top of page
  • Writer's picturePrisila Godahewa

✈️එතෙරින් එතෙරට✈️ අද අවසාන කොටස 💥💥42කොටස


සුමුදුත් මමත් උදේට නැගිට, ගෙදර උදේ වැඩ රාජකාරි ටික ඉවර කලාට පසු, මම වත්තේ වැඩ කරන්න යන අතර, සුමුදු කොම්පියුටරේ මොනවා හෝ බලමින් කාලය ගත කරයි..... සාමාන්‍ය විදිහට ජීවිතය ගෙවි යනවා ඇරෙන්න ,ජීවිතය අලුත් යමක් සිද්ද නොවේ....රැකියාවක්වත් තිබුනා නම් උදේ ගිහින් හවස එන්න......මේ පාළුව මකා ගන්නට හැක. සුමුදු මට රස්සාවල්, කම්පියුටරය හරහා හොයන්න මහන්සි වෙන බව පෙනේ.....ඒත් එය ලේසී පහසු කටයුත්තක් නොවන බව දනිමි. ඔස්ට්‍රේලියාවේ ඉන්න සුමේධ සමඟ කතා කර ,එරටේ වත් මට රස්සාවක් හොයා ගන්න පුලුවන් නම්, සුමුදු සමග ඔස්ට්‍රේලියාවේ ගොස් පදිංචි වි සතුටින් සැහැල්ලුවෙන් ජිවිතය ගත කරන්න පුලුවන් බව දැනේ....හේතුව අපි දෙන්නව අඳුනන කවුරුත් ඔස්ට්‍රේලියාවේ නැති නිසායි....සුමේධට ටෙලිෆෝනයෙන් කතා කර ඒ ගැන කිව යුතු යැයි මම හිතේ තබා ගත්තෙමි.


"විසල්, විසල්…. ඔයා කොහේද..?…හරි වැඩේනේ……"

සුමුදු ගේයින් එලියට විත් මා සොයයි .

"ඇයි මම මෙහේ….සුමුදු කලබලේ මා සොයාගෙන මගේ ලගටම දුවගෙන එයි

" ඇයි කලබලේ…..?

"

" හරි වැඩේනේ…..එන්නකෝ ගෙට…...දැන් මට කසුන් කතා කලානේ….

"කසුන්…..කවුද …ඒ…..?


"මගේ හස්බන්ඩ් ….

"ඉතින්……...මොනවාද කිව්වෙ ?


"මම එයාට යවපු ඩිවෝස් පේපර්ස් එයාට හම්බවෙලා …. ඒකට උත්තර එවලා නැත්තේ එයා එන සුමානෙ නිව්සීලන්ඩ් එනවලු…..මට එයර්පෝට් එකට එන්ඩලු එයාව එක්ක යන්න …....ඒ මදිවට මාර දේවල්නේ කිව්වෙ …."

"ඇයි මොනවාද කිව්වෙ …?

"එයා ඉංග්ලන්ඩ් අත ඇරලා මෙහේ පදිංචියට එනවලු….. මගින් මගට මගෙන් සමාව ගත්තා ....පහුගිය කාලේ උන දේවල් ඔක්කොටම.......ඔක්කොම පරන දේවල් අමතක කරලා අපි ආයෙත් එකට ඉදිමුලු….එයා ආයෙත් කවදාවත් ඉංග්ලන්ඩ් යන්නෙ නැතුලු….මෙහෙන් ජොබ් එකක් හොයාගෙන මාත් එක්ක නවතිනවලු..... "


"ඉතිං ඔයා මොනවාද කිව්වෙ …..මාත් එක්ක ඔයා ඉන්නේ කියලා කිව්වෙ නැද්ද ?.....

"මම කෙලින්ම කිව්වෙ නෑ…..මම ලඟදි මැරි කරන්න හදන්නේ මට පුලුවන් ඉක්මනට ඩිවොස් එක දෙන්න කියලා මම කිව්වා …..ඒ උනාට කිසි ගානක් නැතුව එයා කිව්වා එන සෙනසුරාදා එයා මෙහෙ එනවා කියලා .... ….එයාව එක්ක යන්න මට එයර්පෝට් එන්න කිව්වා ...මම කිව්වා මට එන්න බෑ කියලා …..එතකොට එයා කිව්වනේ…..කමක් නෑ එයා කැබ් එකක් ඇරගෙන අපේ ගෙදර එන්නම් කියලා …..මම ඇරපු ඩිවෝස් පෙපර් වල අපේ ගෙදර ඇඩ්ඩ්‍රස් එක තියෙනවනේ......එයා ඒ ඇඩ්ඩ්‍රස් එක හොයාගෙන එන්නම් කිව්වානේ …..දැන් අපි මොකද කරන්නේ විසල්…….මට බයේ බෑ……"

සුමුදු මගේ අතින් අල්ලාගෙන මාව අඩගහගෙන ගෙට ගියාය.....ඇය බයවි ඇති ගානය....ඇයටත් වඩා මගෙ හිත බයෙන් තිගැස්සි ඇත....සුමුදු ගෙ සැමියා ඇය නැවත සොයා ආවොත් මට මොනවද වෙන්නේ....

"මට තේරෙන්නෙත් නෑ මොනවද මම කරන්න ඕනේ කියලා …. මම ගැන ඔයා එයාට කිව්වෙ නැද්ද ...?. කියන්න එපෑ......?

" ඔයා ගැන වෙනම කිව්වෙ නෑ......මට බදින්න කෙනෙක් ඉන්නවා .....ඒ නිසා මට ඩිවෝස් එක ඉක්මනට ඕනේ කියලා මම දෙතුන් ගමනක් එයාට කිව්වා .....එයා ගානකටවත් ගත්තේ නෑ......එයා මෙහේ ජොබ්ස්වලට ඇප්ලයි කරලා තියෙන්නේ කිව්වා ….පරන දේවල් අමතක කරලා, අපි ළමයෙකුත් හදාගෙන හොදට ඉමු කියලත් කිව්වා …..අනේ මන්දා මට තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා ….."

" දැන් එයා මෙහේ ආවොත් අපි මොකද කරන්නෙ.... "?

