top of page
  • Writer's picturePrisila Godahewa

**එතෙරින් එතරට **


(දහතුන් වෙනි කොටස 13)


සියලු කටයුතු අහවර කර ගුවන්යානයට නැගුණු පසු, ජීවිතයේ මුල් ම වරට ගුවන්යානයක් තුළට නගින්න ලැබීම ගැන මට සතුටක් ඇති විය. මාගේ ආසනය අසලටම ලංකාවේ තවත් පිරිමි කෙනෙකුද වාඩි වීමට පැමිණීම මට සතුටක් විය. ඔහු මාගේ ළඟ ආසනයේ වාඩි වීමට ප්‍රථම මට වැඳ, වාඩි වී ආසන පටි පැලඳ ගත්තේය. ඉන් පසු මටද ආසන පටි පැලඳ ගැනීමට උදවු කළේය.

"හාමුදුරුවන්ගේ පළවෙනි පිටරට ගමනද ….. ?

"එහෙමයි මහත්තයා, මහත්තයා කොහේද මේ යන්නේ?‘‘


“‘මං චීනෙට යන්නෙ. මුලින් තායිලන්තයට ගිහින් ඒ හරහා තමයි මට යන්න තියෙන්නෙ.‘‘


‘‘එහෙමද?

"ඔබ වහන්සේ කොහාටද වඩින්නේ ?


“මම තායිලන්තයට යන්නෙ. මේ මගේ මුල් ම පිටරට ගමන, මට සතුටුයි මහත්තයා වගේ කෙනෙක් ළඟ වාඩි වෙන්න ලැබීම.‘‘


‘‘හාමුදුරුවන්ට ඕන දෙයක් මට කියන්න, මං උදවු කරන්නම්.‘‘


“‘බොහොම ස්තුතියි.”

ගුවන්යානයේ ජනේලයක් ළඟම මට අසුන් ගැනීමට හැකි වූ බැවින් එළිය බලාගෙන යන්නට ලැබීමත් වාසනාවක්ය.

ගුවන්යානය, ගුවන්ගත කිරීම පටන් ගත්තේය. එය මට ටිකක් තිගැස්මක් ඇතිකළ දෙයක් විය. මම සිතින් තුන් සූත්‍රය කියන්න පටන් ගත්තෙමි. මෙතරම් විශාල යානයක් කොහොමද අහසට නගින්නේ………. මට හිතා ගැනිමටවත් නොහැකි දෙයකි. යානය ඉහළ අහසට යනතෙක් මා සිටියේ හුස්ම අල්ලාගෙන ය. කවුළුවෙන් එළිය බැලූ කල, පල්ලෙහා වීදි, ඉඩකඩම්, ගෙවල් පෙනී නොපෙනී යන හැටි දකින්න ලැබිණි. එය කිව නොහැකි තරම් මනරම් දසුනකි. ඈතින් මුහුද ය, පහළින් හෙල්මලු ක්‍රමයට වගාකළ කඳු වළලු ය. ගිනිපෙට්ටි තරම් පොඩි ගෙවල් පෙනී නොපෙනී යයි. සුළු වේලාවක් යන විට පුළුන් රොදවල් පමණක් දක්නට ලැබිණි. ඒ වලාකුළු යැයි මට සිතිණි. ඒ දෙස බලාගෙන සිටියදී, පුළුන් රොදවල් වැඩි වී පහළ ගොඩබිම නොපෙනී යන්න පටන් ගත්තේ ය. ඉන් පසු පෙනුණේ පුළුන් ගොඩවල් වැනි වලාකුළු ය. ගුවන්යානය පුළුන් ගොඩ මැදින් ඉදිරියට ඇදී යයි. මා ජීවිතයේ මුල් ම වරට දුටු එම ලස්සන දසුන කොයිතරම් නම් අගනේ ද? දැන් එළියේ ඇත්තේ නිල් පාට හා සුදු පාට පුළුන් වලා ය. ටික වේලාවක් මා ඒ දෙස බලා ඉද්දී භාවනා කරන්න නම් මෙය හොඳ දසුනක් යැයි සිතිණි.


