top of page
  • Writer's picturePrisila Godahewa

*එතෙරින් එතරට **

නවකතාවේ අවසාන කොටස…..

(39 වෙනි කොටස )

"අම්මෝ බඩගිනියි ….යමු යමු කන්න….ඊටත් වඩා නිදිමතයි ...ඊයේ දවසේ ඉදන් හරි නින්දක් නෑනේ….

සුමුදු හරි ඉක්මනට කිරිබත් උයා ලුනුම්රිස් සමග තව හොද්දක් සදා තිබුනි.ඇය ගෙදර දොරේ වැඩ වලට ඉතා කඩිසර බව මට වැටහිනි.

කුස්සිය ඇතුලේම තිබුනු පුංච් මේසය උඩ, කෑලි කපන්න ලෑස්ති කර තිබු කිරිබත් පිගානක් ඇත. එහි කෙසෙල් ඇවිරියක් හා තව දීසි දෙකක්ද තිබුනි.

"මම හිටියෙත් හරි බඩගින්නේ , කොච්චර හොදට හෝටල් වලින් කෑවත් ගෙදර වගේ නෑනේ…පොල්සම්බෝලයි බතුයි තිබුන නම් කියලා හිතුනා අන්තිම දවස් වෙනකොට....එහෙනම් බෙදන්න සුමුදු කෑම......"

සුමුදු මගේ පිගානට කිරිබත් කෑලි දෙකක් දමා රතු පාටට උයා තිබුන වෑන්ජනය මට බෙදන්න හදන විට මම පිගානට අත තියා ඇය වැලැක්වුවෙමි…

"ඇයි…?

"ඔය මොනවාද ?....

" මස්.."

මොන මස්ද?....

"හරක් මස්…

දෙවියනේ….මේ ගෑනිට පිස්සුද.....වස දීසියක් හා සමාන හරක් මස් දීසිය දෙස මම බාගෙට බලා, අහක බලා ගත්තේ අපහසුවෙනි.


"මම මස් මොනවත් කන්න කැමති නෑ…

"ඇයි ඔයා ඇමරිකාවේදි කෑවා කිව්වෙ ….

" ඒ කුකුල් මස්….. දැන් ඒවාවත් මම කන්න කැමති නෑ….. තරහ වෙන්න එපා සුමුදු ඔයත් ඔය මස් කනවට නම් මම කැමති නෑ… ඒ විතරක් නෙමේ...මීට පස්සෙ ඕවා මේ ගෙදරට ගේන්න එපා… අපි කිරි අම්මා කියන්නේ ඔය සතාට නේද ….කොහොමද අපි ඔය සතාගෙ මස් කන්නේ… වෙන මොනවත් මට එපා...ඔයා ඒ දේ විතරක් මට කරන්න …..

මට සුමුදු ගැන ඇතිවුණේ කේන්තියකි…..මේ වගේ රටවල ජීවත් වන බෞද්ධයන් පන්සල් ගියාට, දාන මාන දුන්නට, හරක් මස් කෑම තවමත් නවතා දමා නැත.

මා දෙස ටික වේලාවක් බලා සිටි සුමුදු මස් දීසිය රැගෙන කුස්සියට ගොස් එය කුස්සියේ තබා නැවත පැමින කිසි කතාබහක් නැතුව පිගාන දෙස බලාගෙනම කිරිබත් ලුණු මිරිස් සමග කන්නට විය. හිතට දැනුනු කේන්තිය,හා දුක නිසා මටත් තිබුන බඩගින්න නැති වුනි. උඩින් පල්ලෙන් කිරිබත් සමග ලුණු මිරිස් කා දමපු මම කුස්සියට ගොස් පිගාන හා අත සෝදා කාමරයට ගොස් නිදාගත්තෙමි.

ගෙට ගෙවදුන මුල්ම දිනේ...එකට කෑම කන්න පටන් ගත් මුල්ම දිනේ ගෙවි ගියේ එලෙසය.


සුමුදු සමග අලුත් ජීවිතය පටන් ගෙන දැන් මාස එකාහාමාරක් පමන ගෙවී ගොස් ඇත. ජීවිතය එකම ආකාරයට ගෙවී යයි. මම මෙන්ම සුමුදුත් රැකියාවක් නොකරපු නිසා තරුන අපි දෙන්නට දැන් නම් ගෙදර වැඩපල කරගෙන, ගෙදරටම වෙලා ඉන්න එක එපාවී ගෙන එන ගානය.

"අපි දෙන්නම මොනව හරි රස්සාවක් හොයා ගමු. නැත්නම් මෙහෙම ගෙදරටම වෙලා ඉන්න ගිහාම අපට එපා වෙයි."....

