top of page
  • Writer's picturePrisila Godahewa

එතෙරින් එතරට (10)

Updated: May 6, 2020

(දසවන කොටස 10)



විශ්වවිද්‍යාල ගමන මට අමතුම තැනක් විය. ගිහියන්, මහණුන් කියා එතැන ලොකු වෙනසක් නොවීය. හැමෝම එකට වාඩි වී ඉගෙනීමේ කටයුතු කළ යුතු ය. ගෑනු, පිරිමි භේදයකින් තොරව එකම පුටුවල වාඩි වී ඉගෙනීමේ කටයුතු කළ යුතු අතර, ඔවුන් අප සමඟ විහිළු තහළු කරන්නේ ද යාළු මිත්‍රයන් සේ මය. මහණුන් වන අපි පන්තියේ ඉස්සරහ පේළිවල වාඩි වෙන්නෙමු. මා සමග තව හිමිවරුන් දෙනමක් මගේ පන්තියේ සිටියාහ.

පිටුපස පේළිවල සිටින පිරිමි ළමයින්ගේ විහිළු තහළු නම් ඉවසන්න බැරි තරම් ඒවා ය. අප ස්වාමීන් වහන්සේලා කියා ඔවුන්ට විශේෂයක් නැත. ගැහැනු ළමයින් ද එලෙස ය. ඔවුන් අප හා එක ළඟ වාඩි වී කතාබහ කරන්නට එති. විහිළු තහලු කරති. පුංචි කාලයේ ම මහණ දිවියට පත් වූ මට ගැහැනු ළමයින්ගේ එම හැසිරීම ඉතා අපහසු කටයුත්තක් විය. අප වැඩ සිටි අනිත් පන්සල්වල අමතර පන්තිවලට එන ගැහැනු ළමයි ගෞරව පූර්වක ව අප ඇමතූහ. නමුත් විශ්වවිද්‍යාලයේ ගැහැනු දරුවන් එසේ නොම වෙයි..


"විපස්සි හාමුදුරුවෝ මොකද ඇඹරෙන්නේ?‘‘

කටකාර ගැහැනු ළමයෙක් නිතර මට විහිළු කරයි. ඇගේ බැල්ම දරා සිටීමට අපහසු තරම් ය.


‘‘මං ගමේ ගිහින් එනකොට වැලිතලප ගෙදරින් හදාන ආවා. ආ... විපස්සි හාමුදුරුවන්ගෙ කොටස.‘‘


ඇය මාගේ අතට යමක් දෙන්නේ අතේ ගෑවී නොගෑවෙන ලෙස ය. මා නිතර ම ඇය මඟ හරින්න උත්සාහ ගත්තද නිතර ම ඇය මා සමඟ ම කතාවට එයි.


‘‘මොකද මේ කුසුම් නිතර ම විපස්සි හාමුදුරුවොත් එක්කම කතාව.‘‘


පිරිමි ළමයින් කුසුම්ට විහිළු කළත් ඇයට ගාණක් නැත.


‘‘විපස්සි හාමුදුරුවන්ගෙ ගෙවල් කොහේද?


“‘අපට කොහෙන්ද ගෙවල්.‘‘


‘‘ නෑ ඉතිං .....ඇයි අම්මා, තාත්තා ඉන්න ගෙවල් ගැන මම ඇහුවේ, අම්මා, තාත්තා එහෙම කොහොමද?


‘‘තාත්තා නෑ... අම්මත් නෑ වගේ තමයි.‘‘


‘"සහෝදර සහෝදරියන්...‘‘


‘‘ඒ අයත් එක්කත් වැඩි ගනුදෙනුවක් නෑ මගේ.‘‘

කුසුම් නිතර ම මා සමඟ කතාවට එයි. මට කෑමබීම ගෙනත් දෙයි. ඇයගේ බැල්ම මට ඉවසා සිටීමට නොහැකි තරම් ය. ඇය මා තනියම වැඩසිටින වේලා බලා නිතර ම ඇවිත් කතා කරයි. තොදොල් වෙයි.


