top of page
  • Writer's picturePrisila Godahewa

එතෙරින් එතරට (5)

--පස්වන කොටස--(5)

‘‘කොළුවෝ මේ බුද්ධ පූජා තැටි ටික ලෑස්ති කරන්න. මුදලාලිලා දැන් එයි බුද්ධ පූජාව බෙදන්න.‘‘

"‘අනේ සීමන් මාමේ මං හරි බයයි මුදලාලිට. අදට විතරක් මං පන්සලේ පිටිපස්සට වෙලා ඉන්න ද?.. මුදලාලි යනකම්.‘‘

‘‘මොකට බය වෙනව ද මුදලාලි උඹව කනව යැ‘‘?

"‘අනේ සීමන් මාමෙ මං කුස්සිය පිටිපස්සට ගිහින් ඉන්නම්. මුදලාලිලා යනකම්.‘‘

‘‘හා... හා... එහෙනම් පළයං. මං බුද්ධ පූජා තැටි ලෑස්ති කරන්නම්.‘‘ සීමන් මාමා මට බැන්නත් හොද කෙනෙකු යැයි මම සිතුවෙමි”

ලොකු හාමුදුරුවොත්, පොඩි හාමුදුරුවොත් තවත් වැඩිමල් ස්වාමින් වහන්සේ නමක්ද වැඩ සිටින ගමේ පන්සලට දානේ ගේන දායකයන්ට පන්සිල් දී, පිරිත් ටිකක් කියා බණක් ද කියන එක හැමදාම උදේට දවල්ට පන්සලේ කරන සිරිත්කි. දවල් දානය කවුරුවත් ගේන්න භාර නොගෙන සිටියොත් සීමන් මාමා එදිනට දානය දන් ගෙයි උයා ස්වාමීන් වහන්සේලාට පිළිගන්වන්නේය.

මුදලාලිලා බුද්ධ පූජාව පූජා කර ස්වාමීන් වහන්සේලාට දානය පිළිගන්වා යන තෙක් මම පන්සලේ වත්ත පල්ලෙහා ගෝරක ගහකට නැගගෙන සිටියෙමි. අද පන්සල් ඇවිත් සිටින්නෙ සහන්ගෙ අම්මයි, තාත්තයි, ආච්චියි, මාමා කෙනෙකුයි විතරයි. සහන් ඉස්කෝලෙ යන්න ඇති. දැන් මේ වෙන කොට මුළු ඉස්කෝලෙ ම අය දන්නවා ඇති මං බුද්ධ පිලිමයේ කැරකෙනවා ධර්ම චක‍්‍රයේ මෝටරය හොරකම් කරන්න ගිය බව. මං නම් ආයෙත් කවදාවත් ඉස්කෝලෙ යන්නෙ නෑ. ඒ උනාට අපේ ඉස්කෝලෙ ඉන්න ළමයින් හැමෝම මේ පන්සලට නිතර එනවනේ.... ඒ අය මාව දැක්කොත් මට විහිළු කරයි ‘මෝටර් හොරා‘ කියලා. අනේ මට නමි මේ පන්සලේත් ඉන්න බෑ. මං ලොකු හාමුදුරුවන්ට කියනවා මාව වෙන කොහේ හරි ඈතකට යවන්න කියලා. මේ ගමේ මිනිස්සු පේන්න නැති පළාතකට. මම දැන් ගමෙි මිනිස්සු දකින්නවත් කැමති නැත. මට ඕනෙ ගමේ හැමෝටම හොරෙන් පේන්න නැතිවෙන්න හැන්ගිලා ඉන්නයි.

‘‘විසල්... විසල්.... ඔයා කොහේද?

පොඩි හාමුදුරුවන්ගෙ කට හඬ ඇසී මම ගොරක ගහෙන් බිමට බැස්සෙමි.

