top of page
  • Writer's picturePrisila Godahewa

**එතෙරින් එතරට**

(14 වන කොටස ) තායිලන්තයට

ආවේණික යැයි කිව හැකි මල්වලින් මල් වට්ටිය පිරී තිබුණි. මම ඔහු දුන් මල් වට්ටිය හා පැන් වීදුරුව බුදුරජාණන් වහන්සේට පූජා කර, දොහොත් මුදුන් තියා වැන්දෙමි.

බිම අසුන් ගැනීම සඳහා බුදුගෙයි පසෙක තිබූ හතරැස්, හීනි කොට්ටයක් ගෙන බිම තබා, එහි එරමිණියා ගොතා ගෙන වාඩි වූ මම, බුදුන් වැඳ පිරිත් ද කියා ටික වේලාවක් භාවනා කළෙමි.


‘‘විපස්සි හාමුදුරුවො බුදුන් වැන්දලා ඉවරද?


‘‘එහෙමයි හාමුදුරුවනේ.‘‘


‘‘එහෙනම් යමු. ගිලන්පස වළඳන්න. විපස්සි හාමුදුරුවන්ට වේලාසන නිදාගන්න පුළුවන් එතකොට.”


‘‘හොඳමයි හාමුදුරුවනේ.”‘


‘‘අපි උදෑසන 4.30 වෙනකොට අවදි වෙනවා. ඊට පස්සෙ මූණකට සෝදා ගෙන, බුදුන් වැඳලා, පන්සලේ අතුපත ගාන වැඩ එහෙම කරනවා. උදේ 4.30ට එලාම් එක තියලා ඔබ වහන්සේත් අවදි වුණොත් හොඳයි."


‘‘හොඳමයි හාමුදුරුවනේ.‘‘


අපි පන්සලේ දාන ශාලාව යැයි කිව හැකි, සාමාන්‍ය ප්‍රමාණයේ ශාලාවකට ගොස් එහි තිබු මේසයක පුටුවල වාඩි වී අපට රෑට වළඳන්නට සකසා තිබූ සුප් වතුර බොන්නට පටන් ගත්තෙමු. එළවළු එකට අඹරා සාදා තිබූ සුප් බඳුන විශේෂ එකකි..


“රෑට ඕන වුණොත් තේ, කෝපි, කිරි කුස්සියේ තියෙනවා. ඇවිත් හදාගෙන වළඳන්න.‘‘


“‘හොඳමයි හාමුදුරුවනේ.‘‘

රෑට පිළිගැන්වූ සුප් වතුර වැළඳූ මම, මගේ කාමරයට ගොස් සැතපුණේ හොඳටම මහන්සි වී සිටි බැවිනි. පැය ගානක ගුවන් ගමනට වඩා ලංකාවේ පන්සලේ සිට බන්ඩාරනායක ගුවන් තොටුපොළට එන දිනට ප්‍රතම රාත්‍රියේ සිට මට නින්දක් නොවීය. එබැවින් ඇගපත සෝදාගත් කල දැඩි නිදිමතක් ඇතිවිය. අලුත්, පිරිසුදු කාමරයක හොඳ දේශගුණයක් ඇති, කිසිදු සද්දබද්දයක් නැති තැනක ඉතා පහසු මෙට්ටයක් උඩ මට වැටුණු ගමන්ම නින්ද ගියේය.

මට නැවත ඇහැරුණේ උදෑසන 4.30ට ඔරලෝසුවේ එළාම් එක වදින විට ය. සුළු වේලාවක් එලෙස ම සිටි මම, නැගිට මූණකට සෝදා ගෙන කාමරයෙන් එළියට ගියෙමි. දාන ශාලාවට ගිය මට පන්සලේ ආවතේව කරන පුද්ගලයා කිරි කෝපි කෝප්පයක් අතට දුන්හ. එය බී මම බුදු මැදුරට යන විට පන්සලේ ලොකු හාමුදුරුවන්ද එහි වැඩ සිටියහ. දෙදෙනාම එක්ව බුදුන් වැඳ භාවනා කළේ එකට ම ය.

