top of page
  • Writer's picturePrisila Godahewa

එතෙරින් එතරට (6)

( හයවන කොටස 6)

පසුදින උදෑසන හතරවනවිටම සීමන් මාමා මා ඇහැරුවේය.

"‘කොල්ලො නැගිටපන්. ලොකු හාමුදුරුවන්ට ගිලන්පස හදන්න කේතලය ලිපේ තියපන්.‘‘*

මා නිදිගැට කඩමින් නැගිට සිටියේ අමාරුවෙනි. ගෙදර සිටින විට කවදාවත් උදේ හතරට නැගිට නොතිබූ මා හට උදේ පාන්දර නැගිටින එක නම් එපාම කරන වැඩක් කියා සිතුනේය. බාගෙට නින්දෙන් නැගිටි මම පොරවාගෙන සිටි රෙද්ද කරේ සිට දාගෙන කුස්සියට ගොස් කේතලය ලිපේ තැබුවෙමි.

සීමන් මාමා ආවාස ගෙය ඇතුළත අතුගායි. පසුව දන්ගෙයට ආපු සීමන් මාමා තේ සාදා ගිලන්පස හාමුදුරුවන්ට ගෙන ගොස් පිළිගැන්වීය. මමද උදේට තේ බී, අහවර වී කළුවරේම පන්සල අමදින්නට පටන් ගත්තෙමි. උදේ හය විතර වනවිට උපාසක අම්මලා දෙදෙනෙක් හීල් දානය රැගෙන ආහ. ලොකු හාමුදුරුවෝ බුද්ධ පූජාව තියා පන්සිල් සමාදන් කර උපාසක අම්මලාට පින් දුන්හ. උදේ හීල් දානය ඉවර වූ පසු මමත්, සීමන් මාමාත් කිරිබත් සමග ලුණුමිරිස් උදේ ආහාරයට ගෙන මුළුතැන් ගෙය අස්කර දැමුවෙමු. ඉන් පසු පොඩි හාමුදුරුවන් සමඟ මම බෝධීන් වහන්සේ ළඟ බිම වාඩි වී ගාථා පාඩම් කළෙමි. පොඩි හාමුදුරුවෝ මට මා නොදන්නා ගාථා කියා දුන්හ.

දින දෙකතුනක්ම ගෙවී ගියේ එලෙසය. හතරවැනි දින උදේ අම්මා සහ තාත්තා පන්සලට පැමිණියහ. ඔවුන් දුටු විට මම විගසින් ඔවුන් ළඟට දිවගියේ දුකෙන්ද, සතුටින්ද කියා නොදනිමි.


"‘කොහොමද පුතේ මෙහේ හොඳද? තාත්තා මගේ ඔළුව අතගාමින් ඇසීය.

“‘ඔව්... ගොඩක් හොඳයි. මට නංගියි, මල්ලියි මතක් වෙනවා කන්න ගියාම.‘


"‘උඹ කැමැති ද පන්සලේම නවතින්න?‘‘

‘‘මෙහේ හොඳයි මං කැමැතියි.‘‘

‘"

‘ලොකු හාමුදුරුවො අපට පණිවුඩයක් එවල තිබුණා එන්න කියල, ඒකයි අපි ආවේ.‘‘*


‘‘එහෙමද? එහෙනම් අම්මයි තාත්තයි ආවාසෙ ගේ පැත්තෙ යන්න ලොකු හාමුදුරුවො වැඩ ඉන්නවා.‘"

අම්මයි, තාත්තයි ආවාස ගේ පැත්තට ගිය පසු මම පොඩි හාමුදුරුවන් සමඟ බෝධීන් වහන්සේ ළඟ වාඩි වී පොත් පාඩම් කළෙමි. පොඩි හාමුදුරුවෝ ඉතා ඕනෑකමින් ගාථා කියමින් ඒවා ඉගෙන ගනියි. ගාථා ඉතා මිහිරි ලෙස ගායනා කිරීමට උන්වහන්සේට හැකිය. මටත් එලෙස ගාථා කියන්න හැකි නම් යැයි සිතූ මමද පොඩි හාමුදුරුවන් අනුගමනය කරමින් හෙමිහිට ගාථා කියන්න පටන් ගත්තෙමි.


‘පුතේ අපි යන්න කියලා*‘‘ අම්මයි තාත්තයි මා ළඟට එනකම් මම නොදැක්කෙමි.


‘‘ආ... එහෙමද? හොඳයි. මං හිටි තැනින් නැගිටවිත් අම්මාටත්, තාත්තාටත් වැන්දෙමි.