“හාමුදුරුවනේ බොන්න මොනවහරි ගිලන්පසට අරන් දෙන්නද?


“හොඳමයි මහත්තයා‘‘. මා සිටියේ දිව ගිලෙන්න තරම් පිපාසයෙනි.

ගුවන් සේවිකාවක් පැමිණ බීම වීදුරු වගයක් අතේ තියාගෙන අප ඉදිරිපිට හිටගෙන සිටියි. ඇය ඇඳ සිටින්නේ රෙද්ද හැට්ටයකට සමාන තායිලන්ත ජාතිකයන්ගේ සාම්ප්‍රදායික ඇඳුම යැයි මම සිතුවෙමි. ඇයගේ ඇස් හීනිය. ඇය තායි ජාතික ලඳකි. ඇය සමඟ ඉංග්‍රීසියෙන් කතා කළ මා ළඟ සිටි මහත්තයා මට ඇපල් යුෂ වීදුරුවක් පිළිගැන්වීය. පැය දෙක තුනකට කිට්ටු කාලයක් වතුරවත් නොබී ගුවන්තොටුපළේ සිරි නැරඹූ මට, එම ඇපල් යුෂ වීදුරුව ඉතා රසවත් යැයි සිතිණි.


“‘හාමුදුරුවනේ තව එකක් දෙන්න ද?

"හොඳටම තිබහ වෙලා හිටියේ. කරදරයක් නැත්නම්.‘‘


"‘මොන කරදරයක්ද හාමුදුරුවනේ……. ? අපේ ටිකට්පත්වලට මේවට යන වියදම එකතු කරලයි තියෙන්නේ. කැමති දෙයක් කියන්න ‘‘


“‘එහෙමද?


‘‘ඔබවහන්සේ දවල් දානෙට මොනවද කන්න කැමැති?


“මම මාළු, එළවළු විතරයි වළඳන්නේ මහත්තයා.”


‘‘දැන් වෙලාව කීය ද?

"උදේ‘‘ 11.15යි.‘‘


"වැඩිය පරක්කු නොවී දානය වළඳන්න වෙයි.”


මා ළඟ සිටි මහත්මා ගුවන් සේවිකාවට කතා කර මොනවදෝ ඉංග්‍රීසියෙන් කීය.


"‘ඉන්න හාමුදුරුවනේ, ඉක්මනට දානෙට දෙයක් ගෙනෙයි.‘‘


වැඩි වේලාවක් නොගිහින් තැටියකට තියාගෙන ඇවිත් පොඩිපොඩි කෑම භාජන වගයක් මට දුන්නේ ගුවන් සේවිකාව ය.


‘‘හාමුදුරුවනේ වේලාව පහුවෙන්න ඉස්සර දානෙ වළඳන්න.‘‘


‘‘එතකොට මහත්තයාට කෑම. ‘‘


"‘මට පස්සෙ පුළුවන් ඔබවහන්සේ වළඳන්න. නැත්නම් වෙලාව පහුවෙයි‘‘


දුඹුරු පාට මාළු හොද්දක්, තම්බන ලද කැරට්, ගෝවා එළවළුත් සමඟ බත් පොඩි දීසියක් තිබිණි. මම එය වැළඳීමට පටන් ගත්තෙමි. පිරිවෙනට හා විශ්වවිද්‍යාලයට යන කාලයේ අපට ලැබෙන දෙයක් කන්නට මම පුරුදු වී සිටියෙමි. කවදත් මම මස් වර්ග කෑමට නොගනිමි. එය ගෙදර ඉන්න කාලයේ පටන් කරන්නකි.

