top of page
  • Writer's picturePrisila Godahewa

**එතෙරින් එතරට**

(18 වෙනි කොටස)

පැය ගාණක් එකදිගට නිදා ගැනීමෙන් පසු අවදි වූ මම, කාමරයේ ජනේලයෙන් එළිය බැලුවෙමි. එළියේ ඇත්තේ තවම අදුරකි. මම මගේ බෑගයේ තිබු ඔරලෝසුව ගෙන වෙලාව බැලීමි. එහි පාන්දර 5 බව පෙන්වයි. මම හෙමිහිට නැගිට නානකාමරයට ගොස් මූණකට සෝදාගෙන හෙමිහිට කාමරයෙන් එළියට පැමිණියෙමි. මා සමග පැමිනි අනෙක් ස්වාමීන් වහන්සේලා දෙනම සීතලේ තවම නිදිය.


‘‘ඔබවහන්සේ උදේම අවදි වුණා ද? අනිත් දෙනම තවම සැතපිලා

වෙන්නැති.‘‘.......


“‘එහෙමයි හාමුදුරුවනේ. මහන්සියට වෙන්ඩෑ තවම සැතපිලා.‘‘....


‘‘ඔබවහන්සේට දන්ගෙට ගිහින් කෝපි හරි තේ හරි හදාගන්න පුළුවන් නේ ද?


"‘එහෙමයි...හාමුදුරුවනේ මම හදාගන්නම්.‘‘

දන්ගෙය පුංච් උනත් ඉතා පිරිසිදුව, වටේට කබඩ් ගසා සාදා ඇත. වතුර උණුකර, කෝපි හදාගත් මම, ශීතකරණයෙන් කිරි බෝතලයක් ගෙන කෝපි එකට කිරි දමා කෝප්පය මයික්‍රෝ උදුනේ තබා රත්කර ගත්තෙමි. විදුලි උපකරණ පාවිච්චි කරන අයුරු තායිලන්තයේ දී දැන සිටි බැවින් එය පහසු විය.


තේ බී අවසන් වූ මම, මගේ ශීත කබාය ඇදගෙන ආවාස ගෙට ම අල්ලා තිබූ බුදු මැදුරට ගොස් බුදුන් වැඳ, පිරිත් කියා සිතු සේ බුදුන් වැන්දෙමි.

"‘ සම්මා සම්බුදුන් වහන්සේගේ කරුනා ගුන මහිමෙන්, මා මේ ආ ගමන මට ප්‍රයෝජනවත් දෙයක් කිරීමට හැකියාව ලැබේවා".


මම දොහොත් මුදුන් දී බුදුගෙයි බුදුපිලිමය ලග වැද වැටි වැන්දෙමි.

මට ලංකාවේ පන්සලේ සිටි භික්ෂූන් වහන්සේලා මැවී පෙනෙන්ට විය. ඔවුන්ගේ කතාබහ ඇහෙන්නා සේ දැනිණි. සියල්ලන්ට ම පින් දී, මම හිත එකඟ කර ගෙන භාවනා කළෙමි.

වැඳ අහවර වනවිට උදයේ හිරු එළිය යාන්තමට බිමට පතිත වී ඇති ආකාරය දකින්න ලැබුණි. පෙරදා දහවල් මේ විහාරයට පැමිණියත්, අවට දැක බලා ගැනීමට නොහැකි විය. මා හිතුවාට වඩා විශාල වෙනසක් මේ රටේ දකින්න ලැබේ. හිරු එළිය වැටුණ ද අවට පරිසරය මීදුමකින් වැසී ඇත. පන්සල් වත්තේ ඇති මල් පාත්තිවලට පින්න වැටී දිළිසෙයි. ඉතා ලස්සනට සකසා, මල් වවා ඇති විහාරයේ ගෙමිදුල පුංචි වුවද ලස්සන ය. ශීත කබාය දාගෙන මිදුලට බැස්සත්, ඉවසන්න බැරි තරම් ශීතලක් ඇත. නිදහසේ අවට සිරි නැරඹීමට ශීතල ඉඩ නොදුන්නේ ය. මම විගහට ආවසෙ තුළට ගොස් ඇතුළත සිට ජනේලයෙන් එළිය බලාගෙන උන්නෙමි. විහාරය ඇතුළත උණුසුම්කරණ දමා ඇත. එබැවින් විහාරය ඇතුළත ශීත කබා නැතුව සිටිය හැකිය.

