top of page
Writer's picturePrisila Godahewa

එතෙරින් එතරට (7)

හත්වන කොටස (7)


‘‘විසල් දන්නවද එන පුර පසළොස්වක පෝය දින නැකැතට විසල් සමඟ තව පොඩි තුන් නමක් මේ පන්සලේදි පැවිදි කරන්න හැම දෙයක්ම ලෑස්ති කරල තියෙන්නෙ කියලා"

"විසල්ගෙ අම්ම, තාත්තා අපට අවසර දුන්නා විසල්ව මහණ කරන්න. බුදුන් දවසේ සිට එන නීතියක් පිළිපැදීමක් තමයි දරුවෙක් මහණ කරන කොට දෙමවුපියන්ගෙන් අවසර ගැනීම. විසල් කැමැතියි නේද මහණ වෙන්න? හත්මුතු පරම්පරාවකට පිං සිද්ධ වෙන දෙයක්නේ පවුලේ කෙනෙක් මහණ වෙන එක.”

නුවර පන්සලේ ලොකු හාමුදුරුවන් දිනක් මට කතා කර කීය.

‘එහෙමයි හාමුදුරුවනේ. මං කැමැතියි මහණ වෙන්න.”

නුවර පන්සලට පැමිණ මාස දෙකහමාරක් සම්පූර්ණ වනවිට මා සිතින් හා ගතින් පැවිදි ජීවිතය භාර ගැනීමට කැමැත්තෙන් සිටින බව මට ම තේරුම් ගොස් තිබිණි.

‘‘එන බදාදට විසල්ගෙ අම්මලා, තාත්තලා ගමේ ඉදන් එනවා කුළදරුවන් පැවිදි කරන උත්සවයට සහභාගි වෙන්න.‘‘

"‘ඇත්තද? මටත් ආසයි ඒ අය දකින්න. මාස තුනකට කිට්ටු වෙන්න කාලයක් ඒ අය දැක්කෙත් නෑනෙ ..නංගියි මල්ලි එහෙමත් එයිනේද හාමුදුරුවනේ....‘‘

"ඔව් ඔව්..තව ලගම නෑදෑයෝත් එයි මයෙ හිතේ….

මා සමඟ තවත් ළමයින් ‍තුන් දෙනෙක් මෙම පන්සලේ පැවිදි වෙන්න ලෑස්ති වෙමින් ඉදියි. එම උත්සවයට නුවර පන්සල ලහිලහියේ ලෑස්ති වෙන හැටි අපට දකින්න ලැබුණි. අතිඋත්කර්ෂවත් අන්දමින් එම උත්සවය සිදු කරන්න සූදානම් බව පෙනෙයි. මට වඩා බාල සොහොයුරෝ දෙදෙනෙක්ද, මට වඩා වැඩිමල් සොහොයුරෙක්ද පැවිදි දිවිය භාර ගැනීමට කැමැත්තෙන් සිටිම නුවර පන්සලේ ලොකු හාමුදුරුවන්ට සතුටක් බව පෙනේ.. උත්සවයට සූදානම් වී සිටි අප හතර දෙනාම ඉතා අඟහිඟකම් ඇති පවුල්වල ළමයින් වූහ.

අපි හතර දෙනාගේම දෙමවුපියන් එදින පැමිණ සිටියේ ළඟම නෑදෑයන්ද සමඟ ය. පවුලක දරුවෙකු බුද්ධ ශාසනයට භාර කරනවා යනු හතරපස නෑයන් නිවනට යනවා යැයි ඇති මතය බෞද්ධ ජනයා අදහන්නකි. මාගේ ගෙදර සියල්ලන්ම හා මාමා, නැන්දා හා ඔවුන්ගේ දරුවෝ ද මා පැවිදි කරන උත්සවයට සහභාගි වූහ. ඔවුන් කලින් දින පැමිණ පන්සලේ නවාතැන් ගත්තේ නුවර සිට අපේ ගෙදරට බොහෝ දුර බැවිනි. ඔවුන් සියල්ලෝම පන්සලේ බණ මඩුවේ නවාතැන් ගත්හ.

පසු දින පාන්දර පැවදි කරවන්නට නියමිත අප හතර දෙනා වෙනුවෙන් අප ලෑස්ති කිරීමට, ඈත පන්සල් වලින් තරුණ භික්ෂූහු සිවුනමක්ද වැඩ සිටියහ.