"මාත් ඔයාට කියන්න හිටියේ….අපි බලමු….රස්සාවක් හොයාගන්න පුලුවන් ද කියලා …

සුමුදු නිතර කම්පියුටරයෙන් අපි දෙන්නට කරන්න රැකියා හොයයි. ඇය දැන් දවසෙම කම්පියුටරයෙ ඉදියි. අපි දෙන්නාට විතරක් උයන්න තියෙන නිසා, එය දින දෙකකට වරක් සුමුදු කරයි. අනිත් හැම මොහොතකම සුමුදු කම්පියුටරය බලමින් එහි වැඩක යෙදෙයි. මම වත්ත පිටියේ ඇවිදමින් එලවලු වගා කරමින් ගෙවල් දොරවල් අස්පස් කරමින් ඉන්නෙමි.

"විසල්, විසල්…. ඔයා කොහේද…හරි වැඩේනේ……සුමුදු ගේයින් එලියට විත් මා සොයයි .

ඇයි මම මෙහේ….සුමුදු කලබලේ මා සොයාගෙන මගේ ලගටම දුවගෙන එයි

" ඇයි කලබලේ…..

" " හරි වැඩේනේ…..එන්නකෝ ගෙට…...දැන් මට කසුන් කතා කලානේ….

"කසුන්…..කවුද …ඒ…..?

"මගේ හස්බන්ඩ් ….

'ඉතින්……...මොනවාද කිව්වෙ ?


"මම යවපු ඩිවෝස් පේපර්ස් එයාට හම්බවෙලා …. ඒකට උත්තර එවලා නැත්තේ එයා එන සුමානෙ නිව්සීලන්ඩ් එනවලු…..මට එයර්පෝට් එන්නඩලු එයාව එක්ක යන්න …ඒ මදිවට මාර දේවල්නේ කිව්වෙ ….

ඇයි මොනවාද කිව්වෙ …?

"එයා ඉංග්ලන්ඩ් අත ඇරලා මෙහේ පදිංචියට එනවලු… මගින් මගට මගෙන් සමාව ගත්තා ..ඔක්කොම පරන දේවල් අමතක කරලා අපි ආයෙත් එකට ඉදිමුලු….එයා ආයෙත් කවදාවත් ඉංග්ලන්ඩ් යන්නෙ නැතුලු….මෙහෙන් ජොබ් එකක් හොයාගෙන මාත් එක්ක නවතිනවලු.....

"ඉතිං ඔයා මොනවාද කිව්වෙ …..මාත් එක්ක ඔයා ඉන්නේ කියලා කිව්වෙ නැද්ද ?.....

"මම කෙලින්ම කිව්වෙ නෑ….මම ලගදි මැරි කරන්න හදන්නේ මට පුලුවන් ඉක්මනට ඩිවොස් එක දෙන්න කියලා මම කිව්වා …..ඒ උනාට කිසි ගානක් නැතුව එයා කිව්වා එන සෙනසුරාදා එයා එනවා ….එයාව එක්ක යන්න එයර්පෝට් එන්න කියලා ...මම එන්න බෑ කිව්වා …..එතකොට එයා කිව්වනේ…..කමක් නෑ එයා කැබ් එකක් ඇරගෙන එන්නම් කියලා …..මම ඇරපු ඩිවෝස් පෙපර් එකේ ඇඩ්ඩ්‍රස් එක තියෙනවනේ...එයා ඒ ඇඩ්ඩ්‍රස් එක හොයාගෙන එන්නම් කිව්වානේ …..දැන් අපි මොකද කරන්නේ විසල්…….මට බයේ බෑ……

සුමුදු මගේ අතින් අල්ලාගෙන මාව අඩගහගෙන ගෙට ගියාය.

"මට තේරෙන්නෙත් නෑ මොකද කරන්න ඕනේ කියලා …." මම ගැන ඔයා එයාට කිව්වෙ නැද්ද ?. කියන්න එපෑ......

" ඔයා ගැන වෙනම කිව්වෙ නෑ...මට බදින්න කෙනෙක් ඉන්නවා ..ඒ නිසා මට ඩිවෝස් එක ඉක්මනට ඕනේ කියලා මම කිව්වා ...ගානකටවත් ගත්තේ නෑ...එයා මෙහේ ජොබ්ස්වලට ඇප්ලයි කරලා තියෙන්නේ ….පරන දේවල් අමතක කරලා, අපි ළමයෙකුත් හදාගෙන හොදට ඉමු කිව්වා …..අනේ මන්දා මට තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා …..

" දැන් එයා මෙහේ ආවොත් "?

"ඒක තමයි මට තියෙන ප්‍රශ්නයත්…."

