top of page
  • Writer's picturePrisila Godahewa

*එතෙරින් එතරට *

Updated: May 20, 2020

(23 වෙනි කොටස )


මට නවාතැන් ගන්නට දුන් එම තැන බණ ශාලාව යැයි සිතිය හැකිය. එතන හරි මැදට වන්නට, ආසනයක් උඩ විශාල රත්තරං පාට බුදුපිලිමයක් තබා ඒ දෙපස එක පේලියට බොහෝම පුංච් රත්තරං පාට බුදු පිලිම 1000 ක් පමන එකදිගටම තට්ටු අකාරයට පෙළ ගස්වා සකසා තිබුනි. එම පිලිම ඉදිරිපස දොඩම් , කොමඩු හා කෙසෙල් ගෙඩි විශාල බන්දේසියක තබා පුජාකර තිබුනි. සුවද නැති හදුන්කූරුද පසෙකින් පත්තුවේ. ශාලාව තුල ඇත්තේ බොහෝ සිහින් එලියකි. එහි ඇත්තේ ඉතා ගුප්ත අදුරකි.

හිටි තැනින් නැගිට සිටි මම,එම බුදුගෙය යැයි සිතිය හැකි තැන පැත්තක තිබු, බිම එලන හීන් කොට්ටයක්, බුදු පිලිමය ඉදිරිපිට එලා ඒ උඩින් දණ ඔබා වාඩි උනේ තායිලන්තයේ බුදුන් වදින ක්‍රමයටය.

බණ ශාලාවේ තිබූ බුද්ධ ප්‍රතිමා ඉදිරිපිට දණගසා ගත් මම දොහොත් මුදුන් දීගෙන සියලු ගාථා පිරිත් කියමින් හොඳින් වැඳපුදා ගත්තෙමි. ලංකාවේද, තායිලන්තයේද, ඇමෙරිකාවේද, කොරියාවෙද කියා වෙනසක් නැතිව මාගේ සම්මා සම්බුදු වහන්සේ ඉතා ශාන්තව බුදු ගෙයි වැඩහිඳියි. වෙනසකට ඇත්තේ බුදු පිළිමයේ පෙනුම පමණි. කොරියාවේ වැඩවෙසෙන්නෙ කොරියාවේ මිනිසුන්ගේ පෙනුමට සමාන බුදුපිළිම වහන්සේ නමක් මෙම පන්සලේ ඇත. බුදුරුවේ පෙනුම කෙසේවත් බුදුන් වැදපුදා ගැනීමට අදාළ නොවේ. බොහෝ කරුණාවෙන් ලෝ වැසියන්ට ධර්මය දේශනා කල මාගේ තිලෝගුරු බුදුපියානන් වහසේගේ ඉදිරි පිට බොහෝ භක්තියෙන් මම වැද වැටි බුදුන් වැන්දෙමි.

‘‘අනේ බුදුහාමුදුරුවනේ මට කමාකර මා මේ ඇවිත් තෙබෙන ගමනේ නිවැරදි බව මට පෙන්වා දෙන්න. මට ඔබ වහන්සේගේ කරුණාව මේ මා වැටි සිටින අමාරු අවස්ථාවේ ලබාදෙන සේක්වා…..මම මේ වැටී සිටින කරදරයෙන් මා බේරා දෙන්න බුදු හාමුදුරුවනේ ….‘‘

පැවදි දිවිය ආරංභ කරාට පසු, මෙපමණ කාලයකට මා මෙතරම් අසරණ වූ අවස්ථාවක් නැති තරම් යැයි මට සිතේ. ජිවිතේ කාට කාටත් එක එක කාලවලට එක එක විදිහේ කරදර වලට මුහුන දෙන්නට සිදුවෙයි. මම නම් මේ කරදරයට වැටුනේ මගේම උවමනාවෙන්ම බව මම දනිමි. ජිවිතේ එන විදිහකට මුහුන දෙනවා යැයි සිතට ගෙන, හිතේ හැටියට හොදින් බුදුන් වැඳපුදා ගත් පසු මගේ හිතට යම් කිසි සැහැල්ලූවක් දැනින.

යළිත් ගොස් බිම එළා ගත් මෙට්ටයේ වැතිර ගත්තේ පැය 20ක විතර ගුවන් ගමනින් පසු තිබූ ගමන් මහන්සියත්, බඩගින්නත් හා නිදිමතත් සමගය. බෑගයේ තිබූ බිස්කට් පැකැට්ටුවක් එළියට ගත් මා ඉන් දෙකක් වැළඳුවේ මෙතැනින් බේරී යන තෙක් ඇඟට ශක්තිය තබා ගත යුතු නිසාවෙනි.