“‘විපස්සි හාමුදුරුවො හීල් දානෙ වළඳන්න පැමිණියා නම්.‘‘


"‘අනිත් දෙනම තවම සැතපිලා.‘"


“‘කමක් නෑ පළවෙනි දවසනේ. මහන්සියට නිදි ඇති. ඔබවහන්සේ හීල් දානේ වළඳන්න එන්න.‘‘

දාන ශාලාවේ මේසය උඩ පාන් වර්ග, බටර්, ජෑම්, මාමයිට් වැනි දෑ හා බිත්තර බැද තිබිණි. දොඩම් යුෂ බඳුනක් ද එහි තිබිණි.


‘‘මේවා තමයි හීල් දානෙට වළඳන්න තියෙන්නෙ. ඔබවහන්සේට පුරුදු නම් නැතිව ඇති.‘‘


“‘ඒකට කමක් නෑ. හැමදේකට ම පුරුදු වෙන්න එපෑ.‘‘


‘‘අද දවසේ ටිකක් විවේකීව ඉඳලා, හෙටින් පස්සේ ඔබ වහන්සේලාට රටතොට බලාගන්න යන්න පුළුවන්.‘‘


“‘එහෙම තමයි අපිත් හිතුවේ.‘‘


උන්වහන්සේ සමඟ සතුටු සාමිචියේ යෙදී සිටිද්දී මා සමඟ පැමිණි අනිත් දෙනම ද නැගිට හීල් දානය වැළඳීමට පැමිණියාහ.


‘‘අද එළිවුණා දැනුණෙත් නෑ. මහන්සියට හොඳට ම නින්ද ගියා.‘‘


“තුන් නමත් එක්ක එහෙනම් හෙට ඉඳන් රටතොට බලාගෙන එන්න යන්න. ඕනතරම් කෝච්චි, බස් තියෙන නිසා ගමනාගමනයට අමාරුවක් නෑ. හැබැයි ඉතිං දවාලට දානය එළියෙන් තමයි ගන්න වෙන්නේ. කෑම කඩ ඕනතරම් තියෙනවා. හැම තැනකම ඉන්දියන් කඩ තියෙන නිසා ඕන තැනකින් අපේ විදියට දානෙ අරගෙන වළදන්න පුළුවන්.”

ඇමෙරිකාවේ බොහෝ ප්‍රදේශ නරඹන්න යන්න මට හැකියාවක් ලැබුණි. මා සමඟ පැමිණි අනෙත් දෙනම ද මාස තුනක් වගේ කාලයක් මීට ප්‍රථමද ඇමෙරිකාවට පැමින නවාතැන් ගෙන සිට තිබුන බැවින් ගමනා ගමනය ගැන උන් වහන්සේලා බොහෝ දේ දැන සිටිම අපට ඇමරිකානු සංචාරයට ඉතා වැදගත් විය.

ඇමෙරිකාවට පැමිණියාට පසු එම පන්සලට යන එන ලංකාවේ උපාසක උපාසිකවන් සමඟ මට ද මිත්‍ර වීමට හැකි විය. ඔවුන්ගේ දානමාන කටයුතුවලට ද අපි සහභාගි වුණෙමු. අපට උදේ, දහවල් දානය ගෙවල්වලින් ද ලැබිණි. නැතිනම් පන්සලෙන් ලෙහෙසි ක්‍රමයකට දානය හදාගෙන වළදන්න මෙහි වැඩ සිටි ස්වාමීන් වහන්සේලා පුරුදු පුහුණු වී ඇත.

ඉවුම් පිහුම් වැඩ දන්නා මම ඉන් පසුව ගෙවල් වලින් දානය නොලැබෙන දවසට උයා පිහා අනිත් ස්වාමින් වහන්සේලාට පිලිගැන්විය.