‘‘මොකද මේ ගොරක ගහට නැගලා.‘‘*

‘‘මුදලාලිලා ගියා ද පොඩි හාමුදුරුවනේ.‘‘

‘‘ඔව්... ඇයි සීමන් මාමා කිව්වා මුදලාලි යනකම් විසල් පන්සලේ වත්ත පල්ලෙහාට යනඑා කියල. ඒ මොකද?

මම පසැලේ දි වුණ, මා කවදාවත් දැක නොතිබුණු ධර්ම චක‍්‍රය හොරා ගන්න ගිය කතාව පොඩි හාමුදුරුවන්ට කීවෙි දුකෙන්ය.

‘‘හොරකම් කරන එක ලොකු පවක්. ඒ හින්දද විසල් ඉස්කෝලෙ යන්න ආස නැත්තේ. මීට පස්සෙ කවදාවත් හොරකම් කරන්න එපා. පන්සිල් පද පහ රැකගෙන ජීවත් වෙන්න ඕනේ ගිහියෙක් වුණාම. හොඳ ද? හොඳට හිතට ඇරන් හොඳ කෙනෙක් වෙන්න.*‘‘ පොඩි හාමුදුරුවෝ මට පැහැදිලි ලෙස බණක් කියන්නාක් සේ හොරකම් කිරීම පව් පිරෙන වැඩක් බව පෙන්වා දුන්නේ ය.

‘‘ගිහින් බත් කන්න. අන්න සීමන් මාමා ඔයාව හොයනවා. අපි නම් දානේ වළදලා ඉවරයි. ගිහින් බලන්නකෝ අද මොනවද දානේට තියෙන්නෙ කියලා….‘‘ මට වඩා බාල වුණත් පොඩි හාමුදුරුවෝ ඉතා නිවුණු, හොඳ ගතිගුණ තියෙන ස්වාමින් වහන්සෙ නමක්‍ය. උන් වහන්සේ කතා කරනා විට මගේ හිත ද ටිකෙන් ටික නිවෙන්න පටන් ගන්නවායැයි මටම සිතේ.

"‘ආ... විසල් එන්න... මොකද විසල් මුදලාලිට පේන්න එළියට ආවේ නැත්තෙ….මට සීමන් කිව්වා විසල් මුදලාලිට බයයි කියල. ඒ මොකද?*‘‘ ලොකු හාමුදුරුවෝ මගෙන් ඇසීය.

මම පොඩි හාමුදුරුවන්ට කියපු කතාව ලොකු හාමුදුරුවන්ට ද කීවෙමි.

‘‘මං දන්නවා ඒ කතාන්දරය. මට විසල්ගෙ තාත්තා කිව්වනේ. මං දන්නෑ මුදලාලිගෙ පුතාගෙ දෙයක් විසල් හොරකම් කළේ කියලා. මීට පස්සෙ අපි ඔය දේ ගැන කතා නොකර ඉමු. විසල් මීට පස්සෙ හොඳ ළමයෙක් වෙන්න ඕනේ. පන්සිල් පද පහ හරියට පිළිපදින්න ඕනේ. එතකොට කාටවත් බයේ ජීවත් වෙන්න ඕනේ නෑ.‘‘ ලොකු හාමුදුරුවෝ ද මට බණ දේශනා කළේය.

"‘දැන් ගිහින් කාල ඉන්න.‘‘

‘‘අනේ ලොකු හාමුදුරුවනේ ගමේ ළමයි හැමෝ ම මෙි පන්සලට එනවනේ. ඒ අය මාව පන්සලේ දී දැක්කොත් ඉස්කෝලේදි වගේ මට විහිළු කරයි. ඒහින්දා මාව කොහෙ හරි ඈත පන්සලකට යවන්න හාමුදුරුවනේ….."

