top of page
  • Writer's picturePrisila Godahewa

**එතෙරින් එතරට**

(15 වෙනි කොටස)


තායිලන්තයේ කාලයක් වැඩ විසු මම, ලංකාවේ මීට කලින් වැඩ විසූ පන්සලට නැවත වැඩම කළේ අවුරුද්දකට පමන පසු ය.

මම යන විට පන්සලේ වැඩ සිටි අනිත් පොඩි හාමුදුරුවන්ට පොඩි පොඩි තෑගි භෝග ද ගෙන ගියෙමි. පන්සලේ ලොකු හාමුදුරුවන් දැක බලා ගැනීමට මම උන්වහන්සේගේ කුටියටම වැඩියෙමි.

"‘ලොකු හාමුදුරුවො අසනීපෙන් එක්තැන් වෙලා.‘‘

මා සිටි කාලයේ ස්වාමීන් වහන්සේලාට ආවතේව කරමින් සිටි විල්සන් අයියා ඒ වනවිට පන්සලේ නොසිටියේ ය. ඒ වෙනුවට වෙන වයසක මාමා කෙනෙකු භික්ෂූන් වහන්සේලාගේ ඇප උපස්ථානයට පැමිණ ඇත.

‘‘කෝ විල්සන් අයියා?‘‘ මම පොඩි නමකගෙන් ඇසීය.

පොඩිනම සිනාසුණහ.


“‘විල්සන් අයියා පන්සලට එන ගැහැනු කෙනෙක් එක්ක පැනලා ගියානේ...දැන් ඈතක පවුල් කනවලු.‘‘


“‘එහෙමද? එතකොට දැන් කවුද ලොකු හාමුදුරුවෝ බලා ගන්නෙ‘‘?


‘‘ඔය ඉන්න වයසක මාමා තමයි බලාගන්නේ. අපිත් උදවු කරනවා."‘

මම ලොකු හාමුදුරුවන්ගේ කුටියට ගියේ දුකෙන්මි. මම පිරිවෙනෙන් අස් වී විශ්වවිද්‍යාලයට යන්නට පැමිණි දින සිට මා හට උදවු උපකාර කරමින් මා බලා ගත් ලොකු හාමුදුරුවෝ එක්තැන් වී ඇත. ලොකු හාමුදුරුවන්ගේ කුටියෙන් එන බෙහෙත් ගඳ මිශ්‍ර වෙනත් අපවිත්‍ර ගඳ මට උහුලන්න බැරි තරම් විය. දෑසට නැගුණු කඳුළු බිඳුවක් සමඟින් මම ලොකු හාමුදුරුවන්ගේ සයනය වෙත ගොස් ලොකු හාමුදුරුවන්ගේ අත අල්ලා ගත්තෙමි.

‘‘ලොකු හාමුදුරුවනේ මේ මම විපස්සි හාමුදුරුවෝ. තායිලන්තයේ ඉදන් ඊයේ රෑ වැඩම කලේ‘‘


මාගේ කටහඬ ඇසී, ඇස් ඇර අමාරුවෙන් මා දෙස බැලූ ලොකු හාමුදුරුවෝ ටික වේලාවක් මා දෙස බලා සිටියේ එක් ඇසකින් කඳුළු බිඳුවක් බේරී යද්දී ය.


‘‘විපස්සි... හාමුදුරුවො කවද්ද වැඩම කළේ‘‘?

දුර්වල හඬකින් මාගේ අත අල්ලා ගත් ලොකු හාමුදුරුවන් ඇසුවේ මා දෙස බලා සතුටින් යැයි මට සිතේ..


"ඊයේ රාත්‍රියේ, දැන් කොහොමද ලොකු හාමුදුරුවන්ට?....


‘‘කියන්න හොඳක් නෑ. ඇඟපත පණ නෑ. නැගිටලා වාඩිවෙන්න බෑ.‘‘


‘‘මා ළඟ සිටි පොඩි හාමුදුරු නමකගෙන් ලොකු හාමුදුරුවන්ගේ වෛද්‍ය සහතිකවල තිබූ දෑ හා දොස්තර මහතා කිව් දේ අසා දැනගත් මා, ලොකු හාමුදුරුවන්ගේ ආවතේව වැඩ කිරීමට මමම භාරගත යුතුයැයි කැමැත්තෙන්ම සිතා ගත්තෙමි.

තායිලන්තයේ සිට පැමිණි දිනට පසු දින මම තව පොඩි හාමුදුරු නමකගේ උදවු ඇතිව ලොකු හාමුදුරුවන්ව කුටියෙන් එළියට උස්සා ගෙන ගොස්, පුටුවක හිඳුවා, වතුර උණු කර හොඳින් කුණු අතුල්ලා නෑවුවෙමි.