තව එළවළු සලාදයක්, පොඩි බනිස් ගෙඩියක්, බටර් පොඩි කැටයක් හා අතුරුපසට කේක් කෑල්ලක් වැනි පුඩිමක් ද තිබිණි. දැඩි කුසගින්නේ සිටි මම එම සියල්ල වැළඳුවෙමි. පසුව තේ හා කෝපි ද පිළිගැන්වීය.


"‘හාමුදුරුවනේ... ටී.වී. එක දාල දෙන්න ද? ඔබ වහන්සේ කැමැති දෙයක් බලන්න පුළුවන්.‘"


“මං මොනව බලන්න ද? දාන්නකෝ මොනවද තියෙන්නෙ බලන්න.‘‘


මගේ කන් දෙකට ඉයර් ෆෝන් එකක් කියා දෙයක් දී, මගේ ආසනය ඉදිරිපිට ඇති ටී.වී. එක දැමූ මා ළඟ සිටි මහත්තයා, එහි පාවෙන රූප ඇති තිරයක් මට පෙන්වීය. මම ඒ දෙස ඔහේ බලාගෙන හිටියේ, තාක්‍ෂණය කොයිතරම් දියුණු ද කියා සිතන ගමන් ය. තිරය තුළ නොයෙකුත් රූප පාවෙයි. බලන්න ලස්සන වටපිටාවල හිතා ගැනීමට නොහැකි දසුන් මවයි. මම වැඩ විසු පන්සල්වල රූපවාහිනී යන්ත්‍ර නොතිබූ බැවින් මට රූපවාහිනී යන්ත්‍රයක් නැරඹීමට අවස්ථාව ලැබී නොතිබිණි. එබැවින් මෙය මට විශේෂ අවස්ථාවක් විය. නමුත් රූප පෙට්ටියේ සිටින අය කතා කරනා කිසිම දෙයක් මට තේරුම්ගත නොහැකි විය.

ගුවන් යානයේ ලව්ස් පීකර් එකේ ඉංගිරිසියෙන් මොනවද කියයි.


‘‘හාමුදුරුවනේ තායිලන්තයට තව පැය භාගයකින් ගුවන්යානය ළඟා වෙනවා කිව්වා.‘‘

ලවුඩ් ස්පීකරයකින් වගේ දෙයකින් සැරෙන් සැරේ ඉංග්‍රීසියෙන් කවුරුහරි ප්‍රවෘත්ති කියයි. ඔවුන් කියන කිසිදු දෙයක් මට නොතේරෙයි. ඒ දේවල් මට නොතේරුණු බව හැඟී ගිය මා ළඟ සිටි මහත්මයා, මට එම ප්‍රවෘත්ති පැහැදිලි කර දුන්නේය.


“‘ඔබ වහන්සේව එක්ක යන්න කවුරුහරි ගුවන්තොටුපළට එනව ද?

‘‘එහෙමයි පන්සලේ ලොකු හාමුදුරුවො වඩිනවා කිව්වා.‘‘*


‘‘එහෙනම් හොඳයි.‘‘

ප්‍රථම වරට ගුවන්යානයක පැමිණි මා විඳි අත්දැකීම් ජීවිතයේ ලැබූ මුල්ම හා ඉතා වටිනාම අත්දැකීම යැයි මට සිතිණි.

ගුවන්යානය තායිලන්තයට පැමිණි බව නිවේදනය කළ පසු මම, මා සමග සිටි මහත්තයා සමග මාගේ බෑගයත් රැගෙන ඉන් පිටතට පැමිණියෙමු.

‘‘මහත්තයාට ස්තුතියි මට කළ උදවුවලට,‘‘


‘‘මම මේ ගුවන්තොටුපළෙන් එළියට යන්නෑ. තව පැය තුනකින් මම චීනය බලා යන ගුවන්යානයට නගින්න ඕන. එන්න මං ඔබවහන්සේට ගුවන්තොටුපළෙන් එළියට යන්න ඕන තැන පෙන්වන්නම්.”