‘‘ම්..... අපි බලමුකෝ ඒකට විසඳුමක්. දැන් විසල්. ගිහින් දන් ගෙයි ඉන්න සීමන් එක්ක බත් කාලා සීමන්ට උයන ගේ අස් කරන්න උදව් කරන්න.‘‘

"හොදමයි හාමුදුරුවනේ "

මම උයන ගෙට යනවිට සීමන් මාමා ලොකු බෙලෙක් පිඟානකට බත් බෙදා ගෙන දන් ගෙයිඋළුවස්ස උඩම වාඩි වී බත් කයි. දන් ගෙයිඉදිරිපස මිදුලේ පන්සලේ බල්ලත්, පූසෝ දෙදෙනාත් සීමන් මාමා බත් කන දෙස බලා සිටින්නෙ නොවිසිල්ලෙනි. පූසන් සැරෙන් සැරේ සීමන් මාමාගෙ කකුලේ ඇතිල්ලෙමින් ඤාව්... ඤාව්.... ගායි.

"‘හිටපන් මං කාලා ඉවර වෙලා උඹලට බත් කන්න දෙන්නම් මාත් බඩගින්නේ හිටියේ. ආ.... කොලූවෝ උඹත් බත් කාපන් දැන්.... අන්න මං උඹට පිඟානකට බත් බෙදල ඇති.‘‘ සීමන් මාමා බත් පිඟාන දෙස බලාන බත් අනමින් කමින්ම මට කීය.

මම මේසය උඩ තිබුණ බත් පිඟාන දෙස බැලූවෙමි. එය කොත ගසා බත් එළවලු බෙදා ඇත. බත්, පරිප්පු, බෝංචි, හාල්මැස්සන්, දෙල් මැල්ලූම් හා කුට්ටි මාළු කෑල්ලක් ද එහි තිබිණි. මගේ කටට කෙළ ඉනින. මතක ඇති කාලයක කුට්ටි මාළු කෑල්ලක් මට කන්න ලැබී නැත. ගෙදර දී ඉඳහිට තාත්තා ගේන සාලයෝ මාළු මිස කවදාවත් අපේ ගෙදරට කුට්ටි මාළු ගේන්නෙ නැතිය. මම ද බත් පිඟාන ගෙන සීමන් මාමා කිට්ටුවෙන් ම වාඩි වී බත් කෑවෙමි. මගේ කටට කෙළ උනා එයි. බත් එක පුදුම රස ය. මම එක හුස්මට බත් කෑවේ එහෙන් මෙහෙන් බත් ඇට, බත් පිඟාන පල්ලෙ යද්දීය.

‘‘හෙමිහිට කාපන්... උඹේ පිඟාන වෙන කවුරුත් කන්නෑ.‘‘

‘‘හරිම රසයි සීමන් මාමේ. මට පන්සලේ ම නැවතිල ඉන්න හිතෙනවා, මාමා වගේ ම. එතකොට මටත් රස කෑම කන්න පුළුවන්නේ.‘‘

‘හැමදාම මෙහෙම හම්බ වෙන්නෑ. මුදලාලි මහත්තයලාගෙ ගෙදරින් ගෙනාවොත් තමයි මාළු කෑල්ලක් හරි කන්න ලැබෙන්නෙ.‘‘

‘‘ඇයි අනික් දවසට මොනවද හම්බවෙන්නෙ.‘‘?

"‘දුප්පත් ගමේ උපාසකයන්ගෙ ගෙවල්වලින් වේල් දානේ ගේනකොට සුදු බත් කොස් තම්බලා, හාල් මැස්සො හොඳි, පොල් සම්බෝල වගේ දේවලූත් ගේනවා. එහෙම නැත්නම් සෝයා මීට් උයල පරිප්පු උයලා මාළුව දෙකක් නැත්නම් තුනක් එක්ක බත් ගේනවා. මිනිස්සුන්ට පුළු පුළුවන් විදිහට තමයි පන්සලට දානේ ගේන්නේ. මොනව ගෙනාවත් ලොකු හාමාදුරුවොයි අනිත් හාමුදුරුවරුයි පිං දීලා තියෙන දෙයක් වළඳිනවා.‘"

