top of page
Writer's picturePrisila Godahewa

**එතෙරින් එතරට **

(21වෙනි කොටස)



දිනෙන් දින ගෙවී ගොස් මා කොරියාව බලා යන දිනය ද ළං විය. මාහට ඒ වන විට අමුතුවෙන් ලෑස්ති කර ගැනීමට තරම් දෙයක් නොවීය. අවශ්‍ය සියලු දේ මම වේලාසන ලෑස්ති කරගෙන සිට්යෙමි. ඒ මේ ගමන යන්න ලොකු උවමනාවකින් සිටි නිසාය.

මම අදින සිවුරු අදනකඩ දෙක තුනට අමතර ඇද රෙද්දක්, කොට්ට උර දෙකක් ඝනකම් පොරොවන දෙකක් හා , තුවායක්, ශීත කබා දෙකක් දමා ඇදුම් බෑගය ලෑස්ති කරගත්තෙමි. මම ඊට අමතරව තේ, කෝපි, නූඩ්ලස් පැකැට්, බිස්කට්, පැරසිටමෝල්, බාම් ආදිය අසුරා ගත්තේ අත්‍යවශ්‍ය වුණොත් ප්‍රයෝජනයට ගැනීම සදහා ය.

කොරියාවට යන ගමන මාගේ උවමනාවෙන්ම තනි කැමැත්තට ලෑස්ති කරගත්තත්, එම ගමනේ කිසිම පැහැදිලි බවක් නොවීය . දන්න කියන කිසිකෙනෙක් නොදන්නා රටකට හරියට භාශාව වත් නොදෙන යන්නේ කුමන අදහසකින්ද කියන හේතුව සලකා බලන කල එහි අවසානයේ ඇත්තේ හරියට ඉන්න හිටින්න තැනක් නැති මට ස්තිර නවාතැන් පලක් සොයා යන ගමනක් බව මට පසක් වෙමින් තිබේ. නවාතැන් පලක් සොයා ගත නොහැකි උනොත් නැවත ලංකාවට පැමින ගමේ පාසැලක ගුරුවරයෙක් ලෙස රටට සේවය කරන්නෙමි යන අදහසද හිතේ කොනක ඇත.

මාස තුනකට කොරියාවට වීසා ලැබුනු මම විදෙස් සංචාරයකට යන බව නැවතී සිටි පන්සලේ ස්වාමීන් වහන්සේලාට පැවසුවෙමි. ඉද හිට මා සමග ලියුම් ගනුදෙනු කරනා මල්ලිට මගේ කොරියානු සංචාරය ගැන පැවසුවෙමි. කොරියානු ගමන ගැන පොඩී චකිතයක් හිතේ තිබුනත් නැති වන්නට කිසිම දෙයක් නැති මම මෙම ගමනින් පසු නැවත ලංකාවට පැමින මොනවා කරන්නෙද ...කොහේ නවතින්නෙද... කියා නොසිතුවෙමි. එන විදිහට එන දෙයකට මුහුන දීමට හිතා ගත් මම අද දවසේ මොනවාද කරන්න ඕන ඒ අනුව ජීවිතයට මුහුන දෙනවා යැයි තරයේ සිතට ගත්තෙමි .

පන්සලට නිතර යන එන බැතිමතෙකුට මගේ කොරියානු සංචාරය ගැන කියා, මම රට යන දවසට ගුවන්තොටුපළට ‍‍බස්සවා ගන්නට ලෑස්ති කරගත්තෙමි. පන්සලේ අනෙක් ස්වාමීන් වහන්සේලාටද ඒ බව පැවසු මම ලොකු හාමුදුරුවෝ බැහැ දැකීමට ගියෙමි.


‘‘ලොකු හාමුදුරුවනේ හෙට උදේට මං කොරියාව බලා යන්න හැම දෙයක්ම ලෑස්තියි. ඔබවහන්සේගේ ආශීර්වාදය තමා මට අවශ්‍ය ය.‘‘


‘"ඉන්න පොඩිතැන මම පිරිත් නූලක් බඳිනකම්.‘‘

උන්වහන්සේ හිත හොඳින්, පිරිත් නූල මාගේ අතේ බැඳ මට ආශීර්වාද කළහ. අවවාද ද දුන්හ. උන්වහන්සේගේ දෙපතුල් වැඳ ස්තුති කළ මම, කොරියාව බලා යන ගමනට, වාහනයට නැගගත්තෙමි.