"ආ.........

මට කවුද කතා කරන සද්දයකට මම මෙට්ටයේ කෙළින් වී ඉඳ ගත්තෙමි. මා ඉදිරි පිට සිටගෙන සිටියේ මාව මෙතැනට එක්ක ආ තරුණ කොරියන් ස්වාමීන් වහන්සේය. අත හෝදන කෝප්පයක් වැනි විශාල කෝප්පයක් උන්වහන්සේ මා වෙත දිගු කළහ. මම එය නැගිට දෝතින්ම අතට ගත් පසු උන්වහන්සේ යන්න ගියේය.

"තැන්ක්‍යු.." මම පසු පස හැරි යන උන්වහන්සේට කීවේ සතුටිනි.

එහි දුම් දමන විශාල සුප් කෝප්පයක් හා ලී කූරු දෙකක් තිබුණි. උදේ ගුවන්යානාවේදී ලැබුණු හීල් දානෙන් පසු, හොඳටම බඩගිනි වී සිටි බැවින් මම එය දෝතින්ම පිළිගත්තෙමි. එහි තිබුණේ උණු උණු ලුනු රසැති නුඩ්ල්ස් මිශ්‍ර ගෝවා හා රාබු සූපයකි. සුවදෙන් මම එය වටහා ගත්තෙමි. එය සීතලේ ගැහෙමින් බාගෙට හාමතේ සිටි මම උනු උනුවේම බිව්වෙ රස ගුණ හොද නරක කිසිත් නොබලමිනි.

සුප් එක බී අහවර වු පසු සුප් කෝප්පය සෝදා තැබීමට මම දිග කොරිඩෝව දිගේ ඇවිද ගියේමි. කොරිඩෝවේ කොනක තිබු විශාල මුලු තැන් ගෙයක් වැනි කාමරයට මම ඇතුල් උනෙමි. එහි විශාල බොයිලේරුවක් වැනි උණු වතුර ඇති භාජනයක් දැකගත හැකි විය. තවම එහි යට දර පත්තු වෙයි. කාමරයේ දර සුවද හා දුමද ඇත. මා දන්ගෙට යනවා දුටු, දානය වළඳමින් සිටි භික්ෂූන් වහන්සේ නමක් දන්ගෙට පැමිණ එහෙට මෙහෙට කර කැවුණේ මා මොනවද කරන්නේ කියා බලන ලෙස ය. මම සුප් කොප්පය හෝදන්නට ආ බව අතින් පෙන්වුවද, උන්වහන්සේ මා සමග කිසිවක් කතා නොකළහ. ගොළුවෙකු ලෙස මම කෝප්පය සෝදා තබා, නැවත බණ ශාලාවට පැමිණ මෙට්ටයේ දිගා වුණේ හෙට දවසේ කුමක් කළ යුතු දැයි කල්පනා කරමිනි.

මං දැන් මොනවා කළ යුතු ද? ...........මට සිතා ගත නොහැකියි. මාව මෙතැන ඉන්න කිසිකෙනෙක් ගණන් ගන්නෙ නැත...... මං කොහොමද මේ වගේ තැනක වැඩ වෙසෙන්නෙ. කෙසේ නමුත් ඔවුන් කිව්වේ අද රෑට මෙහි නැවතී උදේ යන්න කියායි. දැන් මම මොනවද කළ යුත්තේ?....... හෙට උදේට මම කොහේද යන්නේ? මගේ අතේ තියෙන සල්ලි ටික නාස්ති කර ගන්නේ නැතුව මම තව මාස තුනක් මේ රටේ ඉන්න නම් බොහොම අරපිරිමැස්මෙන් මගේ අතේ තියෙන සල්ලි පාවිච්චි කල යුතුයි . නවාතැනක් නැතුව මම කොහොමද තවත් මේ රටේ ඉන්නේ …….භාශාව හරියට දන්නේ නැතුව හරියට නවාතැනක් හොයාගන්න විදිහකුත් නැත. ගනන් හිලව් හරියට දන්නෙ නැතුව හෝටලයක නවතින්න ගිහින් අතේ තියෙන සල්ලි ටික ඉවර කරගන්නත් බැරිය. මොනවද කරන්නෙ කියා කල්පනා කරනවිට, මගේ සිහියට එකපාරටම ආවේ මෙහි පන්සලක වැඩ වෙසෙනවා යැයි කිව් ලංකාවේ භික්ෂූන් වහන්සේ ගැනයි. මම මගේ අත් බෑගය අවුස්සා එහි තිබු උන්නාන්සේගේ දුරකතන අංකය නැවත අතට ගෙන බලා නැවත තිබුන විදිහටම අත් බෑගයේ පරිස්සමට තියා ගත්තෙමි. ඔව් හෙට උදේට මම උන් වහන්සේට දුරකතන ඇමතුමක් දී කතා කලයුතු යැයි හිත හදාගත්තෙමි.


