top of page
  • Writer's picturePrisila Godahewa

✈️එතෙරින් එතෙරට✈️ 💥දෙවන කොටස



"අම්මේ බඩගිනියි මොනවද කන්න තියෙන්නේ.”


‘‘උඹ ඉතිං... ඉස්කෝලේ ඇරිලා ආව ගමන් කොල්ලො එක්ක රවුමේ යනවා....ඊට පස්සෙ ගෙට ගොඩවෙන්නෙ බඩගිනියි කියාගෙන, කන්න ඉස්සර ගිහින් අතපය සෝදගෙන වරෙන්.....‘‘


‘‘හැමදාම බතල...., මට මේවා කන්නා බෑ.‘‘

චූටි නංගී අඬයි.


“අම්මේ මට තව බතල කෑල්ලක්”


මල්ලීද මා මෙන්ම බඩගිනිකාරයෙක්ය


‘‘බතල හරි කන්න තියෙන එක ලොකු දෙයක් උඔලට..., උඹට කන්න බැරි නම් බඩගින්නෙ බුදිය ගනින්.....‘‘

අම්මා නංගිට සැර කරයි.


ගෙදර අනික් සැවොම අම්මා, තම්බා තිබෙන බතල හෝ වෙනයම් උයා තිබෙන දෙයක් කන්නෙ කතා නැතිවමය..... ගෙදර තිබෙන අඟහිඟකම් ගැන හොඳින් වැටහෙන අක්කා, අයියා හා මම අම්මා දෙන දෙයක් කෑමට පුරුදු වී ඇත්තේ වෙන දෙයක් කෑමට නැති බව හොදින්ම දන්නා නිසාය..... තාත්තා අපට හොඳ දෙයක් කන්නට දීමට නොහැකි වීම ගැන දුකෙන් පසුවන බව අපි දනිමු. වෙන පිරිමි මෙන් සුරාමේරයට ඇබ්බැහි වී නැති තාත්තා මධු විතක් ගන්නෙ මඟුල් ගෙදරක ගියදිනට හෝ කාගෙන් හෝ නොමිලේ ලැබුණොත් පමණි.


‘‘මට මේ දරුවන් ගැන හරි දුකයි කුසුමේ..... උන්ට හරියට කන්න බොන්න නෑ.... අදින්න නෑ...ඉස්කෝලේ ගෙනියන්න පොත් පත් නෑ....පව් පොඩි උන්.....‘‘


තාත්තා නිතර අම්මාට කියන්නෙ අපට නොඇසෙන්නටය.


"‘පොඩි වුන්ටත් තේරෙනවා අපට තියෙන අඟහිඟකම්. ඊයේ ලොකු කොළුවා ඉස්කොලෙ ඇරිලා එන ගමන් සයිමන්ලගෙ වත්තෙන් කොස් ගෙඩියක් කඩා ගෙන ඇවිත් තිබුණා තම්බන්න..... උන් දන්නවා මං උන්ට කන්න දෙන්න දෙයක් නැතුව දුක්වෙනව කියල.‘‘


"ඇයි මද්දුමයා කුසුම්ගෙ වත්තට පැනල වම්බටු ගෙඩි දෙකක් කඩාගන්නවා දැකලා, එකී මද්දුමයට හොඳටම ගහල.... හවස ගේ ගාවට ඇවිත් මටත් කුණුවෙන්න බැන්නා....මම ළමයි හොරකමෙ යවනවා කියල.....‘‘ අම්මා දුකෙන් කියයි.


‘‘අනේ මන්ද කුසුමෝ.... මේ ළමයි ටික ලොකු කරගන්නෙ කොහොමද කියලා, මට නමි හිතා ගන්නත් බෑ මුන් ටික ටික ලොකු වෙනකොට වියදම කොහොමද දරා ගන්නේ කියලා ..... අනික පොඩි වුන් දෙන්නත් ඉස්කෝලෙ යන්න පටන් ගත්තම තව පොත් පත් වලටත් ලොකු වියදමක් යයි....‘‘


