ගමන් ඉස්සරහයින් ම තියෙන සීට් දෙකේ හිඳගෙන සිටින අය අපට ඉඳගන්නට ඉඩ දෙයි. කොතැන ගියත් මිනිසුන්ගෙන් අපට විශේෂ පිළිගැනීමක් ඇත. මම එයට නම් හරි කැමත්තෙමි.

‘‘මාව පිරිවෙනේ හයේ පන්තියට දැම්මා.‘‘

‘‘මාව පන්ති දෙකක් පන්නලා හත්වෙනි පන්තියට දැම්මා*‘‘ මම කීවෙමි.

‘‘මා ඒ ගැන සිටියේ සතුටිනි. පිරිවෙනේ අනිත් පුංචි ස්වාමීන් වහන්සේලාට වඩා මම ඉගෙනීමට දක්‍ෂ වූ නිසාත්, අවුරුද්දකට ආසන්න කාලයක් පාසල් යන්නට බැරි වූ නිසත් මාගේ වයස අනුව මම සිටිය යුත්තේ හත්වැනි පන්තියේ නිසා කෙළින්ම හත්වැනි පන්තියට යන්නට හැකි විය.

දහවල් දානය අපට පිරිවෙනෙන් ලැබෙයි. අපට නැවත පන්සලට එන්න ලැබෙන්නේ සවස් කාලයේදී ය. ඒ ආ පසු ඇඟපත දොවා ගෙන, පන්සලේ වැඩවලට උදවු කරන්නෙමු. හවස බෝධි පූජාවට එන ගිහි බැතිමතුන්ට මාරුවෙන් මාරුවට දිනපතා පන්සිල් දීම අපට ඇති රාජකාරියයි. අප එය කරන්නේ ඉතා ආසාවෙනි.

“‘පොඩි තැන, අනිත් ස්වාමීන් වහන්සේලාට වඩින්න කියන්න මට කාරණාවක් කියන්න තියෙනවා.‘‘*

අපි සිවුනම ලොකු හාමුදුරුවන්ගේ ආවාස ගෙට ගොස් එහි එකත් පසව හිඳ ගත්තෙමු. ඒ උන්වහන්සේ කියන්න යන විශේෂ කාරණාව දැනගැනීමට ආසාවෙනි.

‘‘මට දැන් ඔබ වහන්සේලා හතර නමටම මෙහි නවාතැන් දීගෙන ඉන්න අමාරුයි. ඒ නිසා මං ඔබ වහන්සේලා තුන් නමක් වෙන පන්සල්වලට මාරු කර අරින්න කතාකර ගත්තා. ඔබ වහන්සේලාට එහිදීත් පිරිවෙන් අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් විදියට තමයි මම තැන් හොයලා තියෙන්නෙ.‘‘

‘‘සුමනානන්ද හාමුදුරුවොයි, විපස්සි හාමුදුරුවොයි, සුමනතිස්ස හාමුදුරුවොයි තමයි මම වෙන පන්සල්වලට යවන්න තීරණය කරගෙන ඉන්නේ. ඒ පන්සල්වලට පොඩි හාමුදුරුවන්ගේ අඩු පාඩුවක් තියෙන නිසා මගෙන් කළ ඉල්ලීමකට තමයි මං ඔබ වහන්සේලා ඒ පන්සල්වලට යවන්න තීරණය කළේ. ඔබ වහන්සේලාට ඒ තැන්වලදී හොඳ අනාගතයකට මග හදාගන්න පුළුවන් වෙයි. එහෙනම් මේ එන නිවාඩු කාලෙදි ඔබ වහන්සේලා මම කියපු ඒ පන්සල්වලට යන්න ලෑස්ති වෙන්න ඕන.*‘‘

මා හට පැවිදි වූ පසු ලැබුණු නම විපස්සි යන නාමයයි. මා හට පිරිවෙනේ අවුරුදු නිවාඩුවෙන් පසු යෑමට නියම වී තිබුණේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ විහාරයකටය. මා හට කොහේ වැඩසිටියද ගැටලුවක් නැත. සිවුරු දෙක, අඳිනකඩ හා පිරිවෙනේ පොත්පත් ටික හැරුණු කොට මා හට ගෙන යෑමට අන් කිසිදු දෙයක් නැත. අපි බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයෝ වෙමු. අප අපේ වැඩිහිටි ගුරුභවතුන්ට කීකරුව ජීවත් විය යුතුය. භික්ෂූන් ලෙස ලොකු හාමුදුරුවන්ට කීකරුව ජීවත් වීම අපේ යුතුකමකි.

