top of page
  • Writer's picturePrisila Godahewa

✈️එතෙරින් එතෙරට✈️ 💥තුන්වන කොටස


---------------------------

බුදු තෙමඟුල

සිහිකරමින් මුළු ලංකාවෙම බෞද්ධයන්, වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් සැරසිලි කරන කාලය උදාවි ඇත..... බෞද්ධ පාසැල් වල දරුවන්ද වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් සැරසිලි කරමින් ලෑස්ති වන්නේ බොහෝ උද්‍යෝගයෙනි.... බෞද්ධ දරුවන් ඒ වෙනුවෙන් තව තව උනන්දු කරවීමට, පාසැල් වල ගුරුවරුන් වෙසක් කූඩු තරඟද පවත්වති......තෑගි බලාපොරොත්තුවෙන් තරඟයට වෙසක් කූඩු, වෙසක් සැරසිලි කරන අය අතර මමත් තවත් කෙනෙක් වෙන්නෙමි.


ටවුමේ එළවළු කඩේ මුදළාලිගෙ පුතා වන "සහන්" විසින් පාසැලට ගෙනා බුදුරැස් මාලාවක් සහිත බුදු පිළිමය දැන් පාසලේ ලොකු මහත්තයාගේ කාමරයේ පැත්තක තියා ඇත. ඒ කාමරය පුරා පාසැලේ අනෙක් දරුවන්ගේ වෙසක් කූඩූද එල්ලා ඇත... වෙසක් දිනට පාසැල පුරා ඒවා එල්ලිමට පෙර, ආරක්ශාව සඳහා ඒවා පරිස්සමට මෙම කාමරයේ තබා ඇත.


මේ වන විට පාසැලේ සියලූ දරුවන් තමන්ට පුළු පුළුවන් විදිහට වෙසක් සැරසිලි ගෙදර දී සාදා නිමකර පාසැලට ගෙනවිත් ඇත.


පාසලේ ලොකු ඉස්කෝලෙ මහත්තයාගෙ ඔෆිස් කාමරයට අල්ලපු කාමරේ ඇති නා නා විධ වෙසක් සැරසිලි අතර, මගේ හිත ගිය ලොකුම සැරසිල්ල වුණේ සහන් ගෙනා කරකැවෙන බුදුරැස් මාලාව සහිත බුද්ධ පිළිමයයි.


‘‘මොකද උඹ වෙසක් සැරසිලි දිහා බලා ගෙන කල්පනා කරන්නෙ...?"


කමල් මගෙන් අසන්නේ මම කතා බහක් නැතිව ඒ දෙස බලා සිටිනා නිසාය.


"නෑ... නිකං.... මං හදපු නෙළුම් මල් දෙක අලවන්න තාත්තා තවම සව් කොළ ගෙනත් දුන්නෙ නෑනේ....‘‘


‘‘අපේ තාත්තා නම් මට පාට තුනකින් ම සව් කොළ ගෙනත් දුන්නා.... අපේ ලොකු අයියා මට කූඩු අලවන්න උදව් කරනවා කියලත් කිව්වා....‘‘


‘‘මට නම් අපේ ගෙදර කවුරුත් උදව් කරන් නෑ. මම තනියම හැමදේම කරගන්න ඕනේ....‘‘


හවස පාසැල අවසන් කරන සීනුව නාද විය..... පාසැල හවස ඇරුණුට පසු ළමයින් කඩිගුලක් ඇවිස්සුනු ලෙස ගෙදර යන්න දඟලයි....


”අන්න අනිත් ළමයි ඉස්කෝලේ ඇරිලා ගෙදර යනවා, අපිත් යමු.... ‘‘


සුමනේ මට ගෙදර යන්න කථා කරන්නේ, වෙනදාට අපි දෙදෙනා පාසැල ඇරි එකටම ගෙදර යන නිසයි.


