top of page
  • Writer's picturePrisila Godahewa

✈️එතෙරින් එතෙරට✈️ 💥 ( 6 වෙනි කොටස)


පසුදින උදෑසන හතරවන විටම සීමන් මාමා මාව ඇහැරුවේය.


‘‘කොල්ලො නැගිටපන්. ලොකු හාමුදුරුවන්ට ගිලන්පස හදන්න තියෙනවා , කේතලය ලිපේ තියපන්.....‘‘


මම නිදිගැට කඩමින් නැගිට සිටියේ අමාරුවෙනි..... ගෙදර සිටින විට කවදාවත් උදේ හතරට නැගිට නොතිබූ මා හට, උදේ පාන්දර නැගිටින එක නම් එපාම කරන වැඩක්ය..... බාගෙට නින්දෙන් නැගිටි මම පොරවාගෙන සිටි රෙද්ද කරේ සිට පොරවාගෙන, කුස්සියට ගොස් කේතලය ලිපේ තැබුවෙමි. මේ පළාතේ උදේට ඇති සීතලෙන් මිදෙන්න මම ලිප ලඟ වාඩිවි ,ලිපේ ගින්දරට අත් දෙක අල්ලමින් ඇඟරත් කර ගත්තෙමි. දරළිපේ ගිනි දළු නැගෙන හැටි බලමින් බාගෙට නිදිමතේ වතුර කේතලය නටනකම් බලා සිටියෙ නොවිසිල්ලෙනි.


සීමන් මාමා ආවාස ගෙය ඇතුළත අතුගා පැමිණ තේ සාදා ගිලන්පස හාමුදුරුවන්ට ගෙන ගොස් පිළිගැන්වීය.


මමද උදේට තේ බී, අහවර වී කළුවරේම පන්සලේ මිදුල අමදින්නට පටන් ගත්තෙමි. ගෙදර හිටියානම් මේ වැඩ නොකර ,පස්ස පැත්තට එළිය වැටෙනකම් නිදා ගන්නට තිබුනා නේද කියාද මට සිතේ....


යාන්තම් පොළොවට එළිය වැටිගෙන එනවිට, පන්සල් වත්තට බට මට, අවට පරිසරයේ මීදුම වැටි ඇති හැටි පෙනේ....ඈත කදු අස්සෙන් හිරු කුමරුන් උඩට එන්නට දඟලන වෑයම....අවට පරිසරයේ ඇති සීතලෙන් මිදෙන්න මම රෑ පොරවාගෙන සිටි රෙද්ද ඔළුවේ සිට පොරවගෙන, ආවස ගෙයි ඉදිරිපස මිදුල අතුගෑවෙමි..... අවට පරිසරය පුරා විහිදි ඇති නැවුම් ගස්කොළ වල සුවඳ, මිදුල පුරා වැටි ඇති පින්න.... යාන්තම් වැටි එන හිරු එළියෙන් අවට දිලිසෙද්දි......මගේ හිත ප්‍රබෝධමත් ගතියකින් පිරි යන්නට පටන් ගත්තේය .


උදේ හය විතර වනවිට උපාසක අම්මලා දෙදෙනෙක් හීල් දානය රැගෙන ආවාය. ලොකු හාමුදුරුවෝ ඔවුන් ගෙනා දානයෙන්, බුද්ධ පූජාව තියා පන්සිල් සමාදන් කර උපාසක අම්මලාට පින් දෙනවා මම ඈතට වි බලා උන්නෙමි.....

හාමුදුරුවරුන් උදේ හීල් දානය වළදා අහවර වූ පසු මමත්, සීමන් මාමාත් කිරිබත් සමග ලුණුමිරිස්, කෙසෙල් ගෙඩි උදේ ආහාරයට ගෙන, භාජන සෝදා දමා, මුළුතැන් ගෙය අස්කර දැමුවෙමු.


ඉන් පසු පොඩි හාමුදුරුවන් සමඟ මම බෝධීන් වහන්සේ ළඟ බිම වාඩි වී ගාථා පාඩම් කරන්න පටන් ගත්තේ, මේ නම් මගේ ඉදිරි කාලේ දිනචරියාව බව තේරුම් යමින් තිබියදීය....