‘‘විපස්සි හාමුදුරුවන් කැමැතියි නේද අවිස්ලාවේල්ලට වඩින්න?

‘‘එහෙමයි හාමුදුරුවනේ.‘‘

‘‘ඒ පන්සල කිට්ටුවමයි පිරිවෙන තියෙන්නෙ. ඔබ වහන්සේට ඒ නිසා ගමනා ගමනයට පහසුයි. ඉදිරි කාලයේ හොඳින් ඉගෙන ගෙන විභාග හොදින් සමත් වෙලා ඉහළට යන්න බලන්න. ඔබ වහන්සේට හොඳ දැනුමක් තියෙනවා හැමදෙයක් ගැනම. ඔබ වහන්සේට හොදින් ඉගෙන ගන්න පුලුවන් මෙහෙදි වගේම එහෙදීත් "

‘‘එහෙමයි හාමුදුරුවනේ."

මම දැන් පහළොස් වැනි වියේ පසු වන්නෙමි. අවුරුදු දොළහේදී මහණදම් පිරුමට ආ මම, අවුරුදු තුනක් හොඳින් මහණදම් පුරමින් බණ භාවනා ප්‍රගුණ කරමින්, ආගම දහම හොදින් ඉගෙන ගනිමින් ලොකු හාමුදුරුවන් ගේ මෙන්ම උපාසක උපාසිකාවෝ හැම කෙනෙකුගේ ම හිත දිනාගෙන ජීවත් වූයෙමි.

දිනක් හිටි හැටියේ අපේ මාමා කෙනෙකු වන විල්සන් මාමා ලොකු හාමුදුරුවන් බැහැ දැකීමට පැමිණියේ කලබලයෙනි. ඔහු ලොකු හාමුදුරුවන් සමඟ කළ කතාබහෙන් පසු ලොකු හාමුදුරුවෝ මා හට අඬ ගැසීය.

‘‘විපස්සි හාමුදුරුවනේ…. ඔබ වහන්සේව ගෙදර එක්ක යන්නයි මේ විල්සන් උන්නැහේ ඇවිත් තියෙන්නේ. මාත් ඔබ වහන්සේ එක්ක ම ගෙදර ගිහින් එන්න යන්න එන්නම්.‘‘

‘‘ඇයි හාමුදුරුවනේ හදිස්සියක් ද? ගෙදර මොකවත් කරදරයක් ද?

‘‘මොකටද හංගන්නේ ඔබ වහන්සේට... යමක්කමක් තේරෙන කෙනෙක්නේ දැන් විපස්සී හාමුදුරුවෝ.. ඔබ වහන්සේගේ පියා අන්තරා වෙලා. ඒ ගැන කියන්නයි මේ විල්සන් උන්නැහේ ඇවිත් තියෙන්නේ.‘‘

‘‘අනේ දෙවියනේ මගේ තාත්තා. මට කොච්චර ආදරෙන් හිටි කෙනෙක් ද? මට තාත්තා නැතිවෙන්න ඉස්සර බලල එන්න බැරි වුණානේ.‘‘

මගේ ඇස් දෙකට කඳුළු ඉනිණ. කඳුළු කැට දෑසින් වැටෙද්දී මං කාමරයට ගියේ අනිත් අයට නොපෙනෙන්න ය.

ලොකු හාමුදුරුවොත්, තව පොඩි ස්වාමීන් වහන්සේ නමකුත් සමග මාත්, විල්සන් මාමාත් අපේ ගම බලා ටික වේලාවක් ඇතුලත පිටත් වූයෙමු.

මහණදම් පිරීමට ආපසු මා කවදාවතම් ගමේ නොගියෙමි. මා බැලීමට අම්මා තාත්තා සහෝදරයෝ දෙතුන් ගමනක්ම පන්සලට ඇවිත් ගියහ. මා හට ගමේ නෑ හිතමිතුරන් බැලීමට ඒ තරම් කැමැත්තක් නොතිබිණි. එය දන්නා අම්මා තාත්තා මට ගමේ එන්නට ආරාදනා නොකලේය.

