( පළවන කොටස 1)
ඔස්ට්‍රේලියාවේ 2018 SAFAL ලේඛන සම්මානයෙන් පිදුම් ලැබු ප්‍රිසිලා ගොඩහේවා ලේකිකාවගේ අලුත්ම නවකතාව
( විසල්ගේ ලමා කාලය ගෙවා නිම කිරිමට පෙර සසුන් ගත වු ඔහු, විපස්සී තෙරුන් නමින් සංසාර ගමන කෙටි කර ගන්නට යන ගමන එතෙරින් එතරටම ගොස් නැවතිනි.)
අපි දැන් කොහේද මේ යන්නේ ?
එක අතක් මගේ අත උඩින් තියාන අනිත් අතින් වාහනය පදවන "සුමුදු" ගෙන් මම ඇසුවේ පන්සලෙන් පිටවුන වෙලේ සිට නොනැවතී ගැහෙනා පපුවේ අතක් තියාගෙනමය.
"ඔන්න ඔහේ කොහේ හරි යමු.. ඇය සිනාසෙන්නේ පොඩි ළමෙක් ගානටය. සුමුදුට මගේ සිත තේරුම් ගැනීමට අවශ්‍ය නැති ගානයි.. ඇය සිනා සෙන්නේ සතුටින් උදම්වය.
අවුරුදු විසිතුනක කාලයක් පන්සල් හත අටක ජීවත් උන මා... අද මොන හිතකින් මෙලෙස පන්සලෙන් එලියට බැස්සා දැයි සිතා ගන්නට බැරුව තවමත් සිතමින් ලතවෙන්නෙමි.
"අද රෑට අපි මෙතන ඉදන් 100km විතර දුරක තියෙන "ගෙස්ට් හවුස්" එකක නවතින්න මේ යන්නේ..... ඒ ගෙස්ට් හවුස්` එක තියෙන්නේ කැලෑවක් මැදට වෙන්න. මම හොයලා බැලුවා . හරි ලස්සන තැනක් .., ඔයාට තපසට යන්න හිතෙයිද දන්නෑ…. සුමුදු හිනා වෙන්නේ මට සමච්චලයට මෙන් ය.
" හෙට පෝය වෙන්න ඇති අර.. අර..ගස් අස්සෙන් හද පායාගෙන එන්නේ."
"ඔව් හෙට පෝයනේ."
" උපාසක ඇත්තෝ හෙට ඔයාව හොයයිද දන්නෑ"..සුමුදු තවත් හිනා වෙයි. තවමත් මාව තේරුම් ගන්න මේ ගෑනිට බැරි හැට්… හිතේ ඇතිවුන කේන්තියෙන් වේගයෙන් පියබා යන වාහනයේ ජනෙල් කවුලුවෙන් මා එලිය බැලුවේ සුමුදු ගේ හිනාවෙන් බේරෙන්න වත් පුලුවන් වෙයිද බලන්නයි.
"ඔයාට බඩගිනිද? මම සැන්ඩ්විච් වගයක් හදලා ගෙනාවා...තේ බෝතලයකුත් තියෙනවා . අපි තව ටිකක් දුරට ගිහින් වාහනය නවත්තලා තේ බොමු."
සුමුදු වාහනය එලවන ගමන් එක දිගට කතා කරයි. ඇගෙ කතාවට ඇහුම්කන් දෙන්න වත්, ඒවට උත්තර දෙන්නවත් උවමනාවක් මට නැත. මම ඇස් දෙක පියාන සීටි එකේ පිටුපසට හිස ඇල කර ගත්තෙමි.
අම්මා ,තාත්තා පවුලේ අය ,ලොකු හාමුදුරුවෝ, පන්සල්, දායකයෝ, උපසක උපාසිකාවෝ මගේ ඇස් ඉදිරිපිට පෙනි පෙනි නොපෙනී යයි. මම කවුද ? කොහේද හිටියේ , මම මොනවාද කරේ..දැන් මේ කොහේද යන්නේ….මට තෙරුම් ගන්න බැරි අවුල් ගොඩක පැටලී ඇතැයි සිතේ….
මීට අවුරුදු 36 කට උඩදි මම කොහේද හිටියේ. කා එක්කද හිටියේ….මගේ හිත බොහෝ ඈත මතකයක් වෙත ගමන් කරයි.
සීතල හුලං .… හෙල් මලු ක්‍රමයට එලවලු වගාවන් ඇති කදු කරය ...කුස්සියේ දර ලිප ලග දුම් පිබින අම්මා...හවසට පරන එලවලු බෑගයක් රැගෙන කදු පාමුලේ සිට ගෙදරට කන්ද නැගගෙන එන තාත්තා...පුංච් අපි තාත්තා කදු පාමුලෙන් කන්ද නැගගෙන එනකම් බලාහිදා හැල්මේ ඔහු ලගට දුවන මල්ලි ,නංගි, මම...කෝ...අද ඔවුන්..
ළමයින් පස්දෙනෙකුගෙන් යුතු පවුලක මම තුන්වෙනියා වුවෙමි. අවුරුද්දක දෙකක පරතරයක් ඇතිව ඉපදුන අප පස්දෙනාම අවුරුදු දහයට අඩු දරුවන්ය. තාත්තා ගමේ කඩ මණ්ඩියේ එළවලූ මුදලාලි කෙනෙකු ලඟ වැඩ කරන අතර ඔහු උපයන මුදල දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලට නොසෑහෙයි. දරුවන්ට දැඩි ආදරයක් දැක්වූ තාත්තා කොතෙක් අඟහිඟකම් මධ්‍යයේ වුව ද අප පාසල් යවන්නට උත්සාහයක් ගන්නේය. වැඩිමහල් දරුවන් තිදෙනා පාසල් යන අතර බාල දරුවන් දෙදෙනා තවමත් අවුරුදු පහට අඩු ය. අම්මා අප බලා කියාගෙන ගෙදර වැඩපලද කරමින් හිදියි. වැඩි උගත් කමක් නොතිබුණු අම්මා, තාත්තා ගෙනත් දෙන දෙයක් උයා පිහා දරුවන්ගෙ බඩ කට පුරවනවා හැර ඇයට පවුලේ දියුණුවක් මෙන්ම දරුවන්ට හොඳ කළක් යා යුතු බව ගැන ඒ හැටි දැනීමක් නැත.
අයියත්, අක්කත් සමඟ උදේට පාසල් යන මම හවසට ගෙදර එන්නෙ අම්මා උයා තිබෙන දෙයක් කා බී ගමේ ගොඩේ දරුවන් සමඟ සෙල්ලමට යන්න බලාගෙනය. මම වැඩියෙන් ම කැමති කොල්ලො කුරුට්ටෝ සමඟ කැලේ පැන සෙල්ලම් කිරීමට හා ගඩා ගෙඩි කඩා කෑමටය. නැවත ගෙදර එන්නෙ හොඳටම හවස්වි තාත්තාද ගෙදර ආපසුයි.
*නැවත හෙට හමුවෙමු*
댓글