පොඩි හාමුදුරුවෝ මට නොදන්නා ගාථා කියා දුන්නේ කරුනාවෙන් හා සන්සුන් ලෙසය.... ඉද හිට ලොකු හාමුදුරුවෝ මට කතා කර, පොත් පත්වල පාඩම් වැඩ කටයුතු, දෙවැනි හාමුදුරුවන්ගෙන් අසාගන්නට කීය. උන් වහන්සේද ලෝභ කමක් නැතුව මට පාඩම් වැඩ කටයුතු හොදින් කියා දුන්නේය.


මම පන්සලට ඇවිත් දින දෙකතුනක්ම ගෙවී ගියේ එලෙසය....


හතරවැනි දින උදේ අම්මා සහ තාත්තා මා,බලන්න පන්සලට පැමිණියාහ. ඔවුන් දුටු විගස මම ඔවුන් ළඟට දිවගියේ දුකෙන්ද, සතුටින්ද කියා නොදනිමි....


"කොහොමද මද්දුම පුතේ මෙහේ හොඳද....?


තාත්තා මගේ ඔළුව අතගාමින් ඇසීය.


“ඔව්... ගොඩක් හොඳයි. හැබැයි මට නංගියි, මල්ලියි මතක් වෙනවා කෑම කන්න ගියාම...."


"‘උඹ කැමැති ද පන්සලේම නවතින්න?‘‘


‘‘මෙහේ හොඳයි මං කැමැතියි....‘‘


"ලොකු හාමුදුරුවො අපට පණිවුඩයක් එවල තිබුණා , පන්සලට ඇවිත් උන් වහන්සේ මුණ ගැහෙන්න කියලා ... ඒකයි අපි මේ තකහනියක්ම දුවගෙන ආවේ....උඹ වැරදි වැඩක්වත් කරලා අහුවෙලාද කියලා ,අම්මයි මමයි බයේ ආවේ.... ‘‘


‘‘ මට හාමුදුරුවරු පව් පිං, හොද වැඩ නරක වැඩ කියලා දෙනවා....මම ආයෙත් නරක වැඩ කරන්නෙ නෑ...., අනුන්ගේ දේවල් ගන්නෙත් නෑ... ....මට තේරෙනවා ඒවා හොද වැඩ නෙමේ කියලා ......?


"අනේ පුතේ ඒක නම් ලොකු දෙයක් උඹ තේරුම් ගත්ත එක....අපට සතුටුයි උඹ සතුටින් පන්සලේ ඉන්න එක ගැන...."


"එහෙනම් අම්මයි තාත්තයි ආවාසෙ ගේ පැත්තෙ යන්න ලොකු හාමුදුරුවො ඒහි වැඩ හිටිනවා....‘"


අම්මයි, තාත්තයි ආවාස ගේ පැත්තට ගිය පසු මම පොඩි හාමුදුරුවන් සමඟ බෝධීන් වහන්සේ ළඟ වාඩි වී පොත් පාඩම් කළෙමි.... පොඩි හාමුදුරුවෝ ඉතා ඕනෑකමින් ගාථා කියමින් ඒවා ඉගෙන ගනියි.... ගාථා ඉතා මිහිරි ලෙස ගායනා කිරීමට උන්වහන්සේට හැකිය. මටත් එලෙස ගාථා කියන්න හැකි නම් යැයි සිතූ මමද පොඩි හාමුදුරුවන් අනුගමනය කරමින් හෙමිහිට ගාථා කියන්න පටන් ගත්තෙමි.


"පුතේ අපි යන්න කියලා....‘‘

අම්මයි තාත්තයි මගේ ළඟට එනකම් මම නොදැක්කෙමි.


‘‘ආ... එහෙමද? හොඳයි. මං හිටි තැනින් නැගිටවිත් අම්මාටත්, තාත්තාටත් වැන්දෙමි.


‘‘පුතා දන්නවනේ...., ලොකු හාමුදුරුවෝ ඇහුව්වා පුතාව මහණ කරන්න අපි කැමැතිද කියල.... අපි කිව්වා අපෙ නම් අකැමැත්තක් නෑ, පුතා කැමැති නම් මහණ කරගන්න කියලා. පුතා මොකද කියන්නේ...?‘


"‘මාත් කැමැතියි පන්සලේ නවතින්න. ඒ වුණාට ගමේ ළමයි මාව අඳුනන නිසා මට මේ පන්සලේ නම් ඉන්න බෑ.....‘‘


‘‘අපි එහෙනම් ලොකු හාමුදුරුවන්ට කියල උඹව වෙන පන්සලක නවත්වන්නද...?