‘‘දන්නවද, ගියපාර පාස් අවුට් වෙලා ගිය වෑබඩ හාමුදුරුවො සිවුරු ඇරල කුරුණෑගල පැත්තෙ ගුරු පත්වීමක් භාර ගෙන කරනවලු.‘‘


‘‘ඇයි ඊට ඉස්සෙල්ලා අවුරුද්දෙ විශ්වවිද්‍යාලයේ හිටිය පලාබද්දල හාමුදුරුවො සිවුරු ඇරල විශ්වවිද්‍යාලයේ හිටිය ගෑනු ළමයෙක්මනෙ කසාද බැන්දෙ.‘‘


‘‘හාමුදුරුවරු මොකට විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න එනවද මන්දා ? පන්සලට වෙලා බණක් දහමක් කරගෙන ඉන්නෙ නැතිව”

පිරිමි ළමයින් හාමුදුරුවන් ගැන කතා කරන්නේ තරහින් ය. මූනටම ඔවුන් අපට දොස් කියයි.


‘‘විපස්සි හාමුදුරුවො ඉතින් හැඩකාරයානේ. විශ්වවිද්‍යාලය ඉවර වෙලා මොනව කරගනීද දන්නෑ.‘‘


‘‘ඒක තමයි අපටත් වඩා ගෑනු ළමයි තමයි විපස්සි හාමුදුරුවෝ දිහා බලන්නෙ, කතා කරන්නෙ. අර කුසුම් වහවැටිලා ඉන්නෙ විපස්සි හාමුදුරුවන්ට.‘‘


පිරිමි ළමයින් විතරක් නොව, ගැහැනු ළමයි ද මා ගැන කතා කරති. හොඳ උසමහතට හැදීවැඩී උන් මා, වෙන පිරිමි ළමයින්ට වඩා පැහැපත් ය. සමහර ගැහැනු ළමයින් එකතු වුන වෙලාවට මට විහිළු කරන්නේ මගේ ඇහිබැම, ඇහි පිහාටු.. ගැහැනු ළමයින්ගේ තරම් ලස්සනයි කියායි. ඔවුන් එසේ කියන විට මා බිම බලා ගන්නේ ලැජ්ජාවෙනි. විශ්වවිද්‍යාලය මහණුන්ට නොගැළපෙන තැනක් යැයි මට නිතර සිතේ. ඉගෙනීම වැඩිදුර කර ගැනීමට අවශ්‍ය බැවින් විශ්වවිද්‍යාලයේ ආවාට පන්සලට වෙලා බණක් භාවනාවක් කරමින් සිටියා නම් කියා හිතුන වේලාවන් ද ඇත. සමහර විට ගැහැනු ළමයින් දිහා ඕනෑකමෙන් බලන්න සිතුණු වේලාවන් ද නොතිබුණාම ද නොවේ. කෙසේ නමුත් අවුරුදු හතරක් විශ්වවිද්‍යාලයේ ගතකළ කාලය ඉතා අමුතු, නැවුම් අත්දැකීම් රාශියක් ලැබුණු කාලයකි. මහණුන් මෙන් ම ගිහියන් ද විශාල වශයෙන් ආශ්‍රය කරන්න ලැබුණු කාලයකි. ජීවිතය අප නොසිතපු පැති හරහා යන බව මට නිතර සිතේ. මම මාගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යෑමට නිතර ම උත්සාහ ගත්තෙමි.

පහළොස් නමක් පමණ වැඩ සිටි නුගේගොඩ පන්සලේ වැඩිහිටි තුන් නමක් හැරුණු විට, අනික් සැවොම තරුණ හාමුදුරුවරුය. සෑම කෙනෙක් ම වාගේ ඉගෙනීමේ කටයුතුවල නිරත වෙයි. උදේ පාන්දර ම මුහුණකට සෝදාගෙන, බුදුන් වැඳ පන්සලේ බිම ඇමදීම හෝ ආවාස ගෙය අතුපතු ගා, උදයට හීල් දානය වළඳන අපි සියල්ලෝම පසුව ඉගෙනීමේ කටයුතුවලට යන්නෙමු.

