top of page
  • Writer's picturePrisila Godahewa

*එතෙරින් එතරට *

(22 වෙනි කොටස ) වාහනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් එකදිගට ගමන් කරයි. කොරියන් රියැදුරු මගෙන් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් ඇසීය. මට කිසිදු දෙයක් නොතේරිණි. මම ඉගෙන ගත් කොරියානු භාශාව කතා කිරීමේදී තේරුම් ගැනීමට අපහසුය. පොත පතෙන් විතරක් භාශා ඉගෙන ගත නොහැක. එයට භාවිතය අනිවාර්යයෙන්ම තිබිය යුතු බව හොදින්ම වැටහුනි. ඉන් පසු ඔහු මා සමඟ කතා කිරීම නවත්වාදැමිය.

. මා හට දැඩි නිදිමතක් හා කුසගින්නක්ද ඇත. නමුත් රියැදුරු මා කොහේ රැගෙන යාදැයි නොදන්නා බැවින් මම අමාරුවෙන් මෙන් ඇස් ඇරගෙන සිටියෙමි. පැයක් පමණ වාහනය එක දිගටම ගමන් කෙරිණි. තව දුර යා යුතු යැයි මට සිතේ....... මම මාගේ බෑගයේ තිබූ බිස්කට් පැකැට් එකක් කඩා රියැදුරුට පිළිගැන්වීමි.

ඔහු ඔළුව දෙපසට වනා එපා යැයි කීය.

මම බිස්කට් තුනහතරක් වළඳා බෑගයේ තිබූ වතුර බෝතලය ගෙන වතුර බඩ පිරෙන කම් බිව්වෙමි. මාගේ කුසගින්න මදක් නිවිණි. නමුත් නිදිමත හොඳටම වැඩි වී ඇත. මීදුම වැටුණු පාර දෙපැත්ත හැරුණු කොට අන් කිසිවක් වාහනයේ ජනේලයෙන් එලියේ නොපෙනෙයි. අප යන්නේ අධිවේගී මාර්ගයක යැයි මම අනුමාන කෙලෙමි. ඒ වහනය යන වේගය අනුවය. කුඹුරු මෙන් දිස්වන් බිම් පෙදෙස් ඉඳහිට ඈතින් පෙනේ. අප යන්නේ කොරියාවේ ගම්පෙදෙසකට යැයි වාහනයෙන් එළිය බැලූ කල සිතාගත හැකි ය. පැය දෙකක පමණ ගමනකින් පසු අප පිවිසියේ ඉතා දුෂ්කර පළාතක තිබූ පන්සලකට ය. දැන් හොඳට ම අඳුරද වැටී ඇත. විශාල ආරුක්කු, බුරුක්කු සහිත විශාල පන්සල් භූමියක රතගාලකට අපි පැමිණ සිටියෙමු. වාහනය නතර කළ රියැදුරු, මා හට වාහනයේ මීටරය පෙන්වීය. එහි මා ගෙවිය යුතු මුදල සඳහන් වී තිබිණි. එය විශාල ගණනකි. නමුත් මා එය ගෙවිය යුතු ය. ලංකාවේ මුදලින් එය රුපියල් පහළොස් දහසක් පමණ යැයි මට වැටහිණි. මම මගේ ලග තිබුන කොරියානු මුදල් වලින් එය ගෙවා දැම්මෙමි.

ලංකාවෙන් ඒමට ප්‍රථම මගේ බැංකු ගිනුමේ තිබූ සියලු මුදල් මම මෙම ගමනට රැගෙන ආවෙමි. එයින් කොටසක් කොරියාවේ මුදල් වලට මාරු කර ගත් අතර අනෙක් මුදල් ඇමරිකානු මුදල් ලෙස මාරු කරගෙන තියා ගත්තෙමි. එම මුදල් මම බොහෝ පරිස්සමට මගේ ගමන් මල්ලේ හා අත් බෑගයේ තැන් තුනක හංගා තියා ගෙන ආවෙමි.

කූලි වාහනයේ රියදුරු කොරියන් භාෂාවෙන් මොනවදෝ කියමින් ඈත කඳු මුදුනක් මත පිහිටි පන්සල මට පෙන්වීය. එය විශාල පන්සලකි. වාහනය මෙතනින් එහාට යා නොහැකි බව රියැදුරු මට අතින් පෙන්වීය. පඩිපෙළක් නැග පන්සලට යා යුතුය. මම ඔහුට ඔලුවෙන් එම දුර මම යන්නම් කීවෙමි.