‘‘මේ පන්සලේ හාමුදුරුවරුයි, සීමන් මාමායි හරි හොඳයි. ඒ නිසා වෙන පන්සලකට යන්නත් මට දුකයි වගේ....‘‘


‘‘උඹේ කැමැත්තක්. ලොකු හාමුදුරුවෝ උඹට කතා කරයි. උඹේ කැමැත්ත උන්වහන්සේට, උඹම කියපන්.... උඹට නරකක් වෙන දෙයක් ලොකු හාමුදුරුවෝ කරන්නේ නෑ....උඹට හොදට උගන්නන්න ඕනේ කියලත් අපි එක්ක කිව්වා... එහෙනම් මද්දුම පුතේ යනවා.....‘‘


අම්මයි, තාත්තයි ගිය පසු මා තනියම කල්පනා කළේ මහණ වෙනවා කියන්නේ එතරම් අමාරු වැඩක් නෙමේනෙ කියායි....මම පන්සලට ඇවිත් ගෙවි ගිය දවස් හතර එතරම් අමාරුවක් නැතුව මම ගත කල හෙයින් හා, මෙහි කෑම බීම කිසි අඩු පාඩුවක් නැතුව තියෙන හෙයින්ද මට නිදහසේ ඉදිරි කාලේ පන්සලේ ඉන්න පුලුවන් බව මට වැටහි ගොස් තිබුනි.

මටත් වැඩිය බාල පොඩි හාමුදුරුවන් කොච්චර ලස්සනට පන්සලේ ඉන්නවද? කොයිතරම් ලස්සනට ගාථා කියනවද? පන්සලේ හිටිය දවස් තුන හතරටම මට බඩකට පිරෙන්න කන්න ලැබුණා. එතරම් ලොකු අමාරු වැඩක් කරන්නත් නෑ...., උදේ හතරහමාරට නැගිටින එක විතරයි අමාරු වැඩකට කියලා කරන්න තියෙන්නෙ.... උදේට නැගිටින වැඩේ පුරුදු කර ගත්තා නම්, මටත් පන්සලේ නැවතිලා ඉන්න එක ඒ හැටි වැඩක් නෙමේනේ.... මට දැන් අවුරුදු දොළහ පිරෙන්න ළඟයි. මං ඉස්කෝලේ යන්න කැමැතිත් නැති එකේ පන්සලේ නැවතිලා මහණ වෙන එක හොඳයි යැයි මම සිතුවෙමි.

ගෙදර ගියොත් හරියට කන්න අඳින්නවත් නෑ.... ගෙදර හරියට නිදාගන්න තැනක්වත් නෑ.... පන්සලේ හිටියොත් බඩකට පිරෙන්න කාලා ඇඳල ඉන්න පුළුවන් මට.... මට පොඩි හාමුදුරුවන්ගෙන් පාඩම් වැඩත් ඉගෙන ගන්නත් බැරියැ....

දිගටම කල්පනා කළ මම, මහණ වෙලා පන්සලේ නැවතිලා ඉන්න එක හොඳ යැයි යන, නිගමනයකට බැස සිටියෙමි.


‘‘විසල් මොනවද කල්පනා කරන්නේ?‘‘


මා ලොකු කල්පනාවක සිට ඇතැයි මට සිතුණේ.... ලොකු හාමුදුරුවන් මා ළඟට එනතුරුම නොදුටු බැවිනි.


‘‘ආ... හාමුදුරුවනේ…‘‘


මම හිටි තැනින් දඩිබඩි ගා නැගිට ගත්තෙමි.


‘‘විසල්ගෙ අම්මයි, තාත්තයි ඇවිත් ගියා...විසල් කතා

කළාද‘‘


‘‘එහෙමයි හාමුදුරුවනේ.‘‘


"‘විසල් කැමැතිද මේ පොඩි හාමුදුරුවෝ වගේ මහණ වෙලා මේ පන්සලේම නවතින්න ....‘‘


‘‘මං කැමැතියි හාමුදුරුවනේ.‘‘


‘‘ඇයි කැමැති‘‘?