"ඒක තමයි මට තියෙන ප්‍රශ්නයත්…."

"ඔයා මාව ඔයා ලගට ගන්න හැමදෙයක්ම පෑලෑන් කලා වගේ මේකටත් විසදුමක් ඔයාම හොයා ගන්න සුමුදු ..... මට තේරෙන්නේ නෑ ඕවා….."

මම කේන්තියෙන් ඇයට කියා ඇය මග හැර වත්ත පැත්තට ගියෙමි .


ඒ පාර මොකක්ද මේ වෙන්න යන්නේ….. වැඩිදුර කල්පනා කරන්නෙ නැතුව කසාඳ බැදපු ගෑනියෙක් එක්ක ඇවිත් මම කරගත්ත මෝඩ කමක්….මෙච්චර දවසක් මිනිහෙක් නෑ කියපු සුමුදු ඒ පාර මම, මෙච්ච්ර දුර ආවට පස්සෙ මොනවද දැන් මේ කියන්නේ…..මට හිතා ගන්න බෑ ...මම මොනවද කරන්න ඕනේ කියලා ….."


" විසල් " ඔයා කොහෙද ?

සුමුදු මාව සොයාගෙන නැවත වත්තට එයි...... මම ඇය නොදැක්කා සේ වත්තේ කොනක තිබූ බංකුවේ වාඩිවෙලා හවසට වත්තට එන කූරුල්ලෝ දෙස බලා උන්නෙමි .

"ඔයා මාත් එක්ක තරහ වෙලාද?.....මටත් හිතා ගන්න බැරිවුනා එයා මට call කරාම….අපි මොනවා හරි දැන් පෑලෑන් කරලා කරන්න ඕනි විසල්..….. එයාව මග ඇරලා ගියොත් අපට ඩිවොස් එක ගන්න තව පරක්කු වෙනවා….. එයාට ඔයාව අදුනලා දෙන එක තමයි කරන්න තියෙන හොදම දේ…..මම එයාට හෙට කතා කරලා ඔයා ගැන කියන්නම්……..මෙහේ එන්න එපා ,කියලත් කියන්නම්…...ඔයා මාත් එක්ක ඉන්නේ කියලා ….."

මම මුකුත් නොකියා...හවසට කැදලි කරා යන්නට පෙර, දිය භාජනයට බැස නාන කුරුල්ලන් දෙස බලා උන්නෙමි ..... මේ කුරුල්ලන්ට මම හැම උදයට බත් හෝ පාන් කන්නට දෙමි..... උන් දවස පුරාම වත්තේ එහේ මෙහේ පියාඹමින් බත් ඇට අහුල කමින් කොයිතරම් නම් සැහැල්ලුවෙන් ජීවත් වේනවා දැයි මම කල්පනා කලේමි. උන්ට තියෙන සැහැල්ලුව කෝ මේ මිනිස්සුන් වන අපට..... එක ප්‍රශ්නයක් ඉවර වෙනකොට තව ප්‍රශ්නයක්..... කොයිතරම් නම් දුරක් සිල්වත්ව නිවන සොයා ගිය කෙනෙක් ද මම .......සුමුදු ගේ කතා බහට, පිට ඔපයට රැවටිලා, ඇය සමඟ පවුල් ජීවිතයක් ගත කරන්න ආ මම....

මේ දැන් මොනවද කරන්නේ....මට මොනවාද මේ වේගෙන එන්නේ….තව සුමානයකින් සුමුදු ගේ සැමියා මෙරටට විත්, මේ ගෙදර නවතින්න ආවිට අපි කොහොමද මේ ගෙදර එකට වසන්නේ…...මට හිතා ගැනීමට බැරි අවුරුදු ගානක් එක දිගට හොද සිල්වත් විදිහට පැවිදි ජීවිතයක් ගත කලකල මම, සංසාර ගමන කෙටිකර ගැනීමට පෙරුම් පිරු මම......, කසාද බැදපු ගෑනියක් සමග විත් කරගත් මෝඩ වැඩය ගැන දැන් දුක හිතෙන්නේ මං ගැනමය.....මට ඇතිවුනේ කියාගන්න බැරි දුකකි.

" ඔයා දුක් වෙන්න එපා ...මම හෙට කසුන්ට ඔයා ගැන කියන්නම් ...අපි යමු ගේ ඇතුලට…..අපි කල්පනා කරලා බලලා මොනව හරි කරමු විසල්..……"


මම කිසිත් කතා බහක් නැතුව ඇය පසු පස ගියෙමි.

".අපි අද රෑට මොනවද කන්නේ… විසල්…..? ඔයාට මොනවද ඕනේ….? කතා කරන්නකෝ…..තරහ වෙලා වගේ ඉන්නේ ….."

" ඔය මොනව උනත් කමක් නෑ මට ...ඔයා කන දෙයක් දෙන්න ....."

උදේට නැගිටලා උදේ වැඩ කොටස ඉවර කර බුදුන් වැදලා උදේට කනවා….දවල් වෙනකම් කම්මැලි කමට වත්තේ පිටියේ වැඩ කරලා දවල්ට කනවා….. හවස් වරුවෙත් ගෙදර , වත්තේ වැඩක් කරලා, හවසට බුදුන් වැදලා රෑට කනවා...නිදියගන්නවා….රෑට තේරුමක් නැති සුමුදු කැමති ජරා චිත්‍රපටි බලනවා…..එලිවෙන්න කිට්ටුව නිදාගන්නවා….පරක්කු වෙලා නැගිටිනවා…..මට දැන් දැන් මේ ජීවිතේ ඇති වේගෙන එන ගානය…..

කරන්න රස්සාවක් තියෙනවානම් කියා නිතර සිතේ..….. එහෙම නැත්නම් අශ්‍රය කරන්න කවුරු හරිවත් ඉන්නවා නම් මේ පාලු ගතිය නැති වෙන්න තිබුනා…..සුමුදු නම් කැමතියි මම එලියට ගිහින් මිනිස්සු අදුනගෙන කතා කරනවට.... මම ඒකටවත් කැමති නැත්තේ, මේ රටේ මාව දන්න කියන මිනිස්සු මාව අදුනගනියි කියන ලැජ්ජාවට ….. මම හැමදාම මේ විදිහට ඉන්නවද…….නැත්නම් සුමුදු අත් හැර යනවද කියා මම කල්පනා කරන්න පටන් ගත්තෙමි .