පසුදින පාන්දර වේලාසන අපට නැගිටීමට නියම කර තිබුනි. උදේ පාන්දරින්ම නැගිට ගත් අපට තරුණ භික්ෂූන් කියන විදිහට ලෑස්ති වීමට සිදුවිනි.

"හතර දෙනාම ලිද ලගට ගිහින් හොඳට නාල, මේ සුදු ඇඳුම් ඇඳගෙන එන්න"

තරුණ භික්ෂූන් හතර දෙනා අපට සුදු සරොම් සහ කමිස ලබාදුන්හ. පාන්දර සීතලේ අපි හතර දෙනාම ළිඳ ළඟට ගොස් හොඳින් නා, පිරිසුදු වී පැමිණියෙමු. අපි සුදු සරොම් සහ කමිස ඇඳ පන්සලේ අප වෙනුවෙන් සූදානම් කර තිබූ ස්ථානයට ගියෙමු. ඒ වනවිට හොඳින් එළිය වැටී තිබුණි. අහල පහළ පන්සල්වල වැඩිහිටි භික්ෂූන් වහන්සේලා ඇතුළු ගම්වැසියෝද මෙම උත්සවයට සහභාගි වූහ.

භික්ෂූන් වහන්සේලා පැමිණ සිටි සියලු නෑ හිතමිතුරන් ඇතුළු ගමේ දායකයන් පන්සිල් සමාදම් කර පිරිත් කීහ. අප සිවුදෙනාද ඔවුන් ඉදිරිපිට වාඩි වී පිරිත් සජ්ඣායනය ආරම්භ කළෙමු. ඒ වනවිට මට සියලු ගාථාද කටපාඩම් වී තිබිණි. පිරිත් කීමට හැකියාව ලැබී තිබුණේ මාස තුනකට කිට්ටු කාලයක් පන්සලේ නැවතී සිටි බැවිනි. පිරිත් සජ්ඣායනයෙන් පසු තරුණ භික්ෂූන් වහන්සේලා සිවුනම පන්සලේ ළිඳ ආසන්නයට වෙන්න ලෑස්ති කර තිබූ විශේෂ ස්ථානයේ අප වාඩි කර හිස බූ ගාන්නට පටන් ගත්හ. මුලින්ම කපන ලද හිසකෙස් රොද අපේ අතට දී ගාථා හා පිරිත් කියමින් එම කාර්යය නිම කර අප නහවා අපට අලූත් සිවුරු ඇන්දවීය. සිවුරු ඇන්ද වීමෙන් පසු අපව නෑ හිත මිතුරන් ඇතුළු ගමේ උපාසක උපාසිකාවන් අතරට ගෙන ගොස් පැමිණ සිටි සියලු වැඩිහිටි භික්ෂූන්ලාගෙන් අවසර ගන්නට උපදෙස් දුනි. එම උත්සවයේ වැඩකටයුතු ඉවර වීමට පැය කිහිපයක් ගත විය. පැමිණ සිටි වැඩිහිටි භික්ෂූන් වහන්සේලාගෙන් අවසර ගත් අපට අපේ දෙමවුපියෝ පැමිණ වැඳ නමස්කාර කළහ. එය මට දුක හිතෙන සිදුවීමක් විය. මීට ප්‍රථම මම මගේ දෙමවුපියන්ට වැඳ නමස්කාර කළද, මහණ වීමෙන් පසු අම්මා, තාත්තා ‘පොඩි හාමුදුරුවෝ‘ කියමින් මට වැඳ නමස්කාර කළ විට තාත්තාගේ දෑසින් කඳුළක්ද වැටෙනු මට පෙනිණි. අම්මාද දුකෙන් බලා සිටියාය. අයියා, අක්කා, නංගී, මල්ලී ද මට වැඳ නමස්කාර කළහ. සියලු උත්සව කටයුතු නිම වීමෙන් පසු දහවල් ආහාර ගත් ඔවුන් විසිර ගියේ අප හැමදාටම පන්සලේ තනිකර දමාය.

‘‘පොඩි උන්නාන්සේලා දැන් කීකරුව, ශාන්තව ජීවත් වෙන්න ඕන. බණ භාවනා ඉගෙන ගන්න ඕන. පිරිත්, ගාථා කටපාඩම් කරගන්න ඕන"‘ ලොකු භික්ෂූන් වහන්සේලා අපට අවවාද දුන්හ.