‘‘උඹ පලයං මං එන්නම් ටිකකින් "

පාසල ඇරි ගුරුවරුන් ළමයින් හැමෝම කඩි මුඩියේ ගෙවල් බලා යනතෙක් මම පාසැලේ කොනකට වි බලා උන්නෙමි..... මට තාමත් ගෙදර යෑමට හිතක් නැත. මගේ ඔලූවේ ඇත්තෙ කැරකෙන බුදුරැස් මාලාවේ දසුනයි..... මගේ ඇස් ඉදිරිපිට බුදුරැස් මාලාව කැරකේ......

අනේ.... ඒකේ ලස්සන. කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නැති හැටි..... තව පාරක් මට බුදුරැස් මාලාව බලන්න ඇත්නම්.....ඔව්, වෙසක් සැරසිලි කාමරය ලඟට ගියා නම් මට එය නැවත බැලිය හැක.


මං හිටි තැනින් නැගිට ලොකු මහත්තයාගෙ කාමරයට අල්ලා තිබුණ ශාලාව දිහාවට ඇවිදගෙන ගියේ කඩිනමින්ය.


එම ශාලාවේ කොටු බිත්තිය ලඟට ඇවිද ගිය මට, කාමරයේ ලැටිස් ගසා ඇති හිඩැස් අතරින්,ශාලාවේ ඇති නොයෙකුත් ආකාරයේ පාසැල් දරුවන්ගෙ වෙසක් සැරසිලි පෙනින..... මුළු කාමරයම වෙසක් කූඩුවලින් පිරී ගොස් ඇත. ඒවා වෙසක් දින රෑට පාසැල් මිදුලේ එල්ලන්න සියල්ල සූදානම්ය.....ශාලාවේ තිබුණ ලොකු මේසය උඩ කැරකෙන බුදු රැස් මාලාව සහිත "සහන්" ගෙනා බුදු පිළිමය තියා ඇත.... බුදුරැස් මාලාව දැන් කැරකෙන්න නැත. එහි සුවිචය නිවා දමා ඇත..... එය කැරකෙන්නෙ බැටරි දෙකකින් බව මම දනිමි..... මං කෙටි බිත්තියේ එල්ලී ලැටිස් දැල් අතරින් බුද්ධ පිළිමය දෙස බලා උන්නෙ පුදුමකාර ආසාවකිනි..... අනේ පාට පහේ බුදුරැස් මාලාවේ තිබෙන ලස්සන .....කොච්චර බලා හිටියත් එය නම් මට ඇති වෙන්නේ නැත..... ක්ෂණිකයෙන් මට ඇති වුණ සිතිවිල්ල ඔස්සේ මං කාමරයේ දොර ලඟට ගොස්, දොරේ අගුලට අත තබා එය කර කැවෙනවාද බැලූවෙමි.....


පුදුමයකි දොරේ බෝලය කැර කැවී දොර ඇරිනි.... මම වට පිට බැලූවෙ අවට භූමියේ කිසිවෙක් ඇත්දැයි සැකයෙනි. පෙනෙන තෙක් මානයක කවුරුත් නැත..... සැවොම පාසල ඇරී ගෙවල් බලා ගොස්ය. මං ඇරුණු දොරෙන් කාමරය තුළට ගොස් සහන් ගෙනා බුද්ධ පිළිමය දෙස බලා සිටියේ පුදුමාකාර ආසාවකින් හා කෑදර කමකිනි.


මම හෙමිහිට බුදු පිළිමය ලඟටම ගොස්, එයට අත තබා පිටුපස හරවා බැලූවෙමි. මට එහි ඇති බුදුරැස් මාලාව කරකැවෙන මෝටරය දැක ගත හැකි විය. මට ඇති වුණේ සතුටකි......


ක්ෂනිකයෙන් ඇතිවු සිතිවිල්ලත් සමග.... මෝටරය අතින් ඇඳ මම එය ගලවා ගත්තේ සිතන්නටවත් නොහැකි තරම් කඩිනමින්ය.... එය ගලවා ගත් සැනෙින් මම කාමරයෙන් එළියට පැන ගත්තෙමි....