මෙවර මා පිටරට යන්නට ලෑස්ති වුණේ නැවත ලංකාවට කාලයකට නො එන අදහසත් ඇතිවය. ලංකාවේ වැඩ විසීමට මට ස්ථිර පන්සලක් දැන් නැත. තාත්තා නැති වූ පසු අම්මා දෙවැනි විවාහයක් කරගත් බැවින් මම ගෙදර අය ගැනත් වුවමනාවෙන්ම සොයා නො බැලුවෙමි. ඉඳහිට නංගීට හා මල්ලීට පමණක් මම කතා කළෙමි. මෙවර ගමේ ගොස් පැමිනියේ, ඒ නිසා බොහෝ කාලෙකට පසුය.

බණ්ඩාරනායක ගුවන්තොටුපළෙන් සිංගප්පූරුව දක්වා ගුවනින් ගොස්, එතැනින් කොරියාව බලා යන ගුවන්යානයට නැගීමට මට නියමිතව තිබුණි. මීට ප්‍රථම තායිලන්තය, ඇමෙරිකාව යන විදේශ සංචාරවල නියැළී තිබූ බැවින් මට දැන් බන්ඩාරනායක ගුවන්තොටුපළ හොඳින් හුරුපුරුදු තැනක් ය.

කොළඹ බණ්ඩාරනායක ගුවන්තොටුපළෙන් සිංගප්පූරුව බලා ගිය මට පැය හතරක කාලයක් කොරියාවට යන ගුවන් යානයට නගින්න වේලාව තිබුනි.

එතකම් සිංගප්පූරු ගුවන් තොටුපොළේ අසිරිය විදිමින් මම එහෙට මෙහෙට ඇවිද්දෙමි. නානා ආකාරයේ විසිතුරු බඩු, කෑම, අවන්හල්, ඇදුම් පැලදුම්, මිල අදික සුවදවිලවුන්, චොකලට් වර්ග, සපත්තු ,හෑන්ඩ් බෑග් ආදි කිව් නොකිව් සාප්පු වලින් ගුවන් තොටුපොළ පිරි ඇත. සිංගප්පූරු ගුවන් තොටුපොළ හරියට දිව්‍ය ලෝකයක් ලෙස මට පෙනින. එහි ඇති විසිතුරු බව ඇස් දෙකෙන් බලා නිම කල නොහැකි තරමට විසිතුරුය. හරියට දිව්‍ය ලෝකයක සැරි සරණ ගානය. නානා රටවල කළු සුදු විදේශිකයන් බෑග් මලු තල්ලු කරමින් ගුවන් තොටුපොළේ එහේ මෙහේ යයි. සුවදවිලවුන් සුවදින් පිරිසිදු ගුවන් තොටුපොළ සුවදවත් වී ඇත. පැය හතරක් නෙමේ දවසක් දෙකක් උනත් එහි කිසි අමාරුවක් නැතුව විසිතුරු නැරඹමින් සිටිය හැක ලස්සන තැනකි.

පැය දෙකක් පමන ගුවන් තොටුපොළේ එහේ මෙහේ ඇවිදමින් සිරි නරඹබින් යන විට ඇතිවුන තිබහ හා බඩගින්න නැති කරගැනීමට කෑම කඩයක් ලගට ගොස් බනිස් ගෙඩියක් සමග කෝපි කෝප්පයක් මිලදිගෙන එය අනුබව කලේමි. තවත් ගුවන් යානයට නගින්න වේලාව ඇත. ඉන්පසු ලොකු ගෙවල් වල තිබෙන කාමරවලට වඩා ලස්සන, පිරිසිදු විශාල වැසිකිලියට ගොස් මම මුහුන කට සෝදා අවශ්‍ය තාවයන්ද ඉශ්ට කරගෙන කොරියානු ගුවන් යානයට නගින්න අවශ්‍ය පැත්තට යන්නට පටන් ගත්තෙමි.

සිංගප්පූරු ගුවන් තොටුපොළේ එක පැත්තක සිට අනෙක් පැත්තට යන්නට පුංච් කෝච්චියක් ඇත. ඒවා විනාඩි ගානකට සැරයක් එහෙ මෙහේ ගමන් කරයි. ඉදගෙන යන්නට තරම් දුරක් නැති කෝච්ච් වල ආසන දෙක තුනකට වඩා නැත. ඒවායේ හිටගෙන යා යුතුයි. මම එම කෝච්චියේන් මට අවශ්‍ය ගුවන් යානාව ඇති පැත්තට ගියෙමි. කොරියානු ගුවන් යානයට නගින තැනට ගොස් අවශ්‍ය ටිකට්පත් පෙන්වා අවශ්‍ය කටයුතු ඉවර කර ගත්තෙමි. පසුව එතන වාඩිවී වේලාව එනතෙක් සිටියෙමි.