හිස මුඩු කළ පසු හිසට පුදුම සැහැල්ලුවක් දැනිණ. කලිසම, කමිසය ගලවා සිවුර ඇන්ද පසු නම් පොඩි අපහසුවක් දැනුණේ සිවුර විශාල නිසා ය. නිතර සිවුර උරෙන් පහලට කඩා වැටුන අවස්ථා තිබුනි. දෙතුන් පාරක් ම තරුණ භික්ෂූන්ලාට කියා සිවුර හරි ගස්සා ගන්නට වුනි. සිවුර ඇදගෙන ඇවිදීමට අපහසු බැවින් ඉක්මන් ගමන් යා නොහැකි විය. එම නිසා ගමන කොහොමත් ශාන්ත වුනි.

උදේ, දවල්, රෑ අප හතරදෙනාට බුදු ගේ හා බෝධීන් වහන්සේ ඉදිරිපිට ගාථා, පිරිත් කියමින් වඳින්න නියම වී තිබුනි. උදේ හතර හමාරට නැගිට මුහුණකට සෝදා, තේ කෝප්පයක් බීමෙන් පසු පන්සලේ මිදුල ඇමදීම මල් තට්ටු පිරිසිදු කර මල් නෙලීමද අප විසින් කලෙමු. පසුව විහාර ගෙට ගොස් බුදුන්වඳින්නේද එකටමය. උදේ හීල් දානෙන් පසු අපි බෝධීන් වහන්සේ ඉදිරිපිට වාඩි වී සිහින් වැල්ලේ ඇඟිල්ලෙන් අඳිමින් ගාථා කටපාඩම් කරන්නෙමු.

“‘අවසර පොඩි හාමුදුරුවනේ ගිලන්පස ලෑස්තියි."

පන්සලේ ඇබිත්තයා වූ විමල් අයියා අපට දැන් හාමුදුරුවනේ කියා කතා කරයි. මීට ප්‍රථම අප හතර දෙනාටම හැමෝම කතා කළේ නමින් හෝ කොලුවෝ, ළමයෝ කියාය . දැන් හැමෝම අපට ගරුසරු ඇතුව හාමුදුරුවනේ, පොඩි සාදු, ස්වාමීන් වහන්ස කියා අමතයි. ඒ ගැන නම් අප හතර දෙනාට ම ඇත්තේ සතුටකි. රෑ බඩගින්නෙ ඉන්න වීම හැර අනිත් හැමදේකට ම අප කැමැතිය. විමල් අයියා රෑ අපට දෙතුන් ගමනකට තේ සාදා දෙයි. එබැවින් බඩගින්න ටිකක් මගහැරී යයි. නමුත් උදේ පාන්දර අපි නැගිටින්නේ ඉතා බඩගිනි වීය.. උදේ මූණකට සෝදා, බුදුන් වැඳ අහවර වූ පසු අපට හීල් දානය ලැබෙයි. එම හීල් දානයට අපට බත් ලැබෙනවාට සිවුදෙනාම කැමැතිය. එයට හේතුව රෑ තිස්සේ බඩගින්නේ හිඳිමින් ඉද උදේට බඩ පිරෙන්න දානය වැළඳිය හැකි බැවිනි.

‘‘පොඩි උන්නාන්සේලා ආහාර වළඳන කොට පිළිවෙළකට නිවිහැනහිල්ලෙ ආහාර වළඳන්න ඕනෑ. දැම්ම තියා දානෙකට ගිහාම වළඳන්න ඕන විදිය ඉගෙන ගන්න. ඒ වගේම පිඟාන පිරෙන්න ආහාර බෙදා ගන්නත් එපා. තලු මරමර කෑම ගන්නත් එපා. ඒක බලන්න කැතයි. ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණාම බලන කෙනෙකුට ශාන්තව පේන්න ජීවත් වෙන්න ඕනෑ. පේන්න විතරක් නෙමේ ශාන්තව කරුනාවන්තව ජිවත් වෙන්නත් ඕනෑ."