‘‘අද උදේට හීල් දානය කොහෙන්වත් ගේන්නේ නෑ. මම බත් එකක් උයලා පරිප්පුයි, පොල් සම්බෝලයකුයි හැදුවා. ඔබ වහන්සේලාට උදේ හීලට තියෙන්නෙ එච්චරයි."


අපට ආවතේව කර දෙන විල්සන් අයියා අප ගැන සොයා බලයි. උපාසක දානය නොලැබුණු දාට ඔහු තියෙන දෙයක් උයාපිහා අපේ දානය සකසා දෙයි.


"‘කමක් නෑ මොනව වුණත්,... අපට ඔය ඕන දෙයක් වළඳලා පුරුදුයි.‘‘


තියෙන දෙයක් දානෙට ගැනීම සියලු ස්වාමීන් වහන්සේලාගේ පුරුද්දකි.


‘‘දවල් දානෙ ඔබ වහන්සේලාට විශ්වවිද්‍යාලයෙන් හෝ පිරිවෙන්වලින් ගන්න ලැබෙන එක ලොකු දෙයක්. සමහර දවසට ගෙවල් වලින් මාසෙ වේල් දානෙ ගේන්නෙ හරි ටිකයි. පහළොස් නමට ගෑවෙන්නත් මදි. සමහර දවස්වලට දානෙ ලැබෙන්නෙම නැති තරම්. ඔබ වහන්සේලාට දානය ලෑස්ති කරල දෙන්නෙ කොහොමද කියල මම කල්පනා කරන වේලාවලුත් තියෙනවා.”


‘‘දුප්පත් මිනිස්සුනේ... තියෙන විදියටනෙ ගේන්නෙ.‘‘

මම දහවලට විශ්වවිද්‍යාලයේ කැන්ටිමෙන් බත් එකක් ගෙන දහවල් දානය වළඳන්නෙමි. එම බත්පත බඩගින්නට නොමැරී ජීවත් වෙන්නට දෙන බත් පතකි. එයද මුදල් දී ගත යුතුය. එක දිගට කන එම බත් මුල මට එපා වී ඇත. නමුත් වෙන කරන්න දෙයක්ද නැත. සමහර දවස්වලට උදේට කොහෙන් හරි විශේෂ හීල් දානයක් පන්සලට ගෙනා දවසට මම විල්සන් අයියට කියා බත් මුලක් ඔතාගෙන විශ්ව විද්‍ය්ලයට ගෙන යමි. එසේ ගෙන ගිය දවසට නම් හවසට මහන්සියක් නැතුව පන්සලට එන්නෙමි. එසේ නොමැති දවසට විශ්වවිද්‍යාලයේ සිට පන්සලට යන විට අප බොහෝමයක් ස්වාමීන් වහන්සේලා සිටින්නෙ බඩගින්නේ හා මහන්සියෙන් ය. බස් එකේ උදේ හවස යෑමත් විශ්ව විද්‍ය්ලයේ වැඩකටයුතු නිසාද හවසට ලොකු වෙහෙසක් දැනේ. අපේ පන්සලට දානය ගෙන එන දායකයන් ද අඩු ය. එබැවින් අපට කුස පිරෙන්න දානය හොදට ලැබෙන්නේ ගෙදරක තිබෙන දානයකට වැඩියොත් පමණි. එදිනට අපි කුස පිරෙන්න දානය වළඳන්නෙමු. විශ්වවිද්‍යාලය අහවර කර පන්සලට පැමිණ, මුහුණකට සෝදාගත් පසු අප සියල්ලන් ම සිටින්නේ හාමත්ව ය. ඒ දහවලට හරිහමන් කෑමක් නොලැබෙන බැවිනි.


‘‘විල්සන් අයියේ.... හරි බඩගිනියි. ගිලන්පස වළඳලා නම් ඉන්න බෑ වගේ."


"ඒ වුණාට ගිලන්පස විතරයිනේ බොන්ඩ පුලුවන් .‘‘

අපේ කීම විල්සන් අයියාට වැඩක් නැත. ඔහු දහවලට ලොකු හාමුදුරුවන්ට කොහෙන් හෝ ගෙනෙන දානයෙන් කොටසක් රෑට ඉතිරි කර හංගා තබාගෙන කන්නේ ය.