එයට මෙම පන්සලේ ලොකු හාමුදුරුවෝ බොහෝ කැමති විය. උදේට හීල් දානයට මම කිරිබත් රොටි වැනි දෑ සැකසුවෙමු. දහවලට බත් පරිප්පු එලවලු මස් මාලු ආදියද සැදුවෙමි. රාත්‍රියට සුප් වතුර, පිටි වර්ග බිව්වෙමු. ඇමරිකාවේ ඕනතරම් ලංකාවේ තුනපහ බඩු ගන්න කඩ තිබෙන නිසා ලංකාවේ පිලිවෙලට අපට උයාගෙන කන්නට හැකි විය.

පන්සලේ පිරිසිදු කිරීම් වැඩට, මෙන්ම බෝදිපුජා වැඩවලටද මම ඉතා කැමැත්තෙන් උදව් කලෙමි. ඇමරිකාවේ පන්සලේ ලොකු හාමුදුරුවෝද මගේ වැඩපිලිවෙලට බොහෝ කැමති විය.

අපි මෙහි පැමින ගෙවුණු මාස තුන හරි ඉක්මනටම ගෙවි ගියේය. මා සමග පැමිනි අනෙක් ස්වාමීන් වහන්සේලා දෙනම නැවත ඔවුන් ගේ පන්සල් වලට යන දිනයද ලං විය.

‘‘අප දෙනම නැවත තායිලන්තයට වඩින්න කියල හාමුදුරුවනේ.‘‘


"විපස්සි හාමුදුරුවො නම් තව මාස තුනක් විතර වීසා ඉවර වෙනකම් මෙහි නවතින්නයි කල්පනාව.‘‘

මා සමග පැමිණි අනිත් දෙනම තායිලන්තය බලා නැවත යෑමට සැරසෙති. මා කල්පනා කළේ ඇමෙරිකා සංචාරයෙන් පසු මා කොහේ යන්නේදැයි කියායි.


“ඒකට කමක් නෑ. අපටත් උදවු කරගෙන ඉන්න නිසා විපස්සි හාමුදුරුවන් මෙහි කොයි කාලයක් නැවතී සිටියත් අපට ප්‍රශ්නයක් නෑ.‘‘


මම ගිය තැන සුද්ද පවිත්‍ර කරගෙන, උයාපිහා, අනිත් හිමිවරුන්ටද උදවු උපකාර කරගෙන ජීවත් වන කෙනෙක් නිසා ඕන කෙනෙක් මට ඉතා කැමැති ය. මා මෙහි ආ පසු, අපට උපාසක දානය නොලැබෙන දිනට මම හැමෝටම වළඳන්න බත් උයා, මාළු පිනි හදන්නෙමි. මා සාදන දානය වැළඳීමට සෙසු ස්වාමීන් වහන්සේලා ඉතා කැමැති ය.


" ඔබ වහන්සේට උපාදියකුත් තියෙන නිසා ලංකාවට ගිය දිනක රැකියාවක් කරන්න පුලුවන් නේද?"

"එහෙමයි හාමුදුරුවනේ .......ඒ උනාට මාත් කැමතියි ඔබ වහන්සේලා වගේ වෙන කොහේ හෝ රටක පදිංචි වෙලා මේ විදිහට වැඩ වෙසෙන්න."

‘‘වීසා ප්‍රශ්නයක් නැත්නම් මෙහෙත් නැවතෙන්න පුළුවන් විපස්සී හාමුදුරුවන්ට ‘‘


“‘වීසා ගන්න තමයි අමාරු ලොකු හාමුදුරුවනේ........"


"අපි බලමු මොනවාද කරන්න පුලුවන් කියලා "


-නැවත හමුවෙමු -

* ප්‍රිසිලා ගොඩහේවා *

2 views0 comments

Recent Posts

See All

*එතෙරින් එතරට *

(22 වෙනි කොටස ) වාහනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් එකදිගට ගමන් කරයි. කොරියන් රියැදුරු මගෙන් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් ඇසීය. මට කිසිදු...

Comentários


bottom of page