‘‘අද එහෙනම් ජයයි නේද?*

‘‘ඔව්.. ඔව්.. උඹ ආපු හින්ද ද කොහේදෝ. ඔන්න කිරියි පැණියි, ගස්ලබුත් තියෙනවා අතුරුපසට.... කාලා මේ පිඟන්, කෝප්ප හෝදලා දාපන්. මේ බල්ලෝ, පූසන්ටත් බත් දාන්න ඕනේ.‘‘

‘‘හොඳයි සීමන් මාමා මං කරන්නම්.‘‘ රස බත් කා මම සතුටින් සිටියේ ඉස්මුරුත්තාව හැදීය.

දන් ගෙය අස්පස් කර මා දන් ගෙයි දොරවල් වසා දැම්මෙමි. දන් ගෙට අල්ලා තිබෙන කාමරයේ බූරු ඇදේ. සීමන් මාමා ඇල වී ගොරවයි. ගෙදරින් ගෙනා මගේ ඇඳුම් ඇත්තේ ද එම කාමරයේ මය. මටත් බඩ කට පිරී බුදිමතක් දැනින. මං හෙමිහිට ඇවිදගෙන ආවාස ගේ පැත්තට ගියෙමි. ලොකු හාමුදුරුවෝ පේන්න නැත්තෙ සැතපිලා යැයි මට සිතිනි. මං හෙමිහිට ආවාස ගෙයි එළිය පැත්තෙන් ඇවිද ගෙන ගොස් පොඩි හාමුදුරුවෝ වැඩ සිටින කාමරයේ ජනේලයෙන් එබී බැලීමි. පොඩි හාමුදුරුවොත් අනිත් වයස අවුරුදු 25 පමණ වන අනිත් හාමුදුරුවොත් පොත් වගයක් පෙරලගෙන පාඩම් කරයි. මම හෙමිහිට එතනින් නික්ම බෝ මළුව පැත්තට ගොස් හෙවන ඇති තැනක වාඩි වී බෝධින් වහන්සේ දෙසා බලා උන්නෙමි. මගේ ඇස් පිය වී ගෙන ආවේ මටත් නොදැනීමය . මං එතන තිබූ කණුවකට හේත්තු වී ඇස් පියා ගත්තෙ වෙන වැඩක් කරන්න නැති නිසා ය. වෙන කවරදාකටවත් වඩා ඉතා රස මුසු ආහාරයක් ඉස්මුරුත්තාවට එනතෙක් කන්න ලැබුනාට පසු මගේ හිතත් ගතත් සතුටින් පිරී බුදිමතක් දැනින. මම හොදින් දෑස් පියාගෙන බෝධීන් වහන්සේගේ සෙවනින් හමන මඳ සුළඟ මැද්දේ බෝමලුවෙි කනුවකට හේත්තු වී උන්නෙමි.මට නොදැනීම නින්ද යාගෙන ආවේය.

‘‘විසල් මොකද කරන්නේ... නිදි ද.? මං බැලූවා කෝ කියලා. දවල්ට නිදාගන්න හොඳ නෑ. ලොකු හාමුදුරුවෝ අපට කියල තියෙන්නෙ නිදිමත නොඑන්න වෙන වැඩක් කරන්න කියලා.‘‘ පොඩි හාමුදුරුවෝ මගේ ඉදිරිපිට හිට ගෙන කතා කරයි.

‘‘බත් කාලා වැඩි වෙලා මට නිදිමතක් හැදුනනේ. ගෙදර ඉන්න දවසට නම් මං කවදාවත් දවල්ට නිදාගන්නෙ නෑ. හේනට ගිහින් අමිමට උදව් කරනවා.‘‘*

"නිදිමතක් නෙමේ බුදි මතක්.."