"ඔයා මාව ඔයා ලගට ගන්න හැමදෙයක්ම පෑලෑන් කලා වගේ මේකටත් විසදුමක් ඔයාම හොයා ගන්න මට තේරෙන්නේ නෑ ඕවා….." මම කේන්ති ගිය ලෙස කියා ඇය මග හැර වත්ත පැත්තට ගියෙමි .

" මේ…. ඒ පාර මොකක්ද මේ වෙන්න යන්නේ….. වැඩිදුර කල්පනා කරන්නෙ නැතුව කසාඳ බැදපු ගෑනියෙක් එක්ක ඇවිත් මම කරගත්ත මෝඩ කමක්….මෙච්චර දවසක් මිනිහෙක් නෑ කියපු සුමුදු ඒ පාර මෙච්ච්ර දුර ආවට පස්සෙ මොනවද දැන් මේ කියන්නේ…..මට හිතා ගන්න බෑ ...මම මොනවද කරන්න ඕනේ කියලා …


" විසල් " ඔයා කොහෙද ?

සුමුදු මාව සොයාගෙන නැවත වත්තට එයි. මම ඇය නොදැක්කා සේ වත්තේ කොනක තිබූ බංකුවේ වාඩිවෙලා හවසට වත්තට එන කූරුල්ලෝ දෙස බලා උන්නෙමි .

"ඔයා මාත් එක්ක තරහ වෙලාද?.....මටත් හිතා ගන්න බැරිවුනා එයා මට call කලාම….අපි මොනවා හරි දැන් පෑලෑන් කරලා කරන්න ඕනි විසල්..….. එයාව මග ඇරලා ගියොත් අපට ඩිවොස් එක ගන්න තව පරක්කු වෙනවා….. එයාට ඔයාව අදුනලා දෙන එක තමයි කරන්න තියෙන හොදම දේ…..මම එයාට හෙට කතා කරලා ඔයා ගැන කියන්නම්……..මෙහේ එන්න එපා කියන්නම්…...ඔයා මාත් එක්ක ඉන්නේ කියලා ….."

මම මුකුත් නොකියා...හවසට කැදලි කරා යන්නට පෙර, දිය භාජනයට බැස නාන කුරුල්ලන් දෙස බලා වුන්නෙමි . මේ කුරුල්ලන්ට මම උදයට බත් හෝ පාන් කන්නට දෙමි. උන් දවස පුරාම එහේ මෙහේ පියාබමින් බත් ඇට අහුල කමින් කොයිතරම් නම් සැහැල්ලුවෙන් ජීවත් වේයැයි මම කල්පනා කලේමි. උන්ට තියෙන සැහැල්ලුව කෝ මේ මිනිස්සුන්ට . කොයිතරම් දුර නිවන සොයා ගිය කෙනෙක් ද මම ...මේ දැන් මට මොනවාද වේගෙන එන්නේ….තව සුමානයකින් සුමුදු ගේ සැමියා මෙරටට විත් මේ ගෙදරට ආවිට අපි කොහොමද මේ ගෙදර එකට වසන්නේ…..මට හිතා ගැනීමට බැරි අවුරුදු ගානක පැවිදි ජීවිතයක් ගත කලකල මම, සංසාර ගමන කෙටිකර ගැනීමට, සසුනේ හොදින් මහනදම් පිරූ මම, කසාද බැදපු ගෑනියක් සමග විත් කරගත් මෝඩ වැඩය ගැන සිති මට මං ගැනම ඇතිවුනේ දුකකි.

" ඔයා දුක් වෙන්න එපා ...මම හෙට කසුන්ට ඔයා ගැන කියන්නම් ...

"අපි යමු ගේ ඇතුලට…..අපි කල්පනා කරලා බලලා මොනව හරි කරමු……

".අපි අද රෑට මොනවද කන්නේ… විසල්…..? ඔයාට මොනවද ඕනේ….? කතා කරන්නකෝ…..තරහ වෙලා වගේ ඉන්නේ …..

" ඔය මොනව උනත් කමක් නෑ මට ...ඔයා කන දෙයක් දෙන්න .."

උදේට නැගිටලා උදේ වැඩ කොටස ඉවර කරලා බුදුන් වැදලා උදේට කනවා….දවල් වෙනකම් කම්මැලි කමට වත්තේ පිටියේ වැඩ කරලා දවල්ට කනවා….. හවස් වරුවෙත් ඔය ගෙදර , වත්තේ වැඩක් කරලා, හවසට බුදුන් වැදලා රෑට කනවා...නිදියගන්නවා….රෑට තේරුමක් නැති සුමුදු කැමති ෆිල්ම්ස් බලනවා…..එලිවෙන්න කිට්ටුව නිදාගන්නවා….පරක්කු වෙලා නැගිටිනවා…..මට දැන් දැන් මේ ජීවිතේ ඇති වේගෙන එන්නේ…..