මගෙන් විස්තර අසා ඉල්ලුම් පත්‍රයද පිරවූ ඔහු එය මා අතට දුන්නේය.

‘‘ඔබවහන්සේ මේ ෆෝම් එකයි, මේ ටිකට්පතේ ඉතිරි කොටසයි, පාස්පෝට් එකයි දෙන්න කවුන්ටරයේ ඉන්න කෙනාට.‘‘


‘‘හොඳමයි... එහෙනම් මං ගිහින් එන්නම්.‘‘


“හොඳමයි හාමුදුරුවනේ.‘‘ ඒ මහතා මට වැන්දේය.


‘‘බොහොම පිං මට කළ උදවුවලට.‘‘

ගුවන්තොටුපළෙන් බැහැර වීමේ කවුළුවෙන් පිටතට පැමිණි මා එහි කොරිඩෝව දිගේ ඇවිද ගියේ මාගේ ඇඳුම් බෑගය ද රැගෙන ය. මිනිසුන් එළියට යන දොර අසල විවිධ පුද්ගලයන්ගේ නම් ගසන ලද බෝඩ් උස්සා ගත් මිනිසුන් සිටියේ ගුවන්යානාවලින් පැමිණ සිටි මිනිසුන් පිළිගැනීමට ය. මා අවට බැලූවේ මගේ නම තියෙන බෝඩ් එකක් එහි තිබේදැයි බැලීමටයි . නමුත් මගේ නම තියෙන බෝඩි ලෑල්ලක් එහි නොතිබිණි. තැඹිලි පාට සිවුරක් ඇඳ ගෙන සිටි හිමි නමක් මට ඈතින් දැකගත හැකි විය. මේ නම් මා පිළිගන්නට පැමිණි තායිලන්තයේ පන්සලේ හිමි නම වෙන්න ඇතැයි සිතී මම ඒ දෙසට ගියෙමි. ඈතදීම මා හඳුනා ගත් එම හිමිනම, මා සමඟ සිනාසී මා ළඟට පැමිණියහ. මා පිළිගැනීමට කවුරුන් හෝ පැමිණ සිටීම මට සතුටට කරුණක් විය.


‘‘විපස්සි හාමුදුරුවො ද?


"‘එහෙමයි හාමුදුරුවනේ.‘ මම සිතුවාට වඩා තායිලන්ත පන්සලේ ලොකු හාමුදුරුවෝ තරුණ කෙනෙක් යැයි මට සිතිණි. මම උන්වහන්සේට වැඳ නමස්කාර කළෙමි.

“‘එහෙනම් යමු. මම වැඩියේ කුලී කාරයකින්.”

“‘එහෙමද? හොදමයි හාමුදුරුවනේ "


“යමු එහෙනම්, හාමුදුරුවනේ.”