ලංකාවේ අපේ පන්සලක අපේ භික්ෂූන් වහන්සේලා සමඟ අමනාපයෙන් හරි සිටියා නම් මීට වඩා හොඳ යැයි විටෙක සිතෙයි. හෙට එළිය වැටුණු සැණින් මා මෙතැනින් පිටව යා යුතුයි. මා, මාගේ පාස්පෝට් එක හා සල්ලි තියෙන පුංචි ගමන් මල්ල කර හරහා දමාගෙන ම නින්දට ගියේමි, මම එනවිට ගෙනත් තිබූ ඝනකම් පොරවන රෙද්ද පොරවාගෙන දැඩි සීතලේ ගුලි ගැසෙමින් නිදාගත්තේ උදේම නැගිට මෙතනින් පිටවි යාමට හිත හදාගෙනය.

හිතේ සැනසීමක් නැති නිසා මුලු රෑ පුරාම හරියට නින්ද ගියේ නැත. උදේ ඇහැරුන ගමන්ම සිහියට ආවේ මේ පන්සලේ ඉන්නා ස්වාමීන් වහන්සේලායි. මට මෙතැන තවත් ඉන්න බෑ. ගොළුවෝ වගේ කිසිකෙනෙක් කතා කරන්නෙත් නෑ. මූණවල්වල හිනා පොදක් නෑ. පුදුම නපුරු පෙනුමක් තියෙන මිනිස්සු.

‘‘ඔව්, මං මෙතැනින් පිට වී පුලුවන් ඉක්මනින්ම යා යුතුයි.

මං මෙතැනින් පිට වී ගොස් ලංකාවේ හාමුදුරුවන්ට දුරකතන ඇමතුමක් දී මම වැටී ඉන්නා තත්ත්වය ගැන කිව යුතුයි. අපේ ශ්‍රි ලාංකික ස්වාමීන් වහන්සේලාගෙ තියෙන හොද ගති ගුන ගැන දන්නා නිසා මගේ හිතට ලොකු සැනසුමක් ඇතිවී ඇත. උන්වහන්සේ ළඟ මට ටික දවසකට ඉන්න ලැබුණොත්…. භාෂාව ඉගෙන ගන්නකම්වත්….. මම තනිවම සිහින මැව්වෙමු.

උදේ පාන්දර ම නැගිටගත් මම, මෙට්ටය තිබූ තැන ම නැවත තබා මුහුණකට සෝදාගෙන පැමිණ, මාගේ ඇඳුම් බෑගයද රැගෙන ශාලාවෙන් එළියට ආවෙමි. කිසි කෙනෙක් එහි සාලයේ නැත. කෑම කාමරය දෙසින් ආහාර ගන්නා ශබ්දයක් ඇසුණ නිසා මම ඒ දෙසට ගියෙමි. ඒ තුල පසුගිය දින රෑ වගේම කොරියානු ස්වාමීන් වහන්සේලා කෑම ගනිමින් උන්නේය. එහි දොර ලගට ගිය මම මගේ ඇදුම් බෑගය පෙන්වා මම මෙහෙන් යන බව ඔවුන්ට අතින් ගොලු බසින් කීවෙමි . එවිට තරුණ ස්වාමීන් වහන්ස ,එතනින් නැගිට විත් මා සමග කතා බහක් නැතුව පිටු පසින් පැමින පන්සලේ ඉස්සරහ දොරටුව ඇර දුන්නේය. පසුව මම එලියට ගිය පසු "දඩාස්" ගා දොර වසා දැම්මේය.

මාගේ ඇඳුම් බෑගයද රැගෙන මම පන්සලේ දොරටුවෙන් එළියට බැස්සෙමි. උදේ පාන්දර දැඩි සීතලේ මීදුමෙන් වැසී තිබුන පාරේ දිග පඩිපෙළ බසිද්දි අවට මොනවාද තියෙන්නේ කියාවත් පේන්නේ නැති තරමට මිදුම වැටි ඇත . පන්සලේ පඩිපෙළ බැස එහි රත ගාල හරහා අතුරු පාරකින් හනිහනිකට මම ටිකක් විශාල පාරකට ඇවිද ආවෙමි.