‘‘පුතා දන්නවනේ, ලොකු හාමුදුරුවෝ ඇහුව්වා පුතාව මහණ කරන්න අපි කැමැතිද කියල. අපි කිව්වා අපෙ නම් අකැමැත්තක් නෑ, පුතා කැමැති නම් මහණ කරගන්න කියලා. පුතා මොකද කියන්නේ?‘


"‘මාත් කැමැතියි පන්සලේ නවතින්න. ඒ වුණාට ගමේ ළමයි මාව අඳුනන නිසා මට මේ පන්සලේ නම් ඉන්න බෑ.‘‘


‘‘අපි එහෙනම් ලොකු හාමුදුරුවන්ට කියල උඹව වෙන පන්සලක නවත්වන්නද?


‘‘මේ පන්සලේ හාමුදුරුවරුයි, සීමන් මාමායි හරි හොඳයි. ඒ නිසා වෙන පන්සලකට යන්නත් මට දුකයි වගේ.‘‘


‘‘උඹේ කැමැත්තක්. ලොකු හාමුදුරුවෝ උඹට කතා කරයි. උඹේ කැමැත්ත කියපන්. අපි එහෙනම් යනවා.‘‘

අම්මයි, තාත්තයි ගිය පසු මා තනියම කල්පනා කළේ මහණ වෙනවා කියන්නේ එතරම් අමාරු වැඩක් නෙමේනෙ කියායි.

මටත් වැඩිය බාල පොඩි හාමුදුරුවන් කොච්චර ලස්සනට පන්සලේ ඉන්නවද? කොයිතරම් ලස්සනට ගාථා කියනවද? පන්සලේ හිටිය දවස් තුන හතරටම මට බඩකට පිරෙන්න කන්න ලැබුණා. එතරම් ලොකු අමාරු වැඩක් කරන්නත් නෑ, උදේ හතරහමාරට නැගිටින එකයි, රෑට කන්න නොලැබෙන එකයි විතරයි අමාරු වැඩකට තියෙන්නෙ. උදේට නැගිටින වැඩේ පුරුදු කර ගත්තා නම්, මටත් පන්සලේ නැවතිලා ඉන්න එක ඒ හැටි වැඩක් නෙමේනේ. මට දැන් අවුරුදු දොළහ පිරෙන්න ළඟයි. මං ඉස්කෝලේ යන්න කැමැතිත් නැති එකේ පන්සලේ නැවතිලා මහණ වෙන එක හොඳයි යැයි මම සිතුවෙමි.

ගෙදර ගියොත් හරියට කන්න අඳින්නවත් නෑ. ගෙදර හරියට නිදාගන්න තැනක්වත් නෑ. පන්සලේ හිටියොත් බඩකට පිරෙන්න කාලා ඇඳල ඉන්න පුළුවන් මට. මට පොඩි හාමුදුරුවන්ගෙන් පාඩම් වැඩත් ඉගෙන ගන්න බැරියැ.

දිගටම කල්පනා කළ මම, මහණ වෙලා පන්සලේ නැවතිලා ඉන්න එක හොඳ යැයි සිතුවෙමි.


‘‘විසල් මොනවද කල්පනා කරන්නේ?‘‘


මා ලොකු කල්පනාවක සිට ඇතැයි මට සිතුණේ ලොකු හාමුදුරුවන් මා ළඟට එනතුරුම නොදුටු බැවිනි.


‘‘ආ... හාමුදුරුවනේ…‘‘ මම හිටි තැනින් දඩිබඩි ගා නැගිට ගත්තෙමි.

‘‘විසල්ගෙ අම්මයි, තාත්තයි ඇවිත් ගියා... කතා කළා ද*‘‘

‘‘එහෙමයි හාමුදුරුවනේ.‘‘


"‘විසල් කැමැතිද මේ පොඩි හාමුදුරුවෝ වගේ මහණ වෙන්න‘‘

‘‘මං කැමැතියි හාමුදුරුවනේ.‘‘

‘‘ඇයි කැමැති‘‘?