සිංගප්පූරුවෙන් කොරියාව බලා යන ගුවන්යානයට නැග ගත්තෙමි. පැය අටක පමන කාලයක් ගුවන් යානයේ යායුතුයි. ආසන පටි පැලද ගෙන හිතින් තුන් සූත්‍රය කියමින් කොරියානු ගමන යන්නට මම ලෑස්ති වුනෙමි. මීට ප්‍රතම තායිලන්තයට ඇමරිකාවට ගිහින් තිබුන නිසා මට ගුවන් ගමන් දැන් හුරුපුරුදුය. ගුවන් යානය ඇතුලත හැසිරිය යුතු ආකාරයද හොදින් දනිමි.

අද මා යන මේ ගමන කොතැනින් නිමා වේදැයි පැහැදිලි නැත. ලොකු හැඳුනුම්කමක් නැති කොරියන් පන්සලෙන් ලැබුණු ලියමන නිසා මට කොරියාවට වීසා ගන්නට හැකි විය. එම ලියමන ගන්න මට ලොකු මුදලක්ද වියදම් කිරීමටද සිදු විය. එතැනින් එහා කිසිම දැන හැඳුනුම්කමක් ඇති කෙනෙකු කොරියාවේ නැත. සුමේධ නම් ලංකාවේ හිමිනමක් ඉන්න බවක් දන්නා නමුත්, උන්වහන්සේගේ දුරකථන අංකය පමණක් මම ළඟ ඇත. උන්වහන්සේ මට උදවු කරයි ද, නොකරයි ද මම නොදනිමි. මට වීසා ගන්න ලියුම එවූ පන්සලට මුලින්ම ගොස් කුමක් සිදුවේද කියා බලා, ඉදිරිය ගැන සිතිය යුතුය. වෙන දෙයකට මුහුණ දීමට හිත හදාගත් මම, දෑස් පියාගත්තේ කොරියානු ගමන පැය අටක් තරම් දිගු ඛැවිනි.


#######

පැය ගණනක ගුවන් ගමනකින් පසු මම කොරියාවේ සොල් නගරයට සැපත් වුණෙමි. ඇමෙරිකාව තරම් නොවුණත්, ඒ කාලයේ කොරියාවේ දේශගුණයද ඉතා සීතල විය. ගුවන්තොටුපළෙන් එළියට බැස ගත් මම, මගේ බෑගය ඇර ඉක්මනින් ම ශීත කබාය ඇඳ ගත්තෙමි. කන වැසෙන පරිදි බූල් සහිත හිස් වැසුමක්ද දාගත් මම, බෙල්ල වටා ඝනකම, ශීතලට දමන බූල් රෙද්දක්ද ගැට ගසා ගත්තෙමි. ඇමරිකාවේ දි ශීත කාලගුණය ගැන හොද වැටහීමක් තිබුන බැවින් එය මට අද පහසුවක් වුනි. ගුවන්යානයෙන් බැස යන්නට ප්‍රථම ලැබුණු කෑම වේල නිසා බඩගින්නක් නොතිබිණි.

කොරියානු ගුවන් තොටුපොළ ඉතා විශාල නවීන පන්නයට සෑදුන එකකි. ගුවන් යානයෙන් බැස බොහෝ දුරක් ගුවන් තොටුපොළේන් එලියට යෑමට ඇවිදගෙන යා යුතුයි. මගේ තල්ලු කරගෙන යන ගමන් බෑගය එතරම් විශාල නොවු නිසා මට එය ගෙනයාම අපහසුවක් නොවිය.

ගුවන් තොටුපොළේ ගසා ඇති මාර්ග ලකුනු බල බලා මම පොදු වාහන, කුලී රත තිබෙන පැති බලමින් ඒ ඔස්සේ ගියෙමි. පොදු වාහනයක ගියහොත් මගේ දුර්වල කොරියානු බස නිසා අපහසුකම් වලට මුහුන පාන්න වේයැයි සිතුනි. එම නිසා මා යායුතු පන්සලට කුලී රතයකින් ගියහොත් පහසු වේයැයි මට සිතුනි.

ඒ අනුව කුලීරත පොළ සොයමින් ගියෙමි. මම කුලී වාහන නවත්වන තැනට ගොස් මා යා යුතු පන්සලේ ලිපිනය ලියා තිබූ කොළය කුලී වාහන රියැදුරෙක් අතට දුන්නෙමි. මා හට කොරියන් භාෂාව හරිහැටි කතා කළ නොහැකි නිසා මම එසේ කළෙමි. මා දුන් ලිපිනය සහිත කොළය දිහා ටික වේලාවක් බලා සිට ඔහු එය පැත්තකට විසිකලාය. ඉන් පසු එම කුලී රථ රියැදුරා, මා මඟහැර ඈතට ගියේ ය. ඔහුගේ මුහුනේ කිසිම තෙත් ගතියක් සිනාවක් නොවීය. බිමට විසිකළ ලිපිනය සහිත කොළය නැවත ඇහිඳගත් මට ලොකු දුකක් දැනිණි. ලංකාවේ දී නම් භික්ෂූන් වහන්සේලා වන අපට අපේ මිනිසුන් කොයිතරම් ඉහළින් සලකනවාද? නමුත් මේ රටට පය ගැසූ ගමන්ම මට වූ අකරතැබ්බය නම් සිතාගත නොහැකිය. මම දැන් මොකක්ද කරන්නේ කියා සිතුවෙමි .