කරන්න රස්සාවක් තියෙනවානම්….. එහෙම නැත්නම් අශ්‍රය කරන්න කවුරු හරිවත් ඉන්නවා නම් මේ පාලු ගතිය නැති වෙන්න තිබුනා…..සුමුදු නම් කැමතියි මම එලියට ගිහින් මිනිස්සු අදුනගෙන කතා කරනවට. මම ඒකටවත් කැමති නෑනේ මිනිස්සු මාව අදුනගනියි කියන ලැජ්ජාවට ….. මම හැමදාම මේ විදිහට ඉන්නවද…….නැත්නම් සුමුදු අත් හැර යනවද කියලා කල්පනා කරන්න පටන් ගත්තෙමි .

"විසල් එන්න කන්න.." මම රොටි හැදුවා මේ හොදියි පොල්සම්බෝල එක්කයි රෑට කමු…." එන්න …..

"සුමුදු දැන් තව සුමානෙකටත් අඩු කාලයක් නේ තියෙන්නේ කසුන්ට එන්න ...මට කොහොමත් එයා ඉන්න කොට මේ ගෙදර ඉන්න බෑනේ...මම හිතුවා ඒ කාලයේ කොරියාවේ පන්සලේ ලොකු හාමුදුරුවෝ බලලා ආවනම් හොදයි කියලා . මම ටිකට් එකක් බුක් කරගෙන කොරියා ගිහින් එන්නම්...ඔයා කසුන් එක්ක කතා කරගන්න දෙයක් කතා කරලා ඉවර උනාට පස්සෙ මම එන්නම්….

"එහෙනම් මම මෙහෙම කරන්නද… මම ශනිකා නංගිට මෙහේ එන්න කියන්නම් එන සුමානේ...නිවාඩුවකට නවතින්න එක්කත් …..එතකොට කසුන් ආවට පස්සෙ විස්තර කියලා ඩිවෝස් එක පිලිවෙලක් කර ගත්තට පස්සෙ මම කසුන් මෙහෙන් අරින්නම්….එතකොට ඔයා මෙහේ එන්න."

"එහෙනම් ඔයා මට කොරියාවට ටිකට එකක් බුක් කරන්න හෙට, තව දවස් පහයිනේ තියෙන්නේ …."

එහෙනම් ඔයා කොරියාවේ පන්සලට කියන්න ඕනේ නේද ඔයා නිවාඩුවකට එනව කියලා…..

නෑ ඕන නෑ….මට දැන් ඒ රට පුරුදුයිනේ..තනියම යන්න එන්න..

සුමුදු වෙනදට වඩා ගෙවල් දොරවල් පිලිවෙලට අස්පස් කරයි. දොර ජනෙල් රෙදි අලුත් කරයි. වත්ත පිටියේ මල් ගස් වලට වෙනදාට වඩා සාත්තු කරයි. හරි උනන්දුවෙන් ඇය කසුන් එන ගමනට ලෑස්ති වෙයි.ඇය මේ කසුන් දකින්නේ අවුරුදු තුනකට පස්සේ ලු. කසුන් නවසීලන්තයේ නවතින්න එන එකනම් මගේ හොදට හිටින්නේ නැති බව මට වැටහේ. එන දෙයක් එන විදිහට වෙන්න කියලා මම මගේ වැඩක් බලා ගන්නවායැයි මම හිත හදාගත්තෙමි. ඔව්…. සුමේද මහත්තයා වගේ මටත් කොරියාවේ හොද රස්සාවක් කරන්න පුලුවන්. මට දැන් හොදින්ම කොරියානු භාශාව, කතා කිරිමට පුලුවන් එක ලොකු දෙයක්.

"ඔයා කොච්චර දවසකටද කොරියාවට යන්නේ?...... වැඩි දවසක් ඉන්න එපා..... ඔයා ඉක්මනටම එන්න. මම පුලුවන් ඉක්මනට කසුන්ව ආපසු යවනවා …."

කසුන් එන දවසට ඉස්සෙල්ලා දවසේ මාව නවසීලන්තයේ ගුවන් තොටුපොළට බස්සන්ඩ ආවේ සුමුදුමය . එදිනම හවස සුමුදුගේ ශනිකා නංගි සුමුදු ගේ තනියට අපේ එන්නට නියමිතයි.

"ශනිකා ආවහම ඔයාට අද පාලුනැති වෙයි..…"

"මට නම් තනියම ඉදලත් පුරුදුයි…..කසුන් එන නිසයි මම එයාව ගෙන්න ගන්න හිතුවේ……."

"මම එහෙනම් යනවා සුමුදු …..ඔයා පරිස්සමෙන් ඉන්න…ඔයා ඔය වැඩ පිලිවෙලක් කර ගත්තට පස්සේ මට call කරලා කියන්න ."......