"මොනවද ඔය ළමයා ඔතන කරන්නේ….. ඇයි...? , මොකද උඹ ඔය කාමරය ඇතුලට ගියේ.......?‘‘


කළබලේ කාමරයෙන් එළියට ආ මගේ ඉදිරිපිට සිටගෙන සිටියේ පාසැලේ දෙවෙනි ඉස්කොලේ මහත්තයායි.....ඔහු දැක මාව බයෙන් ගැහෙන්නට විය.... ඇස් දෙකෙන් කඳුළු පනින්න ලං විය.... මම කලේ විශාල වැරැද්දක් බව මම දැනන් උන්නෙමි.


‘‘මොකද උඹ කතා නැත්තේ? මොකද බයවෙලා...? , මොකක්ද ඔය උඹේ අතේ තියෙන්නේ …..? පෙන්නනවා අත...‘‘


ඔහු මට තර්ජනය කරමින්, මගේ පිටුපසට කර හංගාගෙන තිබු අත තදින් ඉස්සරහට ඇද බැලුවෙිය.


මම මගේ අතේ තදින් ගුළි කරගෙන තිබු ,බුදුරැස් මාලාවේ මෝටරය ඔහුට ඇගිලි දිග හැර පෙන්වීය.


"අනේ... අනේ.. .උඹ...මේ බුදුරැස් මාලාවේ මෝටරය නේද ගලවලා ඇරන් තියෙන්නේ ....? උඹ මේක ගලවලා ගත්තෙ මොකටද ...? උඹ මේක හොරකම් කරා නේද ... ?. දන්නෙ නැද්ද හොරකම් කරන්න හොඳ නෑ කියලා.....උඹෙ ලොකු උන් එවා කියලා දීලා නැද්ද...? හොරා...පළයං යන්න මෙතනින්..."

ඔහු මගේ කනෙන් ඇද අතේ තිබුණ මෝටරය අතට ගත්තේ මගේ අත රිදෙන්න තරම් තදින් මිරිකා අදිමින්‍ය..... ඉන් පසු ඔහු මගේ පිටට දෙතුන් පාරක් තඩි බෑවෙිය....


‘‘හිටපං මං ලොකු මහත්තයාට කියල උඹව හෙට ඉස්කෝලෙන් අස් කරනවා.... දැන් පලයං ගෙදර මං උඹව අල්ල ගන්නම් හෙට....එනවා මෙතන හොරකම් කරන්න ....උඹෙ අම්මා තාත්තා කියලා දීලා නැද්ද, අනුන්ගේ දේවල් හොරකම් කරන්න හොද නෑ, පව් සිද්ද වෙනවා කියලා ....‘‘


ඔහු මට තව පාරක් තදින් ගසා තල්ලූ කර දැම්මේය....


මගේ ඇස් දෙකෙන් කඳුළු පැන්නේ නොදැනුවත්මය.... මං මගේ පාසල් පොත් දෙක තුන කිහිල්ලෙ ගසා ගෙන පාසැල් වත්තෙන් එළියට දිව්වේ බයෙන් ගැහි ගැහිය.... මම දැන් මොකද කරන්නේ කියා, මට හිතා ගැනීමටත් බැරිය....


අනේ දෙයියනේ හෙට මං දැන් ඉස්කෝලෙ යන්නෙ කොහොමද ...? දෙවන ඉස්කොලේ මහත්තයා මුළු ඉස්කෝලෙම ළමයින්ට කියයි, මං බුදුරැස් මාලාවේ මෝටරය හොරකම් කරපු කතාව..... ලොකු මහත්තයා ඒක දැන ගත්තහම මාව කෝටු මස් කරයි.... තාත්තාටයි, අම්මටයි එන්න කියලා මං බුදුරැස් මාලාවේ මෝටරය හොරකම් කළ කථාව කියයි..... මං දැන් මොකද කරන්නෙ. මට මොනවත් හිතා ගන්නට බැරිය....