මගේ පෙනුමට ආස කර මාව , කසාඳ බඳින අදහසින් මාව ආශ්‍රය කරන ඇය ගැන දැන් මගේ හිතේ ඇත්තේ කියන්න තේරෙන්නේ නැති හැඟීමකි.....එබැවින් මම නිතර ඇය මඟ හරින්නට උත්සහ ගන්නෙමි.... ඇගේ සීමාව ඉක්මගිය ආශාවන් සමහර වෙලාවට මාව කළකිරීමකටද පත් කර ඇත..... ඒ වෙලාවට සුමුදු මට කේන්තියෙන් බනින අවස්ථාද ඇත..... ඇගේ කෙළවරක් නැති ආශාවන් නිසා, ඇය මාව ඇගේ සමාගමට ඇඳ බැද තබාගත්තේ කෙතරම් සූක්ෂ්ම ලෙසද...? ඇගේ සූක්ෂම මායම් වලට අනුවණ කමින්, ආශාවෙන් මත්වු මම කරගත් මෝඩ කමක්.....මගෙ සිල්බිඳ ගෙන, සිවුරු හැර ගෙන, මම කර ගත් මොඩ පව් කාර වැඩය දැන් දැන් මතක් වන විට ඇති වන්නේ විශාල දුකකී....ආශාවෙන් උමතු වු ගැහැනියක සමඟ බැදුනු මට, දැන් මුළින් තිබු නිදහස සතුට ආශාව නැතිවි ගෙන යයි.....මට මම ගැනම දුකක් ඇතිවෙන්න පටන් ගෙන ඇත..

" ඔයා දන් සිවුරු ඇරපු කෙනෙක්...දැන් වත් මනුස්සයෙක් වගේ ජීවත් වෙන්නකෝ…. තාමත් හරියට තපසේ ඉන්නවා වගේ හැසිරෙන්නේ …."

ඇය නිතර කියයි….


මම නිතර වෙනත් කල්පනා වල සැරිසරන්නෙමි.....සුමුදු කරපු , දැන් කරන සියලු දේ මට සිහිපත් වෙන විට හිතට දුකක් දැනේ...

"විසල් එන්න රෑට කන්න..මම රොටි හැදුවා.... මේ මාළු හොදියි පොල්සම්බෝලයි එක්ක අපි රෑට මේවා කමු…. එන්න ….."

"සුමුදු දැන් තව සුමානෙකටත් අඩු කාලයක් නේද තියෙන්නේ කසුන් මේ රටට එන්න ......


"ඔව්නේ...මාත් මේ මොනවද දැන් අපි කරන්නේ කියලා කල්පනා කරන්නේ....."


"කොහොමත් එයා මෙහෙ ආවාම, මේ ගෙදර මට ඉන්න බෑනේ......මම හිතුවා ඒ කාලයේ ඔස්ට්‍රේලියාවේ ඉන්න සුමේධ හම්බවෙන්න යන්න කියලා ..... එයාට කියලා මම එහේ ටික දවසකට ජොබ් එකක් හොයා ගන්නම්, ඔයා කසුන්ගෙන් නිදහස් වෙනකම්......ඊට පස්සේ ඔයත් ඔස්ට්‍රේලියාවට එන්න...මම අහල තියෙනවා ,ඔස්ට්‍රේලියාව නවසීලන්තය වගේ පාළු නෑ...රස්සාවල් හොයා ගන්නත් අමාරු නෑ කියලා ....අපි දෙන්නා ඔස්ට්‍රේලියාවට පදිංචියට යමු....මම සුමේධගෙන් විස්තර අහලා බලන්නම්...."


"මම කසුන් මෙහෙ ආවට පස්සේ , ඉක්මනට කසුන්ව ආපහු රට අරින්න බලන්නම්.......ඔයා එහෙනම් ටික දවසක් සුමේධලාගේ ගෙදර ගිහින් ඉන්න...කසුන්ව ආපහු රට ඇරලා මමත් ඔස්ට්‍රේලියාවේ ඔයා ඉන්න තැනට එන්නම්....අපි එහෙ පදිංචියට යමු එතකොට ඔයාට එහෙ ජොබ් එකක් හොයාගන්නත් පුලුවන් ..... අඳුනන මිනිස්සු නැති නිසා, අපට නිදහසේ ඕන තැනකට ගිහින් සතුටු වෙන්න පුලුවන් ,ඇවිදින්න යන්න පුලුවන් ...."


"එහෙනම් මම ටිකට් එකක් බුක් කරගෙන ඔස්ට්‍රේලියාවට යන්නද......ඔයා කසුන් එක්ක කතා කරගන්න දෙයක් කතා කරලා ඉවර උනාට පස්සෙ මම එක්කො මෙහෙ එන්නම්.…..නැත්නම් ඔයා එහේට එන්න....මට රස්සාවක් හොයා ගන්න හම්බවුනොත් මම එහේම නවතිනවා...."

"එහෙනම් මම මෙහෙම කරන්නද… මම ශනිකා නංගිට මෙහේ එන්න කියන්නම් එන සුමානේ.......කසුන් එක්ක මට මේ ගෙදර තනියම ඉන්න බෑනේ..... …..එතකොට කසුන් ආවට පස්සෙ එයාට ඔයා ගැන විස්තර කියලා ඩිවෝස් එක පිලිවෙලක් කර ගන්න බලන්නම්.....ඊට පස්සෙ මම කසුන් මෙහෙන් අරින්නම්….....එතකොට අපිට ඉක්මනට කසාඳ බදින්න පුලුවන් ......"

"එහෙනම් මම හෙටම ඔස්ට්‍රේලියාවට එයාර් ටිකට් එකක් බුක් කර ගන්නම්..... තව දවස් පහයිනේ තියෙන්නේ කසුන් එන්න...."


"ඔව්...ඒක හොදයි ....මම ඔයාට එයාර් ටිකට් එක බුක් කරලා දෙන්නද....?