"‘ ලොකු හාමුදුරුවෝ ඊයේ පාරේදි හම්බවෙලා කිව්වා සෙනසුරාදාට හවසට පන්සලේ බණක් තියෙනවා ඒ නිසා, උදේට ඔහේට පන්සලට ඇවිත් වත්ත පිටිය සුද්ද කරන වැඩවලට උදව් කරන්න කියලා.‘‘


‘‘ලොකු හාමුදුරුවෝ අපට උදව් කරන විදිහට.... උන්නාන්සේ උදව්වක් ඉල්ලූහම නොකර බෑ....මම හෙට උදේ වරුවේ පන්සලට ගිහින් එන්නම්.....‘


‘‘ඒක තමයි කොහොම හරි උදේ වරුවක් නිවාඩු දාලා පන්සලට යන්න. පන්සලේ ශ‍්‍රමදානයක් තියනවා කිව්වා...හෙට ලොකු ළමයි තුන්දෙනාටත් පන්සල් ගිහින් උදව් කරන්න කියන්න ඕනේ.....‘‘


‘‘උන්ට නම් කියන්න ඕනේ නෑ.... උදේ හීල්දානෙයි, දවල් දානෙයි පන්සලෙන් හම්බවෙන නිසා උන් අනිවාර්යයෙන් ම පන්සලේ වැඩට යන්නෙ ආසාවෙන්....‘‘


‘‘අනේ පව් පොඩි වුන්, කෑම ටිකක් හම්බවෙනව කියල දැනගත්තම ගමේ, වෙලේ, කයියවල්වලටත් ගිහින් උදව් කරල බඩ කට පුරව ගෙන එනවා. ඒ එනගමන් මටත් බත් එකක් ඉල්ලගෙන එන්න අමතක කරන්නෙත් නෑ....”


‘‘ළඟ එන වෙසක් උත්සවයට පොඩි උන් බට කෝටු කපා ගෙන කූඩු හදනවා.... සව් කොළ ටිකක් ගෙනත් දෙන්න ඕනේ කූඩු අලවන්න....‘‘


‘‘ඔය කූඩු හදන්නෙ මේ ගෙයි එල්ලන්න නෙමේ..... පාරේ අයිනෙ තියලා විකුණලා කීයක් හරි හොයා ගන්න.‘‘


‘‘එහෙනම් මොනවහරි කරල සව්කොළ ටිකක් ගෙනත් දෙන්න ඕනේ...උන්ගෙ ඉස්කෝලේ වියදමට ඔය කීයක් හරි හොයා ගන්න හදන්නේ.....‘‘


‘‘මද්දුමයට තොරණක් හදන්න කැරකෙන බුදුරැස් මාලාවක් ඉල්ලලා බේරෙන්න බෑ..... බැරි වෙයිද කැරකැවෙන බුදුරැස් මාලාවකුයි, මෝටරයකුයි මද්දුමයට ගෙනත් දෙන්න.....‘‘


‘‘පිස්සුද කුසුමේ..... කොහේ තියෙන සල්ලි ද බුදුරැස් මාලා ගන්න...‘‘

‘‘ අද මද්දුමයා සිරිසේනලාගෙ බට් අඹ ගහෙන් අඹ ගෙඩි දෙකක් හොරෙන් කඩලා..., ඒක අහුවෙලා සිරිසේන කොල්ලට හොදටම ගහලා....‘‘


‘‘මද්දුමයා හදන්නම බෑ. පොඞ්ඩ ඇත්නම් වූ අනුන්ගෙ කියල බලන් නෑ හොරෙන් කඩා ගෙන එනවා දකින දකින දේ.....‘‘


‘‘ ඉරිදා දහම් පාසැලට වත් ඌව දාන්න ඕනේ.... හාමුදුරුවන්ට කියල අවවාද කරවන්න. නැත්නම් කොල්ලා හොරෙක් වෙයි....‘‘


‘‘අපෝ ඌ දහම් පාසල් යන්න ඉරිදා උදේ පාන්දර නම් නැගිටින එකක් නෑ.....ඌ උදේ පාන්දර නැගිටින්න හරිම කම්මැලියි....‘‘


"‘එහෙම කියල බෑ. ඔය ලොකු උන් දෙන්නා දහම් පාසල් යන්නේ මද්දුමයාවත් යවන්න ඕනේ. හොඳ ගුණධර්ම ටිකක්වත් උගන්වන්න....‘‘