රියැදුරා වාහනය හරවාගෙන ආපසු ගිය පසු, මම මගේ බෑගය ද ගෙන පඩිපෙළ දිගේ ඉහළට නැගගෙන ගියේ සීතලේ ගැහෙමින්ය. හතර වටින් කලුවර වැටී ඇත. මම දැන් කන්ද උඩ තියෙන පන්සලට ගිය පසු මොනවද කතා කරන්නේ...... කාටද කතා කරන්නේ... මගෙ හිත සැලෙයි. මොවුන්ගේ භාෂාව මම හරිහැටි නොදනිමි. මොවුහු ඉංග්‍රීසි භාෂාව හෝ මාගේ සිංහල භාෂාව නොදනති. මෙහි සිටින්නන් සමග කෙසේ කතා කරම්දැයි මම තිගැස්සුණු සිතින් සිතුවෙමි. මා කොරියාවට පය ගැසූ තැන සිට මේ වනතෙක් මා සමග හිත හොඳින් සිනා වූ කොරියානු කිසිවෙකු නොවීය. බස්නැවතුම්පළේ සිටි සුදුමහත්මා නම් මට කරුණාව දැක්වීය. ඒ ඔහු විදේශිකයෙකු නිසා ය. මා කොරියාවට ඇවිත් මෝඩකමක් කර ගත්තා යැයි මට දැන් සිතේ.


"කමක් නෑ එන විදියකට මුහුණ දෙනවා. මම තනියම කියා ගත්තෙමි. "

මම පඩිපෙළ දිගේ ඉහළට නැගගෙන ගොස් පන්සලේ දොරකඩටම ගියෙමි. කවුරුත් එහි නැත. පන්සලේ අවට කොරියානු ගෘහ ශිල්පයට අනුව රත්‍රං පාටට ආරුක්කු බුරුක්කුවලින් නිර්මාණය වූ විශාල පවුරු හා පිළිරු නිර්මාණය කර ඇත. ඉතා ගාම්භීර, බලන්න පුදුම හිතෙන, කියා නිමකළ නොහැකි ලස්සන පන්සලක දොරටුව ඉදිරිපිට මම හිඳිමි. රත්‍රං පාට විශාල දොරේ යකඩ බෝලය ළඟ පිත්තලෙන් කරන ලද හැඬලයක් තිබිණි. එය දොරට ගසා, ඇතුළත අයට කතා කරන බෙල් එකක් වැනි දෙයකැයි මම සිතුවෙමි.


මම එම බෝලය දෙස ටික වේලාවක් දෙඟිඩියාවෙන් බලා සිටියේ එය හඬවනවාද, නැද්ද සිතමින් ය. මේ සීතලේ මට පන්සලෙන් එළියේ සිටිය නොහැක, ඇතුළත සිටින අය කොයි වගේද කියා සිතා ගැනීමටද නොහැකි ය. කොරියන් භාෂාව හරිහැටි නොදැන මා මෙහි ඇවිත් කරගත් මෝඩකම ගැන සිතමින්, මම දොරේ සීනුව වැනි හැඬලය සිතේ දෙගිඩියාවෙන් හැඬවූවෙමි. එය හැඬ වූ පසු ටික වේලාවකින් විශාල දොර "ක්‍රරාස්" ගා හෙමිහිට ඇරිණි.

දොරකඩ සිටගෙන සිටියේ අළුපාට කලිසමක් හා අළුපාට විශාල කමිසයක් ඇඳ, අළුපාට මේස් දමා ගත් තරුණ පුද්ගලයෙකි. ඔහු මට කොරියන් භාෂාවෙන් කතා කර මොනවද ඇසීය. මට කිසිම දෙයක් නොතේරිණි. මා කොරියන් භාෂාවේ ඉගෙන ගත් වචන දෙක තුන ද මට දැන් අමතක ව ගොස් ය.


"‘මම ලොකු හාමුදුරුවන් හම්බ වෙන්න ආවේ‘‘

කියා යැයි දන්න ඉංග්‍රීසියෙන් මම කීවෙමි.