.මම ගුවන් තොටුපොළේදි සුමුදු ගෙ හිස සිබ ඇයගෙන් වෙන් වී ගියෙමි.

හරියටම මාස දෙකාමාරකට උඩදි මේ ගුවන් තොටුපොළේම වීවේකාගාරයේදි ඇදුම් මාරු කරගෙන ගුවන් තොටුපොළේ දොරකඩින් සුමුදුගේ වාහනයට නැග ගිහිජීවිතය සොයා ගිය මම ….වැඩි කාලයක් නොගොසින්ම ඇගෙන් වෙන්වී මගේ අවුරුදු දහයක් ගත කල පරන පුරුදු කොරියාව බලා යන්නෙමි. ගුවන් තොටුපොළේ ඇති විශාල කන්නාඩියක් ලගින් යන කොට මම විනාඩියක් නැවතී ඒ දෙස බැලුවෙමි.

මට හිතාගන්න බැරි තරමට මම කඩවසම් තරුනයෙක් ගානයි. මාස දෙකහමාරක් නොකැපු කොන්ඩය බොකුටු ගැසි හොදට වැවී ඇත. නිල් පාට ඩෙනිම් කලිසමට ඇද සිටි සුදු ටී ශර්ට් එක හොදින් ම මට ගැලපේ…...මම මේ ගුවන්තොටුපළට මාස දෙකහමාරකට උඩදී පැමිනෙද්දි ඇද සිටිය අලුපාට ලෝගුව….යාන්තම් කෙස්කොට ඇදි තිබු තට්ටය…..ඈලි මෑලි ගතිය…..අද මම කොච්චර වෙනස් වෙලාද? මාස දෙකහමාරට මගේ ඇතිවී තිබෙන වෙනස ගැන මටම පුදුමය.

කොරියාව බලා යන ගුවන් යානයට නැගුනු පසු මම හිටියේ අන්දමන්දවයි. මගේ ආසනයට එහා පැත්තේ හිටියේ සුමුදු ගෙ වයසම වගේ ගැනු කෙනක්‍ය. ඇය මා සමග හොදින් සිනා සී කතා කලාය.

"Mr.කොහාටද යන්නේ…."

"මම කොරියාවට "

එහේ යන්නේ වැඩටද? …. නැත්නම් පදිංචියද ? නැත්නම් බිස්නස් වැඩකටද?

නෑ….යාලුවො වගයක් හම්බවෙන්න……"

" කොහේද ගිහින් ඉන්නේ….? ගිහාම කොහේ කොහේද යන්න හිතාගෙන ඉන්නේ …? මමත් කොරියාවේ වැඩ කරන්නේ...අපිට එහෙදි හම්බවෙන්න පුලුවන් .......

ඇගේ තොරතෝංචියක් නැති ප්‍රශ්න වැලෙන් මිදෙන්න මම දෑස් පියාගත්තෙමි. එවිට යාන්තම් මහේ කනට සැහැල්ලූවක් දැනින. ගෑනු ආශ්‍රය පුරුදු නැති මට, හැම ගැහැනියක්ම මෙහෙමදැයි සිතේ.....දැනුම් තේරුම් නැති කාලයේ මහණ වුන මට ...ලෝකේ වටේ ගොස් අන්තිමේ ගැහැනු කෙනෙකු ලග නතර වී....සංසාරේ කලකිර ගත්තා දැයි සිතේ...

මම දැන් කොරියාවට ගිහින් මොකද කරන්නේ…...මට දැන් කොරියානු භාශාව හොදින් කතා කරන්න පුලුවන් නිසා හොද රැකියාවක් කල හැක. සුබෝද මහත්තයා වගේ මටත් සුමුදු මෙහෙට ගෙන්නගෙන හොද පවුල් දිවියක් ගත කරන්න පුලුවන්...... සුමුදු ඩිවෝස් එක ගත්තට පස්සෙ එයාට ඒක කියන්න ඕනේ. මෙහේ එන්න කියලා.... . සුබෝද මහත්තයා වගේ අපටත් හොද පවුල් ජීවිතයක් කොරියාවේ ගත කරන්න පුලුවන් . කොරියාවේදි නම් මට හොද රස්සාවක් හොයා ගන්නත් පුලුවන්...... කොරියානු භාශාව පුලුවන් නිසා. ඔව්.... නවසීලන්තය වගේ නෙමේ මටයි සුමුදු ටයි කොරියාවට ආවොත් හොද ජීවිතයක් බයක් සැකක් නැතුව ගත කල හැකිය.. මගේ හිත එක එක දේවල් කියයි. එක එක දේවල් වලින් මගේ හිත අවුල්වී ඇත. ගුවන් යානයේ එනකම් මම කල්පනා කල දේවල් බොහෝය.