‘‘එහෙනම් අපි අර පැත්තට යමු. මං දෙන්නම් විසල්ට වැඩක්. මල් පාත්ති වගයක් තියෙනවා සුද්ද කරලා සාත්තු කරන්න ඕනෑ. විසල්ට පුළුවන් ද?

‘‘අපෝ පුළුවන්. හාමුදුරුවනේ.‘‘

"එහෙනම් මම ආවාසෙට යනවා විසල් මල් පාත්ති සුද්ද කරලා ඒ පැත්තට එන්න."

"හොදයි හාමුදුරුවනේ "

හවස් වෙනකල්ම මල් පාත්ති සුද්ධ කළ මම පසුව හවස බෝ මළුව අතු ගා උදේ දවල් පූජා කරපු මල් අයින් කර මල් තට්ටුද පිරිසිදු කළෙමි.

‘‘විසල් වැඩ ඉවර නම් ගිහින් ඇඟපත හෝදාගෙන වෙන ඇඳුමක් දාගෙන ලෑස්ති වෙන්න හවස බෝධි පූජාවට මල් කඩාන එන්න. ගිලන්පස තට්ටු ලෑස්ති කරලත් දෙන්න ඕනේ.‘‘

‘‘හොඳමයි හාමුදුරුවනේ. මං හෝදගෙන එන්නම්.‘‘ මම පන්සලේ ළිද ලභට ගොස් වතුර ඇදගෙන හොදින් කුනු උලා නාගත්තෙමි. පසුව ගෙදරින් ගෙනා කොට කළිසමත් කමිසයත් ඇදගෙන ඇදන් හිටි ඇදුම සොදා දැමිමෙමි.

හවස හත වෙනකොට සවස බෝධි පූජාව ආරම්භ විය.. ඇවිත් සිටි උපාසක අම්මලා හා උපාසක මහත්වරුන් බෝධි පූජාවට අත ගසා බෝධීන් වහන්සේ ඉදිරිපිට සුදු වැල්ලෙ බිම වාඩිවි වදින්න ලෑස්ති විය. ලොකු හාමුදුරුවෝ හැමෝටම පන්සිල් දී වැන්ද පසු සියල්ලෝම බෝධි පූජා ගාථා එක්ව කියමින් වැන්දේය.

බෝධි පූජාව අවසන්වි සියලූ උපාසක අම්මලා ගිය පසු සීමන් මාමා පන්සලේ ගේට්ටුව වසා දමා පන්සලේ වැඩිපුර ලයිට්ද නිවා දැමුවේය. දවල් දවසේ වැඩ කර හවස නාගත්තයින් පසු මගේ බඬේ පණුවෝ කෑ ගසන්න පටන් ගත්තේ හොදටම බඩගිනිවය. හාමුදුරුවෝ වගේ අපිත් බඩගින්නෙ සිටිය යුතු දැයි මම හිතින් කල්පනා කළෙමි. ලොකු හාමුදුරුවොත්, පොඩි හාමුදුරුවරුත් ආවාස ගෙට ගිය පසු සීමන් මාමා සමඟ මම දන් ගේ ඇතුලට ගියේමි.

"‘ස්වාමීන් වහන්සේලාට ගිලන් පස හදල දෙන්න ඕනේ... කේතලය ලිපේ තියපන් කොලූවෝ.‘‘

"‘හොඳමයි සීමන් මාමේ... මම දර ලිප පත්තු කර වතුර කේතලය ලිපේ තිබ්බෙමි. ගෙදරදි මම අම්මාට මෙලෙස ලිප පත්තු කර දෙන්නෙමි.‘‘

‘‘උඹට බඩගිනි ද?

මම සිනාසුනා මිස කිසිවක් නොකීවෙමි.