ගුවන්තොටුපළෙන් එළියට පැමිණි අපි, කුලී කාර් රථයකට නැග ගත්තෙමු. තායිලන්ත පන්සලේ ලොකු හාමුදුරුවෝ චතුර ලෙස ඉංග්‍රීසි කතා කරයි ඔහු කුලී කාර් රථයේ රියැදුරා සමඟ ඉංග්‍රීසියෙන් කතා කරමින් යයි. ජීවිතේට වෙන රටකට නොගිය මා, වාහනයේ කවුළුවෙන් එළිය බලාගෙන ගියේ සතුටිනි. විශාල ගොඩනැගිලි, විශාල පාරවල් වගේ ම තදබදය දැඩි ලෙස තිබූ පාරවල්වලින් එහෙට මෙහෙට දමමින් වාහනය යයි. මම ජනේලයෙන් එළිය බලාගෙන කල්පනා කළේ මගේ ජීවිතයේ අවුරුදු 23ක් පුරාවට ගෙවුණු ආකාරය ගැන ය. මම හිටියේ කොහෙද, අද ඉන්නෙ කොහෙද, මගේ අම්මා, තාත්තා, සහෝදරයෝ, ගම් පළාත, පිරිවෙන, විශ්වවිද්‍යාලය, නැවතී සිටි පන්සල්, මා සමග එකට සිටි හිමිවරුන් හැම දෙයක්ම වගේ සිහි වී මට මා ගැනම සතුටක් ඇති විය. වාහනය තදබදයෙන් තොර පැත්තකට පැමිණියේය. තායිලන්තයේ මිනිසුන්ගේ පෙනුම ලංකාවේ මිනිසුන්ට වඩා වෙනස් ය. ඔවුන් ඉතා පැහැපත් නොහොත් සුදුපාට හම ඇත්තන් ය. ඇස් සිහින්, මහතත් නැති, කෙට්ටුත් නැති පුද්ගලයන් ය. ඔවුන්ගේ සාම්ප්‍රදායික ඇඳුම රෙදි හැට්ට ආදී ඇඳුම් යැයි මට සිතේ. නවීන පන්නයේ කලිසම්, සාය ඇඳගත් ගැහැනුද සිටිති. ලංකාවට වඩා ඉතා දියුණු තත්ත්වයේ ඇති තායිලන්තයේ හැම දෙයක්ම ඉතා පිළිවෙළට පිරිසුදුව ඇත. වාහන තදබදයෙන් තොර පැත්තකට පැමිණි වාහනය, කුඹුරු යායවල් ඇති ගමක් වැනි ප්‍රදේශයකට පිවිසියේය. එම කුඹුරුවල වැඩ කරන මිනිසුන් දුටු විට මට අපේ ගම්වල ගොවියන් මතක් විය. ඔවුන් කලිසම් ඇඳ, කිරි ගොට්ටක් වැනි වේවැල් තොප්පි දමා ගෙන කුඹුරුවල්වල වැඩ කරනු පෙනේ. ගැහැනු අය ද දණිස්සෙන් ටිකක් පහළට දිග කලිසම් ඇඳගෙන වැඩ කරනු දැකගත හැකි විය. ඔවුන් දැකීමත් සමඟ ම මට අපේ ගම්වල කුඹුරුවල වැඩ කරන ගොවියන් සිහි විය.

කඳුහෙල් පෙනෙන මායිමක ඉතා නිදහස්, නගරයෙන් බොහෝ ඈත පරිසරයක ලංකාවේ තායිලන්ත හාමුදුරුවන් වැඩ සිටින පන්සල පිහිටා තිබුණි. එම පන්සල තායිලන්තයේ ගෘහ නිර්මාණයන් අනුව නිර්මාණය කර ඇත. වටේටම මල් වවා ඇති බුදු ගෙයක් හා පුංචි බෝධීන් වහන්සේ නමක් එහි වැඩ වෙසෙයි. එම පන්සලේ ආවාස ගෙය හා බණ මඩුව යැයි සිතෙන ගොඩනැගිල්ල විශාල ලෙස සාදා තිබිණි. අප එම විහාරස්ථානයට ගොඩවැදුණු කල මට පුදුම සතුටක් හා නිදහස් බවක් දැනිණි. ඉතා පිරිසුදු පන්සල, ඕන කෙනෙකුට දැකපු ගමන් ම නවතින්නට තරම් හිතෙන පරිසරයක පිහිටා තිබේ.


“‘විපස්සි හාමුදුරුවනේ... මේ තමයි අපි වැඩවෙසෙන පන්සල.‘‘


“‘හරිම අගෙයි හාමුදුරුවනේ.‘‘

පන්සල අවට පරිසරය පුදුම නිස්කලංක බවක් ඇත.


“මං හිතන්නෙ අපි තායිලන්ත නගරයේ ඉඳන් කිලෝමීටර් 200ක් විතර ඈතකට ආවා කියලයි.”


