top of page
  • Writer's picturePrisila Godahewa

**එතෙරින් එතරට **

(දොලොස් වෙනි කොටස 12) මගේ විශ්වවිද්‍යාල ප්‍රතිඵල එන තෙක් මම පන්සලේ වැඩවලට වෙනදාටත් වඩා උනන්දුවෙන් සහභාගි වූනෙමි . පන්සලට එන උපාසක උපාසිකාවන්ගේ අවශ්‍යතාවන් හඳුනාගෙන ඔවුන්ට මා උපකාර කරන බැවින් ඔවුන් අතර මා දැන් ප්‍රසිද්ධ කෙනෙක් ය. පන්සලේ විවිධ පන්තිවලට සහභාගි වන ගෑනු ළමයි නිතර මා සමඟ දෙඩීමට පැමිණෙති. පන්සලේ විවිධ උත්සවවලට, එනම් වෙසක් උත්සව කාලයට, කඨින පිංකම්වලට ගමේ දායකයන් සහභාගි වන උත්සවවලට පන්සලේ තරුණ ස්වාමීන් වහන්සේලාද සහභාගි වන නිසා තරුණ ගැහැනු, පිරිමි ළමයි ද වැඩි වැඩියෙන් එම උත්සවවලට සහභාගි වෙති. ඒ තරුණ ළමයින් සතුටින් සිටින කාලවකවානුවයි.

මගේ විශ්ව විද්‍ය්ල ප්‍රතිඵල ආවේ මේ කාලයේදීමය. මම හොදින් සමත් වී තිබීම ලොකු හාමුදුරුවන්ට ද සතුටක් විය. පිරිවෙනක හෝ පිරිමි පාසැලක ගුරු පත්වීමක් ලබා ගැනීම මගේ ඊලග ඉලක්කය විය.

දිනක් ලොකු හාමුදුරුවෝ මාව විශේෂයෙන් උන්වහන්සේගේ ගේ ආවාස ගෙට කැඳවිය.

“ලොකු හාමුදුරුවො මට වඩින්න කිව්වද?

‘‘එහෙමයි, සතුටුදායක ආරංචියක් කියන්න වඩින්න කිව්වෙ….. ‘‘විපස්සි හාමුදුරුවෝ තායිලන්තයට යන්න ඉල්ලුම් කරලා තිබුන විසා එක හරි ගිහින්....තායිලන්තයට යන්න වීසා ඇවිත්."

‘‘අනේ හාමුදුරුවනේ එහෙමද ? මට හරිම සතුටුයි. දැන් කවදද මට තායිලන්තයට යන්න තියෙන්නේ? ඔබ වහන්සේට බොහොම පිං මට මේ ගමන යන්න , වීසා ගන්න උදව් කලාට."

" දැන් ඉතිං ටිකට් එක හදාගෙන ඕන වෙලාවක තායිලන්තයට වඩින්න තමයි තියෙන්නෙ‘‘ උන් වහන්සේද සතුටින් සිනාසෙමින්කීය.

ඔබ වහන්සේ විශ්ව විද්‍ය්ලයේ අන්තිම විභාගෙනුත් හොදින් පාස් උන නිසා මට දැන් තායිලන්තයේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට ඔබ වහන්සේ ගේ ඉගෙනීම ගැනත් ඉහලින් කියන්න පුලුවන්. ඒකත් ඔබ වහන්සේට ඉස්සරහට ගොඩක් ප්‍රයොජනවත් වෙයි. තායිලන්ත සංචාරය ගිහින් ඇවිත් බැරියෑ ඊට පස්සෙ ගුරු පත්වීමකට ඉල්ලුම් කරන්න.

තායිලන්තයට යන්න විසා ලැබුන එක මට ලොකු සතුටක් විය. කිසිදාක පිටරට නොගිහින් තිබුන මම එම රටවල් මොනවගේද කියා සිහින මවමින් ඉද ඇත. දැන් මට හැබැහින්ම පිටරට සංචාරයක යන්න එම රට තොට බලන්න වාසනාව උදාවී ඇත.