තායිලන්ත බෞද්ධ විහාරවල වැඩ සිටින බෞද්ධ ස්වාමීන් වහන්සේලා එම රටේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්හා තායිලන්ත බෞද්ධ ජනයා වෙනුවෙන් ආගමික පැත්තෙන් විශාල සේවයක් කරති. සෑම මාසයක ම පසළොස්වක පොහොය දිනට කිට්ටු ළඟම ඇති සෙනසුරාදා හෝ ඉරිදා දිනක සිල් වැඩසටහනක් පවත්වයි. භාවනා වැඩසටනක්ද, බෝධි පූජා වැඩසටහන් ද ආදී බෞද්ධ වැඩසටහන්වලට ශ්‍රී ලාංකිකයන් සහභාගි වනුයේ ඉතා ඕනෑකමිනි. ශ්‍රී ලංකාවේදී සේ ම තායිලන්තයේදීද එම කටයුතු වලට මම ඉතා ඕනෑ කමින් සහභාගි වන්නෙමි. උපාසක උපාසිකාවන්ට උදව් උපකාර කරන්නෙමි. .

දහවල් දානයට හා හීල් දානයට එරට ජීවත් වන ශ්‍රී ලාංකිකයෝ දානය රැගෙන පැමිණෙති. දානයක් නැති දිනට පන්සලේ වැඩට සිටින පුද්ගලයා අපට දානය සාදා පිළිගන්වයි.

‘‘විපස්සි හාමුදුරුවනේ, උදේ වැඩ කොටස ඉවර වුණාම අපි ටිකක් රටතොට ඇවිදලා එන්න යමුද?‘‘


‘‘හොඳමයි හාමුදුරුවනේ.‘‘


‘‘එහෙනම් ලක ලෑස්ති වෙලා වඩින්නකෝ. අපි බස් එකෙන් යමු ටවුමට. ඊට පස්සේ ඒ පැතිවල ඇවිදලා එහෙම එමු. අපට දවල් දානය ටවුමෙන් ගන්න පුළුවන්".

ලොකු හාමුදුරුවන් සමඟ පන්සල ළඟ තිබූ බස් නැවතුම්පළෙන් තායිලන්තයේ අග නගරය බලා ගිය අපි, රටේතොටේ සිරි නැරඹුවෙමු. දකින දකින හැම දේකම ඇත්තේ ඇසට ප්‍රිය දසුන් හා හැම දෙයක්ම මට අමුතුය. කොපමණ වෙලා ඇවිද්දත් ඇති නොවේ...කොපමණ බැලුවත් ඇති නොවේ.


‘‘මෙහෙ ඉන්න මිනිසුන්ටත් වැඩිය ඉංග්‍රීසි බෑ. ඒ උනාට අපට මේ මිනිස්සුත් එක්ක කතා කරන්න තියෙන්නේ ඉංග‍්‍රීසි බාසාවම තමයි . ඒ මිනිස්සු උත්සහ ගන්නවා, පුලුවන් විදිහට ඉංග‍්‍රීසි කතා කරන්න . ඒ නිසා විපස්සි හාමුදුරුවොත් ඉංග්‍රීසි ටිකක් කතා කරන්න ඉගෙන ගන්න ඕනෑ. නැත්නම් මෙහේ අය එක්ක ගනුදෙනු කරන්න අමාරුයිනේ.‘‘


"මට ඉංග්‍රීසි පන්තියකටවත් යන්න තිබුණොත් ලොකු හාමුදුරුවනේ.‘‘


‘‘දැන් ඔය අපේ සුබෝධ හාමුදුරුවෝ, මං කිව්වේ නිවාඩුවකට සංචාරයකට ගිහින් කියල, ඒ උන්නාන්සේට හොදින් ඉංග්‍රීසි කතා කරන්න ලියන්න හැකියාව තියෙන නිසා උන්වහන්සේට පුළුවන් විපස්සි හාමුදුරුවන්ට උදවු කරන්න. මං උන්නාන්සේ වැඩියම කියන්නම්කො ඔබ වහන්සේට උදවු කරන්න කියලා ඉංග්‍රීසි කතා කරන්න ‘‘


‘‘ලොකු දෙයක් හාමුදුරුවනේ. කොයි දවස්වලට ද සුබෝධ හාමුදුරුවෝ තායිලන්තයට වඩින්නේ‘‘?