‘‘ගෙදරට වඩා මට පන්සල හොඳයි හාමුදුරුවනේ....නිදහස් කිසි දේකින් අඩුපාඩුවක් නෑ.....‘‘


‘‘විසල් ඇවිත් තාම දවස් හතරනෙ.... ඔය ඉන්න විදියට තව මාස දෙකක් විතර පන්සලේ ඉන්න ඕනේ.... හොඳට, පිළිවෙළට හිටියොත් තමයි මහණ වෙන්න මම අවසර දෙන්නෙ.... ඒ හින්දා මේ ඉදිරි මාස දෙක පන්සිල් පද පහ හරියට රැකගෙන විනීතව, හැසිරෙන්න ඕනේ.... විසල් කිව්වනේ මේ පන්සලේ හිටියම ගමේ මිනිස්සු, ගමේ යාළුවෝ හම්බ වෙන නිසා ඉන්න කැමැති නෑ කියලා. ඒ හින්දා මං තීරණය කළා පිරිවෙන අධ්‍යාපනය ලබාදෙන නුවර පන්සලකට විසල්ව එක්කගෙන යන්න..... එතකොට විසල්ට ඉස්කෝලේ මඟ හැරුණු වැඩ පිරිවෙනෙන් ඉගෙන ගන්නත් පුළුවන්.‘‘


"ඒක නම් ලොකු දෙයක් හාමුදුරුවනේ, පිං සිද්ධ වෙනවා.‘‘


දින දෙකකට පසු ලොකු හාමුදුරුවන් හා තාත්තා සමග මම නුවර පන්සලක් බලා ගමන් ගත්තේ ලංගම බසයකිනි..... මම සුපුරුදු ලෙස ඉස්කෝලෙට අඳින මාගේ නිල් කොට කලිසම හා සුදු ෂර්ට් එක ඇඳගෙන අනෙක් කලිසමයි, ෂර්ට් එකයි කඩදාසි බෑගයක දමා ගත්තෙමි.


ලොකු හාමුදුරුවන් හා තාත්තා සමඟ නුවර යන්න පටන් ගත්තේ උදෑසන හීල් දානේ ඉවර වූ ගමන්මය..... ජීවිතේට මම නුවර යන මුල් වතාව මෙය වේ. නුවර කොයි වගේද කියා මම තනියම කල්පනා කළෙමි.


‘‘මං ගිහින් එන්නම් සීමන් මාමේ."


මම සීමන් මාමාට වැඳ නමස්කාර කළෙමි. පොඩි හාමුදුරුවන් මට ගමනට අවසර දී බලා සිටියේ දුකෙන්ය. මම නුවර ගමන යනවාට පොඩි හාමුදුරුවන් අකමැතියැයි මට සිතුනි.


‘‘මං ගිහින් එන්නම් හාමුදුරුවනේ…"

මම පොඩි හාමුදුරුවන්ට වැන්දෙමි. පන්සල් ජීවිතයේ මාගේ මුල්ම යාළුවා වූනේ පොඩි හාමුදුරුවන්ය.... පොඩි හාමුදුරුවන්, ලොකු හාමුදුරුවන් මෙන්ම සීමන් මාමාගේද කරුණාව නොමැති නම්, මා පන්සලේ නැවතී මහණ වෙන්න තීරණය කිරීම මෙතරම් ඉක්මනට සිදු නොවන්නට ඉඩ තිබුනි. මෙහි සිටි දින තුනහතර මම සිටියේ සතුටින්ය.


ලොකු හාමුදුරුවන් හා තාත්තා සමග මා නුවර පන්සලට යන විට දහවල් දානයට ළංව තිබිණි.... අප කලින් නුවර එන බව වේලාසනම ලොකු හාමුදුරුවන්,නුවර පන්සලට දැනුම් දී තිබෙන්න ඇතැයි මට සිතුණේ, එම පන්සලේ ලොකු හාමුදුරුවන් අප දුටු විට කතා කළ ආකාරයෙනි.


‘‘වඩින්න... වඩින්න... හාමුදුරුවනේ.... මං ඒත් බැලුවා ඇයි පරක්කු කියල.‘‘


‘‘දන්නවනෙ බස්වල වඩින කොට හරි පරක්කුයි...., රස්තියාදුවයි.. ඒ නිසා හරි මහන්සියි.”