‘‘ලොකු හාමුදුරුවන්ට ලොකු අසනීපයක් නෑනේ...ටිකක් දුර්වල වෙලා. හොඳට පිරිසුදුව ඉඳගෙන, හොඳට දානය වැළඳූ විට ඔබ වහන්සේට ඉක්මනට සනීප වෙයි.‘‘


‘‘උණු වතුර පොඳක් ඇඟට වැටුණම හරි සනීපයි.‘‘

ලොකු හාමුදුරුවෝ අමාරුවෙන් වචන පෙළ ගසයි


“ලොකු හාමුදුරුවෝ ටික වේලාවක් මේ පුටුවේ ඈඳිගෙන අව් රශ්මිය විඳින්න. ඇඟට අව් රැල්ලක් වැටුණම හොඳයි.‘‘


‘‘ලොකු හාමුදුරුවො එහෙනම් මේ කොත්තමල්ලි වතුර ටික වළඳන්නකො, මෙතන ඈදිගෙනම. මං කාමරය අස්පස් කරල එන්නම්.‘‘


ලොකු හාමුදුරුවන්ගේ කුටියේ දොර ජනෙල් ඇර දැමූ මා, එහි තිබූ සියලු ඇඳ ඇතිරිලි අස්කර, කොට්ට මෙට්ට අව්වට දමා වේලන්න හැරියේය. මුළු කාමරයේ ම මකුණු දැල්, දූවිලි පිහිදා විෂබීජ නාශයකින් සෝදා පිරිසුදු කළෙමි.


‘‘ලොකු හාමුදුරුවනේ ඇඳේ මෙට්ටය තව ටිකක් වේලන්න ඕන. එතකම් ඔබවහන්සේට මේ පුටුවේ තව ටික වේලාවක වැඩ හිඳින්න පුළුවන් ද?


‘‘පුළුවන් විපස්සි හාමුදුරුවනේ. කාලෙකින් හුළං ටිකක් වැදෙන්න එළියට ආවේ, හුස්ම ගන්නත් පහසුයි. කුණු අතුල්ලලා මාව නෑව්වායින් ඇඟට පුදුම සනීපයක් දැනෙනවා.‘‘


‘‘මං මුළු කාමරයේ ම දූවිලි පිහිදා, හෝදලා දැම්මා. තව ටිකකින් කොට්ට මෙට්ට ගිහින් දාලා ඇඳ හදල ඉවර වුණා ම ඔබ වහන්සේට සැතපෙන්න පුළුවන්.‘‘


‘‘ ඔබ වහන්සේට බොහොම පිං ...කාලෙකින් වතුර නෑවේ..ඒ නිසා වෙන්න ඇති අද නම් මට බඩගින්නක් දැනෙනවා පොඩිතැන.‘‘


‘‘එහෙමද, එහෙනම් මං ඉක්මනට දානෙට දෙයක් අරන් එන්නම්.‘‘


මම කුස්සියට ගොස් එදින දානයට ගෙනත් තිබූ වේල් දානයෙන්, සුදු බත්, වැටකොළු හොඳි, පරිප්පු, බිත්තරයක් සමඟ බත් බෙදා ගෙනැවිත් ලොකු හාමුදුරුවන්ට කැව්වෙමි. පොඩි දරුවෙකු සේ කට ඇර, මා කවන බත් වළඳන උන්වහන්සේ ගැන මට දුක සිතිණි.


“විපස්සි හාමුදුරුවන්ට බොහොම පිං” ලොකු හාමුදුරුවෝ මට පිං දුන්හ.


“බුදුරජාණන් වහන්සේ වදාළේ ගිලනුන්ට උපස්ථාන කිරීම මහඟු පිංකමක් කියා යි. ඔබවහන්සේටද බුදුරජාණන් වහන්සේ වදාළ සේ ම බොහෝ පිං සිදු වෙනවා"‘උන්වහන්සේ කීය.


හොඳින් අව්වේ වේළුණු කොට්ට මෙට්ට සයනයට දමා අලුත් ඇඳ ඇතරිලි, කොට්ට උර දමා කාමරය පිළිවෙළකට පිරිසුදු කළ මම, ලොකු හාමුදුරුවන් හරහට වඩාගෙනවිත් සයනයේ තැබුවෙමි. උන්වහන්සේ දැන් බොහෝම දුර්වලව කෙසඟ වී ඇත.

‘‘ලොකු හාමුදුරුවනේ දැන් ටිකක් සැතපෙන්න. මං ඔබවහන්සේගේ සිවුරු ඇඳ ඇතිරිලි හෝදලා දාලා එන්නම්.‘‘

‘‘හොඳමයි විපස්සි හාමුදුරුවනේ. ඔබවහන්සේ ලංකාවට නැවත වැඩම කිරීම මට හරි සතුටක්.‘‘


ලොකු හාමුදුරුවන්ව වැසිකිළියට ගෙන යෑම, සෝදා පවිත්‍ර කිරීම, සිවුරු සෝදා පිරිසුදු කරදීම ආදී සියලු උන්වහන්සේගේ වැඩකටයුතු සොයා බලා කිරීම මා අතින්ම සිදු විය. උන්වහන්සේ ඒ ගැන මට නිතර ම පිං දුන්හ. කිසිම අකැමැත්තක් නොපෙන්වා මා ඒ සියලු දේ කළේ ඉතා කැමැත්තෙනි.