රෑට කෑම කෑවාට පසු ඔහු නිදා ගන්නට ගිය විට අප තුන් හතර නමක් දන්ගෙට ගොස් කන්නට දෙයක් සොයන්නේ ඉන්න බැරි බඩගින්නක් ආ දවසට ය.”


‘‘දන්ගෙයි මොනවත් නෑ.. අපි කැඳක්වත් හදාගෙන බොමු ද?


සුදුහාල් ටිකක් නම් තියෙනවා. කැදක්වත් හදාගෙන බොමුද?‘‘


‘‘පොලුත් එපෑ. කැද හදන්න ‘‘


“පොල් පන්සල් වත්තේ ගස් වල නම් තියෙනවා.‘‘


“‘මං ගෙඩියක් කඩාන බහින්නද?


‘‘පුළුවන් ද?

අපි හෙමිහිට පන්සල් වත්තේ පොල් ගස් තිබෙන පැත්තට යන්නෙමු .

පානදුරේ පොඩිනම සිවුර ගලවා මගේ අතට දී, අඳනකඩය ගැට ගසාගෙන පන්සල් වත්තේ ඇති කුරු පොල් ගසට නැග, පොල් ගෙඩියක් කඩාගෙන අතේ තියා ගෙන ම බිමට බහින්නේ ගිහි කල කරපු පුරුදු තවමත් අමතක ව ගොස් නොමැති බව පෙන්වීමට ය.


‘‘පොල් ගෙඩිය සද්ද නැතිව සුද්ද කරන්න.‘‘*


‘‘පොල් ගෙඩිය අවට ගෙවල්වල ඉන්න උපාසක අම්මලාට ඇහෙන්න එහෙම බිඳින්න එපා.‘‘ විල්සන් අයියා නම් හොඳටම නිදි ඒ නිසා ප්‍රශ්නයක් නෑ.”


‘‘ඉන්න අපි දෙනමක් එළියට ගිහින් කතා කරකර ඉන්නම්. එතකම් පොල් ගෙඩිය බිඳල ගන්න.‘‘


ගහෙන් කඩාගත් පොල් ගෙඩිය සුද්ද කර, ගාගෙන සුදුහාල් ලිප තබා හදා ගන්නා කැඳ, පොඩි නමවල් විසින් රෑට වළඳනු ලබන්නේ කුසගින්නේ ඉන්න බැරි වූ අවස්ථාවල ය. සමහර දවසට පොල් සම්බෝලයක් හදා ගෙන බත් ටිකක් වළඳන අවස්ථාද ඇත.

දහම් පාසලෙන් අස් වී ගිය තරුණ පිරිමි ළමයි, ඇතැම් දවස්වලට අපට බත් මුලක් හෝ ඉඳිආප්ප මුලක් ගෙනැවිත් හොරෙන් අපේ ආවාසගෙයි තබයි. අප ඒවා රෑට එකමුතුව බෙදාගෙන වළඳන්නේ, දවාලට හරිහැටි ආහාරයක් නැතිව සිටින අපට උදේ හීල් දානය ලැබෙන තෙක් කුසගින්නේ සිටිය නොහැකි වු විටය. අවේලාවේ ආහාර වැළඳීම ස්වාමීන් වහන්සේලාට කැප නැති බව දැන දැනම වැරදි වැඩක් කරන බව සැවොම දනිමු. විශ්වවිද්‍යාලවලට හෝ පිරිවෙන්වලට යන ස්වාමීන් වහන්සේලාට වේලාවට දානය නොලැබේ. අතින් වියදම් කරගෙන දහවල් දානය ගත යුතු ය. සමහර විට පිනට දහවල් දානය ලැබෙන අවස්ථාද ඇත.එබැවින් රෑට දානය වැලඳීම ඇකැප වුණත්, එය ඉඳ හිට අපට කරන්නට සිදු වෙයි. තරුණ කොලු ගැටයෝ අපට ඔවුන්ගේ ගෙවල්වල හදන කෑම ගෙදරට හොරෙන් අපට ඔතා ගෙනැවිත් දෙති. අපේ සම වයසේ කොල්ලන් හා තරුණ ස්වාමීන් වහන්සේලා ඔවුන් සමග ඉතා කුලුපඟ ය.