‘"හොඳමයි ලොකු හාමුදුරුවනේ.‘‘

‘‘එන මාසෙ පුර පෝයට ඔය හතර නමට ම වෙන වෙනම සිල් ඇත්තන්ට බණ කියන්න වෙනවා. දැන්ම තියා ඒකට ලෑස්ති වෙන්න ඕනෑ‘‘

‘‘එහෙමයි හාමුදුරුවනේ."‘

‘‘ඔය අපේ සුමනතිස්ස පොඩි හාමුදුරුවන්ගෙන් මාතෘකාවල් අහගෙන ඒවට කරුණු එකතු කරගෙන බණට ලෑස්ති වෙන්න දැන්ම තියා....‘‘

‘‘අලුත් අවුරුද්දේ කෑගල්ලෙ මහ පන්සලේ පිරිත් දේශනාවට ඔබ වහන්සේලා හතර නමට ම ආරාධනා ලැබිලා තිබෙනවා. පිරිත් එහෙම හොඳට කටපාඩම් කරගන්න ඕනෑ....‘‘

‘‘ලොකු හාමුදුරුවනේ දැන් කවදා විතරද අපට පිරිවෙනේ ඉගෙන ගන්න යන්න ලැබෙන්නෙ‘‘?

“‘අලුත් අවුරුද්දෙ….. අලුත් පන්තිවලට යන්න පුළුවන්. තාම පිරිවෙන් නිවාඩු නිසා යන්න තියෙන්නේ එන අවුරුද්දෙ ජනවාරියේ.”

"මේ ළඟපාත පිරිවෙනක් තියෙනවද හාමුදුරුවනේ?‘‘

පොඩි හාමුදුරුවන්ට ලොකු හාමුදුරුවන්ගෙන් ඇසිමට ප්‍රශ්න ගොඩක් ඇත.

‘‘එහෙමයි. වැඩි ඈතක නෙමේ බස් එකේ හෝල්ට් දෙකයි.‘‘

‘‘එහෙනම් හොඳයි. මම හරි ආසයි බස්වල යන්න .‘‘ මම කීවෙමි.

‘‘අපට බස්වල යන්න ප්‍රවේශපත්‍ර දෙනවද හාමුදුරුවනේ?‘

"එහෙමයි. අපි ඒවා ලෑස්ති කරල දෙනවා.‘‘

මාස අටකට ආසන්න කාලයකින් පාසල් නොගිය නිසා මට ආයෙත් පාසල් යන්න ආසා සිතී තිබුනි. පන්සලේ ලොකු හාමුදුරුවන් අපට පිරිවෙන අධ්‍යාපනයට අවශ්‍ය සියලු දේ ලෑස්ති කර දුන්නේය. ලොකු හාමුදුරුවන් හා අනෙක් හාමුදුරුවන්ගේ අනුදැනුම ඇතිව අපි සිවුදෙනාම හොඳ ගුණ ධර්ම ඉගෙන ගනිමින්, ශාන්තව ජීවත් වුනෙමු

‘‘මං නම් දැන් පිරිවෙනට යන්න හරි ආසාවෙන් ඉන්නෙ."‘

"මාත් එහෙමයි. බස් එකෙත් යන්න ආසයි."

අලුත් පැවිදි ජීවිතය ආරම්භ කළ අපි,හතර දෙනාම හැමෝගේම ආදරය දිනාගෙන සිටින්නෙමු.

"‘මාත් එහෙමයි. අපට බස් එකේ නැගලා යන්නත් පුළුවන්.‘‘

“කීවෙනි පන්තියේද පොඩි නම ඉස්කෝලෙන් අස් වෙනකොට හිටියේ.‘‘

‘‘තුන්වෙනි පන්තියේ නේ.‘‘

‘‘ඇයි ඔබ වහන්සේ මහණ වෙන්න හිතුවේ?‘‘

‘‘අම්මයි, තාත්තයි කිව්වා, ඒ නිසා.‘‘

‘‘මාත් අම්මලා, තාත්තලා කිව්ව නිසා තමයි මහණ වුණේ.‘‘

‘‘මාත් එහෙමයි. අපේ ගෙදර නම් හරියට අඟහිඟකම් තිබුණා. එක ළමයෙක් හරි කාල ඇඳල හොඳට හැදිලා ඉඳියිනේ කියල අම්ම තමයි මට පන්සලේ නවතින්න කිව්වේ.‘

‘‘මාත් එහෙමයි.‘‘* බැලුවාම අප හතර දෙනාට ම තිබී ඇත්තේ එක ම ප්‍රශ්නයකි.

-- හෙට හමුවෙමු --

7 views0 comments

Recent Posts

See All

*එතෙරින් එතරට *

(22 වෙනි කොටස ) වාහනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් එකදිගට ගමන් කරයි. කොරියන් රියැදුරු මගෙන් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් ඇසීය. මට කිසිදු...

Comments


bottom of page