"එහෙමයි, තායිලන්තයේ අගනගරයේ ඉඳන් කිලෝමීටර් 180ක් විතර දුරක තමයි මේ පන්සල පිහිටා තිබෙන්නේ. විපස්සි හාමුදුරුවන්ට මහන්සි ඇතිනේ. එන්න මං ඔබවහන්සේට ලෑස්ති කරල තියෙන කාමරය පෙන්වන්න.‘‘


‘‘තව ස්වාමීන් වහන්සේලා මෙහි වැඩ හිඳිනවා ද?‘‘ හාමුදුරුවනේ.


“‘එහෙමයි තව එක් නමක් දැනට වැඩ හිඳිනවා. ඒ වගේම නිතර ම වෙන රටවලින් එන බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙහි වැඩම කරනවා. රට තොට බලන්න යන එන ගමන්.‘‘


"‘එහෙමද? මං ඇඟපත දොවා ගෙන එන්නම් එහෙනම් හාමුදුරුවනේ .‘‘

" ඉන්න කෝපි එකක් බීලම වඩින්න. "

කුස්සියේ වැඩ කරන කෙනා මට කෝපි කෝප්පයක් පිලිගැන්විය .

‘‘ දැන් හුඟක් හවස් වුණාත් එක්කනේ ..ඇගපත හෝදගෙන වඩින්න එහෙනම් .‘‘

මට නතර වීමට ලෑස්ති කර තිබූ කාමරය ඉතා පිරිසුදු, ලස්සන එකක් විය. දොර ජනෙල් දමන ලද, බිමට එළන ලද මෙට්ටයක්, මේසයක්, බිත්තියට අල්ලපු ලොකු අල්මාරියක් යන දෑ එහි තිබුණි. කාමරයේ බිම පිඟන් ගල් අල්ලා තිබිණි. ඉතා පිරිසුදු කාමරය දැක මට සතුටු සිතිණි.

දිගු ගුවන් ගමනකින් හා පැය දෙකකට ආසන්න කාලයක් මෝටර් රථයෙන් පැමිණ සිටි මට ඉතා තෙහෙට්ටුවක් දැනුණි. මම එහි තිබූ නාන කාමරයට ගොස් හොඳින් ඇඟ දොවා ගෙන අලුත් සිවුරක් ඇඳගෙන කාමරයෙන් එළියට පැමිණියෙමි.

මම ලංකාවෙන් එන විට ලොකු හාමුදුරුවන්ට ගෙනා ලංකාවේ හොඳ තේ කොළ හා හකුරු මුල් දෙකක් සහිත බෑගය උන්වහන්සේට පිළිගන්වා, වැඳ නමස්කාර කර, උන්වහන්සේගේ එකත් පසෙකින් ඉඳ ගත්තෙමි. මේ දිනවල තායිලන්තයේ ගිම්හාන කාලය බැවින් වැඩි සීතලකුත් නැති, වැඩි රස්නයකුත් නැති දේශගුණයක් එහි තිබිණි. එය ඇඟට සනීප දේශගුණයකි.


"‘කොහොමද මෙහේ හොඳ ද? විපස්සි හාමුදුරුවනේ.‘‘


‘‘බොහොම හොඳයි. හොඳ දේශගුණයක් තියෙනවා.‘‘


‘‘මේ තායිලන්තයේ නැවතිලා රස්සාවල් කරන ලංකාවේ මිනිසුන් මේ පන්සලට නිතර යනව එනවා. අපට ඒ අයගෙනුත්, මේ රජයෙනුත් ආධාර තියෙනවා. ඒ නිසා කරදරයක් නැතිව පන්සල පවත්වාගෙන යනවා.‘‘


‘‘තව ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටිනවා කියලා ඔබවහන්සේ පැවසුවේ... අද පන්සලේ වැඩ හිදින්නේ නැතුව ද?‘‘මම අවට බලමින් ඇසීය.