‘‘හාමුදුරුවරු බඩගින්නෙ හිටියට අපි ගිහියොනේ... අපි බඩගින්නෙ ඉන්න ඕන නෑ. මං දවල් ඉතිරිවුණ දානේ බත් අරන් තියල තියෙන්නෙ. හාමුදුරුවන්ට ගිලන් පස ගිහින් දීලා ඇවිත් මං උඹට කෑම බෙදල දෙන්නම්.‘‘

‘‘මගේ ඉහේ මලක් පිපිණි. මම සිටියේ යකෙක් කන්න බඩගින්නේය. දවල් බත් ඉතුරු වෙලා තියෙනවා කිව්වහම මට ඇති උනේ පුදුම සතුටුකි.

ස්වාමීන් වහන්සේලාට ගිලන් පස පූජා කර ආවාසා ගෙයි දොර ජනෙල් වසා දමා ආ සීමන් මාමා මට දවල් ඉතුරුවුණු දානේ බත්වලින් පිඟානක් බෙදා කන්නට දුනි.

‘‘ටිකයි තියෙන්නෙ... තියෙන විදිහට කමු.‘‘*

දවල් තරම් මාළු පිනි නොතිබුණි. පරිප්ප, කරවල සහ දෙල් මැල්ලූම් පමණක් ඉතිරිවි තිබුණි. මට එයත් වැඩි තරම් ය. ගෙදර දී නම් බත් උයා කීරමින් හොද්දක් හෝ කිරි හොද්දක් සමඟ අම්මා ලොකු මඤ්ඤොක්කා කොළ මැල්ලූමක් අපි සැමෝටම කන්න හදයි. අපි ඒවා කන්නෙ රස කර කරය. බත්වලට වඩා ඇත්තේ මඤ්ඤොක්කා කොළ මැල්ලූමයි. එය නිතරම අපේ ගෙදර හදන කෑමකි. ඒ හේනේ මඤ්ඤොක්කා පදුරු ඇතිතරමි තිබෙන නිසාය. නැතිනම් අල, බතල, කොස් දෙල් නිතර ම අපට ගෙදර දී කන්න ලැබෙන දේවල් ය. බත් ලැබෙන්නෙ එක වේලකට ය. සමහර දවස්වලට අපට බත් කන්නට ලැබෙන්නෙම නැති තරම් ය. මට ගෙදර අම්මා, තාත්තා, අයියා, අක්කා, නංගී, මල්ලී මතක් විනි. අද රෑට ඔවුන් මොනවා කනවාදැයි මම කල්පනා කළෙමි. මට දුක සිතිනි. අද දවල් මං කාපු දානේ බත් වලින් ටිකක් නංගීටත්, මල්ලීටත් දෙන්න තිබුණානම් කෙතරම් අගනේ ද? ඔවුන් මතක්වී දුක සිතුනත් මම මොනවා කරමිද සිතිමින් සීමන් මාමා බෙදා දුන් බත් ටික කා මම අත සෝදා ගත්තෙමි. සීමන් මාමා දන් ගෙය අස් කර අතුගාමින් ඉදියි.

‘‘උඹත් එහෙනම් මගේ කාමරයට ම වරෙන් නිදාගන්න.‘‘

‘‘හොඳයි.. මාමේ..‘‘

එදින මට නිදාගන්නට ලැබුනේ සිමන් මාමාගෙ බුුරු ඇද ලග බිම පැදුරක් එලාගෙනයෙ. පැදුරට වැටුන ගමන්ම මට නින්ද ගියේය. හොද සනිපයට නිදන්න පෙර සිමන් මාමා මට පොරවන්න රෙද්දක්ද ගෙනත් දුන්නේය. ගෙදරද පිට තැනක්ද කියා නැත, මට බඩ පිරෙන්න මොනවා හරි කා බි ඕන තැනක හොදින් නිදිය ගත හැකිය.

හෙට හමුවෙමු

6 views0 comments

Recent Posts

See All

*එතෙරින් එතරට *

(22 වෙනි කොටස ) වාහනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් එකදිගට ගමන් කරයි. කොරියන් රියැදුරු මගෙන් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් ඇසීය. මට කිසිදු...

コメント


bottom of page