‘‘ගෙදරට වඩා මට පන්සල හොඳයි හාමුදුරුවනේ .‘‘

‘‘විසල් ඇවිත් තාම දවස් හතරනෙ. ඔය ඉන්න විදියට තව මාස දෙකක් විතර පන්සලේ ඉන්න ඕන. හොඳට හිටියොත් තමයි මහණ වෙන්න අවසර දෙන්නෙ. ඒ හින්දා මේ ඉදිරි මාස දෙක පන්සිල් පද පහ හරියට රැකගෙන විනීතව, හැසිරෙන්න ඕන. විසල් කිව්වනේ මේ පන්සලේ හිටියම ගමේ මිනිස්සු, ගමේ යාළුවෝ හම්බ වෙන නිසා ඉන්න කැමැති නෑ කියලා. ඒ හින්දා මං තීරණය කළා පිරිවෙන අධ්‍යාපනය ලබාදෙන නුවර පන්සලකට විසල්ව එක්කගෙන යන්න. එතකොට විසල්ට ඉස්කෝලේ මඟ හැරුණු වැඩ පිරිවෙනෙන් ඉගෙන ගන්නත් පුළුවන්.‘‘

‘ඒක නම් ‘ලොකු දෙයක් හාමුදුරුවනේ, පිං සිද්ධ වෙනවා.‘‘

දින දෙකකට පසු ලොකු හාමුදුරුවන් හා තාත්තා සමග මා නුවර පන්සලක් බලා ගමන් ගත්තේ ලංගම බසයකිනි. මම සුපුරුදු ලෙස ඉස්කෝලෙට අඳින මාගේ නිල් කොට කලිසම හා සුදු ෂර්ට් එකක් ඇඳගෙනය. අනෙක් කලිසමයි, ෂර්ට් එකයි කඩදාසි බෑගයක දමා ගත්තෙමි. ලොකු හාමුදුරුවන් හා තාත්තා සමඟ නුවර යන්න පටන් ගත්තේ උදෑසන හීල් දානේ ඉවර වූ ගමන්මය. ජීවිතේට මම නුවර යන මුල් වතාව මෙයයි. නුවර කොයි වගේද කියා මම තනියම කල්පනා කළෙමි.

‘‘මං ගිහින් එන්නම් සීමන් මාමේ.‘

මම සීමන් මාමාට වැඳ නමස්කාර කළෙමි. පොඩි හාමුදුරුවන් මට ගමනට අවසර දී බලා සිටියේ දුකෙන්ය. මම නුවර ගමන යනවාට පොඩි හාමුදුරුවන් අකමැතියැයි මට සිතුනි.

‘‘මං ගිහින් එන්නම් හාමුදුරුවනේ…"

මම පොඩි හාමුදුරුවන්ට වැන්දෙමි. පන්සල් ජීවිතයේ මාගේ මුල්ම යාළුවා වූනේ පොඩි හාමුදුරුවන්ය. පොඩි හාමුදුරුවන්, ලොකු හාමුදුරුවන් මෙන්ම සීමන් මාමාගේද කරුණාව නොමැති නම්, මා පන්සලේ නැවතී මහණ වෙන්න තීරණය කිරීම මෙතරම් ඉක්මනට සිදු නොවන්නට තිබිණි. මෙහි සිටි දින තුනහතර මම සිටියේ සතුටින් යැයි සිතුවෙමි.

ලොකු හාමුදුරුවන් හා තාත්තා සමග මා නුවර පන්සලට යන විට දහවල් දානයට ළංව තිබිණි. අප කලින් එන බව වේලාසන ලොකු හාමුදුරුවන් දැනුම් දී තිබෙන්න ඇතැයි මට සිතුණේ එම පන්සලේ ලොකු හාමුදුරුවන් අප දුටු විට කතා කළ ආකාරයෙනි.

‘‘වඩින්න... වඩින්න... හාමුදුරුවනේ. මං ඒත් බැලුවා ඇයි පරක්කු කියල.‘‘

‘‘දන්නවනෙ බස්වල වඩින කොට හරි පරක්කුයි, රස්තියාදුවයි.. ඒ නිසා හරි මහන්සියි.” ලොකු හාමුදුරුවෝ ආවාස ගෙට වඩින ගමන්ම නුවර ලොකු හාමුදුරුවන්ට කීය.

විසල් තාත්තත් එක්ක ඔය පිටිපස්සෙ තියෙන දන්ගෙය පැත්තට යන්නකෝ.‘‘

‘‘ආ... ඔව් ළමයෝ ඔය පැත්තෙ හිටියා අපේ ලොකු ඇබිත්තයා. මෙහෙට එන්ඩ කියන්න එයාට.‘‘

නුවර පන්සලේ ලොකු හාමුදුරුවන්, අපේ පන්සලේ හාමුදුරුවන් තරම් කාරුණික නැතැයි මට සිතිණි.