අම්මයි, තාත්තායි මාව ඉරිදාට දහම් පාසල් අරින්න නොයෙක් ලෙස උත්සහ ගනියි.... සතියෙ දවස් පහේම උදේම නැගිටලා ඉස්කෝලේ යන අපට, වැඩිපුර නිදාගන්න ලැබෙන්නෙ සෙනසුරාදා හා ඉරිදා පමනි. ඒකත් නිදාගන්න හැටියක් නෑ.... ඉරිදට දහම් පාසල් යන එක තරම් අකමැති වැඩක් තවත් මට නැත. අක්කයි, අයියයි දහම් පාසල් යන්න ලෑස්ති වෙන වෙලාවට මම තව ටිකක් ඇස් තද කරන් නිදා ඉන්නෙ දහම් පාසල් යන්න ඇති අකමැත්ත නිසාමය....

අම්මත්, තාත්තාත් නිතර පන්සල් යන පන්සලේ හොඳ දායකයන් දෙදෙනෙකි. පන්සලේ හැම වැඩ කටයුත්තකට ම සහභාගී වන ඔවුන් අපිව පන්සලේ වැඩවලට උනන්දු කරවයි. අක්කයි, අයියයි, අම්මා, තාත්තා මෙන් ම පන්සලේ වැඩවලට ඉතා උනන්දුවෙන් සහභාගී වෙන අතර, මම නම් පන්සල් යෑමට ඉතා අකමැත්තෙමි. මම පන්සලට යන්නෙ උදේට දවල්ට නිකන් දානේ කන්න ලැබෙන දිනවලට පමණය.... පන්සලේ පෝය දිනවලට දායකයන් ගෙනෙන උපාසක දානය නම් මා කවදාවත් මග නො හරිමි. පෝය දිනට අක්කත්, අයියත් සමඟ සිල් ගන්නා මම උදේ අටසිල් සමාදන් වෙන වේලාවට ද කල් ගත කරන්නෙ අද උදේ හීල් දානයට මොනවා තිබේදැයි සිතමින්ය....


උදේ පාන්දර සිල් සමාදන්වන උපාසකයන් බුදු ගෙයි ගාථා කියන වේලාවට උපාසක දානය බණ මඩුවේ ලෑස්ති කරන්නෙ පන්සලේ දායකයන් ය.....පෝය දිනට ගමේ සියලු දායකයන් විසින් ගෙන එන දානය පිඟන්වලට බෙදා සිල් සමාදන් වී ඉන්නා උපාසකයන්ට බෙදා දෙන්නෙ ඔවුන් ය. උදේ හීල් දානයට බොහෝ විට කපපු පාන් සමඟ පරිප්පු හෝ අල හොඳි, පොල් සම්බෝල තිබෙයි. ඒවා කා අහවර වූ විට කෙසෙල් ගෙඩිය බැගින් අපට කන්නට ලැබේ. පෝය දිනට සිල් සමාදන් වන්නට එන සියලු දරුවන් මා මෙන්ම බලා සිටින්නෙ දානේ වේලාව එන තෙක් ය.


‘‘බණ මඩුවෙන් හොඳ සුවඳක් එනවා. අද හීල් දානෙට මොනවද දන්නෑ තියෙන්නේ ....‘‘.

මම ලඟ සිටින කමල්ට හොරෙන් කියන්නෙ ඔහුත් මා මෙන් ම දානෙ කෑමට සිල් ගන්නා බව දන්න නිසා ය.


‘‘අද නම් ඉඳි ආප්ප තියෙනවලූ හීලට, කඩේ මුදලාලිලාගේ ගෙදරින්ලූ උපාසක දානේ.‘‘


‘‘ඇත්තට‘‘


මගෙ කටට කෙළ උනන්නෙ ඉඳි ආප්ප මතක් වීය.


"අද දවාලටත් මුදලාලිගෙ ගෙදරින්ලූ උපාසක දානේ.... ගිය අවුරුද්දෙ මුදලාලිලාගෙ ගෙදරින් ගෙනාපු උපාසක දානෙට අලුත් මාළුත් දුන්නලු. බත් කාලා කන්න යෝගට් එකකුත් දීලා.‘‘


‘‘ඇත්තට එහෙනම් අද දවාලටත් එවා තියෙයිද දන්නෑ?”