මේ ප්‍රදේශය කොරියාවේ ගම්බද ප්‍රදේශයක් බව වැටහේ. අවට ඇති කදුකරය, ඉන් පහල ඇති කුබුරු යාය, ඊටත් ඈතින් පෙනෙන කහ මල් යාය…. අබ මල් යායක් ලෙස පෙනේ. උදේ පාන්දරින් කුබුරු වැඩට යන ගොවියෝ කලිසම් කමිස ඇද කිරි ගොටු හැඩේ තොප්පි දා ඝනකම් ඇදුම් ඇදගෙන , වැඩ ආරංභ කරන්න යන දර්ශනයත් සමග මට අපේ ගමේ ගොවියෝ සිහි විය. මෙරට ගොවිතැන් කරනා අය බොහෝ සිටිනා බව පෙනේ. තවමත් අවට ඇත්තේ දැඩි අඳුරකි. සීතල උහුලාගත නොහැකි තරම් ය. මම ඉක්මනින් ඇවිදගෙන පාර දිගේ ඈතට ම ගියෙමි.

පාරේ ඉස්සරහට අරමුනක් නැතුව ඔහේ ඇවිද යන විට, එම ගමේ සියලු බඩු විකුණන කඩයක් දැක මා ඒ තුළට හනි හනිකට ඇතුල් වුනේ…...එළියේ තිබූ සීතලෙන් ටිකක් මිදෙන්නටය….... එහි දුරකථනයක් තිබෙනු දැක මට සතුටු සිතීනි. එහි කවුන්ටරය ලගට ගොස් එහි සිටි කොරියානු මුදලාලිට, කොරියාවේ වෙසෙන ලංකාවේ හාමුදුරුවන්ගේ දුරකථන නොම්බරය දී මට ඔහුට කතා කරන්න ඕන කියා අතින් කනට කටට අත තියා පෙන්වීය. ඔහු නොම්මරය බලා.. කෝල් එකට යන ගාණ කොළයක ලියා පෙන්වීය. එය ලංකාවේ මුදලින් රුපියල් දාහකට සමාන ය. මම මාගේ බෑග් එකෙන් සල්ලි ගෙන ඔහුට පෙන්වීය. ඔහු දුරකථනයේ නොම්මර කරකවා මා අතට රිසිවරය දුන්නේය. පීප්... පීප්... ගා ටික වේලාවක් තිබූ රිසිවරයේ සද්දය නැතිව ගියේය. මාගේ හිත ගැහෙන්න විය. වැරදි නොම්මරයක් ද? මම රිසිවරය නැවත ඔහුට දුන්නෙමි.

ඔහු නැවත දුරකථනයේ නොම්මරය ගසා මා අතට දුන්නේ ය. එවිටද පීප්... පීප්… ගා රිසිවරයේ ශබ්දය නැති වී ගියේය. දුරකතන අංකය වැරදිද?... පන්සලේ කවුරුත් නැද්ද ..මට දැනුනේ කියා ගත නොහැකි දුකකි.

මම දැන් මොකද කරන්නේ…... මට කිසිම දෙයක් හිතා ගන්නට බැරිය. මට දැඩි පිපාසයක් ඇත. උදේ තේ කෝප්පයක් වත් බොන්නට බැරි විය. නොයෙක් දේ සිතමින් ග්‍රොසරියෙන් එළියට විත් මම පාර අයිනේ හිටගෙන කල්පනා කලේ දැන් මොනවද කරන්නේ කියායි........


හතර වටේ මීදුම වැටී ඇත. උදේ අටට කිට්ටු වෙන්නත් ඇවිත් පාරේ යන වාහන ගණන ද වැඩි වී ඇත. කඩේ සිටි මිනිසුන් දෙදෙනා සහ ගැහැනිය මා දෙස බලමින් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් කියයි. මම නැවත කඩේ තුළට ගොස් කඩේ තිබූ බිස්කට් පැකැට්ටුවක් මිලදී ගෙන එතැන එළියේ තිබූ බංකුවේ වාඩි වී වැළඳුවෙමි. පසුව කඩෙන් කෝපි කෝප්පයක් ද මිලදී ගත්තෙමි. කෝපි බී අහවර වී මම නැවත මගේ ගමන් බෑගය රැගෙන පාර දිගේ ඇවිද ගෙන ගියේ කිසිම අරමුනක් නැතුව දුකෙන්‍ය..