"නැ සුමුදු මට ඒ වැඩ පුරුදුයි .....අවුරුදු ගානක් තිස්සේ මම එතෙරින් එතෙරට ඇවිදින කෙනානේ...."


අවුරුදු ගානක් තිස්සෙ විදේශ සංචාර වල යෙදුන මට එම ගමන් කටයුතු ගැන හොද දැනුමක් තිබුනු එක පහසුවක් විය....මම, මගේ ගුවන් ටිකට්පත මමම ලෑස්ති කරගත්තෙමි ..…."

"එහෙනම් ඔයා සුමේධට කියන්න ඕනේ නේද ඔයා නිවාඩුවකට එයාලගෙ ගෙදර එනව කියලා….."


"ඔව් මම අද එයාට කෝල් එකක් දෙන්නම්.....මම අහලා තියෙනවා ,ඔස්ට්‍රේලියාව පදිංචියට ගොඩක් හොදයි කියලා ....දේශගුනයත් හොදයි ...මම එහේ රස්සාවක් හොයා ගන්න බලන්නම් ...අපි කසාඳ බැදලා එහේ නවතින්න යමු සුමුදු ....."


"ඔව්...මමත් ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන්න ආසයි....එහෙනම් මේ වැඩ පිලිවෙලක් උනාම අපි එහේ යමු....

සුමුදු වෙනදට වඩා ගෙවල් දොරවල් පිලිවෙලට අස්පස් කරයි. දොර ජනෙල් රෙදි අලුත් කරයි.... වත්ත පිටියේ මල් ගස් වලට වෙනදාට වඩා සාත්තු කරයි. හරි උනන්දුවෙන් ඇය කසුන් එන ගමනට ලෑස්ති වෙන හැටි මම බලා ඉන්නේ දුකෙන්ද සතුටෙන්ද කියා තේරුම් ගන්නට බැරිය. ඇය මේ කසුන් දකින්න යන්නේ..., හමුවෙන්නේ.... අවුරුදු තුනකට පස්සේ බව ඇය කියයි.. ..


කසුන් නවසීලන්තයේ නවතින්න එන එකනම් මගේ හොදට හිටින්නේ නැති බව මට වැටහේ..... එන දෙයක් එන විදිහට වෙන්න කියා, මම මගේ වැඩක් බලා ගන්නවායැයි මම හිත හදාගත්තෙමි.


ඔස්ට්‍රේලියාවේ පදිංචි සුමේද ...., මම ඔහුට කතා කල වෙලේ කිව්වේ, ඔහු වැඩ කරන තැන රස්සාවක් මට හොයලා දෙන්න බලන්නම් කියයි....ඒක ලොකු දෙයක් ඔහු මට උදව් කරන්න ඉදිරිපත් වීම..... මටත් ඔස්ට්‍රේලියාවට ගිහාම, හොද රස්සාවක් කරන්න පුලුවන් උනොත් .... මට දැන් සාමාන්‍ය ප්‍රමානයට ඉංග්‍රීසි භාශාව, කතා කිරිමට පුලුවන් එකත් ලොකු දෙයක්.....

"ඔයා කොච්චර දවසකටද ඔස්ට්‍රේලියාවට යන්නේ?...... වැඩි දවසක් ඉන්න එපා..... ඔයා ඉක්මනටම එන්න..... මම පුලුවන් ඉක්මනට කසුන්ව ආපසු යවනවා..."


"සුමාන දෙකකට මම එහෙට යන්නේ.... කසුන් ඉක්මනට ගියොත් ,ඔයත් ඔස්ට්‍රේලියා එන්න....ඔයා,මට වේලාසන කියන්න. මම සුමේධට කියලා අපි දෙන්නට නවතින්න තැනක් හොයා ගන්නම්...."


#########


කසුන් නවසීලන්තය බලා එන දවසට කලින් දවසේ මාව නවසීලන්තයේ ගුවන් තොටුපොළට බස්සන්න ආවේ සුමුදුමය...... එදිනම හවස සුමුදුගේ නෑදෑවන ශනිකා නංගි සුමුදු ගේ තනියට අපේ ගෙදර නවතින්නට එන්නට නියමිතය.

"ශනිකා ආවහම ඔයාට අද පාලුනැති වෙයි..…"

"මට නම් තනියම ඉදලත් පුරුදුයි…..කසුන් එන නිසයි මම එයාව ගෙන්න ගන්න හිතුවේ……."

"මම එහෙනම් යනවා සුමුදු …..ඔයා පරිස්සමෙන් ඉන්න…ඔයා ඔය වැඩ පිලිවෙලක් කර ගත්තට පස්සේ මට call කරලා කියන්න ......පුලුවන් නම් ඔයා ඔස්ට්‍රේලියාවට එන වැඩ ගැනත් හිතලා පෑලෑන් කරන්න ....."


"දැන් මාස දෙකහමාරක් විතර අපි දෙන්නා එකටම හිටිය නිසා මට ඔයා ගිහාම ගොඩක් පාළු දැනෙයි විසල්....."


"ශානිකා ආපුවහම ඔයාට පාළු නැති වෙයි....ඔයා පරිස්සමට ඉන්න සුමුදු ..."


මාව ගුවන් තොටුපොළට ගෙනත් ඇරළු සුමුදු ගෙ හිස සිඹ මම ඇයගෙන් වෙන් වී ගියෙමි....


හරියටම මාස දෙකාමාරකට උඩදි මේ ගුවන් තොටුපොළේම වීවේකාගාරයේදි ඇදුම් මාරු කරගෙන ගුවන් තොටුපොළේ දොරකඩින් සුමුදුගේ වාහනයට නැග ගිහි ජීවිතය සොයා ගිය හැටි මට සිහිපත් විය.....


ගුවන් තොටුපොළේ ඇති විශාල කන්නාඩියක් ලගින් යන විට මම විනාඩියක් නැවතී ඒ දෙස බැලුවෙමි.

මට හිතාගන්න බැරි තරමට මම කඩවසම් තරුනයෙක් වි ඇති හැටි.... . මාස දෙකහමාරක් නොකැපු කොන්ඩය බොකුටු ගැසි හොදටම වැවී ඇත. නිල් පාට ඩෙනිම් කලිසමට ඇද සිටි සුදු ටී ශර්ට් එක හොදින්ම මට ගැලපේ…...