“‘තව සුමාන දෙකකින් වඩිනවා. මේ පන්සලේ කඨින පිංකමට, තව මේ රටේම තියෙන ලංකාවේ අනික් පන්සල්වල හාමුදුරුවරුවොත් ඒ පිංකමට මෙහෙට වඩිනවා. අපට එන සුමානෙ ඉඳන් ගොඩක් වැඩ තියෙයි, ඒ උත්සවය වෙනුවෙන්. ඔබ වහන්සේත් ඒ වැඩවලට උදවු කරන්න ඕනෑ‘‘


‘‘එහෙමයි ලොකු හාමුදුරුවනේ. මං හරි කැමැතියි ඒ වගේ වැඩවලට.‘‘

මට තායිලන්තයට වැඩම කළ මුල් සුමානයේ ලොකු හාමුදුරුවන් සමඟ තායිලන්තයේ විශේෂ ස්ථාන, සාප්පු ගොඩනැගිලි, පාරවල්, මුහුදු වෙරළ ආදී බොහෝ තැන් බලන්න යෑමට අවස්ථාව ලැබුණි. ජීවිතේ මුල් ම වරට පිටරටකට ආ මට අලුතෙන් බලන්න බොහෝ දේවල් තිබුණි. ඒ වගේ ම මේ පන්සලේ වැඩකටයුතු කරන ආකාරයද මම හොඳින් ඉක්මනින්ම ඉගෙන ගත්තෙමි. සවසට බෞද්ධ ජනයාට බෝධීන් වහන්සේ ඉදිරිපිට පවත්වන බෝධි පූජාව, ලොකු හාමුදුරුවන් මට කරන්න නියම කළහ. මා එය ඉතාමත් ඕනෑකමින් හා ආසාවෙන් කළ දෙයකි. සෙනසුරාදා හවස බෝධි පූජාවට ලාංකික බෞද්ධයන් බොහොමයක් පැමිණෙති. ඔවුහු ඉතා ඉක්මනට මා සමඟ මිතුරු වූහ.


‘‘විපස්සි හාමුදුරුවො හොඳට බෝධි පූජාව කරනවා. තව ගොඩක් කාලයක් මෙහේ වැඩ ඉන්නවද ඔබ වහන්සේ ?.... තරුණ දායකයන් මා සමඟ ඉක්මනට ම මිතුරු වී ඇත.


‘‘අපේ තාත්තා නැති වෙලා අවුරුදු දහය පිරෙන දිනයට ගෙදර බණක් කියල, දානයක් දෙන්න ආසයි. කොහොමද විපස්සි හාමුදුරුවනේ ඒක ලෑස්ති කරන්නේ.‘‘


‘‘මං ලොකු හාමුදුරුවන්ට කියල ඒක ලෑස්ති කරවන්නම්කෝ. ඔය ඇත්තො ගෙදර කරන්න ඕන වැඩකටයුතු ලෑස්ති කරල තියන්නකෝ.‘‘

දායකයන්ගේ සියලු ඕනෑ එපා කම් මැදිහත් වී විසදන්නෙමි.

කඨින පිංකමට තව පන්සල්වලින් හාමුදුරුවරු දොළොස් නමක් පමණ පැමිණ පන්සලේ නවාතැන් ගත්හ. ඔවුන් දුරබැහැර පන්සල්වල ස්වාමීන් වහන්සේලා ය. මා හට ඔවුන් සමඟ සතුටු සාමිචියේ යෙදෙන්න අවස්ථාව ලැබීම ඉතා වටිනා අවස්ථාව ක් විය .

“‘දැන් විපස්සි හාමුදුරුවො මේ පන්සලට වැඩම කරල ඉන්න එකේ එන පාර අපිත් එක්ක පැරිසිය, එංගලන්තය වගේ රටවලටත් නිවාඩුවකට එහෙම වැඩම කරලත් එන්න යන්න එන්න පුළුවන්‘‘


"‘මාත් කැමැතියි රට තොට බලාගන්නනම්.‘‘


“‘ඒ රටවල තියෙන ලංකාවේ පන්සල්වල අපට නවාතැන් ගන්න පුළුවන්. ඉතිං ගුවන් ටිකට්පතට විතරයි වියදම යන්නේ.‘‘


“‘ඒ සල්ලි නම් හොයා ගන්න අමාරුවක් නෑ. මේ පන්සලට එන දායකයන්ගෙනුත් පිරිකරවලට ලැබෙන්නෙත් මුදල් නේ. අපට ඉතිං මුදල් වියදම් කරන්න අවස්ථාවක් ඇත්තෙත් නැති නිසා මං මුදල් පොතේ දාලා තියාගෙන ඉන්නේ.‘‘