මුහුණේ සිනා පොදක් නැති කොරියන් මිනිසුන් යන එන පාරේ මා දැන් අතරමං වී ඇත. මෙහි මිනිසුන් හිනාව නොදන්නා මිනිසුන් ගානය. හීන් ඇස් ඇති මහත මුනු, තැලුනු නහය ඇති ඔවුන් තද ඝනකම් කබා ඇදගෙන තමන්ගේ වැඩය විතරක් තමන්ම කරමින් සිටිනා ජාතියක් බව වැටහිනි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ඉංගිරිසි ලියන්න කියන්න කතා කරන්න හැකියාවක් නැති බව මම දැන සිටියෙමි. තරුණ ළමයින් දැඩ් වෙහෙසක් අරන් ඉංගිරිසි භාශාව ඉගෙන ගනිමින් සිටින බවත් මම දැන උන්නෙමි.

මම හිටි තැනට ටිකක් එහායින් යුරෝපා ඇඳුම් කට්ටලයක් ඇඳගත් යුරෝපියෙකු යැයි සිතිය හැකි උස මහත සුදු මහත්මයකු දුටු මම, ඔහු ළඟට ගොස් ලිපිනය සහිත එම කොළය ඔහු අතට දුන්නෙමි.

"සොරි ප්ලීස් හෙල්ප් මී….අයි වෝන්ටු ගො දිස් ප්ලෙස්….‘‘ දන්න ඉංග්‍රීසියෙන් මම ඔහුට කීවෙමි.

මා දුන් ලිපිනය දෙස බලා සිටි ඔහු, ඔහුගේ කමිස සාක්කුවේ තිබූ පෑන ගෙන ලිපිනය සහිත කොළයේ පිටුපස කොරියන් භාෂාවෙන් මා දුන් ලිපිනය ලිව්වේ ය.


"‘නව් යූ ගිව් දිස් ටු ඩ්‍රයිවර්.‘‘

එතුමා තව මොනවද ඉංගිරිසියෙන් කියූ නමුත් මට වැඩි යමක් නොවැටහිණි. මා විසින් කොරියන් භාෂාවෙන් ලියූ ලිපිනය කැබ් රථ රියැදුරුට දිය යුතු බව පමණක් වැටහිණි.


"‘තැන්ක් යූ සර්.‘ මම ඉතා යටහත් පහත්ව එතුමාට ස්තූති කලෙමි.


"ටිකක් ඉන්න, එන්න මාත් එක්ක ”‘

ඔහු ඉංග්‍රීසියෙන් කීහ.

ඔහු මා කැබ් රථ රියැදුරෙකු ළඟට එක්ක ගොස් ඔහු සමඟ කොරියන් භාෂාවෙන් මොනව දෝ කතාකර, මාගේ ලිපිනය ඔහුට පෙන්වීය. මා හට යෑමට නියමිතව තිබුණේ කොරියාවේ සෝල් නගරයෙන් බොහෝ දුරකට බව මට වැටහිණි.


"‘ඔබ ළඟ මුදල් තිබෙනවද? ඔහු මා ළඟ මුදල් ඇත්දැයි ඉංග්‍රීසි භාෂාවෙන් ඇසීය.


“ඉයස්,‘‘ අයි හෑව්. මම මගේ අත් බෑගය ඔහුට පෙන්විය.

ඔහු මට වාහනයට නගින්නැයි අතින් සංඥා කර, කොරියන් භාෂාවෙන් රියැදුරුට මොනවද කීය.


“ඕකේ හී විල් ඩ්‍රොප් යූ‘‘

යුරෝපීය මහත්මා මා හට කීවේ කුලී රත රියදුරා මාව නියමිත තැනින් බස්සවයි කියා ය. මට සතුටු සිතිණි.


"තැන්ක් යූ. සර්.‘‘ මං ඔහුට නැවත සතුට පළකර වාහනයට නැග ගත්තෙමි.


- නැවත හමුවෙමු -


**ප්‍රිසිලා ගොඩහේවා **

6 views0 comments

Recent Posts

See All

*එතෙරින් එතරට *

(22 වෙනි කොටස ) වාහනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් එකදිගට ගමන් කරයි. කොරියන් රියැදුරු මගෙන් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් ඇසීය. මට කිසිදු...

Comments


bottom of page