මම මේ ගුවන්තොටුපළට අවසන් වතාවට පැමිනෙද්දි ඇද සිට අලුපාට ලෝගුව වැනි කොරියානු සිවුර….යාන්තම් කෙස්කොට ඇදි තිබු තට්ටය…..ඈලි මෑලි ගතිය…..අද වෙනවිට මම කොච්චර නම් වෙනස් වෙලාද...? මාස දෙකහමාරට මගේ ඇතිවී තිබෙන වෙනස ගැන මටම හිතා ගන්නට බැරි තරමට පුදුමය......මේ මගේ සියලු වෙනස්වීම් වලට හේතුව සුමුදුය.....

සුමුදුගෙ සැමියා නවසීලන්තය බලා එන බව ආරංචි වි මම.... ,සුමේධ මහත්තයා ඉන්න ඔස්ට්‍රේලියාවට යන්න අදහස් කරගෙන, ගුවන් ටිකට් පතක් මිලදී ගන්නට ගිය මොහොතේ ...,....ඔස්ට්‍රේලියාවට යන අදහස හිතින් අයින් කරගෙන මම, කොරියාවේ ලොකු හාමුදුරුවෝ බලන්න යන්න හිතාගෙන, කොරියාවට ගුවන් ටිකට් පතක් මිලදී ගත්තෙමි ....ඒ බව මම සුමුදුට කිව්වේ නැත්තේ ඇයි ....?ඇයට ඔස්ට්‍රේලියාවට යන බව කිව්වත්.... අන්තිම මොහොතේ මගේ අදහස වෙනස් වි මම කොරියාවට ගුවන් ටිකට් පතක් ගත්තෙ ඇයි.. ......?


නවසීලන්ත ගුවන් තොටුපොලේන් කොරියාව බලා යන ගුවන් යානයට නැගුනු පසු මම හිටියේ අන්දමන්දවයි..... මගේ ආසනයට එහා පැත්තේ වාඩිවි සිටියේ සුමුදු ගෙම වයස වගේ ගැනු කෙනක්‍ ය. ඇය මා සමග හොදින් සිනා සී කතා කරන්න පටන් ගත්තාය .....

"Mr.කොහාටද යන්නේ….?"


"මම කොරියාවට යන්නේ.... "

"Mr එහේ රස්සාවක් කරනවද.. …. නැත්නම් පදිංචියද ? නැත්නම් බිස්නස් වැඩකට යනවද...?

"නෑ…. මගේ යාලුවො වගයක් හම්බවෙන්න යන ගමන්……"

" කොරියාවේ කොහේද යාළුවො ඉන්නේ….? ගිහාම කොහේ කොහේද යන්න හිතාගෙන ඉන්නේ …? මමත් කොරියාවේ වැඩ කරන්නේ...අපිට එහෙදි හම්බවෙන්න පුලුවන් ......."

සුමුදු මෙන්ම, තොරතෝංචියක් නැතිව කතා කරමින් ඇය අසන ප්‍රශ්න වැලෙන් මිදෙන්න මම දෑස් පියාගත්තෙමි..... එවිට යාන්තම් මගේ කනට සැහැල්ලූවක් දැනින.....සුමුදු ඇරෙන්න වෙන ගෑනු ආශ්‍රයක් පුරුදු නැති මට, සුමුදු මෙන්ම හැම ගැහැනියක්ම මෙහෙමදැයි සිතේ.....දැනුම් තේරුම් නැති කාලයේ මහණ වුන මම ... හොදින් ඉගෙන ගෙන , විශ්වවිද්‍යාලයට පවා ගිය මම...... ආශාව ලුහුබැඳ ලෝකේ වටේ සංචාරයේ ගිය මම...., ගෑනියෙක් නිසා රාගය අවුස්සාගෙන්......අන්තිමේ ගැහැනු කෙනෙකු ලඟ පවුල් ජීවිතයක්ද ගත කල මම....... ගිහි ජිවිතය සැබවින්ම විද එහි ඇති අස්සාර ජීවිතය තේරුම් ගත් මම..... සංසාර ගමණ හැබැහින්ම කළ කිර ගත්තා දැයි කල්පනා කර බැලුවෙමි ...... .

ඇයි මම සුමුදුට වත් නොකියා කොරියාවට යන්න ගුවන් ටිකට් පතක් මිලදි ගත්තේ...... ?මම දැන් කොරියාවට ගිහින් මොකද කරන්නේ…..?.මට දැන් කොරියානු භාශාව හොදින් කතා කරන්න පුලුවන් නිසා හොද රැකියාවක් කල හැකි බව නම් මම දනිමි...... සුබෝධ මහත්තයා වගේ මටත් සුමුදු මෙහෙට ගෙන්නගෙන හොද පවුල් දිවියක් ගත කරන්න පුලුවන් නේද...... ? සුමුදු කසුන් ගෙන් දික්කසාදය ගත්තට පස්සෙ, .....එයාටත් මෙහෙ පදිංචියට එන්න කියලා, හොද පවුල් ජිවිතයක් ඇය සමග නැවත පටන් ගන්න ඕනේ...... . සුබෝධ මහත්තයා වගේ අපටත් හොද පවුල් ජීවිතයක් කොරියාවේ ගත කරන්න පුලුවන් වේද....? . කොරියාවේදි නම් මට හොද රස්සාවක් හොයා ගන්නත් පුලුවන්...... කොරියානු භාශාව පුලුවන් නිසා..... ඔව්.... නවසීලන්තය වගේ නෙමේ මටයි සුමුදු ටයි කොරියාවට ආවොත් හොද පවුල් ජීවිතයක් බයක් සැකක් නැතුව ගත කල හැකියි...... මගේ යටිහිත එක එක දේවල් කියයි....එකකට එකක් පටලැවිලි ගොන්නක් මගේ හිතේ කැරකේ...... එක එක දේවල් වලින් මගේ හිත අවුල්වී ඇත..... ගුවන් යානයේ එනකම් මම කල්පනා කල දේවල්, අතර තේරුමක් ඇති දේවල් වගේම නොවැදගත් දේවල්ද බොහෝමයක් විය.....මට පිස්සු හැදිගෙන එනවද....? ගෑනියෙක් නිසා එසේ නොවුනොත් පුදුම වෙන්නද දෙයක් නැත.....