පාසල් ගේට්ටුවෙන් නික්ම මං හෙමින් හෙමින් කැලෑ පාරෙන් ගෙවල් පැත්තට ගියේ දෑසින් කඳුළු බේරෙද්දී.....අද මම පාසැලේ දෙයක් හොරකම් කර දෙවන මහත්තයාට අසුවි ඇත..... ඇයි මම අර මෝටරය හොරකම් කලේ....මීට පෙර මම අනුන්ගේ ගෙවල්වල පළතුරු එළවළු කඩලා ඒ ගෙවල් වල මිනිස්සුන්ගෙන් ගුටිත් කාලා තිබිලත්, ඇයි මම අනුන්ගේ දෙයක් හොරකම් කලේ.....පිට මිනිස්සුන්ගෙන් මම හොරකම් වලට දඬුවම් විද තිබුනත්, කවදාවත් අපේ අම්මා මට, අනුන්ගේ දෙයක් ගත්තට, කවදාවත් දඬුවම් කර තිබුනෙ නැති නිසා වන්නට ඇති..... මම ආයෙත් භය නැතුව හොරකම් කලේ.....


මං දැන් ගෙදර ගියොත් හෙට උදේ මට ආයෙත් ඉස්කෝලෙ යන්න වෙනවා.... උදේට ඉස්කෝලෙ ගියොත් හැමෝම ඉස්සරහ ලොකු මහත්තයා මං කරපු හොරකම හැමෝටම කියාවි.... අනේ මට නම් බෑ ආයෙත් ඉස්කෝලෙ පැත්ත පලාතේ යන්න.... මං ගෙදර නොයා කැලේ පැත්තට ගියේ බඩ ගින්නේ මය. වෙනදා නම් මේ වෙලාවට ගෙදර ගොස් අම්මා උයා තිබෙන දෙයක් කන්නෙ එක හුස්මටය.... නමුත් අදනම් මට බඩ ගින්නක් දැනෙන්නේම නැත. ගෙදර යන්නටද සිතක් නැත....

කැලේ පැත්තට ඇවිදගෙන යන විට මම වෙනදාට කොල්ලෝ සමග කැලේ පැන අඹ කඩාකන අඹ ගස දකින්න ලැබිනි..... කිසි අපහසුවක් නැතුව ඒ ගහට නැගගත් මම අමු අඹ කෑවේ බඩගින්න යන්නත් එක්කය.....


තනියම කැලේ වැඩි ඈතකට ගියොත් මම අතරමං වෙයි කියන සිතිවිල්ලත් මට ඇතිවි ඇත.... මං අඹ ගහෙන් බිමට බැස, නැවත අපේ ගෙවල් පේන දුරට ඇවිද ගොස් ගෙවල් පේන දුර තිබුන කොස් ගසට නැග ගත්තෙමි.


ගෙදර කාටවත් නොපෙනෙන්න ගහට නැග ගත් මම, අපේ ගෙවල් පැත්ත බලාන උන්නේ දෙවැනි මහත්තයා මං කරපු හොරකම කියන්න අපේ ගෙදර පැත්තෙ කොයි වෙලේ හෝ එයිද කියන අදහස මගෙ හිතේ තිබුන නිසයි .....


හැන්දෑ අහසේ මළහිරු බැසයන මොහොත දක්වා මම ගහ උඩටම වි සිටියෙමි .

හොඳටම හවස් වී ඉර කරුවල වැටෙන වෙලේ ,තාත්තා බඩු මල්ලක්ද උස්සා ගෙන ගෙවල් පැත්තට යනවා මම ගස උඩට වි බලන් උන්නෙමි ..... තාත්තා වැඩ ඇරි ගෙදර යන වෙලාව.....දැන් ඔහු මාව සොයන්න පටන් ගනු ඇත.....