මේ වනවිට අලුතින් පන්සලේ නැවතී විශ්වවිද්‍යාලවලට හා පිරිවෙනවලට යන බොහෝ භික්ෂූන් වහන්සේලා එහි වැඩවිසූහ. උන්වහන්සේලාට හීල් දානය පන්සල තුළ ම සාදා දීම කරයි. දහවල් දානය උන්වහන්සේලා පිරිවෙන් හෝ විශ්වවිද්‍යාල කැන්ටිමෙන් වළඳති. බොහෝ විට අවට පදිංචි දායකයන් පන්සලට දානය ගෙනෙන්නෙ ලොකු හාමුදුරුවන් හා දිගට ම පන්සලේ නැවතී සිටි ස්වාමීන් වහන්සේලාට පමණි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාට සෙනසුරාදා, ඉරිදා හා පොහොය දිනවලට උපාසක ඇත්තන්ගේ ගෙවල්වල ඇති සාංඝික දානවලට සහභාගි විය හැකිය. උන්වහන්සේලා එළිවෙන තෙක් සජ්ඣායනය කරන මහ පිරිත් සජ්ඣායනවලට සහභාගි වෙති. කාලයක් පන්සලේ වැඩ සිටි භික්ෂූන් වහන්සේ නමක් ලෙස හා ගමේ උපාසක උපාසිකාවන් අතර හොඳ නමක් දිනූ භික්ෂූන් වහන්සේ නමක් ලෙස මා හට මෙම පන්සලේ දිගට ම වැඩ සිටිය හැකි බව ලොකු හාමුදුරුවෝ පැවසූහ.

"විපස්සි හාමුදුරුවන්ට ලොකු හාමුදුරුවන්ගෙ වැඩි සැලකිලි නිසා අඩුපාඩුවක් නැතුව දානය හම්බවෙනවා. අපට තමයි දානෙවත් වෙලාවට ලැබෙන්නෙ නැත්තේ.‘‘

‘‘එහෙම තමයි ඉතිං රටරටවල්වලට ගිහින් වැඩියම.‘‘

මට ඇසෙන්න නොඇසෙන්න ගානට පොඩි භික්ෂූන් වහන්සේලා කතා වෙති. ගිහි පැවිදි දෙපිලම එක වගේ යැයි ඒ වෙලාවට මට සිතෙයි.

තායිලන්තයේදී හමු වූ වෙන රටවල සිට වැඩම කළ භික්ෂූන් වහන්සේලා සමඟ මම නිතර ලිපි හුවමාරු කර ගත්තෙමි. ඔවුන් වැඩ වෙසෙන පන්සල්වල තොරතුරු, රටතොට තොරතුරුද ඔවුහු මට නිතර ලියා එවති. ඔවුන්ගේ අදහස මා ද ඔවුන් මෙන් විදේශ රටක පන්සලක වැඩ වෙසෙන්න යන එක හොඳ බව ය.

ලොකු හාමුදුරුවන්ගේ ආවතේව කරමින්, උන්වහන්සේ රැකබලා ගනිමින්, පන්සලේ වැඩටද මම උපරිමයෙන් ම උදවු කළෙමි. අනාගතය ගැන කිසිදු විශේෂ බලාපොරොත්තුවක් නොතිබුණු මම, එදා දවසේ කළ යුතු වැඩ ගැන නිතර සොයා බලමින් දැහැමින් සෙමින් ජීවත් වූයෙමි. නමුත් මෙහි වෙසෙන අනෙක් ස්වාමීන් වහන්සේලා මා කරන කියන දෑ, අනාගතයේ පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේගේ පදවිය බලාගෙන කරනවා යැයි අනවශ්‍ය සැකයක් ඇතිකර ගෙන තිබුණි. ඔවුන් මා සමඟ කතාබහ කළේ ද නුහුරට ය. ගිහි ජීවිතය ගැන කලකිරී පැවැදි ජීවිතයට ආ මට පැවිදි ජීවිතය ගැන ද කලකිරෙන්න පටන් ගෙන තිබුණේ මෙහි වැඩවෙසෙන අනෙක් ස්වාමීන් වහන්සේලාගේ ගතිපැවතුම් නිසා ය.

--නැවත හමුවෙමු --


**ප්‍රිසිලා ගොඩහේවා **

5 views0 comments

Recent Posts

See All

*එතෙරින් එතරට *

(22 වෙනි කොටස ) වාහනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් එකදිගට ගමන් කරයි. කොරියන් රියැදුරු මගෙන් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් ඇසීය. මට කිසිදු...

Comments


bottom of page