මා විශ්වවිද්‍යාල අවසන් විභාගය ලියා අවසන් උන පසුව , ලොකු හාමුදුරුවන්ගේ අනුදැනුම මත ඉල්ලුම් කර තිබූ තායිලන්ත වීසාපත ඇවිත් තිබීම මට විශාල සතුටක් විය. ලොකු හාමුදුරුවන්ගේ මිත්‍ර තායිලන්ත හිමිනම ලැස්ති කර තිබූ විදෙස් සංචාරයට සහභාගි වෙන්න ලැබීම මාගේ ලොකු වාසනාවක් යැයි මම සිතුවෙමි.

"විපස්සි හාමුදුරුවන්ට අවුරුද්දක් විතර තායිලන්තයේ පන්සලේ වැඩ හිටින්න වෙයි. ඒ පන්සලේ ලොකු හාමුදුරුවෝ විදෙස් සංචාරයන්ට වැඩම කළාම ඒ පන්සලට එන ලංකාවේ ඇත්තන්ට බෝධි පූජා, දාන, බණ වැඩවලට උදවු කරන්න තමයි ඔබවහන්සේව තායිලන්තයට වඩින්න ලෑස්ති කරලා තියෙන්නේ. විපස්සි පොඩිනම ගිහින් ආවට පසු තව මෙහි වෙසෙන දෙනමක් ඉස්සරහ කාලේ නිවාඩුවකට එහේ යවන්නත් මම හිතන් ඉන්නවා. හැමෝටම ඒ වගේ අවස්ථා දෙන එක හොඳයිනේ රටතොට බලාකියා ගෙන යමක් ඉගෙන ගෙන එන්න එහෙම . "‘

‘‘එහෙමයි හාමුදුරුවනේ.‘‘

‘‘නිතර ඒ පන්සලට වෙන රටවල හාමුදුරුවරු වැඩම කරනවලු. ඔබවහන්සේට ඒ අයට ආවතේව කරන්නත් වෙයි.‘‘

‘‘ඒකට මොකද ලොකු හාමුදුරුවනේ …. මම බොහෝම කැමැත්තෙන් ඉන්නේ ඒ දේවල් කරන්න‘‘

මම තායිලන්තය බලා සංචාරයකට යන්න ලෑස්ති වෙන කතාව ආරංචි වී තරුණ සංවිධානයේ ළමයි දුක් වූහ.

‘‘විපස්සි හාමුදුරුවො ගියාම මේ වැඩ ඔක්කොම නවතියි. තරුණ ළමයි දුක් වෙති .‘‘

‘‘ඇයි තව තරුණ හාමුදුරුවරු ගොඩක් මේ පන්සලේ වැඩ හිඳිනවානේ. ඒ අය පන්සලේ වැඩවලට ඔයගොල්ලන්ට උදවු කරයි.‘‘

"හැබැයි ඉතිං විපස්සී හාමුදුරුවෝ වගේ නෙමේ නේ අනිත් හාමුදුරුවන්… පන්සල් එන බාල මහළු තරුණ සැවොම මට ගොඩක් කැමතිය.

මම පිරිකරවලට ලැබී ඉතිරි කරගෙන තිබූ මුදල්වලින් හා ලොකු හාමුදුරුවන් දුන් මුදල්වලින්ද මාගේ තායිලන්ත ටිකට්පත ලබා ගත්තෙමි. මා තායිලන්තයේ යන බව ගෙදර අයටද දැනුම් දී, තායිලන්තය බලා යන්නට ලෑස්ති වුණේ ඉතා කැමැත්තෙනි. කිසි දිනක බණ්ඩාරනායක ගුවන්තොටුපළට හෝ ගුවන් ගමනක් නොගිහින් තිබූ නිසා මම ඒ ගැන මතක් වනවිට පුංචි තිගැස්මකින්ද සිටියෙමි.

පන්සලට යන එන තරුණ සංවිධානයේ ළමයින්, උපාසක ඇත්තන් අනිත් පන්සලේ හාමුදුරුවන් හා ලොකු හාමුදුරුවන්ගෙන්ද තායිලන්ත ගමනට ආශිර්වාද ලබාගත්තෙමි.