ටික වේලාවක් යන විට අපේ ගෙවල් පැත්තෙ මිනිසුන් දෙතුන් දෙනෙකු කැර කැවෙනවා මට ඈතට පෙනින ..... අම්මා මල්ලි වඩා ගෙන තාත්තා සමඟ ගෙයි ඉදිරිපිට මොන මොනවදෝ කතා කරනවාද පෙනේ.... පාසැල ඇරි මං ගෙදර නොගිය නිසා, ඔවුන් මා දැන් හොයන බව මට තේරුනි.


ගෙදර වත්තේ සිටි තාත්තා හා අහල පහල ගෙවල්වල පිරිමි දෙතුන් දෙනෙක්ම කැලේ පැත්තට එනවා දැක මා නැගවුන් ගහේ තව තවත් උඩට ගොස් ඔවුන්ට නොපෙන්න සැඟ වී උන්නෙමි.


‘‘මද්දු... මද්දු... උඹ කොහේද?‘‘.....

තාත්තාගෙ කටහඬ ඇසෙයි.


‘‘මද්දු පුතේ උඹ කොහේද?


සයිමන් සීයාත්, කමල් මාමාත් තව අය මා සොයමින් කැලේ පැත්තට යන හැටි මා බලාන උන්නෙ කොස් ගහේ කරටියට විය.


මම පාසල ඇරි ගෙදර නොගිය නිසා තාත්තාගෙනුත් ගුටි කන්න වෙයි ද කියා මට දැන් බය සිතේ....


ඔන්න ඔහේ දැන් මම ගෙදර යනවා....වෙන දෙයක් වෙද්දෙන්.....


මම සිටි ගහෙන් හෙමිහිට් බිමට බැස, ගෙදර පැත්තට හෙමින් හෙමින් ඇවිද ගියෙ හිතෙ සැකෙන්මය. මාව දුටු සැනින් අම්මා සතුට මුසු කේන්තියකින් කතා කලාය.


"කොහේද උඹ ගියේ? අන්න තාත්තලා කැලේ පැත්තට ගියා උඹව හොයන්න….. හමිබ වෙයි දැන් උඹට, තාත්තා ගෙදර ආවාහම"


මං කිසිත් කතා නොකොට ඇඳේ නිදිය ගත්තේ බඩගින්නෙමය.


‘‘උඹ අද මොනව හරි හොර වැඩක් කරලා කාගෙන්හරි ගුටි කෑවා නේද?‘‘


අක්කා පැමිණ මට බනින්න පටන් ගත්තේ ඇය මගේ හැටි දන්නා නිසයි.


‘‘මද්දු ඇවිත් මේ බත් එක කාලා බුදිය ගනින්.... දැන් තාත්තා ආවාහම උඹ ගුටිකනවා…ඉස්කෝලේ ඇරිල ගෙදර එන්නෙ නැතුව කැලේ පැන්නට.‘‘


අම්මා මට බත් පිඟානක් හා වතුර ජොග්ගුවක් ගෙනත් අතට දුන්නාය.


මං වතුර ජොග්ගුවෙන් අත සෝදාගෙන එක හුස්මට බත් පිඟාන ඉවර කලෙමි.


‘‘ගිහින් මූණ කට හෝදගෙන නිදා ගනින්. මං තාත්තලාට පණිවිඩය ඇරියා උඹ ගෙදර ආවා කියලා..... තාත්තා එන්න ඉස්සර බුදිය ගනින්. නැත්නම් උඹට හම්බවෙයි කොටු මස් පාර...‘‘


අම්මා මා බේරා ගැනීමට උත්සහ කරයි. මම බාගෙට මූණ හෝදාගෙන බූරු ඇඳේ ඇලවුනේ තාත්තා ගෙදර එන්නටද පෙරය.


-හෙට හමුවෙමු --

*ප්‍රිසිලා ගොඩහේවා *

0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page