ඒ සමඟම මට මෙම පන්සලෙන් කොරියාවට වීසා ගැනීමට එවා තිබූ ලියමන ඔහු අතට දුන්නේ ය. එය අතට ගත් ඔහු එය කියවා බලා මට දොරෙන් පිටත ඉන්න කියා දොර වසා ගෙනනැවත ඇතුලට ගියේය. පන්සලේ දොරකඩ ලග හීතලේ ගැහෙමින් මම මොනවායින් මොනවා වේදැයි බයෙන් හිතමින් උන්නෙමි. අවට ඇත්තේ හිරු බැස ගියාට පසු ඇති මද අන්දකාරයි. ඒ අන්දකාරය තුලින් අවට ඇති උස කදුයාය පෙනේ…. කිසිම සද්ද බද්දයක් නැති මූසල අන්දකාරය මා හට තිගැස්මක් ඇති කර ඇත.

ටික වේලාවකට පසු පන්සලේ විශාල ඉදිරිපස දොර ""ක්රාස්…. ගා නැවත ඇරිනි.. මගේ ලියුම ගෙන ඇතුලට ගිය මුලින් ආ පුද්ගලයා මට ඇතුළට එන්න කියා අතින් කීය. මම ඇතුළට යෑමට පෙර පන්සලේ දොරට එළියෙන් සෙරෙප්පු, සපත්තු ගලවා තබන්න ලෑස්ති කර තිබු තැනින් මාගේ සෙරෙප්පු දෙක ගලවා තබා, මාගේ බෑගය ද අතින් ගෙන ඔහු සමඟ පන්සල ඇතුළට ගියෙමි.


එම පන්සලේ ඇතුලත ඉතා විශාල ශාලාවකින් යුක්ත අතර ඇතුලත රත්තරං පාට හා රතුපාට බිත්ති කනු වලින් සරසා විවිද විසිතුරු බඩු ,බුදු පිලිම ඉතා පිලිවෙලට තැන තැන තියා තිබුනි. එහි ඇතුලත විදුලිය තිබුනත් පාලු මූසල අන්දකාරයකුත් ඇත. නහයට නැවුම් හදුන්කූරු සුවද්ක් දැනින. නමුත් ඒ ලංකාවේ හදුන්කූරු සුවද නොවේ.......ඒ තායිලන්තයේ පන්සලේ පත්තු කරන හදුන්කූරු සුවදය.

ඔහු මාව එම විශාල ශාලාවේ අයින දිගේ කාමර දෙකතුනක් පසුකර ගොස් කොනේම තිබුනු කාමරය ඇතුලට යන්න කීය.. ඒ තුල කොරියාවේ හාමුදුරුවරු යැයි සිතිය හැකි තව දෙනමක් වැඩ සිටියාහ. මා එක්ක ගිය තරුණ කොරියානු ස්වාමීන් වහන්ස කොරියන් භාෂාවෙන් මොන මොනවදෝ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට කීය.

එහි සිටි නායක ස්වාමීන් වහන්සේ යැයි සිතිය හැකි වයසක ස්වාමීන් වහන්සේ කොරියන් භාෂාවෙන් මොන මොනවදෝ මගෙන් ඇසීය. කිසිම හිනා පොදක් නැති උන්වහන්සේ කතා කරන විට මට බිය සිතිනි. අද්භූත පෙනුමැති එම ස්වාමීන් වහන්සේලා ළඟ කිසිම තෙතමනයක් නැතැයි මට සිතේ.

උන්වහන්සේ අසන දෙය ඉවෙන් මෙන් දැනුණු මම, දන්න ඉංග්‍රීසියෙන් උත්තර දුන්නේ ය. මගේ උත්තරයෙන් උන්වහන්සේට කේන්ති ගිය බවක් පෙනෙන්නට තිබුනි., ඔහු මා කැඳවා ආ හාමුදුරුවන්ට අහක බලාගෙන අතින් මාව එක්ක යන්න කීය.. ඒ සමගම අද රෑට මෙහි නිදාගෙන හෙට උදේ යන්න කියන ලෙස මට අතින් පෙන්නා අණ කර කීහ.

මාව එක්ක ආ ස්වාමීන් වහන්සේ මට අතින් කතා කර දිග කොරිඩෝවක් දිගේ එක්ක ගොස් විශාල ශාලාවක් පෙන්නූහ. එතන කොනේ ගොඩ ගසා තිබුණු හීනි මෙට්ට ගොඩක් හා ඇතින් තිබුන වැසිකිලියක බෝඩ් එකක් තිබෙන තැනක් පෙන්වා යන්නට ගියහ.