පන්සලේ කඨින පිංකම ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එයට විවිධ පන්සල්වලින් ස්වාමීන් වහන්සේලා වැඩම කෙරිණි. ලංකාවේ පන්සල්වලින් වගේ ම කොරියන්, තායි පන්සල්වලින් ද කඨින පිංකමට ස්වාමීන් වහන්සේලා හතළිස් නමක් පමණ වැඩම කළහ. ඒ කාලය මට ඉතා කාර්යබහුල කාලයක් විය. තායිලන්තයේ පදිංචි වී සිටින සිංහල බෞද්ධ සංගම්වලින් ඒ උත්සවය හොඳින් සංවිධානය කර තිබිණි. පන්සලට ඔවුහු දැඩි ලෙස උපකාර කරති. ඔවුන්ගේ තරුණ, මහලු, බාල සැමට ම දැක ගැනීමට, සහභාගි වීමට ලැබෙන විශේෂ අවස්ථාවක් වන කඨින පිංකමට ඔවුහු ඉතා ඕනෑකමින් ඉදිරිපත් වී උදවු උපකාර කරති.

කඨින පිංකමට පැමිණ අප පන්සලේ නවාතැන් ගත් සියලු ස්වාමීන් වහන්සේලා මට හඳුනා ගැනීමට ලැබීම ඉතා විශේෂ අවස්ථාවක් විය.


‘‘විපස්සි හාමුදුරුවෝ අපේ පන්සලටත් වැඩම කරන්න. අපි එනපාර යන එංගලන්ත ගමන එකටම යමු. රටතොට බලාගන්න ලැබෙන එක ලොකු දෙයක්නේ.‘‘


"‘දැන් විපස්සි හාමුදුරුවෝ මේ තායිලන්තයේ ඉන්න අවුරුද්ද ඉවර වුණා ම ලංකාවට වඩින්න ද හිතන් ඉන්නේ?‘‘


‘‘එහෙමයි.‘‘


‘‘කැමැති නැද්ද මේ වගේ රටක පන්සලක ජීවත් වෙන්න?‘‘


‘‘මොකද අකැමැති. අවස්ථාවක් හම්බ වුණොත් මෙහේ වුණත් දිගටම ඉන්න කැමැතියි.‘‘


"‘ඒක තමයි අපි මේ පන්සල්වල වැඩවාසය කරමින් මේ රටවල ඉන්න බෞද්ධ ජනයාට කරන්නෙ ලොකු සේවයක්නේ... ලංකාවේ නම් ඕනතරම් භික්ෂූන් වහන්සේලා වැඩ හිටිනවා. මේ වගේ රටවල ඉන්න සිංහල බෞද්ධයන් වෙනුවෙන් අපි යමක් කරන එක ලොකු දෙයක්නේ.‘‘


කඨින පිංකමේදී දැනහඳුනා ගැනීමට ලැබුණු ස්වාමීන් වහන්සේලා වැඩ සිටින පන්සල්වලට ගොස් ඒවා දැක බලා ගන්නත්, ඔවුන් සමග තායිලන්තයේ විශේෂ ස්ථාන බලාකියා ගැනීමටත් මට අවස්ථාව ලැබිණි. කාලයක් යන විට මට මේ වගේ රටක නවාතැන් ගන්නට ඇත්නම් යැයි සිතිණි. නමුත් මාගේ තායිලන්ත වීසා අහවර වී අවුරුද්දකින් ලංකාව බලා නැවත වැඩම කරන්නට සිදු වෙයි. දිනෙන් දින මම ලංකාවට යන දිනය ළං වෙන්න පටන් ගෙන ඇත. ඒ ගැන ඇත්තේ දුකකි. ඉතා හොද පහසුවෙන් මම මෙහි ගතකල අවුරුද්ද හරි ඉක්මනටම ගෙවි ගියේය.


‘‘ඔබ වහන්සේ ආයෙත් වීසා අලුත් කරගෙන මෙහෙටම වඩින්න.”

මා ලංකාව බලා යන දින තායිලන්ත පන්සලේ ලොකු හාමුදුරුවෝ මට නැවත පැමිණෙන්න ආරාධනා කළහ.

‘‘හොඳමයි හාමුදුරුවනේ.‘‘

නැවත හමුවෙමු


**ප්‍රිසිලා ගොඩහේවා**

4 views0 comments

Recent Posts

See All

*එතෙරින් එතරට *

(22 වෙනි කොටස ) වාහනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් එකදිගට ගමන් කරයි. කොරියන් රියැදුරු මගෙන් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් ඇසීය. මට කිසිදු...

Comentários


bottom of page