ලොකු හාමුදුරුවෝ ආවාස ගෙට වඩින ගමන්ම නුවර ලොකු හාමුදුරුවන්ට කීය.


"විසල් තාත්තත් එක්ක ඔය පිටිපස්සෙ තියෙන දංගෙය පැත්තට ගියානම්.....‘‘


‘‘ආ... ඔව් ළමයෝ ඔය පැත්තෙ හිටියා අපේ ලොකු ඇබිත්තයා.... මෙහෙට ටිකක් එන්ඩ කියන්න එයාට.‘‘


නුවර පන්සලේ ලොකු හාමුදුරුවන්, අපේ පන්සලේ හාමුදුරුවන් තරම් කාරුණික නැතැයි මට සිතිණි.

දන්ගෙයි සිටි තරුණ පෙනුමැති පිරිමි කෙනා ළඟට ගොස් මම කතා කළෙමි.


“අයියට ලොකු හාමුදුරුවෝ අඬ ගහනවා.”


‘‘ආ….එහෙමද..

?. කියමින් ඔහු ආවාස ගෙය පැත්තට ගියේ කඩිනමින්ය. මං තාත්තත් එක්ක දන්ගෙයි ඉස්සරහ බංකුවේ වාඩි වී සිටියේ මොනවා කළ යුතුදැයි වැටහීමක් නැතුවමය.


‘‘ආ... එන්න උයන ගෙටම.... මොනවහරි කාලා ඉමු....‘‘


ලොකු ඇබිත්තයා හෙවත් විමල් අයියා තාත්තාටත්, මටත් උයන ගෙට කතා කර දාන භාජනවල ඉතිරි වී තිබූ බත්, මාළු බෙදා ගෙන කන්න කියා ඔහු වෙන වැඩකට ආවාස ගෙය පැත්තට ගියේය. මාත්, තාත්තාත් තිබූ බත් එළවළු පිරිමසා ගෙන කෑවෙමු.


දහවල් ආහාරයෙන් පසු ලොකු හාමුදුරුවෝත්, නුවර පන්සලේ හාමුදුරුවෝත් තාත්තා සමඟ ටික වේලාවක් කතා කරමින් සිටියාහ.


“‘අද මං මෙහේ නවතිනවා... විසල්ගෙ තාත්තට පුළුවන් අදම ගෙදර යන්න හරි, ඕන නම් මෙහෙ රෑට නවතින්න හරි....‘‘


ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් කීහ.


‘‘මාත් අද මෙහේ පන්සලේ ඉඳල යන්නම් හාමුදුරුවනේ.... හොදටම හවස් උනානේ.... දැන් ගියොත් ගමට යන කොට ගොඩක් රෑ වෙයි.‘‘


එදින තාත්තා පන්සලේ නවාතැන් ගත්තේ මා සමඟය..... නුවර පන්සලේ ඇබිත්තයා වන විමල් අයියා අපට රෑට කන්න පාන් හා පරිප්පු දුන්නේය. අපි දෙදෙනා රෑ කෑමෙන් පසු පන්සලේ බණ මඩුවේ රෑ නිදාගත්තෙමු.


තාත්තා රෑ මාව කවදාවත් නැති විදිහට තුරුල් කරගෙන නිදාගද්දි මට දුක සිතින..... ඔහු බොහෝ පුංචි දවස්වල මාව එසේ තුරුලු කරගෙන නිදා ගත්තා මතකය.... නංගී මල්ලි ඉපදුන පසු තාත්තා මාව හුරතල් කිරීම, තුරුලු කරගෙන නිදාගැනීම නවතාදමා තිබුනි.... අම්මා හදා තිබෙන දෙයක් කාබී ඔහේ ගමේ ගොඩේ හැදුන අපට අම්මා හා තාත්තාගේ ආදරය නොලැබුනා වගේම , ඔවුන් අපට ආදරේ පෙන්නුවේ නැති තරම්‍ය..... ගෙදර තිබුන අගහිඟකම් නිසා ඔවුන්ට ඒ ගැන කල්පනා කරනවා ඇරෙන්න දරුවන්ට ආදරය දිය යුතුයි යන, හැඟීමක් තේරුමක් නොතිබෙන්න ඇති ....


එදින තාත්තා රෑ මාව තුරුලු කරගෙන හිසත් දෙතුන් පාරක් සිප ගන්නවා මට නින්දෙන් වගේ මතකය.