මෙය ඉතා ගම්බද ප්‍රදේශයක් නිසා මට නවතින්න තැනක් සොයා ගන්න අපහසුබව තේරුනි. අවට ඇත්තේ දුප්පත් මිනිසුන් ඉන්නා බොහොම පොඩි ගෙවල්ය. ඔවුන් සැවොම වාගේ ගොවිතැන් කරනා ගොවියන් බව වැටහේ. මම මේ ගමෙන් පිටවී නගරයකට යා යුතු යැයි තනිවම සිතුවෙමි. පාර දිගේ ඔහේ ඇවිදගෙන යන විට පාරේ යන මගීන් යන බසයක් දැක මම එයට නැග ගතිමි. අතින් බස් එක නවත්වන තෙක් යන බව පවසා ටිකට් පතක් ගත්තේ අතේ තිබුන කොරියානු මුදල් දී ය

කදු, හෙල් වැටි, කුබුරු, බට පදුරු යායවල් පසු කරගෙන බසය ඉදිරියටම යයි. බසයේ ජනේලයෙන් එලිය බලා සිටි මට බසය ටිකක් නාගරිකරනය වු පෙදෙසකට ආ බව වැටහිනි. කෑම කඩ ඇදුම් කඩ ආදිය තිබුන කඩ මන්ඩියක් දැක මම බසයෙන් බැස ගතිමි.

ඒ වෙන විට දහවල් එකොලහට පමන ඇතැයි මට සිතේ. මගේ ලග ඇති ඔරලෝසුවේ තාම ඇත්තේ ලංකාවේ වේලාවය. ලංකාවේ හා කොරියාවේ වෙලාව තුල ඇති කාල පරාසය හිතෙන් බලා මම වෙලාව අනුමාන කලෙමි.

ඊයේ සිට හරි ආහාරයක් නොතිබුනු නිසා අද දහවල් ආහාරය මොනවා හරි මිලදීගෙන කෑමට ගත යුතුයි කියා මම සිතා ගත්තෙමි. කඩ පේලී අතර කිසිම අරමුනක් නැතුව ඇවිදයන විට කෑම කඩේක ගසා තිබුන බෝඩ් ලෑල්ලක ඇද තිබු බිත්තර තෙමතෙම්පරාදු බතක් දැක මම එම හෝටලයට ගොඩවැදුනෙමි. එහි තිබුන මේසයක වාඩි වුන විට. කොරියානු තරුණ වේටර් වරයකු පැමින මගෙන් එම භාශාවෙන් මොනවාද ඇසීය.

මට ඒ භාශාව තේරෙන්නේ නැති බව පවසා බෝඩ් ලෑල්ලේ තිබුන බිත්තර බත මම ඔහුට පෙන්නුවෙමි. ඔහු ඔලුව වනා හොදමයි කියන ලෙස මුලුතැනට ගියේය. තවම කෑම කඩය තුල ඒ හැටි සෙනගක් නැත. ඉන්න දෙතුන් දෙනා හරි සද්දෙට කතා කරති. වැඩි වේලාවක් නොගොසින්ම මම පෙන්නපු බිත්තර බත මගේ මේසයට ආවේය . බත සමග පොඩි පොඩි එලවලු විවිධ ආකාරයට හදපු දීසි පහ හයක්ම ආවේය. මේවා මම ඇනවුම් නොකලද ලොකු බඩගින්නක් තිබු නිසා මම කෑම කන්නට පටන් ගත්තෙමි. හෝටලය ඇතුලත හොදින් උනුසුම් කර ඇති නිසා ඇගට පහසුවක් දැනේ. කඩෙන් එලියේ ඇති දැඩි ශීතලය නිසා මට යන්නට හදිස්සියක් නැති නිසා මම හෙමිහිට කෑම ගත්තෙමි.

බිත්තර බතට ඉරිගු ඇට, ග්‍රීන්පීස් ලූනු කොල ,බිත්තර දමා සාදා තිබුන අතර එය නම් හිතුවට වඩා රසැතිය. හැබැයි බත් පීරිසි එකහාමාරක් පමන සුලු ප්‍රමාණයක් තමා එහි තිබුනේ. නමුත් පුංච් දීසි වල තිබූ රාබු කොළ හා අල, බතල තිරූ, නොදන්නා සලාද කොල වර්ග සම්බෝල වර්ග ගොඩක් තිබුනි. මම ඒ සියල්ල ඉතුරු නොකර කෑවේමි. ආයෙත් කොයි වේලෙක කන්න ලැබේදයි නොදන්නා බැවිනි. හොදින්ම බඩ පිරුණ පසු මා ලග තිබුනු හිස් වතුර බෝතලයට වතුරද පුරවාගෙන කෑම බිල ගෙවා දමා කෑම කඩයෙන් එලියට ආවෙමි. කෑම බිල නම් හිතපු තරම් ලොකු බිලක් නොවිය .