පුංචි අපි පන්සලේ සිල්ගන්න යන්නෙ උදේට දවල්ට හම්බ වෙන දානේ ගැන සිතමින් ය.

ගමේ පන්සලේ දායකයින් පෝය දිනට, ගෙදරින් උයා එළවලූ, මාළු ආදිය පන්සලට රැගෙන එති. එබැවින් උපාසක දානයට නොයෙකුත් රස මාළු පිනි තිබෙන බව අපි දනිමු. එදිනට විවිධ රසැති බත් මාළු කන අපි හවස සිල් පවාරනය කරනාතෙක් බලා සිටින්නෙ දහවල් දානය නිම වූ වෙලාවේ සිටය..... ඒ ගෙදර යන්නටය.


සාමාන්‍යයෙන් උදේට දවල්ට පන්සලේ දානයට මස් මාළු නොලැබෙයි. එළවලූ වර්ග බොහොමයක් සමඟ බත් කෑමට ලැබීමත් පුංචි අපට සතුටකි. ඉඳහිට පොහොසත් දායකයන් යෝගට් ආදිය දානෙට පිළිගන්වයි. එදිනට අප ඒවා කන්නෙ බොහෝ කැමැත්තෙන් ය.


"‘මද්දුමයා සිල් ගන්න ගිහින් පෙරේතයෙක් වගේ කන්නේ. මට ලැජ්ජාවේ බෑ.....‘‘ අක්කා ගෙදර ආ සැනින් අම්මාට කේලම කියයි.”


"‘පොඩි එකානෙ. ඌට රසට කන්න තියෙන නිසා තමයි සිල් ගන්න යන්නෙ. නැත්නම් ඕකා ආගමට දහමට ලැඳි එකෙක් නෙමේයි‘‘


‘‘අපොයි ඔව්... පන්සිල් පද පහවත් ඌ රකින්නෙ නෑ. අර වෙලේ තිත්ත පැටව් අල්ලන්න ගිහින් ඌ මාළුත් මරනවා.... ඒ මදිවට කාගෙ හරි වත්ත පිටියක පළතුරක් දැක්කොත් හොරෙන් කඩා ගෙන කනවා. ඒ මදිවට බොරුත් කියනවා...." අක්කා නිතරම අම්මා සමඟ මගේ වැරදි කියයි.


‘‘පොඩි එකානෙ දුවේ.‘‘


අම්මා මං කරන වැරදි ගණන් නොගනී.


‘‘අම්මා තමයි ඌව නරක් කරන්නෙ. අනුන්ගෙ දෙයක් හොරෙන් කඩා ගෙන ආපු දවසටවත් අම්මා ඌට දඬුවම් කරන් නෑනේ.....‘‘


‘‘ලොකු වෙනකොට ඕවා හරි යයි කෙල්ලේ..... ඌ යකෙක් කන්න බඩගින්නෙ හැම තිස්සෙම ඉන්නෙ....ඌට කොච්චර කන්න දුන්නත් මදි.... කොල්ලො කුරුට්ටෝ එක්ක කැලේ පැනල අඹ ගැටයි, කජු පුහුලනුයි, දකින දකින ගඩා ගෙඩි කනවා.... ඔහොම තමයි ඔය වයසට"‘


අම්මා නිතර මාව බේර ගන්නෙ පොඩි එකා කියමින්ය.