“‘විපස්සි හාමුදුරුවනේ මගේ මේ රේඩියෝ එක කැඩිලා. බැරිද හදල දෙන්න.‘"

කැඩුණු ඉලෙක්ට්‍රික් බඩු එකට එකතු කර නැවත සාදා දැමීමට මා ඉතා දක්‍ෂ ය. ඒ බව පන්සලට එන සියලු දායකයෝ දනිති. ඔවුහු ගෙදර කැඩෙන, බිඳෙන ඉලෙක්ට්‍රික් බඩු මට ගෙනැවිත් දී සාදා ගනිති. එවැනි වැඩක් කර දුන් විට ඔවුහු මට කීයක් හෝ මගේ මේසේ උඩින් තියා යයි


‘‘මට සල්ලි එපා. අරන් යන්න."‘


එවැනි දේවල් කර සල්ලි ගැනීමට මම කැමැති නැත. නමුත් මට විශ්වවිද්‍යාල පොත්පත් ගැනීමට හා වියදමට කියා ඔවුහු කීය කීය හෝ තියා යයි.

බෝධි පූජා, දාන, බණ ගේකට ගියත් අපට උපාසකයන්ගෙන් පිරිකර ලෙස ලැබෙන්නෙ මුදල් ය. ඒ අපේ ඉගෙනීමේ කටයුතුවලට ගන්නට කියා ය. අපි ඒවා නාස්ති නොකර අපේ වියදමට තියා ගන්නෙමු.

මා විශ්වවිද්‍යාල වැඩ වාගේ ම පන්සලේ වැඩ ද ඉතා කැමැත්තෙන් කරන්නෙමි. දන්න කියන සැමගේ කැඩුණු ඉලෙක්ට්‍රික් බඩු ද සාදා දෙන්නෙමි.

ඊටත් වඩා මම පන්සලේ ලොකු හාමුදුරුවන්ට ඉතා කීකරුව ඇප උපස්ථාන කරන්නෙමි. පසුගිය දිනවල උන්වහන්සේ අසනීප වී සිටි අවස්ථාවල මා උන්වහන්සේගේ තනියට ඉස්පිරිතාලේ ද නැවතී සිටියෙමි.

‘‘විපස්සි පොඩි තැනට පාඩම් වැඩත්

තියෙනවා නෙ. මං වෙන කාවහරි මගේ තනියට නවත්ත ගන්නම්. ඔබ වහන්සේ පන්සලට ගිහින් පාඩම් වැඩ කරගන්න ‘‘


‘‘කමක්නෑ ලොකු හාමුදුරුවනේ. රෑට මට මේ පුටුවට වෙලා පාඩම් පොතක් බලන්න පුළුවන්. ඔබවහන්සේ ඉක්මනට සනීප වෙන්නකෝ.‘‘

මම ලොකු හාමුදුරුවන්ට කවාපොවා, උන්වහන්සේගේ සිවුරු සෝදා උන්වහන්සේ සෝදා පවිත්‍ර කරන්නෙමි. මම ඒවා කරන්නේ නියම බුද්ධ පුත්‍රයෙකු ලෙස යැයි සිතාය. මා ඒ දේවල් කරන්නේ ඉතා කැමැත්තෙන්ම ය.

‘‘පොඩි තැනට පිං සිද්ධ වෙනවා මට ඇප උපස්ථාන කරනවට. දැන් විශ්වවිද්‍යාලයේ අවසන් විභාගෙ කවද්ද?