එදින උදෑසන තායිලන්තය බලා යන ගමන සදහා ගුවන්තොටුපළ දක්වා ගියේද තරුණ සංවිධානයේ ළමයින් තුන්හතර දෙනෙක් සමග අදුනන වෑන් රතයකිනි. මග දිගටම තරුණ ළමයින් සමග කතා බහා කරමින් ගියත් පළවෙනි ගුවන් ගමන ගැන මට තිබුනේ හීන් බයකි.

‘‘විපස්සි හාමුදුරුවන්ව අපව අමතක වෙයිද දන්නෑ , එහේ ගිහාම?‘

‘‘එහෙම නෑ. ඔයගොල්ලන්වත් මං පුළුවන් වුණොත් නිවාඩුවකට එහෙට ගෙන්න ගන්න බලන්නම්කෝ…. "‘‘

විශ්වවිද්‍යාලයට ගියත් මගේ ඉංග්‍රීසි දැනුම ගොඩක් දුර්වල තත්ත්වයේ තිබිණි. තායිලන්ත ගමනට යන්න ලෑස්ති වූ කාලයේ මම ඉංග්‍රීසි පොත්පත්වලින් ඉංග්‍රීසි ටික ටික ඉගෙන ගන්න උත්සාහ ගත්තෙමි. පන්සලේ තරුණ සංවිධානය මගින් පවත්වාගෙන ගිය ඉංග්‍රීසි රෑ පන්තියට මම ද සහභාගි වී ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කර ගැනීමට උත්සාහ ගත්තෙමි.

කොළඹ බණ්ඩාරනායක ගුවන්තොටුපළට ඇතුළු වීම මා ජීවිතයේ ප්‍රථම වරට කරන ලද්දේ මේ තායිලන්ත ගමන යන්න ය. මේ වනවිට මම අවුරුදු 23ක තරුණ හිමි නමක් වූවෙමි. අවුරුදු එකොළහක පමණ කාලයක් ගෙදරින් ඈත් වී මහණදම් පුරමින් පන්සලේම ගෙවුණු ජීවිතය, හොදින් ඉගෙනීමේ වැඩ කටයුතු කරමින් උත්සහ වන්තව කටයුතු කල බැවින් අද මම හොඳ තැනකට පැමිණ සිටියෙමි. පිරිවෙනේ ඉගෙන ගෙන පසුව විශ්වවිද්‍යාලයට ගොස් එහි ද අවුරුදු හතරකට කිට්ටු කාලයක් ඉගෙන ගෙන, උපාධිය ලබා ගන්නටද මම සුදුස්සෙක් වූවෙමි.

මගේ බඩු මල්ල ද රැගෙන ගුවන් තොටුපොළ ඇතුලට යන්න ප්‍රතම මම තරුණ ළමයින් ගෙන් සමුගත්තෙ හිතේ සතුට හා තිගැස්මත් සමගය.

මම ගුවන්තොටුපළේ ඇතුළට ගොස්, එහි සිටි ආරක්‍ෂක මහත්මයකුගෙන් මගේ ගුවන් ටිකට්පත පෙන්වා මා කළ යුත්තේ කුමක්දැයි ඇසීමි.

‘‘හාමුදුරුවනේ අර පෝලිමට යන්න…. එතන පෝලිමේ ඔබවහන්සේට වැඩි වේලාවක් ඉන්න ඕන වෙන එකක් නෑ. ඔබ වහන්සේව ඉක්මනට ඇතුළට යවයි. එන්න මං උදවු කරන්න කියල කාටහරි කියන්නම්.‘‘

එම ආරක්‍ෂක මහතා තව ආරක්‍ෂක නිලධාරිවරයෙකුට මගේ ගුවන් ටිකට්පත දී ඉංග්‍රීසියෙන් මොනවද කීය. ඔහු මාව කැඳවාගෙන ගොස් ටිකක් ඈතින් තිබූ කවුළුවක් තුළ රතු සාරියක් ඇඳ ගෙන සිටි ගැහැනු කෙනෙකුට මගේ ගුවන් ටිකට්පත දුන්නේය.

‘‘ස්වාමින් වහන්ස මුල් ම වතාවට ද රට යන්නේ?‘‘

‘‘එහෙමයි."

‘‘තව පැය දෙකක් පමණ තියෙනවා ගුවන්යානයට ගොඩ වෙන්න. ඔබ වහන්සේගෙ බෑග් අතේ ගෙනියනවද? එහෙම නැත්නම් ඇතුලට දානවද කොහොමද?