🥀🥀🥀🥀🥀🥀

එතෙරින් එතරට

මම දැන් අවුරුදු එකළොහක පිරිමි දරුවෙක් වෙන්නෙමි. නිතර බඩගිනි වෙන මට, මොනවා හෝ බඩට දමා ගන්නට අවශ්‍යය....ඉගෙනීමට ඒ තරම් කැමැත්තක් නැති මම, විනෝදාංශය ලෙස, කැඩුණු බිඳුණු සෙල්ලම් බඩු ආදිය එකට එකතු කර නැවත තිබුන තත්ත්වයට ගෙන එන්නට ඉතා දක්ශයෙක් වෙමි. කාගෙ ගෙදරක වුණත් කැඩුණු බිඳුණු විසි කර දමා තිබෙන බඩු කෑලි දුටුවිට, මම ඒවා ගෙදර ගෙනවිත්, එකට යා කර පූට්ටු කර සාදා දමන්නෙ ඉතා දක්ෂ ලෙසය.... ගමේ සිටින දුප්පත් මිනිසුන් කාහට උනත්, ඒ හැටි වටින කියන බඩුමුට්ටු නැත. ඔවුන් ගෙවල්වල අහක දමන කාඩ්බෝඩ් පෙට්ටි පරණ යකඩ කෑලි, රබර් කෑලි මම ගෙදර ගෙනවිත් යම් යම් නිර්මාණ කරන්නෙ ඉතා පළපුරුදු කෙනෙකු ලෙසය.


‘‘මද්දුමයට හොඳ නිර්මාණ හැකියාවක් තියෙනවා.....අත ගහන ඕන දෙයක් ලස්සනට හදලා කරලා ගන්න පුලුවන් ... ‘‘

තාත්තා කඩමණ්ඩියට ගොස් එනවිට පරණ කාඩ්බෝඩ් පෙට්ටි, ටොනික් පියන්, බීම බට, ප්ලාස්ටික් කෑලි ආදිය ගෙනැවිත් දෙයි. ඔහු මං කරන සියලු නිර්මාණයන් වලට තව තව උනන්දු කරමින්, ඒවා අගය කරයි. මම කරන වැඩ ගැන අනිත් අයට ද කියමින් මා ගැන වර්ණනා කරයි.

‘‘තාත්තෙ අපේ ඉස්කෝලේ වෙසක් උත්සවයට වෙසක් කූඩු තරඟයක් තියෙනවා.... මට සව් කොළ ඕනේ ලස්සන නෙළුම් මලක් හදන්න.....‘‘


‘‘බලමු මේ දවස්වල මගේ ලඟ සල්ලි නෑ."

පාසලේ ළමයින් හැමෝම වෙසක් උත්සවයට නොයෙක් ආකාරයෙ වෙසක් සැරසිලි කිරීමට දැන්ම තියා ලෑස්ති වෙති. වෙසක් කූඩු තරඟයට පාසැලෙන් ලබා දෙන්න නියමිත තෑගි ලබා ගන්නා බලාපොරොත්තුවෙන් ලහි ලහියේ ලෑස්ති වෙති.....ගමේ යමක් කමක් වැඩිපුර ඇති ළමයින් විවිධ අලූත් වෙසක් සැරසිලි ආදිය පාසලට ගෙනවිත් පාසැලේ ළමයින්ට පෙන්වති.....


ටවුමේ ලොකුම එළවලූ කඩේ මුදලාලිගෙ ලොකු පුතා වන "සහන්", ලස්සන බුදු පිළිමයක් පාසැලට ගෙනවිත් තිබුනේය. එහි බුදුරජාණන් වහන්සේගේ සිරසෙන් විහිදෙන බුදු රැස් මාලාව කැරකෙන්න සාදා ඇත.... එය බැටරි දමපු මෝටරයකින් වැඩ කරයි. බුදුරැස් මාලාව කර කැවෙන හැටි බලා ඉන්න බැරි තරම් ලස්සනය. බුද්ධ ප්‍රතිමාවේ පාට පහේ කරකැවෙන බුදුරැස් මාලාව බලන්න පන්තියේ ළමයින් පොරකමින් වට වී ඇත..... බුද්ධ ප්‍රතිමාවේ කරකැවෙන බුදුරැස් මාලාව දිහා මම ඇස්පිල්ලන් නොගසා බලන් සිටියෙමි. ඒ දෙස බලා සිටියදී මා හට ඇති වුණේ ලොකු දුකකි.... මට නමි කවදාවත් මේ වගේ බුදුරැස් මාලාවක් සහිත මෝටරයක් නම් ගන්නට නොලැබෙන බව හොදටම දන්නෙමි. එවැනි දෙයක් මිලදි ගන්නට තාත්තාගෙන්, අම්මාගෙන් මුදල් ඉල්ලා වැඩක් නැත.....


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentários


bottom of page