‘‘එන මාසෙ මුල් සතියේ.‘‘


‘‘හොඳට මහන්සි වෙලා පාඩම් කරල පාස් වෙන්න. විභාගෙ ඉවර වුණාම මං අඳුනන හාමුදුරු නමක් ඉන්නවා තායිලන්තයේ. ඔබ වහන්සේට ටික දවසක් එහේ ගිහින් ඉන්න මං ලෑස්ති කරල දෙන්නම්කෝ.‘‘


‘‘අනේ ඒක නම් ලොකු දෙයක් හාමුදුරුවනේ...මම හරි ආසාවෙන් ඉන්නේ පිටරට බලලා එන්න හාමුදුරුවනේ මං කවදාවත් රට ගිහිල්ලා නෑ.‘‘

;‘‘මං එකපාරක් තායිලන්තයට ගිහින් එහේ තියෙන ලංකාරාමයේ වැඩවසලා, රටතොට බලාගෙන ආවා. ඒ පන්සලේ වැඩ හිඳින්නේ මං හඳුනන, මාත් එක්ක එකට ඒ කාලයේ ඉගෙන ගත් ස්වාමීන් වහන්සේ නමක්. උන්නාන්සේ තනියම තමයි දැන් එහේ වැඩ වෙසෙන්නෙ. මට ළඟ දි ලියලා එව්වා කවුරු හරි හොඳ, උගත් පොඩි නමක් ටික කාලයකට එහේ එවන්න කියල, පන්සලේ කටයුතු බලාකියා ගෙන ඉන්න. උන්නාන්සේ වෙන රටක චාරිකාවක යන්නයි හදන්නේ, ඒ කාලයේ පන්සල බලාකියා ගෙන ඉන්න හොඳ ස්වාමීන් වහන්සේ නමක් තමයි මට හොයලා එවන්න කිව්වෙ.‘‘


"‘එහෙනම් කොච්චර දෙයක් ද හාමුදුරුවනේ වෙනසකටත් එක්ක මටත් ආසයි වෙන රටකට ගිහින් රටතොට බලාකියා ගෙන එන්න.‘‘


"හොදට මහන්සි වෙලා විශ්ව විද්‍ය්ලයේ වැඩ කරන්නකෝ...තව ටික කාලයයිනේ තියෙන්නේ….ඊට පස්සෙ බලමු."

උන් වහන්සේ කීය.

විශ්වවිද්‍යාල විභාගය හොඳින් ලියා අවසන් කළ මම, පන්සලේ විවේක සුවයෙන් වැඩ විසුවෙමි. පන්සලේ අමතර වැඩ කටයුතුවලටද උනන්දුවෙන් සහභාගි වූයෙමි. ලොකු හාමුදුරුවෝ අසනීප තත්ත්වයෙන් මිදී නැවත පන්සලට වැඩම කළහ.


‘‘හාමුදුරුවනේ මං ගමේ ගිහින් අම්මායි, සහෝදරයොයි බලල එන්න කියල.‘‘


‘‘දැන් විවේකීව ඉන්න එකේ ගිහින් ආවට කමක් නෑ කාලෙකින් ගියෙත් නෑ කිව්වනේ.‘‘

මම මට ලැබී තිබූ පිරිකර ආදිය එනම් තුවා, සබන්, රේසර්, ටූත් පේස්ට් ආදිය හා මගේ පොතේ ඉතිරි කරගෙන තිබූ සල්ලිවලින් ටිකක් ද ගෙන අම්මා හා සහෝදර සහෝදරියන් බලන්න ගියේ පන්සලට නිතර යන එන ව්‍යාපාරික තරුණ මහත්මයෙකුගේ වාහනයකිනි. සෙනසුරාදා දිනක උදෙන් ම අපි මගේ ගම බලා පිටත් වුණෙමු.


‘‘විපස්සි හාමුදුරුවන්ට සහෝදර සහෝදරියන් කී දෙනෙක් ඉන්නවද?


“‘හතර දෙනෙක්, ලොකු අක්කයි, අයියයි දැන් විවාහකයි. නංගියි, මල්ලියි රස්සාවල් කරනවා.‘‘


හෙට නැවත හමුවෙමු


**ප්‍රිසිලා ගොඩහේවා **

5 views0 comments

Recent Posts

See All

*එතෙරින් එතරට *

(22 වෙනි කොටස ) වාහනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් එකදිගට ගමන් කරයි. කොරියන් රියැදුරු මගෙන් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් ඇසීය. මට කිසිදු...

Comments


bottom of page