කොරියාවට නවසීලන්තයේ සිට එන්න පැය ගානක් ගියත් ඒ පැය ගාන ගෙවුනේ කෙසේදැයි මටවත් සිතා ගැනීමට නොහැක.

කොරියානු ගුවන් තොටුපලෙන් මම කැබ් රතයකට නැග ගත්තෙමි. මම කාලයක් වැඩ සිටි පන්සල කිට්ටුවේ තුබුනු ගෙස්ට් හවුස් එකකට මාව ගෙන යන්නට රියදුරුට කීවෙමි. වාහනය එක දිගටම ඇදී යයි.

අවුරුදු දොලහකට පෙර මම කොරියාවට ආවේ ශ්‍රි ලංකාවේ ස්වාමීන් වහන්සේ නමක් ලෙස තැබිලි පාට සිවුරක් ඇදගෙනය. ඉන් පසු අවුරුදු දහයක් මම අලු පාට කොරියානු සිවුරෙන් කොරියාවේ වැඩ විසුවෙමි..…… නවසිලන්තයට ගියෙත් එම සිවුරෙන්මයි...මීට මාස දෙකාහමාරකට උඩදි වෙනකම් කොරියානු සිවුරෙන් හොද ස්වාමීන් වහන්සේ නමක් ලෙස වැඩ විසුවෙමි. මාස දෙකාහමාරකට උඩදි මම මේ ඇදගත් කලිසම් ශාර්ට් එක ඇගට කොච්චර පහසුද ? …… ඒ උනාට හිතට කොයිතරම් නම බරක්ද ?.....සුමුදු සමහ ගිහි ජිවිතේ ආරංභ කරන්න පෙරුම් පුරපු මම ….මාස දෙකාහමාරට ඒ ජීවිතේ එපා වේගෙන ආවේ ඇයි….සුමුදු මගෙන් බලාපොරොත්තු උන ජීවිතය මට ඇයට දීමට නොහැකි උනේ ඇයි…..ඇයි නිතරම ඇය මගේ අඩුපාඩු කිව්වෙ ….ඇය මා සමග නිතර කේන්තියෙන් සිටියේ ඇයි…. ඇයි මම සුමුදු සමග නවසීලන්තයේ පදිංචියට ගිය දිනයෙ සිට කනස්සල්ලෙන් කම්මැලි කමෙන් ගත කලේ….ඇය සමග ගෙවුනු මාස දෙකාහමාරට මගේ හිතට සැරෙන් සැරේට දැනුනු බර ඇයි.....ඊයේ හවස ඇය මාව ගුවන් තොටුපොලින් බස්සා ගියාට පසු මගේ හිතට සැහැල්ලූවක් දැනුනේ......මම ඇය සමග සතුටෙන් නෙමේද මේ ගෙවුනු මාස දෙකාහමාර ජීවත් උනේ….. මාස දෙකහමාරක් ඇය සමග එකටම කාලය ගත කල මා ….ඇය මා ගුවන් තොටුපොළේන් බස්සා ගිය පසු ..මාස දෙකහමාරකට පසු මගේ හිතට ඇයි දැන් සතුටක් සැහැල්ලූවක් දැනෙන්නේ...ඇය මගෙන් ඈත් වූ කල මට ඇයි මෙතරම් පුදුමාකාර නිදහසක් හිතට දනෙන්නේ ….මම ඇය සමග ගෙවා දැමු මාස දෙකාහමාර මම හිතට එකගව ජීවත් වී නැති බව ටික ටික මට පසක් වෙන්න පටන්ගෙන ඇත. මට එය වැඩි කාලයක් නොගොසින්ම මෙතරම් ඉක්මනට වැටහුණ එක ගැන දැන් නම් ඇත්තේ සතුටකි..….ගිය ආත්මයකම හමු වීමට බැරිව මග ඇරි සිටි කෙනෙක් ලෙස සුමුදු මගේ ජීවිතයට පැමින මුනගැසී ගිය ගානය....... ලෝකයේ කොයි ලෙස ජීවත් උනත් ගිය ආත්ම වල කරපු පව් ,අපි ටික ටික හෝ මේ ආත්මයේ ගෙවා ඉවර කර දමා යා යුතුය . නැත්නම් මේ සංසාර ගමනේ කොහේදී හෝ මග ඇරුන කෙනා හොද ලෙස ජිවත් උනත් වැරදි ලෙස ජිවත් උනත්, සතෙක් සිව්පාවෙක් ලෙස හෝ අපේ ජීවිතයට විත, අප සමග හිද ඒ මග හැරුනු කාලය ගෙවා දමා යෑමට නම් පැමිනෙන බව මම සුමුදු ගේ හමුවීමත් සමග සංසාර ගමනේ ඉගෙන ගත් තවත් දෙයක් වෙයි.