නවසීලන්තයේ සිට කොරියාව බලා එන්නට පැය ගානක් ගත උනත්..... ඒ පැය ගාන ගෙවුනේ කෙසේදැයි මට සිතා ගැනීමට නොහැක.

කොරියානු ගුවන් තොටුපලෙන් මම කැබ් රතයකට නැග ගත්තෙමි...... මම කාලයක් වැඩ සිටි පන්සල කිට්ටුව තුබුනු ගෙස්ට් හවුස් එකකට මාව ගෙන යන්නට රියදුරුට කීවෙ කිසිම දෙයක අරමුණක් නැතුවමය ....... වාහනය එක දිගටම අදීවේගී මාර්ගයයේ ඉදිරියට ඇදී යයි.....හවස් වරුවේ පාර දෙපැත්තට මීදුම වැට් පරිසරම අලුපාට වි ඇත....අලුපාට සිහින ගොන්නක් මැදින් මගේ සිතිවිලි එහෙ මෙහෙ දුවයි.....

අවුරුදු දහහතරකට පෙර මම කොරියාව බලා, ශ්‍රි ලංකාවේ සිට පැමිනියේ ලංකාවේ භික්ෂූන් වහන්සේ නමක් ලෙස තැඹිලි පාට සිවුරක් ඇදගෙනය...... ඉන් පසු අවුරුදු දහයක් මම අලු පාට කොරියානු සිවුරෙන් කොරියාවේ වැඩ විසුවෙමි..…… නවසිලන්තයට ගියෙත් එම සිවුරෙන්මය......මීට මාස දෙකාහමාරකට උඩදි වෙනකම් ...... කොරියානු සිවුරෙන් හොද සිල්වත් භික්ෂූන් නමක් ලෙස විහාරස්ථානයේ වැඩිහිටි නායක භික්ෂූන් වහන්සේගෙ වගේම ,පන්සල් එන බැතිමතුන්ගේද හොද හිත දිනාගෙන මම වැඩ විසු හැටි ......


මාස දෙකාහමාරකට උඩදි , කොරියානු සිවුර ගලවා දමා..... මම මේ ඇදගත් කලිසම් ශාර්ට් එක ඇඟට කොපමණ නම් පහසුද ? ……නමුත්..... මේ ඇදුම තුල හිතට දැනෙන බර, දුක, සාංකාගති..... හිතට කොයිතරම් නම බරක්ද ?.....සුමුදු සමහ ගිහි ජිවිතයක් සතුටින් ආරංභ කරන්න පෙරුම් පුරපු මම..... ….මාස දෙකාහමාරකට උඩදි..... ගිහි ජීවිතේ කටුක බව තේරුම් ගත් මම....…...? සුමුදු මගෙන් බලාපොරොත්තු උන ජීවිතය මට ඇයි..... ඇයට දීමට නොහැකි උනේ......ඇයි ඇය නිතරම මගේ අඩුපාඩු කිව්වේ ….? ඇයි ඇය නිතර මා සමග කේන්තියෙන් සිටියේ ….? ඇයි මම සුමුදු සමග නවසීලන්තයේ පදිංචියට ගිය දිනයෙ සිට කනස්සල්ලෙන්, කම්මැලි කමෙන් හිතේ දුකෙන් ගත කලේ…..?.ඇය සමග ගෙවුනු මාස දෙකාහමාරට මගේ හිතට සැරෙන් සැරේට දුක්බර බවක්, මම අසරණ උන බවක් දැනුන් ඇයි.....?


ඒ වගේම ඊයේ හවස, සුමුදු මාව ගුවන් තොටුපොලින් බස්සා ගියාට පසු මගේ හිතට මහා විශාල සැහැල්ලූවක් දැනුනේ ඇයි.......?.මම ඇය සමග සතුටෙන් නෙමේද මේ ගෙවුනු මාස දෙකාහමාර ජීවත් වි ඇත්තේ ..….. ?මාස දෙකහමාරක් ඇය සමග එකටම කාලය ගත කල මට ….ඇය මා


මම ඇය සමග සතුටෙන් නෙමේද මේ ගෙවුනු මාස දෙකාහමාර ජීවත් වි ඇත්තේ ..….. ?මාස දෙකහමාරක් ඇය සමග එකටම කාලය ගත කල මට ….ඇය මා ගුවන් තොටුපොළේන් බස්සා ගිය පසු ......මාස දෙකහමාරකට පසු මගේ හිතට ඇයි දැන් මෙතරම් නිදහස් සතුටක් සැහැල්ලූවක් දැනෙන්නේ......? …...මම දැන් නිදහස් මිනිහෙක් බව දැන් ඇයි එලෙස සිතෙන්නේ.....?මම ඇය සමග ගෙවා දැමු මාස දෙකාහමාරක කාලයේ, මම හිතට එකගව ඇය සමඟ ජීවත් වී නැති බව මට දැන් ටික ටික දැනෙන්න පටන්ගෙන ඇත..... මට එය වැඩි කාලයක් නොගොසින්ම මෙතරම් ඉක්මනට වැටහුණ එක ගැන දැන් නම් ඇත්තේ සතුටකි..…..


ගිය ආත්මයකම එකට බැඳි උන් දෙදෙනෙක් උන සුමුදු හා මම.....ගිය ආත්මයක හෝ හමු වීමට බැරිව මග ඇරි සිටි කෙනෙක් ලෙස, සුමුදු මගේ ජීවිතයට මේ ආත්මයේ පැමින මුනගැසී ගිය ගානය....... ලෝකයේ කොයි ලෙස ජීවත් උනත් ගිය ආත්ම වල අපි කරපු පව් පිං..... ,අපි ටික ටික හෝ මේ ආත්මයේ ගෙවා දමා, ඉවර කර යා යුතුය...... නැත්නම් මේ සංසාර ගමනේ කොහේදී හෝ මග ඇරුන කෙනා, හොද ලෙස ජිවත් උනත් වැරදි ලෙස ජිවත් උනත්, සතෙක් සිව්පාවෙක් ලෙස හෝ අපේ ජීවිතයට විත්, අප සමග හිද ඒ මග හැරුනු කාලය ගෙවා දමා යෑමට නම් පැමිනෙන බව ..... සුමුදු ගේ හමුවීමත් සමග සංසාරේ කටුක ගමනේ ඉගෙන ගත් තවත් දෙයක් විය......