මම නොදන්නා තැනක අතරමං වී ඇත්තෙමි. විශාල ශාලාවේ තැනතැන රත්‍රං පාට බුදු පිළිම තබා තිබිණි. රත්‍රං පාට හා රතු පාට ආලේප කරන ලද ආරක්කු බුරුක්කුවලින් එම කාමරය ද හැඩ ගැන් වී ඇත. කිසිදු සද්ද බද්දයක් නැති විශාල කාමරය තුළ පුදුම නිහඬ බවක් හා ඇදිරි බවක් ඇත. කාමරය තුළ ඉවසා දරාගෙන සිටිය නොහැකි තරම් සීතල ය. එතැන හිතට චකිතයක ඇති කරන තැනකි. මහා අද්භූත ගතියක් එම ස්තානයේ ඇත.

උන්වහන්සේ පෙන්වූ මෙට්ට ගොඩෙන් එකක් ගෙන, මම එය කාමරයේ මුල්ලකට වෙන්නට බිමට දමා එතැනින් මගේ බෑගය තැබුවෙමි.

මෙම විශාල කාමරය බණ මඩුවක් වගේ එකක් යැයි මට සිතේ. පාස්පෝට් එක හා සල්ලි තිබූ බෑගය සිවුරට යටින් මා කරේ හරහට දමා ගත්තේ පරිස්සමට ය. මුහුණේ සිනා පොදක් නැති අද්භූත මිනිසුන් අතර මා තනි වී ඇත. මම මොනවා කළ යුතු දැයි සිතාගත නොහැකි ව අසරණව උන්නෙමි .

ශාලාවේ කෙළවර වැසිකිළි ලකුණ සඳහන් වී තිබෙන තැනට ගොස් මූණකට සෝදා පිරිසුදු වී පැමිණියෙමි. ඉතා සීතල දේශගුණයක් නිසා ඇඟපත දොවා ගැනීමට අවශ්‍ය නොවීම වාසියක් විය. එම ශාලාවෙන් පිටත වෙනත් කාමරයක මිනිසුන් හිනා වෙන, කතා කරන හඬ ඇසෙයි. මම ඒ දෙසට හෙමිහිට ගියෙමි. එම කාමරය ඇතුළත කොට මේසයක් වටේ ඉඳගත් අළු පාට ඇඳුම් ඇඳගත් කොරියන් ස්වාමීන් වහන්සේලා යැයි සිතිය හැකි සිවුනමක් ආහාර ගනිමින් සිටියාහ. මේසය උඩ සුදුපාට පුංචි පුංච් දීසි ඇත. කුඩා සුදුපාට කෝප්ප හා කූරු දෙකක් වැනි දෙයක් උපයෝගී කර ගනිමින් ඔවුන් ආහාර ගන්නා අතර, ඔවුහු කතාබහ කරමින්ද සිටියාහ. ඔවුන්ගෙන් කෙනෙක් මා දැක අනිත් අයට ඇසින් මා පෙන්වීය. ඔවුන් මා දෙස බලා නැවත ඔවුන්ගේ කාර්යය කළේ මා ගාණකටවත් ගණන් නොගෙනමය. ඔවුන් මට කෑම කන්නට කියා අඬ ගැසුවේද නැත. එබැවින් මම එතන ඉන්න සුදුසු නැති යැයි සිතුන බැවින් මම එතැනින් නික්ම මට නවතින්න කියූ ස්ථානයට ගොස් සුළු වේලාවක් වාඩි වී ගිමන් හරිමින් කල්පනා කළේ මම දැන් කුමක් කළ යුතුදැයි සිතමිනි. උදේ හීල් දානය ලෙස ගුවන්යානාවේදී ලැබුණු කෑම වේලෙන් පසු දවල් දානයට මට ගන්නට ලැබුණේ බිස්කට් තුන හතරක් පමණි. හොඳටම කුසගිනි වී සිටි මා බණ ශාලාවේ එළාගත් මෙට්ටය උඩ වාඩි වී කල්පනා කළේ මාගේ අදින් පටන් ගත් ඉදිරි ගමන කුමක් වේදැයි සිතමින්ය......


-හෙට හමුවෙමු -

**ප්‍රිසිලා ගොඩහේවා **

5 views0 comments

Recent Posts

See All

Comments


bottom of page