මම යා යුතු ගෙස්ට් හවුසයට වාහනය විත් නවතා තිබේ….. මම මගේ ඇදුම් බෑගයද රැගෙන ගෙස්ට් හවුස් එක තුලට ගියෙමි. මගෙ කාමරයේ යතුර ලැබුනු පසු එහි මගේ කාමරයේ දොර වසා මම ඇදන් හිටි කලිසම කමිසය පිටින්ම ඇදේ වැතුරෙනෙමි.

කලිසම කමිසය කොයිතරම් නම් ලේසි පහසු ඇදුමක්ද?... මගේ ඇගට එය හොදින්ම ගැලපේ…මම හොද කඩවසම් තරුනයෙක් ලෙස මෙම ඇදුමට පෙනේ….තරුණ ගැහැනුන් දෙපාරක් හැරි මා දෙස බලන තරමට මම කඩවසම් බව දැනී මට සතුටු සිතී සිනා නැගිනි. මම දැන් මොනවාද කරන්නේ...හිතට සුමුදු මතක් වෙද්දී ලොකු බරක් දැනුනත්.....නමුත් දැන් ඇය මාගව නැති එක නම් පුදුමාකාර සැහැල්ලූවක් දනෙන දෙයක් බවට පත් වී ඇත.

ඇදේ ගිමන් හැරපු මම ඇදෙන් නැගිට නාන කාමරයට ගොස සියලු ඇදුම් උනා දමා කන්නාඩිය ලගට ගොස් ටික වේලාවක් මා දෙසම බලා සිටියෙමි. ඉන් පසු ලස්සනට කැරලි ගැසීවැවී තිබුන කෙස් රොද එකින් එක ගෙන හිමිහිට කපන්න පටන් ගත්තෙමි . කොරියාවට එනවිට ගෙදරින් ගෙනා කතුරෙන් එය කපා දැම්මෙමි. ඉන් පසු රේසරෙයෙන් මුලු ඔලුවම පරන පුරුදු ලෙස, අවුරුදු විසිහයක් පුරාවට කල ලෙස බූගා දැම්මෙමි. ඉන්පසු බොහෝ වේලාවක් වතුර මල යට හිතේ හැටියට හිතේ දුක නිවෙනකම් නාගත්තෙමි.

හොදට නාගෙන කාමටයට ගොස ඇදුම් බෑගය ඇර එහි අඩියේ කාටවත් නොපෙනෙන්න හංගා තිබු කොරියානු සිවුර ඇරගෙන දිගහැර ඒ දෙස ටික වේලාවක් බලා සිට එකින් එක ඇදුම් ඇදගතිමි. එය ඇදගත් පසු අවුරුදු දොලහකට කිට්ටු කාලයක් ඇදගෙන හිටි අලුපාට කොරියානු සිවුර…..හිතේ සැහැල්ලුවෙන් හිටි කාලය සිහියට විත් හිතට දැනුනේ පුදුමාකාර සතුටකි. කාමරයේ කන්නාඩිය ලගට ගිය විට එහි සිටගෙන සිටියේ අවුරුදු ගනනාවක් ඉතා අහිංසක සැහැල්ලුවෙන් සිටි විපස්සී නැතහොත් යේචිං හාමුදුරුවන්‍මය. නැවත් මාස දෙකහමාරකට පසු කොරියානු සිවුර පොරවාගත් පසු හිතට දැනෙන්න ගත් සැහැල්ලූව මගේ මුලු ගත හිත දෙකම සතුටින් පිරි ඉතිරි යන්නට පටන් ගෙන ඇත. අවුරුදු ගනනාවක් එතෙරින් එතරට සංචාරය කල මම අද වෙනකොට සංසර ගමන ගැන කලකිරී ඇත. මේ ආත්මයේදි ...ගිය ආත්ම වල කරපු පව් පවා ගෙවා ඉවර කරගත යුතු යන්න මට දැන් වැටහී ගොස් ඇත. සංසාර ගමන කෙටි කර ගෙන නිවන් දකින සිහිනය තුල මා ගමන් කල යුතු බව සිතට දැනී ඇත.


නවසීලන්තයේ සිට ඇදගෙන ආ ඩෙනිම් කලිසම හා ට් ශර්ටය කාමරයේ කුනුබක්කියට විසිකර දෑමු මම මගේ හිස්වුනු ඇදුම් බෑගයද රැගෙන කාමරයෙන් එලියට විත් නැවත කුලීරතයකට ගොඩවුනෙමි.