කොරියාවේ මම යායුතු ගෙස්ට් හවුසයට වාහනය විත් නවතා ඇත….. මම මගේ ඇදුම් බෑගයද රැගෙන ගෙස්ට් හවුසය තුලට ගියෙමි...... මගෙ කාමරයේ යතුර ලැබුනු පසු එහි ගිය මම, කාමරයේ දොර වසා දැමුවෙමි ..... ඇදන් හිටි කලිසම කමිසය පිටින්ම ඇදේ වැතිර ගත්තෙමි .....

කලිසම කමිසය කොයිතරම් නම් ලේසි පහසු ඇදුමක්ද?... මගේ ඇඟට එය හොදින්ම ගැලපේ...…මම හොද කඩවසම් තරුනයෙක් ලෙස මෙම ඇදුමට පෙනෙන හැටි ….මම දැන් අවුරුදු 40ට කිට්ටු කර සිටියත්......තරුණ ගැහැනුන් දෙපාරක් හැරි මා දෙස බලන තරමට මම කඩවසම් බව දැනී මට සතුටු සිතී සිනා නැගින.....


මම දැන් මොනවාද අදින් පස්සේ කරන්නේ......කොරියාවේ රැකියාවක් සොයාගෙන යනවද....? කසුන් ගෙන් දික්කසාද වි සුමුදු මා ලඟට එනකම් මම බලාගෙන ඉන්නවද....? මම දැන් මොනවද කරන්නේ.....මගෙ හිතට සුමුදු මතක් වෙද්දී ලොකු බරක් දැනුනත්.....දැන් ඇය මා ගාව නැති බව සිහිපත් වෙද්දී .... පුදුමාකාර සැහැල්ලූවක් හිතට දැනෙයි.....

ටික වේලාවක් ඇඳන් ආ ඇදුම පිටින්ම ඇදේ ගිමන් හැරපු මම....යමක් මතක් උන ලෙස, නැවත ඇඳෙන් නැගිට කාමරයට අල්ලා තිබුන නාන කාමරයට ගියෙමි ....... මගේ කලිසම ,කමිසය ගලවා දමා..... නානකාමරයේ කන්නාඩිය ඉදිරිපස සිටගෙන මා දෙස ටික වේලාවක් බලා සිටියෙමි .....


පසුව කොරියාවට එනවිට ගෙදරින් බෑගයට දමා ගෙන ආ කතුර රැගෙන විත්.........

ලස්සනට කැරලි ගැසීවැවී තිබුන කෙස් රොද එකින් එක ගෙන හෙමිහිට කපන්න පටන් ගත්තෙමි...... ඉන් පසු රේසරයෙන් මුලු ඔලුවෙම කෙස් කොට, පරන පුරුදු ලෙස, අවුරුදු විසිහයක් පුරාවට කල ලෙස බූගා දැම්මෙමි..... ඔළුවට දැනුනේ මෙතැකැයි කියන්න බැරි තරම් සැහැල්ලුවකි....ඒ සැහැල්ලුව මගේ ඔළුවෙන් පටන් ගෙන මුළු ඇග පුරාම දිව යන කල ,හිතට දැනුනේ කියා ගත නොහැකි සතුටකි.....


කොන්ඩය බූගා දමා.....බොහෝ වේලාවක් වතුර මල යට හිටගෙන හිතේ හැටියට....... හිතේ ඇතිවි තුබු දුක ,සංකා, වේදනා නිවෙනකම් නාගත්තෙමි.

හොදට නාගෙන කාමරයට ගිය මම, මගෙ ඇදුම් බෑගය ඇර එහි අඩියේ කාටවත් නොපෙනෙන්න හංගා තිබු කොරියානු සිවුර අතට ගත්තෙමි......එය අතට ගෙන දිගහැර ඒ දෙස ටික වේලාවක් බලා සිටියෙමි ......පසුව හෙමිහිට කොරියානු සිවුර ඇදගතිමි.......අවුරුදු දොලහකට කිට්ටු කාලයක් මම ඇදගෙන සිටි අලුපාට කොරියානු සිවුර…..හිතේ සැහැල්ලුවෙන්, ශාන්තව , සිල්වත්ව ගතකර කාලය සිහියට නැඟින.......ඒ සමගම ව හිතට දැනුනේ පුදුමාකාර සතුටක් මිශ්‍ර අහසේ පාවෙනවා මෙන් සැහැල්ලුවකි . ..... ඒ ඇඳුම් ඇදගෙන කාමරයේ කන්නාඩිය ලඟට ගිය විට.... එහි සිටගෙන සිටියේ අවුරුදු ගනනාවක්...... ඉතා අහිංසක, සිල්වත්ව මහණ දම් පිරු..... විපස්සී නැතහොත් යේචිං හාමුදුරුවන්‍මය.....ගිහි ඇඳුම් ගලවා දමා, නැවත මාස දෙකහමාරකට පසු කොරියානු සිවුර පොරවාගත් පසු හිතට දැනෙන්න ගත් සැහැල්ලූව මගේ මුලු ගත හිත දෙකම සතුටින් පිරි ඉතිරි යන්නට පටන් ගෙන ඇත..... අවුරුදු ගනනාවක් එතෙරින් එතරට සංචාරය කල මම අද වෙනකොට සංසාර ගමන ගැන හැබහින්ම කලකිරී ඇත. .....මේ ආත්මය.....ගිය ආත්ම වල කරපු පව් පිං ගෙවා දැමිමට ආ ගමනක් බව මේ වන විට මට වැටහී ගොස් හමාරය ..... සංසාර ගමන කෙටි කර ගෙන නිවන් දකින සිහිනය තුල මා දැන් ගමන් කල යුතු කාලය පැමිණ් ඇත.....ඒ බව තරයේ සිතට ගෙන....මගේ ගමන මම යායුතුය .... නිවන සොයා යා යුතුය ....