දන්ගෙයි සිටි තරුණ පෙනුමැති පිරිමි කෙනා ළඟට ගොස් මම කතා කළෙමි.

“අයියට ලොකු හාමුදුරුවෝ අඬ ගහනවා.”

‘‘ආ….. කියමින් ඔහු ආවාස ගෙය පැත්තට ගියේ කඩිනමින්ය. මං තාත්තත් එක්ක දන්ගෙයි ඉස්සරහ බංකුවේ වාඩි වී සිටියේ මොනවා කළ යුතුදැයි වැටහීමක් නැතුවය.

‘‘ආ... එන්න උයන ගෙටම. මොනවහරි කාලා ඉමු.‘‘

ලොකු ඇබිත්තයා හෙවත් විමල් අයියා තාත්තාටත්, මටත් උයන ගෙට කතා කර දාන භාජනවල ඉතිරි වී තිබූ බත්, මාළු බෙදා ගෙන කන්න කියා ඔහු වෙන වැඩකට ආවාස ගෙය පැත්තට ගියේය. මාත්, තාත්තාත් තිබූ බත් පිරිමසා ගෙන කෑවෙමු.

දහවල් ආහාරයෙන් පසු ලොකු හාමුදුරුවෝත්, නුවර පන්සලේ හාමුදුරුවෝත් තාත්තා සමඟ ටික වේලාවක් කතා කරමින් සිටියාහ.

“‘අද මං මෙහේ නවතිනවා... විසල්ගෙ තාත්තට පුළුවන් අදම ගෙදර යන්න හරි, ඕන නම් මෙහෙ රෑට නවතින්න හරි.‘‘ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් කීහ.

‘‘මාත් අද මෙහේ ඉඳල යන්නම් හාමුදුරුවනේ. හොදටම හවස් උනානේ.. දැන් ගියොත් ගමට යන කොට ගොඩක් රෑ වෙයි.‘‘

එදින තාත්තා පන්සලේ නවාතැන් ගත්තේ මා සමඟය. නුවර පන්සලේ ඇබිත්තයා වන විමල් අයියා අපට රෑට කන්න පාන් හා පරිප්පු දුන්නේය. අපි දෙදෙනා රෑ කෑමෙන් පසු පන්සලේ බණ මඩුවේ රෑට නිදාගත්තෙමු. තාත්තා රෑ මාව කවදාවත් නැති විදිහට තුරුල් කරගෙන නිදාගත්තේය. ඔහු බොහෝ පුංචි දවස්වල මාව එසේ තුරුලු කරගෙන නිදා ගත්තා මතකය. නංගී මල්ලි ඉපදුන පසු තාත්තා මාව හුරතල් කිරීම තුරුලු කරගෙන නිදාගැනීම නවතාදමා තිබුනි. අම්මා හදා තිබෙන දෙයක් කාබී ඔහේ හැදුන අපට අම්මා තාත්තා ආදරය පෙන්නුවේ නැති තරම්‍ය. ගෙදර තිබුන අගහිඟකම් නිසා ඔවුන්ට ඒ ගැන කල්පනා කරනවා ඇරෙන්න දරුවන්ට ආදරය දිය යුතුයි යන තේරුමක් නොතිබුනි. තාත්තා රෑ මාව තුරුලු කරගෙන හිසත් දෙතුන් පාරක් සිප ගන්නවා මට නින්දෙන් වගේ මතකය.

පසුදින තාත්තා ගෙදර යන්න ලෑස්ති වී මට කතා කළේය.

‘‘පුතේ ලොකු හාමුදුරුවෝ කියනවා පුතාව මහණ කරන්න කියල. පුතාට පිරිවෙනකට ගිහින් එතකොට ඉගෙන ගන්න පුළුවන්ලු. උඹ දන්නවනේ අපි හරි අමාරුවෙන් ජීවත් වෙන්නෙ කියලා. මට ඕන උඹල පස්දෙනාටම කොහොම හරි හොඳට උගන්වන්න. උඹ ඉස්කෝලෙ යන්න කැමැති නැති එකේ පිරිවෙනකට හරි ගිහින් ඉගෙනගන්න එක ලොකු දෙයක් පුතේ….. උඹ ලොකු හාමුදුරුවෝ කියන විදියට හොඳින් හිටපන්. උබට හොදක් වෙනවා දකින්නයි මට ඕනේ..‘‘ තාත්තා මගේ හිස අතගා නලල සිප ගත්තේය.