“මට ඒ හැටි බඩු නෑ. මේ බෑග් එක විතරයි තියෙන්නෙ….. ඒක මගේ ළඟම තියා ගත්තම මට ලේසියි.‘‘

“‘හොඳයි, එහෙනම් මෙන්න ටිකට්පත ලෑස්තියි හාමුදුරුවනේ……. ඔබ වහන්සේට යන්න පුළුවන්... ඉස්සරහට ගිහින් එතැන තියෙන පෝළිම ළඟ ඉන්න. කාර්යමණ්ඩලයේ කෙනෙක්ට කියන්න එතකොට ඒ අය උදවු කරයි. ඔබ වහන්සේට‘‘

ඇය පැවසූ පරිදීම මම කළෙමි. මාගේ ටිකට්පත් පිරික්සා බලා ඔවුහු එයට සීල් තබා දුන්හ. ඒ වැඩ කාර්යමණ්ඩලයේ කෙනෙකුගේ උදවු ඇතිව මට කරගත හැකි විය.

‘‘තව පැය එකහමාරක් විතර ෆ්ලයිට් එකට තියෙනවා. හාමුදුරුවනෙ වටපිටාවේ ටිකක් ඇවිදලා මේ ශාලාවට එන්න තව පැයකින් විතර.‘

“‘හොඳමයි බොහෝම ස්තූතියි.‘‘

ශ්‍රී ලංකාවේ මිනිසුන් කොයිතරම් නම් බෞද්ධ චීවරයට ගරු කරනවා දැයි මට සිතිණි. ඕන වෙලාවක මේ මිනිස්සු ස්වාමීන් වහන්සේලාට උදවු කිරීමට ලක ලෑස්ති වී ඉදිති. මට මගේ රටේ බෞද්ධ ජනයා ගැන ඇති වුණේ ආඩම්බරයක් වගේ ම සතුටකි.

මා යායුතු ගුවන්යානය හා යායුතු වේලාව එනතෙක් මම වටපිටාවේ ඇවිද ගුවන්තොටුපළේ සිරි නැරඹුවෙමි. කටුනායක ගුවන්තොටුපළ ගැන අසා තිබුණද, කවදාවත් මෙතැනට එන්න ලැබෙයි කියා මම කිසි දින නොසිතුවෙමි. ශ්‍රී ලාංකිකයන් වගේම විදේශිකයන්ගෙන්ද පිරී තිබූ ගුවන්තොටුපළ මා කිසි දින නොදැකපු ලස්සන තැනක් ය. විවිධ වර්ගයේ පොඩි ඇඳුම් කඩ, තේකොළ කඩ, ලාංකික අත්කම් නිර්මාණ ඇති කඩ එහි දිගටම තිබිණි. වෙලාව තිබූ නිසා කඩ දිගේ ඇවිද යන ගමන් එහි ඇති බඩුවල ගණන් මම නිකමට බැලුවෙමි. මට සිතාගත නොහැකි විය. පිටත කඩවලට වඩා තුන් ගුණයකින් පමණ ඒවායේ මිල සටහන් කර තිබිණි. වටපිටාවේ ඇවිද ගුවන්තොටුපළේද සිරි නැරඹූ මම, පසුව ගුවන්යානයට නැගීමට පැමිණෙන්නැයි කියූ තැනට ගියෙමි. එතැන පූජකයන්ට වෙන්වූ ආසනයක ටික වේලාවක් හිඳගෙන සිටින විට මම යා යුතු ගුවන්යානයට නැගීමට පැමිණෙන ලෙස සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කීය. පූජ්‍ය පක්‍ෂය ලෙස සිටියේ මා පමණක් බැවින් වේලාසනින්ම ගුවන්යානයට ගොඩවීමට මා හට හැකි විය.

-නැවත හමුවෙමු -

**ප්‍රිසිලා ගොඩහේවා **


4 views0 comments

Recent Posts

See All

*එතෙරින් එතරට *

(22 වෙනි කොටස ) වාහනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් එකදිගට ගමන් කරයි. කොරියන් රියැදුරු මගෙන් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් ඇසීය. මට කිසිදු...

Comentarios


bottom of page