කඩෙන් එලිය බොහෝ සීතලය. අරමුනක් නැතුව ඔහේ ඇවිද ගිය මට සාප්පු සංකිර්ණයක් දැක ගත හැකි වුනි. ඒ තුලට ගිය විට නැවත ඇග උනුසුම් විය. කරන්න දෙයක් අරමුනක් නැතුව මම ඔහේ එහි ඇවිද්දෙමි. ඒ තුල පැය ගානක් ඇවිද එලියට එනවිට හතර පසින්ම අදුර වැටි තිබෙන බව පෙනිනි. දැන් අද රෑට මම මොකද කරන්නේ කියා සිතා ගැනීමට මට නොහැකිවිය. කොහේද මම අද රෑට නවතින්නේ.? දවල් හොදින් බත් කෑ නිසා බඩගින්නක් නම් නැත. කොහොමත් රෑට නොකා ඉද පුරුදු නිසා කෑමෙන් ප්‍රශ්නයක් ඇත්තේ නැත. සීතල නිසා දාඩිය නොදාමු නිසා ඇගපත හෝදා ගැනීමට අවශ්‍ය නොවීය . අනිත් අවශ්‍ය තාවයන් සාප්පු සංකිර්ණය තුලදි කරගෙන ඉවරකරගෙන සිටිය නිසත්, තුවායක් උනුවතුරෙන් හෝදා නාන කාමරය තුලදි ඇගපත හොදින් පිහිදා ගත් නිසා පොඩි නැවුම් ගතියක් ඇතිවුනි…... දැන් කොහේද රෑට නවතින්නේ…..? එයයි ඇති ලොකුම ප්‍රශ්නය…...

සාප්පු සංකිර්ණයේ කඩවල් වසාගෙන යයි. එහි සේවකයන් ගෙවල් බලා යන්න පටන් ගෙන් ඇත. මම හෙමිහිට ඇවිදගෙන වැඩිය මිනිසුන් නැති පැත්තකට ආවෙමි . එක දිගට රෑට වසාදමා තිබු කඩ පේලියක් අයිනේ හිගන මිනිසෙකු යැයි සිතිය හැකි කෙනෙක් නිදා ගන්නට සැරසෙනු මට දැක ගතහැකි විය. මමත් ඒ කිට්ටුවට ගොස් ඒ දිහා බලා සිටියෙමි. සාප්පු සංකිර්ණ තුල ලෙසම පාරද හොදින් අතුගා පිරිසිදුව ඇති හැටි පෙනෙයි. මේ මිනිසා ලෙසම මමත් අද රෑ මෙතන නවතිමි කියා සිතා ගත්තෙමි. ඒ මිනිසා කිට්ටුවෙන්ම මගේ බෑගයද තියා ඒ තුල තිබුනු ඝනකම් පොරොවන දෙක රැගෙන ඔලුවේ සිට පොරවගෙන මගේ බෑග් දෙකත් කාටවත් නොපෙනෙන්න රෙද්දෙන්ම වසාගෙන කඩ පිලේ ඇලවුනෙමි. අවට ඇත්තේ කියා නිම කල නොහැකි ශීතලකී. ශීතල අමතක වෙන්න මම පොරෝනය තුල ගුලීවී ඉදගෙනම තුන් සූත්‍රය කියා බාවනා කරන්න පටන් ගත්තේ ඉන්නා ඉරියව්වෙන්මය. භාවනාව නිසා ශීතල දැනෙනෙ එක ටිකෙන් ටික මග හැරි යන්නට විය. පසුව හිටි ඉරියව්වෙන්ම නින්ද ගියේ කඩ පිල් කඩ උඩය .

- හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *


9 views0 comments

Recent Posts

See All

*එතෙරින් එතරට *

(22 වෙනි කොටස ) වාහනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් එකදිගට ගමන් කරයි. කොරියන් රියැදුරු මගෙන් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් ඇසීය. මට කිසිදු...

Comentários


bottom of page