තාත්තා මට සමුදුන්නේ දුකෙන් යැයි මම සිතුවෙමි. තාත්තා අතේ තිබුන අමුඩ ලේන්සුවෙන් ඇස් දෙක පිහදාගත්තේ මට පිටිපාගෙනය.

ගෙදර අඟහිඟකම් මැද ගෙදර ජීවත් වනවාට වඩා මෙලෙස මහණ වී එක දරුවෙක් හරි ගෙදරින් ඈත් වී හොඳින් ඉගෙනගෙන ඉන්න එක දෙමවුපියන්ටත් පහසුවක් හොඳ යැයි මම සිතුවෙමි. මහණ වීමට කිසිත් ඕනකමක් නැති මට පන්සලේ මහණ වී ජීවත් වීමට ඉඩ සැලසී ඇත. ගෙදර අගහිඟකම් නිසාත්, පාසැල් යන්න අකමැත්ත නිසාත් , ගෙදරට වඩා කෑම බීම ඉදුම් හිටුම් මෙහි ඇති බැවිනුත් මම පන්සලේ නවතින්න එක හිතින්ම කැමති වුනෙමි.

‘‘විසල් කීවෙනි පන්තියට වෙනකම් ගිහිල්ලා තියෙනවද? නුවර පන්සලේ ලොකු හාමුදුරුවන් ඇසීය.

‘‘පස්වෙනි පන්තියට”

“එහෙනම් ගමේ ඉස්කෝලෙන් අස්වීම් සහතිකයයි, ඉගෙනීම් සහතිකයයි තාත්තාට කියල ගෙන්න ගන්න වෙයි. මෙහේ පිරිවෙනකට යනකොට ඒවත් ඕන වෙනවා. හැබැයි දැන්ම පිරිවෙනට යන්න බෑ. තව මාස දෙකක් තුනක් පන්සලේ වැඩ ඉගෙනගෙන හොඳ හැසිරීමෙන් සිටියොත් විතරයි. මහණ වෙන්න පුළුවන්. ඉන් පසු තමයි පිරිවෙනට යන්න පුලුවන් ‘‘

‘‘එහෙමයි හාමුදුරුවනේ‘

නුවර පන්සලේ ලොකු හාමුදුරුවන්ට අමතරව, තරුණ හාමුදුරුවරු දෙනමක් එහි වැඩ සිසිටියාය . තරුණ දෙනම මා සමග කරුණාවෙන් කතා බහකර ඉක්මනින්ම මා සමග යාළු විය. ලොකු හාමුදුරුවන් නම් ටිකක් සැරය. ඔහු තරුණ හාමුදුරුවරු දෙනමට කෑගසන වේලාවන්ද ඇත. ලොකු හාමුදුරුවන්ට ගමේ උපාසක උපාසිකාවන්ද බය ය. නමුත් ඔහු ඉතා කෙළින් වැඩ කරන හිමිනමකි. හැම වැඩකම පිළිවෙළක් ඇත. පන්සලේ දියුණුවට හේතුව ද උන්වහන්සේගේ ප්‍රතිපත්ති යැයි මම සිතුවෙමි.

නුවර පන්සලට පැමිණ මාස දෙක සම්පූර්ණ වනවිට පන්සලේ ජීවත් විය යුතු පිළිවෙළ මා හට හොඳින්ම වැටහී තිබුණි. තරුණ හාමුදුරුවන්ගෙන් මම ආගම දහම ගැන හොඳින් ඉගෙන ගත්තෙමි. ගාථා සහ පිරිත් සෙමින් සෙමින් ඉගෙන ගත්තෙමි. මේ වනවිට උදේ හතරහමාරට නැගිටින පුරුද්ද මට ඉබේම ඇති වී තිබුණි. පන්සල අතුපතු ගා, ආවාස ගෙය අස්පස් කර, පන්සලේ විමල් අයියාට පන්සලේ වැඩවලට මම ආසාවෙන් උදවු කළෙමි. මගේ ගති පැවතුම්ද දැන් ටිකෙන් ටික හොඳ අතට හැරී ඇතැයි මට ම සිතේ. ගෙදර අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් මට ටිකෙන් ටික අමතකව ගියේය. පන්සලේ ගෙවන ජීවිතයට මා දැන් බොහෝ සෙයින් කැමැති ය.

* නැවත හමුවෙමු. *

7 views0 comments

Recent Posts

See All

*එතෙරින් එතරට *

(22 වෙනි කොටස ) වාහනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් එකදිගට ගමන් කරයි. කොරියන් රියැදුරු මගෙන් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් ඇසීය. මට කිසිදු...

Comments


bottom of page