කුලූ රතය එක දිගට ගමන් කරයි….මම නවසීලන්තයේ සිට මෙරටට එන්න ප්‍රතම ,සුමුදු ට ලියා තබා ආ ලියුම….. ඇගේ කන්නාඩි මේස ලාච්චුවේ දමා ආ ලියුම සිහිවිය.....


හිතාදර සුමුදු.

මේ ලියුම ඔයාට ලැබෙන කොට මම කොරියානු පන්සලේ කොරියානු ස්වාමීන් වහන්සේ නමක් ලෙස, නැවත ජීවිතේ ඉදිරි ගමන නොහොත් නැවත සංසාර ගමන් මග කෙටි කරගන්නට යන මාර්ගයට ගොස් ඇතැයි සිතමි .. මම කැමති මාර්ගය මෙයයි. මගේ සංසාර ගමන කෙටිකර හැනීමට මට උදව් කල කසුන්ට මම බොහෝ ස්තූති වන්ත වෙමි. ඔහු ඔබ භාර ගැනීමට පැමිනීම නිසා මට මගේ නිවන් මාරගය සොයා යන්නට මග පෑදුනේය. මගේ ගිය ආත්මයක කල පිනක් පලදී කසුන් අප අතරට පැමිනෙන්න ඇතැයි මම සිතමි. ඔහුටත් ඒ පින අත් වේවායැයි මම ප්‍රර්තනා කරමි .

අවුරුදු ගනනාවකට පසු ආදරයෙන් ,කසුන් ඔබ පිලිගැනිමට නවසීලන්තයට පැමිනෙන්නේ, ඔබලාගේ විවාහ ජීවිතය නැවත සතුටින් ආරංභ කර ගැනීමටය. මම ඒ ගමනට බාධා කිරීමට කොහෙත්ම කැමති නැත. මම මගේ ගමන යන අතර, ඔබ දෙදෙනා ඔබ දෙදෙනාගේ ගමන සහයෝගයෙන් සතුටින් පරන වැරදි අමතක කර දමා යනු ඇතැයි සිතමි. ඔයාගෙ විවාහ ජීවිතය කසුන් සමග සතුටින් ගෙවන්නට ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි. ඔබ දෙපලට සුභ විවාහ ජීවිතයක් වේවා !!

මෙයට විශ්වාසි

යේචිං ස්වාමීන් වහන්ස.


අවට පරිසරය අදුරු කරගෙන මීදුම වැටි ඇත . ඈත කන්දේ කොරියානු පන්සලේ ලයිට් එලි ඈතට පෙනේ…. .. පන්සල ලග වාහන අංගනයට වාහනය පැමින ඇත .මගේ ජිවිතේ වැඩි කාලයක් කොරියානු ස්වාමීන් වහන්සේ නමක් ලෙස ගතකල කොරියානු පන්සලේ කන්ද පාමුල වාහනය නතර කර ඇත. අලුපාට කොරියානු සිවුරෙන් සැරසුන මම හිතේ සැහැල්ලුවෙන් හුස්මක් පිටකර කන්ද උඩ ඇති පන්සල් දෙස බැලුවෙමු. හෙමිහිට වාහනයෙන් බැස ගත් මම හෙමිහිට අඩි තබමින් කලු ගල් ඇතිරු මාවතේ..…..පාර දෙපැත්තේ එලවලු වගාකර තිබු එලවලු වතු අතරෙන් වැටි තිබු කලු ගල් පඩි පෙල නැග්ගෙමි . පඩිපෙල නැග ගොස ඉහළ සිට පහල බැලු කල අන්දකාරයේ හීන් සදරැසින් මා නැග ආ පඩිපෙල පෙනින. පඩිපෙළ පාමුල චායාවක් මෙන් සුමුදු අතවනා සමුදෙන ආකාරයක් පෙනි පෙනි නොපෙනි ගියේය......හිතට දැනුනු සතුට සැහැල්ලුවෙන් මම තදින් හුස්මක් ගෙන පිටකර හැර කොරියානු පන්සලේ සීනුව දෙස බැලුවෙමි.

-- අවසානයි--


"එතෙරින් එතරට" නවකතාව කියවු ඔබ සියලු දෙනාට බොහොම ස්තූතියි . මෙම නවකතාව කියවු ඔබ සියලු දෙනාගෙම පුංච් අදහසක් දැනගැනීමට බොහොම කැමැත්තෙන් පසුවෙමි. ස්තූතියි !!

* ප්‍රිසිලා ගොඩහේවා *


ලගදිම මගේ අලුත්ම නවකතාව වන "අමුතු දීගේ" නවකතාවෙන් ඔබ හමුවීමට බලාපොරොත්තු වෙමි . ඔබ සියලු දෙනාට සුභ අනාගතයක් වේවා...!!

5 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page