“‘එහෙමයි උන්වහන්සේ වෙන රටක සංචාරයකට වැඩම කරලා. මේ දිනවල මමත්, කුස්සියෙ වැඩ කරන පිරිමි කෙනත් තමයි ඉන්නේ.‘‘


‘‘පොඩි හාමුදුරුවන්ට රෑට එළවළු සුප් එකක් හදන්න කියල මං කුස්සියෙ වැඩ කරන කෙනාට කිව්වා. අද මහන්සි ඇතිනෙ, වේලාසන ගිලන්පස වළඳලා සැතපෙන්න ගියාට කමක් නෑ. අපට හෙට ආගිය තොරතුරු කතා කරන්න බැරියැ.‘‘


‘‘හොඳමයි ලොකු හාමුදුරුවනේ. මං බුදුගෙට ගිහින් බුදුන් වැඳල එන්නම් එහෙනම් .‘‘

ආවාස ගෙයින් එළියට ආ මට, අවට පරිසරය ඇඳිරි වැටී ඇති බව පෙනිණි. මම බුදුගෙට පිය නගා එහි තිබූ බුදු පිළිමය ඉදිරි පසින් හිට ගත්තෙමි. අලුත් රටක, අලුත් පන්සලක, අලුත් ස්වාමීන් වහන්සේලා සමඟ ගත කරන්න යන ජීවිතයට ප්‍රථම, බුදුන් වැඳ අවසර ගත යුතු යැයි මම සිතුවෙමි. ලංකාවේ පන්සල්වල ඇති බුදු පිළිම වහන්සේලාට වඩා වෙනස් පෙනුමැති රත්රන් පෙනුම ආලේපිත බුදු පිළිම වහන්සේලාගේ වෙනසක් මම දුටිමි. එක එක රටවලට ආවේණික, එනම් තායිලන්තයේ මිනිසුන්ගේ පෙනුමට ගැළපෙන ලෙස මෙහි බුදු පිළිම නෙළා ඇත. ලංකාවේ මිනිසුන්ගේ පෙනුමට ගැළපෙන ලෙස ලංකාවේ බුදු පිළිම නෙළා ඇති ලෙස ය. රටින් රටට බුදු පිළිම නෙළා ඇත්තේ එම රටවල මිනිසුන්ගේ පෙනුමට ගැළපෙන ලෙස යැයි මම සිතන්නෙමි.


‘‘හියර්... ආ.‘‘

මම ගැස්සී පිටුපස බැලුවෙමි. මගේ පිටුපසින් සිටියේ තායිලන්ත ජාතිකයෙකි. දණිස්සට ටිකක් පහළට දිග කලිසමක් හා කමිසයක් ඇඳ සිටි මිනිසා, මා දෙසට මල් වට්ටියක් හා පැන් වීදුරුවක් දිගු කළේය. මේ පන්සලේ හාමුදුරුවන්ට ආවතේව කරන කෙනා යැයි මට සිතේ.


“‘මොන්ක් ගේවි... කැඩුණු ඉංග්‍රීසියෙන් කතා කරමින් ඔහු අතින් පෙන්වූයේ ලොකු හාමුදුරුවන් මල් වට්ටිය මට දුන්නා කියන ලෙස ය.


‘‘තෑන්ක් යූ...‘‘ මම ඔහුගේ අතින් මල් වට්ටිය ගත්තේ සිනා මුසුව ය.

- නැවත හමුවෙමු -

**ප්‍රිසිලා ගොඩහේවා **

3 views0 comments

Recent Posts

See All

*එතෙරින් එතරට *

(22 වෙනි කොටස ) වාහනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් එකදිගට ගමන් කරයි. කොරියන් රියැදුරු මගෙන් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් ඇසීය. මට කිසිදු...

Kommentare


bottom of page