පසුදින තාත්තා ගෙදර යන්න ලෑස්ති වී මට කතා කළේය.


‘‘ මද්දු පුතේ ලොකු හාමුදුරුවෝ කියනවා පුතාව මහණ කරන්න කියල.... පුතාට පිරිවෙනකට ගිහින් එතකොට ඉගෙන ගන්න පුළුවන්ලු.... උඹ දන්නවනේ අපිත් හරි අමාරුවෙන් ජීවත් වෙන්නෙ කියලා.... මට ඕන උඹල පස්දෙනාටම කොහොම හරි හොඳට උගන්වන්න. උඹ ඉස්කෝලෙ යන්න කැමැති නැති එකේ පිරිවෙනකට හරි ගිහින් ඉගෙනගන්න එක ලොකු දෙයක් පුතේ….. උඹ ලොකු හාමුදුරුවෝ කියන විදියට හොඳින් හිටපන්. උබට හොදක් වෙනවා දකින්නයි මට ඕනේ.....‘‘

තාත්තා මගේ හිස අතගා නලල සිප ගත්තේය.

තාත්තා මට සමුදුන්නේ දුකෙන් යැයි මට දැනින..... තාත්තා අතේ තිබුන අමුඩ ලේන්සුවෙන් ඇස් දෙක පිහදාගත්තේ මට පිටිපාගෙනය.


ගෙදර අඟහිඟකම් මැද ගෙදර ජීවත් වනවාට වඩා, මෙලෙස පන්සලක මහණ වී එක දරුවෙක් හරි ගෙදරින් ඈත් වී හොඳින් ඉගෙනගන්න එක දෙමවුපියන්ටත් පහසුවක් වෙනු ඇතැයි මට සිතේ.....


මහණ වීමට කිසිත් ඕනකමක් නොතිබුන මට, පන්සලේ මහණ වී ජීවත් වීමට කෙසේ හෝ ඉඩ සැලසී ඇත..... ගෙදර අගහිඟකම් නිසාත්, පාසැල් යන්න ඇති අකමැත්ත නිසාත් , ගෙදරට වඩා කෑම බීම ඉදුම් හිටුම් මෙහි ඇති බැවිනුත්, මම පන්සලේ නවතින්න එක හිතින්ම කැමති වි උන්නෙමි.


‘‘විසල් කීවෙනි පන්තියට වෙනකම් ගිහිල්ලා තියෙනවද? නුවර පන්සලේ ලොකු හාමුදුරුවන් ඇසීය.


‘‘පස්වෙනි පන්තියට”


“එහෙනම් ගමේ ඉස්කෝලෙන් අස්වීම් සහතිකයයි, ඉගෙනීම් සහතිකයයි තාත්තාට කියල ගෙන්න ගන්න වෙයි. මෙහේ පිරිවෙනකට යනකොට ඒවත් ඕන වෙනවා. හැබැයි දැන්ම පිරිවෙනට යන්න බෑ.... තව මාස දෙකක් තුනක් පන්සලේ වැඩ ඉගෙනගෙන හොඳ හැසිරීමෙන් සිටියොත් විතරයි පිරිවෙනට යන්න පුලුවන් වෙන්නේ..... මහණ වෙන්න පුළුවන් වෙන්නේ.... ‘‘


‘‘එහෙමයි හාමුදුරුවනේ‘

නුවර පන්සලේ ලොකු හාමුදුරුවන්ට අමතරව, තරුණ හාමුදුරුවරු දෙනමක් එහි වැඩ සිටියේය. තරුණ දෙනම මා සමග කරුණාවෙන් කතා බහකර ඉක්මනින්ම මා සමග යාළු විය.... ලොකු හාමුදුරුවන් නම් ටිකක් සැරය. ඔහු තරුණ හාමුදුරුවරු දෙනමට කෑගසන වේලාවන්ද ඇත. ලොකු හාමුදුරුවන්ට ගමේ උපාසක උපාසිකාවන්ද බය ය. නමුත් ඔහු ඉතා කෙළින් වැඩ කරන හිමිනමක් බව මට වැටහේ..... හැම වැඩකම පිළිවෙළක් මෙම පන්සලේ ඇත. පන්සලේ දියුණුවට එයද හේතු වන්නට ඇත.


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

1 view0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page