නවසීලන්තයේ සිට ඇදගෙන ආ ඩෙනිම් කලිසම හා ට් ශර්ටය කාමරයේ කුනුබක්කියට විසිකර දෑමු මම..... මගේ හිස්වුනු ඇදුම් බෑගයද රැගෙන කාමරයෙන් එලියට විත්, නැවත කුලීරතයකට ගොඩවුනෙමි.


කූළී රතය එක දිගට ගමන් කරයි….....මම නවසීලන්තයේ සිට මෙරටට එන්න ප්‍රතම , සුමුදුට හොරා, ඇයට ලියා තබා ආ ලියුම….. ඇගේ කන්නාඩි මේස ලාච්චුවේ දමා ආ ලියුම මට සිහිවිය.....


හිතාදර සුමුදු.

මේ ලියුම ඔයාට ලැබෙන කොට මම කොරියානු පන්සලේ කොරියානු භික්ෂූන් වහන්සේ නමක් ලෙස, නැවත ජීවිතේ ඉදිරි ගමන නොහොත් නැවත සංසාර ගමන් මග කෙටි කරගන්නට යන මාර්ගයට ගොස් ඇතැයි සිතමි ..... මම කැමති මාර්ගය මෙය වේ..... මගේ සංසාර ගමන කෙටිකර හැනීමට මට උදව් කල කසුන්ට මම බොහෝම ස්තූති වන්ත වෙමි..... ඔහු ඔබ භාර ගැනීමට පැමිනීම නිසා, මට මගේ සංසාර ගමන කෙටිකර ගන්නට යන මාර්ගය පෑදුනේය..... මගේ ගිය ආත්මයක කල පිනක් පලදී කසුන් අප අතරට පැමිනෙන්න ඇතැයි මම දැන් සිතන්නෙමි ..... මට ආදරෙන් කරුණාවෙන් සලකා, ගිහි ජිවිතය කුමක්දැයි නිවැරැදි වටහා ගැනිමට හා සසරෙන් එතෙර විය යුතු මාර්ගය පෙන්වා දුන් ඔබටත්..... ඒ පින අත් වේවායැයි මම ප්‍රර්තනා කරන්නෙමි ....

අවුරුදු ගනනාවකට පසු ආදරයෙන් ,කසුන් ඔබ පිලිගැනිමට නවසීලන්තයට පැමිනෙන්නේ, ඔබලාගේ විවාහ ජීවිතය නැවත සතුටින් ආරංභ කර ගැනීමටය..... මම ඒ ගමනට බාධා කිරීමට කොහෙත්ම කැමති නැත..... මම මගේ ගමන යන අතර, ඔබ දෙදෙනා ඔබ දෙදෙනාගේ ගමන සහයෝගයෙන් සතුටින්, පරණ වැරදි අමතක කර දමා යනු ඇතැයි සිතමි.....මින් ඉදිරියට ඔබගෙ විවාහ ජීවිතය කසුන් සමග සතුටින් ගෙවන්නට ලැබේවායි එක සිතින් මම ප්‍රාර්ථනා කරන්නෙමි..... ඔබ දෙපලට සුභ විවාහ ජීවිතයක් වේවා !!

මෙයට විශ්වාසි

යේචිං භික්ෂූන් වහන්ස.


ගම්බද පරිසරය වටකරගෙන අඳුරු පැහැ මීදුම වැටි ඇත ...... කොරියානු පන්සලේ ලයිට් එලි ඈත කන්දේ සිට විහිදෙන හැටි පෙනේ…. .. පන්සල ලඟ වාහන අංගනයට කුළී වාහනය පැමින ඇත .....මගේ ජිවිතේ වැඩි කාලයක් කොරියානු ස්වාමීන් වහන්සේ නමක් ලෙස ගතකල කොරියානු පන්සලේ කන්ද පාමුල වාහනය නතර කර ඇත..... අලුපාට කොරියානු සිවුරෙන් සැරසුන මම හිතේ සැහැල්ලුවෙන් හුස්මක් හොදින් ඉහලට ඇද.....පහළට පිටකර හැරියෙමි .... කන්ද උඩ ඇති පන්සල් දෙස මම ටික වේලාවක් බලා සිටියෙමි ......


හෙමිහිට වාහනයෙන් බිමට බැස ගත් මම..... හෙමිහිට අඩි තබමින් …. එළවලු වගාවන් අතරෙන් වැටි තිබු කලු ගල් පඩි පෙල දිගේ ඉහලට නැග්ගෙමි......


පඩිපෙල නැගගෙන කන්දේ ඉහළටම ගිය කල, නැවත එහි සිට පහල බැලු කල...... අහසේ හෙමිහිට නැග එන හඳ එළියෙන්, මම නැග ආ පඩිපෙල පෙනින..... පඩිපෙළ පාමුල චායාවක් මෙන් සුමුදු අතවනා සමුදෙන ආකාරයක් පෙනි පෙනි මට නොපෙනි ගියේය......හිතට දැනුනු සතුට සැහැල්ලුවෙන් මම තදින් හුස්මක් ගෙන පිටකර හැරියෙමි......මම කොරියානු පන්සලේ ඇතුළු විමේ දොරේ සීනුව දෙස බැලුවෙමි.

-- අවසානයි--


✈️ "එතෙරින් එතෙරට"✈️ නවකතාව මාස දෙකක පමණ කාලයක්, අදහස් දක්වමින් කියවු ඔබ සියලු දෙනාටම බොහොමත් ස්තූතියි ..... මෙම නවකතාවේ, හොද නරක ගැන පුංච් අදහසක්, ඔබ සියලු දෙනාගෙන් දැනගැනීමට කැමැත්තෙමි.... එය මගේ ඉදිරි ලේඛන දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්තක කරගැනිමට ඉතා ප්‍රයොජනවත් වන බව මම විශ්වාස කරන්නෙමි ...... සියලු දෙනාටම සිතුම් පැතුම් ඉටුවන නිරෝගීමත් කාලයක් උදාවේවා....!

* ප්‍රිසිලා ගොඩහේවා*

1 view0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page