අවුරුදු තුනකට පසු ගමේ යනවිට මා හට එහි ඇති වෙනස්කම් ගොඩක් පෙනිණ. අප මුලින් ම ගියේ ගමේ පන්සලට ය. එහි ලොකු හාමුදුරුවන් මුණගැසුණු අප ගිලන්පස වළඳා පසුව අපේ ගෙදර ගියේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ද සමඟිනි. අපේ ගෙදරට යන පාර දැක මගේ ඇසේ කඳුළක් මතු විය. මෙම පාරේ මම කොයිතරම් නම් එහේ මෙහේ දුව පැන ඇවිදින්න ඇත්ද? කොයි තරම්නම් ඇට්ටර වැඩ කර මේ පාරේ එහෙ මෙහේ දුව පැන ඇද්ද?

මම සිවුරක් පොරවගෙන මෙම පාරෙන් යන මුල් ම අවස්ථාව අද වෙමි. මා යන්නෙ මගේ තාත්තාගෙ අවමඟුලට ය. මට ඈතදීම ගෙයි ඉදිරිපස සුදු කොඩියක් ලෙළ දෙනු දැකගත හැකි විය. ගමේ මිනිසුන් එහේ මෙහේ යමින් අවමංගල්‍යයේ වැඩකටයුතුවලට උදවු කරන අයුරු පෙනිණ. අප දුටු අසල්වැසියන් පැමිණ අපට වැඳ නමස්කාර කළේ ඉමහත් භක්තියෙනි. හැමෝම මා දෙස ඉතා ඕනෑකමින් බලමින් එකිනෙකා රහස් කියන හැටිද මට දැකගත හැකි විය. මම බිම බලාගෙනම ගෙට ඇතුළු වී තාත්තාගේ දේහය වෙත ගියෙමි.

‘‘අනේ අපේ පොඩි හාමුදුරුවන් වැඩලා. අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ තාත්තගෙ අවමඟුලට ම සහභාගි වෙන්නනේ ගමට මුල්ම වරට වැඩම කරේ‘‘ මා දක අම්මාගේ, අක්කාගෙ නංගිගේ හැඩුම් උත්සන්න වී ඇත. ඔවුන් අඩමින් පැමින මට වැද නමස්කාර කලෝය.

අම්මා මට වැඳ පසෙකට වී අඬමින් කඳුළු සලන්නට විය.,

අයියා, මල්ලී ද ඇවිත් මට වැන්දේය. ඔවුන් සෑම කෙනෙකුගේම ඇඬුම් වැඩි වී ඇත්තේ මා වැඩම කළාට පසුව යැයි මට සිතිණි.

තාත්තාගේ මළගෙදර වියදමට ලොකු හාමුදුරුවෝ අම්මාට මුදල් වගයක් දුන්හ. ගමේ පන්සලේ හාමුදුරුවෝ ගමේ මිනිසුන් ලවා මළගෙදරට උදවු කිරීමට උපදෙස් දුනි. තාත්තාගේ මළගමට බොහෝ සෙනඟක් සහභාගි වූහ. මළගමේ වැඩකටයුතු හොඳින් ම කෙරිණි. මට මගේ තාත්තාගේ පාංසුකුලය දීමටද සිදු විය. මා සමඟ පැමිණි අනෙකුත් භික්ෂූන් වහන්සේලා නැවත නුවර බලා වැඩම කළ අතර, මම හත්දවසේ දානෙ ඉවර වනතෙක් ගමේ පන්සලේ වැඩ සිටියෙමි.

මළගෙදර හා හත්දවසේ දානෙ බණ අවසන් වනතුරු ගමේ සිටිය මට, පරණ නෑදෑයන් හිත මිතුරෝ සෑම කෙනෙකුම වාගේ මුණගැසිණ. මගේ සහෝදර සහෝදරියන්ට මා ගමට වැඩම කිරීම සතුටක් වුණා යැයි මට සිතේ. මා නැවත නුවර බලා වැඩම කළේ තාත්තාගේ වියෝව ගැන කලකිරීමෙන් වුවත්, අවුරුදු තුනක කාලයක් මුණනොගැසුණු නෑ හිතමිතුරන් හමුවීමට හැකි වීම පිලිබද සතුටකිනි.

--හෙට නැවත හමුවෙමු--

4 views0 comments

Recent Posts

See All

*එතෙරින් එතරට *

(22 වෙනි කොටස ) වාහනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් එකදිගට ගමන් කරයි. කොරියන් රියැදුරු මගෙන් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් ඇසීය. මට කිසිදු...

Comentários


bottom of page